Hot!

ජනාධිපති සිරිසේනගේ කියුම් හා කෙරුම්



- ආචාර්ය ඒ. සී. විස්වලිංගම් -


2015 දී යහපාලනය වෙනුවෙන් 

මේ ලියුම්කරු, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඇතැම් ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවන්ට විරුද්ධව 2004 සිට අධිකරණය ඉදිරියට ගොස් තිබේ. මාධ්‍ය ඔස්සේ විවේචන ලියා පළ කොට තිබේ. එවැනි සන්දර්භයක් තුළ, වැඩි ආටෝපයක් නොතිබුණු මෛත‍්‍රීපාල සිරිසේනට මාදුළුවාවේ සෝභිත හිමියන් සහාය දැක්වීමත් සමග මේ ලියුම්කරු ද 2015 ජනවාරියේ ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කෙළේය.

2015 ජනවාරි 9 වැනි දා මෛත‍්‍රීපාල සිරිසේන කළ ඒ විජයග‍්‍රාහී කතාව කෙතෙක් සුවදායක, අව්‍යාජත්වයක් පෙන්නුම් කෙළේ ද යත්, මේ රටේ තවත් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මෙන් මේ ලියුම්කරු ද එයින් ඉමහත් අහ්ලාදයට පත්ව ශ‍්‍ර‍්‍රී ලංකාව දැන් නම් සැබෑ යහපාලනික උදාවකට අවතීර්ණව ඇතැයි සිතීය.

ඇත්තෙන්ම මුලදී ඔහුගේ නායකත්වය යටතේ, අගමැති රනිල් වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයේ නොමද සහායත් ඇතිව, වැදගත් ඉදිරි පියවර කිහිපයක් ගැනුණි. එහෙත් ඒ සා කැපවීමක් මුලදී පෙන්නුම් කළ එකී ගමන් මග විවිධ අයුරින් අයාලේ යාමට වැඩි කල් ගියේ නැත.

මෙසේ කියන විට, ‘රනිල් බේරමින් මෛත‍්‍රීටම වරද පැටවීමට’ යත්න දරතියි විස්සෝපයට පත්විය හැකි රනිල්-විරෝධීන්ට කිව යුතුව ඇත්තේ, ඔහුගේ කෙරුවාව ගැනත් මෙවැනිම ලේඛනයක් ඉදිරියේදී ලියැවෙන බවයි.

අද ශ‍්‍රී ලංකාවේ ජනතාව භූක්ති විඳින ප‍්‍රකාශනයේ නිදහස, ඊට කලින් දශකයක පමණ කාලයක් තිස්සේ ඔවුන්ට අහිමිව තිබූ බව කවුරුත් දනිති. හිටිහැටියේ පැහැරගෙන යනු ලැබීමේ භීතිය, බොහෝ විට සුදු වෑන් රියක යාමට සිදුවීමේ සංත‍්‍රාසය සමග සදහටම අතුරුදහන් කැරැවීමේ ශක්‍යතාව අද මුළුමණින් අහෝසි වී ගොසිනි. රාජපක්ෂගේ 18 වැනි පෝරිසාද ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කොට, ඊට සාපේක්ෂ වශයෙන් සාධනීය උරුමයක් සහිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද ස්ථාපිත කොට තිබේ. ආණ්ඩුවේ විරෝධතාකරුවෝ එය පවා දැන් විවේචනය කරති. ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත’ සම්මත කර ගැනුණු අතර මහජන සුභසිද්ධිය සඳහා ඒ අවසරය පාවිච්චි කරන්නේ කෙසේද යන්න මේ වන විට ජනතාව ටිකෙන් ටික උගෙන ගනිමින් සිටිති.

විනිසුරුවරුන් තෝරා ගැනීම ගැන මෑතකදී මතුව ඇති ප‍්‍රශ්න වහා විසඳා ගත යුතුව ඇති මුත්, අධිකරණයේ ගෞරවය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් අද පැහැදිළි වර්ධනයක් දක්නට තිබෙන බව කිව යුතුය. නිවැරදි කර ගත යුතු මුත් නිසි අවධානයක් යොමු නොවන කරුණු ගණනාවක් තිබුණ ද, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන තීව‍්‍ර කොට තිබීම අගේ කළ යුතුය. 

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව ගැන සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත්කිරීමත් අත්‍යාවශ්‍ය වූත්, අගේ කළ යුතු වූත් කාරණයකි. එසේම ප‍්‍රධාන පෙළේ මූල්‍ය අපරාධ පිළිබඳ දිනපතා නඩු ඇසෙන විශේෂ මහාධිකරණ පිහිටුවීමත් අතිශය වැදගත් ය. මෙවැනි කාරණා සම්බන්ධයෙන් මෛතී‍්‍රපාල සිරිසේනගේ මැදිහත්වීම්වලට නිසි ගෞරවය දිය යුතුව තිබේ. 

දැන්, 2015 ජනවාරියේ දුන් ප‍්‍රතිඥා ප‍්‍රකාරව ඔහු කටයුතු කර නැති අංශ වෙත හැරීමට මා සූදානම් ය. 

පවුලට කලින් රට

මෛත්‍රීපාල සිරිසේන මුලින්ම ඔහුගේ සහෝදරයෙකු විදුලි සංදේශ නියාමන අධිකාරියේ සභාපති තනතුරට පත්කර ගත්තේය. කෝටි ප‍්‍රකෝටි ගණන් වටිනා ආයෝජන අවස්ථා සහ ප‍්‍රතිලාභ සහිත විද්‍යුත් මාධ්‍ය විකාශන සහ ඊට අදාළ වෙනත් අංශ වෙත බලපත‍්‍ර නිකුත් කෙරෙන සූක්ෂම තාක්ෂණ අංශයක් වන ඒ ක්ෂේත‍්‍රය ගැන ඔහුගේ සහෝදරයාට පළපුරුද්දක් නොතිබුණි. පිළිගත් කීර්ති නාමයක් සහිත ස්වාධීන තාක්ෂණවේදී විශේෂඥයෙකු ඊට පත්කෙළේ නම් මේ විවේචනය ඔහු අරභයා එල්ල නොවනු ඇත. ඊට අමතරව, ඒ තනතුරේ ඔහුගේ සහෝදරයා ක‍්‍රියා කොට ඇත්තේ කෙසේද යන්න වෙනම සලකා බැලිය යුතු කාරණයකි. 

මේ කාලයේම, මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභා රැුස්වීමට සහභාගී වීමට ගියේය. එහිදී, එරට සිටින ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයාට හිමි අසුනේ මෛත‍්‍රීපාල සිරිසේන සිය පුතාව වාඩි කෙරෙව්වේය. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කොට තිබු සීමිත ආසන සංඛ්‍යාව වෙනත් ශ‍්‍රී ලාංකීය නියෝජිතයන් ලබාගෙන තිබුණු තත්වයක් තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කිරීම සඳහාම ලංකාවෙන් පත්කර සිටි නිත්‍ය නියෝජිතයාට ආසනයක් නැතිව ගියේය. රටට කලින් පවුල රැකීමේ සිරිසේන ස්වභාවය මේ සිද්ධියෙන් කැපී පෙනුණි. 

අල්ලස සහ දූෂණය

විවිධ දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව වසර ගණනාවක් තිස්සේ ගොඩගැසී තිබුණු, අල්ලස් සහ දූෂණ චෝදනාවලට අදාළ ‘නිදි ගන්වා තිබූ’ ලිපිගොනු දහසකට අධික සංඛ්‍යාවක්, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වශයෙන් දිල්රුක්ෂී වික‍්‍රමසිංහ පත්කිරීමෙන් පසු ගොඩගනු ලැබුණි. දීර්ඝ කාලයක් තිස්සේ පමා වී තිබු එම ලිපිගොනුවලින් කිහිපයක් ඉතා ඉක්මණින් එකලාසයක් කිරීමට ඈ කටයුතු කෙළේ ඒ සඳහා ප‍්‍රමාණවත් පහසුකම් ද නොතිබියදී ය. ඒ අතරින් සමහරක් සම්බන්ධයෙන් නඩු පැවරීමටත් ඒ කෙටි කාලය තුළ ඈ කටයුතු කළාය. 

වැඩි කල් නොගියේය. මෛත‍්‍රීපාල සිරිසේන ඇයව පන්නා දැමුවේය. ඇයව එසේ අත්තනෝමතිකව ඉවත් කිරීමට සිද්ධ වුණේ, තමාගේ යම් පිරිසකට එරෙහිව ඇති සාක්ෂි ප‍්‍රසිද්ධියට පත්වීමෙන් වළක්වා ගැනීමටත් එවැනි පුද්ගලයන් බේරා ගැනීමටත් මෛත‍්‍රීපාල සිරිසේනට අවශ්‍ය කළ බැවිනි. ඇයව එසේ අසාධාරණ ලෙස ඉවත් කිරීම, මේ ලියුම්කරුට අනුව, මෛත‍්‍රීපාල සිරිසේනට එල්ල වන බරපතල කළු ලපයකි. 

විදේශ චාරිකා 

මෛත‍්‍රීපාල සිරිසේන මේ වන විට නිල සහ රාජ්‍ය සංචාර රාශියකට ගොස් තිබේ. ඒ සෑම අවස්ථාවකම නිලධාරීන් සුළු පිරිසක් සහ රාජකාරියක් නැති තවත් විශාල පිරිසක් සහභාගී කරගෙන තිබේ. ඒ සියල්ලන් සඳහා වන ගමන්බිමන්, හෝටල් සහ කෑමබීමාදිය සඳහා රාජ්‍යයෙන් දැරූ වියදම අති විශාල බවට සැකයක් නැත. මේ ගිය ඇතැම් අවස්ථාවක අදාළ රාජ්‍ය නිලධාරීන් ගිවිසුම්වලට අවතීර්ණව තිබේ. 

අපට දැන ගැනීමට ඇති පරිදි, මේ කිසි ගිවිසුමක්, එරටේ සිටින අපේ තානාපතිවරයා සහ අදාළ රාජ්‍ය නිලධාරීන්ට පමණක් ඉෂ්ට සිද්ධ කර ගැනීමට බැරි තරමේ විශාල ඒවා නොවේ. තවත් විදිහකින් කිවහොත්, රාජ්‍යයේ හෝ ආණ්ඩුවේ ප‍්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් තොරව අත්සන් කළ හැකිව තිබු ගිවිසුම් ය. මේ කියන විදේශ සංචාර හරහා තමන් අත්පත් කර ගත් ප‍්‍රයෝජනවත් කාර්යයක් විණි නම් ඒ බව ජනාධිපතිවරයා රටට දැනුම් දිය යුතුව තිබුණි. ජනාධිපතිවරයාට තමන් විසින් පවරා ඇති බලතල පාවිච්චි කොට ඇති ආකාරයත්, තමන් විසින් ඔහුගේ භාවිතයට අනුමත කොට ඇති අරමුදල් වැය කළ ආකාරයත් දැන ගැනීමේ අයිතියක් ජනතාවට තිබේ. එහෙත් ඒ විස්තර කිසිවක් ජනාධිපතිවරයා විසින් ජනතාව වෙත ඉදිරිපත් කොට නැත. 

ඔක්තෝබර් 26 වැනි දා ප‍්‍රයත්නය 

මෛත‍්‍රීපාල සිරිසේන සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔහුගේ ආධාරකරුවෝ, එක්සත් ජාතික පක්ෂය සහ වෙනත් පක්ෂ සමග වසර හතරකට ආසන්න කාලයක් එකට ආණ්ඩු කළහ. 2018 ඔක්තෝබර් 26 වැනි දා ඔහුගේ පක්ෂ සාමාජිකයන් ඔහුගේ විධානය පරිදි ආණ්ඩුවෙන් ඉවත් වුණේ සියල්ලන් මවිත කරවමිනි. අනතුරුව, ආණ්ඩුවේ නායකත්වය තමා අතේ තබා ගනිමින් මෛත‍්‍රීපාල සිරිසේන බහු-පාක්ෂික ආණ්ඩුව නීති විරෝධී අන්දමින් අස් කර දැම්මේය. ඊළඟට, මහින්ද රාජපක්ෂ අගමැති  තනතුරට පත්කොට, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිහිටෙව්වේය. 

මෙසේ කරද්දී, ආණ්ඩුවක් ගෙන යාම සඳහා අවශ්‍ය කරන බහුතරය මහින්ද රාජපක්ෂට නැති බව මෛත‍්‍රීපාල සිරිසේන දැන සිටියේය. එහෙත් රාජපක්ෂට එවැනි බහුතරයක් ඇති බවට සිරිසේන රටට බොරු කීවේය. කෙසේ වෙතත්, අවශ්‍ය කරන මන්ත‍්‍රීවරුන් 113 සොයා ගැනීමට මහින්ද රාජපක්ෂ අසමත් වන විට ඒ අසමත් භාවයට හේතුව මන්ත‍්‍රීවරුන්ගේ ‘අධික මිල ගණන්’ බව සිරිසේන කීවේය.

මන්ත‍්‍රීවරුන්ගේ පක්ෂපාතීත්වය ලබා ගැනීම සඳහා අල්ලස් ගෙවීමේ සූදානමක් තිබී ඇති බව සිරිසේන විසින්ම පිළිගනු ලැබීම මේ ලියුම්කරු දකින්නේ රටේ ජනතාව තමන්ගේ ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා කරන ආචාර ධාර්මික සුපිළිපන් භාවය ඔහු කෙලසා ගත් අවස්ථාවක් වශයෙනි. එසේම, තමන්ව අඩි හයක් පොළොව යටට දැමීමට සිටියේ යැයි කී පුද්ගලයා සමග මෙසේ සන්ධානගත වීමේ කිසි විචිකිච්ඡුාවක් සිරිසේනට නොවීමත් මේ ලියුම්කරුගේ අතිශය විමතියට හේතු වෙයි. 

රනිල් වික‍්‍රමසිංහ ඉවත් කොට මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ පිහිටුවීමට ගත් අගතිගාමී එකී ප‍්‍රයත්නය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවකි. එය එසේම යැයි ඒකමතිකව සහ අවධාරණයෙන් යුතුව විනිශ්චය කළ අපේ ශ්‍රේෂ්ඨාධිකරණය ගැන අප සතුටු විය යුතුය. නම් ගම් නොකියන ‘නීති විශාරදයන්’ පිරිසක් විසින් සැලසුම් කොට ක‍්‍රියාවට දැමූ ඒ තකතිරු කුමන්ත‍්‍රණය නිසා යෝධ මූල්‍යමය පාඩුවක් ද, ජාත්‍යන්තරය ඉදිරියේ ශ‍්‍රී ලංකාව හෑල්ලූවට පත්වීමක් සහ ගණනය කළ නොහැකි තරමේ වාණිජමය විශ්වාසය බිඳ වැටීමක් ද සිදු විය. 

එල්.එන්.ජී. (ස්වාභාවික ගෑස් නිධි) පර්යන්තය 

ඉහත කී ඔක්තෝබර් 26 කුමන්ත‍්‍රණ බෝම්බය අතහැරීමට කලින්, කොළඹ වරායෙන් සැතපුම් කිහිපයක් ඈත මුහුදේ එල්.එන්.ජී (ස්වාභාවික ගෑස්) පර්යන්තයක් ගොඩනැගීම සඳහා දකුණු කොරියානු සමාගමකින් ලැබී තිබුණු අනාරාධිත යෝජනාවක් භාර ගැනීමට මෛත‍්‍රීපාල සිරිසේනව එකී සමාගම මගින් පොළඹවා ගෙන සිටි බවට වාර්තා පළ විය. පෙනෙන්ට තිබුණු පරිදි, එකී යෝජනාවට රනිල් වික‍්‍රමසිංහ මාස කිහිපයක් තිස්සේ විරෝධය දක්වා තිබේ. එය, මෛත‍්‍රීපාල සිරිසේනව කුපිත කළ කාරණයක් විය. මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිව්රුම් දුන් සැණින් මේ කියන දකුණු කොරියානු යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබීම, ඒ තත්වය යටතේ, මවිත කරවන සුළු ය.
  
ගෞරවයට පත්, කීර්තිමත් ශ‍්‍රී ලාංකීය ඉංජිනේරුවරයෙකු මේ කරුණු මාධ්‍ය හරහා අනාවරණය කොට තිබේ. මේ ලියුම්කරු ද, මෙකී ව්‍යාපාරය රටට ඉමහත් හානිකර බව පෙන්වා දී තිබේ. එසේ තිබියදී, තවමත් එකී යෝජනාව ක‍්‍රියාත්මක කර ගැනීමට සිරිසේන තැත් කරන බවක් දැන ගන්නට ඇත. එය සාර්ථක වුවහොත්, ලියුම්කරුගේ අදහසේ හැටියට, මහබැංකු බැඳුම්කර වංචාව සහ හෙජින් මගඩිය යන දෙකෙන්ම අත්වූ අලාභය මෙන් කිහිප ගුණයක අලාභයක් රටට අත්වෙනු ඇත.

අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 

2015 ජනවාරි 9 වැනි දා, තමා එක වරකට වඩා ජනාධිපති ධුරයේ නොරැුඳෙන බවට මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රතිඥා දුන්නේය. අවුරුද්දක් හෝ ඊට අඩු කාලයක් තුළ අලූත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව කියා සිටි ඔහු, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවත් කීය. මේ ප‍්‍රතිඥා සියල්ල ඔහු දෙන්නට ඇත්තේ ඒවා ක‍්‍රියාත්මක කිරීමේ තුන් හිතකින්වත් නොවන බව පෙනෙන්නේ, අලූත් ව්‍යවස්ථාවක අඩංගු විය යුතු දේවල් ගැන වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ විවිධ අනුකමිටු හරහා සාකච්ඡුාවට ලක්වෙමින් තිබියදීත් ඒවා ගැන සිරිසේන වගේ වගක් නැතිව සිටි නිසා ය.

යහපත් ව්‍යවස්ථාවක එක් වැදගත් අංගයක් වන්නේ ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රමයක් ස්ථාපිත කිරීමයි. ඒ මගින්, ආණ්ඩුකරණයේ විවිධ ඉසව් ස්වාධීන විමර්ශනයට ලක්කළ හැකි වන අතර, විවිධ ක්ෂේත‍්‍රවලින් පරීක්ෂාකාරීව තෝරා ගත් කීර්තිමත් පුද්ගල කණ්ඩායමක් විසින් අදාළ කරුණු පරීක්ෂාවට ලක්කෙරෙන විධිමත් යාන්ත‍්‍රණයක් බිහි වන්නේය. එහිදී, යම් කාරණයක් සම්බන්ධයෙන් ගැනීමට නියමිත තීන්දු තීරණ, පක්ෂග‍්‍රාහී තනි පුද්ගලයෙකු විසින් හෝ පක්ෂපාතී කැබිනට් මණ්ඩලයක් විසින් හෝ නොගෙන, පොදු එකඟත්වයක් මත සාමූහිකව ගනු ලැබේ. මේ වන විට, එවැනි ස්වාධීන කොමිෂන් සභා ගණනාවකටම විරුද්ධව සිරිසේන අයුක්ති සහගත සහ දේශපාලනිකව මෙහෙයැවෙන සතුරු ප‍්‍රහාරයක් දියත් කර තිබීම කණගාටුදායක ය. ඔහු එසේ හැසිරෙන්නේ වෙන කිසිවක් නිසා නොව, තමන්ගේ පුද්ගල ව්‍යාපෘතිවලට සරිලන ආකාරයෙන් එකී ස්වාධීන කොමිෂන් සභා කටයුතු නොකිරීම නිසා ය. 

මත්ද්‍රව්‍ය හොරෙන් ගෙන එන්නන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්

මෛත‍්‍රීපාල සිරිසේන මොවුන්ට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කොට තිබේ. එසේ වෙතත්, මීට වසර කිහිපයකට ඉහතදී ග‍්‍රීස් ටින්වල බහා කන්ටේනරයක් පුරවා මෙරටට හොරෙන් ගෙනා මත්ද්‍රව්‍ය තොගයට අදාළ ඉදිරි පියවර මෛත‍්‍රීපාල සිරිසේන ගත්තේ නැත. ඇත්ත වශයෙන්ම, එදා රේගු නිලධාරීන් සහ වෙනත් රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධය මධ්‍යයේ ඒ හොර නැව් බඩු තොගය නිදහස් කර ගත් දේශපාලඥයා විවිධ වැදගත් අවස්ථාවන්හිදී ජනාධිපතිවරයා සමග ඉදිරි පෙළේම ළඟින් අසුන්ගෙන සිටිනු දකින්ට ලැබේ. මත්ද්‍රව්‍ය හොරෙන් ගෙන එන්නේ දීර්ඝ කාලයක් තිස්සේ තමන්ට සම්බන්ධකම් ඇති දේශපාලන පක්ෂවලට අයත් පුද්ගලයන් නම් ඔවුන් එල්ලා නොමැරීම ද සිරිසේනගේ ප‍්‍රතිපත්තිය වන්නේ ?



(2019 පෙබරවාරි 16 වැනි දා Daily FT පුවත්පතේ පළවූ “President Maithripala Sirisena: Performance Versus Promises”  නමැති ලිපියේ සිංහල පරිවර්තනය,
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)

0 comments: