Hot!

නැවතත් ‘ජාතික ආණ්ඩුවක්’ ආවොත් සිදුවෙන්නේ යහපාලනික සාරයට වෙට්ටු දැමීම පමණකි


– ගාමිණී වියන්ගොඩ –

2015 දී ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවා ගැනීමට හේතුවක් තිබුණි. එදා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනත්, එක්සත් ජාතික පෙරමුණට නායකත්වය දුන් රනිල් වික‍්‍රමසිංහත් ‘යහපාලනය’ සම්බන්ධයෙන් සිටියේ දළ වශයෙන් එක මතයක ය. ඒ මතය ක‍්‍රියාවට නැගීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර මතභේද පැවතියත්, ප‍්‍රතිපත්තිමය වශයෙන් අවම කාරණා ගණනාවක් ගැන ඔවුහූ පොදුවේ එකඟ වී සිටියහ. ඒ නිසා, නිදහසෙන් පසු ප‍්‍රථම වරට, ලංකාවේ එතෙක් මාරුවෙන් මාරුවට රට ආණ්ඩු කළ ප‍්‍රධාන පක්ෂ දෙක එක්සත්ව සහ එක්සිත්ව යහපාලනිකව ආණ්ඩු කිරීමේ අභිලාෂය පෙරදැරිව, ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවා ගැනීම හැම අතකින්ම අර්ථවත් විය. ඇත්ත වශයෙන්ම, නිදහසේ පටන් මගහැරුණු ඓතිහාසික යහපාලනික කර්තව්‍යයක්, ඒ ආකාරයෙන් මේ ප‍්‍රධාන දෙපාර්ශ්වයේ සහභාගීත්වයෙන් සහ සහයෝගයෙන් ඉටු කර ගැනීමට එදා ඉඩකඩක් තිබුණි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 46 (1) (අ) වගන්තිය යටතේ, ‘‘අමාත්‍ය මණ්ඩලයේ මුළු අමාත්‍යවරයන් සංඛ්‍යාව තිහ නොඉක්මවිය යුතුය’’ යනුවෙන් සඳහන්ව ඇත. මේ වගන්තිය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරනු ලැබුවේ තවත් එක් මූලික යහපාලනික ප‍්‍රතිපත්තියකට අනුගතව ය. එනම්, ලංකාව වැනි කුඩා රටකට ඊට වැඩි අමාත්‍ය මණ්ඩලයක් තිබීම මොන අතින් බැලූවත් නාස්තියක් බවට තිබූ පොදු එකඟත්වයයි. අපට වඩා භූමිය වශයෙන්, ජනගහනය වශයෙන් සහ ආර්ථික වශයෙන් අති විශාල රටවල් ඉතා කුඩා අමාත්‍ය මණ්ඩලවලින් සාර්ථකව පාලනය කෙරේ. ඊට උදාහරණ කිහිපයක් මෙසේ ය:

ඉන්දියාවේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 27 කි. එරට ජනගහනය බිලියන 1.3 කි. චීනයේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 26 කි. එරට ජනගහනය බිලියන 1.4 කි. ජපානයේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 20 කි. එරට ජනගහනය මිලියන 127 කි. ඒ ආසියාවේ ය.

නයිජීරියාවේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 36 කි. එරට ජනගහනය මිලියන 200 කි. ඉතියෝපියාවේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 21 කි. එරට ජනගහනය මිලියන 110 කි. ඊජිප්තුවේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 32 කි. එරට ජනගහනය මිලියන 101 කි. ඒ අප‍්‍රිකාවේ ය.

රුසියාවේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 32 කි. එරට ජනගහනය මිලියන 143 කි. ජර්මනියේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 16 කි. එරට ජනගහනය මිලියන 82 කි. ප‍්‍රංශයේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 17 කි. එරට ජනගහනය මිලියන 65 කි. ඒ යුරෝපයේ ය.

ඇමරිකා එක්සත් ජනපදයේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 16 කි. එරට ජනගහනය මිලියන 325 කි. කැනඩාවේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 35 කි. එරට ජනගහනය මිලියන 37 කි. ඒ උතුරු ඇමරිකාවේ ය.

මේ ලියන මොහොතේ ලංකාවේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 30 කි. අපේ ජනගහනය මිලියන 21 කි.

තවද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ අප ප‍්‍රාදේශීය වශයෙන් පළාත් සභා නවයකට, මධ්‍යම ආණ්ඩුවේ දේශපාලනික බලය සහ පරිපාලනය බෙදා හැර තිබේ. ඒ හේතුව නිසාත්, මධ්‍යම ආණ්ඩුවේ සංඛ්‍යාත්මක ප‍්‍රමාණය සීමා කිරීමේ අවශ්‍යතාවක් තිබුණි. එය පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ඉටු කර ගැනීමට නොහැකිව ඇතත්, අඩු වශයෙන් ඇමති මණ්ඩලයෙන්වත් ඒ අපේ කුඩා බවට අනුගත විය යුතු බවට අදහසක් තිබුණි.

ඒ කරුණු සියල්ල එක්තැන් කර ගත් තවත් එක් නීරස ආසන්න අත්දැකීමක් ද අපට තිබුණි. එනම්, මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ඇමති මණ්ඩලය ඉස්මුරුත්තාවටම ඉහවහා ගොස් තිබුණු බව ය. ඒ කෙතෙක් ද යත්, ආණ්ඩු පක්ෂයේ මුළු මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාවට ඉතා ආසන්න සංඛ්‍යාවක්, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු ආදී වශයෙන් භෞතීස්ම කොට තිබීමයි. එදා පාර්ලිමේන්තුවේ ඇමතිවරුන් නොවන සාමාන්‍ය මන්ත‍්‍රීවරුන් ආණ්ඩු පක්ෂයෙන් ඉතිරි වුණේ අතලොස්සක් පමණි.

ඉහත කී 46 (1) (අ) වගන්තිය යටතේ ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව සීමා කිරීමට තීරණය කෙරුණේ එකී සියලූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් යැයි අනුමාන කළ හැකිය.

එහෙත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ, අප මුලින් කී විශේෂිත තත්වය හඳුනා ගැනුණි. එනම්, රටේ ප‍්‍රධාන පක්ෂ දෙකට එක් වී, විශේෂිත ජාතික වැඩපිළිවෙලක් යටතේ නිශ්චිත කාලයක් තුළ එක්තරා ආකාරයකින් රට ගොඩනැගීම සිදුකළ හැකිය යන විශ්වාසයයි. ඒ සඳහා, එම පක්ෂ දෙකේම සාධාරණ නියෝජනයක් ආණ්ඩුව තුළ සහතික කළ යුතු විය. මතක තියාගන්න. අප මේ තවමත් කතා කරන්නේ, රටේ ප‍්‍රධාන පක්ෂ දෙකේ එකතුවක් ගැන ය. එවැනි එකතුවක් ඊට පෙර කිසි දවසක තිබී නැත. කලින් වකවානුවක තිබූ ‘හත් හවුල්’ ආදිය, රටේ ප‍්‍රධාන පක්ෂ දෙකේ හවුල්කාර ආණ්ඩු නොවීය. ඒ නිසාම, ඒවා හැඳින්වුණේ ‘සභාග ආණ්ඩු’ වශයෙනි. ඊට වෙනස්ව, 2015 දී ගොඩනැගුණේ රටේ ප‍්‍රධාන පක්ෂ දෙකේ සභාගයක් නිසා එය ‘ජාතික ආණ්ඩුවක්’ නමින් හැඳින්වීමේ යම් තර්කයක් තිබුණි.

මේ ‘ජාතික ආණ්ඩුව’ තුළ ප‍්‍රධාන දෙපාර්ශ්වයට සාධාරණ නියෝජනයක් ලබා දීම අරමුණු කරගෙන, ව්‍යවස්ථාවේ ඉහත සඳහන් 46 වැනි වගන්තියට, තවත් 4 වැනි අනුව්‍යවස්ථාවක් ඇතුළත් කෙරුණි. ඒ මෙසේ ය: ‘‘(1) වැනි අනුව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවද, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම හෝ විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවකදී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් සංඛ්‍යාව.. පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුත්තේය.’’

මෙහි අදහස කුමක් ද? ඉහත කී 46 (1) (අ) වගන්තියෙන් සීමා කරන ලද අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව, මෙකී 46 (4) අනුව්‍යවස්ථාව මගින් ඉවත් කොට, අමාත්‍ය සංඛ්‍යාව තීරණය කිරීමේ බලය පාර්ලිමේන්තුවට පවරන බව ය. දැන්, පාර්ලිමේන්තුව විසින් පත්කර ගත හැකි අමාත්‍ය සංඛ්‍යාවේ සීමාවක් නැත. එසේ කෙරුණේ, ‘ජාතික ආණ්ඩුවකට’ පහසුව සලසනු පිණිසයි.

ඊළඟට, ‘ජාතික ආණ්ඩුවක්’ යනු කවරක් ද යන්න, 46 (5) අනුවගන්තියෙන් විස්තර කෙරේ. ඒ මෙසේ ය: ‘‘..ජාතික ආණ්ඩුවක් යනු, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේය.’’

මේ අනුව, වර්තමාන පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ඇති දේශපාලන පක්ෂය වන්නේ එක්සත් ජාතික පෙරමුණ ය. දැන්, ඉහත වගන්තියට අනුව, එම පක්ෂයට පාර්ලිමේන්තුවේ වෙනත් ඕනෑම පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සමග ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවා ගත හැක්කේය. මන්ද යත්, 46 (4) අනුව්‍යවස්ථාව සහ 46 (5) අනුව්‍යවස්ථාව එකට ගෙන කියවන විට එම අවසරය ලැබෙන බැවිනි.

මුස්ලිම් කොන්ග‍්‍රසය යටතේ ඡන්දයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුව නියෝජනය කරන තනි මන්ත‍්‍රීවරයෙක් සිටී. ඉතිං, එක්සත් ජාතික පෙරමුණ එකී තනි මුස්ලිම් කොන්ග‍්‍රස් මන්ත‍්‍රීවරයා සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවා ගන්නේ නම් එය ‘ජාතික ආණ්ඩුවක්’ වන්නේය. මේ තර්කය උඩ අප කටයුතු කිරීමට ගියොත්, මින් මතු මෙරටේ බලයට පත්වෙන ඕනෑම ආණ්ඩුවක්, ‘ජාතික ආණ්ඩවුක්’ වෙනවාට කිසි සැකයක් නැත. මන්ද යත්, හැම පාර්ලිමේන්තුවකම, එක් මන්ත‍්‍රීවරයෙකු හෝ දෙතුන් දෙනෙකු සිටින පක්ෂයක් හෝ කණ්ඩායමක් තිබෙන නිසාත්, ඒ පුද්ගලයන්ට ඇමතිකමක් දී ඉතා පහසුවෙන් ආණ්ඩුවට එකතු කර ගැනීමේ හැකියාව තිබෙන නිසාත් ය. ඒ අනුව, අර ඉහතින් කී යහපාලනික ‘තිහේ සීමාව’ කිසි දවසක ප‍්‍රායෝගික අර්ථයකින් ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වන්නේය. මේ කාරණය, එනම්, අමාත්‍ය සංඛ්‍යාව වැඩි කර ගනිමින් පිහිටුවා ගන්නා ‘ජාතික ආණ්ඩුවක්’ පිළිබඳ කාරණය, ඉහත කී මුස්ලිම් කොන්ග‍්‍රස් තනි මන්ත‍්‍රීවරයා සමග පමණක් නොව, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් මන්ත‍්‍රීවරුන් පිරිසක් එකතු කරගෙන හැදෙන ‘ජාතික ආණ්ඩුවක්’ සම්බන්ධයෙන් වුවත් අනුමත කළ හැකි දෙයක් නොවේ.

කෙසේ වෙතත්, මෙහිදී අවධාරණය කළ යුත්තේ, ‘ජාතික ආණ්ඩුවක්’ සඳහා ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව පිළිබඳ තිහේ සීමාව අතික‍්‍රමණය කිරීමට දී ඇති අවසරය, ආණ්ඩුවක් එහෙන් මෙහෙන් ගැට ගසා ගැනීමේ සහ හුදෙක් ඇමතිකම් වැඩි කර ගැනීමේ ‘අතමාරුවක්’ වශයෙන් පාවිච්චියට ගැනීම, අදාළ සීමිත අවසරයේ ආත්මීය අර්ථය නොතකා කටයුතු කිරීමක් වන බවයි.

මෙකී තිහේ සීමාව සහ එම සීමාව ඉක්මවා යාමට දී ඇති සීමිත අවසරය පාවිච්චි කළ යුත්තේ, ඒ කාරණා දෙක පසුපස ඇති දේශපාලනික සදාචාරය සැලකිල්ලට ගනිමිනි. කෙසේ වෙතත්, මේ කියන හිල අස්සෙන් රිංගා ගොස් ඊනියා ජාතික ආණ්ඩුවක් හැදීමට වර්තමාන ආණ්ඩුව වලිකෑම අපට අගනා පාඩමක් කියා දෙයි. එනම්, ව්‍යවස්ථාවක් හෝ වෙනත් නීතියක් පසුපස ඇති දේශපාලනික සදාචාරය ආරක්ෂා කිරීමක්, යහපාලනික යැයි කියාගන්නා දේශපාලඥයන්ගෙන් වුව අපට බලාපොරොත්තු විය නොහැකි බවයි. එබැවින්, මේ ප‍්‍රගතිශීලී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති හිල් වහා වසා දැමිය යුතුව තිබේ.

මේ 46 (5) වගන්තිය යහපාලනික නීති සම්පාදකයන් ලිවිය යුතුව තිබුණේ මීට වෙනස් ආකාරයකින් යැයි එවිට මට සිතේ. ‘‘පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම, ඊළඟට වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සමග ඇති කර ගන්නා ආණ්ඩුවක් ‘ජාතික ආණ්ඩුවක්’ වන්නේය’’ යනුවෙන් සඳහන් විණි නම්, සැබෑ ‘ජාතික ආණ්ඩුවක’ අර්ථය ආරක්ෂා වන අතරේම, හොර ජාතික ආණ්ඩු ඇති කර ගැනීම සඳහා දේශපාලඥයන්ට ව්‍යාජ අවසර සැපයීම ද නතර කළ හැකිව තිබුණි.

0 comments: