Hot!

ණය උගුල

අනුප්‍රාප්තික ආන්ඩු ආර්ථික බිඳවැටීමක අනතුර මතුකරමින් දැවැන්ත නය අර්බුදයක රට ගිල්වා ඇතිබවට වාදයක් නැත. එහෙත් නය උගුල පිලිබඳ ප්‍රචාරය පිටුපසින් ඇත්තේ ප්‍රතිගාමී උවමනාවන්ය.

සමන් ගුනදාස 

පසුගිය ජනවාරි 10දා පාර්ලිමේන්තුව තුල කතා කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ රට හසුවී ඇති “නය උගුල” පිලිබඳ අඳෝනාවක් ඉදිරිපත් කලේය. මෙම වසර තුල ඇමරිකානු ඩොලර් බිලියන 5.9 ක දැවැන්ත මුදලක් නය වාරික හා පොලී වශයෙන් ගෙවිය යුතු බවත් ඉන් ඩොලර් බිලියනයක් ජනවාරි 15 වන විට ගෙවිය යුතු බවත් ඔහු කියා සිටියේය. මේ සතිය මුල ආන්ඩුව එම ඩොලර් බිලියනය ගෙවා දැමීය.

ඔහු තවදුරටත් පැවසුවේ තම ආන්ඩුව බලයට ඒමෙන් පසුව නය උගුලේ අනතුරින් රට ගලවා ගැනීමට මූලෝපායික පියවර කිහිපයක් ගත් නමුත් එම සැලසුම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ඇති කල ව්‍යවස්ථා අර්බුදය නිසා පීලි පැන්න බවයි. වික්‍රමසිංහ සඳහන් කරන ඊනියා ව්‍යවස්ථා අර්බුදය අන්කිසිවක් නොව ඔක්තෝබර් මාසයේ විවෘතව පුපුරා ගිය සිරිසේන-රාජපක්ෂ එක පැත්තක ද වික්‍රමසිංහ අනෙක් පැත්තේ ද කඳවුරු බැඳගත් පාලක පන්තියේ කන්ඩායම් අතර දේශපාලන යුද්ධයයි. මෙම අර්බුදය නිසා බැඳුම්කර ආයෝජනවලින් විදේශ අරමුදල් ඉවත්කර ගැනීම වේගවත්වී ඩොලර් බිලියනයක් පමන රටින් පලායාම නිසා රුපියල අවප්‍රමානය ද ඉහල ගියේය.

අනුප්‍රාප්තික ආන්ඩු ආර්ථික බිඳවැටීමක අනතුර මතුකරමින් දැවැන්ත නය අර්බුදයක රට ගිල්වා ඇතිබවට වාදයක් නැත. එහෙත් නය උගුල පිලිබඳ ප්‍රචාරය පිටුපසින් ඇත්තේ ප්‍රතිගාමී උවමනාවන්ය.

වික්‍රමසිංහ ඝෝෂාව ගෙනයන්නේ 2015ට පෙර මහින්ද රාජපක්ෂ ආන්ඩුව චීනයෙන් ලබා ගත් දැවැන්ත නය කන්දරාව නිසා උගුල ඇටවී ඇති බව අවධාරනය කිරීමටයි. එහි දේශපාලනික ඇඟවීම වන්නේ රාජපක්ෂ ආන්ඩුව චීනයේ මූල්‍යමය පිටුබලය ලබමින් ඊට හිලව් ලෙස චීනයට නැඹුරුවුයේය යන්නයි.

අගමැතිගේ මෙම චෝදනාව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් කෙරෙන ප්‍රතිගාමී ප්‍රචාරයක ප්‍රතිරාවයකි. ඔක්තෝබර් මස ඇමරිකාවේ හඞ්සන් ආයතනයේදී චීනයට එරෙහිව කල යුදඝෝෂාබද්ධ කතාවකදී එරට උප ජනාධිපති මයිකල් පෙන්ස් චීනයේ “නය රාජ්‍යෝපාය” පිලිබඳ නිදසුනක් ලෙස ලංකාවට ඇඟිල්ල දික් කලේය: “වානිජ වටිනාකම ප්‍රශ්නයට ලක්වන වරායක් ඉදිකිරීමට යෝධ නයක් ගත් ලංකාවෙන් අසා බලන්න. අවුරුදු දෙකකට පෙරාතුව එරටට නය ගෙවා ගත නොහැකි විය-- එහෙයින්, චීනය අතට ඍජුවම වරාය භාරදෙන ලෙස බෙයිජිනය බල කලා.” එමගින් හම්බන්තොට වරාය ඉදිරිපෙල මිලිටරි කඳවුරක් බවට පත්කර ගැනීමට චීනය ක්‍රියා කර ඇතැයි පෙන්ස් චෝදනා කලේය.

පෙන්ස්ගේ කතාවේ පසුබිමේ ඇත්තේ චීනය ඇමරිකාවේ අධිපතිත්වයට යටත් කරගැනීමේ යුදවාදී ධාවනයයි. චීනය ආර්ථික හා මිලිටරිමය වශයෙන් වට කිරීමේ මූලෝපායේ කොටසක් ලෙස එක්සත් ජනපදය මුල්වී 2015 ජනාධිපති වරනයෙදී රාජපක්ෂ ඉවත්කිරීමට තන්ත්‍ර මාරු කිරීමේ මෙහෙයුමක යෙදෙමින් මෛත්‍රිපාල සිරිසේන බලයේ පිහිටවූවේය. රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලනයට සහායදුන් ඇමරිකාවට අවශ්‍යවූයේ බෙයිජිනය සමග සම්බන්ධතාවලින් බිඳ ලංකාව සිය චීනයට එරෙහි මූලෝපායික කක්ෂය තුලට ගැනීමයි.

ලංකාවේ වෙරිටේ නම්වූ පර්යේෂන ආයතනයක් විසින් මෑතදී ඉදිරිපත්කල සංඛ්‍යාලේඛන විශ්ලේෂනයකින් පෙන්වා දී ඇත්තේ රටේ නය අර්බුදයේ ප්‍රධාන මූලය චීනයෙන් ගත් නය නොවන බවයි. වෙරිටේ සිය වාර්තාව සූදානම් කලේ කුමන අරමුනක් ඇතිවද යන්න පැහැදිලි නැතත් එම අධ්‍යයනයෙන් “චීන නය උගුල” ගැන ප්‍රචාරයේ පල්ල යයි.

එහි විශ්ලේශනයෙන් පෙන්නුම් කෙරෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලෙන් ගත් නය ප්‍රමානය පසුගිය වසර 10 තුල එනම් 2008 සිට 2017 අග දක්වා ලංකාව ගෙන ඇති සමස්ත නය ප්‍රමානයෙන් සියයට 11 සිට සියයට 54 දක්වා ඉහල ගොස් තිබෙන අතර එහි කොටසක් වන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මූල්‍ය වෙලඳපල තුල විකිනීම මඟින් ලබා ගෙන ඇති නය සියයට 4 සිට 33 දක්වා නැගුනු බවයි. රාජපක්ෂ ආන්ඩුව බලයේ සිටි කාලයට අයත් 2008 සිට 2013 දක්වා මුල්‍ය වෙලඳ පොලෙන් ගත් නය සියයට 11 සිට සියයට 42කි. මෙම නය ගැනීම් සියල්ල සහනදායී නය වල සිට වානිජ නය දක්වා ගමන් කිරීමක් බව පෙන්වන වෙරිටේ අධ්‍යයනය ඒ අනුව නයෙහි වියදම ඉහල ගොස් ඇති බව පවසයි.

ද්විපාර්ශ්වික ලෙස චීනයෙන් ලබාගෙන ඇති නය ප්‍රමානය සමස්ත නය ප්‍රමානයෙන් සියයට 15ක් තරම් සැලකිය යුතු ඉහල මට්ටමක පවතින නමුත් “නය උගුලේ” ප්‍රධාන ප්‍රභවය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය හා බැඳුම්කර වෙලඳපල වන බව පෙන්වාදෙන එම අධ්‍යයනය මෙම නය වල පොලී රේට්ටු චීන නය වල පොලී රේට්ටු මෙන් තුන් ගුනයක් වන බව පැහැදිලි කරයි. පැහැදිලි වන කරුන නම් ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය ගිනි පොලියට දෙන වානිජ නය වල ආධිපත්‍ය රට මත පිහිටුවීම පසුගිය වසර 10 තුල උත්සන්න කර ඇති බවයි.

මෙය ලංකාවට සීමාවූ ප්‍රපංචයක් නොවේ. මෙම දැවැන්ත නය ගැනීම් 2008 ඇමරිකාවෙන් පටන්ගෙන භූගෝලය අලලා ගිය මුල්‍ය කඩා වැටීමේදී ඇමරිකාව අතුලු ප්‍රධාන අධිරාජ්‍යවාදී රටවල ආන්ඩු ගෙනගිය පිලිවෙත් සමග සම්බන්ධය. එම ආන්ඩු ඩොලර් ට්‍රිලියන ගනන් මුදල් මහා භාන්ඩාගාරවලින් බැංකුවලට පොම්ප කර ඒවා බේරාගැනීමේ නමින් ගත් පියවර නිසා උතුරා ගිය මුල්‍ය ප්‍රාග්ධන වෙලඳපොලෙන් පහසුවෙන් නය ගැනීමේ හැකියාව “නැගීඑන ආර්ථිකයන්ට” ලැබුනි. බැඳුම්කර වෙලඳපොල ඇතුලු ඉහල ප්‍රතිලාභ උපුටා ගත හැකි තැන්වලට ඇමරිකාව ඇතුලු රටවල සමපේක්ෂක මුල්‍ය ආයෝජකයෝ වැදී ගත්හ. පසුගිය මාස ගනානාවක සිට සිදුවන්නේ ඇමරිකාවේ පොලි රේට්ටුව ඉහල දැමීමත් සමග මෙම ආයෝජකයන් විදේශවල ආයෝජනය කල මුදල් ආපසු ගන්නට පටන් ගැනීමයි.

මෙම දැවැන්ත නය ගැනීම් නිසා ඒවා ආපසු ගෙවීමේ අර්බුදයක් මෙන්ම, ආයෝජනයන් ආපසු ඇදගැනීම ඇරඹීම නිසා එලෙස නය ගත් රටවල මුදල් අවප්‍රමානය වෙමින් මුල්‍ය අස්ථාවරත්වයක් ද උද්ගත කර ඇත. තුර්කියේ ලීරා, අජෙන්ටිනාවේ පෙසෝ, ඉන්දුනීසියාවේ රුපියා ඉහල මට්ටමකින්ද ඊට අඩුවෙන් වුව ලංකාවේ රුපියල ද අවප්‍රමානයට හේතුවූයේ වෙසෙසින්ම බැඳුම්කර වෙලඳපොලෙන් විදේශ ආයෝජන පලායාමයි. අධිරාජ්‍යවාදී රටවල පරපුටු මුල්‍ය කතිපයාධිකාරීන් එම රටවල් ද ඇතුලුව සෑම රටක් මත්තේම අධිකාරය දරයි, අර්බුද උග්‍රකරයි. වැඩකරන ජනයා මත අර්බුදය පැටවීමේ සමාජ ප්‍රතිවිප්ලවය ක්‍රියාවට දමයි. නැගෙන සමාජ ප්‍රතිරෝධයන් මැඩීමට එකාධිපතිත්වයන් සූදානම් කරයි.

නය ගෙවීම සඳහා තව තවත් නය ගැනීමේ “උගුලෙන්” බේරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ඒජන්සියක් වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) ප්‍රතිකාරය ලෙස කම්කරු දුගී ජනයා සූරා කෑමේ කප්පාදු වැඩ පිලිවෙල මගින් සම්පත් මිරිකා ගැනීමේ වැඩපිලිවෙල මුදාහැර ඇත්තේ මෙම තතු තුලය.

ලංකාව සම්බන්ධයෙන් ගත්කල. දැනට ජාමූඅහි නිර්දේශ මත ක්‍රියාත්මක කර ඇති කප්පාදු වැඩ පිලිවෙලට සහනාධාර කැපීම, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය හා වානිජකරනය, වැඩ කරන සෑම ජන කොටසක්ම ආවරනය වන ලෙස බදු දැල පුලුල් කිරීම හා මහා ආයෝජන වලට බදු සහන දීම, මූර්ත වැටුප් පහත වැටෙන ලෙස රුපියලේ අගය නිදහසේ පහත වැටීමට ඉඩ සැලසීම ආදිය ඇතුලත්ය.

මෙම කප්පාදු වැඩ පිලිවෙල වඩාත් උග්‍ර ලෙස හා ඇති තරම් වේගයෙන් ක්‍රියාවට දැමීම සඳහා ආන්ඩුව මෙහෙයවා ගැනීම ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ජාමූඅ වැනි ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ඒජන්සි වල භූමිකාවයි. එම නිර්දේශ ක්‍රියාවට දැමීම හරහා රට බංකොලොත් වීමෙන් වැලකෙන්නේය යන පිලිගැනීම මත ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොල‍ෙන් තව දුරටත් වානිජ නය ලබා ගැනීමට ඉඩ ලබා ගැනීම මඟින් ආන්ඩුව අර්බුදය තව තවත් ගැඹුරු කරයි. ඊට සමගාමීව සමාජ අයිතීන් හා ජීවන කොන්දේසි තලා දැමීම සිදුවේ.

මෙම වැඩපිලිවෙල ආසියාවේ, අප්‍රිකාවේ, ලතින් ඇමරිකාවේ හා ග්‍රීසිය ඇතුලු යුරෝපයේ අර්බුදයෙන් පෙලෙන රටවල් ගනනාවක ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ කම්කරු පන්තියේ තියුනු ප්‍රතිරෝධයන් මධ්‍යයේය. ජාත්‍යන්තර මූුල්‍ය ප්‍රාග්ධනයේ ප්‍රහාරය චීනය වැනි නැගී එන ආර්ථිකයන් දුර්වල කිරීමට ක්‍රියා කරන අතර අධිරාජ්‍යවාදී යුද්ධයේ කස කරුවා ලෙස ක්‍රියා කරයි. ග්‍රීසිය තුල සිරිසාව වැනි ව්‍යාජ වම මෙම ප්‍රහාරයන් කම්කරු පන්තිය මත පැටවීම සඳහා පෙරමුන ගෙන තිබේ.

වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරමින් තමන්ට විකල්ප වැඩපිලිවෙලක් ඇති බවක් මවා පෑමට රාජපක්ෂ හා ඔහුගේ පොදුජන පෙරමුන තැත් කරයි. රාජපක්ෂගේ කයිරාටික කතාවේ පල්ල යවා ඇත්තේ මූල්‍ය ප්‍රග්ධනය බදා වැලඳ ගැනීමේ හා ඒවායේ නියෝග මත, පොලිස් රාජ්‍ය මර්දනය මුදාහරිමින් බලයේ සිටිද්දී ඔහු ගෙනගිය කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමේ වාර්තාව විසිනි.

අධිරාජ්‍යවාදී නය මතින් ක්‍රියාවට දැමෙන රුදුරු වැඩපිලිවෙල නතර කල හැක්කේ කෙසේද? එය කල හැක්කේ නය ගෙවීම ප්‍රතික්ෂේප කිරීමෙනි. එනම්, නය නොගෙවා සිටීමෙනි. මූල්‍ය ප්‍රාග්ධනයට ගැටගැසී සිටින අධිරාජ්‍ය ගැති ධනපති පන්තියේ කිසිම ආන්ඩුවක් කිසිම කල්ලියක් එය නොකරනු නියතය.

0 comments: