Hot!

''හැමතැනම ඉන්නේ සිරගත සිතින් ජීවත්වෙන මිනිස්සු'' - ඉලිෆ් ෂිෆාක්


අනුවර්තනය - වින්ධ්‍යා ගම්ලත් 


ඉලිෆ් ෂිෆාක් ලේඛිකාවක මෙන්ම කාන්තා අයිතීන් පිළිබඳ හඬනගන්නියකි ද වන අතර තුර්කි පවුලකට දාව ප්‍රංශයේ දී හැදී වැඩුණු ඇය මේ වනවිට 47 හැවිරිදි වියේ පසුවනවා. Three Daughters of Eve, The Gaze, The Bastard of Istanbul, The Forty Rules of Love: A Novel of Rumi, Honour, The Architect's Apprentice ඉලිෆ් රචනා කළ කෘති අතරින් කීපයකි. තුර්කි හා ඉංග්‍රීසි බසින් ලේඛනයේ නිරත වන ඇගේ නවකතා හා ලේඛනයන් භාෂා 49 කට අධික ගණනාවකට පරිවර්තනය වී තිබෙනවා. Chevalier de l'Ordre des Arts et des Lettres සම්මානයෙන් ද ඉලිෆ් පිදුම් ලබා තිබෙනවා. මෙහි පළවන්නේ Channel 4 නාලිකාවේ Ways to Change the World වෙනුවෙන් පසුගිය ජනවාරි 3 වැනිදා සිදුකළ සම්මුඛ සාකච්ඡාවේ අනුවර්තනයයි. 


ඔබේ නිර්මාණ තුළ දේශපාලනය ගැබ්වී තියෙන්නේ මිනිස්සු හිතන විදිය වෙනස් කරන්න තියෙන වුවමනාව නිසාද ? 

අද වෙද්දි ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල වෙලා තියෙන රටවල් වන තුර්කිය, පාකිස්ථානය, ඊජිප්තුව, වෙනිසියුලාව, පිලිපීනය (මේ ලැයිස්තුවට තවත් රටවල් එක්විය යුතුයි) වගේ රටක් නියෝජනය කරන ලේඛකයෙකුට ‘මං කිසිම දේශපාලන දැක්මක් නැති කෙනෙක්, මං ලියන්නේ මං කැමති දේවල් විතරයි‘ කියන කතාව කොහොමටවත් කියන්න බැහැ. 

මම ස්ත්‍රීවාදිනියක්. අපට පෙර ස්ත්‍රීවාදී ව්‍යාපාරයට සම්බන්ධ වූ අය කියාදී තිබෙන්නේ දේශපාලනය කියන්නේ හුදෙක් දේශපාලන පක්ෂ, දේශපාලඥයින් හෝ පාර්ලිමේන්තුව යන්න පමණක් නොවන බවයි. දේශපාලනය මේ කියන බල සම්බන්ධතා වල සීමා මායිම් ඉක්මවා යනවා.  බලය අතර තියෙන සම්බන්ධතාව තියෙන ඕනෑම තැනක දේශපාලනයත් තියෙනවා. 

පුද්ගලික දේවල් පවා දේශපාලනිකයි. මේ වගේ පුළුල් පරාසයක් ඇතුළේ දේශපාලනය කියන්නේ මොකක්ද කියලා අර්ථගන්වද්දි කිසිම කෙනෙකුට දේශපාලනික සත්වයෙකු නොවී ඉන්න බැහැ. මගේ නිර්මාණ ඇතුළේ දේශපාලනික ප්‍රශ්න තියෙනවා. මේ වගේ ප්‍රශ්න නගන්න මං බොහොම කැමතියි. යම්කිසි ලේඛකයෙකු මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න නැත්නම් බණ දේශනා කරන්න, උගන්වන්න උත්සහ ගන්නවා නම් ඒ වගේ කෙනෙකුට මං කොහොමටවත් කැමති නැහැ. පාඨකයා මේ ගැන ප්‍රශ්න කරන තැනට පොළඹවාලීම ලේඛකයාගේ කාර්යය වී තිබෙනවා.

ඔබ ස්ත්‍රීවාදිනියක වුණේ කුඩා වියේදී ඉඳන්මද ? 

ස්ත්‍රීවාදිනියක වෙන්න මගේ කුඩා අවදියත් දැඩි බලපෑවා.  මොකද මං හැදී වැඩුණේ දික්කසාද වෙලා රැකියාවක නියැලුණු මවකගේ රැකවරණය මැදයි. මේ කාලේ වෙද්දි ඒක තරමක් අසාමාන්‍යයි. මං මේ කතාකරන්නේ 1970 අගභාගය ගැනයි. ඇත්තම කිව්වොත් මං කාන්තාවක් දෙන්නෙකු යටතේ හැදී වැඩුණා, ඒ මගේ අම්මා හා ආච්චි අම්මා. 

මොවුන් දෙන්නා හාත්පසින්ම වෙනස් පෞරුෂයත්වයන් තිබුණු අයයි. මගේ අම්මා බොහොම නවීන විදියට හිතන, අඳින පළඳින, හොඳ අධ්‍යාපනයක් ලැබූ කෙනෙක්. මගේ ආච්චි අම්මා මීට හාත්පසින්ම වෙනස් කෙනෙක්. අඩු අධ්‍යාපනයක් තිබුණු, අතාර්කික, ආගමට දහමට බරවුණු කෙනෙක්. නමුත්, මේ දෙන්නා අතර දැඩි එකමුතුබවක් තිබුණා. මේ එකමුතු බව ඇතුළේ මගේ අම්මාගේ ජීවිතය, මගේ ජීවිතය වගේම මගේ දරුවන්ගේ ජීවිතයත් යහපත්ව ගෙවෙනවා. මේ සහයෝගීතාව, උදව් පදව් කිරීම් ගැන මං කිසිවිටක අමතක කරන්නේ නැහැ. ඒවගේම කාන්තාවෝ විවිධ පසුබිම් වලින් යුතු අය වුණත් ඔවුන් අතර සහෝදරත්වය තියෙනවා කියන කතාව මං දැඩිව විශ්වාස කරනවා. 

මං හිතන්නේ ඔබ තුර්කිය ගැන ලියන කතා ඇතුළේ විස්තර කරන්නෙත් මෙවැනි අනන්‍යතාවන් ගැනයි ? 
ඔව්, හරියටම හරි. 

ඔබ ඔබේ පෙළපත ගැන විස්තර කරන්න කැමති කොහොමද ? 

මං කිසිම ගෝත්‍රයක් ගැන විශ්වාස කරන්නෙත් නැහැ, ඒ බෙදීම් වලට කැමතිත් නැහැ. කලාකරුවෙක් වුණාම සාමූහික අනන්‍යතා නැත්නම් මේ ගෝත්‍ර ප්‍රතික්ෂේප කළයුතු බව මගේ විශ්වාසයයි. මේක තනිවම කරන වෘත්තියක් වුණත් ඒ තුළ ලේඛකයෝ, කලාකරුවන්ට ගැළපෙන හොඳම විදිය ඒකයි. 

මගේ මව්බිමේදී වගේම රටින් පිටතදී පවා පුංචි කාලේ ඉඳන්ම මේ ගැන මට දැනිලා තියෙනවා. අපේ සමාජයේ ඉන්න මිනිස්සු එකිනෙකා භාවාන්විතව සම්බන්ධ වෙලා ඉන්න බව තේරුම් යා යුතුයි. ඒවගේම අපේ මනස තුළදීම තරමක දුරස්ථ බවක් තබාගත යුතුයි මේ හැමදේම දිහා විචාරාත්මක දැක්මකින් යුතුව බලන්න. මේක හුදෙකලාව කළයුතු කාර්යයක්. මං හිතන්නේ ලේඛකයෙකුට ගැළපෙන හොඳම දේ ඒකයි. 

ඔබ ලන්ඩනයේ ජීවත්වෙන්නේ ඇයි ? 

මං දන්නවා එක්තරා විදියකට මේවා ප්‍රියමනාප වචන නෙමෙයි කියලා. පසුගිය දශක කීපය පුරා ශිෂ්ටත්වය, බහු සංස්කෘතිකත්වය, විවිධත්වය ආදිය බිඳවැටුණු රටවල් ගැන මං විපරම් කරලා බැලුවා. මිනිස්සු මේ වචන ඒ තරම් වැදගත්කොට සලකන්නේ නැති බව මං දන්නවා. නමුත්, මට මේවා වැදගත්. මගේ රටේ විවිධත්වය, උරුමය බිඳවැටී ගිහිං තියෙනවා. සර්වභෞමිකත්වය ට මං දැවැන්ත ලෙස සහය දක්වනවා. 

ඔබ මෙහි ජීවත්වෙන්නේ ඒ නිසාද ?

එය එක් හේතුවක්. මෙහි විවිධත්වය තියෙනවා. ලෝකේ අනික් තැන් සමග සංසන්දනය කරද්දි ලන්ඩනයේ දැඩි සේ අන්තර් ක්‍රියාකාරීත්වය තියෙනවා. විවිධ පසුබිම් වලින් පැවත එන මිනිස්සු තමන්ගේම ලෝක ඇතුලේ හිරවෙලා ඉන්නේ නැහැ. 

ඇත්තටම, මේ දේවල් වල වර්ධනයක් සිද්ධ වෙන්න ඕන. විවිධත්වයේ මාහැගි නිධානයක් තියෙනවා. හැමෝම මේ දේ අගය කරාවි යැයි මං විශ්වාස කරන්නේ නැහැ. ලේඛිකාවක්  විදියට මෙහේදි භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මට තදින් දැනුණා, කාන්තාවක් විදියට මෙහි තියෙන සමානාත්මතාවය, මේ හැමදේම මට අතිශය වැදගත් දේවල්. මං ඉංග්‍රීසියෙන් වගේම තුර්කි බසිනුත් ලේඛනයේ යෙදෙනවා. මේ භාෂාවෙන් හුස්ම ගන්න, ඒක විඳින්න මෙහි හිඳීම අතිශය වැදගත් වෙනවා. ලන්ඩන් නගරය වගේම භාෂාව, සංස්කෘතිය, මවිසින් හොයාගත් බුද්ධිමත් උරුමය මාව මේ රටට තදින් ඇදබැඳගෙන තියෙනවා. 

තුර්කිය -  ආසියාව හා යුරෝපය අතර තියෙන පාලමක් වගේ තියෙනවා. යුරෝපය හා ආසියාව අතර තියෙන මේ පාලම අන්කවරදාටත් වඩා අද අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මේ ගැන කතා කළොත් ? 

මේ තත්ත්වය කොයිතරම් නම් අවනම්බුවක්ද ?. ඔව්, මේ පාලම තියෙන්න තිබුණා. තුර්කිය තුළ හැබෑ ප්‍රජාතන්ත්‍රවාදය කිසිම දවසක තිබුණේ නැහැ. අපි ආපහු ආපස්සට යනවා. තමන් ඉන්න තැනින් දියුණුවෙන්න උත්සහ දරන මිනිස්සුන්ට වැදගත් වෙන පාඩම් කීපයක්ම තුර්කිය ඉගෙනගත්තා. 

හැමතැනම ඉන්නේ සිරගත සිතින් ජීවත්වෙන මිනිස්සු. අර කලින් කිව්ව බොහොම වැදගත් පාඩම් ගැන කතා කළොත්, ඉතිහාසය අනිවාර්යයෙන්ම අඛණ්ඩව ගලායන, ඒක රේඛීය මාවතක් නොවේ යන්න. අපි හිතන්නේ අනිවාර්යයෙන්ම අද තියෙන තත්ත්වයට වඩා අනාගතය බොහෝ සංවර්ධනයන් අත්පත්කරගෙන තියේවි කියලයි. දෙවැනි කාරණේ වෙන්නේ තවත් පරම්පරාවක් ඊට කලින් හිටපු තමන් මුතුන් මිත්තන් කරපු වැරැද්දම කරාවි යන්නයි. මේ පරම්පරාව එකම චක්‍රයක් විදියට ක්‍රියාත්මක වෙනවා. 

මේ ගැන තවදුරටත් පැහැදිලි කළොත් ? 

මේවා අඳුරු පරිච්ඡේද වලින් යුතු අතීතයක් තිබුණු රටවල්. අපිට මේ ගැන කතාකරන්න බැහැ. සමහරවිට, අපිට බොහොම පොහොසත්, සාරවත් ඉතිහාසයක් තිබුණත් ඒක අවසිහියෙන් ඉන්න සමාජයක්. අපි සාමූහිකව අවසිහියෙන් ජීවත්වෙනවා, අපි මැරි මැරී ජීවත්වෙන්නේ ඒ නිසයි. තුර්කියේදී වර්ගවාදී මහා ජන සංහාර කියන වචනය කිව්ව ගමන්ම ඔබව ද්‍රෝහියෙකු විදියට හංවඩු ගහනවා. අපේ ඉතිහාසයේ තිබුණු බොහෝ අඳුරු පරිච්ඡේද ගැන කතාකිරීම පවා බොහොම අසීරුයි. නමුත්, අපි අනිවාර්යයෙන්ම එය කළයුතුයි, සංවර්ධනය, වේදනාව බෙදාහදා ගැනීම වෙනුවෙන් මේ දෙය අනිවාර්යයෙන්ම කළයුතුයි. මේ දේවල් මං දැකලා තියෙනවා, මීට කලින් සිද්ධ වුණු අතිශය භයානක, කටුක අත්දැකීම් වලට ආයෙත් මුහුණදෙන්න සිද්ධ නොවේවි. අනාගතය මීට වඩා සුවදායී වේ යැයි බලාපොරොත්තුව තියෙනවා. 

අපිට ඒ දේවල් ගැන අමතක වෙලා නැහැ, අපිට වගකීමක් තියෙනවා. ඉතිං, අපි අතීතයෙන් නිසිලෙස පාඩම් ඉගෙනගෙන නැහැ. මෙතන ශුන්‍යතාවක් තියෙනවා. මේ ශුන්‍යතාව අතිශය ජාතිකත්වයට ලැදි, පුරසාරම් වලින් පිරුණු, ආගමට දැඩිව නැඹුරු වුණු වර්ණනා වලින් පිරුණු තැනක්. මෙය නූතනයේ තුර්කියේ ජනප්‍රිය සංස්කෘතිය වෙලා තිබෙනවා. ඒවගේම දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රභූන් මීට සහය ලබාදෙනවා. හංගේරියාව, ඕස්ට්‍රියාවේ පවා විවිධ සිදුවීම් වෙමින් පවතිනවා. එකම විදියේ අතීතකාමය තවමත් දකින්න පුළුවන්. 

යුරෝපයේ ඉන්න මිනිස්සු ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගන්නවද ? 

හ්ම්, මෑතකදී දියත් වුණු විද්වත් පර්යේෂණ කිහිපයක් ගැන මෙහිදී සිහිපත් කරන්න කැමතියි. මම දැන් මේ කියන්න යන්නේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන යෙෂර් මුන්ක් සිදුකරපු පර්යේෂණයක් ගැන. මෙහිදී ඔහු ‘ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇතුළේ ජීවත්වීම ඔබට කෙතරම් අත්‍යවශ්‍යද ?‘ යන ප්‍රශ්නය විමසනවා.  ඔහු මේ ප්‍රශ්නය අත්ලාන්තික් වල දෙපැත්තේම ඉන්න මිනිස්සුන්ගෙන් විමසුවා.

මෙහිදී ‘වයස‘ කියන සාධකය අතිශය වැදගත් වෙන බව ඔහු හොයාගත්තා. ‘එක් නිශ්චිත වයසක් පසුකරපු මිනිස්සු, දෙවැනි ලෝක යුද්ධයේ මතකය හිතේ තියෙන පුද්ගයින්, නැත්නම් ඉන්පසු ගතවුණු කාලය ගැන මතකයේ තියෙන අයගෙන් මෙහි හිටිය 70 % කට වැඩි පිරිස කියන්නේ ‘ප්‍රජාතන්ත්‍රවාදය මට අත්‍යවශ්‍යයි‘ කියලා. අවුරුදු 30 ට අඩු අයගෙන් මේ ප්‍රතිශතය 25 % ක් දක්වා අඩුවෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත්වීම අතිශය වැදගත් කියන්නේ සහස්‍රයේ ඉපදුණු අයගෙන් 25 % ක් පමණයි. ඉතිං, මෙහිදී මතකය කියන දේ අතිශය වැදගත්වෙනවා. යුද්ධය හෝ ඊට පසුකාලීනව ගතවුණු කාලය ගැන මතකය ඔබේ හිතේ තියෙද්දි, අත්‍යන්ත දේශප්‍රේමීත්වය, ජාතිවාදය, ගෝත්‍රවාදය ආදියෙන් වෙන්නේ මොකක්ද කියලා දැනගන්නිද්දි අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවා. 

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මල් ඇතිරූ මාවතක් නොවෙයි, මේක ඇතුළෙත් ප්‍රශ්න රාශියක් තියෙනවා. නමුත්, මිනිස්සු විදියට තෝරාගත හැකි හොඳම පාලනය ප්‍රජාතන්ත්‍රවාදයයි. අප ලිබරල් බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් කරා යා යුතු වෙනවා. නමුත්, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරදැමුවොත් මහත් දැවැන්ත විනාශයකින් එය අවසන්වීමට ඉඩ තියෙනවා. 

ඇත්තටම මේ කතා අහද්දි මට දැනෙන්නේ දැඩි කනස්සල්ලක්. මැදපෙරදිග කලාපයේදී ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටෙන්න විවිධ හේතු බලපානවා. මං බොහොම කණගාටු වෙන්නේ බටහිරින් ඉගෙනගත්තු අය පවා කියන්නේ, මං ඒක Three Daughters of Eve කෘතියේදී පවා මං මේ කාරණාව අවධානයට ලක්කළා.
‘අපිට ප්‍රජාතන්ත්‍රවාදය ගැළපෙන්නේ නැහැ. සමහරවිට අපිට ගැළපෙන්නේ සිංගප්පූරු ආකෘතියේ පාලනයක්. අපිට බොහොම බලසම්පන්න පාලකයෙකු ඉන්න ඕන. අතිදියුණු තාක්ෂණය වගේම හොඳ ආර්ථිකයක් අපිට තියෙන්න ඕන, නමුත්, ප්‍රජාතන්ත්‍රවාදයට තවදුරටත් ප්‍රමුඛතාවය දෙන්නේ නැහැ කියලා කියනවා. මානව අයිතීන් වලට තවදුරටත් ප්‍රමුඛතාවය දෙන්නේ නැහැ, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට ප්‍රමුඛතාවය දෙන්නේ නැහැ‘ කියලයි. 

මේ දේවල් මෙහෙම වුණොත් ලෝකය අඳුරෙන් අඳුරට යාවි. ප්‍රජාතන්ත්‍රවාදය හා බහුතර කැමැත්තට ඉඩදීම ගැන අපිට තුර්කියෙන්  බොහොම වැදගත් පාඩම් ඉගෙනගන්න හැකියි. 

ප්‍රජාතන්ත්‍රවාදය අතිශයින්ම වැදගත් කියන කතාව මිනිස්සු කියනවා ඔබට ඇහිලා තියෙනවාද ? 
ඔව් 

මේ රටේදී පවා ? 
ඔව් 



මිනිස්සු දන්නේ නැහැ ඔවුන් කරන්නේ මොකක්ද කියලා. මේ ගැන කතා කළොත් ? 
ඡන්දය ලබාදීම අතිශය වැදගත් වෙනවා. අපිට මේක පැත්තකින් තියලා තියන්න බැහැ. නමුත්, ආයෙත් තුර්කිය ගැන කතා කළොත් අතිශය වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය හා බහුත්වවාදය අතර තියෙන වෙනස ගැන. 

රටක් ඇතුළේ ජනමත විචාරණ, නිරන්තර මැතිවරණ පවත්වන්න පුළුවන්. නමුත්, මේ දේවල් ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය විදහා දක්වන පද්ධතියක් තියෙනවද ?. නීතියේ ආධිපත්‍යය, බලය බෙදීම, නිදහස් හා විවිධත්වයෙන් යුතු මාධ්‍ය, ස්වාධීන ශාස්ත්‍රාල, කාන්තා අයිතීන්, LGBT ප්‍රජාවේ අයිතීන්, සුළුතර අයිතීන්  මේ කිසිදෙයක් නැතිව රටක් ජනමත විචාරණ විතරක් පවත්වනවා නම්, මේ කිසිදෙයක් නැතිව මැතිවරණ ප්‍රතිඵල මත පමණක් රැඳී සිටිනවා නම් එතැන ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. එතැන තියෙන්නේ බහුතර කැමැත්තට ඉඩදීමක් පමණයි. ඒ බහුතර කැමැත්ත රජ වුණාම - එය ඒකාධිපතිවාදය බවට පත්වෙන්නේ තියෙන්නේ තවත් පියවර කීපයක් පමණ යන වගත් සිහිපත් කළයුතුමයි

ඔබ නවකතා රචනා කරන විදිය ගැන කතා කළොත් ? 

මං මුලින්ම පටන්ගන්නේ පුංචි ප්‍රශ්නෙකින්. පුංචි දරුවෙක් වගේ. මගේ විශ්වාසය වෙලා තියෙන්නේ කිසිදිනක ඒ කුතුහලය අත්හැර නොගත යුතුයි යන්නයි. ඇයි ? ඒක එහෙම වුණේ, ඒ ඇයි ? ඇත්තටම වුණේ මොකක්ද ? වගේ ප්‍රශ්න විමසන්න ඕන. රූප ඒ ද්‍රෘෂ්‍ය මොහොතවල් පසුපස හඹායාම වගේ දේවල් හරහා තමයි මගේ පරිකල්පනය අවදිවෙන්නේ, ඒ වගේම මට අධ්‍යාපන පසුබිමක් තියෙන නිසා මං බොහොම දැඩිව පර්යේෂණ වල නියැලෙන කෙනෙක්. ඒක ඵෙතිහාසික හෝ සමකාලීන නවකතාවක් වුණත් ඒ විෂය ගැන මට හොයාගන්න පුළුවන් හැමදේම කියවනවා. ඊට පස්සේ එක මොහොතක් එළඹෙනවා බොහොම සැහැල්ලු හුස්මක් අරගෙන හීන දකින්න, පියාඹන්න පුළුවන් වෙන. නමුත්, මගේ කතාව ගැන සම්පූර්ණයෙන්ම හීන දකින්න ඕන නම් අනිවාර්යයෙන්ම ඒ විෂය ගැන මට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒ වෙනුවෙන් මං බොහෝ පර්යේෂණ වල නිරත වෙනවා. 

ඔබ නවකතා රචිකාවියක් බවට පත්වුණේ කොහොමද ? 

පවුලේ එකම දරුවා වුණු නිසාම මගේ ජීවිතේ බොහොම නීරස විදියට ගෙවුණා. මං නිතරම එහෙ මෙහෙ ගියා. බොහොම තනිකමක් දැනුණා මට. නමුත්, ඇත්තටම මගේ මිතුරන් වුණේ පොත්. ඒ වගේම පොත් මාව ආරක්ෂා කළා. මං කතා ලෝකෙට පිවිසෙද්දි බොහොම නිදහස් ගතියක්, ඇත්ත බවක් දැනුණා. ඒක මට බොහොම ඇත්තක් වගේ දැනුණා. මගේ ආච්චි අම්මගේ ගෙදර ගත්තොත් බොහොම ආධ්‍යාත්මික දේවල්, විවිධාකාර විශ්වාස මත පදනම් වූ ක්‍රියාකාරකම් වගේ මැජික් ගොඩකින් පිරිලා තිබුණා.

ඒ කාලේ වෙද්දි ජනේලෙන් එළියේ තිබුණු ලෝකය ඇතුළේ බෝම්බ පිපිරුණා, දේශපාලන රැළි තිබ්බා. මානව හිමිකම් උල්ලංඝනය වුණා. පුංචි දරුවෙක් විදියට ජනේලෙන් ඇතුළේ ඉඳගෙන එළියේ තියෙන ලෝකය ගැන සිතීම, දේශපාලන වියවුල් මැද්දේ, මගේ ආච්චි අම්මගේ මැජික් අතරේ සමහරවිට මේ දේවල් මැද්දේ දේශපාලනික හා මැජික් දේවල් ඇති. ඒවා ගැන ලෝකයට පැවසීමේ වුවමනාවක් මට තිබුණා. 

ඔබට ආඩම්බරයක් හිතුණු දෙයක් ලිව්වේ කවදාද ? 

මං බොහොම පුංචි කාලේ ඉඳන්මයි ලේඛනයේ යෙදුණේ. එතකොට කවදහරි දවසක නවකතා රචිකාවියක් වෙනවා කියන අරමුණ තිබුණේ නැහැ. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වේවිදැයි කියලා වත් දැනගෙන හිටියේ නැහැ. ලේඛනය සහජ බුද්ධියෙන් ලැබුණු දෙයක් වගේ. මම දිනපොත්, ජර්නල් තියාගන්න උත්සහ කළා, මොකද මගේ ජීවිතේ බොහොම කම්මැලි වෙයි කියලා හිතුණා. ලියන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. කවදාවත් හිටියේ නැති මිනිස්සු, සිද්ධ නොවුණු දේවල් ගැන ලිව්වා. ඉතිං, මම දිනපොත්, කෙටිකතා ලියාගෙන  හිටියා. පුංචි කාලේ ඉඳන්ම මං නවකතා ලියන්න පටන්ගද්දී අදහස්, භාවයන් හා සිතුවිලි ගැන සාකච්ඡා කරන්න පුළුවන් දැවැන්ත පසුබිමට මං කැමති වුණා. මනස හා හදවත එකිනෙකට සමීප වී වැඩකරන්න පුළුවන්. ශානරයක් විදියට ගත්තොත් මං නවකතා වලට බොහොම ඇළුම් කරනවා. 

ඒවගේම මං ඉංග්‍රීසි භාෂාවෙන් ලේඛනයේ යෙදීමත් දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයක් වුණා වගේම ඒක අතිශය පහසු කටයුත්තක් වුණෙත් නැහැ. මං හැදී වැඩුණේ ද්විත්ව භාෂක සමාජයක නෙමෙයි. මගේ දරුවෝ දිහා බැලුවම ඔවුන් හා මම අතර තියෙන වෙනස හොඳට පේනවා, මං වැරදියට වචන උච්චාරණය කරද්දි ඔවුන් හිනාවෙන්න ගන්නවා. නිවැරදි උච්චාරණය උගන්වන්න හදනවා, උදාහරණ ‘ගර්ල්‘ කියන වචනේ හරියට උච්චාරණය කරන්න පවා. මගේ මනස හා දිව අතර පරතරයක් තියෙන බව අනෙක් හැම විදේශිකයෙකුම වගේ මාත් දන්නවා. දිව වචන අල්ලගන්න උත්සහ දරද්දී මනස වේගයෙන් වැඩකරන බවත් මං දන්නවා. ඒක තරමක තැතිගැන්මක් ඇතිකළත් බොහොම පෙළඹීම් සහගතයි. මං ඉංග්‍රීසි බසින් ලියන්න කැමති බව කාලයක් යද්දි තේරුම්ගියා. ඒ තුළ නිදහස් හැඟීමක්, බුද්ධිමත් ගතියක් දැනෙනවා. තුර්කි බසින් ලියද්දි භාවාත්මකව බැඳී තියෙන ගතියක් දැනෙනවා. මේ දෙකම මට අවශ්‍යයි. මගේ ලේඛනය ඇතුළේ උකටලී ගතියක්, දුකක්, දැනෙනවා නම් එය තුර්කි බසින් රචනා කරන්න වඩාත් පහසුයි. හාස්‍යය, උපහාසය, උත්ප්‍රාසය වගේ දෙයක් ගැන ඉංග්‍රීසියෙන් රචනා කිරීම වඩාත් පහසුයි. තුර්කි භාෂාවේ උත්ප්‍රාසය කියන යෙදුම වත් නැහැ. මේ හැම සංස්කෘතික වෙනසක්ම බොහොම අපූරුයි. 

මේ යුගයේදී නවකතාවට හිමිවී තිබෙන කාර්යභාරය කුමක්ද ? 

ඊ පොත් නිසා නවකතා නැතිවෙලා යාවි වගේ කතා කියවුණා. අද අපි ජීවත්වෙන්නේ බොහොම සීඝ්‍ර ගමනක් යන ලෝකයක් ඇතුළේ. තොරතුරු දස අතින් ගලාගෙන යනවා. මේ සමාජය ඇතුළේ නවකතා වලට තැනක් නැහැ කියන කතාව පැතිරෙනවා. 

මේ අනාවැකිය ඇත්තක් වුණේ නැහැ. නමුත්, කවදහරි දවසක ඇත්තක් වෙන්න පුළුවන් වුණත් බොහොම ඉක්මනින්ම ඒක සිද්ධ වෙන්නේ නැතිවෙයි. ඒකට හේතුවක් තියෙනවා,  මොකද, බොහොම වේගෙන් අපි දුවගෙන යන තරමටම වේගය අඩු කරන්නත් වැඩි වැඩියෙන් වුවමනා වෙනවා, වාඩි වෙලා අපේ ඇතුළතට ගමන් කරන්න ඕන වෙනවා. තම තමන්ගේ සීමාව ඇතුළේ ඉන්න මිනිස්සු එක්ක අපිව සම්බන්ධ කරන්නේ නවකතා. මේකට සුවිශේෂී වටිනාකමක් හේතු වෙනවා. මං උදාහරණයක් විදියට කිව්වොත් ඊජිප්තුවේ ඉන්න මිනිස්සුන්ගෙන් සුළු ජාතික ප්‍රජාව ගැන ඇහුවොත් ඔවුන් ගැන වගේම ඔවුන්ට වටා ඉන්න අය ගැන ඇහුණු බොහොම ඝෘණාත්මක කතා කියාවි. නමුත්, ඔවුන් අපි ළඟට ඇවිල්ලා කියන්නේ, 

මං ඔයාගේ පොත කියෙව්වා, මේකේ තියෙන කතා අහලා මං ඇඬුවා. මං වැඩියෙන්ම කැමති මේ චරිතයටයි.‘ වගේ කතා ඔවුන් කියනවා. සමහරවිට ඒ චරිතය ආර්මේනියානු, යුදෙව් හෝ ග්‍රීක ජාතිකයෙකු වෙන චරිතයක් වෙන්න පුළුවන්. සමහරවෙලාවට හෝමෝෆෝබියාවෙන් පෙළෙන පාඨකයෝ ඉන්නවා. මොකද, මගේ මව්බිම හෝමෝෆෝබියාවෙන් පෙළෙන සමාජයක්. නමුත්, ඔවුන් ඒ චරිත වලට ආදරය කරනවා. 

‘මං වැඩියෙන්ම ආදරේ කරන චරිතය ඒකයි‘, කියලත් ඔවුන් කියනවා. 

සමහරවිට ඔවුන් කියන ඒ චරිතය සමලිංගික, ද්වි ලිංගික නැත්නම් සංක්‍රාන්ති ලිංගිකයෙකු වෙන්න පුළුවන්. මං මේ ගැන ගොඩක් හිතලා බලලා තියෙනවා. ප්‍රසිද්ධ ස්ථාන වලදී බොහොම නොඉවසන, පක්ෂපාතී, විරුද්ධවාදයක් නොඉවසන, මිනිස්සු තනිවම නවකතාවක් කියවද්දි අනෙකෙකු ගැන ලියවුණු කතාවක්  අවබෝධ කරගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙන්නේ කොහොමද ?.  

මං මේක අහම්බෙන් සිද්ධවෙන බව හිතන්නේ නැහැ. මොකද හැම ආඥාදායක,  ඒකාධිපතිවාදී පාලනයකටම අවශ්‍ය වෙන්නේ බහුතරයේ සාමූහික ශක්තිය මුසු කරන්නයි. මිනිස්සු එක්වෙලා යාතිකා කරනවා, ඒකාධිපතිවාදය වඩ වඩාත් පතුරුවන්න නම් තනි පුද්ගලවාදය මුලිනුපුටා දමන්න අවශ්‍ය වෙනවා. නැත්නම් හැම ඒකාධිපතිවාදී මතවාදයක්ම පතුරුවන්න මේ දේවල් සිදුකරන්න අවශ්‍ය වෙනවා. 

නමුත්, නවකතා කරන්නේ මේ වගේ පුද්ගලවාදයක් ප්‍රතිස්ථාපනය කිරීමයි. නමුත්, ඒ පුද්ගලයා කේන්ද්‍රකරගත්තු පුද්ගලවාදය නොවේ. එය නවකතාව කියවන පාඨකයා මනුෂ්‍යත්වය සමග බද්ධ කරන විදියේ පුද්ගලවාදයක්, ඇත්තටම මෙහි ඉන්න අනෙකා ඔබේ සහෝදරයා, සහෝදරිය කියන වග මෙහිදී ඔබට සිහිපත් කරදෙනවා. ඒ අනෙකා මමයි, ඔහු / ඇය මට වඩා වෙනස් අයෙකු නොවන බව කියාදෙනවා. 

මට මේ කාරණා බොහොම වැදගත්. අවසානයේදී ජාතිවාදය, ලිංගිකත්වය නිසා සිද්ධවෙන වෙනස්කොට සැලකීම්, ජාතිකත්වය මේ හැමදේම තුළින් අනෙකාව අමානුෂික කරන්න උත්සහ ගන්නවා, නමුත්, කතා තුළින් උත්සහ ගන්නේ අමානුෂික බවට පත්ව හිටපු මිනිස්සුන්ව නැවතත් මනුෂ්‍යයින් බවට පත්කරන්නටයි. 

අද අපි ජීවත්වෙන මේ යුගයේදී සාහිත්‍යයත් දේශපාලනික විය යුතු බව මගේ විශ්වාසයයි. මං මේ කතා කරන්නේ පක්ෂග්‍රාහී දේශපාලනය ගැන නොවෙයි. සුවිශේෂී වටිනාකම් වන ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, සමානාත්මතාවය ආදී මේ ගැටළු වලදී අපිට හඬනගන්න සිද්ධවෙන බව ලේඛකයෙකු විදියට මං දැඩිව විශ්වාස කරනවා. 



0 comments: