Hot!

අපට පමණක් නොව ඇමරිකාවටත් මේ විධායකය ප‍්‍රශ්නයක් වෙලා

ගාමිණී වියන්ගොඩ 

විධායක ජනාධිපති ක‍්‍රමය ඇමරිකාව සහ ප‍්‍රංශය වැනි දියුණු රටවලට ප‍්‍රශ්නයක් වී නැත. ලංකාවටත් ඔබින්නේ එවැනි දේශපාලනික ක‍්‍රමයක් යැයි කියන බොහෝ දෙනා තමන්ගේ මතය සනාථ කිරීමට උපහැරණයට ගෙනහැර දක්වන්නේ ඒ රටවල් දෙකයි. මේ රටවල් දෙකේ විධායක ජනාධිපති ක‍්‍රමය සාපේක්ෂ සාර්ථකත්වයක් ලබා ඇති බව ඇත්ත. ඊට හේතු ගණනාවක් තිබේ. ඒ ගැන මීට පෙර අප කරුණු දක්වා ඇත. සියල්ල කැටි කොට සරළව කිවහොත්, ඒ කියන රටවල දියුණු දේශපාලන සංස්කෘතියක් සහ ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතනික පද්ධතියක් තිබීම එසේ විධායක ජනාධිපති ක‍්‍රමයට ඔරොත්තු දීමට අවශ්‍ය කරන වටපිටාව එම රටවල් තුළ නිර්මාණය කර දී ඇති බව කිව හැකිය.



අපේ රටේ එවැනි දියුණු දේශපාලනික සංස්කෘතියක් නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ  ඕනෑම ආයතනයක් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආකාරයෙන් අවභාවිතයට ගැනීමට අප පසුබට වී නැති බවට අනන්තවත් සාක්ෂි තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ එන ජනතා ස්වෛරීත්වය පවා, ජනාධිපතිවරයාගේ හිතුමතේට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි සහ මැතිවරණ කැඳවිය හැකි අවස්ථාවක් කර ගැනීමට පසු ගිය දා ගත් ප‍්‍රයත්නය තවමත් අපේ මතකයේ තිබේ. හැබැයි ඒ හේතුව නිසාම, ඇතැම් ආයතන අතහැර දැමීමේ හැකියාවක් රටකට නැත. උදාහරණයක් වශයෙන්, අධිකරණයක් දේශපාලනීකරණයට නතු වී පාලකයාගේ බසට අවනතව කටයුතු කරන විට, ඒ හේතුව නිසාම, අධිකරණය ආයතනයක් වශයෙන් අවලංගු කිරීමේ හැකියාවක් රටකට නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෝ නොවේවා, සෑම රටකම අධිකරණයක් ඇත්තේ එබැවිනි. එසේම, නීතියේ ආධිපත්‍යයක් නැතැයි කියා නීතිය පැත්තකට දැමීමේ හැකියාවක් ද රටකට නැත. මෙවැනි අවස්ථාවක අප කරන්නේ, අධිකරණය අර කියන දේශපාලනීකරණයෙන් ගලවා ගැනීමත්, නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමත් ය. පසුගිය ඔක්තෝබර් 26 වැනි දා පටන් හටගත් ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවලිය ආපසු හැරවීමට ආයතනික මට්ටමකින් හැකි වූයේ, එක පැත්තකින්, ස්වාධීන වූ අධිකරණයක් එ මොහොතේ තිබීමත්, තවත් පැත්තකින්, සෘජු කතානායකවරයෙකු ඒ මොහොතේ සිටීමත් ය. මා මෙහිදී අවධාරණය කරන්නේ, ‘ඒ මොහොතේ’ යන්නයි. හෙට, ඒ මොහොත නැති වී යා හැකියි.

විධායක ජනාධිපති ක‍්‍රමය හැම රටකම නැත. තිබෙන හැම රටක්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ද නැත. ඇත්තෙන්ම, විධායක ජනාධිපති ක‍්‍රමයක් සහිත රටවල් බහුතරය, මේ වන විට අර්ධ-ඒකාධිපති නොවේ නම්, දැඩි අධිකාරීවාදී ය. කලක් ඒවා පූර්ණ ඒකාධිපතියන් බිහි කරන තෝතැන්නක් විය. විශේෂයෙන් ලතින් ඇමරිකාවේ උග‍්‍ර ඒකාධිපතියන් බිහි කොට ඇත්තේ ඒ ක‍්‍රමය යටතේ ය.

විධායක ජනාධිපති ක‍්‍රමය මුලින් ඇති වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ ය. රාජත්වයක ඉතිහාසයක් නැති අද ලෝකයේ ඇති එකම ප‍්‍රධාන රට වන්නේත් ඇමරිකාවයි. රජවරු නොසිටි එවැනි රටකින් විධායක ජනාධිපති ක‍්‍රමය මුල් වරට බිහි වීම තුළ වැදගත් කාරණයක් ගැබ්ව තිබේ. එනම්, එරටේ විධායක ජනාධිපති ක‍්‍රමය, අතීතයේ රාජත්වයක් නිසා උරුම විය හැකි ඒකාධිපති නැමියාවකට යට වීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව ය. රාජත්වයක ක‍්‍රමික පරිණාමයක් වශයෙන් නොව, අලූත් ආයතනයක් සහ අලූත් අත්හදාබැලීමක් වශයෙන් ඇමරිකාවේ ඒ විධායක ජනාධිපති ක‍්‍රමය ආරම්භ කෙරුණු බව එහි අදහසයි. එම අත්හදාබැලීම දැන් සියවස් දෙකකට වැඩි කාලයක් තිස්සේ සාර්ථක වී තිබේ.


රටක ඉතිහාසය පමණක් නොව, පොදුවේ මනුෂ්‍යයාගේ පුද්ගල ස්වභාවයත්, අධිකාරීවාදයට සහ රාජකීයත්වයක් පිළිබඳ නැඹුරුවකට ඉඩ සලසන බව සැලකිය යුතුය. අද වන විට, ලෝකයා අත්කරගෙන තිබෙන නූතන දේශපාලනික ශිෂ්ටාචාරය යනු, ඇත්තෙන්ම, එකී මිනිස් ස්වභාවය පාලනය කිරීම සඳහා කාලාන්තරයක් තිස්සේ ගන්නා ලද සාමූහික මිනිස් වෑයමක ප‍්‍රතිඵලයකි. එසේ වෙතත්,  ඕනෑම මිනිසෙකු ඔටුන්නක් ඇතොත් එය හිසේ දා ගැනීමටත්, සිංහාසනයක් ඇතොත් එහි වාඩි වීමටත්  ඕනෑම අවස්ථාවක ඉඩ ඇති බව හිතේ තියාගෙන කටයුතු කිරීම සමාජයකට කොහොමත් වැඩදායක ය.


විධායක ජනාධිපති ක‍්‍රමය සාර්ථකව ක‍්‍රියාත්මක වන අනිත් ප‍්‍රධාන රට වන්නේ ප‍්‍රංශයයි. ඇමරිකාවේ මෙන් නොව, ප‍්‍රංශයේ දීර්ඝ රාජවංශයක ඉතිහාසයක් තිබේ. අවසානයේදී, ඒ රාජවංශය නිශ්චිතවම, ඓතිහාසික අර්ථයකින් මෙන්ම භෞතික අර්ථයකින් ද, 1789 දී ඝාතනය කරනු ලැබුණි. ප‍්‍රංශ විප්ලවය යනුවෙන් හැඳින්වෙන්නේ එයයි. එහෙත් ඉන් පසුවත් වරින් වර එරටේ රාජත්වය යළි හිස එසෙව්වේය. එවිට නැවත නැවතත් විප්ලව කිරීමට එරට ජනතාවට සිදු විය. අවසානයේ 1848 විප්ලවයෙන් පසු, ඇමරිකානු සම්ප‍්‍රදාය අනුගමනය කරමින්, ප‍්‍රංශයත් විධායක ජනාධිපති ක‍්‍රමයක් ඇති කර ගත්තේය. එහෙත් ඒ ක‍්‍රමය යටතේ බලයට පත් ප‍්‍රථම ජනාධිපතිවරයාම නැවතත් රජෙකු බවට පත්විය. එයින් පාඩමක් උගත් ප‍්‍රංශ ජනතාව ආපසු පාර්ලිමේන්තු ක‍්‍රමයට ගියහ. එතැන් පටන් ජනාධිපතිවරයා නාමමාත‍්‍ර නායකයා බවට පත්විය. එහෙත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු චාල්ස් ඩිගෝල් නැමැති අධිකාරීවාදී නායකයා අගමැති වශයෙන් බලයට පත්ව නැවතත් විධායක ජනාධිපති ක‍්‍රමයක් ඇති කර ගත්තේය. අද දක්වා ප‍්‍රංශයේ තිබෙන්නේ එම ක‍්‍රමයයි.


වර්තමාන ඇමරිකානු ජනාධිපතිවරයාගේ හැසිරීම අනුව බලන විට එවැනි දියුණු රටකට පවා මේ ජනාධිපති ක‍්‍රමය කොතෙක් දුරට ගැලපෙයි ද යන ප‍්‍රශ්නය මතුවෙයි. සමහර විට තව දෙතුන් වතාවක් ඩොනල්ඞ් ට‍්‍රම්ප් වැනි නායකයෙකු එරටේ ජනාධිපති තනතුරට පත්වුවහොත් ඇමරිකානුවන් ද අප මෙන්ම මේ ක‍්‍රමය ඉවරයක් කර ගැනීම සඳහා ඉදිරිපත් වීමට බැරි නැත.

ඇමරිකාවේ දකුණු දේශ සීමාව මායිම් වන්නේ මෙක්සිකෝව සමගයි. මේ රටවල් දෙක අතරේ දේශ සීමාවේ දිග සැතපුම් 2000 ට ආසන්න ය. මේ රටවල් දෙක වෙන් කෙරෙන එකී මායිමේ තාප්පයක් බඳින බව ඩොනල්ඞ් ට‍්‍රම්ප් පසුගිය ජනාධිපතිවරණයේදී කියා තිබුණි. මේ වන විටත්, ඔහුට කලින් බලයේ සිටි බලධාරීන් විසින් ඒ දුරෙන් සැතපුම් 600 කට ආසන්න ප‍්‍රමාණයක් තාප්පවලින් සහ වෙනත් බාධකවලින් ආරක්ෂා කරනු ලැබ තිබේ. ඉතිරි දුර ප‍්‍රමාණය සඳහාත් තාප්පයක් බැඳීමට හේතුව වශයෙන් ට‍්‍රම්ප් කියා සිටින්නේ, මෙක්සිකෝව ඇතුළු ඊට පහළින් ඇති තවත් නොදියුණු දකුණු ඇමරිකානු රටවල වෙසෙන දුප්පත් ජනතාව ආර්ථික සංක‍්‍රමණිකයන් වශයෙන් ඇමරිකාවට පැමිණීම නතර කිරීමේ අවශ්‍යතාවයි. එක පැත්තකින් සංක‍්‍රමණිකයන් පැමිණීමෙන් ඇමරිකාවට සිදුවන ආර්ථික අහේනියක් ගැනත්, අනිත් පැත්තෙන් ඒ පිරිස් විසින් මත්ද්‍රව්‍ය උවදුර සහ වෙනත් අපරාධ ඇමරිකාවට ගෙනෙන බවටත් ඔහු චෝදනා කරයි.

මේ තාප්පය සඳහා වැය වන මුදල වශයෙන් ඩොලර් බිලියන 5.7 ක් අනුමත කරන ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. ඇමරිකාව ද්විත්ව මන්ත‍්‍රණ සභාවක් සහිත රාජ්‍යයකි. එකක්, කොන්ග‍්‍රස් මණ්ඩලයයි. අනෙක සෙනේට් මණ්ඩලයයි. කොන්ග‍්‍රස් මණ්ඩලයේ බලය ඇත්තේ ඩිමොක‍්‍රටික් පක්ෂයට ය. සෙනේට් මණ්ඩලයේ බලය ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයට ය. ජනාධිපති ට‍්‍රම්ප් රිපබ්ලිකන් පාක්ෂිකයෙකි. ඔහුගේ ඉල්ලීම කොන්ග‍්‍රස් මණ්ඩලය ප‍්‍රතික්ෂේප කෙළේය.

ඒ අනුව, පසුගිය ඔක්තෝබරයේ සිට දෙසැම්බරය දක්වා ලංකාවේ ජනාධිපතිවරයාගේ මතයට පාර්ලිමේන්තුව අනුගත නොවූ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මතය නොතකා ජනාධිපතිවරයා කටයුතු කිරීමෙන් රාජ්‍ය අංශය අඩපණ වූයේ යම් සේ ද, දැන් ඇමරිකානු ජනාධිපතිවරයා තමන්ගේ ඉල්ලීම ඇමරිකානු කොන්ග‍්‍රස් මණ්ඩලය අනුමත නොකරන හෙයින් ආණ්ඩුවේ පරිපාලන වැය ශීර්ෂයකට අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කර සිටී. ඒ හේතුවෙන් ලක්ෂ හතකට අධික ෆෙඩරල් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට බැරි තත්වයක් උදා වී ඇත. මෙය හැඳින්වෙන්නේ, ආණ්ඩුව අර්ධ වශයෙන් වසා දැමීමක් වශයෙනි. එනම්, පාර්ලිමේන්තුව සහ ජනාධිපතිරයා අතර ඇනහිටීමක් සිදුව ඇති බවයි. මේ අර්බුදය දැන් මාසයකට ළඟා වෙමින් තිබේ. එහි කර්තෘකාරකයා වන්නේ එරටේ ජනාධිපතිවරයා ය.

ගිය සතියේ, මේ ප‍්‍රශ්නය විසඳා ගැනීම අරමුණු කරගෙන, ජනාධිපතිවරයා සහ කතානායකවරිය අතර සාකච්ඡාවක් තිබුණි. සාකච්ඡාවට වාඩි වූ සැණින් ජනාධිපතිවරයා එක ප‍්‍රශ්නයක් යොමු කොට තිබේ. එනම්, ‘මගේ තාප්පෙට ඔබතුමිය කැමති ද?’ යන්නයි. ඇය ‘නැහැ’ කියූ සැණින්, ‘එහෙනං කතා කරලා වැඩක් නැහැ’ කියා මේසයත් තල්ලූ කරගෙන ජනාධිපතිවරයා නැගිට ගොස් ඇත. මීට මාසයකට දෙකකට පමණ පෙර අපේ සිරිසේනත්, ඔහු කැමති ආකාරයෙන් විශ්වාස භංගය ඉදිරිපත් නොකිරීම නිසා, කතානායකවරයාගේ විනිශ්චය ප‍්‍රතික්ෂේප කළ බව අපට මතක ය. තවත් වරක් අපේ සිරිසේන කැබිනට් මණ්ඩල සාකච්ඡුාවක් අතරමැද කෝපයට පත්ව හිටිහැටියේ නැගිට ගිය සැටිත්, රනිල් වික‍්‍රමසිංහ ඔහු පස්සෙන් දුවගෙන ගොස් ආපසු සාකච්ඡුාවට ඔහු කැඳවාගෙන ආ සැටිත් අපට මතක ය.


නීති විරෝධී සංක‍්‍රමණිකයන්ගේ පැමිණීම ඇමරිකාව මුහුණදෙන සහ ඉක්මණින් විසඳිය යුතු බරපතල ප‍්‍රශ්නයක් බව එරට තුළ පොදුවේ පිළිගැනේ. එසේම, මත්ද්‍රව්‍ය උවදුරත් මැඩලිය යුතු බව පොදු පිළිගැනීමයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පක්ෂය සහ ඩිමොක‍්‍රටික් ප‍්‍රශ්නය අතර මතභේදයක් නැත. එහෙත්, ජනාධිපතිවරයා මේ ප‍්‍රශ්නය අරභයා ඉදිරිපත් කර ඇති විසඳුම, පසුගිය සතියේ කරන ලද මත විමසුමකට අනුව, රටේ ජනතාවගෙන් සියයට 65 ට අධික ප‍්‍රමාණයක් පිළිගන්නේ නැත. ඒ වෙනුවට, ප‍්‍රශ්නය විසඳීමේ වෙනත් මාර්ග අනුගමනය කළ යුතු බව ඔවුන්ගේ අදහසයි.

කෙසේ වෙතත්, අපේ ප‍්‍රස්තුතයට අදාළ වන්නේ, ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායකය අතර ප‍්‍රශ්නය, දියුණු විධායක ජනාධිපති ක‍්‍රමයක් තුළ පවා මතු විය හැකි ආකාරයයි. ලංකාවේ මෙන්ම ඇමරිකාවේත් ජනාධිපතිවරයා පත්කර ගැනෙන්නේ වෙනම ඡුන්දයකිනි. ඒ නිසා, ඔහුට බලතල රාශියක් සේම, පාර්ලිමේන්තුව යටපත් කරගෙන කටයුතු කිරීමේ ප‍්‍රබල ස්වායත්ත භාවයක් ද ලැබේ. ඒ ස්වායත්ත බලය දියුණු රටවල ජනාධිපතිවරුන් පාවිච්චියට ගන්නේ බොහෝ සීරුවෙනි. නීතිරීති සහ පවතින සම්මතයන්ට ගරු කරමිනි. බලය තිබුණත්, සාමාන්‍යයෙන් ඔවුන් ඒ බලය අනිසි අන්දමින් පාවිච්චි කරන්නේ නැත. එසේ වන්නේ, මේ ලිපියේ කලින් ද සඳහන් කළ පරිදි, එරටේ පවතින දියුණු දේශපාලන සංස්කෘතියත්, ජනාධිපතිවරයෙකු එසේ හැසිරුණොත් ඔහුව මැඩලිය හැකි තරමේ ශක්තිමත් ආයතන පද්ධතියකුත් එරටේ තිබෙන බැවිනි.

එහෙත් දැන් ඩොනල්ඞ් ට‍්‍රම්ප් වැනි ජනාධිපතිවරයෙකු බලයට පත්ව ඇති තත්වයක් තුළ, එකී සවිමත් ආරක්ෂණ පවුරු පවා ප‍්‍රමාණවත් නොවන සෙයක් දිස් වෙයි. එය, අපේ සිරිසේන ගිය මාසයේ අපට කියා දුන්නා සේ, ඇමරිකාවේ ට‍්‍රම්ප් ද මේ මොහොතේ ඇමරිකානුවන්ට කියා දෙමින් සිටී.