Hot!

‘අද මේ රටේ ඉන්න අන්තවාදී කල්ලිවලට අවශ්‍ය කරලා තියෙන්නේ රාජාණ්ඩුවක් සකස් කරගන්න’ – මාලක දේවප්‍රිය


පසුගියදා නිමාවට පත් වූ රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙලේදී හොඳම ගුවන්විදුලි නාට්‍ය පිටපත් රචනයට හිමි සම්මානය හිමි කර ගත්තේ මාලක දේවප්‍රියයි.මෙම සම්මාන උළෙලේදී මාලකගේ 'සුව දෙන අග්නි' වෙනුවෙන් හොඳම හඬ නළු ශිල්පිනියට හිමි ජුරි සම්මාන (රම්‍යා වනිගසේකර) හා 'නාඩන් පටාචාරා' වෙනුවෙන් (අයිරාංගනී සේරසිංහට)ද හිමි විය. පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ගුවන් විදුලි නාට්‍ය නිර්මාණ වූ තරුවන් සරණයි, නිහොන් සැප ලැබේවාද ඔහුගේ නිර්මාණය. කෙසේ වෙතත් ඔහුට හොඳම ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචනයට හිමි සම්මානය හිමි වන්නේ "ඉන්ද්‍රජාලික මඟුල් සැණකෙළි'' නිර්මාණය වෙනුවෙනි. එබැවින් මාලක සමග කතාබහක යෙදීමට අපි අදහස් කළෙමු.

ලැබුණු සම්මානය ගැන මොකද හිතන්නේ ?

සම්මානය ගැන තුලනාත්මක අදහසක් මට තියෙන්නෙ. පසුගිය කාලයේ මගේ ගුවන් විදුලි නාට්‍ය නම් කිහිපයක් පමණක් පාදක කර ගනිමින් ඇතැම් මාධ්‍ය දිගින් දිගටම පහර දුන්නා. බුදු දහමට අපහාස කරන බවට ප‍්‍රවාදයක් ගොඩනැගුවා. එය සිදුකළේත් ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී කල්ලි විසින් පටු දේශපාලනික වාසි අත්පත් කර ගැනීම වෙනුවෙන්. සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය බී රිපෝර්ට් එකක් දමා 291 (අ) සහ 291 (ආ) යන දණ්ඩ නීති සංග‍්‍රහය වගන්ති යටතේ මේ නිර්මාණවලට චෝදනා පවා ගොනු කර තිබෙනවා.

ඒත් එම රාජ්‍යය විසින්මයි ඔබව ඇගයීමට ලක් කරන්නෙත්?

ඔව්.ඒකම තමයි මෙහි පවතින නාටකීය බව. රාජ්‍යය එක් පසෙකින් නිර්මාණකරණය යනු සංවිධානාත්මක අපරාධයක් විදිහට නම් කරල ක‍්‍රියා මාර්ග ගැනීමට උත්සාහ කරන ගමන්, එම රාජ්‍යයම ගුවන් විදුලි සම්මාන උළෙලේදී එම නාට්‍යය අගය කිරීමට ලක් කරලා හොඳම සම්මානයට පාත‍්‍ර කරවනවා. 2017 වසරේදීත් මට පළමු රාජ්‍ය ගුවන් විදුලි සම්මාන උළෙලේ මේ සම්මානය ලැබුණා. දෙවැනි වතාවටත් එය ලබා ගැනීම ආස්වාදනීයයි. මේ අන්තවාදී කල්ලි වලට කරන අභියෝගයක් විදිහට ඔවුන්ගේ ප්‍රවාදය බොරුවක් බව සනාථ කරන්න මේ සම්මානය මම බාර ගත්තා.

හැබැයි ආගමික අපහාසයක් පිළිබඳ චෝදනා නැගීමටත් යම් යම් හේතු තියෙන්න ඇති?

අද මේ රටේ ඉන්න අන්තවාදී කල්ලිවලට අවශ්‍ය කරලා තියෙන්නේ රාජාණ්ඩුවක් සකස් කර ගන්න. ඒ අයගේ අභිප‍්‍රාය වෙන්නේ වැඩවසම් යාන්ත‍්‍රණ හරහා ගැතිකම්, වන්දිභට්ටකම්, පක්ෂපාතිත්වයන් මත දූෂණය, භීෂණය මර්දනය ඇති කරලීම සහ ඒ හරහා වරප්‍රසාද භුක්ති විඳීම. අද මේ රටේ බහුතර මාධ්‍යයන් ක‍්‍රියාත්මක වෙන්නෙත් මේ න්‍යාය පත‍්‍රය පදනම් කරගෙන. ඔවුන්ට අනුව ජන මාධ්‍ය කියන්නේ ව්‍යාපාරයක්. මේවායේ සන්නිවේදන පරමාර්ථ අරමුණු කිසිවක් නැහැ. මගේ නාට්‍ය සඳහා විරෝධයක් ගෙන ආවෙත් ඒ නාට්‍ය අහලවත් නෙමෙයි.

ඒත් ඔබටත් තිබුණා එවැනි භාවිතාවක නොයෙදී ඉන්න ?

භාෂාව කියන්නේ සංකේත පද්ධතියක්. භාෂාව පාවිච්චි කරල සන්නිවේදනය වගේම නිර්මාණත් සිදු කරනවා. භාෂාවක සංකේත කිසිදු ආගමික සංස්ථාවකට හෝ පොලිසියට හෝ දේශපාලන කණ්ඩායමකට හෝ කිසිවෙකුට අයිති දෙයක් නෙමෙයි. ලෝක ඉතිහාසයේ සිට මේ දක්වා කවියො, කෙටිකතාකරුවෝ, නවකතාකරුවෝ, නාට්‍යකරුවෝ ආදී එකී නොකී නිර්මාණකරුවො මේ භාෂාව පාවිච්චි කරලා ව්‍යංගාර්ථ, උපමා, ධ්වනිතාර්ථ, උපහාස මතු කරනවා. නිර්මාණකරුවො භාෂාව භාවිතා කරන්නේ පටු දේශපාලනඥයන්ට, නැත්තම් පොලිසියට, එහෙම නැත්තම් අන්තවාදීන් කල්ලි කණ්ඩායම්වලට අනුකූලව නෙමෙයි. අනික ඒක කාගෙවත් පේටන්ට් එකක් නෙමෙයි. භාෂාවක අර්ථයන්, සන්දර්භයට සාපේක්ෂව වෙනස් වෙනවා. උදාහරණයකට ජේසු කියන පදය ගත්තොත් යෝවද තම්පව රෝමනු ජේසු කිව්වම එක් අර්ථයකුත්, ජේසු දාසන් කිව්වම තවත් අර්ථයකුත්, ජේ.සුනිමල් කිව්වම තවත් අර්ථයකුත්, ජේසුතුමා කිව්වම තවත් අර්ථයකුත් සන්නිවේදනය වෙනවා.ඒ නිසා භාෂාව ක‍්‍රියාත්මක වන විද්‍යාත්මක පදනම් ගැන අවබෝධයක් නැති ඔලමොට්ටල, පටු අන්තවාදී න්‍යායාචාර්යවරුන් කරන මේ ප්‍රහාරය සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක්.

සම කාලීන ගුවන් විදුලි නාට්‍යය සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?

ලෝක ගුවන් විදුලි නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගය අපට හමුවෙන්නේ 1950 දශකයේදි. මේ කාලය තුළ ගුවන් විදුලි නාට්‍ය නිර්මාණකරුවන් විසින් කරන ලද නව භාවිතාවන් නිසා ස්වීය අනන්‍යතා ලක්ෂණ සහිත කලාවක් ලෙස මතු වුණා. 2019 වෙනකොට ලෝකයේ රේඩියෝ නාට්‍ය කලාව ස්වර්ණමය තත්ත්වය ඉක්මවා ප්ලැටිනම් වැනි තත්ත්වයක් අත්පත් කරගෙන තියෙනවා. බීබීසී ලෝක සේවය හරහා දිනපතා විකාශය වන නාට්‍යවලට ඇහුම්කන් දුන්නොත් මේ බව මනාව තහවුරු කරගන්න පුළුවන්. ඔවුන් නූතන ඩිජිටල් සන්නිවේදනය හා සමපාත වෙමින් නව පර්යේෂණාත්මක ආකෘතිමය තේමාමය හරඹයක් කරමින් විශාල ගුවන් විදුලි නාට්‍ය ප‍්‍රමාණයක් නිර්මාණය කරනවා. මේවා අහන කෝටි ගණනක නිත්‍ය ශ‍්‍රාවක පිරිසක් ඉන්නවා. 1950 ලාංකේය ගුවන් විදුලි නාට්‍ය කලාව විවේචනයක් ඉදිරිපත් කරමින් පී. වැලිකල කිව්වේ ලාංකේය නාට්‍ය කලාව තවමත් පවතින්නේ දණ ගාන අවධියක කියලා. නමුත් දශක හතක් ගෙවිලත් අද පවතින්නේ එය පිළිසිඳ ගෙනවත් නැති මට්ටමක. මේ බව තහවුරු කරගන්න පුළුවන් ලංකාවේ පවතින පෞද්ගලික හා රාජ්‍ය ගුවන් විදුලි නාලිකාවලින් විකාශනය වන නාට්‍ය ලේබලය ඇලවූ වැඩසටහන් ශ‍්‍ර‍්‍රවණය කළොත්. මේවා හුදු ලාභය පමණක් අරමුණු කර ගනිමින් ඉදිරිපත් කරන බොළඳ ලාබ වාං හෑලිවලින් සමන්විත ව්‍යාපෘති මිසක් ගුවන් විදුලි නාට්‍ය විදිහට නම් කරන්න අමාරුයි.


ගුවන් විදුලි නාට්‍ය කලාවට මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු විදිහට දකින්නේ මොනවද?

ලංකාවේ ගුවන් විදුලි නාට්‍ය කලාව ගොඩනැගීම සම්බන්ධව විධිමත් අදහසක් අපිට ලබාගන්න පුළුවන් වෙන්නේ 1953 Report On The Commission Of Broadcasting එකෙන්. නෝර්මඩ් එඩ්වඩ් වීරසූරියගේ සභාපතිත්වයෙන් මෙහි කරුණු රැසක් ඉස්මතු කළා. එකල නාට්‍ය ලෙස දක්නට හැකිවුණේ ග‍්‍රාම්‍ය විහිළු හා දෙබස් අනුසාරයෙන් වූ කතා. මේවායේ අශ්ලීල යෙදුම් බහුලයි. අනික සමකාලීන ගුවන් විදුලිය තුළ නාට්‍ය පිටපතක ගුණාත්මක බව මැනීමට සුදුසුකම් ලත් පිරිසකගේ හිඟයක් තියෙනවා. නාට්‍ය නිෂ්පාදනය කරන පිරිස් නිර්මාණාත්මක දක්ෂතා ඈඳා ගැනීම වෙනුවට අධිකාරිත්වයක් හිමි පිරිසට අවකාශ සැලසීම ගැටලුවක්. නාට්‍යවල රංගනයෙන් යුතු බහුතර ශිල්පීන්, භාෂාව, රංගනය සම්බන්ධ දැනුම මඳ නිසා රංගනය කෘත්‍රිම ස්වභාවයක් ගන්නවා.

ඒත් ගුණාත්මක නිර්මාණකරණයේ යෙදෙන නිර්මාණකරුවන්ගේ හිඟයක් පවතිනවා කියල හිතන්න අමාරුයි?

නාට්‍ය අංශය වෙත හොඳ පිටපත් ලැබෙනවා.ඒත් එතකොට සිදුකරන්නේ ආධුනික රංග ශිල්පීන් යොදවලා ඒ නිෂ්පාදනය බාල කිරීමක්. එදා දැක්වූ ගුවන් විදුලි නාට්‍ය සම්බන්ධ ගැටලු අදටත් එලෙසටම පොදුයි. එදා වගේම අදටත් ගුවන් විදුලි නාට්‍යවල සිට වේදිකා නාට්‍ය සිනමාව ගොඩනැංවීම සඳහා සංස්කෘතික ප‍්‍රතිපත්තියක් අපිට නැහැ. බලයට පත්වන විවිධ ආණ්ඩු පටු දේශපාලනය න්‍යාය පත‍්‍ර ඔස්සේ තමන්ට වාසිදායක සුබසාධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම ඇරෙන්න කිසි දෙයක් කරන්නේ නෑ. අනික මේ කලාවන් ගොඩනැංවීම සඳහා දෘෂ්ටිවාදීමය අදහසකුත් තවමත් නැහැ. බහුතර නිලධාරීන් ඉන්නෙත් පටු වාර්ගික, ආගමික, අන්තවාදී රාමුවල. ඔවුන් යටතේ රටක සංස්කෘතික ප‍්‍රතිපත්තියක් ගොඩනගන්න ගන්න බෑ. ඒ වගේම නූතනවාදී නිර්මාණ සංස්කෘතියක් පවත්වාගෙන යන්නත් බැහැ.

ඒ නිසාද ඔබටත් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සංස්කෘතික රස්තියාදුවක යෙදෙන්න සිදුවුණේ?

ඔව්.ඊට ජාතිවාදීන්,රාජපක්ෂවාදීන්,ආගමික අන්තවාදීන් සහ වර්ගවාදීන් වග කියන්න ඕනි. මෙයාලට නූතනවාදී දැනුමක් නැහැ. උපහාසය,හාස්‍යය,ධ්වනිතාර්ථ තේරෙන්නේ නැත්තේ මේ නිසා. අනික මේවා අදක ඊයෙක ඉඳන් සිදුවෙන දේවල් නෙමෙයි. 'ඇත්ත' පුවත්පතේ කර්තෘ බී.ඒ.සිරිවර්ධන පවා "සුද්දන් සරණං ගච්ඡාමි" වැනි වදන් භාවිතා කරල තියෙනවා. "චේ" නැතිවුණාට පස්සේ "චේ අනිච්චේ" කියල භාවිතා වෙලා තියෙනවා. මේ වගේ එදා සිට අද දක්වා බොහෝ කතුවරු රචකයෝ විවිධ උත්ප්‍රාස ධ්වනිතාර්ථ මතු කළ තියෙනවා. ඒ නිසා අපට පේනවා ඇයි මේ විරෝධය එන්නේ පටු දේශපාලන පරමාර්ථයකින්කි කියල. හැබැයි කණගාටුව තමයි මේ කුලකය තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ වගේ සිංහල අධ්‍යනාංශවල කිසිම ශාස්ත්‍රීය පර්යේෂණයක් නොකළ බ්‍රෂ්ටයොත් සිටීම. එයාලා මහාචාර්ය වෙලා තියෙන්නේ පිනට කියලයි මට පේන්නේ. ඒ නිසා එවැනි අය එකතු වෙලා කළ පහරදීමක් විදිහටයි මට මේක දැනුණේ.

කොහොම වුණත් වත්මන් පරපුර තුළ ගුවන් විදුලි නාට්‍යය ඇසීමට යොමුවීමක් නැහැ නේද?

ලංකාවෙ තරම් අසා බහුශ්‍රැත වීමේ ප්‍රබල සංස්කෘතියක් ආසියාවේවත් තිබුණේ නැහැ.ඒ කලාව තාමත් ලෝකයේ අහෝසි වෙලා නැහැ.බීබීසි සේවය ගත්තොත් විවිධ පරාස කරා එය විදාරණය වෙනවා. දැනුම, රසය, පරිකල්පනය, ආකල්ප දියුණු කිරීමට එය භාවිතා වෙනවා. එක වචනයක් රූප දාහක් දක්වා බලාත්මක කළ හැකි මාධ්‍යයක් විදිහට ගුවන් විදුලිය හඳුන්වන්නේ ඒකයි. ඒ නිසයි බොහෝ දෙනෙක් මේ මාධ්‍යයෙන් වැඩ කිරීම උපහාසයට නගද්දී පවා මං මේ වැඩ බිමේ නියැලී ඉන්නේ.


0 comments: