Hot!

ආඥාදායක දේශපාලනයට එරෙහිව සටන් කිරීම හැර විකල්පයක් නොමැත - ආචාර්ය ඉන්දි අකුරුගොඩ

ප්‍රජාතන්ත්‍රවාදී සහ යහපාලන මූලධර්ම ගරු කටයුතු පුරවැසියෙකුගේ ඉතා වැදගත් අවශ්‍යතා බවට පත් විය යුතු යැයි මම විශ්වාස කරමි. නමුත් දේශපාලන අවස්ථාවාදීන් විසින් සිය පෞද්ගලික අරමුණු සපුරා ගැනීම වස් බොහෝ ව්‍යාජයන් සමාජගත කරමින් සිටින වාතාවරණයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලන මූලධර්ම වෙනුවෙන් පෙනී සිටීම සියතින් ගෙල සිඳ ගැනීමක් බව දැන දැනම, ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන බියකරු ආඥාදායක දේශපාලන ප්‍රවණතාවලට එරෙහිව සටන් කිරීම අත් නොහැරිය යුතුය. ජන මනස වියවුලට පත්කරන මෙවන් අරාජික දේශපාලන සන්දර්භයන් තුළ නිහඬව සිටීම ශාස්ත්‍රඥයෙකුට තරම් නොවේ යයි මට සිතේ. මෙම සටහන එම සිතුවිල්ලේ ප්‍රතිඵලයකි.



ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා නැවතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේය. රාජ්‍යයක් සතු උත්තරීතර නීතිය ලෙස සැලකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් අත්තනෝමතික ලෙස අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් තුළින් මීට දෙසතියකට පෙර උද්ගත වූ දේශපාලන අර්බුදය තුළින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ඇති ග්‍රාම්‍ය, නොමේරූ දැනුම මට්ටම සහ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ ජනමතය කෙරෙහි ඔහු තුළ ඇති අතිශය දරුණු නොසැලකිලිමත් භාවයයි. ජනාධිපතිවරයා විසින් තමාම එක්තරා යුගයක ප්‍රතික්ෂේප කරන ලද බලවේග සමඟ නැවත එකතු වී කුමන්ත්‍රණකාරී සහ දූෂිත ලෙස ආණ්ඩු බලය අත්පත් කර ගැනීමට උත්සාහ දැරීම හරහා සමස්ත ශ්‍රී ලංකාවම අනතුරුදායක අස්ථාවරත්වයක් කෙරෙහි නැඹුරු කර ඇති බව දැනටමත් පැහැදිලිය. ජාත්‍යන්තර අපකීර්තිය, ආර්ථික අර්බුදය සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලීන්හි සහ පරිපාලන යාන්ත්‍රණයන්හි ඇනහිටීම, දරුණු ආණ්ඩුකරණ පසුබෑමක පෙරනිමිති පෙන්වයි.



මහජන නියෝජිතයන්ට ජනමතය අභියෝගයට ලක් කළ නොහැකිය. ජනමතය අභියෝගයට ලක් කිරීම වනාහි රාජ්‍යයක පුරවැසියන් විසින් එකහෙළා ප්‍රතික්ෂේප කළ යුත්තකි. පුරවැසියන් විසින් සිය ඡන්දයෙන් තෝරා පත් කරන්නේ තමා නියෝජනය කිරීම සඳහා, තම ඉල්ලීම් නියෝජන ආයතනවල ඉදිරිපත් කිරීම සඳහා නියෝජිතයන් මිස, අතීත රජවරුන් මෙන් වන්දනාමාන සහ බැලමෙහෙවර කිරීමට යටත්වැසියන්ට නියෝග කරන ආඥාදායකයන් පිරිසක් නොවේ. එබැවින් 2015 ජනවාරි 8 වැනිදා ජනතා ඡන්දයෙන් පත් කරගත් ජනාධිපතිවරයාද ජනතා නියෝජතයෙකු මිස, නියෝග හරහා ජනමතය වැළැක්විය හැකි ආඥාදායකයෙකු නොවේ. නමුත් ඔහු පසුගිය දෙසතිය තුළ හැසිරුනේ දරුණු ආඥාදායකයෙකු ලෙසින් වීම ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය අගයන සියල්ලන්ගේ දැඩි පිළිකුලටත් විවේචනයටත් ලක් විය. නීත්‍යානුකූල අගමැතිවරයෙකු සිටියදී, කුමන්ත්‍රණකාරී ලෙස නීති විරෝධී අගමැතිවරයෙකු පත් කිරීම, නීත්‍යානුකූල අගමැතිවරයා පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කර ගැනීම වැළැක්වීම සඳහාත්, තමා විසින් පත්කළ 'ව්‍යාජ' අගමැතිවරයාට බහුතරය නිර්මාණය කරගැනීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 'මිලයට ගැනීම' දිරිමත් කිරීමට 'සහන කාලයක්' ලබා දීම සඳහාත් පාර්ලිමේන්තුව අනපේක්ෂිත ලෙස වාරාවසාන කිරීම ආදී වශයෙන් ජනතා පරමාධිපත්‍යය භයානක ලෙස විනාශ කිරීමට ජනාධිපතිවරයා යොමුවීම අතිශයින් ඛේදජනකය.


පාර්ලිමේන්තුව වහා කැඳවා ඇති වී තිබෙන අරාජික තත්වයට පිළියම් යොදන්නැයි දේශීය සහ ජාත්‍යන්තර ඉල්ලීම් නොකඩවා ඉදිරිපත් වුවද ඒ සියල්ල මගහරිමින් සිට අවසානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත වතාවක් උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් අත්තනෝමතික තීරණය ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියල්ලන්ගේ දැඩි විවේචනයට ලක්විය යුත්තකි.



19 වැනි සංශෝධනයේ 17 වැනි වගන්තිය මගින් පහත දැක්වෙන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය විතැන් කරයි.



"(1) ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ ය:


එසේ වුවද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුලුව මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කර ගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේ ය."



මෙහි පැහැදිලිව සඳහන් වන්නේ, නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළහොත් මිස, එහි පළමු රැස්වීම පැවැත් වූ දින සිට අවුරුදු හතරක් සහ මාස හයක් අවසන් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බවයි. එබැවින් ජනාධිපතිවරයා ක්ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බවත්, ඔහු දිගින් දිගටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ සිය ආත්මාර්ථකාමී දේශපාලන ආශාවන් මුදුන්පත් කර ගැනීමට බවත් පැහැදිලිය. යහපාලනය පිළිබඳ පොරොන්දු දෙමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ ජනාධිපතිවරයෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය සහ ආචාර ධාර්මික වටිනාකම් පිළිබඳ සිය පෙර ස්ථාවරයන් ක්ෂණිකව පසෙක තබා කුරිරු ආඥාදායකයකු ලෙස හැසිරෙන විට ජනතාවගේ භූමිකාව කුමක් විය යුතුද?



මේ මොහොතේ අප ඉදිරියේ ඇත්තේ අනවශ්‍ය මැතිවරණයකි. ජනතාව විසින් අපේක්ෂා නොකළ සහ ඉල්ලා නොසිටි මැතිවරණයක් වෙනුවෙන් අතිමහත් මහජන මුදල් ප්‍රමාණයයක් වැය කිරීමට නියමිතව තිබේ. මැතිවරණ අවශ්‍ය ජනතාවට ද? එසේ නැතිනම් ජනතා නියෝජිතයන්ට ද? මේ මොහොතේ නම් මැතිවරණයක් අවශ්‍ය වී තිබෙන්නේ ජනමතය මුදලට හෝ දූෂිත ආකාරයෙන් පැහැර ගැනීමට සැලසුම් කරන ආඥාදායකයන් සුළු පිරිසකට පමණි. ශ්‍රී ලංකාවේ අද පවතින අස්ථාවර සහ අරාජික වාතාවරණය තම අවස්ථාවාදී දේශපාලන ඉලක්ක සපුරා ගැනීම පිණිස මෙම ආඥාදායකයන් විසින් නිර්මාණය කරන ලද්දක් බව අප මතක තබා ගත යුතුය. මෙම දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමට නම් කළ යුත්තේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමඟ එකතු වී ජනමතය අපයෝජනය කිරීමට සහ ආඥාදායක බලාධිකාරියට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ස්ථාපිත කරගැනීම වෙනුවෙන් සටන් වැදීම පමණි. මෙය කිසිසේත්ම පහසු ඉලක්කයක් නොවේ. එබැවින් ඔබගේ උනන්දුව, කැපවීම සහ ධෛර්යය සජීවීව පවත්වා ගනිමින්, වර්තමාන ශ්‍රී ලංකාවේ ආඥාදායක දේශපාලනයට එරෙහිව සටන් කිරීම අත්‍යවශ්‍යය. උපරිම ධාරිතාවයකින් සටන් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත්, ඔබගේ නිශ්ශබ්දතාවය මේ මොහොතේ කිසිදු ප්‍රතිඵලයක් අත් කර නොදෙන බවත් මෙහිලා සටහන් කළ යුතුය.


 

ආචාර්ය ඉන්දි අකුරුගොඩ

රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය

රුහුණ විශ්වවිද්‍යාලය

0 comments: