Hot!

වැදගත් ම දෙය නම් ඔහු අප ‘නිදහස්’ කර තිබීම ය - ගින්නෙන් උපන් සීතල



– මහේෂ් හපුගොඩ –


‘හැම අයෙක් ම විවේචකයෙක් ය. ගැටළුව නම් මීට වඩා හොඳින් ඔබට කළ හැකිද යන්න ය’ (ෆ්‍රෙඩී මර්කරි). Everyone is a critic, but can you do better ?


ගින්නෙන් උපන් සීතල අපට කියා දෙන්නේ කුමක්ද ?

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයාගේ චරිතය ආශ්‍රය කර ගනිමින් අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ගින්නෙන් උපන් සීතල’ (The Frozen Fire) නම් චිත්‍රපටය අප වෙත ගෙන එන දේශපාලන සහ දාර්ශනික අන්තර්ගතය විශ්ලේෂණ කර ගැනීමට මා මෙහිදී පාදක කර ගන්නේ තනිකරම එම චිත්‍රපටය විසින් චිත්‍රණය කරන ‘යථාර්තය’ (ප්‍රබන්ධය) පමණකි.

එනයින් එම චිත්‍රපටය ගැන කලාත්මක විචාරයන් සපයන විචාරකයින් සහ එම චිත්‍රපටයේ ඓතිහාසික නිර්මිතය ගැන ‘වාස්තවික’ විචාර සපයන විචාරකයින් යන ප්‍රවේශ දෙකින් ම මෙම ලියවිල්ල වෙනස් වේ. ඇත්තටම සිදුවුයේ කුමක්ද යන මෙම දෙවන ප්‍රවේශය පවා අද දවසේ සිට අතීතය වෙත ප්‍රක්ෂේපනය කරන පසු ආවර්තිත ප්‍රබන්ධයක් මිස සත්‍යයක් නොවේ. ඔවුන් විසින් කරන්නේ අද ඔවුන් දරන මතවාදයට අවශ්‍ය ආකාරයට ඉතිහාසය අර්ථකථනය කිරීම පමණි.

මේ විචාරයක් නොවේ

එමෙන්ම විපරීත ධනවාදයට එරෙහිව අරගල කළ විජේවීර සහෝදරයා කුමන මානසික රෝගයකින් පීඩා විඳිමින් සිටියාද යන්න පිළිබඳව අද දවසේ ‘ධනවාදය තුල ජිවත් වන නිරෝගී මිනිසුන්’ (සහ වෛද්‍යවරුන්) විසින් කරනු ලබන විචාර වලින් ද මෙම ලියවිල්ල වෙනස් වේ. හැරත් මා ජ. වි. පෙ. ඉතිහාසයේ ඇත්තටම කුමක් සිදුවීද යන්න දන්නේ නැත. අද ඉන්නා නායකයින් පවා ‘ඇත්ත’ කුමක් දැයි දන්නේ ද යන්න දන්නේ ද නැත. ඒ අර්ථයෙන් මෙම අර්ථකතනය ‘ගින්නෙන් උපන් සීතල’ ගැන කලා විචාරයක් නොවේ. යථාර්තවාදී විචාරයක් ද නොවේ. සායනික විචාරයක් ද නොවේ.

එනයින් මෙම කෙටි රචනය විසින් ගෙනහැර දක්වන අර්ථකතනය වනාහී ඉහත චිත්‍රපට සිද්ධියට (cinematic event) පමණක් අදාල කරගත යුතු ප්‍රපංචවේදී අර්ථකතනයකි. මා මෙහිදී දකින රෝහණ විජේවීර යනු තනිකරම ‘චිත්‍රපට විජේවීර’ කෙනෙක් ලෙස සැලකීම ප්‍රපංචයීය ව වැදගත් වේ. එනයින් මා විසින් ද චිත්‍රපටකරුවා මෙන්ම විජේවීර චරිතය සත්‍ය ඉතිහාසයෙන් සහ වර්තමාන කතිකාවෙන් ඛණ්ඩනය කරමි. එසේ කරනු ලබන්නේ වැඩ කරන පංතියක් නොමැති වීම නම් ‘මාක්ස්වාදයේ අසමත් කම’ ඉහත ප්‍රබන්ධ චරිතය ජය ගත්තේ කෙසේද යන ගැටළුවට පිළිතුරක් ගොනු කෙසේද යන්න පැහැදිළි කර ගැනීම වෙනුවෙනි.

ගින්නෙන් උපන් සීතල ගැන ප්‍රශ්න කරන උදවිය ‘අවතාර‘ නොවන්නේ කෙසේද ?

කීර්ති, ගමනායක සහ විජේවීර වැන්නන් මියගොස් එම මියගිය වුන් ප්‍රශ්න කිරීමට ලයනල් බෝපගේ, වික්ටර් අයිවන්, ජයදේව උයන්ගොඩ සහ රුවන් ජයතුංග වැන්නන් ‘ජීවත් වන්නේ’ කෙසේද යන ප්‍රශ්නය කිසිවෙක් නොඅසන්නේ ඇයි ? අරගලයේ මර්ධනය තුළ ජීවත් වීමට සහ ධනවාදය අත්දැකීමට ‘වාසනාව’ ලද මේ මිනිසුන් ‘අවතාර’ නොවන්නේ කෙසේද? (පැරණි තත්වයෙන් නව තත්වයක් වෙත රැඩිකල් පොලා පැනීමක් සිදු වන විට පැරණි තත්වයේ පෙකනිවැල ඛණ්ඩනය නොවී නව තත්වයෙන් පැරණි ලෝකයට නැවත යන අතරමැද සිහින දකින්නන් මේ අවතාර අවධියට අයත් වේ. මොවුන් ‘දෘෂ්ටිමය අවතාර’ ලෙස ද හැදින්විය හැක.

මෙම ‘ජිවත් වන අවතාර’ විවේචකයින් ට එරෙහිව ඉස්මතු විය යුත්තේ ඇන්ටිගනියානු මරණයයි. එනම් ෆ්‍රෙඩී මර්කරි වැනි චරිතයි. ජිජැක් සඳහන් කරන්නේ යමෙක් තම ජීවිත කාලය පුරා බලාසිටි ආදර වස්තුව මුණ ගැසුණු විට එම වස්තුව සම්මුඛ වන මොහොතේ ඒඩ්ස් වෛරසයට බියෙන් එම සම්මුඛ වීම මඟ හරිනු වෙනුවට මරණය සමඟ ම එය වැළඳ ගැනීම ඇන්ටිගනියානු ජීවත් වීම බවයි. එනම් නිකොටින් සමඟ ම සිගරට් බිමයි. යුරෝපීය අර්ථයෙන් ෆ්‍රෙඩී මර්කරි කරන්නේ ද එයයි). සත්‍ය පන්ති පරස්පරතා වෙනුවට මෙම දෘෂ්ටිමය විචාරකයින් රැගෙන එන්නේ වෙනත් පරස්පරතා වගයකි.


ඔවුන් තම කතිකාව ඔස්සේ යථාවේ හිඩැස පිරවීමට උත්සාහ කරයි (fill up the hole in the real). අවතාරය විසින් සඟවනු ලබන්නේ යථාර්තය නොව යථාර්තය ම පදනම් වී ඇති මර්ධිතයේ නියෝජනය කළ නොහැකි X නම් අන්තර්ගතයි (what the spectre conceals is not reality but its ‘primordially repressed’, the irrepresentable X on whose ‘repression’ reality itself is founded (Zizek, Mapping Ideology, පිටුව 11). ජිජැක් ට අනුව මොවුන්ගේ විචාර විසින් කෙරෙනු ලබන්නේ අධි පථිතගත කිරීමකි (extra-textualized). එවිට අපට ජීවත් වීමට සිදුව ඇත්තේ යථාර්තයට වඩා අධි පථිතගතවූ යථාර්තයක ය. ලංකාවේ නම් විචාරක කණ්ඩායම් අතර ඇතිව ඇති කතිකාව අත්පත් කර ගැනීමේ තරඟකාරී බව නිසා මෙම යථාර්තයට වඩා ඉදිමුන අධි පථිතකරණය අපට දැකගත හැකිය (උදාහරණ වශයෙන් අශෝක හඳගම ගේ ‘ඇගේ ඇස අග’ සඳහා ලියවුනු විචාර ප්‍රමාණය සිහිපත් කරන්න).

විජේවීර චරිතය අනාගතයට දායාද කර ඇත්තේ කුමක්ද  ?

නමුත් වඩාත්ම වැදගත් දෙය නම් සිදුවුවේ කුමක්ද යන්නට වඩා විජේවීර චරිතය විසින් අනාගතය වෙත දායාද කර ඇති දෙයයි. එනම් විසි එක් වන සියවසට ඔහු වැදගත් වන්නේ කෙසේද යන පාඩමයි.

විශේෂයෙන් විසි එක් වන සියවසේ විමුක්ති අරගලයේ නිරත වන්නෙකුට ඉහත ප්‍රපංචයෙන් උගත හැකි පාඩම කුමක් ද යන්න පමණක් මෙහිදී වැදගත් ලෙස හඟිමි.


පළමුවැන්න, චිත්‍රපටයේ පෙන්වන ආකාරයට ජාතික ගැටලුවේදී විජේවීර නිවැරදි ලෙස ලෙනින්වාදී ස්ථාවරයක සිට ඇත. දෙමළ සටන් කරුවන් ජාත්‍යන්තරවාදී විමුක්ති අරගලයෙන් පිට පැන දේශීය බෙදුම් වාදයක් වෙත ගමන් කිරීම ඔහු ප්‍රතික්ෂේප කරයි. එනම් විශ්වීය අරගලයෙන් පිට පැන සුවිශේෂ ‘ද්‍රවිධ නිජ බිම්’ සංකල්පයක් අරගලය තුලට ආරෝපණය කර ගැනීමට උතුරේ සටන්කාමීන් උත්සාහ ගැනීම ඔහුගේ විවේචනයට ලක් වේ.

සමස්ත පීඩිත පන්තියේ විශ්වීය ගැටළුව හුදු ජාතිකවාදය කට සහ භූමියකට ඌනනය කිරීම ඔහු ආරම්භයේ සිට ම පිටු දැක්කේ ය (නිජ බිම් ගැන කතා කරන ද්‍රවිඩ ජාතිකයින් වැඩි පිරිසක් අද ඉන්නේ පාර ජාතිකවය). අනෙක් අතට’රෝගී වැඩකරන පන්තියක්’ (ජිජැක් පාවිච්චි කරන වචනයකි) සමග අරගලයට පිළිපන් ඔහුට ෆැක්ටරි කම්කරුවන් සිටියේ නැත. සිටියේ ග්‍රාමීය ප්‍රදේශ වල යම් උගත් කමක් තිබූ පීඩිත කොටස් ය. කුල පීඩනයට ලක්වූ කොටස් ය. බටහිර මාක්ස්වාදීන් ගේ (විශේෂයෙන් ෆ්‍රෑන්ක්ෆර්ට් ගුරු කුලයේ) රෝගයක් වන ඉතිහාසයේ ගාමක බලය ලෙස ෆැක්ටරි කම්කරුවන් ම සෙවීමේ ‘සුව නොවන රෝගය’ විජේවීර සහෝදරයා ට වැළඳී නොතිබීම අතිශයින් වැදගත් ජිජැකියානු ප්‍රපංචයකි.

ලෙනින් හා මාවෝ මෙන්ම විජේවීර ද තෝරාගත්නේ තුන්වන ලෝකයේ ගොවීන් ඇතුළු පිරිසයි
ලෙනින් සහ මාවෝ මෙන්ම ‘විමුක්ති ඒජන්තයා’ (revolutionary agent) ලෙස ඔහු තෝරා ගන්නේ තුන්වන ලෝකයේ ගොවීන් (රුසියාව සහ චීනය), බුද්ධිමතුන්, සහ ශිෂ්‍යයින් ය. බෝල්ෂෙවික් විප්ලවයේ දී ලෙනින් අමතන ලද්දේ ග්‍රාමීය ගොවි ජනතාවගේ ‘ඉඩම් සහ සාමය’ යන තේමාව ඔස්සේ රොද බැඳගත් ‘රැඩිකල් අතෘප්තිය ට ය’ (radical dissatisfaction) (කියවන්න ජිජැක් ගේ Lenin knew that revolution wouldn’t happen overnight – we must bear this in mind as capitalism fails us today ලිපිය). විජේවීර සහෝදරයා ද උත්සාහ කරන ලද්දේ තිබෙන දේ විප්ලවීයකරණය කිරීමට ය. අප පෙළන ලද දරිද්‍රතාවයෙන්, පසුගාමී බවෙන් සහ පරාධීන බවෙන් ගොඩ ඒමට ඔහු දුටු මාර්ගය එය විය.

කලගෙඩි ලාම්පු සෙල්ලම හා විජේවීර

දෙවැන්න තරමක් විවාදාසම්පන්න කරුණකි. එනම් ඒ වනවිටත් ජේ. ආර්. ගේ කළගෙඩි ලාම්පු සෙල්ලමට ලැබුණ ඡන්ද ප්‍රමාණය ඉතා විශාල විය. එමෙන්ම ඉදිරි මැතිවරණ පවා එක්සත් ජාතික පක්ෂය හොඳින් හෝ නරකින් වැඩි ඡන්දයෙන් දිනා ගන්නා බවට ලකුණු පහල වෙමින් තිබුණු අවධියක කිර්ති විජේබාහු (දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය) ඇතුළු පිරිස විසින් විජේවීර සහෝදරයා ව ඒත්තු ගන්වන්නේ විප්ලවයක් ගැන නොසිතන එහෙත් තම ආත්ම ලාභය පමණක් ගැන සිතන ‘මිනිසුන්’ (මහජනයා) ගැන තමන් ‘බලා ගන්නා’ බවය. 

වෙනත් වචනයකින් කිවහොත් මිනිසුන්ගේ මනාපය රැගෙන කිසිදා විප්ලවයක් කළ නොහැකි බව ව්‍යාපාරය තුළ ඔවුන් තේරුම් ගෙන තිබුණි. ඒ අනුව ඡන්ද පොළට ඒම ඔවුන් විසින් ප්‍රචණ්ඩ ලෙස වළක්වමින් තිබුණ අතර එය එක්තරා අයුරකින් රැඩිකල් ක්‍රියාවක් වේ. මන්ද මිනිසුන් ගේ කැමැත්තෙන් ඔවුන් සිටිනා නිෂ්ක්‍රීය භාවයෙන් ගලවාගත නොහැකි බැවිණි. හැඳුනුම් පත් එකතු කිරීමද මෙවැනිම ක්‍රියාවක් වේ. කිසිදු අනන්‍යතාවයක් නැති විඳවීම ම ජීවිතය කරගත් මිනිසුන් හට හැඳුනුම් පතකින් ඇති ප්‍රයෝජනය කුමක්ද? එම විඳවීම ම ස්වභාවිකකරණය කරන මැතිවරණ වලින් ඇති ප්‍රයෝජනය කුමක්ද? කොළඹ ප්‍රභූන් දෙපිලකට බෙදී කරන දේශපාලන ගේමක් වෙනුවෙන් අතිමහත් ජනයා තම සර්වජන චන්ද බලය පාවිච්චි කරන්නේ ඇයි? චන්ද බලය සුද්දා නිකම් දුන් නිසාද? චන්දයේ නාමයෙන් සුද්දා අපව හසුකර ඇත්තේ මාරක උගුලක නොවිය හැකිද ? අධිවේගී මාර්ග, ගුවන් පාලම් සහ මෙට්‍රෝපොලිටන් හැදීම සමාජයක අවසන් නිෂ්ඨාව විය හැකිද ?

ලෙනිනියානු ආදරය පිළිබද කතාවක්

තුන්වැන්න ලෙනිනියානු ආදරය පිළිබද කතාවකි. එයින් අදහස් වන්නේ ප්‍රයෝගිකකරණය කළ නොහැකි බවට බටහිර මාක්ස්වාදීන් විසින් දස අතේ දිවුරන ලද ‘කම්කරුවන් නොමැති මාක්ස්වාදය’ ලංකාව තුළ ප්‍රයෝගික කල පළමු වැන්නා සහ එකම පුද්ගලයා විජේවීර වීම යන්න ය. එනම් සමාජවාදී අත්හදා බැලීම වෙනුවෙන් ඔහු නිර්භීත විය යන්න සහ ඒ වෙනුවෙන් මානව අයිතිවාසිකම් යන්න විශ්වීය අර්ථයකින් කැපකිරීම වෙනුවෙන් නිර්භීත වීමද සැලකිය යුතුය යන්න මගේ මතයයි. මිනිසුන් වෙනුවෙන් ඇති ඇත්ත ආදරය වෙනුවෙන් ඔවුන්ගේම අයිතීන් කැපකිරීම වෙනුවෙන් කරන ලෙනිනියානු තෝරා ගැනීමක් (Leninian Choice) ලෙස එය අපට අර්ථකතනය කිරීමට සිදුවේ.

මිනිසුන් සීනි කෑමට අසීමිත ලෙස ආදරය කලත් වෛද්‍යවරයා එසේ කිරීමට දෙන්නේ නැත. ලිබරල් ප්‍රජාතන්ත්‍ර වාදය තුල අපට දී ඇති චින්තනයේ නිදහස එසේ නම් කුමන වර්ගයේ නිදහසක් ද ? මීට වඩා උසස් නිදහසක් හෝ සමාජයක් ගැන සිතීමට ඉඩක් නැති නිදහස කුමන වර්ගයේ නිදහසක් ද ? ඒ අන් කිසිවක් නොව Forrest Gump චිත්‍රපටයේ මෙන් තමාට දෙන ඕනෑම නියෝගයක් නොපිරිහෙලා ඉටුකරන බෞද්ධ රොබෝවරුන් මෙන් ක්‍රියාකරන යුධ හමුදාවක් සහිත ‘ධර්මිෂ්ට සමාජයක්’ ම විය යුතුය.

නැතිනම් තමන්ගේම මිනිසුන් පිරිසක් විසින් සාධාරණ සමාජයක් වෙනුවෙන් කරන ලද ඉහත අරගලය එසේ පොඩි පට්ටම් කර දමන්නේ නැත. දිනපතා ඩිජිටල්කරණය වන අපගේ ලෝකයේ මානව චින්තනය යන්ත්‍ර සුත්‍ර වලට බාරදෙන ලෝකය ගැන ඔහු දිවැසින් දැක්කා වැනිය. අප වෙනුවට මොබයිල් දුරකතන අප වෙනුවෙන් සිතීමට පටන් ගන්නා ලෝකයක විප්ලවයක් සිදු කිරීමට ඔහුගෙන් පසු පරම්පරාවකට සිදුවන බව ඔහු පුරෝකතනය කළා වැනිය. මෙම කිසිදා අවදි නොවන ඩිජිටල් සොම්බී පරම්පරාව ඇහැරවීමට එතැනදී ඔහුටත් වඩා ප්‍රචණ්ඩත්වයක් අපගේ පරම්පරාවට අත්හදා බැලීමට සිදුවන බව ඔහු අනාගත වක්තෘවරයෙක් සේ දැක්කා වැනිය.

ආදරය ගැන කතාවක්
හතරවැන්න අපගේ ආදරය පිළිබද කතාවකි. ඔහු අපට ආදරය කල තරම් අප ඔහුට ආදරය කරයි ද ? විජේවීර සහෝදරයා කුමන මානසික රෝගයෙන් පිඩා විඳිමින් සිටියාද යන්න පිලිබඳ ව අධ්‍යයනය කිරීම සඳහා සායනික ඇඳ වෙත ගෙනයාම පිණිස කාබනික ශරීරයක් හෝ මනසක් නොමැති තත්වයක් තුළ මේ වනවිට අපට නැවතත් විශ්වාස කිරීමට සිදුව ඇත්තේ ප්‍රබන්ධ වෙතය. ඔහුගේ මොළ කුහරය හාරා බලා රෝගය නිශ්චය කර අප ඔහු ගැන ‘පරම දැනුමක්’ (absolute knowledge) ලැබුව ද එතැන දීත් ඔහු නැති කමින් ශේෂ වන හිඩැසක් නිෂ්පාදනය වේ. කෙනෙකු පිළිබදව අප සිතන මෙම පරම දැනුම යනු අපගේ ම ෆැන්ටසියකි. මදකට අප මෙසේ සිතමු. අප වීරයෙක් ලෙස සිතන විජේවීර එක්වරම බිය සුල්ලෙකු ලෙස අපට සායනික ඇඳ මතදී වැටහී ගියහොත් අප එවිට කරන්නේ කුමක්ද? අප තේරුම් ගත යුත්තේ එම බියසුලු බව තිබියදීත් ඔහු ඉතිහාසය තුළ ඔහුගේ කාර්යය කර අවසන් ය යන්න ය. ඒ හිඩැස දැන් පිරවිය නොහැක. එම දුර්වලතාවය තිබියදී පවා ඔහු පරමාදර්ශයක් වනු වැලක්වීමට නොහැක (ගාන්ධි ගේ තිබූ යම් යම් දුර්වලතා නිසා ඔහු පරමාදර්ශයක් නොවී තිබුණේ නැත).



යමෙක් ගේ සංකේතීය අවබෝධය (symbolic realization) සඳහා ඇති බාධාව ඇත්තේ ඔහු තුලම විනා ඔහුගෙන් පිටත නොවේ. දිගහැරුණ ඉතිහාසය තුළ විජේවීර සහෝදරයා වීරයෙක් ලෙස අපට නොපෙනී යන්නේ නම් ගැටළුව ඇත්තේ අප තුල මිස ඔහු තුළ නොවේ යන්න මෙහි අර්ථයයි (මෙය ලෙනින් ට ද අදාලය). ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කිරීම සඳහා මේ වනවිටත් ඔහු තම ශරීරය ලබාදී අවසන් ය.

චිත්‍රාංගනීගේ ආදරය

පස්වැන්න මා ඇයගේ ආදරය වෙනුවෙන් වෙන් කරමි. චිත්‍රාංගනී විජේවීර ස්ථානගත වන්නේ ඔහු සහ බුර බුරා නැගෙමින් තිබූ සමාජ පරස්පරතාව අතර මැද ය. ඔහු වෙත ඇය ලබා දෙන්නේ සමාජය විසින් ය. ඇය අයිති වන්නේ සටන් සගයකු ගේ පවුලකට ය. එතැනදී ඇයගේ කැමැත්ත එතරම් වැදගත් වී නැත. එය බලහත්කාරී වරණයකි (forced choice). ඇයගේ අයියා විසින් මේ විවාහය ඇය කර මත පටවයි. ඇය ද ඉතිහාසයේ ආපතික තෝරා ගැනීමක් ය. එතැනින් පසු ඇය නිශ්ශබ්ද ය. පළමු සහ දෙවන දරුවන් ලැබෙන අරගලයේ කේන්ද්‍රය වෙතට ජ. වි. පෙ. පැමිණෙන විට සහ විජේවීර පවුල සංචාරක (nomadic) තත්වයට වැටෙන විට ඇය සම්පුර්ණ ලෙස නිශ්ශබ්ද වේ.

නිශ්ශබ්දවම අවසානයේ ඇය තම ‘එතරම් තැලිච්ච පොඩිවෙච්ච නැති’ ශරීරය මෙම ඓතිහාසික සිද්ධිය වෙත ‘කැපකිරීමට’ එකඟ වේ (මෙය යාග හෝමයක් බඳුය). එනයින් එය ටට්යානා පන්නයේ නිදහස් විවාහයක් නොවේ. එය විශාල සිද්ධියක් තුළ සිදුවන විවාහයකි (බදිවු ගේ වචනයෙන් නම් marriage in the Event). එතැනදී ඇයගේ දැනුම හෝ ඔහුගේ දැනුම (උපත් පාලන වැනි) එතරම් වැදගත් දෙයක් නොවන බව ඇලෙන්කා සුපැන්ජිත් පවසයි. සුපැන්ජිත් මෙසේ කියයි. ‘ලකාන් ගේ මුලික තීසිසය මෙයයි, එනම් කෙටියෙන් ම කිවහොත් මිනිසා ගේ දැනුම බෙදී පවතී ඇත යන්නය. එය බෙදී ඇත්තේ තමා කරන දෙය පිළිබද ව තමාට ඇති දැනුම සහ තමා කරන දෙය ගැන තමාට ම නැති දැනුම අතර ය (knowledge is spilt between a ‘knowledge that know itself’ and a ‘knowledge that does not know itself’). මෙය දැනුම තුල ම ඇති නොදැනුම යනුවෙන් ද හැඳින්විය හැකිය’. ‘ඔවුන් කරන දෙය ඔවුන්වත් නොදනී’ යනුවෙන් ජිජැක් මෙය නැවත ප්‍රති වාක්‍ය කරයි (For they know not what they do). 



අරගලය තුළ කුමන සහෝදරවරු කුමන ස්ථානයක සිටිය යුතුද, කුමන ග්‍රන්ථය කුමන අවස්ථාවේ ලිවිය යුතුද, වැඩ බෙදා ගන්නේ කෙසේද, ක්‍රියාමාර්ග තෝරන්නේ කෙසේද, උපක්‍රම මොනවාද යනු කරුණු ගැන අතිශයින් දැනුවත් ඔහු තමන් ගේ ලිංගික ජීවිතය තුල තමාව ‘අතාර්කික ලෙස’ ගමන් කිරීමට ඉඩදී ඇතැයි චිත්‍රපටය බලන කෙනෙකුට (විශේෂයෙන් පසු නූතන තරුණියකට) ඒත්තු යනවා ඇත.


ඔහු සතුව නැති මෙම දැනුම විජේවීර සහෝදරයා වීරයෙක් වීමේ බාධකයක් ලෙස ඉස්මතු වන්නේ නැත. එය සංකේතනයට බාධාවක් නොවේ යන්න මෙහි අර්ථයයි. අපගේ පසු නූතන දැක්ම තුළ එසේ අතාර්කික ලෙස පෙනී ගියත් (මේ බලන්න මට ඉන්නේ දුවයි පුතයි විතරයි. අපි ලස්සන පවුලක්!) අප මතක තබා ගත යුත්තේ ඔහු අමානුෂික ලැකානියානු යථාවක් වෙත ගමන් කළ චරිතයක් ලෙසය (නිශේධනාත්මක අර්ථයෙන් නොවේය). මෙයින් ප්‍රකාශමාන වන්නේ ඇයට ලැබෙන්නේ ‘මානුෂික පිරිමියෙක්’ නොව ජිජැක් ගේ වචනයෙන් කියන්නේ නම් රාක්ෂයෙක් බවයි. සිදුවෙමින් පැවති අපේක්ෂා භංග බවේ සෑම ආතතියක් ම ඇය මතින් මුදා හරින ලද ඉතාම ආත්මාර්ථකාමී (අවම වශයෙන් ලිංගික ජීවිතය තුළ) පිරිමියෙකි.

ඉතිහාසයේ කිසිම බරක් කරට නොගත් අනෙක් පිරිමින්ට ඕනෑ තරම් මානුෂික පසු නූතන ස්වාමි පුරුෂයින් විය හැක. නමුත් ඔහුට අප බලාපොරොත්තු වන පෙරුම් පුරණ ආදරයේ පෙම්වතා (හැරී කුමරු) වීමට නොහැකිය. මෙයින් කියවෙන්නේ විජේවීර මිනිසෙක් වුනාට අමතරව විශ්වීය ෆැන්ටසියක් දරාගත් දෙයක් (a thing) බවට ද පත්ව තිබූ බවයි. ඒ අනුව විජේවීර බිරිඳ සහ විජේවීර සහෝදරයා අතර ගොඩ නැගෙන්නේ මිනිසෙක් (විෂය) සහ වස්තුව (දෙය) අතර ගොඩ නැගෙන අසමමිතික (නො)සම්බන්දයකි (asymmetrical non-relationship between the Other and the Thing). එසේනම් මේ දෙදෙනා අතර සම්බන්දය බුර්ෂුවා ආදරය තුලින් මැනිය නොහැකිය. මන්ද සම්බන්දයේ එක් අක්ෂයක් පැහැදිළි බල සම්බන්දයකි. එනිසා ඔවුන්ගේ සම්බන්දය එකවරම අප පොරොත්තු වෙමින් සිටින පෙරුම් පුරණ ආදරයේ තිරය (theatre) වෙතට ප්‍රක්ෂේපණය කළ නොහැකිය.


අවසන් මිනිත්තු කිහිපය තුල අපට දක්නට ලැබෙන විජේවීර පවුලේ ශෝකාන්තය යනු පැහැදිළිව ඉහත බල අක්ෂයේ ‘දෙය’ සහ ‘මිනිස් බව’ අතර පරතරය ඔස්සේ තේරුම් ගත හැකිය. කිසිවෙක් එකිනෙකාට ශාප කරගත යුතු නැත. ඔහුට සිදුවූ ‘වැරදි’ යනු අපගේ පැත්තෙන් ගත්විට අපගේ අනාගත අරගලයේ මුලික පාඩම් ය. මන්ද ‘අරගලයේ සත්‍ය අසමත් බව යනු ඇත්ත පරස්පරතා ආලෝකය වෙත ගෙන ඒමට දක්වන අසමත් බවයි’ (බලන්න ජිජැක් ගේ Repeating Lenin ලිපිය). කිසිවක් පරිණත වන තුරු විජේවීර සිටියේ නැත. ෆැක්ටරි කම්කරුවන් බිහිවන තුරු ඔහු බලා සිටියේ ද නැත. දැනුම මුහුකුරා යන තුරු ඔහු සිටියේ ද නැත. විප්ලවය නම් සිද්ධිය ට ම ඔහුව පරිණත කිරීමේ ඉඩකඩ විවර කර විවෘත අවකාශය වෙත සියල්ල මුදා හැරියේය (Wijeweera in becoming). ලෙනින් සම්බන්දයෙන් ජිජැක් ලියා ඇති පරිද්දෙන් ම ලෙනින් (විජේවීර) මුදාහැරි විවෘත අවකාශය තවමත් විවෘත ය.

යා යුතු මගක් නොදත් විජේවීර – ‘මා දෙස බලා සිටින්න එපා. ඔබලා නිදහස්’

අවසානයේ තමාව හමුදාවෙන් අල්ලා ගත්තාට පසු ඇය කොහේ යා යුතුද යන්න පවා ඔහු දැන සිටියේ නැත (නොදැනුම). කිසිවක් ගැන නිශ්චිතව යමක් අපට කීමට දැනුමක් ඒ තීරණාත්මක මොහොතේ ඔහුට නොවීය. ඔහු ‘දැනගෙන සිටි දෙය’ අවසානයකට පැමිණ ඇත. ඔහු ඇයට කීවේ මෙපමණකි. ‘ඔයා මෙහෙ ඉන්න එපා, මෙහෙන් යන්න’. එවිට චිත්‍රාංගනී විමසන්නේ ‘අපි යන්නේ කොහේද’ යන්න යි. ඇය අසන්නේ අපගේ ප්‍රශ්නයයි. ක්‍රිස්තුන් විසින් පිළිවිසින ලදුව දෙවියන් නිශ්ශබ්ද වුවා සේ ඔහු නිරුත්තර විය. ඒ නිමේෂයට පසුව කළ යුතු දේ ඔහු දැන සිටියේ නැත. විශිෂ්ට රංගනයක යෙදෙන කමල් අද්දරආරච්චි නිරුත්තරව ඇය දෙස බලයි. මරාවේශ වූ ආණ්ඩුවේ කුලී හේවායන් ඔහුව ඉක්මනින් රැගෙන යාමට පොරකයි. කිසිවක් නොකියා ඔහු අප වෙතින් ඉවත්ව යයි. එක්තරා ඉතිහාසයක් අවසන් වූ බව ඔහුට දැනෙන්නට ඇත. අද දවසේ අප කුමක් කළ යුතුද යන්න පිළිබද ඔහුගේ නිශ්ශබ්ද බව විසින් ඔහු එක් දෙයක් පමණක් අපට හඟවා ඇත. ඒ ඔහු අප දෙස බලා නොසිටින බවයි. ඔහුගේ නොදැනුම ඔහු නිර්ව්‍යාජ ලෙස අප වෙතට ප්‍රක්ෂේපනය කර ඇත. ‘මා දෙස බලා සිටින්න එපා. ඔබලා නිදහස්’.




0 comments: