Hot!

යාපනයේ හා සිද්ධාර්ථ මාවතේ ඉදෙන තෛපොංගල් බත


වින්ද්‍යා ගම්ලත් 

''අද තෛපොංගල් ය. ඊටත් වඩා මෙය මේ වසරේ පළමු නිවාඩු දිනයයි. කාර්යාලයේ දමිළ මිතුරියක් ඊයේ සවස මට සමුදුන්නේ තෛපොංගල් සැමරීමට සිය උපන්ගම වූ යාපනයට යන බව කියමිනි. මා තෛපොංගල් සැමරුවේ නැති වුවද මේ නිවාඩු දවසේ උදෑසනින්ම කඩිමුඩියේ ලක ලෑස්ති වුණේ අත්‍යවශ්‍ය ගමනකට රාජගිරියට යන්නටය.

නිවසින් පිටතට පැමිණි ගමන්ම මීටර් ටැක්සියක් අල්ලාගැනීම මගේ බලාපොරොත්තුව වුවත් එක පෙළට පැමිණි ත්‍රීවිල් රථ දෙකක් මා පසුකර ගියද ඉන් එකක්වත් නැවැත්වූවේ නැත. කඩ වූ බලාපොරොත්තු ඇතිව මද දුරක් ගියවිට පැමිණි ත්‍රීවීල් රථයක් මා ඉදිරිපිට නැවැත්වූ අතර මා යා යුතු ස්ථානය ගැන පවසා ඊට ඇතුළු වූවෙමි.

‘රාජගිරියට‘ යැයි පවසන ගමන් මා සතු ගමන් මල්ල පසෙකින් තබා වාඩිවෙන්නට වූ අතර පත්තර පිටුවක ඔතා පොලිතීන් කවරයක බහා තිබූ පාර්සලයක් ද එහිවිය.


‘මිස් ඔය සීට් එක උඩ තියෙන පාර්සලේ පිටිපස්සෙන් තියෙනවද ? පොඩ්ඩක්‘



‘ආ හරි, කෑම ගන්න යන ගමන්ද ? නැවැත්තුවේ.‘


‘නෑ වෙන ගමනක් යන ගමන්. අවුලක් නැහැ මිස්ව දාන්න පුළුවන් මට‘

මා සාමාන්‍යයෙන් ත්‍රීවීල් රියදුරන් සමග කතාබහ නොකරන කෙනෙක් වුවද මේ රියදුරා මිත්‍ර ලීලාවෙන් කතා බහ කරන්නට වූ නිසා මා වැඩි උනන්දුවකින් තොරව අසාසිටින්නට විය.

‘මිස් මං වැඩිය ත්‍රීවීල් දුවන්නේ නැහැ, වෙන ජොබ් එකක් කරන ගමන් හවසට වගේ තමයි ගොඩක් වෙලාවට එහේ මෙහේ යන්නේ.‘


මං වැඩි කතාබහක් නැතිව ‘ආ එහෙමද ?‘ කියා විමසුවා මිස ඊට එහා කිසිත් කියන්නට ගියේ නැත. නැවතත් ඔහු හඬ අවදිකරන්නට වූවේය.


‘මං දෙමළ, බැඳලා ඉන්නේ සිංහල ගැහැණු ළමයෙක්. ළමයි දෙන්නා උදේට ඉස්කෝලේ දාන්න ඕන නිසා තමයි මේක ගත්තේ. අම්මලා කැමති නැහැ මං සිංහල කෙනෙක් බැන්ඳට. අද ළමයි දෙන්නයි වයිෆුයි මෙහේ අම්මලාගේ ගෙදර එක්කන් ආවා.‘


‘ආ අද පොංගල් නේ නේද ?‘




‘ඔව්, ඒකට තමයි අද ළමයිව මෙහේ එක්කරගෙන ආවේ, නැත්නම් අපි ඉන්නේ මහරගම, ගෙයක් කුලියට අරගෙන. වයිෆ් හරි කැමතියි අපේ අම්මා හදන ස්වීට් වලට. ඇයි එක එක ජාති තියෙනවානේ. අද අපි වටේම ඉන්න අයට පොංගල් බත්, කැවිලි දුන්නා. මෙහේ ඉන්න යාළුවෙක්ට පොංගල් කිරිබත් දෙන්න යද්දි තමයි මිස්ව දැක්කේ‘



‘සිංහල යාළුවෙක්ද ?‘



‘නැහැ මිස්, හැටන් වල ටැමිල් යාළුවෙක්, ක්‍රිස්තියන්‘



‘ආ ‘


‘බබාලා කතාකරන්නේ සිංහල ද නැත්නම් ටැමිල්ද ?‘ සම්මුඛ සාකච්ඡාවක් සිදුකරන අන්දමින් මෙන් මා ඔහුගෙන් විමසන්නට විය.


‘වයිෆ් තමයි ඉතිං එයාලා එක්ක ඉන්නේ ගොඩක්. ගොඩක් දුරට සිංහල තමයි ඉතිං කතාකරන්නේ. කැමති නම් කෝවිලුත් යනවා අපි, නැත්නම් පන්සලටත් යනවා. එහෙම කිසි භේදයක් නැහැ අපිට.‘



පාරේ තැතින් තැන මාස ගාණක් පුරා පාරේ එලෙසම ඇති වළවල් දේශපාලන අධිකාරියේ මැදිහත්වීමෙන් ඉවත් නොකරන බව ද මීට සුළු මොහොතකට පෙර අප පසුකරගෙන ආ වත්තේ අයවලුන්ට නගර සභාවේ කුණු ඇදීම මිස අන්කිසිදු රැකියාවක් ලබානොදෙන බව ද නන්නාදුනන රියදුරා පවසන්නට විය. මේ අතරතුර මා පවසන්නට වූවේ තොරතුරු කොමිසමට අයදුම්පත්‍රයක් යොමුකොට මේ මාවත තවමත් ගොඩනගන්නේ නැත්තේ ඇයිදැයි යන්න ගැන විමසිය හැකි බවයි.



ආණ්ඩුවේ සංහිඳියා වැඩපිළිවෙලට මාධ්‍ය මගින් එල්ල වන විවේචන ගැන උනන්දුවෙන් පසුවෙන මා තව තවත් විස්තර දැනගැනීමේ මොහුගේ කතාවට උනන්දුවෙන් ඇහුම්කන් දෙන්නට වූවා මෙන්ම ඔහුගෙන් ප්‍රශ්න විමසන්නට ද විය.


‘අපි මෙහේ නෙමෙයි මිස්. තාත්තා පොලිසියේ වැඩ කරේ. තාත්තා මඩකලපුවේ ඉඳන් කිරුළපන පොලීසියට ආවා. ඒ ආපු ගමන මෙහෙන් සිද්ධාර්ථ මාවතේ ඉඩම් අරන් පදිංචි වුණේ. මොකද ආයේ එහේ ගියා නම් මරලා දාන්න තිබ්බනේ. අවසානේ එහේ ගියපු වෙලාවක තමයි තාත්තා මරලා දැම්මේ.‘


‘හ්ම්, ඔයා ඉන්න හරියේ ටැමිල් අය විතරද ? ඉන්නේ එතකොට‘



‘අම්මෝ නැහැ මිස්, හැම ජාතියෙම අය ඉන්නවා. සිංහල, ටැමිල්, මුස්ලිම් මේ හැමෝම ඉන්නවා. කිසිම භේදයක් නැහැ මිස්.‘

‘මේ ආණ්ඩුවෙන් සංහිඳියා වැඩසටහනක් අරන් යනවා කියලා ඇහිලා තියෙනවද ? කොහේදී හරි‘


‘ඕවා නිකං දේශපාලඥයෝ තමන්ගේ වාසියට කරන වැඩනේ. ජාතිවාදේ පතුරුවන්නෙත් ඒ ගොල්ලමයි. අපි කිසිම අවුලක් නැතිව ජීවත්වෙනවා මිස්‘ යන්න මේ නන්නාදුනන මිනිසා මට ලබාදුන් පිළිතුරු විය.


නියමිත රුපියල් 400 ක මුදල ගෙවා ‘තෑන්ක්ස්‘ යැයි කියමින් මගේ ගමනාන්තයට පැමිණියෙමි. නමුත්, රතු පැහැ ටැක්සි රථයෙන් අප ආ මඟ දිගේ නොපෙනී ගිය මේ නන්නාදුනන මිනිසා කී කතා ඔහු වැනි මිනිසුන් ගැන මෙන්ම හෙට රට ගැන ද තවත් බොහෝ දෑ සිතන්නට ඉතිරි කර ගියේය.''