Hot!

‘ගෙදර යන ගමන්’ පාරිභෝගික විනෝදයේම කොටසක් ලෙස ඡන්ද පොළට යන්නේ කොහොමද ?










- මහේෂ් හපුගොඩ -





ධනවාදය යනු සයිකෝසික තත්වයක් වනවාට වඩා සැමවිටම නිෂ්පාදනය කරන්නේ විපරීත සම්බන්ධයකි.





අද දවසේ අප ජීවත් වන “අනතුරුදායක සමාජයන්හි” (මෙයට අවශ්‍යනම් උපද්‍රව නැත්නම් ආපදා සමාජ යනුවෙන්ද භාවිතා කළ හැක) සියළුම අන්‍යතා තීරණය කරනු ලබන්නේ වෙළඳ පොළ අවකාශයකින් බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ යැයි සිතමි. පොදු අවකාශයේ සිට පුද්ගලික අවකාශය දක්වා සියල්ල තීරණය කරන තීරකයා යනු අප දෙස නිරතුරුව බලා සිටින අවේක්ෂණ කැමරාවක් (surveillance camera) බඳු ධනවාදයේ උකුසු ඇසයි. අප රඟ පාන්නේ එම ඇස පිනවනු පිණිසය.





සන්නිවේදන ධනවාදී යුගය තුළ මෙම ‘කැමරාව’ යනු මහා අනෙකෙකි (ගූගල් හරහා කරන සෑම ගනුදෙනුවකදීම අපගේ අතිශය රහසිගත දත්ත නිරාවරණය වනවා සේම එහිදී අප විසින් ම අපව අනාරක්ෂිත කරගනු ලබයි). ‘කප්පාදුව සඳහා කිසිදු ඉඩක් නොතබමින් ස්වයං-නිෂ්පාදන ධනවාදයේ (self-productive capitalism) වියරු රංගනය විසින් සම්ප්‍රදායික ජිවිතයේ සියලු අන්තර්ගතය පමණක් නොව එහි ලිබිඩෝමය පැවැත්ම පවා තමා තුලට බලහත්කාරයෙන් අවශෝෂණය කරගනී’ යනුවෙන් ජිජැක් මෙම තත්වය විග්‍රහ කරයි. එනයින් ධනවාදය යනු සයිකෝසික තත්වයක් වනවාට වඩා සැමවිටම නිෂ්පාදනය කරන්නේ විපරීත සම්බන්ධයකි.









අප අප විසින්ම අනතුරේ හෙලාගෙන ඇත





එසේ බලන කල අප අද අත්දකින බැඳුම්කර සමාගමෙන් මුදල් ගැනීම පිළිබද කතාවේදී කිසිවෙකුට එයින් ගැලවීගත නොහැකි ලෙස සිරගත වී ඇති දෛවය යනු මෙම විශ්වීයකරණය වූ විපරිත බවේ තාර්කික ප්‍රකාශනයකි. අප අප විසින් ම අපව අනතුරේ හෙලා ගෙන ඇත. එසේ අනතුරට පත් වන ලෙස වෙළඳපල විසින් අපට නියෝග කරනු ලැබ ඇත. නමුත් අපව ගලවා ගැනීමට නැවත ධනවාදය පැමිණෙන්නේ ද නැත. සන්‍යාසියෙක් බවට පත් නොවී අප ධනවාදී කතිකාවෙන් ඉවත් විය යුතු බවට ජිජැක් යෝජනා කරන්නේ එබැවිණි.









නිරුවත පිළිබඳ සමාජීය වරදකාරීත්වය ඔබට එන්නේ ඔබ තුළින්මය





සාමාන්‍යයෙන් ඔබට ලජ්ජා සිතෙන්නේ කුමන අවස්ථාවේදීද ? ලැජ්ජාව ඇතිවීමට නම් යම් අයෙක් ඔබ දෙස බලා සිටින බව (gaze of the Other) පිලිබදව ඔබට දැනුමක් තිබිය යුතුය. සමාජය ඔබ දෙස බලාසිටින විට ඔබගේ හෙළුව හැමෝටම නිරාවරණය වන්නේ නම් එවිට ඔබට ලජ්ජා සිතේ. නමුත් ඔබගේ නිරුවත පිළිබද සමාජීය වරදකාරිත්වය (guilt) ඔබට එන්නේ ඔබ තුලින්ම ය. මා තුලම ඇති හඬකින් (voice) මා අමතන්නේ නම් හා එම හඬ විසින් මා තුළ වරදකාරී බවක් ඇතිකරන්නේ නම් එවිට මනෝ විශ්ලේෂණයේ ‘දැක්ම’ සහ ‘හඬ’ අතර සම්බන්ධය (the link between gaze and voice) අපට පැහැදිලි කළ හැක.





නමුත්, මෙම විපරීත යුගය තුළ ඔබට නිරුවතින් පාරේ ඇවිද යාමට බල කරනු ලැබ ඇත. එය සාමාන්‍යකරණය කරනු ලැබ ඇත. මෙම තත්වය වික්ටෝරියානු බන්ධනයෙන් නිදහස් වීමක් නොව නව වහල් භාවයක පෙරනිමිතිය (කාඩේෂියන් ලා ස්ත්‍රීවාදී නොවන හේතුව දැන් ඔබට පැහැදිලි ඇතැයි සිතමි). අහං පරමාදර්ශයක් (ego-ideal) නොමැතිව මෙම ලැජ්ජාව හෝ වරදකාරී බව ආත්මය තුලින් ප්‍රකාශ වන්නේ නැත. සල්ලි සෙවීම සඳහා ඕනෑම දෙයක් කර (නිරුවතින්) පාරේ ඇවිදින දේශපාලකයින් පිරිසක් අපට ඇත්තේ මෙම පරමාදර්ශ බිඳවැටී ඇති සන්දර්භයක් තුළය.











මෙම යුගය තුළ සිදුවී ඇත්තේ අනෙකාගේ බැල්ම තුළ ඇති කප්පාදු ගුණය අහෝසි වී යාමයි





ජිජැක් ඉතාම පැහැදිළිව මේ තත්වය පහත පරිදි න්‍යායගත කරයි; ‘මෙම යුගය තුළ සිදුවී ඇත්තේ අනෙකාගේ බැල්ම තුළ ඇති කප්පාදු ගුණය අහෝසි වී යාමයි (the Other’s gaze loses its castrative power). ඒ වෙනුවට අනෙකා ගේ දැක්ම යනු අප ට සුපිරි අහමේ විනෝදයේ නිරීක්ෂක ස්ථානයකි. අනෙකා බලා සිටින්නේ මා විනෝද වන තුරුය. මා යම් විදියකින් විනෝද නොවුනොත් එවිට මා වරද කරුවෙකු වෙයි. එනයින් මා විසින් තහනම උල්ලංඝනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සංකේතනය උල්ලංඝනය තුලින් මා විනෝද විය යුතුම ය’.





මේ අනුව සදාචාරය යන්න නොවැදගත් වී උල්ලංඝනය අධිනිශ්චය වේ. හොර මැර කම් කරන අයට වඩ වඩාත් මිනිසුන් ලංවන්නේ සහ ඡන්දය දෙන්නේ සමාජයේ සිදුවී ඇති මෙම විපරීත ව්‍යුහාත්මක (සුසමාදර්ශී) විතැන්විම නිසාය. ඔබ වඩ වඩාත් හොඳින් අසභ්‍ය වචන පාවිච්චි කරන්නේ නම් ඔබගේ මුහුණු පොතට වඩ වඩාත් ලියික් වැටෙන්නේ මෙම තත්වය නිසාය. සමහර දෙපැත්ත කැපෙන දේශපාලන කතා වලට මිනිසුන් ආකර්ෂණය වන්නේ එබැවිණි. පාර්ලිමේන්තුවේ වඩා වඩා කුණුහරප කියන්නේ ඇයිදැයි ඔබට දැන් පැහැදිලි ඇතැයි සිතමු. බලා සිටින කිසිවකු තුළ කප්පාදු ගුණයක් නැති බව එම කුණුහරප කියන්නන් හොඳින් දනී.









නිල් චිත්‍රපටයක වේදනාවෙන් රඟපාන නිළියකගෙන් අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටින්නේ තව තවත් වේදනාවයි





මහා අනෙකාගේ දැක්ම (නිරීක්ෂය) විසින් තව දුරටත් ලජ්ජාව ජනනය නොකරයි. නිල් චිත්‍රපටයක වේදනාවෙන් රඟපාන නිළියකගෙන් අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටින්නේ තව තවත් වේදනාවයි. තව තවත් වේදනාවේ අවයව නිරාවරණය කරන ලෙසයි. වඩා වඩාත් දෙවියන් හෙලා දකින ලෙසයි (fucking God යනුවෙන් මේ හෙලා දකින සෑම විටම තව තවත් ශක්තිමත්ව දෙවියන් ප්‍රාදුර්භුත වන බව ඔවුන්ට අමතක වේ). නමුත් අර වේදනාවෙන් කෑ ගසන නිළියගේ හඬින් මහා අනෙකා කප්පාදු වන බව ජිජැක් පවසයි.









ඒ අනුව ධනවාදයේ සැබෑ ගොදුර වනාහි අර නිළිය නොව එම නිළිය වේදනාවට පත් කරන්නා බවට පත්වේ. ‘ඔබගේ වේදනාව සමඟ විනෝද වන්න’ යන්න මේ යුගයේ නියෝගය බැවින් (ස්ව)පීඩකයා යනු ධනවාදයේ වඩාත්ම උත්කර්ෂවත් ගොදුරයි යනුවෙන් ජිජැක් පෙන්වා දෙයි. නිෂ්පාදන සම්බන්ධයකදී ස්වාමියා විසින් වහලාට (ශ්‍රමිකයාට) වේතනයක් ගෙවනු ලැබුවත් ස්වපීඩා සම්බන්ධයක දී සිදුවන්නේ වහලා විසින් ස්වාමියාට ගෙවනු ලැබීමයි (වේදනාව ජනනය කිරීමේ මිල – එනයින් වඩාත්ම වේදනාත්මක ලෙස ලිංගික සංසර්ගයේ යෙදෙන කළු ජාතික නළුවන් සඳහා වැඩිපුර මිලක් ගෙවීමට නිළියන් සුදානම් ය).









මෙම නව සම්බන්ධයේදී ජනනය කෙරෙන්නේ අතිරික්ත ප්‍රමෝදයකි





පැරණි ශ්‍රම සම්බන්ධයේදී අතිරික්ත වටිනාකමක් (surplus value) ජනනය කරනවා සේම මෙම නව සම්බන්ධයේදී ජනනය කරන්නේ අතිරික්ත ප්‍රමෝදයකි (surplus enjoyment). ඉදින් වේදනාව ජනනය කිරීම සඳහා පාලකයෙක් පීඩකයෙක් (masochist) ලෙස ඉදිරිපත් වන්නේ නම් එවිට අප විසින් ඔහුට ආකර්ශණීය මිලක් ගෙවිය යුතු වෙමු. මෙම ස්ටාලිනියානු සම්බන්ධය තේරුම් ගැනීම සඳහා අධ්‍යතන වමට අවශ්‍ය න්‍යායික මෙවලම් නොමැති අතර ඔවුන්ට එනයින් ගෝඨාභය රාජපක්ෂ ආගමනය තේරුම් යන්නේ නැත. මේ අනුව ‘හේතුව’ මත පදනම් වූ නුතන සමාජය අහෝසි වී මේ වනවිට ඉස්මතුව ඇත්තේ ‘වේදනාවේ’ ප්‍රකාශනයක් වන අනන්‍යතා සමාජ වේ. මෙම විෂය මුලික බව තේරුම් ගැනීම සඳහා ලිබටේරියානු හෝ සුබ සාධක රාජ්‍ය දයලෙක්තිකය ප්‍රමාණවත් නොවන බව ජිජැක් පෙන්වා දෙයි.









ඔබ විසින් සියල්ලම ඔබ වෙනුවෙන් තීරණය කළ යුතුය





ස්වාමියා මැදිහත්කරුවෙක් ලෙස අතුරුදහන් මෙම යුගයේදී ඔබ විසින් සියල්ලම ඔබ වෙනුවෙන් තීරණය කළ යුතුය.





ඔබ කුමන ලිංගිකයෙක්ද ? ඔබගේ පවුල් පරිසරය කෙසේ සකස් විය යුතුද ? ඔබ කුමන වර්ගයේ අධ්‍යාපනයක් ලබාගත යුතුද? ඔබ විවාහ විය යුත්තේ කෙබඳු අයෙක් සමගද ? ඔබගේ විවාහ මංගල්‍යයට මිලියන කීයක් වියදම් කළ යුතුද? ඔබගේ දරුවා කුමන පාසැලකට යැවිය යුතුද ? අනෙකා වසඟ කර ගැනීම සඳහා ඔබගේ ගවුම කෙතරම් කෙටි විය යුතුද ? ඔබ පච්ච කීයක් කෙටිය යුතුද? ඔබගේ මස්පිඩු කෙතරම් විශාල විය යුතුද?





සියල්ලම මෙම පරාවර්තනීය යුගය විසින් ‘විජිතකරණය’ (colonized) කර ඇති බව ස්ලෙවෝයි ජිජැක්ගේ මතයයි. මේ සෑම මිනිස් නිමේෂයක්ම මේ වන විට ප්‍රාග්ධනයේ තර්කනයට හසුකර හමාරය. ඒ සෑම අවස්ථාවක්ම (event) ප්‍රාග්ධන අවකාශයකි. උදාහරණ වශයෙන් මිලියනයක් පමණ වැයකර ඔබගේ විවාහ මංගල්‍යයේ ඇල්බමය නිම කළත් වැඩේ එතැනින් නිම වන්නේ නැත. ඔබගේ ඡායාරූප ඒජන්තයා කියන්නේ “හරි දැන් අපි එහෙනම් ඔබගේ බිරිඳගේ දරු ප්‍රසූත්‍රියේ අවස්ථා රැගත් ඇල්බමය සඳහා සූදානමින් සිටින” බවයි. එවිට ඔබ කළ යුත්තේ ඒ සඳහා ඇඩ්වාන්ස් මුදලක් ඔහු අතට දීමය. මේ නිදහස් යැයි අප පරිකල්පණය කරන අවකාශය වනාහී නිදහස් මොහොතක් නොව නව විජිතකරණ වහල්භාවයක් (වේදනාවක්) බව ඔබගේ මනසට ඇතුළුවීමට සෑම අයුරකින්ම “ වාරණය” කර ඇත. නව ආචීර්ණ කල්පිකභාවය (neo-conservatism) යනුවෙන් හැඳින්වෙන්නේ මෙයය.









ස්ත්‍රී පාර්ශ්වයෙන් ගත් විට නව විලාසිතා, නව රැකියා, නව සංචලතා, නව සම්බන්ධතා, නව සන්නිවේදන, අවකාශ (මුහුණු පොත) යනුවෙන් හැඳින්වෙන මෙම “නව” (neo) අවකාශය යනු ඉහත ආචීර්ණ කල්පිත නො-නිදහසේ අවස්ථාවේ. වඩාත් විජිතකරණය (colonized) කරමින් ඇත්තේ ස්ත්‍රිය වන අතර ඉහත අනතුරුදායක සමාජයේ පරාවර්තනීය බව සමනය කිරීම සඳහා සියල්ල පාලනය කරන පුරුෂ ශරීරයක් ඉහත ස්ත්‍රී අවකාශය විසින් ඉල්ලා සිටී.





ඉතින් වඩාත් මස්ගොබ සහිත, වඩාත් උස මහත, වඩා මර්ධනකාරී, වඩාත් හොඳින් කුණුහරුප කිවහැකි සම්ස්තතා පුරුෂ ශරීරය යනු ඉහත පරාවර්තනීය අනතුරුදායක සමාජයේම තාර්කික නිර්මාණයක් වේ. සංකේතනීය පිළිවෙල අතුරුදහන් වී යන මේ යුගයේ ස්වාභාවිකත්වය මෙන්ම සම්ප්‍රදාය වන දෙකම සමඟ මිනිසා දක්වන සම්භන්ධය ඛණ්ඩනය වන බව පවසන ජිවැක් දක්වන්නේ එවිට මිනිස් ඉතිහාසය සමඟ සම්භන්ද වීමට නව කේතයක් (code) සොයන බවයි.





ජැක්සන් ඇන්තනි, අමරසේකර, නලින් ද සිල්වා, ජේ. ආර්. පී. සූරියප්පෙරුම, විමල් වීරවංශ, රාජ් සෝමදේව, ගෙවිඳු කුමාරතුංග, චන්න ජයසුමන, රාවණා ගවේශකයින් සහ “ වියත් මඟ” දිගේ පැමිණෙන බොහෝ ” “බුද්ධිමතුන්” තමාගේ කාර්ය ලෙස ස්වයං – අර්ථකතනය කරමින් ඇත්තේ ඉහත නව ආචීරණකල්පිකත්වයේ නියෝගය ලාංකික පශ්චාත් නූතන මිනිසා හට මුණගැස්වීමටය.











‘නව අහිමි කේතය’ සඳහා ඉහල මිලක් මේ වනවිට නියම වී ඇත





ජැක්සන් ඇන්තනිට නොතේරෙන දෙය නම් (ලංකාවේ මුහුණු පොතේ ස්ත්‍රීවාදීන්ගේ ගැටළුව ලෙස නම් කළ හැකි) තම දියණිය ඉහත “නිදහස” රඟදක්වන වීමට (කාඩේෂියන් උදාහරණය) ජැක්සන් පූර්ව ප්‍රධාන පියා වෙනුවෙන් කරන සටන් වැදීම යනු පරස්පර ක්‍රියා දෙකක් නොව එකම ක්‍රියාවක වෙනස් ප්‍රකාශනයන් දෙකක් යන්නය (අයෙක් විපරීත වන විට අනෙකා හිස්ටරික වේ). එකම දෙය නම් මේ දෙකේ සමපාතය තේරුම් ගැනීම සඳහා (මුහුණු පොත් නිර්මාල් සහ ගෝඨාභය තාර්කික ලෙස සම්බන්ධවන කලාපය) අසමපාත නිරීක්ෂක ස්ථානයක් (parallax gaze points) අවශ්‍ය වීමයි. මෙම ස්ථාන දෙක විසින් ම කරනු ලබන්නේ සුපිරි අහමේ විනෝද නියෝගය ක්‍රියාත්මක කිරීමයි (කාඩේෂියන් සහ ඩොනල්ඩ් ට්‍රුම්ප් මුණගැසීම අහම්බයක් නොවන බව දැන් ඔබට පැහැදිලි වනු ඇත) මේ සඳහා වන “දැනුම” මේ වන විට අප සමාජගත කර ඇත.









කිම් හා ට්‍රම්ප්








ඉදින් මෙම ‘නව අහිමි කේතය’ සඳහා ඉහල මිලක් මේ වනවිට නියම වී ඇත. බයිබලයේ පැරණිම පිටපත සෙවීම යේසුස් වහන්සේගේ ශරීරය නැවත විද්‍යාත්මක – ප්‍රවේණි ශල්‍ය පර්යේෂණයට ලක්කිරීම, පැරණි නටබුන් විද්‍යාත්මක ලෙස නැවත සොයාබැලීම, බුදුන්ගේ ධාතු නැවත රසායනාගාර පරීක්ෂණයට ලක්කිරීම, චන්ද්‍රිකා හා පරිගණක තාක්ෂණය ඔස්සේ ඊජිප්තු පිරමීඩ නැවත ගවේෂණය යන සියල්ල අයිතිවන්නේ ඉහත “අහිමි වූ කේතය” නැවත සොයාගැනීම නම් ක්ෂේත්‍රයටය.









දැන් අප තුන් පිටකය ජාතික වස්තුවක් ලෙස හඳුනාගෙන ඇත





ආචාර්ය ශිරන් දැරණියගලගේ පුරාවිද්‍යාව මහාචාර්ය රාජ් සෝමදේවගේ පුරාවිද්‍යාවෙන් වය්‍යූහාත්මකව (මනෝ විශ්ලේෂී ලෙස) වෙනස් වන්නේ මෙතැනදීය. රාජ් සෝමදේවගේ උත්සාහය නැති වූ සිංහලත්වයක් (විජය නොවන) නැවත සොයාදීම වන අතර ශිරාන් දැරණියගලගේ උත්සාහය ඉතිහාසය මිත්‍යාහරණය කිරිමය (අනුභූතිකය පදනම් කරගත් නූතන ඥානවිභාගය). සෝමදේව විසින් මිත්‍යාහරණය කළ යුතු අතීතයක් නැවත නැවත මිත්‍යාකරණය (mythologize) කරනු ලබයි.





ගෝලීය ධනවාදය තුළ “අනතුරට” වැටී ඇති සිංහලත්වයක් එම අනතුරින් ගලවා ගැනීම පිණිස (හිට්ලර් ජර්මන් ජාතිය ගලවා ගත්තා බඳු) ඔවුන් සටන් වැද ඇත. “නැති වූ කේතයක් ” ඇති බවට කරන පරිකල්පණය වනාහි දෘෂ්ඨිවාදය විසින් මෙහෙයවනු ලබන කලාපයකි. දැන් අප තුන් පිටකය ජාතික වස්තුවක් ලෙස හඳුනා ගෙන ඇත. නැති වූ මහා අනෙකා (ඉහත සඳහන්) සොයා යෑම වෙනුවෙන් ඉහත කේතය සෙවීම නම් ක්‍රියාව ඔස්සේ සිදුවන දෙය නම් දෘෂ්ඨිවාදය “මම” සහ “අනෙකා” අතරට පිවිසීමයි.









ත්‍රිපිටකය ජාතික උරුමයක්








මිනිස් ඉතිහාසයේ කෘරතම, අශිෂ්ඨම, අශ්ලීලම ඝාතන සිවුවන්නේ මෙයින් පසුවය. අපගේ එදිනෙදා ජීවිතයේ පරාජයන්, අසමත් කම් සහ ආතතීන් මේ ඔස්සේ අප අනෙකා වෙත මුදාහරිනු ලබයි. විශේෂයෙන් ඉහත විජිතකරණීය ආචීර්කරණකල්පිතය තුල මිනිසා පත්වෙන අසරණ බවෙහි අමානුෂික දේශපාලනය බිහිවන්නේ දෘෂ්ටිවාදයේ ව්‍යූහයක් ගොඩනගා ගැනීමට මිනිසා දක්වන ආශාව දේශපාලනීකරණය වන මොහොතේදීය. මේ වනාහි අද දවසේ ගෝලීය දේශපාලනයේ මනෝ විශ්ලේෂී සිතියම් විද්‍යාවයි (cartography). අප අනෙකා පදනම් කරගත ජාතික දේශපාලනයක් ප්‍රවේශමෙන් නිපදවා ගත යුත්තේ එබැවිණි.





මෙම “සතුරු අනෙකා” තේරුම් ගැනීම පිණිස විද්‍යාවක් සොයායන ගමනේ මූලික දෘෂ්ඨිවාදී මැදිහත් වීමක් කරන්නේ ස්ලෙවෝයි ජිජැක් විසිනි. මෙම කලාපය සම්ප්‍රදායික මනෝ විශ්ලේෂණය විසින් නම්කර ඇත්තේ “අඳුරු මහාද්වීපය” ලෙසය. අප තුලම ඇති විනිවිදිය නොහැකි විෂයමූලිකත්වය මෙය වන අතර නාසි ජර්මණිය සහ ගොබෙල්ස් විසින් සූරාකනු ලැබුවේ මිනිස් විෂයේ ඇති මෙම අඳුරු කලාපයයි. නැතිනම් මිනිසාගේ මුග්ධ ප්‍රමෝදයයි. (Idiotic Jouissance). කුඩා දරුවකු තම අනාරක්ෂිත බව සහ අසරණ බව විසින් බියපත් කරණ ලදුව තම පියා සොයා යන්නේ යම්සේද අධ්‍යතන වෙළඳපොළ ධනවාදයේ අනාරක්ෂිත බවින් පොළඹවනු ලදුව මිනිස් විෂය සම්ස්තතා, පීතෘරූපකරණයක් සොයා යනු ලබයි. නැත්නම් සොයායාමට පොළඹවනු ලබයි. ගෝඨාභය රාජපක්ෂ කරළියට පැමිණෙන්නේ මෙම තීරණාත්මක මනෝ විශ්ලේෂී මන්සන්ධියේදීය.





පීඩක පුරුෂ පීතෘත්ව රූපකයකට දක්වන අවිඥාණික “අනුරාගික බන්ධනය” (Passionate attachment) අවසන් වන්නේ ස්වාමි – සේවක සම්බන්ධයකදී විෂයමූලිකත්වයක බව ජුඩිත් බට්ලර් උපුටා දක්වමින් ජිජැක් සඳහන් කරයි සාමාන්‍යයෙන් ලිංගික සම්බන්ධයකදී ගැහැණිය “උඩ ” සිටින පිරිමියා “යට” කරගෙන මෙම පශ්චාත් නූතත සම්භන්දතා කලාපය තුල “උඩට” පැමිණියද මූලික ස්වාමි-සේවක අවසන් වන්නේ නැත. සම්බන්ධයේ ලිබ්ඩෝ කලාපය අවිඥාණක කාලයක ඇත්ත වශයෙන් පිරිමියා සිටින්නේ “උඩය” සතුට පවතින්නේ උඩවත් යටවත් නොව “තහනම” තුල බව උඩ ඉන්න කෙනාටත් යට ඉන්න කෙනාටත් පොදු අවිඥාණික නීතියයි. නමුත් අධ්‍යතන ධනවාදී වෙළඳපොළ විසින් එම දැනුම වාරණය කරමින් උල්ලංඝනය සඳහා ඉඩ කඩ විවර කරමින් ඇත. ප්‍රශ්නය ඇත්තේ දෙමළා තුලවත් මුසල්මානුවා තුලවත්, යුදෙව්වා තුලවත් නොව තමාගේම (විෂයේම) ලිබිඩෝමය තෘප්තියේ ආකෘතිය තුල බව සත්‍ය ලෙස වාරණය කරන දැනුමයි. අපගේ අධ්‍යයන් දිශානත, වන්නේ ධනවාදයේ මෙම වාරණය කර ඇති “දැනුම” එළිදරව් කිරීම වෙනුවෙනි. එය සාමාන්‍ය විචාරක දැනුම් නිෂ්පාදනයේ ප්‍රාග්ධන තර්කය තුල ස්ථානගත වන්නක් නොවේ. සරලව කිවහොත් අපගේ “දැනුම” මාකට් කළ නොහැක. එසේ මාකට් කළ හැකි වූවානම් දැන් වන විට අප කෝටිපතියන්ය.









ගොබෙල්ස් හා හිට්ලර්








ජර්මානුවාගේ අවුලට යුදෙව්වාට කළ හැකි දෙයක් නැති බවට වන තේරුම් ගැනීම “වාරණය” කිරීම ගොබෙල්ස් න්‍යායේ ආරම්භයයි





යුදෙව්වා සතුරෙක් ලෙස හඳුනා ගැනීම වෙනුවෙන් අප යම් දැනුමක් කැපකළ යුතුය. එම දැනුම නම් ජර්මානුවාගේ අසංගත බවේ මූලය ඇත්තේ ඔහු තුලම බවට වන දැනුමයි. ජර්මානුවාගේ අවුලට යුදෙව්වාට කළ හැකි දෙයක් නැති බවට වන තේරුම් ගැනීම “වාරණය” කිරීම ගොබෙල්ස් න්‍යායේ ආරම්භයයි.





පවත්නා ධනවාදයේ විෂයමූලික බව වසන් කරනු වස් ඒ වෙනුවට සර්වාධිකාරී පාලකයෙක් ගෙන ඒම විසඳුමක් නොවේ යන “දැනුම” මේ වන විට ලාංකික මුහුණු පොත් “බුද්ධිමතුන්” වාරණය කර ඇති දැනුම වේ. මෙය පශ්චාත් දේශපාලනය බවට නම් කළ හැක්කේ එසේ සර්වාධිකාරී වෙනසකින් කිසිවක් වෙනස් නොවන නිසාය.





හරියටම හැරීගේ සහ මේගන්ගේ “රැඩිකල්” කසාදයට පසුත් දිගින් දිගටම රාජකීය වතාවත් (rituals) පෙර පරිදිම (“රැඩිකල්” මේගන් සහ හැරීද ඇතුළුව) පිළිපදිමින් සිටිනවා වැනිය. එම අධිනිශ්චය වූ (ග්‍රාම්ස්චි) කසාදය විසින් අපේක්ෂා කළේ අභ්‍යන්තර බාධාවකි (ලැකාන්). එම රැඩිකල් බව තුලම ඔවුන් නිදහස් නැති බව කිසිවෙක් පැවසුවේ නැත (අවිඥානික වාරණය). එනයින් එම කසාදය තුල සිටි මේගන් හා හැරී, ඔවුන් දෙස වීදි දෙපස සිටිමින් බලාසිටි නරඹන්නන්, රූපවාහිනියෙන් නරඹන ලද අප, යන සියල්ලෝම ඉහත නව ආචීර්ණකල්පිකවාදය තුලට ඇතුල්වන්නේ කිසිවක් වෙනස් නොවුන, පැරණි දෙයම යලි යලිත් පුනර්ජීවනය වන, අපේක්ෂාභංග මානසික ව්‍යූහයන් තුලට ගාල්වෙමිනි.





ගෝඨාභයගේ ආගමනය අර්ථකතනය කළ හැකි හොඳම නිර්ණායක මේ අනුව ඉහත ආචීර්ණකල්පිත බවේ පුනර්ජීවන ව්‍යූහයයි. මහින්ද රාජපක්ෂ යුගය තුල ගෝඨාභයගේ රූපකය හොඳින්ම දන්නා අප මෙහිදී අමතක කරන දැනුම කැමක්ද ?









ඔබ පරිපූර්ණත්වය වෙත ළඟාවන්න - ධනේෂ්වර වෙළඳපොල





ධනේෂ්වර වෙළඳපොළ විසින් අපට දිගින් දිගටම ඒත්තු ගන්වන්නේ එක් දෙයකි, එනම් ඔබ “පරිපූර්ණත්වය” වෙත ළගාවන්න යන නියෝගයයි. (කියවන්න ටොඩ් මැකෝවන්ගේ Capitalism and Desire කෘතියේ 129 පිටුව)






Capitalism and Desire




ඔබ දැන් අඳින ඔඩෙල් සාප්පුවෙන් ගත් ගවුම වෙනුවට මේගන් ගේ ගවුම ඇඳ බලන්න. ඔබගේ ඔඩෙල් අසම්පූර්ණ බව වෙනුවට එවිට ඔබ පරිපූර්ණතිය වෙත යනු ඇත යන්න වෙළඳපොලේ තර්කයයි. නමුත් මෙම පරිපූර්ණ බව යනු මායාවක් (Illusion) මිස අන් කිසිවක් නොවේ.





රොමෑන්තික බව යනු වෙළඳ භාණ්ඩයක් මිලදී ගැනීමට වඩා වැඩි දෙයක් නොවේ





මැගෝවන්ට අනුව ලිංගික සහකරුවෙක් හෝ සහකාරියක් සොයා යන අපට වෙළඳපොළ විසින් ඉදිරිපත් කරන්නේ ද ඉහත පරිපූර්ණ බවේ තර්කයමයි. මේ අනුව රොමෑන්තික බව යනු ඉහත භාණ්ඩයක් මිලදී ගැනීමට වඩා වැඩි දෙයක් නොවන බව මැගෝවන් මේ යුගයේ පෙන්වා දෙයි.





ඉදින් අප ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස දරදඬු පාලකයෙක් (පීඩකයෙක්) සොයායෑමේ වෙළඳපොළ තර්කණය තුල ඇත්තේ ද අපගේ පරිපූර්ණත්වය සොයායාමේ ශිෂ්ඨාචාර තර්කයම නොවේද ? පවත්නා වියවුල් සහ කැළඹුණු පශ්චාත් යටත් විජිත අවුල මේ සඳහා පසුබිමක් ද සපයයි. අනෙක් අතට තරඟකාරී ජාතිකත්ව කතිකාවද එය උල්පන්දම් දෙනු ලබයි.









නිර්මාල් රංජිත් සිතනවාට පරස්පරව ගෝඨාභය රාජපක්ෂ ලාංකික භූමිය තුළ ස්ථාන ගතවන මනෝ විශ්ලේෂී පසුබිම ගැන දැනගන්න





ඉදින් අපගේ පරිපූර්ණ බවේ සතුරා දෙමළෙක් හෝ මුසල්මානුවෙක් නම් ඉදින් එවිට ඉහත පීඩක (වේදනාව නිෂ්පාදනය කරන) පීතෘ රූපයකට තව තවත් වැඩි වටිනා කමක් ලැබෙනු ඇත. ඔහු විසින් වේදනාව නිෂ්පාදනය කරන බව අප හොදින්ම දන්නා බැවින් ඔහුට අප ගෙවිය යුතු මිලද ඉහලය. ජාතිකත්ව වසඟය තුළ සමකාලීන සිංහල දේශපාලනය මර්ධනීය පාලකයෙක් ඉල්ලා සිටින්නේ මන්ද යන්න ඔබට දැන් පැහැදිළි ඇති යයි සිතමු. නිර්මාල් රංජිත් සිතනවාට පරස්පරව ගෝඨාභය රාජපක්ෂ ලාංකික භූමිය තුළ ස්ථාන ගතවන මනෝ විශ්ලේෂී පසුබිම මෙයයි.





එතැනදී අප අමතක කරන්නේ මෙම ළිපියේ මාතෘකාව ට පදනම් වූ ජාතිකත්ව වධකයා වෙතට නව මානව වටිනාකමක් ආරෝපණය කිරීමේ හොලිවුඩ් මුසාවයි. ලාංකික දේශපාලනයේ පවා අද දක්වා සිදුවූ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ අපගේ දේශපාලන සදාචාරය ඇතිවී ඇති සිතාගත නොහැකි තරම් වූ ගැඹුරු වෙනසයි.









අවසානයේ මෙසේ ලිවිය හැකිය. අපගේ අහමේ සහ ප්‍රමෝදයේ ‘කෙටි පරිපථය’ නම් ස්ථානය විනෝද මර්ධිත ස්ථානය එවන් පාලකයෙක් විසින් නිපදවනු ඇත (short-circuit between Ego and jouissance). විනෝදය කරා අපට ළඟාවිය නොහැක්කේ දෙමලා හෝ මුසල්මානුවා නිසා බව ඔහු වහාම කියනු ඇත. එවිට ආශාවේ නැතිවූ වස්තු හේතුව (missing object-cause-of-desire) ‘දෙමළා’ බවට පත් වීමට වැඩි වෙලාවක් යන්නේද නැත. ඔබට ඇත්තේ ‘ගෙදර යන ගමන්’ (කාගිල්ස් වෙළඳ පාඨය) පාරිභෝගික විනෝදයේ ම කොටසක් ලෙස ඡන්ද පොළට යාමට පමණි…













(කියවන්න ජිජැක් ගේ Can One Exit from the Capitalist Discourse without Becoming a Saint ? ලිපිය සහ You May!: The Postmodern Superego යන ලිපිය. ඒ සමඟම ජිජැක් විසින් ගාඩියන් සඳහා ලියන ලද The depraved heroes of 24 are the Himmlers of Hollywood අදාළ කර ගතිමි. ටොඩ් මැගෝවන් ගේ Capitalism and Desire පොත ද මෙහිදී භාවිතා කෙරිණි.)













සබැඳි පුවත්





ඉතිහාසයේ ආපතික ආක්‍රමණය සහ නව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය






මනමේ නූතනවාදී නාට්‍යයක් ද ?


0 comments: