Hot!

ජනවාරි උරුමය ගැන ජනපති නගන අඳෝනාව


– ගාමිණී වියන්ගොඩ –

ප්‍රතිපත්තියක් වෙනස් වන්නේ කොහොමද ?

ප‍්‍රතිපත්තියක් වෙනස් වීම විවිධාකාරයෙන් සිදුවිය හැකිය. එහෙත් ප‍්‍රධාන වශයෙන් එහිදී දෙයාකාරයක් දක්නට ලැබේ. එකක් වන්නේ, පවතින විෂයබද්ධ තත්ත්වයන් කැපී පෙනෙන වෙනසකට භාජනය වී ඇති අවස්ථාවක, අලූත් තත්ත්වයන් යටතේ ප‍්‍රතිපත්ති යළි සකස් කර ගැනීමට කෙනෙකුට සිද්ධ වීමයි. දෙවැන්න වන්නේ, විෂයබද්ධ තත්ත්වයේ වෙනසක් ඇතිව හෝ නැතිව, හුදු පුද්ගල අභිලාෂයන්ගේ වෙනසක් නිසාම ප‍්‍රතිපත්ති වෙනසක් ඇති වීමයි. පළමුව කී අවස්ථාව, වාම පාරිභාෂිකය තුළ එකල හැඳින්වුණේ, සංශෝධනවාදය හෝ ප‍්‍රතිසංස්කරණවාදය යනුවෙනි. ‘පිරිසුදු’ මාක්ස්වාදීහූ එය එදා හෙළාදැක්කෝය. දෙවැනුව කී අවස්ථාව හැඳින්වුණේ නග්න අවස්ථාවාදය වශයෙනි. එය, මාක්ස්වාදීන් පමණක් නොව, සෑම සාධාරණ මිනිසෙකුම පිළිකුල් කරන තත්වයකි. පළමුව කී අවස්ථාවට උදාහරණ වශයෙන් පැරණි වමේ ව්‍යාපාරයේ ඇති වූ වෙනස ගත හැකිය. දෙවැනි අවස්ථාවට උදාහරණ වශයෙන්, ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකුව සිටි විමල් වීරවංශගේ රූපාන්තරණය ගත හැකිය.

ප‍්‍රතිපත්ති වෙනසක් යුක්ති සහගත කිරීම සඳහා කෙනෙකු ඉදිරිපත් කරන හේතුකාරක පිරික්සා බැලීමෙන්, අප ඉහතින් කී කවර පදනමක් යටතේ අදාළ ප‍්‍රතිපත්ති වෙනස සිදු වී ඇත්ද යන්න සොයා ගත හැකිය. අද මෛත‍්‍රීපාල සිරිසේන, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය විවේචනය කරයි. විශේෂයෙන්, මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රමය විවේචනය කරයි. ඒ සංශෝධනය යටතේ ඇති කර ගත් ‘ව්‍යවස්ථා සභාව’ විවේචනය කරයි. අධිකරණයත්, ව්‍යංගයෙන් විවේචනය කරයි.

මේ විවේචන වලට ජනපති ඉදිරිපත් කරන කරුණු සාධාරණද ?

දැන් අපේ පරීක්ෂාවට ලක්විය යුත්තේ මෙයයි. මේ විවේචන අරභයා ජනාධිපතිවරයා ඉදිරිපත් කරන කරුණු, ඒවාට අදාළ දත්ත හමුවේ තබා පරීක්ෂාවට ලක්කෙරෙන විට, සාධාරණ සහ සත්‍යගරුක විවේචන වශයෙන් පෙනී යන්නේද යන්නයි. එසේ නම්, ඔහුගේ විවේචන අප භාරගත යුතු අතර, අදාළ ප‍්‍රතිපත්තිමය වෙනස, පුද්ගල වාසියක් තකා නොව, සමාජයේ පොදු යහපත තකා ඇති කර ගත් වෙනසක් වශයෙන් පිළිගත යුතුව තිබේ. එසේ නොවන්නේ නම්, ජනාධිපතිවරයාගේ විවේචනය, අවස්ථාවාදී තවත් දේශපාලඥයෙකුගේ ද්‍රෝහී කරණමක් වශයෙන් පැහැදිළිවම හඳුන්වා දිය යුතුව තිබේ.


‘බලය අභ්‍යාස කෙරෙන්නේ දෙවියන් වහන්සේගේ අණ ප‍්‍රකාරව නම්, එය නියාමනය කෙරෙන්නේ දේව නියමයන් මගිනි. එහෙත් බලය අභ්‍යාස කෙරෙන්නේ ජනතාව වෙනුවෙන් සහ ජනතාවගේ නාමයෙන් නම්, අදාළ බලධාරියා විසින් එම බලය අනිසි ලෙස පාවිච්චි කිරීම වැළැක්වීම සඳහා ආයතනික සහ ප‍්‍රතිපත්තිමය පැනවීම් සමුදායක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ භාවිතයට ගැනේ……..‘

‘සංවරණ සහ තුලන’

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යකරණය යනු, ජනතාව වෙනුවෙන් බලය අභ්‍යාස කිරීමත්, තවත් පැත්තකින් ඒ බල අභ්‍යාසය, ජනතාව වෙනුවෙන්ම නියාමනය කිරීමත් ය. බලය අභ්‍යාස කෙරෙන්නේ දෙවියන් වහන්සේගේ අණ ප‍්‍රකාරව නම්, එය නියාමනය කෙරෙන්නේ දේව නියමයන් මගිනි. එහෙත් බලය අභ්‍යාස කෙරෙන්නේ ජනතාව වෙනුවෙන් සහ ජනතාවගේ නාමයෙන් නම්, අදාළ බලධාරියා විසින් එම බලය අනිසි ලෙස පාවිච්චි කිරීම වැළැක්වීම සඳහා ආයතනික සහ ප‍්‍රතිපත්තිමය පැනවීම් සමුදායක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ භාවිතයට ගැනේ. ‘සංවරණ සහ තුලන’ යනුවෙන් හැඳින්වෙන මූලික නියාමන මාදිලියක් ඒ සඳහා භාවිතයට ගැනේ.

ජනපතිට වුවමනා විදියට පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ

අපේ ව්‍යවස්ථාව ප‍්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය. එහෙත් තමන්ට කැමති ඕනෑම අවස්ථාවක එම බලය පාවිච්චි කිරීම ‘සංවරණය’ කරනු වස්, එසේ විසුරුවා හැරිය හැක්කේ, පාර්ලිමේන්තුවක් අලූතෙන් රැස්වී අවුරුදු හතර හමාරකට පසුව බව ව්‍යවස්ථාවේම ලියා තිබේ. ඊළඟට, ව්‍යවස්ථාවේ සඳහන් වෙනත් වගන්ති යටතේ, මෙකී සීමාව නොතකා කටයුතු කිරීමට ජනාධිපතිවරයාට බලයක් පැවරෙන්නේද යන්න විනිශ්චය කිරීමේ බලය අධිකරණයට පැවරේ. ඒ වූ කලී, අධිකරණ බලය මගින් විධායක බලය ‘තුලනය’ කිරීමකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඕනෑම රටක, ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ වශයෙන් රාජ්‍යකරණය ශාඛා තුනකට බෙදා වෙන් කොට ඇත්තේ, මෙකී ‘සංවරණ සහ තුලන’ ප‍්‍රතිපදාව මත පදනම්ව ය.

‘ව්‍යවස්ථා සභාව’ සහ ස්වාධීන කොමිෂන් සභා යනු, එවන් ‘සංවරණ සහ තුලන’ මාදිලියකි. ස්වාධීන කොමිෂන් සභා 10 ක් සඳහා සාමාජිකයන් පත්කරනු ලබන්නේ ‘ව්‍යවස්ථා සභාවේ’ නිර්දේශ මත ජනාධිපතිවරයා විසිනි. ඊට අමතරව, ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන, අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපතිවරයා ඇතුළු අභියාචනාධිකරණ විනිසුරුවරුන්, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු මහලේකම් සහ කොමසාරිස්වරයා (ඔම්බුඞ්ස්මාන්) පත්කිරීම සඳහා ‘ව්‍යවස්ථා සභාවේ’ අනුමැතිය අවශ්‍ය කෙරේ. ‘ව්‍යවස්ථා සභාව’ නැමැති යාන්ත‍්‍රණය පසුපස ඇති සංකල්පය වන්නේ, හුදෙක් ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි රාජ්‍ය පරිපාලනයේ ඉහළ තනතුරු පිරවීම වෙනුවට, එවැනි වැදගත් ජාතික මට්ටමේ තනතුරු පිරවීම ‘ජාතික එකඟත්වයක්’ මත සිදු විය යුත්තක් ය යන කාරණයයි.

එදා මහින්දට එරෙහිව එළියට ආ සිරිසේන අද ඉන්නේ කොතැනකද ?

මේ කියන ‘ව්‍යවස්ථා සභාව’ පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ නියෝජනය කරයි. එහි සාමාජිකයන් සංඛ්‍යාව 10 කි. එයින් 3 දෙනෙක් නිල බලයෙන් පත්වන සාමාජිකයෝ ය. එනම්, කතානායකවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා ය. ඊට අමතරව, ජනාධිපතිවරයාගේ නාම යෝජනාවෙන් එක් සාමාජිකයෙක් පත්වෙයි. එසේම, අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ නාම යෝජනා මත තවත් 5 දෙනෙකු පත්කරනු ලැබේ. (එයින් දෙදෙනෙකු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විය යුතු අතර, 3 දෙනෙකු සිවිල් සමාජයෙන් විය යුතුය). ඊටත් අමතරව, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා අයත් පක්ෂවලට පිටස්තර වෙනත් පක්ෂවලින් 1 අයෙකු පත්කරනු ලැබේ. ඉහත කී ‘ජාතික එකඟත්වයක්’ සඳහා වන අවකාශය මෙකී සංයුතිය තුළ ඇති බව ඉතා පැහැදිළි ය.

දැන්, ජනාධිපතිවරයාගේ චෝදනාව වන්නේ, තමා මෙතෙක් නිර්දේශ කොට ඇති පත්වීම් 12 ක් විටින් විට මේ ‘ව්‍යවස්ථා සභාව’ මගින් ප‍්‍රතික්ෂේප කොට ඇති බවයි. එය සැබෑවක් නම්, එසේ ප‍්‍රතික්ෂේප කොට ඇත්තේ, ‘ව්‍යවස්ථා සභාවේ’ වැඩි ඡන්දයකින් ද, නැත්නම් හිතුමතේට ද, එසේත් නැත්නම් ඒකමතිකව ද යන්න ජනාධිපතිවරයා කියන්නේ නැත. එසේම, ජනාධිපතිවරයා එවන සෑම නිර්දේශයක්ම අනුමත කිරීම ‘ව්‍යවස්ථා සභාවේ’ කාරිය නම්, එවැනි ‘ව්‍යවස්ථා සභාවක්’ රටකට කුමටද යන කාරණය ඔහු අපට පැහැදිලි කර දෙන්නේ ද නැත.

ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ ‘ව්‍යවස්ථා සභාව’ පිහිටවූ දා සිට මේ දක්වා අනුමත කරන ලද සහ ප‍්‍රතික්ෂේප කරන ලද සියලූ තීරණ පොදු එකඟත්වයෙන් හෝ වැඩි ඡන්දයෙන් යුතුව ගෙන ඇති බවයි. එසේ නොමැතිව, තීරණ ගැනීමේ වෙනත් ක‍්‍රමයකට ඇත්තේ එකක් පමණි. එනම්, තනි පුද්ගලයෙකු විසින් තීරණ ගැනීමයි. එය, ඒකාධිපති ක‍්‍රමයකට මිස ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට යා දෙන්නක් නොවේ. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ මහින්ද රාජපක්ෂ භුක්ති වින්දේ එවැනි බලයකි. මේ සිරිසේන ඊට එරෙහිව එළියට ආ පුද්ගලයා ය.

ජනාධිපතිතුමාගේ පෙරට්ටුවට විජයදාසත් එක්වෙයි

ජනාධිපතිගේ පෙරට්ටුවට දැන් විජයදාස රාජපක්ෂත් එක්ව සිටී. මේ ‘ව්‍යවස්ථා සභාව’ රටේ තිබෙන දූෂිතම ආයතනයක් බව ඔහු කියයි. ඒ සඳහා ඔහු පාදක කර ගන්නා ප‍්‍රධාන චෝදනාවක් වන්නේ, සුහද ගම්ලත් වෙනුවට ජයන්ත ජයසූරිය නීතිපති තනතුරට පත්කරනු ලැබීම ය. තවද, පොලිස් කොමිසම ඔහු විවේචනය කරන්නේ, රටේ අපරාධ සංඛ්‍යාව එවැනි කොමිසමක් තිබූ පමණින් අඩු වී තිබේදැ යි අපෙන් ප‍්‍රශ්න කරමිනි. රටේ සිටින ප‍්‍රබුද්ධයන් ‘මන්ද බුද්ධිකයන්’ වශයෙන් හඳුන්වමින්, තමා නම් ‘මහා ප‍්‍රාඥයෙකු’ බවට අතින් වියදම් කොට රට පුරා තාප්පවල පෝස්ටර් අලවා ගත් මේ විජයදාස රාජපක්ෂ, ‘ඇවන්ගාඞ් සිද්ධියේදී’ මෙන්ම මෙහිදීත් මොන තරම් කුහක පිළිවෙතක් මත පිහිටා කට අරින්නේ ද යන්න ඔහුගේ ඒ චෝදනා සහ ප‍්‍රශ්න කිරීම් මගින් ස්ඵුට කෙරේ.

නීතිපති තනතුර සඳහා 2016 පෙබරවාරි 8 වැනි දා ජනාධිපතිවරයා ‘ව්‍යවස්ථා සභාවට’ නම් 3 ක් යෝජනා කොට එව්වේය. එනම්, ජයන්ත ජයසූරිය, සුහද ගම්ලත් සහ කපිල වෛද්‍යරත්නයි. එම නම් තුන, ජනාධිපතිවරයාගේ කැමැත්තේ අනුපිළිවෙලට සකසා එවන්නැයි ‘ව්‍යවස්ථා සභාව’ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා යැවීය. එවිට, කැමැත්තේ අනුපිළිවෙලක් දක්වා එවනවා වෙනුවට, පෙබරවාරි 10 වැනි දා ජනාධිපතිවරයා එක නමක් පමණක් එව්වේය. ඒ, ජයන්ත ජයසූරියගේ නම ය. ඒ නම, ‘ව්‍යවස්ථා සභාවේ’ ඒකමතිකත්වයෙන් සම්මත විය. එදා එම ‘ව්‍යවස්ථා සභාවේ’ මේ කියන විජයදාස රාජපක්ෂත් සිටියේය.

විජයදාසත් හිටි ව්‍යවස්ථාදායක සභාව

2016 අප්‍රේල් 18 වැනි දා පොලිස්පති තනතුර සඳහා ජනාධිපතිවරයා නම් 3 ක් නිර්දේශ කොට එව්වේය. ඒ, පූජිත ජයසුන්දර, වික‍්‍රමසිංහ සහ වික‍්‍රමරත්න යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ය. මේ සඳහා ‘ව්‍යවස්ථා සභාවේ’ රහස් ඡන්දයක් පැවැත්වුණි. එහිදී පූජිත ජයසුන්දර වෙනුවෙන් ඡන්ද 5 ක් ද, වික‍්‍රමසිංහ වෙනුවෙන් 1 ඡන්දයක් ද ලැබී තිබුණි. ඒ සභාවේත් විජයදාස රාජපක්ෂ සිටියේය.

2017 පෙබරවාරි 27 වැනි දා අගවිනිසුරු ධුරයට ජනාධිපතිවරයා නම් 2 ක් නිර්දේශ කොට එව්වේය. ඒ, ප‍්‍රියසත් ඩෙප් සහ කේ. ටී. චිත‍්‍රසිරි ය. ජ්‍යෙෂ්ඨත්වයත්, අගවිනිසුරු ධුරයේ කලින් වැඩ බලා ඇති පදනමත් සැලකිල්ලට ගනිමින් ‘ව්‍යවස්ථා සභාව’ ඒකමතිකව ප‍්‍රියසත් ඩෙප්ගේ නම අනුමත කෙළේය.

අභියාචනාධිකරණයේ පුරප්පාඩු 2 ක් සඳහා ජනාධිපතිවරයා 2018 අප්‍රේල් 18 වැනි දා නම් 4 ක් ‘ව්‍යවස්ථා සභාව’ වෙත එව්වේය. ඒ, මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගේ සහ එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයෙකුගේ ය. ඒ අතරින්, වැඩිම ජ්‍යෙෂ්ඨත්වයෙන් යුත් මහාධිකරණ විනිසුරුවරයාගේ සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාගේ නම් දෙක ‘ව්‍යවස්ථා සභාව’ අනුමත කෙළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති පුරප්පාඩු දෙකක් සඳහා ජනාධිපතිවරයා 2018 ඔක්තෝබර් 25 වැනි දා නම් 4 ක් නිර්දේශ කොට එවා තිබුණි. එයින්, අවශ්‍ය පුරප්පාඩු 2 සඳහා නම් 2 ක් ‘ව්‍යවස්ථා සභාව’ අනුමත කෙළේය.

නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 3 ක් සඳහා 2019 දෙසැම්බර් 21 වැනි දා ජනාධිපතිවරයා නම් 4 ක් නිර්දේශ කොට එවා තිබුණි. එයින්, අවශ්‍ය පුරප්පාඩු 3 සඳහා නම් 3 ක් ‘ව්‍යවස්ථා සභාව’ අනුමත කෙළේය.

මේ අතර එක් අවස්ථාවකදී ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ කළ තවත් පුද්ගලයෙකු ‘ව්‍යවස්ථා සභාව’ එකහෙලා ප‍්‍රතික්ෂේප කෙළේය. අගවිනිසුරුවරයා ද ඒ පුද්ගලයාගේ නම අනුමත කිරීම ප‍්‍රතික්ෂේප කොට තිබුණි. ඔහු වැනි පුද්ගලයෙකු එදා එවැනි උසස් තනතුරකට ජනාධිපතිවරයා විසින් නම් කරනු ලැබීමම, අධිකරණ සහ නීතිඥ ප‍්‍රජාවගේ ඉමහත් විමතියට හේතු විය.

ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් ජනපති අනුගමනය කරන ප්‍රතිපත්ති නිවැරදිද ? 

ජනාධිපතිවරයාගේ නිර්දේශ සහ ‘ව්‍යවස්ථා සභාවේ’ අනුමැතිය අතර මතුවිය හැකි මෙවැනි ගැටළුකාරී අවස්ථා අවම කර ගනු වස්, ජනාධිපතිවරයා යම් නමක් හෝ නම් කිහිපයක් නිර්දේශ කිරීමට කලින් (අධිකරණය සහ නීති ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් නම්) ඒ ගැන අගවිනිසුරුවරයා, නීතිපතිවරයා සහ නීතිඥ සංගමය වැනි අදාළ පාර්ශ්ව සමග අදහස් හුවමාරු කර ගැනීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කරන්නැයි බොහෝ විට උපදෙස් දෙනු ලැබ තිබේ. ඒ අනුව, ප‍්‍රසන්න ජයවර්ධනගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ කිරීමේදී ජනාධිපතිවරයා නීතිඥ සංගමයේ අදහස් විමසා තිබුණි. එහෙත් ඉහත කී ආන්දෝලනාත්මක නිර්දේශය කිරීමේදී ජනාධිපතිවරයා ඒ ප‍්‍රතිපත්තිය අනුගමනය කර නොතිබුණි.

නාම යෝජනා කිරීමේ ජනාධිපතිවරයාගේ පිළිවෙත විටෙක පටු දේශපාලනික චින්තනයක් ඔස්සේ යන බව පැහැදිළිව පෙනෙන්ට තිබේ. මේ වන විට, අභියාචනාධිකරණයේ සභාපති ධුරය හිස්ව පවතී. ඊට හේතුව, ඔහු නිර්දේශ කළ දීපාලි විජේසුන්දරගේ නම ‘ව්‍යවස්ථා සභාව’ කිහිප වරක්ම ප‍්‍රතික්ෂේප කොට තිබීමයි. අගවිනිසුරුවරයා ද ඇගේ නම අනුමත කොට නැත. ජනාධිපතිවරයාගේ තර්කය වන්නේ, වර්තමාන අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් පළමු තැන සිටින්නේ ඇය බවයි. එය සැබැවකි. එහෙත්, 2018 ජනවාරි මාසයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටියේත් ඇයයි. එසේ තිබියදී, ජ්‍යෙෂ්ඨත්වය නොසලකා ජනාධිපතිවරයා අභියාචනාධිකරණයේ සභාපති තනතුරට එදා නිර්දේශ කොට පත්කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඇයට අඩු තත්වයේ සිටි වෙනත් කෙනෙකි. එපමණක් නොව, මෙවර ඇගේ නම ‘ව්‍යවස්ථා සභාවෙන්’ ප‍්‍රතික්ෂේප කොට ඇත්තේ ඒකච්ඡුන්දයෙන් බවත් කිව යුතුය. එසේ ප‍්‍රතික්ෂේප කෙරෙන අවස්ථාවේ වර්තමාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂත් ඒ ‘ව්‍යවස්ථා සභාවේ’ සිටියේය.

එසේම, වර්තමාන අගවිනිසුරුවරයා එම තනතුරට පත්කරන අවස්ථාවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටියේ ඊවා වනසුන්දරයි. එහෙත්, 1988 න් පසු, පහළින් පැමිණි කිසි වෘත්තීය විනිසුරුවරයෙකු අගවිනිසුරු ධුරයට පත්ව නැතැයි යන තර්කය මත වර්තමාන අගවිනිසුරුවරයාගේ නම පමණක් ජනාධිපතිවරයා නිර්දේශ කොට ‘ව්‍යවස්ථා සභාවේ’ අනුමැතිය සඳහා එවා තිබුණි. එම නම ‘ව්‍යවස්ථා සභාවේ’ ඒකමතිකත්වයෙන් අනුමත විය. විජයදාස රාජපක්ෂ කියන පරිදි ඒ ගැන යම් විවේචනයක් ඇත්නම් ඒ විවේචනය එල්ල විය යුත්තේ ජනාධිපතිවරයාට මිස ‘ව්‍යවස්ථා සභාවට’ නොවේ.

තනතුරු ප්‍රධානත්වයේදී ජ්‍යෙෂ්ඨත්වයට අමතරව ඉස්මතු වන සාධක

මෙයින් පෙනී යන්නේ, ජ්‍යෙෂ්ඨත්වයට අමතරව වෙනත් සාධක ගණනාවක් මෙවැනි පත්වීම් සඳහා සැලකිල්ලට ගැනෙන බව ය. මේ සියලූ කරුණු, එනම් ජ්‍යෙෂ්ඨත්වය, නිපුණත්වය, වෘත්තීය වාර්තාව, අපක්ෂාපතීත්වය, සුපිළිපන් භාවය සහ අදීනත්වය ආදි සියලූ කරුණු උසස් පත්වීම් සඳහා සැලකිල්ලට ගත යුතුව තිබේ. යම් පත්කිරීමක් කළ යුත්තේ ජ්‍යෙෂ්ඨත්වය මත පමණක් පදනම් වෙමින් නම්, ඒ සඳහා කිසි බලධාරියෙකු හෝ කිසි පරිපාටියක් අවශ්‍ය නොකරන්නේය.

එසේ තිබියදී, තමා නිර්දේශ කළ පුද්ගලයන් 12 දෙනෙකු ‘ව්‍යවස්ථා සභාවෙන්’ ප‍්‍රතික්ෂේප වූ බව ජනාධිපතිවරයා කියන විට ඔහු හිතාමතා වසංගන කරුණු ගණනාවක් තිබේ. එකක් වන්නේ, එක තනතුරක් සඳහා ඔහු නම් තුනක් නිර්දේශ කොට එවන විට එයින් නම් දෙකක් අනිවාර්යයෙන් කැපී යන බව ය. ඉහතින් කී පොලිස්පති පුරප්පාඩුවට ඔහු නම් තුනක් එවා තිබූ නිසා එයින් නම් දෙකක් බැහැර කිරීමට සිදුවීම අනිවාර්ය විය. මීට කලින් අගවිනිසුරු ධුරය සඳහා නම් දෙකක් එවා තිබූ නිසා එක නමක් අනිවාර්යයෙන් ඉවත් කිරීමට සිදුවිය. අභියාචනාධිකරණ පුරප්පාඩු 2 සඳහා නම් 4 ක් එවා තිබූ නිසා නම් 2 ක් ඉවත් වීම අනිවාර්ය විය. නීතිපති තනතුර සඳහා නම් 3 ක් මුලින් එවූ නිසා නම් 2 ක් ඉවත් වීමට නියමිතව තිබුණි. කරුණු එසේ තිබියදී, තමා නිර්දේශ කළ නම් 12 ක් ‘ව්‍යවස්ථා සභාවෙන්’ ප‍්‍රතික්ෂේප විණැයි ජනාධිපතිවරයා කීම වංක සහ වංචනික කතාවකි.

ලැජ්ජා විය යුත්තේ ජනපතිමයි

දෙවැනි කාරණය වන්නේ, ඔහු නිර්දේශ කළ ඒ සා විශාල නම් ප‍්‍රමාණයක් ‘ව්‍යවස්ථා සභාවෙන්’ ප‍්‍රතික්ෂේප වී ඇත්නම්, ඒ ගැනත් ලජ්ජා විය යුත්තේ ඔහුම ය. මේ ලිපියේ ඉහතින් කී පරිදි එක් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කිරීමෙන් මුළු නීති ක්ෂේත‍්‍රයම භ‍්‍රාන්තියට පත්කළ අවස්ථාව ඊට නිදසුනකි. පාර්ලිමේන්තුවත්, පාර්ලිමේන්තුවෙන් පිටස්තර ප‍්‍රජාවත් නියෝජනය කරන 10 දෙනෙකුගෙන් සැදුම්ලත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මඩුල්ලක් විසින් තනි පුද්ගලයෙකුගේ නිර්දේශ ප‍්‍රතික්ෂේප කිරීම, එකී පුද්ගලයාගේ තේරීමේ ශක්තියේ දුර්වලතාවම පෙන්නුම් කරන්නකි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අරභයා වූ ජනාධිපතිවරයාගේ තනි තේරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතිකත්වයෙන් මෑතකදී ප‍්‍රතික්ෂේප කෙරුණු බවත් මේ අවස්ථාවේ ඔහුට සිහිපත් කර දිය යුතුව තිබේ.

තෙවැනි කාරණය වන්නේ, ‘ව්‍යවස්ථා සභාවක්’ පිහිටුවා ඇත්තේම, එකී වැරදි තනි-පුද්ගල තීරණ, පොදු සුභසිද්ධිය තකා කිරා බලා පරීක්ෂාවට ලක්කිරීමට වන බවයි. මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ මේ කාර්යය සඳහාම හොරට අටවාගෙන තිබූ ‘පාර්ලිමේන්තු කවුන්සිලය’ නැමැති අට්ටාලය මෙන් වර්තමාන ‘ව්‍යවස්ථා සභාව’ ජනාධිපතිවරයාගේ රබර් මුද්‍රාවක් හෝ අවනත අතකොළුවක් හෝ නොවන බවට එයම සාක්ෂියකි. හිටපු ජනාධිපතිවරයාට සහ වර්තමාන ජනාධිපතිවරයාට උහුලන්නට බැරි කාරණයත් එයයි.

කොටින්ම, ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ සගයන් මේ කියන්නේ, විධායක ජනාධිපති ධුරය සතුව මහින්ද රාජපක්ෂ කාලයේ තිබූ ඒ අජරාමර විභූතිය නැවත අත්පත් කර ගත යුතුව ඇති බව මිස අන් කවරක්ද? එක වරක් පමණක් එම ධුරය හෙබැවීමේ අපේක්ෂාවෙන් සිටි කාලයේ සිරිසේනට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඇම්මක් තිබුණි. එහෙත්, තවත් වරක් සිංහාසනාරූඪ වීමේ සිහිනය දකින්ට පටන් ගත් දා සිට, තමන් එදා කළ දේවල් ගොන් කම් වශයෙන් දැන් ඔහුට දැනෙනවා ඇති.


සබැඳි පුවත්

0 comments: