Hot!

අවට කුමක්වුවද තමන් කරන්නේ කුමක්දැයි නිර්ණය කරගන්නේ කෙසේද?


මහේෂ් හපුගොඩ

බොහෝ දේ අප අවට සිදුවෙමින් ඇත. අවට කුමක් සිදු වුවද තමන් කරන්නේ කුමක්දැයි නිර්ණය කර ගැනීමට නම් තියුණු ලෙස දර්ශනයේ පිහිට පැතීමට සිදුවේ. දර්ශනය යනු කොම්පාසුවකි. රටකට දර්ශනයක් අවශ්‍ය යි අප අවධාරණය කරන්නේ එබැවිණි. තමාට මඟ පෙන්වන දර්ශනය පෙරදිග ද අපරදිග ද යන්න එතැනදී ගැටළුවක් කර නොගත යුතු ය. උමතුවේ දේශපාලනය දැන්වත් අවසන් කරමු. රටක් ලෙස ඉදිරියට යමු.


අපට මේ මුණගැසී ඇති පශ්චාත් නුතන යුගය යනු අප මෙතෙක් පසු නොකළ අඳුරු කොරිඩෝවක් බවත් එම කොරිඩෝවේ නිර්භීත ව ගමන් කරනු හැර අන් විකල්පයක් නැති බවටත් ස්ලාවෝ ජිජැක් විසින් ගිලි දෙලුස් හට ගෙන එන විවේචනය පදනම් කර ගනිමින් මා මිට පෙර ලිවූ ‘සම්ප්‍රදාය පසු නුතනකරණය සහ විමුක්ති විෂය’ ලිපියේ පෙන්වා දුන්නෙමු. ජිජැකියානු පශ්චාත් නුතන අනෙකා යනු අවතාරය (මාක්සියානු) විසින් දෙන ලද නියෝගය පිළිපැදීම පස්සට දමනු ලබන (කල් ගන්නා) විෂය වශයෙන් අප එය පසුගිය ලිපියේ හඳුනා ගත්තෙමු. අනෙකාගේ ආශාවේ ප්‍රෙහේලිකාව තුළ මකුළු දැලක මෙන් පැටලී තමාගේ ආශාව පවා තමාට හඳුනාගත නොහැකි පරිදි තම සවිඥාණය පවා ඔද්දල් කර ගනු ලබන තැනැත්තා ඉහත හැම්ලට් විෂය යනුවෙන් නම් කරමු (Basic Instinct චිත්‍රපටයේ මුල් අර්ධයේ දී රහස් පරීක්ෂක නික් හට කැත්රින් මුණ ගැසුනාට පසු සිදුවන දෙය සිහියට නඟා ගන්න). සාර්වත්‍රික විපරිත බව තුළ විමුක්ති ආශාව අහෝසි කර ගැනීම පිණිස සියලු සාධක වෙළඳ පොළ විසින් සපයා ඇති අවස්ථාවක ඉහත හැම්ලටයානු විෂය ස්ත්‍රීවාදයේ ඝෝෂාව ළඟ වුව, ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ඝෝෂාව ළඟ වුව*, සමලිංගික ඝෝෂාව ළඟ වුව, සංක්‍රමණිකයන්ගේ ඝෝෂාව ළඟ වුව, වාර්ගික අරගලකරුවන් ගේ ඝෝෂාව ළඟ වුව නතර විය හැකි බව The Ticklish Subject හි ජිජැක් පැහැදිළි කරයි. එයට හේතුව නම් අනෙකාගේ ආශාවේ ඝෝෂාවෙන් කලබල වී තමන්ගේ ඇත්ත ආශාව එවැන්නෙකුට අමතක වන බැවිණි. විශේෂයෙන් පොප් සංස්කෘතියේ නිරූපණ සහ දෘෂ්ටාන්ත (illustrations and parables of pop culture) ඔස්සේ මේ නොමග යැවීම තවත් පහසු කරවනු ලබයි (නිමල් ලක්ෂපති ආරච්චි ගේ ‘සිරසේ’ ආගමනය සිහියට ගන්න). විශේෂයෙන් ම ජුඩිත් බට්ලර් ගේ කතිකාව මේ යුගයේ වඩාත්ම චමත්කාර සහ සිත් ඇද ගන්නා සුළු කතිකාව වන බැවින් බොහෝ දෙනෙක් ඇයගේ කතිකාව තම නැවතුම් පල කර ගන්නවාට කිසිදු සැකයක් නැති බව ජිජැක් දක්වා සිටි. ජුඩිත් බට්ලර් යනු හැම්ලට් නාටකයේ මව වන අතර දෙලුස් සහ ෆුකෝ හැම්ලට් නොමග යැවීම සඳහා වරින් වර එබිකම් කරනා යක්ෂයින් දෙදෙනෙකි. ඊයේ පෙරේදා ගෝල්ඩන් ග්ලෝබ් සඳහා සම්මාන දිනාගත් ෆ්‍රෙඩි මර්කරි නම් අසූව දශකයේ අද්විතීය රොක් ගායකයා පාදක කරගත් Bohemian Rhapsody (2018) නම් චිත්‍රපටය මා නම් කරන්නේ ඉහත ජිජැකියානු විමුක්ති විෂය නොමඟ යවන්නාවූ ආශා ප්‍රෙහේලිකා දැලේ පශ්චාත් නුතන අවතාරයක් ලෙස ය. සැබෑ ධෛර්යවන්තයා යනු මර්කරි වැනි ආශා ප්‍රෙහේලිකා වෙනුවෙන් ගෝලීය ඝෝෂා වල නිරත මිනිස් ආත්ම පසුකර සත්‍ය විමුක්තිය වෙතට යනු ලබන්නා ය. විශේෂයෙන් ලිංගික අනන්‍යතා ප්‍රශ්නයක පැටලී ඇති මර්කරි විසින් තම සංගීතය පුද කරන්නේ තමා මෙන්ම අවසීහුම් (misfits) මිනිසුන් වෙනුවෙනි. මිලියන ගණනක් වූ ලිංගික අනන්‍යතා ප්‍රශ්න නිසා කොන් ගත වූ මිනිසුන් වෙනුවෙනි (මෙතෙක් කිසිවෙක් විසින් ආමන්ත්‍රණය නොකරන ලද ජන කොටස ඔහුගේ වෙළඳ පළ වේ). මර්කරි ජිවත් වූ කාලයට සාපේක්ෂව ගත් විට ඔහුගේ පැත්තෙන් කළ සංගීතමය පෙනී සිටීම රැඩිකල් දෙයක් වුවද ඔහුගේ පරමාර්ථය වූ බීට්ල්ස් ට ‘වෙනස්’ සංගීත මාදිලියක් හඳුන්වා දීම සාර්ථක වුව ද සීතල යුද්ධයෙන් පසු සිදුවූ බර්ලින් තාප්පයේ ඇද වැටීම සමඟ මතුවූ සමාජයේ සත්‍ය පරස්පරතා (antagonisms in the Real) වෙනුවට මතුවූ අනන්‍යතා දේශපාලනයේ ගොදුරක් නොවී සිටීමට ඔහුට නොහැකි විය. අවම වශයෙන් බීට්ල්මේනියා (Beatlemania) නම් අති ජනප්‍රියතාවයෙන් පසු ජෝන් ලෙනන් වැන්නෙක් ප්‍රදර්ශනය කළ දේශපාලන අපේක්ෂා භංග බව ඇතැම් විට මර්කරි ට නොවැටහුණා ද විය හැකිය.

සියළු රොක් සංගීත වීරයින් පසුපස මත් ද්‍රව්‍ය සහ ගැහැණුන් හඹා එන්නාක් මෙන් සාර්ථකත්වයේ හිණි පෙත්තට නැඟී මර්කරි පසු පස ද මේ සියල්ල හඹා ආවේය. ලිංගිකත්වය හඹා ආවේ මරණය සමග ම ය. අන් සෑම රොක් තරුවක් වගේම ඔහු ද දැනුවත් ලෙසම මරණය වැළඳ ගත්තේය. අන් මාවතක් ඔහුට් ද නොවිය. ඔහු මෙන් ම ලිංගික අනන්‍යතා ප්‍රශ්න වල සිරවී සිටි සියල්ලෝම ඔහු වීරයෙක් කර ගත්තෝය. සීතල යුද්ධය සහ බර්ලින් තාප්පයේ බිඳ වැටීම සමඟ දර්ශනය, දේශපාලනය සහ මනෝ විශේෂණය එකතැන සිරගත වුවේ යම් සේද එසේම මර්කරි ගේ පරම්පරාව මත්ද්‍රව්‍ය, ගැහැණුන්, ලිංගිකත්වය සහ රොක් සංගීතයේ සිර විය. බල දේශපාලනය (power relations) වෙනස් කිරීමේ මඟක් නොතිබූ හෙයින් සියල්ලෝම පුද්ගල අනන්‍යතාවයන් වෙනස් කර ගැනීම වෙතට පල්ලම් බැස්සෝ ය. තම නිදහසේ සතුරා ලෙස අනන්‍යතාවය ඔවුන් හඳුනා ගන්නා ලදී. නමුත් සතුරා සිටියේ වෙනත් තැනකය (ඉස්මතු වෙමින් පැවති තැචර්වාදය තුලය). අසූව දශකයේ තැචර්වාදය ට විකල්පයක් නොතිබූ සෑම අයෙකුම මෙලන්කොලික විය. මර්කරි මරණය කරා යන්නේ සත්‍ය ලෙස ම කළ නොහැකි දේ කිරීමට (do the impossible) උත්සාහ කිරීම තුළ නොවේ. බිට්ලස් සංගීත කණ්ඩායම ට වඩා ‘වෙනස්’ දෙයක් කිරීමට ඔහුට පුළුවන් වූ බව සත්‍යය කි. නමුත් ඒ වෙනස ප්‍රමාණවත් වී ද? වෙළඳ පොළ ධනවාදය ගමන් කළ මාවතේ ගමන් කළා හැර අන් දිශාවක් ඔහුට නොවිය. තම ලිබිඩෝ ශක්තිය ඔහු වැය කරන්නේ මරණය මුණ ගැසීම වෙනුවෙන් ය (අනූව දශකයේ ලංකාවේ ජනප්‍රිය වාදයේ ගොදුරු වූ ලේඛකයින් දැන් මරණය දක්වා කොකේන් බීමට ඉටා ගෙන ඇත). තම නිර්මාණ ශක්තිය ට කුමක් කරන්නේ දැයි ඔහු ට දිශානතියක් නොවීය. දිශාවක් පෙන්වීමට තරම ලැකානියානු වමක් නොපවතී යනුවෙන් ජිජැක් මෙහිදී කරන සඳහන අතිශයින් වැදගත් ය. එයින් අදහස් කරන්නේ විරුද්ධාභාෂයකි. නැත යනුවෙන් අදහස් කරන්නේ නැත යන්න නොවේ. ‘ලිංගිකත්වය නොපවතී’ යනුවෙන් අදහස් කරන්නේ ලිංගික සම්බන්දතා නොපවතී යන්න නොව සත්‍ය ජිවිතයේ ඒවා නොපවතී යන්න ය. යථාර්තය වෙනස් කළ හැකි වමක් සත්‍ය ජිවිතයේ නොපවතී යන්න මෙහි අරුතයි (there is no Lacanian Left in reality!). කතිකා කලාපයේ වමේ එකමුතු විශාල ප්‍රමාණයක් පැවතියත් ඒවා කිසිවකට ඇත්ත යථාර්තය වෙනස් කළ නොහැක. ජෙරමි කෝබින්, බර්නි සැන්ඩර්ස්, ජ. වි. පෙ., පෙරටුගාමී යන සියලු වමේ එකමුතු පුළුල් අරුතින් අයිති වන්නේ මෙම නොපවතින ලැකානියානු වමට ය. සත්‍ය පංති පරස්පරතා වෙනස් කළ නොහැක යන්න මෙහි අරුතයි. ජිජැක් කියා සිටින්නේ ‘විමුක්ති විෂය’ (subject of liberation) මේ තත්වය මුලින් අවබෝධ කර ගත යුතු බවයි. වෙනත් විදියකින් කිවහොත් දැන් පවතින්නේ සාරය අහිමි කරන ලද වමකි (නිකොටින් නැති සිගරට්) යන්න විමුක්ති විෂය මුලින්ම තේරුම් ගත යුතු දෙයකි. ලෙනින් හෝ මාවෝ කළ ආකාරයට සමස්ත සමාජය පුර්ණ පරිවර්තනයකට ලක් කරන ආකාරයේ විප්ලවයක් සිදු කිරීම කෙසේ වෙතත් කිසිවෙක් එසේ කිරීමට සිහින දකින්නේ වත් නැති යුගයක් ලෙස ජිජැක් මේ පසු නුතන යුගය නම් කරන්නේ එබැවිණි. මිට පෙර ‘ජිජැක් අධ්‍යයනය’ තුළ දී පෙන්වා දුන් පරිදි මේ යුගය යනු සිහින පවා වාරණය කර ඇති යුගයකි. අද ඇත්තේ අපට හොලිවුඩ් විසින් ලබාදෙන සිහින පමණි. අප බැලිය හෝ නොබැලිය යුතු සිහින අප වෙනුවෙන් තෝරන්නේ ඔවුන්ය.

යමෙක් මෙසේ ඇසිය හැකිය. මර්කරි වැනි ආශා ප්‍රෙහේලිකා සහිත මිනිසුන් ගෙන් නොවේ ද අවසන් අරගලය නිර්මාණය වනු ඇත්තේ? ඔවුන්ගේ අරගලය වෙනුවෙන් ද අප සංවේදී විය යුතු නොවේ ද? ඇත්ත වශයෙන් වම බිඳ වැටීමට හේතු වුවේ ම එවන් අවසීහුම් මිනිසුන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩක් විසි වන සියවසේ විප්ලවීය අවකාශය තුල නොතිබූ නිසා නොවේද? මෙවන් ප්‍රශ්න සඳහා විශාල වලංගු භාවයක් (validity claim) මේ වනවිට ඇති බව අප ඉඳුරා පිළිගනිමු. නමුත් මේ සියළු ගැටළු වලට යටින් සමාජයේ තීරණාත්මක පරස්පරතා ප්‍රමාණයක් අප විසින් මඟ හරිමින් ඇත. ආර්ථික ව්‍යුහය තුළ ඇති අසමානතා වලින් උපදින සංකාමය තත්වයන් හුදු සංස්කෘතික උපනතින් යනුවෙන් තේරුම් ගැනීම න්‍යායික ගැටළු ඇති කරයි. ලංකාවෙන් යුරෝපයට ඉගෙනීම පිණිස යන තරුණියක් සමාජ ශාලාවක වැඩ කිරීම යනු ස්ත්‍රී නිදහස පිළිබද ගැටළුවකට වඩා පොකට් මනි පිළිබද ආර්ථික ප්‍රශ්නයකි. ජිවන වියදම පිළිබද ප්‍රශ්නයකි. ලංකාවේ රුපියල සහ යුරෝව හෝ ස්ටර්ලිං පවුම අතර  ප්‍රශ්නයකි (ඒ රටේ මුදලින් හම්බ කරන්නේ නැතිව මෙහෙන් කොතරම් රුපියල් යැව්වත් වැඩක් නැත). නෙග්රි කියන අයුරින් ඓතිහාසික සූරාකෑම සහ අධිරාජ්‍යය පිළිබද ප්‍රශ්නයකි. එසේ නම් අප අති මුලික යථාවක් මඟ හරිමින් සිටි (antagonism of the Real). මෙම යථාවේ පරස්පර බව විසඳා ගන්නේ නැතිව අන් කුමක් විසඳුවත් පලක් නැති බව ලැකානියානු විශ්ලේෂණ හරහා අපට තේරුම් කළ හැකිය. ඒ සඳහා බුදුන් වහන්සේ මාර දූ වරුන් පරාජය කළා සේම අප ද අප වටා කෑ ගසන යක්ෂයින් ගේ හඬ මඟ හැරිය යුතුය. අන් කිසි දෙයකින් නොසෙල්වී අරමුණ කරාම ගමන් කල යුතුය. ඒ පළමු වන කොන්දේසි යයි. දෙවැන්න නම් අද්‍යතන වම යනු සත්‍ය ලෙස ‘නොහැකියාවේ වමක්’ (ඊජිප්තු විප්ලවයට වඩා වැඩි මනත් වූ විප්ලවයක් කළ නොහැකි වමක්) ලෙස අප තේරුම් ගත යුතු වීමයි. විමුක්ති විෂය බිහිවීම සඳහා අවශ්‍ය ම කොන්දේසි දෙක මෙයයි. තුන් වැන්න නම් බිඳී විසිරී (uniting the disintegrated Left) ඇති වම එක්රැස් කිරීමේ අභියෝගය යි. එසේ එක් රැස් කර ගනිමින් අවසන් විමුක්ති සටනක් වෙනුවෙන් පංති සහයෝගිතාවය සහ සවිඥාණිකත්වය අප බෙදා හදා ගත යුතුය. ඒ සඳහා සිහින දැකීමට හුරු වීම විමුක්ති විෂය විසින් කළ යුතු අනෙක් රැඩිකල් ක්‍රියාවයි. මේ සියල්ල සමඟ අප නොසිතූ වීරූ ආශ්චර්යයන් (miracles) සිදු වනු ඇති බවට විශ්වාසයක් අප තුල නිරන්තරයෙන් තිබිය යුතු බව ජිජැක් කියා සිටී. අවසානයේදී අප පතන මනෝරාජිකය එක්වරම නපුරු සිහිනයක් වනු ඇත්ද (අතීතයේ සිදු වූවා මෙන්) යන කුකුස වෙනුවෙන් ඔට්ටු තැබීම සඳහා ලැකානියානු මනෝ විශ්ලේෂී ක්‍රම වේදයක් මේ මිහිපිට නොතිබීම ‘උගුරේ ඇනුන කටුවකට’ (born in the throat) උපමා කරන ජිජැක් මේ ඔට්ටු තැබීම පසුකර යාම සඳහා අප ගෙවිය යුතු මිළ වන්නේ නිදහසටත් වඩා නිදහසක් බව පෙන්වා දේ (more liberated than liberation). මේ නිදහස ට වඩා නිදහස යනු අප මේ මොහොතේ ජුඩිත් බට්ලර් පසු කිරීම සඳහා ගෙවන මිළ යනුවෙන් ජිජැක් මෙය Ticklish Subject හි දී හඳුන්වා දේ. වර්තමාන රැඩිකල් වමේ දේශපාලනය කෙසේ හෝ අමාරුවෙන් පසු කර ගත යුත්තේ ලිංගික අනන්‍යතා හඬ වඩාත් උස් හඬින් හසුරුවන ජුඩිත් බට්ලර් නම් මාර දූතිකාවයි. හඬ තුල සිර ගත වීම නම් එයයි. ඉදින් මේ මොහොතේ The Danish Girl හෝ Bohemian Rhapsody යන චිත්‍රපට හොලිවුඩ් සම්මාන වෙනුවෙන් ඉහළින් ම නිර්දේශ වීම ඒ අරුතින් පුදුමයක් නොවේ. ලැක්ලෝ ගේ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද කතිකාවට ජිජැක් එරෙහි වන්නේ ද මේ න්‍යායික පසුබිම තුල ම සිටිමින් ය.

අප ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් දකින දෙය අධිරාජ්‍යය විසින් දෙන ලද ප්‍රධානයක් නම් එය සත්‍ය වශයෙන් නිදහසක් වනු ඇත් ද? දේශපාලන වශයෙන් නිවැරදි නිදහස (හෝ විමුක්තිය) යන්න අධිරාජ්‍යය විසින් ම අර්ථකතනය කර දෙන දෙයක් නම් එවිට අප නිදහස යැයි කියනු ලබන දෙයහි අරුත කුමක් විය හැකිද? උදාහරණ වශයෙන් ඇමෙරිකාවේ ඉගෙන ගැනීමට ලංකාවෙන් ගිය සුළු ධනේශ්වර තරුණියක් රාත්‍රී සමාජ ශාලාවක බීම හලේ වැඩ කරයි යනුවෙන් අප සිතමු. ඇය තම මුහුණු පොතට චායාරූපයක් ඇතුල් කර මෙසේ කියයි. ‘ලංකාවේ නම් පුළුවන් වෙයිද මේ වගේ රාත්‍රී සමාජ ශාලාවක වැඩ කරන්න? ලංකාව මොන තරම් ගොඩේ රටක් ද? ඇත්ත නිදහසක් ඕනි නම් අපේ රටේ ගැහැණු කරන්න ඕනි දැන් තියෙන අධිපති පිතෘ මුලික සමාජය වෙනස් කරන එක’. මෙතැනදී අප හසුවන උගුල නම් අධ්‍යාපනය සඳහා ගිය තරුණියකට රාත්‍රී සමාජ ශාලාවක මත්පැන් බෙදීම සඳහා වූ ආර්ථික කොන්දේසිය කුමක් ද යන්න යි. මත්පැන් බෙදීම් මතු නොව මෙම ‘නිදහස’ නිල් චිත්‍රපටයක රඟපෑම දක්වා මේ වනවිට විපරිණාමය වී ඇත. ඇතැම් ලිංගික සංචරණය (sex tourism) ඇති නගර වල ඉනුත් ඔබ්බට ගොස් ගණිකා වෘත්තීය දක්වා මේ ‘නිදහස’ දිව යයි. ඇය ට වැඩ කිරීමට ඇති නිදහස (වරණය) සම්පුර්ණ වශයෙන් පිළිගන්නා අතර ඇයගේ අතිරික්ත කාලය පුස්තකාලයේ ගත කිරීමට ඇයට අහිමි වන්නේ කුමක් නිසා ද යන ප්‍රශ්නය ස්ත්‍රී නිදහස ගැන කතා කරන අය විමසිය යුතු දෙයකි? වරණය යනු දෙන ලද වරණයක් නම් එවිට තත්වය කුමක්ද? හැරත් මේ වනවිට බොහෝ විදේශ විශ්ව විද්‍යාල අපෙන් යන සිසුන්ට ලබා දෙන්නේ ප්‍රායෝගික රැකියා අරමුණු කරගත් දැනුමකි. උසස් දාර්ශනික සහ චින්තන අර්තර්ගතය මේ වනවිට පාඨ මාලා තුලින් හැලී ඇත. සමස්ත ව්‍යුහය ප්‍රශ්න කර දැනුම මේ වනවිට බොහෝ පාඨමාලා වල උගන්වන්නේ නැත. සංචාරක ප්‍රවර්ධනය, හෝටල් කළමණාකරණය, වැනි පාඨමාලා වඩ වඩාත් ඉස්මතු කරමින් ඇත. ඉතින් උසස් චින්තනයක් සහිත මිනිසුන් බිහි වෙන්නේ කෙසේ ද? ප්‍රායෝගික දැනීම ඉතාම අවශ්‍ය වුවත් රටකට උසස් චින්තකයින් ද අවශ්‍ය ය. ඉහත පැහැදිළි කලේ අප නිදහස යැයි අධිරාජ්‍යය කියනු ලබන දෙය හි ඇති සීමාකම් ය. අධිරාජ්‍යය විසින් ලෝකයේ සියලු පුරවැසියන්ට වැළඳ ගැනීමට බල කරන්නේ ඉහත නිදහස යි (උඹලා අපගේ ක්‍රමය තුල ලිංගික වහලුන් වෙයල්ලා. ඒ නිදහස උඹලා ට ප්‍රමාණවත් නැද්ද? බලපල්ලා අපි කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සු ද? උඹලා හිතන්න ඕනි නැහැ. අපිට ඕනෑ වෙලාවට අපි උඹලා වෙනුවෙන් හිතන්නම්. දැන් දුවලා ගිහින් මට ඩැල්මෝ වීදුරුවක් ගේන්න. නෝ ජන්ක් ප්ලීස්!). ඉහත තත්වය තුල රැඩිකල් දේශපාලනයට සිදුවී ඇත්තේ දේශපාලන සාපේක්ෂතාව (political relativism) වෙනුවෙන් සටන් කිරීම ට යි. සාපේක්ෂ නිදහස යනු එයයි (ගැහැණුන්ට ත් සමාජ ශාලා වල වැඩ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් කිරීම). මේ තත්වය විමුක්තිය පිළිබද සටනක් නොවේ. මෙය නව වහල් භාවයක් ඉල්ලා කරන සටනකි (new subjectivity). පැරණි වහල් භාවය වෙනුවට දැන් අපට දකින්නට ඇත්තේ තරමක් මොඩ් ඇඳුම් ඇඳගත්, මොබයිල් දුරකතන අතේ දරාගත්, කන් දෙකේ රබර් ඇබ ගසාගත් පශ්චාත් නුතන සම්බන්දයකි. පසුගිය ලිපියේ සඳහන් කේරළයේ සංචාරක ප්‍රවර්ධන වීඩියෝව එක් අතකින් ගත්විට සැලකිය හැක්කේ ඉහත ස්වාමි සේවක නව බන්ධනයේ රූපකයක් ලෙස ය. වෙනත් විදියකින් කිවහොත් පැරණි යටත් විජිත ස්වාමි සේවක සම්බන්දය නව වටයකින් පුනර් ජීවනය වීමක් මෙහිදී දැකිය හැකිය. පැරණි ස්වාමි සේවක බන්ධනයේ ආකෘතිය කිසිසේත් වෙනස් වී නැත. අප නැවතත් රඟ දක්වන්නේ ස්වාමියා ගේ ආශා වස්තු කලාපයයි (සේවකයා). ඔහුගේ සංකීර්ණ නුතන සම්බන්දයට අප ‘කපුවෙක්’ (සද්ගුරු) ලෙස මැදිහත් වීම හැර ඔහුගේ අත්දැකීමටත් වඩා සංකීර්ණ බවක් වෙත අපට යෑමට නොහැක.  මේ අති මුලික යථාවේ පරස්පර බව ආසියාව තුළ වෙනස් කිරීමට උත්සාහ කළේ කළේ මාවෝ ය. යථාව වෙනස් කිරීමට උත්සාහ කළ ඔහු සත්‍ය අරුතින් නිර්භීත මිනිසෙකි.

ෆ්‍රෙඩී මර්කරි ඉපදුණේ ඉන්දියාවේ ය. සද්ගුරු ද ඉන්දියාවේ ය. ඉහත සංචාරක වීඩියෝ ද ඉන්දියාව ගැන ය. සියවස් ගණනක් පැරණි සම්ප්‍රදාය නව ඇසුරුමක දමා දැන් සාර්ථකව විකුණන්නේ ද ඉන්දියාව ය. ජිජැක් සඳහන් කරන්නේ මාක්ස් පුරෝකතනය කරන ලද සත්‍ය ධනවාදී සමාජය වෙත සියලු සමාජයන් ලංවෙමින් ඇත්තේ එදා නොව දැන් ය යන්න ය (මාක්ස් සිටි කාලයේ නොවේය). නමුත් අද වනවිට සිදුවී ඇත්තේ මාක්ස් නිවැරදි වූවාටත් වඩා නිවැරදි වීමය. ප්‍රාග්ධනය සෑම අස්සක් මුල්ලකම ගමන් කරන්නේ දැන්ය. කේරළයට නොව කහටගස්දිගිලියට, මැදවච්චියට මතු නොව යාපනයේ ඈත ම දුපත් වන ඩෙල්ෆ්, පුන්කුඩුතිව්, නයිනතිව් දක්වා පවා ධනවාදය ගමන් කරන්නේ දැන්ය (ප්‍රාග්ධනය). ලේලන්ඩ් බස් එකක් හෝ ත්‍රීවිල් කට්ටක් ඔස්සේ කුමක් හෝ මුදලක් දැන් අතට ලැබෙන්නට පටන් ගත් මෙම පිරිස යනු සමාජයේ බහුතරය යි (ඉතිහාසයේ කවදා හෝ ගත්විට ඔවුන් අතට යම් මුදලක් ලැබෙන්නේ දැන්ය. ඉඳින් අඟල් හතරේ මොබයිල් දුරකතන තිරයක් ඔස්සේ ලෝකය ඔවුන් දකින්නේ දැන් ය). නමුත් සමාජයේ බහුතරය යනුවෙන් නම් කළ හැකි ඉහත කොටස නම් තවදුරටත් විප්ලවයක් අවශ්‍ය පංති කොටසක් නොවේ. ඔවුන් සිරවී ඇත්තේ පැරණි අනන්‍යතා දියවී යාම තුළ (සියළු ඝනීභවනය වූ දේ වාෂ්ප වනවාට වඩා) ඒ පැරණි අනන්‍යතා නව වටයකින් ප්‍රති ජීවනය වීමේ දයලෙක්තිකය තුල බව ජිජැක් මේ මස නව වැනිදා පැවැත්වූ දේශනයක දී පෙන්වා දෙයි. ඉඳින් මේ ලෝකය දැන් දකින, නිර්ධනීන් නොවන (ඔවුන් අත මුදල් ඇත) පිරිස  මුලින් ම කිරීමට පටන් ගෙන ඇත්තේ දියුණු ම ලෝකය වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීම බව ඔහු එහිදී පෙන්වා දෙයි (ඔවුන් හංගේරියාව, බල්ගේරියාව, ස්ලොවැකියාව යන කිසිදු මැදි ආදායම් රටක නවතින්නේ නැත). කෙලින්ම ඔවුන් යන්නේ එක්සත් රාජධානියට නැත්නම් ඇමෙරිකාව ට ය. ධනවාදය මෙහිදී කරන්නේ අමුතුම ක්‍රීඩාවකි. එය පැරණි අනන්‍යතා දියකර හරිනවා වෙනුවට පැරණි අනන්‍යතා වලට නව මිලක් නියම කරයි. මෙය මාක්ස් පුරෝකතනය නොකරන ලද තත්වයකි. දුප්පත් ඉන්දියාවේ කොණක සිට ඇමෙරිකාවට යන සංක්‍රමණිකයින් ඉල්ලා සිටින්නේ තම අනන්‍යතා වලට නව මිලකි (සද්ගුරු මැදිහත් වන්නේ මෙතන දීය). ඉදින් මේ සංක්‍රමණික බහුතරය විසින් තම අතට අසුවන පැරණි අනන්‍යතා දියකර හරින ප්‍රචණ්ඩ ධනවාදයක් වෙනුවට ඒවා වහ වහා සරණ පාවා ගන්නා මේ පසු නූතන විපරීත ‘සුකොමළ ධනවාදයේ’ ගැටළුවක් දකින්නේ නැත (හැරී කුමරා තකතීරු ඉන්දියන් නිළියක් සරණ පවා ගත්තා නම් තව සියවසකට ඉන්දියාවේ විප්ලවයක් සිදු නොවනු ඇත!). ඉඳින් ස්ත්‍රීවාදී අරගල යනු මෙවන් අනන්‍යතාවක් ඉල්ලා සිටීමේ අරගල වේ (ඉන්දියානු ගැහැණියක් ලෙසම මාව සරණ පවා ගන්න). සංක්‍රාන්ති ලිංගික ප්‍රශ්නයද මිට වඩා වෙනසක් නැත (අධිපති පුරුෂ කේන්ද්‍රීය වටපිටාව තුලම අපිව පිළිගන්න). ඉඳින් ඉන්දියාවේ සිට ලන්ඩන් ගිය මර්කරි ගේ අරගලය ද මින් ඔබ්බට ගියේ නැත. කිසිවක් ඝනීභවනය වී නැත. කිසිවක් වාෂ්ප වන්නේ ද නැත. මෙම නව පංතිය සඳහා නව වටිනාකම් යෝජනා කරන නව ‘මාක්ස්වාදීන්’ (සමානතා වාදීන්) වන බිල් ගේට්ස් සහ එලෝන් මස්ක් (Elon Musk) වැන්නන් සත්‍ය ලෙසම භයානක වෙළෙන්දන් ය යන්න ජිජැක් ගේ මතයයි. මන්ද දෘෂ්ටිවාදය නියම අයුරින් ක්‍රියාත්මක වන්නේ ඔවුන් හරහා ය. ඔවුන්ගේ වෑයම වන්නේ පංති පසමිතුරුතා (කේන්ද්‍රය/ පරිධිය) එසේම පවතිද්දී පුද්ගල අනන්‍යතා ක්ෂේත්‍රය වෙනස් කිරීමය. අති මුලික පසමිතුරුතා විසඳීම පිණිස වූ විසි වන සියවසේ විසඳුම් තව දුරටත් නෛතික නැති බැවින් කළ යුතු හොඳම දෙය පවතින ව්‍යුහය කෙසේ හෝ ප්‍රතිසංස්කරණය කිරීම බව ඔවුන් කියා සිටිනු ලබයි. සත්‍ය ලෙස ම මේ යුගයේ ඔවුන් අතින් සිදු වන්නේ පවත්නා යම් කිසි හෝ අනාගත බලාපොරොත්තුවක් වේ නම් එය විනාශ කර දැමීමයි. අවසන් ඉච්චාභංග මරණය සඳහා ඔවුන් අපව දැන් සිටම සුදානම් කරනු ලබයි (උදාරණයක් ලෙස ගෝලීය උණුසුම් වීම ගැන දැන් කිසිවක් කර තේරුමක් නැත. දැන් අප පරක්කු වැඩිය. දැන් ඉතිං කොයි මොහොතේ හෝ කල්ප විනාශය (end of the world) එළඹෙන තෙක් මෙසේ දිවිය ගත කරමු වැනි මෙලන්කොලික අවසානය දක්වා ම ගමන් කරන උදාන වාක්‍ය මේ යුගයේ වැසි වසිමින් ඇත). අද්‍යතන ඇපොකලිප්ටික උප්පරවැට්ටි යෙන් ගැලවීමට නම් මනෝ විශ්ලේෂී දේශපාලනයක් අවශ්‍ය බව ජිජැක් කියා සිටි (Living in the End Times අරුත මෙයයි).

ඇපොකලිප්ටික අවසානයක් පිලිබදව වන විෂාදී සිනමා කෘතියක් වන මෙලන්කොලියාව (2011) චිත්‍රපටයේ සිදු වන්නේ ද පරාජිත ලෙස අවසානය වැළඳ ගැනීමයි. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය වෙනුවෙන් සුදුසුකම් සපුරා ඇත්තේ සුව කළ නොහැකි විෂාදී රෝගියෙක් වන ජස්ටින් ය (සාමාන්‍ය කෙනෙකුට කළ නොහැකි දෙය). නියත අවසානයක් දක්වා ලෝකය ගමන් කරන විට ජස්ටින් සිටින්නේ මේ වන විටත් විෂාදයෙන් පීඩා විඳිමින් මේ ලොවට වෛර කරමින් ය. ඇයට අවශ්‍ය මරණයයි. ඇය ආශාවෙන් මරණය වෙත දිවයයි (මන්ද ඇය සුවපත් වන එකම ආකෘතිය මරණය නිසාය). මේ වනවිට සදාකාලික විෂාදයට අප ගනු ලබන දෘඪ ඖෂධ (Xanax වැනි) එක්තරා අතකින් අබිං ලෙස ක්‍රියා කරන බව ජිජැක් පෙන්වා දෙයි. යුරෝපීය මධ්‍යම පන්තිය මේ වනවිට ජිවත් වන්නේ මේ ඖෂධ වලින් පමණ ය. අවසානය නිශ්චිත බැවින් ඔවුන්ගේ මෙලන්කොලියාව* සහ ශෝකය සුවකළ නොහැක (මේ අතර අප යුරෝපයට සංක්‍රමණය වීමට මාන බලමු). මෙලන්කොලියාව චිත්‍රපටයේ ජස්ටින් නිර්භීත ලෙස මරණය වැළඳ ගන්නා බව ජිජැක් කියයි. අමාරු තැනකින් අවුත් ජනප්‍රියත්වයේ හිණි පෙත්තට්ම නැඟී ෆ්‍රෙඩී මර්කරි පවා අවසානයේ නිර්භීත ලෙස මරණය වැළඳ ගත්තාට සැක නැත (බලන්න ගාඩියන් සඟරාව 2018 වසරේ පළකල ෆ්‍රෙඩී මර්කරි ගැන Alexis Petridis  ලියු ලිපිය). අබිං වලට වඩා සැර මත් ද්‍රව්‍ය ඔස්සේ ඔහු සෙව්වේද නීල වර්ණ මරණය මිස අන් යමක් නොවේය. Bohemian Rhapsody හි එක උප-පථිතයක් තුළින් කියවෙන්නේ ‘අනාගතය අයිති නිර්භීතයින් හට’ යන්න ය (Fearless lives forever!). නමුත් නිර්භීත ලෙස මෙම යුගය පසු කරනු වෙනුවට් ඔහුගේ ආකෘතිය වුවේ මරණයයි. එක් අතකින් සත්‍ය නිර්භීත බව නම් ෆ්‍රෙඩී මර්කරි වැනි පසු නුතන අනන්‍යතා ඝෝෂාවන් පසුකර යාමය. අනෙක් අතින් අප ඉහත පන්නයේ ‘කිසිවක් දැන් කර වැඩක් නැතැයි’ දෙසන පසු නුතන ශුන්‍යතාවාදීන් ද පසුකර යා යුතුව ඇත. මෙයින් කියවෙන්නේ ෆ්‍රෙඩී මර්කරි නියෝජනය කරන මානුෂික අරගලය අව තක්සේරු කරන බව නොව අප සත්‍ය විමුක්ති අරගලය ගැන ඉතා පැහැදිළි අවබෝධයකින් කටයුතු කළ යුතුය යන්න ය.

(*මිට කලින් අප පෙන්වා දී ඇති පරිදි මෙලන්කොලියාව අදාල වන්නේ ද්‍රව්‍යමය දෙයකට පමණක් නොවේ. වියුක්ත අදහසක් වුව අත්හැරීමට අපොහොසත් වුවහොත් එය ද මෙලන්කොලික තත්වයක් ජනිත කරන බව ෆ්‍රොයිඩ් කියයි).

(*ලංකාවේ මේ වනවිට උස් හඬින් සිදුවෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද අරගලය තුලදී වුවද ඉහත සඳහන් කල හැම්ලටියානු නොමඟ යාම සිදුවිය හැක. ඒ පිලිබදව අප අතිශයින් දැනුවත් විය යුතුය. නමුත් පශ්චාත් යටත් විජිත විධායක ජනාධිපති ක්‍රමය ආශ්‍රිත ඒකාධිපති ගොඩනැංවීම් වලට එරෙහිව එක් පරම්පරාවක් (1988-89) ජීවිත පරිත්‍යාගයෙන් සටන් කල අතර අද පරම්පරාව ද ඒ සටනේ ම අන්වේක්ෂ තුළ ගමන් කරයි. ඒ වඩා හොඳ සමාජයක් පිළිබද අදහසකින් යුතුව ය. එතැනදී මා ජනාධිපති ක්‍රමය පැත්තේ (පාලකයා හෙවත් පීඩකයා) නොව සටන පැත්තේ (සටන් කරන්නා හෙවත් පීඩිතයා) සිටගනිමි.

courtesy: opiumaleft.com

0 comments: