Hot!

මොණරවිල කැප්පෙටිපොලත් ඩීල් කාරයෙක්

තමන්ට සිරගත කර සිටින කැප්පෙටිපොළ, අවස්ථා කිහිපයකදීම හමුවුණු බව වෛද්‍ය හෙන්රි මාර්ෂල් කියනවා. ඒ අවස්ථාවලදී තමන් වැරැදි දෙකක් කළ බව කැප්පෙටිපොළ මාර්ෂල්ට කියනවා.
ක්‍රිසන්ති විතාරණ

මාධ්‍යවේදී මලික් චමින්ද විසින් රචිත ,‘18 පරපුර 1818 වෙල්ලස්ස නිදහස් සටනේ වර්තමානය සොයා ගිය ගමන’, ඌවේ ඉතිහාසය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරමින් රචනා වූ ගමන් විත්ති කෘතියකි. මේ එම කෘතිය පිළිබඳ ලේඛකයා සමඟ කළ කතාබහකි.



 ‘18 පරපුර, ඉතිහාසය පිළිබඳ වෙනස් ලියැවීමක්. මොකක්ද මේ වෙනස?

ඔබ කියන විදියට මෙය ඉතිහාස පොතක්. ඒත් වෙනස්. ඉතිහාසය ගැන මට උනන්දුවක් තියෙනවා. පොත් පත් කියවලා මූලාශ්‍රවලින් ලබා ගත් දැනුමක් තිබෙන බවත් ඇත්ත. ඒත් එය ඉතිහාස සම්ප්‍රදාය ගැන ගැඹුරට හදාරලා ලබාගත් දැනුමක් නෙමෙයි. ඒ නිසා, ඉතිහාසඥයකුට තරම් ඉතිහාසය ගැන ලියන්න මට සාධාරණ අයිතියක් නැහැ කියලයි මම හිතන්නේ. උඩරට අරගලය පිළිබඳ පසුගිය කාලයේ ලියැවුණු පොත් පත් සැලකිය යුතු සංඛ්‍යාවක් තිබෙනවා. ඒ අතරින්, ආචාර්ය පෝල් ඊ. පීරිස්, මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද වැනි විද්වතුන් ලියූ පොත් ඉතාමත්ම වැදගත්. ඔවුන් විධිමත්ව ඉතිහාසය පිළිබඳ හදාරලා, ඉතිහාසය ගැන මනා දැනුමක් ලැබූ පුද්ගලයෝ. මම මාධ්‍යවේදියෙක්. මම කරන්නේ සංචාරයක්. ඒ තුළ මට යම් යම් ස්ථාන මුණ ගැහෙනවා. ඒ ස්ථානවල තිබූ ඉතිහාස කතන්දර එකතු කිරීමක් තමයි මම කරන්නේ. මෙහිදී පොත් පත්වල ලිඛිත සාධකවලට අමතරව, ගම්වල ජනතාවගේ ජනශ්‍රැති හා ජනවහර මම ප්‍රයෝජනයට ගන්නවා. සංචාරකයෙක් විදියට දැක්ක දේ, එදා තිබුණු දේ අද කොහොමද තියෙන්නේ? කියන එක සංසන්දනය කිරීම තමයි මම කරන්නේ.

සංචාරකයෙක් ලෙස ඔබ ලබා ගන්නා මූලාශ්‍ර, පොතක අන්තර්ගතය වන තරමට විශ්වාසය තහවුරු කර ගත්තේ කොහොමද?

1818 අරගලයට පසුගිය වසර වෙද්දි වසර 200 ක් පිරුණා. ඒ වන විට මේ රටේ නිර්මාණකරුවන් සහ විවිධ පුද්ගලයන් ගේ පවා මේ සම්බන්ධයෙන් උනන්දුවක් ඇති වුණා. ඌව වෙල්ලස්ස කියන්නේ ලංකාවේ දරිද්‍රතාවෙන් වැඩි වශයෙන් ම පීඩාවට පත් වුණු කලාපයක්. ‍මුලින් කියපු උනන්දුවත් සමඟ සිදු වන අනෙක් දේ, රටේ මිනිස්සු ඔවුන් සොයාගෙන එනවා කියලා මේ ප්‍රදේශයේ මිනිස්සුන්ටත් දැනෙනවා. මේ නිසා මම ඔවුන් සොයාගෙන යනකොට, අරගලකරුවන්ට නැති නෑදෑයෝ පිරිසක් ඇති වෙලා. සමහර වීරයන්ගේ පරම්පරාවලට නෑදෑකම් හදා ගත් පිරිසක් ඉන්නවා. ඔවුන් ගේ අයිතිය කියන්න තවත් පිරිසක් ඉන්නවා. මම ඔවුන් හමුවෙලා මෙහෙම වැඩක් කරනවා කිව්වහම, මුලදී ඒ ස්ථාන බලා ගන්න ඉන්න අය කියලා කියන අය, ටික වෙලාවකින් නෑදෑකමක් හඟවනවා. ඒත්, අතරමඟදී , මම වගේ අය එන බව දැන ගත්තහම, ඒ මිනිස්සු මේ විදියට සූදානම් වෙලා ඉන්න බව දැන ගන්න ලැබෙනවා.

ඔබ අහනවා කොහොමද එහෙනම් විශ්වාසය තහවුරු කර ගන්නේ කියලා. අපි දන්නවා 18 අරගලය අවස්ථාවේ ඉංග්‍රීසින් මේ පළාත සම්පූර්ණයෙන් විනාශ කළා. මිනිසුන් ගම් පිටින් ගිනි තියලා, කුඩා දරුවෝ පවා මරා දැම්මා. එතැනින් බේරිලා පානම වැනි ප්‍රදේශවලට ගිහින් ආපසු ආව පිරිස් ඉන්නවා කියලා පිළි ගැනීමක් තියෙනවා. මෙතැන පරම්පරා හයක විතර කාලයකුත් තියෙනවානේ. මේ සියල්ල සත්‍යම සොයා ගැනීමේදී ගැටලු ඇති කරනවා.

අනෙක් කරුණ, මේ සටන රහසිගතව සංවිධානය වුණ එකක්. වෙන්නෙ මොනවද කියලා දැනගෙන හිටියෙත් කිහිපදෙනෙක් විතරයි. ඒ පිරිස් මිය ගියාට පස්සේ, ඒ රහස් සියල්ල විනාශ වෙනවා. ඒ නිසා, මෙතැනදි හරියටම වුණේ ‍මේකයි කියන්න අමාරුයි. මේ වගේ දේ නිවැරැදි කර ගන්න වෙන්නේ, මීට පෙර මේ සම්බන්ධයෙන් ගවේෂණය කළ පිරිස් මඟිනුයි. ඒ සමඟ ම, අපේ රටේ පැරැණි ගම්වල ජනමත නායකත්වය දැරූ පිරිස් ඉන්නවා. පන්සලට, පාසලට සම්බන්ධ පිරිස් ඔස්සේ, තොරතුරු ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වෙනවා.

මෙහිදී, අමාරුවෙන් කැළෑ වැදිලා බේරුණු පරම්පරාවක් දෙකක් ඉන්න බව නම් තහවුරු වෙනවා. හිටිහාමිගේ පරම්පරාව ඉන් එකක්. එක් දහස් නවසිය හැට ගණන්වල "රසවාහිනී" සඟරාවක, මේ පරම්පරාව සොයා ගත් විස්තර වගයක් තිබෙනවා . මේ වගේ සාක්ෂිවලින් තමයි මම විශ්වාසය තහවුරු කරන්නේ. අනෙක ජනශ්‍රැති. ඒවා බොරු කියලා බැහැර කරන්න බැහැනේ. රහසිගතව සිදුවුණු දේ, ජනශ්‍රැති මඟින් තමයි ගොඩ නගාගන්න වෙන්නේ. හැබැයි 18 අරගලයේදී "ඩීල්" දාපු රදල පරම්පරා ටික නම් ඉතිරි වුණා.

ඉතිහාසය ගැන කතා කරද්දි නිතර ඇහෙන චරිතවලින් ඔබ්බට ගිහින්, මේ පොත තවත් චරිත ගැන කතා කරන්න උත්සාහ කරනවා නේද?

අපි හැමදාමත් ඉතිහාසය අහන්නෙ දකින්නේ ප්‍රභූ දෘෂ්ටියකින්.18 අරගලයේ විතරක් නෙමෙයි. දුටුගැමුණු රජතුමා, පරාක්‍රමබාහු රජතුමා වැනි මහා චරිත කළ දේ කතා කළාට, සැබෑ වීරයෝ මේ අතර හැංගිලා. බලය තිබුණු තැන, රදළයෝ ගැන තමයි හැමදාමත් කතා කළේ. සමහර විට අද තියෙන තත්ත්වයමත් එයම වෙන්න ඇති. බලපුළුවන් කාරයන් සතුටු කරන්න, ඉතිහාසය ලියූ ලේඛකයෝ උත්සාහ කරන්න ඇති. වෙල්ලස්ස අරගලය ගත්තහම, කැප්පෙටිපොළගේ නායකත්වය ගැන කතා කෙරෙනවා. ඒත්, සටන් ආරම්භ වෙනකොට කැප්පෙටිපොළ හිටියේ ඉංග්‍රීසීන් එක්කයි. සමහරු කියනවා අරගලකරුවන් සමඟ හොර රහසේ ගනුදෙනු කරමින් හිටියා කියලා. බොහෝ වෙලාවට එය ඔප්පු වන තැනුත් හමු වෙනවා. හැබැයි අරගලය ඉස්සෙල්ලම ආරම්භ වන්නේ, කිවුලේගෙදර මොහොට්ටාල, බුටාවේ රටේරාල වැනි අය මල්වතු විහාරයේ සිටි හාමුදුරු කෙනෙක් සිවුරු ඇරවලා, රාජධුර අපේක්ෂකයා ලෙස පත් කරලා, නායකත්වය දීම මඟිනුයි. මේ අතර හිටියේ සාමාන්‍ය ජනතාව. ඊ ළඟට බින්තැන්නේ වැදි ජනතාව. පසු කාලීනව මෙය ජයග්‍රහණයක් විදියට යද්දී තමයි, අර පිරිස් මතුවෙන්නේ.

මේ ප්‍රභූ පිරිස් මෙතන්ට රිංගලා, ජන සටන අවුල් කළා. මිනිස්සුන්ගේ අවංක කැප කිරීම ඔවුන් විනාශ කළා. ප්‍රභූවරු තමයි ඉතිහාසය පුරාම අපට වැඩි වශයෙන් විනාශ කිරීම් කරලා තිබෙන්නේ. හැබැයි ඔවුන් ගැන වැඩියෙන් කතා කරනවා. ජනතාවගේ කැප කිරීම් ගැන කතා කරන්නේ නැහැ. මහා වෙහෙර විහාර හැදුවා වුණත්, ඒ පිටුපස සාමාන්‍ය මිනිසුන් ගේ කැප කිරීම් කතා කළේ නැහැ. තවමත් අනුරාධපුරයට ගියාම, ප්‍රභූන් ගොඩනැගූ මාලිගාවල නටබුන් පවා දකින්න ලැබෙනවා. ඒත්, ජන ජීවිත අදටත් පැල්පතේ. එතැන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා මට, හැමදාම ප්‍රභූන් ගැනම කතා කරන ඉතිහාසය වෙනුවට, ජනතාව කළ දේ කතා කරන්න අවශ්‍ය වුණා. ඒකට හේතුව, සැබෑ වීරයෝ හැමදාම මැරෙන්න දෙන්න බැරි නිසයි.

ඔබ කියන්නේ, ජාතික වීරයෝ ලෙස නම් කළ ඔවුන් "ඩීල් කාරයෝ" කියල ද?

අරගලයට පස්සේ එක්වුණු ප්‍රභූවරු ගැන ගැටලු රැසක් තිබෙනවා. බලන්න කැප්පෙටිපොළ. තමන්ට සිරගත කර සිටින කැප්පෙටිපොළ, අවස්ථා කිහිපයකදීම හමුවුණු බව වෛද්‍ය හෙන්රි මාර්ෂල් කියනවා. ඒ අවස්ථාවලදී තමන් වැරැදි දෙකක් කළ බව කැප්පෙටිපොළ මාර්ෂල්ට කියනවා. එකක් තමයි දොරේසාමිගේ පළමු අදිකාරම් ධුරය ගැනීම. දෙවැන්න ආයුධ භාරදී යටත් වන්නැයි කී අවස්ථාවේ, ආයුධ භාර නොදීම. මේ සියල්ල පෙර කර්මයට සිදු වන බවත් කියනවා. මේ සියල්ලටම වඩා වැදගත් දේ තමයි, මාර්ෂල් හරහා ඔහු ඩොයිලි හා බ්‍රවුන්රිග්ට ලිපි යැවීම. ඔහු, තමන් නොමරා රටින් පිටුවහල් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. කැප්පෙටිපොළ ගැනත්, අනෙක් රදළයෝ ගැනත්, මේ වගේ අවස්ථා ගණනාවක් තියෙනවා.

මඩුගල්ලේ, පිළිමතලව්වේ දෙන්නත් එහෙමයි. මේ දෙන්නා එකතුවෙලා තමයි ජයග්‍රාහීව ගිය සටන ඉදිරියට යද්දි , දොරේසාමි සුර්ය වංශයේ නෙමෙයි කියලා සටන අවුල් කරන්නේ. ඇහැලේපොළට, කපුවත්තේට සහ ඔහුට බේරෙන්න දෙනවා නම් කැප්පෙටිපොළ හා දොරේසාමි පාවා දෙන්න පුළුවන් කියලා මෙතැනදි පිළිමතලව්වේ බ්‍රවුන්රිග්ට ලිපි ලියනවා.

මේ වගේ ඩීල් හැම තැනම තිබිලා තියෙනවා. ඒක තමයි අදටත් පවතින්නේ. අදත් උඩින් තියෙන්නේ වෙනම කතාවක්. ඒත්, ඇත්ත සම්පූර්ණයෙන් වෙනස්. 18 අරගලයේ විතරක් නෙමෙයි, අපේ ඉතිහාසය පුරාවටම ඩීල් තියෙනවා. මේ ප්‍රභූවරුන් හැමදාම කළේ ඩීල් මත යැපීමයි. අහිංසක ජනතාව ඒවාට බිලි වුණා. 18 අරගලයේදී විතරක් නෙමෙයි, අදටත් ඩීල් නිසා තමයි රට අවුල් වෙලා තියෙන්නේ.

ඔබ මේ පොතෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ, ඉතිහාසය ගවේෂණය කිරීමද? එහෙමත් නැත්නම් මේ පොත හරහා ඉතිහාසය සමාජයට සමීප කරවීමට ද?

මුල්ම කාරණය තමයි, නිදහස ලබා වසර හැත්තෑ ගණනකට පස්සෙ තමයි, අපට මොවුන් වීරයෝ විදිහට පිළිගන්න පුළුවන් වුණේ. එතකම් , ද්‍රෝහියෝ කියලා නම් කරලා තිබුණු මේ පිරිස, ඉන් ගලවා ගන්න කාටවත් වුවමනාවක් තිබුණේ නැහැ.මගේ අරමුණ වුණේ, මුලින් කියූ හැංගුණු පරම්පරා ටික ඉස්සරහට ගන්නයි.

මෑතක තිබූ 1818 අරගලය සම්බන්ධ උත්සවවල පවා අපි දැක්කේ, අර ප්‍රභූ පුද්ගලයන් ගැන කතා කරනවා විතරයි. ඔවුන්ට උපහාර උත්සව පැවැත්වෙනවා. මාධ්‍යවලින් කතා කරනවා. කොටින්ම කියනවා නම්, ඩොයිලි, බ්‍රවුන්රිග් ගැනත් කතා කරනවා. ඒත්, අර මිනිස්සු ගැන කතා කරන්න කෙනෙක් නැහැ.

මේ වසර 200 ක් වෙද්දි ඒ කතා නොවුණු පිරිස ගැන කතා කරන්නයි මට අවශ්‍ය වුණේ. දැනට මම ඒක කළත්, ඉදිරියට මීට වැඩිය ලොකු දෙයක් කළ යුතුයි කියන වුවමනාව මට තියෙනවා.

ඒ කියන්නෙ මීට වඩා විස්තරාත්මක පොතක්. මෙහි තියෙන්නේ ඉතා පොඩි ප්‍රමාණයක්. මේ කාර්ය කරගෙන යන්න, බොහෝ කැප කිරීම් කළ යුතුයි. දැනට තියෙන දැනුමෙ හැටියට, තොරතුරු ගවේෂණය සඳහා රටවල් තුන හතරකටවත් යන්න වෙනවා . ඒකට හේතුව, සමහරු මැරුණේ වෙන රටවල. සංචාරකයෙක් විදියට ලිව්වත් ඉන්දියාව, මුරුසිය වගේ රටවලට යන්න වෙනවා.

මේ සොයා යන ඉතිහාසය, අනාගතයට අවශ්‍යද?

අපේ ඉතිහාසයේ මුල් කොහෙද කියන දේ දැන ගැනීම තරුණ හෝ ළමා පරම්පරාවේ පෞර්ෂය ගොඩ නැගීමට ඉවහල් වෙනවා. අවාසනාවකට 1972දී ඉතිහාසය සහ සාහිත්‍ය විෂයන් පාසලෙන් කප්පාදුවකට ලක් වුණා. දැන් යම් පමණක උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. ප්‍රශ්නය වෙන්නේ, අපි ඉතිහාසය කියා බොහෝ විට අහන්නේ යුද්ධ, ජාති බේද, ගැටුම් වැනි සෘණාත්මක සිදුවීම්. ඒ මානසිකත්වයෙන් බලලා, ඉතිහාසයට ජාතිවාදී ලේබලයක් අලවනවා. ඉතිහාසයෙන් ගත යුතු දේ ගත්තේ නැහැ. වටිනා මානව ධර්මතා ගත්තේ නැහැ. මේ දේ තමයි අපි ඉතිහාසය කියා වරද්දා ගත් දේ. ඉතිහාසය මඟිනුයි, අපේ අනන්‍යතාව හැදෙන්නේ.

උපුටා ගැනීම: දිනමිණ 

0 comments: