Hot!

‘ගින්නෙන් උපන් සීතල’ සිනමාපටයට ඔබ්බෙන්


 – නන්දන වීරරත්න –

1982 දී වුණේ මොකක්ද ?

1982 දී ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ජනමත විචාරණ නඩුව වෙනුවෙන් ජවිපෙ නායකයන් හමුවීමට පක්ෂ කාර්යාල වලට ගියේවත් විජේවීර, ෆීලික්ස් ඩයස්ට සමාජවාදය උගන්වන්නවත් ගියේ නැත.

පසුගිය සියවසේ දේශපාලනයේ යෙදුණු පහතරට රදලයන් අතරේ සිටි අහංකාරම නායකයා ෆීලික්ස් ඩයස් බව ප්‍රකටය. ඉංග්‍රීසින්ගේ විජිතයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරෙකුගේ පුත්‍රයෙකුවූ ෆීලික්ස්, ලංකාවේ සිටි කුප්‍රකට ඉංග්‍රීසි ඔත්තුකරුවූ ජෝන් ඩොයිලිගේ සමීප මිතුරෙකුවූ සියනෑ කෝරළයේ සොලොමන් ඩයස් ගේ පරපුරෙන් පැවතෙන්නෙකි. ඉංග්‍රීසි පාලනයේ ඔත්තුකරුවන්ට හමුදාවල භාෂා පරිවර්තකයන්ට හා හෙංචයියන්ට වරදාන ලෙස අල්ලාගත් බිමි දෙනු ලැබු නිසා මොවුහු ඉතා ඉක්මනින් වෙළඳ භෝග වගාවන්හි නියැලි ධනවතුන් බවට පත්වූහ. මේ ධනවත්භාවය ඔවුන්ට හාමු හා රදල පට්ටම් බැඳ ගැනීමට මග පෑදුවේය. මේ නව කොලොනියල් පංතියට ඉංග්‍රිසීන්ම දුන් උපහාසාත්මක පටබැඳි නාමය “කොකනට්” ය. මෙහිදී පිටතින් දුඹුරු ඇතුළතින් සුදු ජන කණ්ඩායමට අපුරුවට ගැලපුණේය.

ආඩම්බරකාර ෆීලික්ස්

රෝයල් කොලීජියේද ලංකා විශ්ව විද්‍යාල කොලීජියේ හා නීති විද්‍යාලයේ උගත් ඇන්ග්ලිකානු කිතුනුවෙකු වූ ෆීලික්ස් කැළණි රජමහා විහාරයේදී සිදුවු දේශපාලන කුමන්ත්‍රණයෙන් පසු බෞද්ධ භික්ෂුවක් විසින් වෙඩිතබා මරා දැමුණු අගමැති බණ්ඩාරනායකගේ පවුලේ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කරදීමටම දේශපාලනයට පිවිසුණේය. ඔහු 1960 ජුලි ආණ්ඩුවේ මුදල් ඇමති තනතුර ලබද්දී එවකට බ්‍රිතාන්‍ය කිරීටය යටතේ හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලයේ සිටි ලාබාලම මුදල් ඇමතිවරයා වූයේය. දිළින්දන්ගේ සහල් සලාකයට කෙලීමට ගොස් මුදල් ඇමතිකමෙන් අස්වීමට පෙර ඔහුගේ අවසාන දේශපාලන වික්‍රමය වී තිබුණේ 1962 හමුදා කුමන්ත්‍රණය නවතා සියලු සැකකරුවන් අත්ඩංගුවට ගෙන ඔවුන්ගෙන් පුද්ගලිකවම ප්‍රශ්නකර නඩු පැවරීම සූදානම් කිරීමය.


ෆීලික්ස් ඩයස්


ෆීලික්ස්ගේ දේශපාලන සතුරා

ෆීලික්ස් මීළගට මුණගැසෙන දේශපාලන සතුරා පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර හෙවත් රෝහණ විජේවීරය. 1970 සම සමාජය, කොමියුනිස්ට් පක්ෂය සමග සමගි පෙරමුණක් තනාගෙන බලයට එන්නට සුදානම් වූ සිරිමා බණ්ඩාරනායක නැවත අගමැති පුටුවට ඔසවා තැබීමේ පෙරහැරට මේ රෝහණ විජේවීරගේ තරමක් අප්‍රකට දේශපාලන කණ්ඩායමද සක්‍රියව එක්වී තිබුණේය. එවකට සිටි සියලුම වාමාංශිකයන් සිංහල ජාතිකවාදයට වෙනුවෙන් එක පෙළක සිටවූ 1966 භාෂා පෙලපාලිය හෙවත් මසලවඩේ පෙළපාලියේ දොස්තර තිස්ස නමින් ගමන් කිරීම නිසා 70 වේ සමගි පෙරමුණු දේශපාලනට සටනට විජේවීරට ඇති තරම් සුදුසුකම් තිබුණේය. 

නමුත්, කොට්ටේගොඩ දිළිඳු කරාව කුල පවුලක ඉපදී ගොඩඋඩ මහා විද්‍යාලයෙන් හා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙන් ඉගෙනුම ලබා කොමියුනිස්ට් පක්ෂයට ලැබුණු ශිෂ්‍යත්වයකින්, මොස්කව් සරසවියක අසම්පුර්ණ වෛද්‍ය විද්‍යා උපාධියක් සහිත විජේවීර 1970 වසර අවසන් වෙද්දී දිළිඳු කුල පීඩිත තරුණයන් සන්නද්ධ කරමින් රාජ්‍ය බලය උදුරා ගන්නට සුදානම් වීම සමඟි පෙරමුණු ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයාවූ ෆීලික්ස් ඩයස්ට කෙසේ පෙනෙන්නට ඇත්ද ?.

විජේවීර මතුවෙන අන්දම බලා සිටි ෆීලික්ස්

1971 මාර්තු වෙද්දී ෆීලික්ස් ඩයස් – විජේවීර මතුවෙනු බලා සිටියේය. ඒ වෙනුවෙන් චේ ගුවේරා කල්ලිය ගැන සෙවීමටත් එහි දේශපාලන පංතිවලට යන තරුණයන් පොලිස් අත්ඩංගුවට ගැනීමට උපදෙස් දුන්නේය. 1971 මාර්තු මැද වනවිට මාර්ෂල් ලෝ තත්ත්වයන් යටතේ ක්‍රියාත්මක වෙන, මළමිනී මරන පරීක්ශනවලින් තොරව වලදා දැමීමේ බලය පොලීසිවලට දුන්නේය. 1971 අප්‍රියෙල් කැරැල්ලට මුල පිරුණු පසු සති ගණනාවක් ඇතුළත කැරැල්ල මැඩපවත්වා තරුණයන් දසදසක් පමණ මරා දමා තවත් විසි දහසක් සිරභාරයට ගත්තේය. මෙයින් අනතුරුව කැරැල්ලේ නායකයන්ට නඩු පැවරීමට අතීතයට බලපාන සේ නීති සම්මත කර අපරාධ යුක්ති විනිශ්චය කොමිසම හෙවත් සී.ජේ.සිය ගෙනාවේය.


මේ අලුත් පංති සදහටම දේශපාලනිකව විනාශ කිරීමට ස්වකීය නීති සගයා වූ ඉයන් වික්‍රමනායක සමඟ සැලසුම් කල ෆිලික්ස් කැරැල්ලේ නායකයාවූ විජේවීර මහ නඩුවේ 13 වෙනි විත්තිකරුවා ක්‍රිස්තියානි අවසාන භෝජන සංග්‍රහයේ මතකය නඩුව තුළට ගෙනාවේය. රජයේ සාක්ෂිකරුවන් හැටියට යොදාගත් ලොකු අතුල සෝමසිරි කුමනායාක හා ටී.ඩී. සිල්වා ලවා ඇති තරම් විජේවීරට නඩු විභාගයේදී අවමන් කළේය.

ජේ. ආර්. දේශපාලනයේ ගොදුරු බවට පත්වූවන්

නමුත්, මේ දේශපාලන සතුරන් දෙදෙනාගේ ඉරණම 1977 මහා මැතිවරණයෙන් පසු වෙනස්වී තිබුණේය. ජේ ආර් ජයවර්ධන අපරාධ යුක්ති විනිශ්චය කොමිසම අහෝසි කළේය. විජේවීරට මෙයින් දේශපාලන නිදහස ලැබුණේය. නමුත්, ෆීලික්ස් ඩයස්ගේ ප්‍රජා අයිතිය නැති කළේය. මේ දේශපාලන පසුබිම තුළ 1982 වෙද්දී ෆීලික්ස් ඩයස් මෙන්ම විජේවීරද ජේ.ආර්. දේශපාලනයේ සමාන වින්දිතයන් බවට පත්වී සිටියහ. මෙතැන්සිට කතාව අප නැවත නොලියා ප්‍රින්ස් ගුණසේකර වෙනුවෙන් ලියූ ලිපියෙන්ම අපි උපුටා දක්වමු.


ඒ 1982 අවුරුද්දේ අගභාගයයි. 1978 විධායක ජනාධිපති හැටියට සියතින්ම ඔටුණු පළඳවා ගත් ජයවර්ධන ජනාධිපතිවරයාට දිගටම බලයේ සිටීමේ උමතුව තදින්ම වැළඳී තිබුණේය. ඒ වන විටත් ස්වකීය පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි වලට අත්සන් ලබා ගෙන සිටි ජේ. ආර්. ජයවර්ධන වසර පහකට වරක් පැවැත්විය යුතු මහා මැතිවරණය වෙනුවට පාර්ලිමේන්තුවේ කාලය තවත් වසර පහකින් දිර්ඝ කරගැනීමට ජනමත විචාරණයක් පවත්වා ලංකා ඉතිහාසය තවත් බිහිසුණු දේශපාලන යුගයකට ගෙනයාමට සුදානම් කරමින් සිටියේය. ලාම්පු කලගෙඩි කෙළිය නමින් දේශපාලන විරුද්ධවාදීන් නම් ගන්වා තිබූ මේ ජනමත විචාරණය මුළුමනින්ම ප්‍රෝඩාවක් වූයේය. ඒ වනවිටත් රටේ ප්‍රධානම විපක්ෂයේ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය වසර හතකට අත්හිටුවා තිබූ ජයවර්ධන ආණ්ඩුව, මුළුමනින්ම දුෂිත මැතිවරණයක්වූ ජනමත විචාරණයකින් ආණ්ඩු කාලය වසර පහකින් දිර්ඝ කර ගැනීමට විරුද්ධව නඩුවක් පැවරීමට දේශපාලනයේදී බලවත් සතුරන් දෙදෙනෙකු වූ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක හා ප්‍රින්ස් ගුණසේකර සුදානම් වෙමින් සිටියහ.


ප්‍රින්ස් ගුණසේකර

ප්‍රින්ස් කියන කතාව මොකක්ද ?

සති ගණනාවක් පුරා එක්ව වැඩකරමින් මේ දෙදෙනා රැස්කරගත් තොරතුරු වලින් දුෂිත මැතිවරණයකින් ජනමත විචාරණයක් පවත්වා ආණ්ඩුවක පාලන කාලය දීර්ඝ කරගැනීමට විරුද්ධව ලඝු නොවන නඩුවක් සූදානම් කෙරුණේය. එවකට නීති ක්ෂේත්‍රයේ දැවැන්තයින් දෙදෙනෙකු වූ මොවුන් දෙදෙනාගේ මීලඟ වගකීම වී තිබුණේ, මේ නඩුව සඳහා ශක්තිමත් හා විශ්වාසවන්ත පැමිණිලිකරුවෙකු සොයා ගැනීමය. මේ පැමිණිලිකරු සොයා ගැනීමේ වගකීම පවරාගෙන සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලවතෙකුවූ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායකය. සිරිමා බණ්ඩාරානායක හිටපු අගමැතිවරියගේ සමීප ඥාතියෙකු මෙන්ම බලවත් විශ්වාසවන්තයෙකුවූ ෆීලික්ස් ඩයස් – නඩුව උසාවියට ඉදිරිපත් කිරීම සඳහා වඩාත් සුදුසු පැමිණිලිකාරයා සොයා පිටත් වුණේය. ඒ රොස්මීඩ් පෙදෙසේ තිබුණු ප්‍රින්ස් ගුණසේකරගේ නිවසෙන්ය. අපි එතැන් පටන් කතාව ප්‍රින්ස් ගුණසේකරගේ වචනයෙන්ම අහමු.


‘‘ෆිලික්ස් නඩු කොපියේ පිටපතක් අතට අරගෙන පැමිණිලිකරුගේ අත්සන ගන්න යන්න සුදානම් වුණා. අපි නඩුව සූදානම් කරේම සිරිමා බණ්ඩාරනායක පැමිණිලිකාරිය කිරීමේ කල්පනාව ඇතිවයි. එයා ඒ වෙන කොටත් රටේ දෙවතාවක් අගමැතිකම් කරපු මේ නඩුවෙ පැමිනිල්ලට වඩාත් සුදුස්සියයි. මගේ ගේ තිබුනෙ රොස්මීඩ් පෙදෙසේ සිරිමගේ ගෙට මීටර් දෙතුන් සීයක් එහායින් නඩු පිටපතත් අරගෙන ෆීලික්ස් කාර් එකේ නැඟල සිරිමගෙන් අත්සන ගන්න පිටත් වුණා. සති ගාණක් මහන්සියේ ප්‍රතිඵලය අතලඟ තිබූ නිසා බොහොම සතුටෙන් හිටියේ.


නඩුවේ ප්‍රධාන පැමිණිලිකාරිය හැටියට සිරිමා බණ්ඩාරනායකගේ අත්සන ගන්න ගිය ෆීලික්ස්ගේ කාරෙක විනාඩි ගාණක් ඇතුළේ ආපහු අපේ වත්තට ඇතුළු කරනවා, චේම්බර් එකේ වාඩිවෙල හිටපු මට පෙනුණා. මම ටිකක් සැකෙන් ඔහු එන දිහාව බලාගෙන හිටියා. බොහොම සතුටෙන් මගේ ගෙදරින් විනාඩි ගාණකට ඉස්සර ගිහිං ෆීලික්ස් ආපහු එන කොට මූණ අඳුරයි. කලකිරීමක් මූණේ තිබුණේ, මම ඇහැව්ව මොකද ෆීලික්ස් වුණේ කියලා. ගෙට ගොඩ වෙන කොටම ඉස්සරහට ගිහිං ලොකු ප්‍රශ්ණයක්. ප්‍රින්ස් – සිරිමා මේ නඩුවෙ පැමිණිලිකාරිය වෙන්න බෑ කියනවා, දැනටමත් සර්පයෙක් වගේ. ජේ.ආර්. පුද්ගලිකවම කරපු දේවල් දිහා බැලුවම මේ නඩුව දැම්මොත් තවත් කරදර කරාවි කියල සිරිමා බයෙන් ඉන්නේ. ෆීලික්ස් එහෙම කිව්වා.


සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය

යටගිය කතා

දැන් ඉතින් මොකද කරන්නෙ, අපරාදේ අපේ මහන්සිය අපි වෙන කෙනෙක් පැමිණිලිකාරයා කරලා මේ නඩුව දාමුද ?, මෙච්චර මැතිවරණ දුෂණ වෙලත් මේ නඩුව නොදැමීම අපරාධයක්. අනික ලේසියෙන් මේ නඩුව දිනන්න පුළුවන් වුණොත් එහෙම මේ නීති විරෝධී ආණ්ඩුව ගෙදර යවලා, අලුත් මහා මැතිවරණයක් තියන්න පුළුවන් කියලා මම මෙහෙමත් ෆීලික්ස්ට කිව්වා. 

හැබැයි මම පැමිණිලිකාරයෙක් සොයා දුන්නොත් උඹ මේ නඩුවට කතා කරනවද ? එහෙම කරන්න පුළුවන් කියලා මට හිතෙනවා.


ෆීලික්ස් දෙපාරක් නොහිතා මට එක එල්ලේම මෙහෙම උත්තර දුන්නා. ‘‘ඔව් මම ලෑස්තියි ඔහු වෙනුවෙන් කතා කරන්න‘‘
මම කෝකටත් සැකෙන් ඇහුවා ‘‘මම දෙන ඕනම පැමිණිලිකාරයෙක් වෙනුවෙන් කතා කරන්න කැමතිද කියලා.‘‘


ෆීලික්ස් දෙගිඩියාවක් නැතුව කිව්වා කැමතියි කියලා එතකොට මම ටිකක් සැකෙන් ඇහැව්ව ‘‘මම රෝහණ විජේවීර පැමිණිලිකාරයා හැටියට ගෙනාවොත් මොකද කියන්නෙ‘‘ කියලා. එතකොට ෆීලික්ස් කිව්වා ‘‘මට ප්‍රශ්නයක් නෑ, මම මේ වැරැද්දට විරුද්ධ වෙන ඕනෑම කෙනෙක්ගේ නීතීඥයා වෙනවා‘‘ කියලා. අන්න එහෙම තමයි අපි ලංකා ඉතිහාසයේ පවත්වපු මුල්ම ජනමත විචාරණය දුෂිතයි කියන නඩුව පැවරුවේ.


මෙතැන් පටන් ජනමත විචාරණ නඩුවේ සියලුම හමුවීම් හා සූදානම්වීම් කෙරුණේ රොස්මීඩ් පෙදෙසේ ප්‍රින්ස් ගුණසේකරගේ නිවසේ පිහිටි ඔහුගේ නීතීඥ කාර්යාලයේ හෙවත් චේම්බරයේදීය. එසේ නැතිව ජවිපෙ කාර්‍යාලයක නොවේ.

ඉතිහාසය වෙනස් කළ ‘ගින්නෙන් උපන් සීතල‘

ඉතිහාසයේ මේ සිදුවීම මෙසේ වාර්තා කරද්දී ‘ගින්නෙන් උපන් සීතල‘ චිත්‍රපටයේ අහංකාර රදලයා වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ජවිපෙ කාර්යාලයට ගෙන්වා නඩුව දැමීමට සාකච්ඡා පවත්වනවා පමණක් නොව, විජේවීර ලවා ෆීලික්ස් ඩයස්ට සමාජවාදයද උගන්වන්නේය. පරසතුරු පංති දෙකකින් පැමිණියත් ෆීලික්ස් මෙන්ම විජේවීරද පුහුණු දේශපාලන කපටියන්ය. දෙදෙනාම එකම දේශපාලන න්‍යායක පිහිටා කටයුතු කළහ. ඒ ‘දේශපාලනයේදී සදාකාලික සතුරන්ද මිතුරන්ද නැත‘ යන්නය. නමුත්, මේ ඉතිහාසය ගල් කිරීම සිදුවන්නේ ජවිපෙ නූතන දේශපාලන කුපාඩිකම් සුජාත කිරීමටය. එනම්, විජේවීර ෆීලික්ස් හමුවූ විට සමාජවාදය ඉගැන්වූ ආකාරයට අපි ද චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ හමුවූ විට උඹලාගේ සමාජවාදය ඔවුන්ට උගන්වමින් සිටිමි යන්න පාක්ෂිකයාට ඒත්තු ගැන්වීමටය.





0 comments: