Hot!

අප ඉදිරිපත් කළ තිසීස දෙක

මේ වනවිට පවතින ගුවන්විදුලි නාලිකාවන් යනු අසන්නන් විසින් පවත්වාගෙන යන ඒවායි. මෙම තර්කයට අනුව පශ්චාත් – නූතනවාදය යනු සංස්කෘතිය සතු දේශපාලනික විභවය අහිමි වී එය වෙළඳපොළ බලවේගයක් බවට පරිවර්තනය වීමයි. ලංකාවේ පවතින සියලුම ජනමාධ්‍යය මේ අර්ථයෙන් පශ්චාත් – නූතනවාදීයි. 

දීප්ති කුමාර ගුණරත්න

වසර 17ක දුර්දාන්ත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට එවකට පැවති විපක්ෂ බලවේග කණ්ඩායම් පෙරට ගෙන ආ මූලික සටන් පාඨය මෙලෙස සංක්ෂිප්ත කළ හැකියි: ‛මානුෂික මුහුණුවරක් සහිත ධනවාදය.’ නවසිය අනූතුනේදී වමටත් ඇතුළුව සියලු දෙනාටම අවශ්‍ය වුණේ ධනවාදයේ නරක අංග හළා සාධනීය අංග ඉතුරු කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදයක්. ධනවාදයට මානුෂික මුහුණ සවිකරන්නට ගිය දේශපාලන ව්‍යාපාරයේ නායකත්වය වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක. ඇගේ රෙජීමයේ අත්දැකීම් අප නැවත ආවර්ජනය කරන්නේ නම් එයට මුහුණුවර දෙකක් තිබුණා.


(1) සංකේත ප්‍රබන්ධය -SYMBOLIC FANTASY-– උතුරට දේශපාලන විසඳුමක් සහිත සාධාරණ වෙළඳපොළ ආර්ථිකයක්. (මුළු රටට)

(2) අශ්ලීල ෆැන්ටසි සාගරය -FANATICISM – කසිප්පු ලාල්, වයඹ මැතිවරණය, බැද්දෙගාන සංජීව, රෝහණ කුමාර, මංගලගේ සමලිංගික ලෝකය, එස්.බී.ගේ උඩරට බංගලාව, සනත් ගුණතිලක, චැනල් 9, AIR LANKA ගනුදෙනුව,TELECOM  ගනුදෙනුව, උතුරට දිගු-දුර-විහිදුම්-බලකාය (LRRP), රූකාන්ත-චන්ද්‍රලේකාගේ කොණ්ඩ කැපීම, කුමාර් පොන්නම්බලම් ඝාතනය . . .

බොහෝ දෙනා අපව දන්නේ පශ්චාත් – නූතනවාදීන් ලෙසින්. ඔවුන්ට අනුව ‛පශ්චාත් – නූතනවාදය’ යනු සමාජ සංවර්ධනයේ වර්ධිත අවස්ථාවක්. නමුත් එම වටහා ගැනීම වැරදියි. පශ්චාත් – නූතනවාදය යනු ධනවාදය විසින් ‛සංස්කෘතිය’ යටත් විජිතකරණය කිරීම සහ වෙළඳපොළකරණය කිරීමයි. සම්භාව්‍යය ගුවන් විදුලි සංස්කෘතිය තුළ ‛පාලක මැදිරිය’ සහ ‛අසන්නිය’ අතර සමාජ බන්ධනය හිස්ටෙරිකයි. නමුත් නිමල් ලක්ෂපතිආරච්චිගේ පුද්ගලික ගුවන්විදුලි සංස්කෘතිය තුළ ‛පාලක මැදිරිය’ අසන්නියගේ විනෝදය සඳහා කැප වූ උපකරණයක්. එවිට එහි සමාජ බන්ධනය විපරිතයි. කලින් පැවති සම්භාව්‍ය ගුවන්විදුලි නාලිකාවට ඇතුළ සහ පිට යනුවෙන් දෙකක් තිබුණා. එනම් නාලිකාව සහ වෙළඳ දැන්වීම. නමුත් ලක්ෂපති හඳුන්වා දුන් ගුවන්විදුලිය යනුම වෙළඳ දැන්වීමක්.

එයට ඇතුළ – පිටත කියා භේදයක් නැහැ. මේ සන්දර්භය තුළ නිමල් ලක්ෂපති යනු අවිඥානිකව පශ්චාත් – නූතනවාදියෙක්. ඔහුගේ මැදිහත් වීම සිදු වන තෙක් පැවති පූර්ව – වෙළඳපොළ – ශේෂය ඔහු වෙළඳපොළට විවෘත කළා. එවිට ගුවන්විදුලියට එතෙක් පැවති සාරයන් අහිමි වුණා. මේ වනවිට පවතින ගුවන්විදුලි නාලිකාවන් යනු අසන්නන් විසින් පවත්වාගෙන යන ඒවායි. මෙම තර්කයට අනුව පශ්චාත් – නූතනවාදය යනු සංස්කෘතිය සතු දේශපාලනික විභවය අහිමි වී එය වෙළඳපොළ බලවේගයක් බවට පරිවර්තනය වීමයි. ලංකාවේ පවතින සියලුම ජනමාධ්‍යය මේ අර්ථයෙන් පශ්චාත් – නූතනවාදීයි. ඔවුන්ගේ විවිධ අන්තර්ගතයන් තුළින් විද්‍යමාන වන්නේ සංස්කෘතියේ විරෝධාකල්ප විභවය ශුන්‍යය වී ඇති ස්වභාවයයි.

විපක්ෂය ක්‍රියාකාරී වන බල – ක්ෂේත්‍රය තුළදී හිටපු සුදර්ශන ගුණවර්ධන සහෝදරයාගේ ක්‍රියාකාරීත්වය ‛කාටත්’ ප්‍රහේලිකාවක් වන්නේ මන්ද?

මේ කරුණ වටහා ගැනීමට අවශ්‍ය කෙනෙකුට අප විසින් ලංකාවට ඉදිරිපත් කළ දෙවන තිසීසය (මෙය පශ්චාත් – නූතනවාදය තරම් ජනප්‍රිය නැති අතර ඒ ගැන බොහෝ දෙනාට න්‍යායික කුතුහලයක්ද නැත) වන ‛ෆැන්ටසිය’ දේශපාලන සාධකයක් යන කාරණය වෙතට අවධානය යොමු කළ යුතුයි. සුදර්ශන අනෙකුත් විපක්ෂ ක්‍රියාකාරිකයන්ගෙන් අසන්නේ මෙවැනි ආකාරයේ ප්‍රශ්නයකි.

‛ඔබගේ දෘශ්‍යමානය ඉතා පැහැදිලිය, රැඩිකල්ය, විප්ලවවාදීය. නමුත් ඔබගේ මේ සංකේත ප්‍රබන්ධයට ජවය දෙන අශ්ලීල ෆැන්ටසි අන්තර්ගතය ගැන ඔබ දැනුවත්ද -MANORI FANTASY-?’

‛වේලුපිල්ලේ පිරපාහරන් ඊළාම් යුද්ධය ජය ගත්තේ නම් ඔහු විසින් දෙමළ ජනතාවට ලබා දෙන එකම නිදහස සහ අයිතිවාසිකම් වනු ඇත්තේ ‛සූර්ය දෙවි’ වන්දනා කිරීමේ නිදහසත් ඔහුගේ සතුරාට වෛර කිරීමේ අයිතියත්ය. රාජපක්ෂලාද ඊට වෙනස් නැත. ඊළාම් යුද්ධය ජය ගැනීමෙන් පසු ඔවුන් කැමති ලෙස ශ්‍රී ලංකාව පාලනය කළ හැකි විය යුතුය.’  (රාවය, 2013 – 01 – 27, පිටුව 05)

ඉහත ලිපිය ‛රාවය’ පුවත්පතේ පළවන විට ‛එය’ පුවත්පතේ ‛අදහස’ නොවන බවට සඳහනක් නැති නිසා එම අදහස ‛රාවය’ ප්‍රධාන කතුතුමාගේද අදහස ලෙසින් භාර ගැනීමට සිදු වෙයි. ‛හනා ඇරෙන්ඩ්ට’ අනුව ‛සමාජවාදය’ සහ ‛ෆැසිස්ට්වාදය’ අතර වෙනසක් නැහැ. දෙකම අවසාන වන්නේ එකම තාර්කික අවසානයකින්. එය නම් සර්වාධීකාරීත්වයෙන්. හනා ඇරෙන්ඩ් ඉතාම දාර්ශනිකවත්, තිසරණී විසින් ගතානුගතිකවත් කියන මේ අදහස යට සැඟවුණු වර්ගවාදී ෆැන්ටසියක් ඇත. ඇගේ ලේඛන තුළත් ඇගේ ප්‍රේමදාස සඟයා වූ දයාන් ජයතිලකගේ ලේඛන තුළත් සැඟවුණු වර්ගවාදී, අශ්ලීල ෆැන්ටසියක් ඇත. (දයාන්ට අනුව කොටින් සහ සමාජවාදයට සටන් කරන්නන් යනු වර්ග දෙකක මිනිසුන්ය. කොටින්ට සමාවක් අවශ්‍ය නැත – ස්ටාලින්වාදියා යනු ඉතිහාසයේ වාස්තවික මූලධර්ම තදාත්මික කරගත් කොමියුනිස්ට්වාදියෙකු නිසා ඒ ගැන කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැක. නමුත් ඔරිජිනල් ස්ටාලින්ට නම් ප්‍රතිසංස්කරණවාදී සිරකරුවා උපන්දින සුභපැතුම් එවයි.) මේ අයගේ සංකේත ප්‍රබන්ධ විසින් කුමන විකල්පයන් ඉදිරිපත් කළත් මේ අය රැම්බෝ මෙන් සිංහල සමාජයට නැවත රැගෙන එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොව සිංහලයාට කොටින් නැති කළ ස්වාභිමානයයි. මේ ලිපිවලට ජනරංජනත් ඇතුළු සිංහල බෞද්ධයන් අවිඥානිකව කැමති වන්නේ ඉන් පෙරළා ලැබෙන අතීතකාමී ෆැන්ටසි විනෝදය නිසයි. මේ ලිපි දිගින් දිගටම අවිචාරවත්ව පළ වෙන්නේත් මේ අවිඥානික හේතුව නිසයි. එය පාඨකයාගේද අශ්ලීල රසය තෘප්තිමත් කරයි.

විපක්ෂයට අදාළ බල අඩවිය තුළ සුදර්ශන විපක්ෂ ක්‍රියාකාරීන්ගෙන් අසමින් ඉන්නේ මේ ඉහත අප පැවසූ අශ්ලීල ෆැන්ටසියේ ක්‍රියාකාරීත්වයයි. [දැන් ඔහුව ද මීට ඇතුලත් කල යුතු ය.] විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ වෙන් කළ යුත්තේද ඔවුන් රහසින් රැම්බෝලා පතන නිසාය.

කුබෝටා අත් ට්‍රුක්ටර් බෙදා දීම දේශපාලනය යැයි සිතා සිටින සජිත් ප්‍රේමදාසව අප ප්‍රශ්න කළ යුත්තේ ඔහු අත් ට්‍රුක්ටර් බෙදන නිසා හෝ පන්සල්වලට දාන දෙන නිසා නොවේ. අපි ඔහුගෙන් ඇසිය යුත්තේ ‛ඇයි ඔබ සුදුපාට අඳින්නේ කියාය?’, ඇයි ඔබ පිරිසිදු වෙන්න ඔච්චර උත්සාහ කරන්නේ? වැනි ප්‍රශ්නයි. මෙම ප්‍රශ්න අයිති කලාපය වන්නේ අවිඥානික ක්ෂේත්‍රයයි. භයානක වන්නේ දැන දැන සුදු ඇඳීම හෝ පිරිසිදු වීමට යාම නොවේ. භයානක වන්නේ තමනුත් නොදැන සුදු ඇඳීමයි. මන්දයත් එය කරන්නේ ‛තමන්’ වෙනුවෙන් නොව මහා අනෙකුන් (ඉතිහාසය, සදාචාරය, සායි බාබා, පක්ෂය, රට, ජාතිය, සංවර්ධනය…) වෙනුවෙන් නිසයි. 

FORMERසුදර්ශන අනෙකුත් විපක්ෂ ක්‍රියාකාරීකයන්ගෙන් අසන්නේ මෙම ෆැන්ටසි ක්ෂේත්‍රයට අදාළ ප්‍රශ්නයයි. ඔහු ගුරු සංගම් නායකයාගෙන් අසන්නේ සංවිධාන ප්‍රශ්නයක් නොවේ. අරගල ගැන ද නොවේ. 

ඔහුගේ ප්‍රශ්නය මෙලෙස සාරාංශගත කළ හැකියි. ‛ස්ටාලින් ඔයා හරි කැමති ඇයි MEDIA වලට පේන්න උද්ඝෝෂණය කරන්න?’ මේ ප්‍රශ්නය ස්ටාලින් වහාම තේරුම් ගනු ඇත්තේ ඊර්ෂ්‍යාවට අසන ප්‍රශ්නයක් ලෙසයි. නමුත් ‛විපක්ෂය’ තවම ඒකාබද්ධ වී නැත්තේ ‛අදහස්’ නැති නිසා නොව විපක්ෂ ක්‍රියාකාරිකයන් මෙවැනි අශ්ලීල ෆැන්ටසිවලින් -FANTASTICAL -විනෝද වෙන නිසාය. විවේචනය විය යුත්තේ ඔවුන්ගේ ප්‍රගතිශීලී අදහස් නොව මෙම විනෝදයයි. මන්දයත් මිනිසුන් මේ සමාජ – ක්‍රමයට ගැට ගැසී ඇත්තේ විවේචනය, විචාරය තුළ නොව විනෝදය වටා නිසාය.

0 comments: