Hot!

‘ඛේමාගේ කොලූවා’ මැතිවරණ වසරක - නිර් මැතිවරණ අයවැයක් සමගින්





- ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන -

මැතිවරණ වසරක නිර් මැතිවරණ අයවැයක්

2019 අයවැය ඉදිරිපත් කිරීමට පෙරාතුව, එය මැතිවරණය එල්ල කර ගත් අයවැයක් වනු ඇතැයි බොහෝ දෙනා කීහ. මේ වසරේ අඩු වශයෙන් මැතිවරණ දෙකක් පැවැත්වීමට නියමිතව ඇති තත්වයක් තුළ, ‘ඛේමාගේ කොල්ලා’ නමින් දැන් හැඳින්වෙන මුදල් ඇමති මංගල සමරවීර, ඡන්දදායකයාගේ හිත දිනා ගනු වස් සීනිබෝල මල්ලක් අයවැයට එල්ලිය යුතු බවට පක්ෂ සගයන් දරන අදහසට යට වෙතැයි බොහෝ දෙනා සිතූහ. බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගත් දා සිට ලංකාවේ චිරාත්කල් පැවති ප‍්‍රතිපත්තිය වුණේ එයයි.

පාලක පක්ෂයක් සාමාන්‍යයෙන් කරන්නේ රටේ ආර්ථිකයත්, වෙනත් වැදගත් ප‍්‍රශ්නත් ගැනත් සිය පාලන කාලයෙන් වැඩි හරියක් වගේ වගක් නැතිව සිට, මැතිවරණයක් ආසන්නයේ හිටිහැටියේ අවදි වීමයි. ඡන්දදායකයාගේ මඩිස්සලයට ගතමනාවක් දැමීමෙන් සහ සූප්පු කරන්ට යමක් දීමෙන්, ගෙවී ගිය තම පාලන කාලය තුළ සිදුව ඇති අසාර්ථකත්වයන් වසාගත හැකි බවට විශ්වාසයක් පාලකයන්ට ඇතැයි සාමාන්‍ය විශ්වාසයක් තිබේ. මීට පෙර මේ ලිපි මාලාව තුළ මා තර්ක කොට ඇති පරිදි, එය දේශපාලනික වශයෙන් ගත්තත්, ආර්ථිකමය වශයෙන් ගත්තත්, අසාර්ථක උපායමාර්ගයකි. 

දේශපාලනිකව ගත් විට එය අසාර්ථක වන්නේ, ආණ්ඩුව පොරොන්දු වෙනවාට වඩා දෙගුණයක් දීමට විපක්ෂය පොරොන්දු වන බැවිනි. ආර්ථික වශයෙන් ගත් විට එය ආසාර්ථක වන්නේ, ආර්ථිකය තුළ පවතින සම්පත් සීමිත වන තත්වයක් තුළ, පොරොන්දු වූ දේවල්වල වියදම දැරීමට තරම් ශක්තියක් ආර්ථිකයට නැති බැවිනි. එහෙත් ජනතාවගේ ඔළු හදා ඇත්තේ වෙනත් ආකාරයකට ය. එනම්, අයවැයක් යනු තමන්ට සහන සැලසීම වගකීමක් කර ගත් ලියවිල්ලක් වශයෙන් සැලකීමට පුරුදු කිරීමෙනි. එහි ප‍්‍රතිඵලය වන්නේ, අයවැයක් ළඟ එන විට ජනතා අපේක්ෂාවන් ද එක පිම්මේ ඉහළ යාමයි. 

2019 අයවැය ඉදිරිපත් කළ සැණින්, ‘ඩේලි එෆ්.ටී’ පුවත්පත සඳහා ‘පෙපර්කියුබ් උපදේශන සමාගම’ පැවැත්වූ සමීක්ෂණයක්, එම සමීක්ෂණය සඳහා සහභාගී කර ගත් පිරිසෙන් සියයට 97 ක් අයවැයෙන් තමන්ට සහනයක් සැලසෙතැයි අපේක්ෂාවෙන් සිටි බව සොයාගෙන තිබුණි. එවැනි තත්වයක් තුළ, පරිභෝජනවාදී සෘජු රසකාරක අඩංගු නැති අයවැයක් ඉදිරිපත් කිරීමෙන්, ‘ඛේමාගේ කොලූවා’ ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කළාට සැක නැත. 

මැතිවරණ සමයක ඉදිරිපත් කෙරෙන අයවැයක් තුළ සහන මල්ලක් තිබේ

සාමාන්‍ය පාරිභෝගිකයන්ට ‘සහන මල්ලක්’ ගෙන එන අයවැයක්, මැතිවරණ අයවැයක් වන්නේය. ලූණූ, පරිප්පු, භූමිතෙල්, ටින්මාළු සහ හාල්මැස්සන් ආදිය ඒ මල්ලේ ඇත. මෙවැනි කාලයක ඒවායේ මිල අඩු කරන්නේ ඒ සඳහා පනවා තිබුණු ආනයන බදු අඩු කිරීමෙනි. එනම්, ඊට කලින් ඒවා සඳහා ඉහළ බදු පනවා තිබී ඇති බවයි. මෙහිදී ආණ්ඩුව කරන්නේ, පවතින තීරුබදු ව්‍යුහය, ළඟ එන මැතිවරණ වාසියක් සඳහා වෙනස් කිරීමයි. එසේ හෙයින් එය තාවකාලික වාසියක් වන්නේය. වැඩි කල් නොගොස් යළි මිල වැඩි කිරීමට ආණ්ඩුවට සිදුවෙයි. මන්ද යත්, අඩු කළ මිල ගණන් යටතේ ඒවා දිගටම සැපයීමට ආණ්ඩුවට හැකියාවක් නැති බැවිනි. 

මෙනයින් ගත් විට, සහන මල්ලක් තුළ ඇත්තේ, ඒ මොහොත සඳහා පමණක් වලංගු වන ‘නිවේදන වාසියකි.’ කාලයාගේ ඇවෑමෙන් ඒ සහන අතුරුදහන් වී, හිස් මල්ල පමණක් ඉතිරි වෙයි. එවිට විපක්ෂය කරන්නේ, එය පිරවීමට පොරොන්දු වීමයි. අතීතයේ සෑම මැතිවරණයක් ආශ‍්‍රයෙන්ම අපට අත්දකින්ට ලැබී ඇත්තේ එවැනි චක‍්‍රයකි. 

‘ඛේමාගේ කොලූවාට’ උරුම වුණේ ලෙඩ ආර්ථිකයක් ය 

2019 අයවැය ඉහත කී අර්ථයෙන් ගත් විට, මැතිවරණමය අයවැයක් නොවේ. කෘත‍්‍රීම ආකාරයෙන් මිල ගණන් පහත හෙලනවා වෙනුවට, පරිභෝජනයෙන් ආයෝජනය වෙත සම්පත් යොදා ගැනීමට එය උත්සාහ කොට තිබේ. එය, ශ‍්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අවදිය තුළ අනිවාර්යයෙන් අනුගමනය කළ යුතුව ඇති ප‍්‍රතිපත්තියකි. 

‘ඛේමාගේ කොලූවාට’ ලැබී තිබුණේ ලෙඩ ආර්ථිකයකි. ඒ ලෙඩේ, 2013 වසරේ පමණ පටන් දැක ගැනීමට ලැබුණි. මීට සති තුනකට කලින්, ලෝක බැංකුව නිකුත් කළ ‘ශ‍්‍රී ලංකාව පිළිබඳ 2019 ආර්ථික සංවර්ධන යාවත්කාලනය’ තුළ එය අගේට පෙන්වා දී තිබේ. 

ලෝක බැංකුව සිය උපායශීලී භාෂා වහර තුළ, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් වෙත ප‍්‍රබල පණිවිඩ දෙකක් නිකුත් කොට ඇත. එකක් වන්නේ, 2013 පටන් පැවත එන ආර්ථික පරිහානිය සැලකිය යුතු ප‍්‍රතිකර්මයකින් තොරව 2021 දක්වා පවතිනු ඇති බවයි. දෙවැන්න වන්නේ, රටේ ශ‍්‍රම බලකායේ පහළ වැටීම සහ ශ‍්‍රම ඵලදායීතාවේ පිරිහීම, ඉදිරි දශක දෙකක් සහ තුනක් අතර කාලය තුළ ලංකාවේ වර්ධන ශක්‍යතාව කෙරෙහි නරක අන්දමින් බලපානු ඇති බවයි. සාරාංශය වශයෙන් ගතහොත්, ශී‍්‍ර ලංකාව ඉදිරි දශක කිහිපය තුළ ධනවත් රටක් වීමේ ඉලක්කයට ළඟා වීමට නම්, එකී ප‍්‍රවණතාව නතර කොට ආපසු හරවා ගැනීම සඳහා කඩිනම් පියවර වහා ගත යුතුව ඇති බවයි.

යුද්ධයෙන් පසුව ආර්ථික උද්‍යෝගය දිගටම පවත්වා ගැනීමට අසමත් වීම

යුද්ධය අවසන් වූ සැණින් රටේ ආර්ථික ක‍්‍රියාකාරීත්වය තුළ ‘පැහැදිලි උද්‍යෝගයක්’ ඇති විය. ඒ කෙතෙක්ද යත්, සාමාන්‍ය වාර්ෂික ආර්ථික වර්ධන වේගය සියයට 8 දක්වා ඉහළ ගියේය. එසේ වෙතත්, එම කාලයේත්, ඉන් පසුවත්, ආර්ථික උපායමාර්ගය වශයෙන් අනුගමනය කෙරුණේ, රටේ වර්ධනය සහ සමෘද්ධිය සඳහා දේශීය වෙළඳපොළ මත පදනම් වන ආර්ථික ක‍්‍රමයක් මත වඩාත් කේන්ද්‍රගත වීමේ ප‍්‍රතිපත්තියකි. 

ඒ බව කැපී පෙනෙන්නේ, රටේ අපනයන පිළිබඳව ඒ කාලයේ දක්වන ලද අඩු සැලකිල්ලෙනි. දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතිකයක් වශයෙන් ගත් විට, රටේ අපනයන අංශය මේ කාලයේදී පහළ බැස්සේය. කර්මාන්ත ව්‍යාප්තිය සඳහා දේශීය වෙළඳපොළේ පවතින සීමාසහිත භාවය හේතුකොටගෙන, ඉහත කී ඉහළ වර්ධන අනුපාතිකය 2012 න් පසු එක දිගටම පවත්වා ගැනීමට නොහැකි විය. එහි ප‍්‍රතිඵලය වුණේ, ආර්ථික වර්ධන වේගය, ඊට කලින් තිබුණාට වඩා අඩකට කිට්ටු ප‍්‍රමාණයකින් පහළ වැටීමයි. 

2015 දී බලයට පත් යහපාලන ආණ්ඩුවට එකී පහත වැටෙමින් පැවති ප‍්‍රවණතාව නතර කර ගැනීමට බැරි වුණු අතර, තව තවත් වර්ධන වේගය පහළ වැටී, 2015 දී සියයට 5 දක්වා ද, 2017 වන විට සියයට 3.1 දක්වා ද එය පහළ වැටුණි. වඩාත් යහපත් තක්සේරු යටතේ පවා 2018 වර්ෂය සඳහා අපේක්ෂා කෙරුණේ සියයට 3 ක පමණ ආර්ථික වර්ධන වේගයකි. ඊළඟ අවුරුදු තුනක කාලය තුළ ඒ තත්වය තවත් නරක අතට හැරෙතැයි අනුමාන කෙරුණි. ඒ අතරේ, පහත වැටෙන අපනයනයන් සහ ඉහළ යන ආනයනයන් හේතුකොටගෙන, අපනයන ආදායමෙන් සියයට 90 ක තරම් වන විශාල වෙළඳ හිඟයක් නිර්මාණය විය. මේ හිඟය, විදේශිකයන්ට සපයන සේවාවන් (සංචාරක ආදී) සහ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් (මැදපෙරදිග ආදී) ලැබෙන ඉපැයීම් වැනි සම්ප‍්‍රදායික මාර්ගවලින් පියවිය නොහැකි වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් රටේ විදේශ විනිමය ආදායම රටේ විදේශ විනිමය වියදමට වඩා පහළ අඩියකට වැටුණි. ඒ අනුව, ගෙවීමට ඇති ණය පියවීම සඳහා තවත් ණය ගැනීමට සිදු වූ අතර, විදේශ ණය කන්දරාව ඒ අනුව ඉහළ ගියේය. අවසාන ප‍්‍රතිඵලය වුණේ, රුපියලේ අගය එන්න එන්නම අවප‍්‍රමාණ වීමයි. 

ලංකාවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ දුක්බර තත්ත්වය

රජයේ මුදල් තත්වය තිබුණේ හොඳ තත්වයක නොවේ. රජයේ ආදායම්වල සුළු වැඩි වීමක් තිබුණත්, රජය විසින් දැරිය යුතුව තිබූ පුනරාවර්තන වියදම් (වැටුප් ආදී අනිවාර්යයෙන් දැරිය යුතු නිත්‍ය වියදම) ඉතා ඉහළ අගයක් ගත්තේය. එක දිගටම බලයේ සිටි ආණ්ඩු විසින් ලබාගන්නා ලද ණය සඳහා වන පොලී අනුපාතිකයන් ඉහළ ගොස් ඇති ආකාරයෙන් එය පෙන්නුම් කෙරේ. රජය ලබාගෙන තිබූ ණය සඳහා 2015 වසරේදී ගෙවන ලද පොලී ප‍්‍රමාණය රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 4.8 ක් වූ අතර, 2018 වන විට එය සියයට 5.9 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

මේ සියලූ අහේනිවල සමස්ත ප‍්‍රතිවිපාකය වුණේ, රටේ ආර්ථික වර්ධන වේගය වේගවත් කිරීම සඳහා අත්‍යාවශ්‍ය වූ ප‍්‍රාග්ධන සම්පාදනය වෙනුවෙන් රජයෙන් සිදුවිය යුතු දායකත්වය, දළ දේශීය නිෂ්පාදිතයන් සියයට 5 ක සීමාවෙන් ඔබ්බට ගෙන යාමට ආණ්ඩුව අසමත් වීමයි. ඒ අනුව, ජනතාවට සමෘද්ධිය ළඟා කර දීමේ සම්පූර්ණ බර පෞද්ගලික අංශයේ කර මතට වැටුණි. 

2018 සඳහා ස්වකීය ප‍්‍රථම අයවැය ඉදිරිපත් කිරීමේදීත්, අට මාසයක කෙටි කාලයක් සඳහා ලොප් වූ 2019 අයවැය ඉදිරිපත් කිරීමේදීත්, ‘ඛේමාගේ කොලූවා’ ඉදිරියේ පැවති අභියෝගය එයාකාර විය. එබැවින් ඡන්දදායකයා පිනවීමේ අයවැයක් ඉදිරිපත් කිරීමට තරම් අතමිට සරු නැති නිසා, මීට කලින් තමා හඳුන්වා දුන් අයවැය විනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙය ඔහු අවස්ථාවක් කරගෙන ඇත. එය, සහන අපේක්ෂාවෙන් සිටි බොහෝ ඡුන්දදායකයන්ගේ බලාපොරොත්තු කඩවීමක් වුවත්, ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය අද පවතින තත්වය තුළ අනිවාර්ය වූ දෙයකි. 

නවෝත්පාදන-ප‍්‍රබෝධනීය අයවැයක අවශ්‍යතාව 

2019 අයවැය ප‍්‍රබෝධකාරක අයවැයක් විය යුතු බව, මීට සති දෙකකට කලින් වෙනත් ලිපියකින් මා අනතුරු ඇඟවීමක් කර ඇත. මීට පෙර සෑම අයවැයක්ම පරිභෝජනවාදී අයවැයක් වශයෙන් සැලකිය හැකිය. ඒ අයවැය වාර්තා, නව නිර්මාණ සහ නවෝත්පාදන සඳහා අඩු වටිනාකමක් දී තිබූ නිසා, සර්පිලාකාරී අඩු වර්ධන රටාවක අපි සිර වී සිටියෙමු. එහි ප‍්‍රතිඵලය වුණේ, නිදහසින් පසු කාලය සමස්තයක් වශයෙන් ගත් විට, අපේ ආර්ථික වර්ධන වේගය සියයට 4.4 කට සීමා වීමයි. ඇතැම් වසරක ඊට වඩා දියුණුවක් පෙන්නුම් කොට ඇතත්, ඒවා එක දිගට පවත්වා ගත හැකි නොහැකි වූ තාවකාලික වර්ධනයන් ය. 

මෙවැනි අඩු වර්ධනයක් නිසා, මේ කලාපයේ වෙනත් රටවල් අතරේ ශ‍්‍රී ලංකාව පස්සට තල්ලූ වී තිබේ. මේ අඩු වර්ධනයට ප‍්‍රධාන හේතුව වුණේ, අපේ පහළ මට්ටමේ තාක්ෂණික භාවිතාවයි. ඒ නිසා 2019 අයවැය හරහා නවෝත්පාදක ව්‍යවසායකයන් සංචිතයක් ගොඩනගා ගැනීමට අපේක්ෂිත ය. මොවුන්ට පෞද්ගලික අංශයේ වර්ධනයක් ඔස්සේ රටේ ආර්ථික සමෘද්ධියට දායක විය හැකිය. ‘ව්‍යවසායක ශ‍්‍රී ලංකාව’ නැමැති වැඩපිළිවෙල පසුපස ඇති පරමාර්ථය වන්නේ, එවැනි විචාරවත් නවෝත්පාදක ව්‍යවසායක පංතියක් ප‍්‍රවර්ධනය කිරීමයි. 

දැනුම පෙරදැරි, පුහුණු ශ‍්‍රමික සමාජයක් 

තාක්ෂණය මත පදනම් වන ආර්ථිකයක් සඳහා වන අනාගත ව්‍යවසායකයන් සහ සේවකයන් නිර්මාණය කර ගැනීම උදෙසා, දැනුම සොයන, පුහුණු ශ‍්‍රමික සමාජයක් අත්‍යාවශ්‍ය වන්නේය. මෙය පාසල් මට්ටමින් පටන් ගත යුතුව තිබේ. ඒ සඳහා, අධ්‍යාපනය පූර්ණ වෙනසකට ලක්කළ යුත්තේය. ගුණාත්මක වර්ධනය ඇති කරවන වැඩ සටහන්වලින් සමන්විත විය යුත්තේය. ඒ අවශ්‍යතාව හඳුනා ගනිමින්, පාසල් විද්‍යාගාර, පංති කාමර, පුස්තකාල සහ ගුරු පුහුණු පහසුකම් වැනි අංශ වර්ධනය කිරීම සඳහා 2019 අයවැය තුළ ප‍්‍රතිපාදන සලස්වා තිබේ. ඊට අමතරව, කූඩු කළ විෂය ධාරා තුළ වෙනුවට, සංයෝජනීය විෂය ධාරා තුළ සිසුන් පුහුණු කළ යුතුව තිබේ. 

මේ අංශයේ සිසු ප‍්‍රවර්ධනය සඳහා සම්ප‍්‍රදායිකව හඳුනා ගැනුණේ, විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, තාක්ෂණය සහ ගණිතය ඇතුළත්, තෝරා ගත් විද්‍යා ධාරාවන් ය. ඒ ක‍්‍රමය තුළ, කලාවන් සඳහා ශිෂ්‍යයන් අවතීර්ණ නොවීම නිසා, නිර්මාණාත්මක පුද්ගලයන් බිහි කර ගැනීමට නොහැකි වීමේ දුර්වලතාවක් දැන් හඳුනාගෙන තිබේ. ඒ නිසා ශිෂ්‍යයන් තුළ විද්‍යාව සහ කලාව යන අංශ දෙකේම නිපුණතා ප‍්‍රවර්ධනය අවශ්‍ය කරන බව වර්තමාන පිළිගැනීමයි. මෙය, 2019 අයවැය තුළ ඇතුළත් ය. 

ශිෂ්‍යයන්ගේ මොළයේ දෙපාර්ශ්වයේම වර්ධනයක් ඇති කර ගැනීමට මේ මගින් අවකාශ සැලසේ. එහිදී විද්‍යා සිසුන් කලාව උගෙන ගන්නා අතරේ, කලා සිසුන් විද්‍යාව උගනී. මෙය පාසල් මට්ටමින් ක‍්‍රියාත්මක කළ පසු, බහු-විධ විෂය ධාරා ඇතුළත්, සංයෝජනීය උපාධි පාඨමාලා හඳුන්වා දීමට විශ්ව විද්‍යාලවලට හැකියාව ලැබෙනු ඇත. තායිලන්තයේ විශ්ව විද්‍යාල මේ ක‍්‍රමයට දැනටමත් අවතීර්ණ වී සිටී. 

හොඳම ශිෂ්‍යයන්ට ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල සඳහා ශිෂ්‍යත්ව ලැබීම 

අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළම ප‍්‍රතිඵල ලබාගන්නා සිසුන්ට ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමට 2019 අයවැය තුළින් යෝජනා වී තිබේ. එය යහපත් පියවරකි. 1980 සහ 1990 දශකවල මැලේසියාව විද්‍යාවෙන් සහ තාක්ෂණයෙන් ඊළඟ අදියරට ගෙන යාම සඳහා අවශ්‍ය කරන පුහුණු තරුණ පරම්පරාවක් බිහි කර ගැනීමට එරට නායක මහතීර් මොහොමඞ් එදා අනුගමනය කෙළේ එම ක‍්‍රමයයි. වර්තමාන ලංකාවේ මෙවර අයවැය එය පටන්ගෙන ඇත්තේ සුළු වශයෙනි. පළමුවැනි වසරේදී මේ සඳහා අවස්ථාව සැලසෙන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 14 දෙනෙකුට පමණි. එහෙත්, පෞද්ගලික අංශයේ සහ විදේශ දායකත්වයෙන් මෙය අනාගතයේදී වර්ධනය කර ගත හැකිව තිබේ. 

ඊට අමතරව, ලංකාවේ  ඕනෑම පෞද්ගලික උසස් අධ්‍යාපනික ආයතනයක උගෙනීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා වන ණය යෝජනා ක‍්‍රමයක් ද මේ අයවැයෙන් ඉදිරිපත් කෙරේ. විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබුවත්, විශ්ව විද්‍යාලවල ඉඩකඩ මදිපාඩුව නිසා, විශ්ව විද්‍යාල වරම් හිමි නොවන සියල්ලන්ට එය ප‍්‍රයෝජනවත් වනු ඇත. 

රැකියා විරහිත කලා උපාධිධාරීන්ට පෞද්ගලික සමාගම්වල ආධුනිකත්ව පුහුණුව

මෙවර අයවැය තුළ දක්නට ලැබෙන වඩාත් කැපී පෙනෙන කාරණය වන්නේ, ආර්ථිකයේ ප‍්‍රධාන ප‍්‍රවාහය තුළට කලා උපාධිධාරීන් ඇතුළත් කර ගැනීම සඳහා ගෙන ඇති ප‍්‍රයත්නයයි. පෞද්ගලික අංශයේ රුකියා සඳහා කලා උපාධිධාරීන්ගේ නිපුණතාව ප‍්‍රමාණවත් නොවීම නිසා බොහෝ කාලයක් යන තෙක් ඒ තරුණ තරුණියෝ රැකියා විරහිතව සිටිති. විරැකියා ප‍්‍රශ්නය උග‍්‍ර වන විට හැම ආණ්ඩුවක්ම කරන්නේ, රාජ්‍ය සේවය තුළ රැකියා පුරප්පාඩු නැතත්, මොවුන් රාජ්‍ය සේවයට ඇතුළත් කර ගැනීමයි. එහි ප‍්‍රතිවිපාකය වන්නේ, එක පැත්තකින් රාජ්‍ය අංශය තරබාරු වීමත්, අනිත් පැත්තෙන් එම අංශයේ ඵලදායිතාව හීන වීමත් ය. තවද, ආණ්ඩුවේ වැටුප් බරත් ඒ නිසා උග‍්‍ර වෙයි.

එබැවින්, රැකියා විරහිත උපාධිධාරීන් 1000 ක් දෙනාට පෞද්ගලික සමාගම්වල ආධුනිකත්ව අවස්ථා ලබා දීමට මේ අයවැය මගින් යෝජනා කොට තිබේ. එසේ ආධුනිකත්ව පුහුණුව සඳහා පෞද්ගලික සමාගම් විසින් බඳවා ගන්නා පුද්ගලයන්ගේ මාසික දීමනා, වසරක් යන තෙක් ආණ්ඩුව දරනු ඇත. ඒ කාලය තුළ ලබා දෙන පුහුණුව තුළින් එකී පුද්ගලයන්ව තමන්ගේ නිත්‍ය සේවාවන්ට අනුයුක්ත කර ගැනීමට පෞද්ගලික සමාගමට අවසානයේ හැකියාව ලැබෙනු ඇත. මෙය ඇත්තෙන්ම ශ‍්‍රී ලංකාව මුහුණදෙන උග‍්‍ර ප‍්‍රශ්නයකට සැපයෙන, ඔරොත්තු දීමේ ගුණයෙන් යුත්, තිරසාර විසඳුමක් වන්නේය.

මේ යෝජිත වැඩපිළිවෙල තුළ සැපිරිය යුතු අත්‍යාවශ්‍ය අංග දෙකක් ඇත. එකක් වන්නේ, සංවර්ධනය කළ යුතු සම්පතක් වශයෙන් මේ උපාධිධාරීන් පෞද්ගලික අංශය විසින් පිළිගන්නා තත්වයක් ඇති කිරීමයි. දෙවැන්න වන්නේ, තමන්ගේ අනාගත වෘත්තිය දියුණුව සඳහා කැපවීමෙන් වෙහෙස මහන්සි වීමේ මනෝභාවය උපාධිධාරීන්ට තිබිය යුතු වීමයි. ඒ අයුරින්, මේ ව්‍යාපෘතියේ, තවම නම් කොට නැති ප‍්‍රවර්ධන සත්කාරක ආයතනය, සේවායෝජකයන් සහ ආධුනිකයන් සමග, කලින් මෙන්ම පසුවත්, නිරන්තර සංවාදයක් පවත්වා ගත යුත්තේය. මෙය අසාර්ථක වෙතොත්, රටේ පවතින රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප‍්‍රශ්නයට නිත්‍ය විසඳුමක් නොලැබෙනු ඇත. 

අනාගතයේත් අනුකරණයට සුදුසු අයවැය සම්ප‍්‍රදායයක්

සමස්තයක් වශයෙන් ගත් විට, 2019 අයවැය යෝජනා තුළ ආර්ථිකය කෙරෙහි ප‍්‍රගතිගාමී බැල්මක් හෙලා තිබේ. රටේ අනාගත වර්ධනය සඳහා යෝජනා බොහොමයක් ඒ මගින් ඉදිරිපත් කොට ඇත. එනයින් ගත් විට, ‘ඛේමාගේ කොලූවා’ එතෙක් පැවති සම්ප‍්‍රදාය කඩා ඇති අතර, එය සෑම අනාගත මුදල් ඇමතිවරයෙකුටම අනුකරණය කිරීමට යෝග්‍ය අනාගත සම්ප‍්‍රදායක් බවට පත්කොට ඇත. 




(2019 මාර්තු 11 වැනි දා Daily FT පුවත්පතේ පළවූ “'Khema's Boy" Does It: Comes Up with a Non-Election Budget in an Election Year"  නමැති  ලිපියේ සිංහල පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)


සබැඳි පුවත් 



0 comments: