Hot!

රංජිත් ගුණරත්න ජීවිතයෙන් සමුගන්නට පෙර තැබූ සටහන



විශිෂ්ඨ රාජ්‍යතාන්ත්‍රියෙකු මෙන්ම ලේඛකයෙකුද වූ ජර්මනියේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස සේවය කළ තානාපති රංජිත් ගුණරත්න පසුගිය ජනවාරි 23 දින ෆ්‍රැන්ක්ෆර්ට් නුවරදී අභාවප්‍රාප්ත වීය. සතියක් පමණ රෝගීව සිටි එතුමා රෝහලේ සිට ලියූ සිය අවසන් ලිපියයි මේ.

”මම රංජිත් ගුණරත්න වෙමි. හිටපු තානාපතිවරයෙක්මි. මේ ලිපිය ඔබ දකින අවස්ථාවක මම මේ ලෝකේ නැති බව දනිමි.

මෙලොව එළිය දකින සෑම මනුෂ්‍යකුගේ පළමු විරුවන් වන්නේ මව සහ පියාය. තාත්තා මට කුඩා කාලයේ පටන් විවිධ අවස්ථාවන්හිදී අපූර්ව ඔවදන් දී තිබේ. ඔහු නිතරම කියන ප්‍රකාශයක් වූයේ නිකමෙකු හෝ මෝඩයෙකු වනවාට වඩා යකෙකු වීම යහපත් බවය. ඒ නිසාම වරක් පන්තියේ ගුරුතුමිය ළමයින්ගෙන් තමන්ගේ අනාගත බලාපොරොත්තුව කුමක්දැයි ඇසූ විට මා ප්‍රකාශ කර සිටියේ යකෙක් වීම බවය.

මා අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරු අභ්‍යාසලාභියකු ලෙස තේරුණු අවස්ථාවේම වතු අධිකාරිවරයකු ලෙස ද රැකියාවකට තේරිණි. මම පියා විමසීමි. ඔහු කියා සිටියේ වත්තකට වී කාලකණ්ණියෙකු වනවාද, ගුරුවරයකු වී ලෝකය දකිනවාද යන්න තෝරාගැනීම මා සතු බවය. මම ගුරුවෘත්තිය තෝරා ගත්තෙමි.

වසර කිපයකින් මා විදේශ සේවයට තේරිණි. මගේ තාත්තා මට කියා සිටියේ ලෝකයෙන් යමක් බලාගෙන රැකියාව කිරීමට හිතාගෙන ඉන්නවා නම් ඒ අදහස අත්හරින ලෙසය. ලෝකයට බොහෝ දේ දායාදය කළ අය ඒ ලෝකය විසින්ම ප්‍රතික්ෂේප කළ බව ඔහු මට කියා දුන්නේය.

ගුරුවෘත්තියේ යෙදී සිටිනවකවානුවේ දිනක නගරාන්තර දුම්රියේදී හමුවූ පකිස්ථාන ජාතික මහත්මයෙක් සමඟ සංවාදයක පැටලුණෙමි. ගුරුවෘත්තිය යනු මා සිතන ආකාරයට ලොව පවතින ඉතා හොඳම රැකියාව බව ඔහුට කීවෙමි. ඔහු මා කියවමින් සිටි දරුවන්ගේ මනස පිළිබඳ පොතේ අවසන් පිටුවේ ඔහුගේ අස්සන යොදා මට මෙසේ කීවේය. “ යම් කිසි දවසක ඔබ මෙය නැවත දැකින විට ඔබ මෙම වෘත්තියේ නොසිටිනු ඇත”. මට එම පිටුව නැවත කියවන්නට අවස්ථාවක් නොලැබිණි.

මා විදේශ සේවයට තේරීම අහඹුවකි. මම මුලින් සේවය කළ මඩුගල්ල විද්‍යාලය වෙනුවෙන් සහ දරුවන් වෙනුවෙන් කැප වුණෙමි. විටෙක දරුවන් සමග පිට්ටනියේ දුව පනින මම තවත් විටෙක ඔවුන් සමග සංගීතය පුහුණු වුණෙමි. හොඳට හෝ නරකට අලුතින් පැමණි විදුහල්පතිවරයා මා විසින් ගොඩනඟන ලද ලෝකයේ අනාරාධිතව සිංහාසනාරූඪවී මා පසෙකට කළේය. මම පාසලෙන් ස්ථාන මාරුවක් ඉල්ලුවෙමි.

මඩුගල්ල ගමේ විදුලිය හෝ නළ ජලය නැත. ලිපි ලැබෙන්නේ බස් රථය පැමිණෙන්නේ නම් පමණි. ඒ නිසා අපිට නිසි වේලාවට ගැසට් පත්‍රයවත් ලැබෙන්නේ නැත. කලට වේලාවට ලිපි ලැබෙන උඩදුම්බර පිහිටි හංවැල්ල විදුහලට මාරුවක් ලබාගතිමි. මම විදේශ සේවයට ඉල්ලුම් පත්‍රයක් දැම්මේ එහිදීය. විභාගය සඳහා ලිපිය ලැබුණේ නිවාඩු කාලයේදී ය. මගේ වාසනාවට මට එවූ ලිපිය දැක ගුණතිලක තැපැල් මහත්තයා එය රැගෙන එදින රාත්‍රියේ මගේ නිවසට ගෙනවුත් දුන්නේය. විභාගය එක් දිනට පෙර ලිපිය ලැබී මම කොළඹ පැමිණියෙමි.

විදේශ සේවයට මම තේරුණේ තැපැල් මහත්තයාගේ සත්පුරුෂ ක්‍රියාව නිසාය. මම විදේශ සේවයට තේරී ඇති බව ඇසූ මඩුගල්ලේ ඒ විදුහල්පතිතුමා කියා තිබුණේ “රංජිත් මහත්තයා මෙච්චර ඉහළට යන බවක් දැනගෙන හිටියා නම් එදා රණ්ඩුව වේලාවෙදී මම වැඳලා හරි තියා ගන්නවා” කියාය. ඔහු කෙරෙන් ද්වනිත වූයේ අපේ ජන සමාජයේ පොදු විඥානයයි. එම චරිතය මම අදත් සමාජයේ දකිමි. ඒ නිසාම මම වඩාත් ගුණතිලක තැපැල් මහත්තා නියෝජනය කළ ලෝකය සොයා යන්නට උත්සාහ කළෙමි.

අපි ජීවත් වන ලෝකය යනු එක්වර හදිසියේ පාදූර්භූත වුවක් නොවේ. විවිධ ආගම්, දර්ශන, සොයා ගැනීම්, යුද්ධ, ව්‍යසන සහ ස්වභාවික විපර්යාස අතර ගොඩ නැඟී විකාශය වුවකි. එහෙත් ගෝලීයකරණයට ලක්වු ලෝකයක ඡන්දදායකයාට වඩා රාජ්‍ය පාලනය සඳහා සමීපව කටයුතු කරන්නේ ව්‍යාපාරිකයාය. අප යුද්ධ කරන්නේ ඔවුන් කියන විදිහටය. අපේ සමාජ විඥානය හසුරුවන්නේ වෙළඳාම මත පදන වූ මාධ්‍යයකි. රටක ප්‍රජාතාන්ත්‍රික වපසරිය මනින්නේ ඔවුන්ගේ මිනුම් දඬුවලින් ය.

අද පවතින ව්‍යාපාරික ලෝකය තුළ සදාකාලික හතුරන් නැත. ඇත්තේ අන්‍යෝන්‍ය වශයෙන් බැඳුණු රාජ්‍යයෝය. එම රාජ්‍යයන් විසින් කළ යුතු දේ සහ නොකළ යුතු දේ පිළිබඳ උපදෙස් දීමට මැදිහත් වන්නෝ එම ව්‍යාපාරිකයෝය. එවන් පරිසරයක ලංකාවේ අපි තානාපති සේවයේ යෙදෙන්නේ කෙසේද යන්න මම හැම විටම සිතන්නට පටන් ගත්තෙමි.

ලංකාවේ තානාපතිවරයකු මාර්ක් ඇන්ටනී කෙනෙකු විය යුතු වන අතර එම චරිතයේ ශයිලොක්ගේ සහ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ගති ලක්ෂණ යම් ප්‍රමාණයකට හෝ පිළිබිඹු විය යුතුය. සෙනෙට්වරුන් කීපදෙනකු විසින් ජුලියට් සීසර් රජුට පිහිවලින් ඇන ඝාතනය කරන විට මුළු රෝම අධිරාජයම සතුටු විය. මළ ගෙදර ජුලියට් සීසර් කළ හොඳ ගැන කතා කරන්නවත් කෙනෙකු සිටියේ නැත. හැමෝම ඔහුගේ දුර්ගුණ ගැනම කතා කළෝය. ඒ අතර මාර්ක් ඇන්ටනී අපූර්ව කතාවක් කෙළේය.

“ මිතුරනි, රෝම වැසියනි, මා පැමිණියේ සීසර් පසසන්ට නොවේ. ඔහු වළදමන්නටය. කෙනෙක් කළ හොඳ බොහෝ විට ඇටකටුත් සමඟ වැළලේ. එහෙත් කරන ලද නරක ඔහුගේ මරණයෙන් පසු චිරාත් කාලයක් ජීවත් වෙයි. එය සීසිර්ටත් එසේම විය යුතුය. කැසියස් සහ කැස්කා හොඳ මහත්වරුය. ඔවුන් ප්‍රකාශ කළා සීසර් ආඥාදායකයෙකු බව. ඔහු රට ගැන සිතුවේ නැති බව. සීසර් අධිරාජ්‍යයකු ලෙස ඔටුනු පැලඳීම දෙවරක් ප්‍රතික්ෂේප කළා. මෙයද අඥාදායකයකුගේ ස්වභාවය. ඔහු රෝමයේ භාණ්ඩාගාරය පුරවා රටට කන්න බොන්න දුන්නා. මෙයද අඥාදායකත්වය.”

එම කතාව ලෝකයේ හොඳම දේශපාලන කතාව ලෙස නම් කිරිම වරදක් නොවේ. මාර්ක් ඇන්ටනී කතාව අවසන් කරන විට මහජනතාව කැසියස් සහ කැස්කා ඇතුළු ඝාතකයන්ගේ නිවෙස් ගිනි තබන්නට තීරණය කර අවසන්ය.

තානාපතිවරයකු වශයෙන් ලෙබනනට පත් වීම ලැබුණු වහාම මට දුරකතනයෙන් ලැබුණේ තර්ජනාත්මක පණිවුඩය. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් මට තවත් වසරකට පසු පත් වීම භාරගන්නා ලෙස බල කළ සේක. මට විරුද්ධව උසස් නිලතල පිළිබඳ කාරක සභාවට පෙත්සම් ගණනාවක් ලැබී තිබිණි. ලෙබනනයට පත්වූ පළමු දිනයේදීම බොහෝ දෙනා මට සිහිපත් කෙළේ මඩුගල්ලේ විදුහල්පතිතුමාය.

වැඩ බාරගෙන දින තුනකින් රැඳවුම් කඳවුරේ කාන්තාවන්ට වතුර ලබා දෙන්නට වහලය මත වූ වතුර ටැංකියට නඟින්න සිදු විය. මල්මාල පිළිගැනිම් ප්‍රතික්ෂේප කෙළෙමි. මගේ කාර්යාලය බෑගය මම ම ඔසවාගෙන ගියෙමි. අසල කඩයට පාන් ගන්නට හෝ දවුරා නගරට අඩුවැඩිය ගන්නට තනිවම ගියෙමි. නිවසේ විදුලිබිල අඩු කරන්නට කටයුතු කෙළෙමි. කාර්යාලයේ වියදම් කපා හැරියෙමි. ලෙබනනයේ ශ්‍රී ලාංකික දරුවන්ට සිංහල ඉගැන්වීමට පටන් ගත්තෙමි. උත්සව පිළිබඳ පැවැති සම්ප්‍රදායික ලක්ෂණ ඉවත් කෙළෙමි. දුප්පත් කන් නොඇසෙන දක්ෂ දරුවකු ලෙබනන් අවුරුද උත්සවයේ ප්‍රධාන අමුත්තා කෙළෙමි. ලාංකිකයන් සූරා කන්නන් පලවා හැරියෙමි. තානාපති කාර්යාලය අරක්ගෙන මෙතෙක් සිටි කූඩැල්ලන් ඉවත් කෙළෙමි

මට වීරයෙකු වීමට අවැසි නොවීය. තනතුරින් යමක් ගන්නට වඩා ඉන් යමක් දෙන්නට මම උත්සාහ කෙළෙමි. ඒ ක්‍රමය අද පවතින ක්‍රමය සමඟ ගැටිණි. මට පසමිතුරන් රාශියක් ඇති විය.

අප විසින් දෙමළ ජනයාට කරන ලද ඓතිහාසික සැහැසිකම් ගැන වඩාත් සොයා බලන්නට ජර්මනියේ සිටියදී මට අවස්ථාව සැලසිණි. ඔවුන් තුළ සිංහලයා ගැන ඇති දුර්මත නැති කරන්නට හැකි සෑම දේම කෙළෙමි. ශ්‍රී ලාංකික ඩයස්පෝරාව පිළිබඳව පැතිරුණු අධ්‍යනයක් කරමින් අචාර්ය උපාධියක් කරා යොමුව සිටි මට අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍යව තිබූ සේවා දිගුව අමාත්‍යංශයෙන් ලැබුණේ නැත.

ඒ සියල්ල දැන් සුළඟේ පාව යන වරාමල් සේය. මරණයේ රුදුරු සීතල මා ස්පර්ශ කරමින් හිඳී. එහෙත් මා මගේ රටට ණය නැති බව සිත ඉඳුරා කියමින් ඇත. ජීවිතය පරදුවට තබා රට වෙනුවෙන් කළ ඇතැම් ප්‍රයාම මා සමඟම වැළලී යන්නට ඉඩ දී නිහඬ වෙමි. වේදනාව මා අසීමිත ලෙස ආදරය කළ මගේ දරු පවුල හැර දමා යෑමට සිදු වීමය. ඒ මොහොත වෙනුවෙන් අරගල කරමින් හිඳිමි.

මා මගේ ජීවිතයේ අත්දුටු දේ තානාපතිවරයෙකුගේ දින පොතට එකතු කර ඇත. යමෙක් එය කියවන්නේ නම් එම තැනැත්තා මා කියවනු ඇත.”


(උපුටා ගැනීම 2019|01|26 සිළුමිණ)



සබැඳි පුවත්

0 comments: