Hot!

සිංහල භාෂාවේ කුම­ර­තුඟු ගවේ­ෂණ


මහාචාර්ය සඳගෝමි කෝපරහේවා

කුමාරතුංග මහතා විසින් සංශෝධනය කොට විවරණ සහිතව පළ කළ පැරණි සිංහල ග්‍රන්ථ ගුරුවරුන්ට මෙන්ම ශිෂ්‍යයන්ට ද එක සේ ප්‍රයෝජනවත් විය. විවරණ ග්‍රන්ථ මගින් සිංහල භාෂාව විෂයයෙහි වැදගත් වූ ව්‍යාකරණ රීති ගෙන හැර දක්වීමට ද ඔහු උත්සාහ ගත්තේය. භාෂා ශාස්ත්‍රඥයකු ලෙස කුමාරතුංග මහතාගෙන් විශාලතම මෙහෙය වූයේ සිංහල ව්‍යාකරණය හෙළි පෙහෙළි කිරීමට ය.

විසිවන සියවසේ දී සිංහල භාෂාවේ ව්‍යවහාරය, ව්‍යාකරණය පමණක් නොව සිංහල භාෂාවේ අභිමානය, තත්ත්වය හා භාවිතය යන සෑම අංශයක් කෙරෙහි ම වැඩි ම බලපෑමක් ඇති කිරීමට සමත් වූ නූතන පඬිවරයා කුමාරතුංග මුනිදාස (1887-1944) මහතා ය. කුමාරතුංග මහතාගේ භාෂා සාහිත්‍ය සේවාව ආරම්භ වන්නේ විසිවන සියවසේ දෙවන දශකයේ ය. 1922 දී රජයේ සේවාවෙන් ඉවත් වී ඉන්පසුව කලක් අභ්‍යාස විද්‍යාලයාධිපතිවරයකු ලෙස ගත කළ කාලයෙන් පසුව (1929න් පසු) නිදහස් ගත්කරුවකු ලෙස කුමාරතුංග මහතාගේ සම්පූර්ණ කාලය කැප වූයේ භාෂා සාහිත්‍ය කටයුතුවලට ය. කුමාරතුංග මහතා භාෂා සාහිත්‍ය හා සමාජීය කටයුතුවලට වඩාත් සක්‍රීය ලෙස සම්බන්ධ වූ 1922 පමණ සිට 1943 දක්වා වූ වසර 21ක පමණ කාලය සමාජ දේශපාලනික වශයෙන් ද වැදගත් වූ කාලපරිච්ඡේදයකි. සිංහල භාෂා සාහිත්‍යය පිළිබඳ නව උද්‍යෝගයක් ගිහි - පැවිදි උගතුන් අතර ඇති වීම නිසා ශාස්ත්‍රීය කරුණු අරබයා නව මත හා ගවේෂණ ද මේ අවධිය වන විට ප්‍රචාරයට පත් වන්නට විය. විශේෂයෙන් ම පිරිවෙන් අධ්‍යාපනයේ සිදු වූ ව්‍යාප්තියත් සමඟ ප්‍රාචීන භාෂා විෂයක ප්‍රබෝධයක් පැවිදි පඬිවරුන් අතර ඇති වී තිබුණු අතර, විද්‍යෝදය හා විද්‍යාලංකාර යන පිරිවෙන්වල අධ්‍යාපනය ලැබූ පැවිදි උගත්හු රැසක් නොයෙක් ලෙසින් භාෂා සාහිත්‍ය කටයුතුවල නිරත වෙමින් සිටියහ.



අව්‍යක්ත ලේඛකයන් විසින් වරින් වර පිටපත් කරනු ලැබීම නිසා පැරණි සිංහල පතපොතට ඇතුළත්ව තිබූ දොස් තැන් නිදොස් කොට සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ග්‍රන්ථ ශුද්ධ කොට විවරණ’ සැපයීමෙන් කුමාරතුංග මහතාගේ භාෂා සාහිත්‍ය සේවාව ආරම්භ වෙයි. සිංහල ව්‍යාකරණය පිළිබඳ රීති හෙළි පෙහෙළි කිරීම ඔහු ආරම්භ කළේ විවරණ’ ග්‍රන්ථ මාර්ගයෙනි.‍ සම්භාව්‍ය සිංහල සාහිත්‍යයට අයත් පැරණි සිංහල ගද්‍ය-පද්‍ය ග්‍රන්ථ ශුද්ධ කොට ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා සමකාලීන උගතුන් ගත් මඟට වඩා වෙනස් මඟක් අනුව ග්‍රන්ථ සංස්කරණ කටයුතුවල නිරත වූ කුමාරතුංග මහතා ඉතා කෙටි කලෙකින් ශාස්ත්‍රීය ලෝකයේ ප්‍රසිද්ධියට පත් විය.

පුරාතන සිංහල ග්‍රන්ථයන්හි දූෂිත පාඨයන් ශුද්ධ කර ගැනීම සඳහාත් ලේඛකයන්ගේ නොසැලකිල්ල නිසා බොහෝ කාලයක් මුළුල්ලේ වරදවා ව්‍යවහාර වූ යෙදුම් නිවැරදි කර ගැනීමටත් කුමාරතුංග මහතාගේ විවරණ පොත්වලින් මහඟු පිටිවහලක් ලැබුණේය. කුමාරතුංග මහතා විසින් සංශෝධනය කොට විවරණ සහිතව පළ කළ පැරණි සිංහල ග්‍රන්ථ ගුරුවරුන්ට මෙන්ම ශිෂ්‍යයන්ට ද එක සේ ප්‍රයෝජනවත් විය. විවරණ ග්‍රන්ථ මගින් සිංහල භාෂා විෂයක වැදගත් වූ ව්‍යාකරණ රීති ගෙන හැර දක්වීමට ද ඔහු උත්සාහ ගත්තේය.

භාෂා ශාස්ත්‍රඥයකු ලෙස කුමාරතුංග මහතාගෙන් විශාලතම මෙහෙය වූයේ සිංහල ව්‍යාකරණය හෙළි පෙහෙළි කිරීමට ය. සිංහල භාෂාව අරභයා අංග සම්පූර්ණ ව්‍යාකරණයක්’ ඇති කිරීමේ ප්‍රයත්නය කුමාරතුංග මහතා විසින් ආරම්භ කරන ලද්දේ ඔහු කඩුගන්නාවේ ද්විභාෂා විද්‍යාලයේ ප්‍රධානාචාර්යවරයා (1909 –1917) ලෙස කටයුතු කළ සමයේ දී ය. ඉහත දක්වූ පරිදි එ් පාසලේ පන්තියක සිසුන්ට සිදත් සඟරාව උගන්වමින් සිටිය දී ශිෂ්‍යයකු නැඟූ ප්‍රශ්නයක් නිසා සිංහල ව්‍යාකරණය පිළිබඳව වැඩිදුර ගවේෂණය කිරීමට යොමු වුණු කුමාරතුංග මහතා තම විමසුම් මුලින් ම පුවත්පත් සඟරා සහ විවරණ ග්‍රන්ථ මාර්ගයෙන් හෙළි කර සිටියේය. සිංහල ව්‍යාකරණ විෂයෙහි කුමාරතුංග මහතාගේ මුල් ම සෙවීම්වල ප්‍රතිඵල 1923 දී ශ්‍රී ධර්ම ශ්‍රී සඟරාවේි හෙළු වියරණ’ නමින් ලියූ ලිපි පෙළින් ප්‍රකාශයට පත් විය. සිදත් සඟරා මහිමය කොතරම් වැනුව ද එයින් සිංහල ව්‍යාකරණ ඥානයක් නො ලැබේ යන අදහස ඉදිරිපත් කරමින් සිංහල භාෂාව සඳහා නව ව්‍යාකරණයක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව එහි දී පෙන්නා දුන්නේය. සම්භාව්‍ය සිංහල සාහිත්‍යයට අයත් පොත් සඳහා සැපයූ විවරණ ග්‍රන්ථවලින් ද සිංහල ව්‍යාකරණ රීති හෙළි පෙහෙළි කළ කුමාරතුංග මහතා, හැම විට ම සිංහලයට ම ආවේණික වියරණ විදි සිංහල ග්‍රන්ථ ඇසුරින් පැහැදිලි කළේය. 1931 පළ වූ කුස ජාතක විවරණ සංඥාපනයේ ඔහු මෙසේ පවසා ඇත.

සිංහල ග්‍රන්ථ පරිශිලනයෙහි දී මහත් අපහසුකම් ඇති වනුයේ ව්‍යාකරණය නොදැන්මෙනි. ව්‍යාකරණය ඉගැන්මට පොතෙකුදු නැත. කෙළෙහි ගුණ සැලකීම සඳහා කුවේණිය ගේ කැත්තෙන් මැ පලා ලියන්නට ඉන්නාක් මෙන් සිදත් සඟරායෙන් මැ ව්‍යාකරණය උගන්නට ඉන්නා හෙයින් සිංහල ව්‍යාකරණය ක්‍රමවත් හෝ කාලානුරූප හෝ නො වෙයි. මේ ඌනත්වය පිරිමසා ලීමට විවරණය මාර්ගය කරන්නට උත්සාහ කළම් හ.

ඒ අනුව සිංහල වාග් ව්‍යවහාරය පිළිබඳ බොහෝ කරුණු ඔහු මුල් වරට ඉදිරිපත් කළේ විවරණ ග්‍රන්ථවලිනි. 1924 දී පළ කළ සුභාෂිත විවරණය සැලකීමෙන් වුවද එම කරුණ පැහැදිලි කර ගත හැකි ය. ආධුනිකයන්ට සිංහල ව්‍යාකරණය ඉගෙනීමට පහසු වන අයුරින් වාක්‍ය විභාගය හා පද වර්ණනා යනුවෙන් කොටසක් එයට ඇතුළත් කළ කුමාරතුංග මහතා, සුභාෂිතයේ ප්‍රථම පද්‍යයේ සිට ම වාක්‍ය විභාගය හා පද පද වර්ණනා ඇසුරෙන් ව්‍යකරණය පිළිබඳ විවරණයක් ඉදිරිපත් කළේය. එමෙන්ම සිංහල ව්‍යාකරණය සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ නව අදහස් ද එයට එක් කළේය. නිදසුනක් ලෙස ගත හොත් උපසර්ග පද වර්ගයක් නොවන බවත් එය පද සාධනයේ දී ප්‍රකෘතියට මුලින් එකතු වන්නා වූ කොටසක් බවත් මුල් වරට පෙන්නා දුන්නේ මෙවැනි විවරණ ග්‍රන්ථවලිනි.

කුමාරතුංග මහතා සිංහල භාෂාවේ ව්‍යාකරණය පිළිබඳ සිදු කළ ගවේෂණ රටට ඉදිරිපත් කළේ 1920 – 30 දශකවල දී ය. එම අවදිය වන විට පිරිවෙන් අධ්‍යාපනය යටතේ පාලි, සංස්කෘත භාෂා සිංහලයේ මාතෘ භාෂා ලෙස සලකමින් එම භාෂාවලට මුල් තැනක් ලබා දීම සිදු විය. සිදත් සඟරාව’ සඳහා පිරිවෙන් පඬිවරුන් විසින් සපයන ලද විස්තර සන්න ආදිය සිංහල ඉගැන්වීමට පිරිවෙන්වල භාවිත විය.

එමෙන්ම, 1930 දශකය පමණ වන විට ජර්මන් ජාතික පඬිවරයකු වූ මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් මහතාගේ (1856-1943) උපදෙස් අනුව ඩි. බී. ජයතිලක මහතාගේ මුලිකත්වයෙන් රජය මඟින් සිංහල ශබ්දකෝෂයක් සම්පාදනය කිරීමේ කටයුතු ද ආරම්භ වී තිබූ අතර එ් ශබ්දකෝෂයේ ප්‍රථම කලාපය 1935 ජනවාරි මස දී ප්‍රකාශයට පත් විය. එම කටයුතුවලට සහ සමකාලීන භාෂා සාහිත්‍ය කටයුතුවල දී මුල් තැනක් ගෙන ක්‍රියා කළ වාසල මුදලි ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකර (විපත-1931) සහ වාසල මුදලි ඩබ්ලිව්. එෆ්. ගුණවර්ධන (විපත- 1935) යන විද්වතුන්ගේ අභාවය ද මේ කාලයේ දී සිදු වී තිබිණ. එමෙන්ම ඓතිහාසික වාග් විද්‍යාත්මක පදනමක පිහිටා සිංහල භාෂාවේ ව්‍යාකරණය පිළිබඳව මහාචාර්ය ගයිගර් ලියු ග්‍රන්ථයක් ද 1938 දී පළ විය. මේ අනුව සමකාලීන පිරිවෙන් පඬිවරුන්ගේ සහ සිංහල ශබ්දකෝෂයේ කටයුතු හැරුණු විට සිංහල භාෂා අධ්‍යයන ක්ෂේත්‍රයේ කැපී පෙනුණු පඬිවරයා වූයේ කුමාරතුංග මුනිදාස මහතා ය.

සිංහල ව්‍යාකරණය පිළිබඳ ව තම ගවේෂණ ආරම්භ කළ අවධියේ සිට ම සිංහල භාෂාවට ම විශේෂ වූ ව්‍යාකරණ ක්‍රම පිළිබඳ ව කුමාරතුංග මහතාගේ අවධානය යොමු විය. පුරාතන සිංහල ග්‍රන්ථ සංස්කරණයේ දී හඳුනා ගැනුණු ඇ කාරය වැනි සම්භාව්‍ය සිංහල වාග් ව්‍යවහාරයට අනන්‍ය වූ ලක්ෂණ ප්‍රචාරයට පත් කිරීමට උනන්දු විය. ඇ කාරය සංස්කෘතයෙහිත් නැති පාළියෙහිත් නැති, දෙමළයෙහිත් නැති, වංගාදි භාෂාවන්හිදු නැත් මැ යැ.

එ හෙයින් මේ අක්ෂරයා ගේ ව්‍යවහාරය පර භාෂානුසාරයෙන් දත හැක්කේ නො වේ යනුවෙන් 1926 දී ඇ’යන්න නමින් ස්වදේශ මිත්‍රයා’ පුවත්පතට ලියූ ලිපියකින් සිංහල භාෂාවේ ඇ’ යන්නට හිමි විශේෂ ස්ථානය සහ සිංහල ලේඛනයේ සුදුසු තැනි ඇ’ කාර ව්‍යවහාරය යෙදීමේ අවශ්‍ය බව පෙන්නා දුන්නේය.

එ් ලිපිය ශාස්ත්‍රීය වාදයකට ද හේතු වූ අතර කුමාරතුංග මහතා නිට්ටඹුව හා බළපිටිය ගුරු විදුහල්වල කටයුතු කළ සමයේ දී ඔහුගේ සිසුන් සිංහල භාෂාවේ ඇ’ කාර යෙදුමට විශේෂ සැලකිල්ලක් දක්වන්නට වීම නිසා එම වහර වඩාත් පාසල් ගුරුවරුන් අතර ද ප්‍රචලිත වන්නට විය. කුමාරතුංග මහතා බළපිටිය ගුරු විදුහලින් අස් වූ පසුව 1930 වසරේ සෝදිසියකට එම විදුහලට පැමිණි අධ්‍යාපන අධ්‍යක්ෂ එච්. එස්. පෙරේරා මහතා, සිසුන්ගේ ලේඛනවල දක්නට ලැබුණු ඇ කාර යෙදුම දැක සිංහලය වැනි ව්‍යවහාර භාෂාවකට ඇ’ කාරය කිසිසෙත් ම නොගැළපෙන බව පවසා මින් පසු කිසිදු විභාගයක දී එය නොයොදන ලෙසත් දන්වා ඇත. එසේම ඇ’ කාර යෝගය යල්පැන ගිය ව්‍යවහාරයක් ලෙස සමකාලින ඇතැම් උගතුන්ගේ විවේචනයට ලක් වූ පිළිගැනීමට අතර එම වහර කට ඇද භාෂාව ලෙස ද ඇතැමකුගේ ගර්හාවට ද ලක් විය. ඇ’ කාරයට විරුද්ධ වුවන්ට ද පිළිතුරු දුන් කුමාරතුංග මහතා සිංහල භාෂාවේ ඇ’ කාරය යෙදීමේ ශාස්ත්‍රීය භාවය පැහැදිලි කළේය.

සිංහල ව්‍යාකරණය ඉගැන්වීම සඳහා පාලි, සංස්කෘත ව්‍යාකරණ විධි භාවිතයට එකල පිරිවෙන් ඇදුරන් දැරූ ප්‍රයත්නය ද සිංහල භාෂාවේ ස්වරූපය පැහැදිලි කිරීම සඳහා ශබ්දකෝෂ සම්පාදකයන් අනුගමනය කළ ඓතිහාසික වාග් විද්‍යාත්මක ක්‍රමවේදය ද විවේචනය කළ ඔහු, සිංහල ව්‍යවහාරයට ආවේණික වූ භාෂා රීති හෙළි පෙහෙළි කිරීමට මහත් වෙහෙසක් දැරිය. සිංහල ව්‍යාකරණය අරබයා කුමාරතුංග මහතා පළ කළ අදහස් වඩාත් ප්‍රචලිත වූයේ ඔහු විසින් සිදත් සඟරාව සඳහා සපයන ලද විවරණයේ පළමු කොටස 1934 දී පළ වීමෙන් පසුව ය. සිදත් සඟරාවේ වියරණ විධි සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රථම ශාස්ත්‍රීය විවේචනය ලෙස සිදත් සඟරා විවරණය : ප්‍රථම භාගය හඳුන්වාදිය හැකි ය. සිදත් සඟරාව සඳහා පූර්ව විද්වතුන් සැපයූ භාව සන්න හා වෙනත් කෘතිවලට වඩා කුමාරතුංග මහතාගේ සිදත් සඟරා විවරණය සිංහල ව්‍යාකරණය පිළිබඳ ගවේෂණවල ප්‍රතිඵලයක් විය. එහි සංඥාපනයේ ඔහු මෙසේ පැවසිය.

‘සිදත් සඟරාව පැරැණි යැ, මහාස්වාමි කෙනකුන් විසින් කරන ලද්දේ යැ, අප සිංහල ව්‍යාකරණය උගත්තේ එයින් යැ, එහි දොසක් වුවත් පෙන්නා දීම ගුරු ද්‍රෝහී කමෙකැ’ යනු ඇතැමුන් සිතන පරිදි යිග විවරණය සපයද්දී මෙ බඳු සිතුම් එකකුත් අප සිතට නොනැඟුණු බව පළමු කොටැ මැ කියම්හ.

1920 – 30 දශක පමණ වන විට සිංහල ඉගැන්වීම සඳහා භාවිත වූයේ සිදත් සඟරාව පදනම් කර ගනිමින් ඒ අනුව සම්පාදිත පාසල් ව්‍යාකරණ ග්‍රන්ථ ය. ඩි. ඊ. ජොහැන්නස්ගේ සිංහල භාෂාවේ ව්‍යාකරණය (1912) සයිමොන් ද සිල්වාගේ ශබ්දානුශාසනය (1929) සහ තියඩෝර් පෙරේරා දෙව්ගැතිතුමාගේ සිංහල භාෂාව (1932) යන පොත් එකල බෙහෙවින් භාවිත වූ පාඨශාලයීය ව්‍යාකරණ ග්‍රන්ථ විය.

සිංහල වැනි නූතන භාෂාවක් ඉගැන්වීම සඳහා සියවස් ගණනාවක් පැරණි ව්‍යාකරණයක් යොදා ගැනීමේ අනිෂ්ට විපාක පවා පෙන්නා දෙමින් සිංහල භාෂාව සඳහා නව ව්‍යාකරණයක අවශ්‍යතාව කුමාරතුංග මහතා අවධාරණය කළේය. එම ප්‍රයත්නයෙහි මුල් ම ප්‍රතිඵලය වූයේ 1936 දී කුමාර ව්‍යාකරණය’ නමින් ග්‍රන්ථයක් පළ කිරීම යි. මේ කෘතිය පිටු පන්සිය ගණනකින් සම්පූර්ණ කිරීමේ අපේක්ෂාව ඇතිව ආරම්භ කළ විශාල කෘතියක් වුවත් පළ වූයේ පළමු කාණ්ඩය පමණි. එහි ප්‍රථම භාගයට ඇතුළත් වූයේ අක්ෂර කාණ්ඩය, පද කාණ්ඩය’ යන කොටස් පමණි. එමෙන්ම අක්ෂර මාලාව, අක්ෂර විධි, අක්ෂර සන්ධි යන කොටස් යටතේ ඇතුළත් කළ අභ්‍යාස ප්‍රශ්න රාශියක් ද එයට එක් කළේය.

සිදත් සඟරාව ඇතුළු පාරම්පරික ව්‍යාකරණ ශාස්ත්‍රයෙහි දැක්වුණු බොහෝ වියරණ විධි විමසුමට ලක් කෙරෙන ප්‍රශ්න ඒ අතර විය. එමෙන්ම, පුරාණයේ දී පන්සල්වල සිංහල ඉගැන්වීමේ දී යොදා ගැනුණු හෝඩිය, නම් පොත, මඟුල් ලකුණ, සහිසකස්කඩ, යන පොත් ශෝධනය කොට පළ කළ කුමාරතුංග මහතා එම පොත් වෙනුවට දරුවන්ට අකුරු උගන්නට උපකාරි වන අකුරු සැහැල්ල’ (1935) නමින් අලුත් පොතක් ද පළ කළේය.

ව්‍යාකරණ රීති ආදිය පිළිබඳව කුමාරතුංග මහතා දැරූ මත ද වරින් වර වෙනස් විය. සිංහල භාෂාවේ ව්‍යාකරණ විධි අරබයා විවරණ පොත්වල දැක්වූ ඇතැම් අදහස් ඔහු පසුකාලීනව වෙනස් කළේය. භාෂාව හා ව්‍යාකරණය පිළිබඳ නව අර්ථකථන ලබා දුන්නේය. මේ බව ඔහු ලියු විවරණ ග්‍රන්ථවලින් ද අනෙකුත් ලේඛනවලින් ද පැහැදිලි වේ. 1935 දී මයුර සන්දේශ විවරණය’ සඳහා ඔහු ලියූ සංඥාපනයේ මෙසේ පැවසීය.

ව්‍යාකරණ රීති ආදිය පිළිබඳ අප ගේ හැඟීම් කලින් කල වෙනස් වෙයි. අප ඉඳුරා මගෙකැ යවන්නට තරම් වන වහලක් නො ලැබෙන හෙයිනි. කවුරුන් කුමක් කියා ගැරැහුව ද, අප වරක් ගත් මත වැරදි බව පෙනුණු විටැ, එය හැරැ දමා, නිවැරදි මතයෙහි පිහිටන්නට අප ගේ මඳ වූ ද මැළි කමෙක් නැති (37-38 පිටු).

සිංහල භාෂාවට ම විශේෂ වූ ව්‍යාකරණ රීති උසස් කොට සැලකු කුමාරතුංග මහතා ව්‍යාකරණය ඒ ඒ භාෂාවේ ව්‍යවහාරයෙන් විනිශ්චය කරනු ලැබේ” යන පදනමෙහි පිහිටා සිටිමින්, සිංහල ව්‍යාකරණය සදහා පිටු 411කින් යුත් නව ව්‍යාකරණ ග්‍රන්ථයක් 1938 දී ව්‍යාකරණ විවරණය හෙවත් සිංහල භාෂාවේ ව්‍යාකරණය නමින් ලියා පළ කළේය.

ව්‍යාකරණය අරබයා ඔහුගේ ආකල්පය සහ ව්‍යාකරණ ග්‍රන්ථයක් රචනා කිරීමේ දී ඔහු අනුගමනය කළ ප්‍රතිපත්ති කවරේද යන්න ව්‍යාකරණ විවරණයේ සංඥාපනයේ පැහැදිලි ව දක්වා සිටියේය. ‘‘භාෂාව පිළිබඳ නිරවද්‍ය ව්‍යවහාරය දක්වන්නා වූ නීති ශාස්ත්‍රය ව්‍යාකරණ නමි’’ යනුවෙන් පැවසූ ඔහු ‘‘ශිෂ්ට වූ ජන සමාජයේ භාෂාවට ව්‍යාකරණය අතිශයින් අවශ්‍ය යැ” යි අවධාරණය කළේය. සමකාලීනව විල්හෙල්ම් ගයිගර් වැනි පඬිවරුන් සිංහල භාෂාවේ ඉතිහාසය ව්‍යාකරණ ග්‍රන්ථයකට ඇතුළත් කර තිබූ අවදියක දී ව්‍යාකරණ විවරණය’ ලියා පළ කරමින් කුමාරතුංග මහතා වැඩිදුරටත් පෙන්නා දුන් කරුණක් වූයේ සිංහල භාෂාවේ ව්‍යාකරණය හෙළි කිරීමේ දී භාෂා ව්‍යවහාරය පරික්ෂා කිරීමේ වැදගත්කම යි. ‘‘ව්‍යාකරණය ඒ ඒ භාෂාවේ ව්‍යවහාරයෙන් විනිශ්චය කරනු ලැබේ. එ හෙයින් ව්‍යාකරණ කාරයා විසින් කළ යුත්තේ තමා ව්‍යාකරණය සපයන භාෂාවේ ව්‍යවහාරය බලා, අලළා, පෙරා, කිරා, පිඬු කොටැ දැක්වීම යි.” යනුවෙන් ව්‍යාකරණඥයාගේ කාර්යභාරය කුමක්ද යන්න පැහැදිලි කර දුන්නේය. සියලු වාග් ප්‍රයෝගයන් විමසා සම්පාදනය කෙරෙන ව්‍යාකරණ ග්‍රන්ථයකින් ආධුනිකයන්ට ඇති වන පහසුව පිළිබඳව අවධානය යොමු කළ කුමාරතුංග මහතා ‘‘ශිෂ්ට භාෂාව ව්‍යාකරණය නම් වූ භාෂා නීතියෙන් රැකේ” යනුවෙන් දක්වමින් ව්‍යාකරණානුකුල භාෂා ව්‍යවහාරය වෙනුවෙන් පෙනී සිටියේය.

සිංහල භාෂා ව්‍යවහාරයේ ශිෂ්ට ප්‍රයෝග’ පෙන්නා දීමටත් අශිෂ්ට ප්‍රයෝග’ බැහැර කිරීමටත් කුමාරතුංග මහතා විශේෂ පරිශ්‍රමයක් දැරීය. සිංහල භාෂාව නිවැරදි ලෙස භාවිත කිරීම සඳහා ශිෂ්ට ප්‍රයෝග’ රැක ගැනීමේ වැදගත්කම ඔහු පෙන්නා දුන්නේ මෙසේය. 

පළමු වන රාජසිංහ රජුගේ කාලයෙන් පසු ලංකාද්වීපයෙහි ශාස්ත්‍රාලෝකය පසු බස්නට පටන් ගෙන, ක්‍රමයෙන් එය අන්තර්ධාන වැ ගියාක් මෙන් වූයෙන්, මෑත කාලයෙහි ශිෂ්ට ප්‍රයෝගයන් වෙනුවට දුෂ්ටප්‍රයෝගයෝ බහුල වූහ. භාෂාවගේ ශිෂ්ටත්වය ද අඛණ්ඩ ප්‍රවෘත්තිය ද වනුයේ, එබඳු කලංකයන් බැහැරැ කිරීමෙනි. (අමාවතුරු විවරණය - ද්විතීය භාගය, 39 පිටුව).

ඒ අනුව උගතුන්ගේ ද අනවධානය නිසා බොහෝ කලක් මුළුල්ලේ සිංහල ලේඛන ව්‍යවහාරයේ භාවිත වූ අව්‍යක්ත අශිෂ්ට ප්‍රයෝග රැසක් ඔහු අතින් ශෝධනයට ලක් වූ අතර ඒ වෙනුවට භාෂාවේ ශිෂ්ට ව්‍යවහාරය විවරණ ග්‍රන්ථ මාර්ගයෙන් පෙන්නා දුන්නේය. එසේ ම කිසියම් ලේඛනයක සුදුසු තැන පද බෙදා, විරාම ලකුණු යොදා රචනාවක් ලිවීම ශාස්ත්‍රානුකූලව ආරම්භ කළේ කුමාරතුංග මහතා විසිනි. සිංහලයෙහි පද බෙදීම අරබයා ලේඛකයන් අතර නිසි සම්මතයක් නොතිබූ යුගයක ඒ පිළිබඳ සම්මතයක් ඇති කිරීමට එම ප්‍රයත්න හේතු විය. ‘‘නීරස වූ, අප්‍රාණික වූ, අව්‍යාකරණීය වූ පහත් තත්ත්වයෙන් සිංහලය නඟා රසවත් වූ, උදාර වූ ඔජස්වී ගුණ සම්පන්න වූල ව්‍යාකරණානුකුල වූ ප්‍රාණවත් වූ තත්ත්වයට ගෙනැ ඒම ඔවුන්ගේ ජීවිතයෙහි පරමාපෙක්ෂාව වූ සේ යැ” යි කුමාරතුංග මහතාගේ සමකාලින මිත්‍රයකු හා සගයකු වූ ජයන්ත වීරසේකර මහතා 1936 දී පැවසීය.

සිංහල භාෂාවේ ආඛ්‍යාතය නිරවුල් කිරීම සඳහා කුමාරතුංග මහතා දැරූ පරිශ්‍රමය ද සිංහල ව්‍යාකරණය පිළිබඳව සිදු කළ ගවේෂණ අතර මුල් තැනක් හිමි කර ගනී. සිංහල ක්‍රියා පද අකාරාදි පිළිවෙළට පෙළ ගස්වා ඒවා වෙන වෙන ම වරනැගෙන අන්දම සහ ඒවා අයත් ගණය පෙන්නා දීම සදහා සම්පාදනය වූ කෘතියක් ලෙස ක්‍රියා විවරණය’ (1939) ද දැක්විය හැකිය. එසේම, සිංහල ව්‍යාකරණයට අදාළ බොහෝ කරුණු ගණනාවක් මුල් වරට හෙළි කරන ලද්දේ කුමාරතුංග මහතා විසිනි. නිදසුන් ලෙස ගතහොත්, අ’ යන්නෙහි සවෘත - විවෘත භේදය, ස්වරයන්ගේ නම්‍ය - අනම්‍ය භාවය හා අනම්‍යාදේශය, සිංහලයෙහි ඇත්තේ විභක්ති සයක් පමණෙකැයි ද එම සය ද පළමු වන දෙ වන තුන් වන සතර වන පස් වන ස වන යන නම්වලින් ගත යුතු බව ආදී කරුණු ශාස්ත්‍රානුකුලව පෙන්නා දීම කළේය.

සිංහල ව්‍යාකරණය සම්බන්ධයෙන් කුමාරතුංග මහතා පළ කළ ඇතැම් අදහස් මුල දී සමකාලීන විද්වතුන්ගේ මහත් විවේචනයට හේතු වූ නමුදු පසුව ඒ පිළිබඳව වැඩි දෙනෙකුගේ අවධානය යොමු වූ බව කිව යුතුය. සිංහල නිපාත විවරණයක් ද ලියා සම්පූර්ණ කොට ඇති බව සඳහන් වෙතත් එය ප්‍රකාශයට පත් වූ බවක් නොපෙනේ. සිංහල ව්‍යාකරණය අරබයා ඉංග්‍රීසියෙන් ග්‍රන්ථයක් රචනා කිරීමට ඔහු ප්‍රයන්ත දැරූ නමුදු එම පොත ද පළ නොවිණි. 1939 දී සුබස සඟරාව ඇරඹීමත් ඉන්පසුව 1941 දී හෙළ හවුල සංවිධානය පිහිටුවීමත් සමඟ සිංහල භාෂා විෂයක ගවේෂණවල යෙදෙන්නට කුමාරතුංග මහතාට වැඩි කාලයක් නොලැබුණු බව පෙනේ. කලක් තිස්සේ රෝගීව සිටි කුමාරතුංග මහතා 1944 මාර්තු මස 2 වනදා මෙලොවින් සමු ගත්තේය. ඔහුගේ අභාවය නිමිත්තෙන් මාර්ටින් වික්‍රමසිංහ මහතා 1944 මාර්තු 3 වන දා දිනමිණ පුවත්පතට ලියු කතුවැකියක මෙසේ සදහන් විය.

‘‘සිංහල භාෂා සාහිතයේ නව යුගයක් උදාවන මේ අවදියෙහි මුනිදාස කුමාරණතුංග මහතාගේ අභාවය මහත් පාඩුවකි. කුමාරණතුංග මහතා සිංහල භාෂා සාහිත්‍යය උදෙසා කළ සේවය ගැන මතභේද පවතින නමුත් ඒ මහතා සිංහල භාෂාව කෙරෙහි බලවත් ඇල්මකින් මඬනා ලද සිත් ඇතිව තමාගේ මුළු කාලය ද විශ්‍රාමය ද බුද්ධිය ද ඒ සදහා යෙදුවෙකි යි යන්න ගැන කිසිම මතභේදයකට ඉඩ නැතිය. 12, 13 වන ශත වර්ෂවල ග්‍රන්ථකාරයන්ගේ ශිෂ්ට සිංහලය ද එහි ව්‍යාකරණය ද අරබයා කුමාරණතුංග මහතාගේ දැනුම අද්විතීය එකක් විය. ඒ දැනුම පැරණි පතපොත සංස්කරණයටත් පැරණි භාෂාවෙහි වියරණ විධි හෙළි කිරිමටත් යෙදීමෙන් කුමාරණතුංග මහතා තෘප්ත නොවීය.

13 වන ශත වර්ෂයෙන් මෙපිට සිදු වුණු භාෂා විපර්යාසයන් නොතකා පැරණි වියරණ අනුව වර්තමාන භාෂාව ද සකස්වනු දැකීමට කුමාරණතුංග මහතා තුළ හටගත් ආශාව නිසා ඒ මහතාගේ උද්‍යෝගය උමතුවක් යයි කිව යුතු තරම් සීමාව ඉක්මවීය.’’

0 comments: