Hot!

‘නවීන දේශපාලනය ගැන අනාවැකි කියන්න බැහැ‘ - ෆ්‍රැන්සිස් ෆුකුයමා

End of History and the Last Man (1992) කෘතිය හරහා ජනාදරයට පත් ෆ්‍රැන්සිස් ෆුකුයමා දේශපාලන විද්‍යාඥයෙකු මෙන්ම කකතුවරයෙකු ද වේ. ලෝකය පුරා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පැතිර යාම හා ධනවාදයේ පැතිර යාමත් සමග මානව හිතවාදී සමාජ සංස්කෘතික පරිණාමයේ අවසානය ගැන මෙහි කරුණු දක්වයි. සංස්කෘතිය සම්පූර්ණයෙන්ම ආර්ථිකයෙන් වියුක්ත කළ නොහැකි බවට වු අදහස ඉන්වසර කීපයකට පසු ඔහු රචනා කළ Trust: Social Virtues and Creation of Prosperity (1995) කෘතියෙන් යාවත්කාලීන කළේය. ෆුකුයමා රචනා කළ නවතම කෘතිය වන Identity: The Demand for Dignity and the Politics of Resentment පසුගියදා ජනගත කෙරුණු අතර මෙමගින් අන්තවාදී බව නැවත පැමිණීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වයි.


මෙහි පළවන්නේ  ෆ්‍රැන්සිස් ෆුකුයමා ‘ද ගාර්ඩියන්‘ හි ටිම් ඇඩම්ස් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාව ඇසුරින් සම්පාදනය කළ ලිපියේ සිංහල අනුවර්තනයයි.



Thymos” - දේශපාලන ව්‍යාපාර ගැන තේරුම් ගන්න


ෆුකුයාමා සිය Identity කෘතිය හරහා “thymos” යන ග්‍රීක යෙදුම ඉදිරිපත් කරන අතර අධෛර්යයට පත්ව සිටින දේශපාලන ව්‍යාපාර ගැන තේරුම් ගැනීමට ඔහු මෙම යෙදුම යොදාගනියි.  “Thymos” යන යෙදුම  ප්ලේටෝ ගේ Republic කෘතිය හරහා අවධානයට ලක්වූවකි. ආත්මය නිසැගයෙන්ම ‘හේතුව හා කැමැත්ත‘ වශයෙන් බෙදීමට ලක්වීම ගැන ඔහු මෙහි පවසන අතර සොක්‍රටීස් මේ අදහස ප්‍රථමයෙන් භාවිත කරන ලද දාර්ශනිකයා වූවේය.


“thymos” යන්නෙන් විස්තර කෙරෙන මූලික කාරණා දෙකින් පළමු කරුණ වන ‘හේතුව‘ යන්න තුළ අප මනුෂ්‍යයන් බවට පත්වන අතර දෙවැනි කරුණ වන ‘කැමැත්ත‘ යන්න තුළ අපව සත්වයින් බවට පත්කරන බව ෆුකුයමාගේ අදහසයි. “Thymos” යනු මේ දෙකට අතරමැදි තත්ත්වයකි.


The Republic කෘතියේ බොහෝ පරිවර්තන තුළ දක්වා තිබෙන්නේ මෙය ප්ලේටෝ තුළ පැවති ‘මහත් ලැදි බවක්‘ යන්න වුවත් ෆුකුයමා මේ අදහස භාවිත කරන්නේ ‘වටිනාකම විනිශ්චය කිරීම‘ යන අර්ථයෙනි.


සෙසු දේශපාලන න්‍යායචාරීන් “Thymos” යන්න පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කොට නැත. සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයින් ලෝකය විස්තර කරන්නේ තනි පුද්ගලයින් හෝ ආයතනය සිය මූල්‍ය ලාභ උපරිම කරගැනීමට දක්වන ස්වයං කැමැත්ත ලෙසිනි, චර්යාවාදීන් පවසන්නේ වේගයෙන් හා සෙමින් සිතීම යන්නයි. සමහරවිට, මේ අතරින් වඩාත් බලසම්පන්න වන්නේ ෆුකුයාමා පවසන අන්දමින් ගෞරවය ලැබීමට ඇති ආශාව විය හැකි බව මේ ගැන තර්ක කරන්නන්ගේ අදහස වී ඇත.



හැමදෙනාම සමාන සැලකුම් ලබන්න කැමති ඇයි ? - “isothymia”


මේ ගැන වැඩිදුරටත් පැහැදිලි කරන ෆුකුයමා පෙන්වා දෙන්නේ, ‘‘Thymos යන්නෙන් අදහස් වෙන්නේ ආත්මය තුළ ගැබ්වී තිබෙන පිළිගැනීම හෝ ගෞරවය ප්‍රාර්ථනා කරන කොටසයි.‘‘ යන්නයි.  මෙය සමබරව පැවති විට එය “isothymia” යනුවෙන් හඳුන්වයි. අනෙක් හැම මිනිසෙකුම මෙන් සමාන සැලකුම් ලබාගැනීමට ඇති අපේක්ෂාව “isothymia” වේ. ස්ත්‍රීවාදයේ සිට සිවිල් අයිතීන් ව්‍යාපාරය මෙන්ම සමලිංගික පිරිස් වල නිදහස ඉල්ලන සියලුදෙනා දක්වාම සිට ජාතික ගීය ලෙස අරිතා ෆ්‍රෑන්ක්ලින්ගේ “R.E.S.P.E.C.T.” ගීතය අහන්නට කැමති ඒ නිසයි.


මේ අපේක්ෂාව පාලනයෙන් ගිලිහී ගිය විට එය “megalothymia” නම් වන අතර ඉන් අදහස් වන්නේ අනෙකාට වඩා තමන් උසස් කොට හඳුනාගැනීමයි. Megalothymic පුද්ගලයෙකු හෝ සමූහයක් ලිබරල්වාදය තුළ පවතින සරළ සමාන සැලකුම් ලැබීම හා එකිනෙකා සමබර කරන බලකායන් වලින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. ‘දැවැන්ත අභියෝග වලට මුහුණදීම, දැවැන්ත අරගලයන්ට සක්‍රීයව සම්බන්ධවීම, දැවැන්ත බලපෑම් ගැන බලාපොරොත්තු වීම ආදිය මේ පිරිසගේ අභිලාෂයන් වෙනවා. ඊට හේතුවන්නේ මෙවැනි කටයුතු වලදී  අනෙකාට වඩා තමන්ට දැවැන්ත පිළිගැනීමක් හිමිවීමයි.‘‘ ෆුකුයමා පෙන්වා දෙන මේ සංකල්පය අපට සමීප නොවේද ?.


මමත්වය, අනන්‍යතාව යන වචන වෙනුවට වත්මන් දේශපාලනික පරිසරය තුළ අතාර්කික බලකායන් ගැන පැහැදිලි කිරීමේදී  Thymos යන්න ඵලදායී ලෙස යොදාගන්නේ ඇයි දැයි ෆුකුයමාගේ කෘතියේ සෘජුව පැහැදිලි නොකළද මෑතකාලීනව දියත් වූ ක්‍රියාදාමයන් ගැන පවසන්නට ඔහු එය උත්ප්‍රේරකයක් ලෙස යොදාගනී. ව්ලැදිමීර් පුටින්ගේ ව්‍යාජ උපක්‍රම හා #MeToo වැනි ව්‍යාපාරය එහිලා උදාහරණ ලෙස දක්වයි. බහු සංස්කෘතිකවාදය හා ජාත්‍යන්තර වශයෙන් පවතින හොඳ හිත සම්බන්ධයෙන් ගත්කල ඩොනල්ඩ් ට්‍රම්ප් හා බ්‍රෙක්සිට් “isothymic” බලවේග වලට උදාහරණ ලෙස දැක්විය හැකිවේ.


The End of History and the Last Man කෘතිය අන්තවාදී අදහස් රැසක් මැද ලිබරල්වාදයේ ජයග්‍රහණය පැහැදිලි කරන කෘතියක් බව ෆුකුයමාගේ විශ්වාසය වී ඇත. සෝවියට් රුසියාවේ බිඳවැටීම හා දෙවන ලෝක යුද්ධයේ පරාජයත් සමග ෆැසිස්ට්වාදී අදහස පරාජයට පත්කරන ලද්දක් බව පිළිගනී. මේ වනවිට ඉතිරිවී තිබෙන්නේ ප්‍රායෝගික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පමණක් බව ඔහුගේ අදහසයි.


මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසූ විට ෆුකුයමා පැවසුවේ,  වත්මනේ කිසිවක් අලුතින් සිදුනොවූවද megalothymia ක්‍රියාවට නැංවෙන බවට වු උදාහරණ ගණනාවක් මේ දශකය තුළ දැකගැනීමට හැකි බවයි. එහිලා උදාහරණ ලෙස ඔහු දක්වන්නේ,


‘බ්‍රෙක්සිට් - බ්‍රිතාන්‍යය ආර්ථිකයට දැඩි බලපෑමක් ඇතිකරන සාධකයක් බවට පත්වේවි. ඒ නිසා බ්‍රෙක්සිට් වලට උදව් කිරීම අනුවණ කටයුත්තක් වේවි. යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට බොහෝ දෙනෙකු  සිය ඡන්දය පළකිරීමෙන් පමණක් මෙය ඔප්පු වුණේ නැහැ, ඒ වගේම බ්‍රිතාන්‍යයේ සමෘද්ධිමත් බව නැවත හිමිකරගන්න ඔවුන් කැමතියි. මෙය සංස්කෘතික ගැටළුවක් වන නිසාම ඔවුන් නැවත වටිනාකමක් ගෙවන්න කැමතියි. සංක්‍රමණය දැඩි ලෙස පාලනය කිරීම වගේ දෙයක් මෙහිලා නිදසුන් ලෙස දැක්විය හැකියි. බොහෝ විදග්ධයින් මෙහිදී වරදාගත්තු කාරණේ වුණේ දේශපාලනයේදී ආර්ථිකමය සහේතුක බව ජාතික අනන්‍යතාව වැනි හැඟීම් වලින් වියුක්ත කර දියත් කළ හැකි බවයි.



‘මිනිසුන් බොහෝ ගාණක් පිටුපසින් තබා ගෝලීයකරණය ඉදිරියට පැමිණෙනවා.  ස්වයංක්‍රීයකරණය දැවැන්ත වශයෙන් ක්‍රියාත්මක වෙනවා, දැඩි විෂමභාවයක් දියත්වෙනවා. නමුත්, මිනිස්සු ඡන්දේ දීලා තියෙන රටාව බැලුවොත් ඇමරිකාවේ ඉන්න බොහෝ දෙනෙකු ට්‍රම්ප් සමගත් එක්සත් රාජධානියේ ඉන්න බොහෝ දෙනෙකු බ්‍රෙක්සිට් සමගත් ඉන්න බව හඳුනාගන්නට හැකියි. ට්‍රම්ප් වගේම බ්‍රෙක්සිට් වලිනුත් බැට නොකෑ මිනිස්සු මේ කිසිම කෙනෙකු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරලා නැහැ. පසුගිය දශකයේදී විදේශයන්හි ඉපදුණු අයගෙන් දැන් බ්‍රිතාන්‍යය වාස භූමිය කරගෙන ඉන්න සංඛ්‍යාව ගැන බැලුවොත් මේ පිරිසේ වර්ධනය අතිවිශාලයි. මෙවැනි විපාකයක් නැතිව සමාජ වෙනසක් වුණානම් අනිවාර්යයෙන්ම මා පුදුමයට පත්වෙන්න තිබ්බා.‘‘


“අනන්‍යතා දේශපාලනය තුළ වාමාංශික හා දක්ෂිණාංශික යනුවෙන් දෙපැත්තක් දැකගන්නට හැකියි. තමන් ප්‍රධාන ධාරාවේ සංස්කෘතියෙන් වෙනස් බවත් තම පිරිසට විවිධාකාරයෙන් ගෞරවය අවශ්‍ය බවත් කියන මේ වාමාංශික පිරිස දිගු කලක සිට විවිධ සමාජ ව්‍යාපාරයන්හි නිරත වී සිටිනවා. අපි ගැන මොකද කියන්නේ ?,  අපිටත් විශේෂ සැලකිලි ඕන‘ කියලා දක්ෂිණාංශික පාර්ශ්වයෙන් මේකට ප්‍රතිචාර එල්ල වෙනවා. පුරවැසිබව ගැන පහත් බවක් මතුකරන මේ අවස්ථාව තරමක් ප්‍රශ්න සහගතයි. දැන් දෙපැත්තෙන්ම අන්තවාදය මතුවෙන්න ගන්නවා. වාමාංශික දේශපාලනය ජනප්‍රිය වෙන්න සෘජුවම බලපාන්නේ මූල්‍ය බිඳවැටීම් බව මගේ අදහසයි.


මේ දැවැන්ත බිඳවැටීම නිර්මාණය කළේ වෝර්ල් ස්ට්‍රීට් හි ඉන්න ධනපති පිරිසයි. මෙහි ප්‍රතිඵලයක් විදියට Tea Party හා දක්ෂිණාංශික ක්‍රියාකාරීත්වය ප්‍රබලව ඇතිවෙන්න ගත්තා. 1930 ගණන් වල ඉඳන්ම මෙවැනි අනන්‍යතා සාධකයන් පරිණාමය වී තිබෙන බව කෘතිය තුළ වෙනම කොටසක් ලෙස විස්තර කර තිබෙනවා. දැවැන්ත මට්ටමින් සිද්ධවෙන පංති අරගලයන්ට වඩා කුඩාවට සිද්ධවෙන විෂමතාවන් ගැන මිනිස්සු වැඩිපුර හිතනවා.‘‘


 

ඇමරිකානු ජනතාව අතර ඉන්න තුන්වැනි පාර්ශ්වය ට්‍රම්ප්ව අනුමත කරනවා


ෆුකුයමා - ට්‍රම්ප්ව දකිනේ කෙලෙසින්දැයි යන්න පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ,


“ට්‍රම්ප් උග්‍ර ජාතිවාදියෙකු විදියට හැසිරෙද්දී, ආර්ථිකය විනාශ කරද්දී පවා ඔහුට දැවැන්ත සහයෝගයක් හිමිවෙන අයුරු දැකගන්නට හැකියි. ඇමරිකාවේ ජනගහණය තුළ ඉන්න තුන්වැනි පාර්ශ්වයක් හැමවිටම ට්‍රම්ප් කරන කියන දේවල් අනුමත කරන්න බලාගෙන ඉන්නවා. ඒවගේම 10 % හෝ 15 % ක් වැනි ප්‍රමාණයක් ට්‍රම්ප් කරන මේ විකාර දිහා සන්සුන්ව බලාගෙන ඉන්නේ බදු කපාදැමූ නිසයි.



ඩිමොක්‍රටික් පක්ෂය තවදුරටත් වාමාංශික කරන්න අනෙක් උත්සහයන් හේතුවුණා වගේම මධ්‍යගත වී තිබුණු බලය අහිමි වෙලා ගියා. ට්‍රම්ප් මෙවැනි ජාතිවාදී තේමාවන් තෝරාගත්තේ වාමාංශික පැත්තේ ඉන්න පිරිස උමතුකරවලා ඔවුන් දක්වන ප්‍රතිචාර හරහා අන්තවාදී අදහස් පතුරවන්න ඉඩ දෙන්නයි. මිනිස්සු බෙදීමට ලක්කරන්න අවස්ථාවක් ලබාගෙන ප්‍රජාතාන්ත්‍රීය පිරිස තුළ තරඟකරුවන් හැටියට අඩු සහයෝගීතාවක් ඇතිකරන්නයි.‘‘


වත්මන් දේශපාලන තත්ත්වය ගැන පවසන ෆුකුයමා දක්වන්නේ ‘‘නවීන දේශපාලනය තුළ ඊළඟට සිද්ධවෙන්නේ කුමක්දැයි අනාවැකි පැවසීම අතිශය අපහසු‘‘ බවයි.


සාම්ප්‍රදායික මාධ්‍ය සමාජ මාධ්‍යට වඩා ප්‍රයෝජනවත්


වත්මන් ලෝකය හා අන්තර්ජාල මාධ්‍ය ගැන ෆුකුයමාගෙන් විමසු විට ඔහු අදහස් දැක්වූවේ මෙලෙසිනි.


‘‘අද ලෝකය තුල අන්තර්ජාලය අපේ ජීවිත වලට දැඩි බලපෑමක් ඇතිකරන්නට සමත්වී තිබෙනවා. මේ ගැන පැහැදිලි කරන ෆුකුයමා පවසන්නේ, ‘අන්තර්ජාලය එක්තරා අන්දමකින් ප්‍රජාතන්ත්‍රවාදයට ළඟාවීමට ඉඩ සලසන මෙවලමක් ලෙස ක්‍රියා කරමින් තොරතුරු ලබාදෙන අතර මිනිසුන්ව සවිබල ගන්වනවා. නමුත් මගේ අදහස වෙන්නේ සංස්කාරකවරුන්, දොරටුපාලකයින් වැනි පිරිස් හිටිය පැරණි සාම්ප්‍රදායික මාධ්‍ය අතිශය ප්‍රයෝජනවත් බවයි. මොකද, පළවන කරුණු නිවැරදි ද නැද්ද යන්න එවැනි පිරිස් හොයාබැලූ නිසා වැරදි තොරතුරු සමාජගත වෙන්න තියෙන අවකාශය අඩුවෙන අතර ගුණාත්මක තොරතුරු සමාජගත වෙනවා. මේ යුගය දැන් අවසන් වී හමාරයි. ‘අන්තර්ජාලය තුළ අප දකින ඕනම දෙයක් අන්තර්ජාලයේ පෙනෙන වෙනත් ඕනම දෙයක් තරම් හොඳයි‘


ෆුකුයාමාගේ පවුල් පසුබිම හා ඇමරිකාව


ෆුකුයමා ඇමරිකාවට සංක්‍රමණය වූ පරම්පරාවක තුන්වැනි පුරුකයි. ඔහුගේ පියා පල්ලියේ සභාවේ සේවය කළ අතර ඔහු චිකාගෝ සරසවියේ සමාජවිද්‍යාව සම්බන්ධ ආචාර්ය උපාධිධාරියෙකි. ෆුකයාමාගේ මව කියෝතෝ උපන් තැනැත්තියක වූ අතර කියෝතෝ සරසවියේ ආර්ථික විද්‍යා අංශය ආරම්භ වූයේ ඇගේ පියා විසිනි.


ෆුකුයමා ජපන් සම්භවයකින් යුතු ඇමරිකානුවෙකු දැයි විමසූ විට පැවසුවේ, ‘මට කවදාවත් මං ගැන එහෙම හිතිලා නැහැ. මං කවදාවත් ජපන් සමාජයේ හැදී වැඩුණු කෙනෙකු නොවෙයි‘ යන්නයි.



ජපන් බස නොදන්න ෆුකුයමා


කිසිදිනක ජපන් බස කතාකිරීමට ඉගෙන නොගත් ඔහු එය කෙදිනක වත් තමන්ට අවශ්‍ය වනු ඇතැයි නොසිතුවේය.‘‘කිසිකෙනෙකුට තමන්ගේ වාර්ගික අනන්‍යතාව නිසා කිසිදු බාධාවකට මුහුණනොදී ඉදිරියට යන්න හැකි නිසා ඇමරිකාව අති ශ්‍රේෂ්ඨ රටක් බව මං හිතුවා. 


මගේ තාත්තා ජපන් බස කතා කළත් ඔහුට එය හොඳින් හැසිරවීමේ හැකියාවක් තිබුණේ නැහැ. 1930 -1940 අතර සමයේදී ලොස් ඇන්ජලීස් වල අධ්‍යාපනය හදාරපු කෙනෙක්. මගේ අම්මා ඉපදුණේ ජපානයේ වුණත් ඇය යුද්ධෙන් පස්සේ ඇමරිකාවට සංක්‍රමණය වුණු කෙනෙක්. ඇය ඉංග්‍රීසි කතා කළේ වෙනස් හුරුවකට. නමුත්, මගේ තාත්තා අතිදක්ෂ විදියට ඉංග්‍රීසි හැසිරවූවා. ඇමරිකානුවන් ජාතිවාදීන් බවට වුණු හැඟීමක් වගේම ඔවුන් අහංකාර පිරිසක්ය යන හැඟීම මගේ අම්මා තුළ පැවතියා. නමුත්, මගේ තාත්තා කිව්වේ තමන්ට ජපන් සම්භවයක් තිබුණු නිසා කොන්කිරීම අත්විඳින්නට වූ අවස්ථා ජීවිතයේ කවදාවත් තිබුණේ නැහැ කියලා. ‘ඇමරිකානුවෙකු වගේ ඉංග්‍රීසි කතාකරන්න පුළුවන් නම් ඔබට පිළිගැනීමක් හිමිවේවි‘ කියන දේ මේ කතාබහ සමගින් මගේ හිතේ දැඩිව බලපෑවා. මගේ අම්මට කරන්න නොහැකි වුණෙත් එයයි. සුදු ජාතිකයින්ට වඩා ආසියානු ඇමරිකානු සම්භවයක් තියෙන අය බොහොම දක්ෂ බව හඳුනාගන්නට හැකියි.‘‘ යන්නයි.


 

අනුවර්තනය - වින්ධ්‍යා ගම්ලත් 

0 comments: