Hot!

‘මේ වාමාංශිකයෙකුට ජීවත්වෙන්න හොඳ කාලයක් නෙමෙයි‘ - ෆ්‍රැන්සිස් ෆුකුයමා

ඇමරිකන් ජාතික දේශපාලන විද්‍යාඥයෙකු වන ෆ්‍රැන්සිස් ෆුකුයමා මෑතකදී සිය නවතම කෘතිය වූ Identity: The Demand for Dignity and the Politics of Resentment ජනගත කළේය. නව ලොව දේශපාලනය තුළ වාමාංශිකයින් අනන්‍යතා දේශපාලනය විසින් වෙලාගෙන ඇති බවත් දක්ෂිණාංශිකයින් ජනතාවාදය උත්කර්ෂයට නංවන බවත් ඔහුගේ විශ්වාසයයි. 1989 දී රචනා කළ ‘The End of History ?’ ලිපි පෙළ එනමින්ම ප්‍රකාශයට පත්කළ අතර මෙය කෘතියක් ලෙස 1992 දී ජනගත කළේය.  


2001 සැප්තැම්බර් 11 වෙනිදා ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය, අරාබි වසන්තය, සමස්ත ලෝකයම 2008 වසරේදී මුහුණ දුන් ආර්ථික අර්බුදය මෙන්ම ගෝලීයකරණයෙන් වියවුලට ලක්වූ ලෝකය තාක්ෂණයේ දියුණුවත් සමග නව මං පෙත් සනිටුහන් කිරීම 1992 න් පසු ලෝකයේ විශේෂ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළේය.


මෙහි පළවන්නේ Identity: The Demand for Dignity and the Politics of Resentment කෘතිය පිළිබඳ 52 Insightsඟරාව සමග සිදුකළ සාකච්ඡාවේ අනුවර්තනයකි.


 

‘ මං පළකරන අදහස් දක්ෂිණාංශිකයින් පිළිගන්නේ නැහැ‘


 

ඔබ සුප්‍රසිද්ධ බුද්ධිමතෙකු විදියට ගෝලීය වශයෙන් සිද්ධ වෙන මේ දැවැන්ත වෙනස්කම් දකින්නේ කොහොමද ? වාමාංශිකයින් ඔබව ආදරයෙන් වැළඳගන්නා අතරේ දක්ෂිණාංශිකයින් ඔබව පසෙකට ඇද දමා තිබෙනවද ? 


 

දක්ෂිණාංශිකයින් මං කියන දේවල් වලට කොහොමටවත් අවධානය යොමු නොකරන බව මෙතෙක් මා ලැබූ අත්දැකීම් ඇසුරින් කිවහැකියි. ඒ වගේම දක්ෂිණාංශිකයින්ගෙන් මං කියන දේවල් වලට තදබල වාග් ප්‍රහාර එල්ල වේ යැයි හිතන්නේ නැහැ.


වාමාංශිකයින්ගේ පැත්තෙන් තදබල විවේචන එල්ල වෙමින් පවතින බව පේනවා, ඒවගේම මොනයම් විදියකින් හෝ අනන්‍යතා දේශපාලනයේ ලක්ෂණ ගැන ඔවුන් තුළ දැඩි විශ්වාසයක් පවතිනවා වගේම ඔවුන් ඒ සම්බන්ධයෙන් බලපෑම් කරන බවත් පේනවා.


ඒක හරිම අමාරුයි, ඉරාක ආක්‍රමණයෙන් පසුව පැවැත්වුණු විවාදයකට අවසන් වරට 2003 වසරේදී සහභාගී වුණා. සදාම් හුසේන් සම්බන්ධයෙන් දැඩි තීරණයක එල්බ ගෙන America at the Crossroads නමින් කෘතියක් රචනා කළත්, ආක්‍රමණයට ආසන්න මොහොත එළඹෙද්දී මෙවැන්නක් නොකළ යුතු බව මගේ තීරණය වී තිබුණු නිසා බුෂ්ගේ පාලනය සම්බන්ධයෙන් දැඩි තීරණයකට එළඹී හිටියා. ඇමරිකාව - ඉරාකය ආක්‍රමණය කිරීමට සහයදීමට කටයුතු කළ බවට වූ විවේචන මෙහි ප්‍රතිඵලයක් විදියට එල්ල වුණා. මේ ගැන අප්‍රසන්න අදහස් ඉතිරි වෙලා තියෙනවා.


 


‘මේ වාමාංශිකයෙකුට දිවිගෙවන්න සුදුසු කාලයක් නෙමේ‘


මේ කාලපරිච්ඡේදය වාමාංශිකයෙකුට ජීවත්වෙන්න සුදුසු කාලයක් නොවෙයි. දක්ෂිණාංශිකයින්ට වගේම වාමාංශිකයින්ටත් මේ කාලයේදී ප්‍රශ්න රාශියකට මුහුණදෙන්න සිද්ධ වෙලා තියෙනවා.


බ්‍රිතාන්‍යය වගේම ඇමරිකා එක්සත් ජනපදය සලකා බැලුවත් මේ කතාව ඇත්තක්. සමාජය දෙකඩ වීම 2016 වසරේදී ඉඳන් වැඩියෙන් වර්ධනය වී තිබෙනවා. ඔබ කියන කාරණයත් එක්ක බ්‍රෙක්සිට් ඡන්දය ගැන හඳුනාගන්නට හැකි වගේම මේ බෙදීමට ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි බලපෑමක් කරනවා. වාමාංශික හා දක්ෂිණාංශික විදියට ඇමරිකාවේ කලින් පැවතුණු දෙකඩ වීමේ පිළිබිඹුවක් විදියට ට්‍රම්ප්ව හඳුනාගන්නට හැකිවෙනවා. මධ්‍යගත වීම වෙනුවට පවතින නොසන්සුන්කාරී තත්ත්වය තව තවත් ඇවිස්සිය හැකි හැමදේම කරලා ඇමරිකානු මැතිවරණ ක්‍රමය හරහා සුළුතරයේ ඡන්දයෙන් ට්‍රම්ප් තේරීපත්වුණා.


 

මගේ ජීවිතයේදී දුටු පළමු වර්ගවාදී නායකයා ඔහු බව මගේ විශ්වාසයයි. ඔහුගේ වර්ගවාදී නායකත්වය නිසාම වාමාංශිකයින් තවදුරටත් උග්‍ර වාමාංශිකයින් බවට පත්වෙනවා. ට්‍රම්ප් මේ හැමදේම කරන්නේ වුවමනාවෙන්ම බව මගේ අදහසයි, ඒකට හේතුව වෙන්නේ 2020 දී ඔහුට එරෙහිව තරග කරන්න ජීවයෙන් පිරුණු ජනපති අපේක්ෂකයෙකුගේ පැමිණීම වැළැක්වීමට දරන උත්සහයයි. ඇමරිකානු දේශපාලනය මධ්‍යගත නොවී පවතින්න හේතුවෙන්නෙත් මිනිස්සු අන්තවාදයට විරුද්ධව පෙළගැසී තිබීමයි, මේ තත්ත්වය ඉදිරියේදී අතිශය අසීරු කාලපරිච්ඡේදයක් වේවි.


‘නවීන අනන්‍යතා දේශපාලනය ආරම්භ වුණේ වමෙන්‘


මේ තත්ත්වය දිහා ඵෙතිහාසිකව බලන්න හැකිද ? අද ඇමරිකානු දේශපාලනය තුළ පවතින තත්ත්වය ආරම්භ වුණේ 2016 දී ද ? නැත්නම් අද පවතින දේශපාලන වාතාවරණය දිගු කාලයක පටන් කැකෑරී පැවති තත්ත්වයක්ද ? 


මං මේ ගැන Identity පොතේදී විස්තර උත්සහ ගත්තා. නවීන අනන්‍යතා දේශපාලනය වමෙන් ආරම්භ වුණු බව මගේ විශ්වාසයයි. බොහෝ සමාජ අරගලයන් දියත් වුණු 1960 පමණ වකවානුවේදී මෙය ආරම්භ වුණා.


LGBT අයිතීන්, අප්‍රිකානු - ඇමරිකානු සිවිල් අයිතීන් වෙනුවෙන් වූ ව්‍යාපාරය, ස්ත්‍රීවාදී ව්‍යාපාරය වැනි සමාජ ව්‍යාපාරයන්හි අතුරු ශාඛාවක් විදියට අනන්‍යතා දේශපාලනය 1960 දී වගේ ආරම්භ වුණා.  සමාජයේ කොන්කිරීමට ලක්වී හිටපු මේ හැම කණ්ඩායමක්ම ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් හා ඔවුන්ටම අනන්‍ය වී තිබූ අත්දැකීම් ගැන පිළිගැනීම ලබාගන්නා අදහසින් අවධානය ඉල්ලා සිටියා. මීට පෙර කම්කරු පංතියට ආරක්ෂාව සැලසූ වාමාංශික න්‍යාය පත්‍රය මාරුවෙන්නටත්  සමස්තයක් විදියට මේ පසුබිම රුකුලක් වුණා


යුරෝපයේදී මීට සම්බන්ධ වී සිටිය බොහෝ දෙනා මාක්ස්වාදීන්, ඇමරිකාවේදී මෙය පදනම් වී තිබුණේ කම්කරු සංගම් මතයි. වාමාංශික පිරිස සුවිශේෂී කණ්ඩායමක් විදියට තමන්ගේ ගැටළු ගැන පවසමින් අනන්‍යතා දේශපාලනයේ නැගී ඒමත් සමග ඒකරාශී වෙන්න ගත්තා.


මාර්ටින් ලූතර් කිං සිවිල් අයිතීන් පිළිබඳ ව්‍යාපාරය ආරම්භ කළාම ඇමරිකාවේ ඉන්න කළු ජාතික ඇමරිකානුවන්ටත් සුදු ජාතිකයින් හා සමාන සැලකුම් හිමිවිය යුතු බව ඔහු තර්ක කළා. ඇමරිකානු හීනයේ කොටසක් බවට පත්වීමේ වුවමනාවක් ඔවුන්ටත් තිබුණා.


මේ අදහස් කාලයත් සමග ක්‍රමයෙන් විකාශනය වෙන්න පටන් ගත්තා. Black Power ව්‍යාපාරය එහි ලා උදාහරණ ලෙස දැක්විය හැකියි. ඒ කළු ජාතික ඇමරිකානුවන් - සුදු ජාතික ඇමරිකානුවන් වගේ වුණේ නැහැ. ඔවුන්ට ඔවුන්ගේම වු සංස්කෘතියක් වගේම වටිනාකම් සමුදායක් තිබ්බා. ඔවුන් වෙනස් බවට වූ අදහස ඇමරිකානු සමාජයේ අනෙක් පිරිස් වලට පිළිගන්න සිද්ධ වුණා.


 



 

කණ්ඩායම් රැසක් මේ විලාසිතාව සමග එකතු වෙන්න ගත්තා වගේම මුලින්ම සමාජ කණ්ඩායමක් විදියට පිළිගැනීම අවශ්‍ය වුණා. ඊට පස්සේ තවත් පිරිසක් කලහ කරමින් කියන්න ගත්තේ‘අපිට අනෙක් හැමෝම වගේ වෙන්න වුවමනාවක් නැහැ. අපි වෙනස් බව පිළිගන්න ඕන.‘. අනන්‍යතා දේශපාලනය ගැටළුකාරී තත්ත්වයකට මුහුණදෙන්න ගත්තේ මෙතැනදීයි.


ඩොනල්ඩ් ට්‍රම්ප්ට කලින් හිටිය පරම්පරාව ඇතුළේ වර්ධනය වුණු කතාව ඔන්න ඕකයි.


ඒ වෙද්දි සංවිධානගතවී හිටිය කණ්ඩායම් තුළ මෙය පූරනය වෙන්න පටන්ගත්තා. ජාතික අනන්‍යතාව ගැන වන පැරණි විශ්වාසයන් වල එල්බ ගෙන ඉන්න යුරෝපය තුළ ජීවත්වෙන සංක්‍රමණයට තදබල ලෙස විරුද්ධ දක්ෂිණාංශිකයින් අතර මේ තත්ත්වය නැගී එන්න ගත්තා.


වර්තමානයේ ඇමරිකාව තුළ දැකගැනීමට හැකි තත්ත්වය ‘ජාතිය‘ යන සංකල්පය පෙරටු කරගනිමින්  සිවිල් අයිතීන් පිළිබඳ ව්‍යාපාරය ඇමරිකාවේදී නැගී ඒමට පෙර පැවති Alt-right සුදු ජාතිකත්වය නැවතත් හිස එසවීමට දරන උත්සහයක් විදියට හඳුනාගත හැකිය. පුද්ගලයින් ඉපදුණු අන්දම අනුව මෙලෙස බෙදා දැක්වීම සමස්තයක් විදියට ගත්තම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් ඇතිකරන සාධකයක් බවට පත්වී තිබෙනවා.


 ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වෙතට මිනිස්සු නැවත සම්බන්ධ කිරීමට හේතුවන ජාතික අනන්‍යතාවක් මෙහිදී අවධානයට ලක්වෙන්නේ නැහැ.


 

‘ගරුත්වය හා පිළිගැනීම බලාපොරොත්තු වීම අලුත් දෙයක් නොවෙයි. මිනිස් ස්වභාවයයි‘


 


මේ සම්බන්ධයෙන් බලද්දි ‘ගරුත්වය‘ අසාමාන්‍ය කාරණයක් බව හඳුනාගන්න හැකියි, අනෙක් අය හා සමාන වූ නියෝජිතයෙකු විදියට සැලකුම් ලැබීමට තියෙන වුවමනාව පිළිබඳ අදහස වගේම අනෙක් අය හා සමාන මට්ටමින්ම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන ඉඩකඩ ගැනත් මෙහිදී අවධානය යොමුවෙනවා. මේක ඇතුළේ හැමෝටම කෑගහන්න පුළුවන් අවකාශයක් හිමිවන නිසා කරදරයක් වගේම අතිභයානක දෙයක්ද සිද්ධ වෙන නමුත්, මෙහිදී සිවිල් සංවාදයක් ඇතිවෙන්නේ නැහැ ?


ගරුත්වය හා පිළිගැනීම බලාපොරොත්තු වීම අලුත් දෙයක් නොවෙන බවත් එය මිනිස් මනසේ පවතින අත්‍යවශ්‍ය අංගයක් බවත් මගේ අදහසයි. ප්ලේටෝ විසින් හඳුන්වා දුන් Thymos නම් ප්‍රපංචය මගේ කෘතියේදී අවධානයට ලක්කළා. (“Thymos” යන යෙදුම  ප්ලේටෝ ගේ Republic කෘතිය හරහා අවධානයට ලක්වූවකි. ආත්මය නිසැගයෙන්ම ‘හේතුව හා කැමැත්ත‘ වශයෙන් බෙදීමට ලක්වීම ගැන ඔහු මෙහි පවසන අතර සොක්‍රටීස් මේ අදහස ප්‍රථමයෙන් භාවිත කරන ලද දාර්ශනිකයා වූවේය). අනෙක් මිනිස්සුන්ගේ පිළිගැනීම හා ඔවුන්ගේ ගෞරවය ලැබීමට දක්වන දැඩි කැමැත්ත Thymos යන්නෙන් අදහස් වෙනවා. මෙමගින් ඉල්ලා හිඳින්නේ මොකක්ද ?


නූතන ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වී තිබෙන්නේ පිළිගැනීමට ඇති ඉල්ලුම මතයි. ටියුනීසියානු පළතුරු වෙළෙන්දෙකු වුණු මොහොමඩ් බුසාසි ගැන සලකා බලමු. බෙන් අලිගේ ආඥාදායක රෙජීම් පාලනය මොහොමඩ්ගේ පළතුරු කරත්තය 2011 දී රාජසන්තක කළා. ඔහුට කොහොමටවත් රජයේ පිළිගැනීම ලබාගන්නට නොහැකි වුණු නිසා ශරීරයට ගැසොලීන් හලාගෙන ගිනි තියාගැනීම අරාබි වසන්තයේ ආරම්භයට බලපෑ ප්‍රබල කාරණයක් වුණා.


 



 

ඒවගේම ජෝර්ජියාව හා යුක්රේනය පුරා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් පැතිරී ගිය පාට විප්ලවයටත් හේතුවුණේ මෙවැනිම කාරණයක්. අධිපතිවාදී රජයන් මිනිස්සුන්ගේ මූලික ගරුත්වය පිලිගත යුතුයි කියන කාරණේ මීට හේතුවුණා.


හැබෑ ලිබරල් ක්‍රමයකට සංක්‍රාන්ති වීමේදී මෑතකාලීනව සිද්ධ වුණු දේවල් මිනිස්සුන්ට ප්‍රමාණවත් නැහැ වගේම ඔවුන් ඒ දේවල් පිළිගත්තේ ප්‍රදානයක් හැටියටයි. මේ තත්ත්වය 1989 දී නැගෙනහිර යුරෝපයේ දී දැකගන්න ලැබුණා. ආඥාදායක රෙජීම් පාලනයක් යටතේ ජීවත්වෙද්දි මිනිහෙක් විදියට මූලික අයිතීන් වුවමනා වෙද්දි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ සංක්‍රාන්ති ක්‍රියාදාමයකට මිනිස්සු එළඹෙනවා වගේම ආඥාදායක පාලනය ගැන දුක්වෙන එකත් නවතා දමනවා.


ඇමරිකානු ජනතාවගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට බලපෑ හේතු ගැන ඔබ මීට බොහෝ කාලයකට පෙර කතාබහ කළා.


‘මාධ්‍යයෙන් අතිශයෝක්තිය මවා පානවා‘


මාධ්‍ය මීට බොහොම එඩිතරව සහය ලබාදෙමින් අඛණ්ඩව බොරුව වපුරන්නේ මේ  නිසාද ?  


මෙහිදී කිව යුතු කාරණා කීපයක්ම තියෙනවා. පහුගිය අවුරුදු 10 හෝ 15 තුළ ගත්තු ප්‍රතිපත්තිමය තීරණ ගැන සලකා බැලුවම ප්‍රභූ පැලැන්තිය වැරදි තීරණ රැසක් ගත්තු බව පැහැදිලිව පේනවා. ඇමරිකාවේ 2008 වසරේදී සිදුවුණු මූල්‍ය අර්බුදය, යුරෝ කලාපයේ 2010 දී ඇතිවුණු අර්බුදය, යුරෝපය පුරා බලපා ඇති සංක්‍රමණික ගැටළුව ආදී මේ හැම ගැටළුවක්ම ඇතිවෙන්න හේතුවුණේ ප්‍රතිපත්තිමය තීරණය වල වැරැද්ද හා ප්‍රභූ පිරිස් සාමාන්‍ය මිනිසුන්ව තලා පෙලා දැමීමයි. වෝල් ස්ට්‍රීට් වගේම බ්‍රේක්සිට් හැර ලන්ඩන් නගරයත් හොඳ මට්ටමක පවතිනවා. බොහෝ ප්‍රතිවිරෝධතා එල්ල වෙන්නේ හැබෑවටම බව තේරුම් නොගන්න තාක් කල් ගැටළුවේ මූලය හොයාගන්න හැකිවෙන්නේ නැහැ. 


ඒවගේම මාධ්‍ය මගිනුත් බොහෝ අතිශයෝක්ති මවාපානවා, අපි තවදුරටත් අතිශය සංකීර්ණ ලෝකයකට පියනගන බව මගේ විශ්වාසයයි. සරණාගතයින් අපරාධ වල නිරත වෙනවා වගේ වරද පටවන කතා ගතානුගතික මාධ්‍ය  තුළ ප්‍රචාරය කිරීමත් මීට හේතුවී තිබෙනවා.


නමුත්, මතුපිටින් දැකගන්නට හැකි මේ කාරණා ඇතුළත සැගවුණු දේවලුත් තියෙනවා. මීට වසර කීපයකට කලින් සරණාගතයින් පිරිසක් කාන්තාවන්ට ලිංගික අතවර කර තිබුණා, ජර්මන් පුවත්පත් මේ සිද්ධිය ඇතිවෙලා දින කීපයක් යත තෙක් වාර්තා කළේ නැහැ. මොකද ඉස්ලාම් පිරිස් සම්බන්ධයෙන් ෆෝබියාවක් මවන්න ඔවුන්ට වුවමනාවක් තිබුණේ නැහැ.


දේශපාලනමය වශයෙන් ගත්තු මෙවැනි තීරණ නිවැරදි කරන්න ගන්න උත්සහයන් තවත් හානි සිදුකරන බව මගේ විශ්වාසය වී තිබෙනවා, ඊට හේතු වෙන්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල අභිලාෂයන් තේරුම්ගත හැකි විලාසයකින් තිබුණත් මෙමගින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නින්දිත තත්ත්වයට පත්කරනවා. හැබෑ ප්‍රශ්නයන් අරගෙන සරණාගතයින් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් මාධ්‍ය වාර්තා කිරීම් කළත් ඒ තුළ බොහෝ ව්‍යාජ හා දූෂිත කතා පවතින බව මගේ විශ්වාසයයි.



 

‘මේ මොහොතේ යුරෝපා සංගමයට තිබෙන බරපතලම ප්‍රශ්නේ ඉතාලියයි‘


යුරෝපා සංගමය වෙන් නොවී පවතීවි යැයි ඔබ විශ්වාස කරනවාද ?


 කාලයත් සමග එය විසඳේවි යැයි මං හිතනවා. 


යුරෝපා සංගමය මේ මොහොතේදී මුහුණදී ඉන්න බරපතලම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඉතාලියයි. මෑතකදී බලයට අලුතින් බලයට පත්වූ ඉතාලියේ ජනප්‍රිය ආණ්ඩුව සිය මැතිවරණ ව්‍යාපාරයේදී යුරෝපා සංගමය සම්බන්ධයෙන් පළකල අදහස් එලෙසින්ම ඉෂ්ඨ කළොත් ඒක ග්‍රීසිය තර්ජනය කළාටත් වැඩියෙන් යුරෝපා සංගමයට තර්ජනයක් වේවි.


මේ මෙහොතේදී ජනප්‍රිය ආණ්ඩුවක් පැවතීම ගැන මා පුදුමයට පත්වන්නේ නැහැ, මොකද යුරෝපා කලාපයට පැමිණෙන්න හැකි ජනප්‍රියම මග වෙන බෝල්කන් පෙදෙස වසාදාපු නිසා සංක්‍රමණිකයින් මැදපෙරදිග හා අප්‍රිකානු කලාපයෙන් පැමිණෙන සරණාගතයින් බොහෝ දෙනෙකු ග්‍රීසිය හා ඉතාලිය දෙසට ඇදී යන අතර ඔවුන්ගේ නගර පිරී ඉතිරී යන විටත් කිසිදු කරකියාගත නොහැකි තත්ත්වයකට පත්වී තිබෙනවා. මෙවැනි ගැටළු වලට උදව් කරන්න කිසිම යාන්ත්‍රණයක් සකස් වී නැහැ වගේම ජනප්‍රියත්වයට යටින් දිවෙන හේතු ගැන කිසිවෙකු හොයා බලන්නෙත් නැහැ.


යුරෝපා සංගමයට අත්වී තිබෙන මේ ඉරණම රුසියාවට බලපාන්නේ කොහොමද ? රුසියාව මෙයින් කෙටිකාලීනව වාසි ලබන බව පේනවා වුණත් දිගුකාලීනව ඔවුන්ට අත්වන වාසිය මොකක්ද ?  ඒ වෙනුවෙන් ඔවුන්ට තිබෙන මූලෝපායික සැලසුම් මොනවාද ? ජාතික රාජ්‍යයක් විදියට ඔවුන්ගේ අනන්‍යතාව ගැන ඔබ පහදන්නේ කොහොමද ? 


අද පවතින රුසියාව පැරණ සෝවියට් සංගමයට වඩා වෙනස් වී තිබීම තරමක් සිත්ගන්නා සුළු කාරණයක්. පැරණි සෝවියට් ජනරජය ගත්තොත් ඔවුන්ට නිශ්චිත මතවාදයක් තිබ්බා වගේම ලෝකයේ සෙසු රටවල් සමග ද ඒ න්‍යායන් බෙදාගැනීමේ වුවමනාවක් ඔවුන්ට තිබුණා.


කෙසේවුවත්, පුටින් ජාතිකවාදී මතවාදයක් පෙරටු කරගෙන බලයට පැමිණීමත් සමග ජාතිකවාදී අදහසක් පෙරටු කරගත්තා වුණත් බරපතල විදියේ messianism දැක්මක් නැහැ.


ලතින් ඇමරිකාව, උප සහරානු අප්‍රිකානු කලාපය හෝ ඉන් ඔබ්බට ගිය කලාප රුසියානුකරණයට ලක්කරන්න ඔහු උත්සහ ගන්නා බව මං හිතන්නේ නැහැ. ඔහු තරමක ගතානුගතික අන්දමේ ජාතිකවාදී මතවාදයක පැටලී ඉන්න බව මගේ විශ්වාසයයි. රුසියාව ගතානුගතික සමාජ වටිනාකම් වලට සහය දක්වන රටක් බව අප දන්නවා, එවැනි පරිසරයක් ඇතුළේ සමරිසි විවාහ වගේ දේවල් සිද්ධවෙන්න කොහොමටවත් ඉඩක් නැහැ. ඒ විතරක් නොවේ පසුගිය වසර කීපය පුරාවටම ඇමරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂය පුටින්ව බොහොම උණුසුම් අන්දමින් පිළිගත්තේ යුරෝපයේ ඉන්න බොහෝ ගතානුගතිකවාදීන් රුසියාවට  ආකර්ෂණය වී ඉන්න නිසයි.


නමුත්, පුටින් හෝ ඔහුගේ වටේ ඉන්න පිරිස මේ ගැන ගැඹුරින් විශ්වාස කරන බව  මං හිතන්නේ නැහැ. සෝවියට් සංගමයේ පාලන සමයේදී  සිදුකරන්න කැපවී හිටිය දේවල් වලට වඩා ඔහුගේ මතවාදය ඔවුන්ට ප්‍රයෝජනවත් බව මගේ විශ්වාසයයි.


ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ අනෙක් හැමකෙනාවම දුර්වල කරලා බටහිර බලසම්පන්න නැති බව පෙන්වීමයි. ඔවුන්ට බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව දුර්වල කරන්න වුවමනා නිසා මේ හැම ප්‍රශ්නයක්ම හැම පැත්තෙන්ම අවුස්සනවා.


ඔවුන් මානව අයිතීන් කඩකරන අවස්ථා වලදී බටහිර ඉන්න දේශපාලඥයින් ඔවුන් වෙත තර්ජනාත්මක ස්වරයෙන් ඒ ගැන කියන නිසා ඊට වෛර කරනවා. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය ත්‍රස්තවාදීන් බවට පෙන්විය හැකි හැමදේම කරන්න උත්සහ ගන්නවා. මේ උත්සහය ඇතුළේ ඔවුන් තරමක් දුරට සාර්ථක බවක් අත්පත් කරගෙන තිබෙනවා.


ප්‍රභූ පැලැන්තිය තමන්ගේ වෑයම සාර්ථක කරගන්න දරන උත්සහය ගැන ඔබ කළ සඳහන ගැන ආයෙත් කතා කළොත්,  ලිබරල් ලෝකය යන පිළිවෙල ප්‍රභුන් හැසිරෙන අන්දමත් සමග සමාන කළොත් ඒක නිවැරදිද ? ඒවගේම මේ සමස්තය ගැනම නැවත සිතාබලන්න සිද්ධවෙනවා නේද ? 


හ්ම්, ඇත්තටම ඒක රැඳිලා තියෙන්නේ ඔබ නැවත වතාවක් හිතන්නේ මොකක්ද කියන එක මතයි. 1990 හා 2000 මුල් කාලයේදී අධි යථාර්තවාදී කාලසීමාවක් පසුකරපු අතර මේ සමයේදී පැවති වෙළඳාම හා ආයෝජන බාධක ඉවත දමන්න උත්සහයක් ගත්තා.


මේ ගැන මං නිසි පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. චීනයට ලෝක වෙළඳ සංවිධානයට ඇතුළු වෙන්න අවස්ථාව ලබාදුන්නොත් චීන ආර්ථිකය ලිබරල් වෙලා එරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරන්න මේ තීරණය සහයක් වේවි කියන විශ්වාසය  2000 මුල් භාගයේදී පැවතුණා, මෙහි ප්‍රතිඵලයක් විදියට චීනය හා ලෝකයේ අනෙක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් හමුවේ යැයි කියන විශ්වාසය තිබුණා.
කිසිම කෙනෙක් අද මේ දේ විශ්වාස කරන්නේ නැහැ. චීනය ලෝක වෙළඳ සංවිධානයට (WTO) ඇතුළත් වුණාට පස්සේ ඇමරිකානුවන්ගේ රැකියා මිලියන 2 – 3 ක් අතර ප්‍රමාණයක් අහිමි වුණු බවට වූ පිළිගැනීමක් තිබුණා. මිනිස්සු මේ වගේ ප්‍රතිපත්තීන් තවදුරටත් භාරගනීවි යැයි මා හිතන්නේ නැහැ.


ගෝලීයකරණය තරමක් සෙමින් සිදුවිය යුතු බවට වූ පිළිගැනීමක් තිබෙනවා, සමාජය හෝ පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජාතිකමය වශයෙන් බාධා පවතින රටවල් සෙමින් ගෝලීයකරණයට හසුවීම හොඳයි.


 


‘ප්‍රභූ පංතියට වැඩි අවධානයක් යොමුකළ යුතුයි‘


ඉතිං එහෙනම් ප්‍රභූ සමාජ පද්ධතියට වඩා ප්‍රභූ ප්‍රතිපත්ති ගැන හිතන්න වුවමනා වී තිබෙනවා නේද  ?


ඔව්, ඇත්තටම ප්‍රභූ පංතිය ගැන අවධානය යොමුකළ යුතුමයි. සමාජයේ ජීවත්වෙන ඉතාම සුළු පිරිසක් සතුව බලය හා සම්පත් සංකේන්ද්‍රණය වී තිබෙන නිසා මෙමගින් අපේ දේශපාලන පද්ධතිය විකෘති කරන නිසා මේ මූලධර්ම ගැන නැවතත් හිතාබැලිය යුතු වෙනවා. Amazon, Google, Facebook වැනි මේ තාක්ෂණික දේවල් අති දැවැන්ත දේවල් බව මං සිලිකන් නිම්නයේ ජීවත්වෙන සමයේදී හිතුණා.


පසුගිය දශකය තුළ තාක්ෂණයේ සිදුවුණු වෙනස්කම් සමගින් කාලයට අනුරූප වෙන විදියට සංගති විරෝධී නීති ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය දැඩිව හඳුනාගෙන තිබෙනවා. මේක අනිවාර්යයෙන්ම සිදුකළ යුතු කාර්යයක්.


 

 

 

අනුවර්තනය - වින්ධ්‍යා ගම්ලත් 

ඡායාරූප හා වීඩියෝ - අන්තර්ජාලයෙනි 

 

 



 

 

බැඳි පුවත් 

නවීන දේශපාලනය ගැන අනාවැකි කියන්න බැහැ - ෆැන්සිස් ෆුකුයමා 


 

0 comments: