Hot!

මං නිර්දය ප්‍රහසනයන්ට කැමතියි - සල්මන් රුෂ්ඩි

ඉන්දියාවේ ඉපිද පසුකලෙක බ්‍රිතාන්‍යයට යන සල්මන් රුෂ්ඩි අතිශය සාර්ථක වෙන්නේ ඔහුගේ දෙවැනි නවකතාව වූ Midnight's Children (1981) කෘතියෙනි. මේ වෙනුවෙන් බුකර් සම්මානය දිනාගන්නා ඔහු සාහිත්‍ය ලොව විශිෂ්ටයෙකු බවට පත්වෙනවා. The Satanic Verses (1988) කෘතිය රචනා කිරීමේ වරදට ඉරාන රජය විසින් රුෂ්ඩිට මරණ දඬුවම නියම කර තිබුණු අවස්ථාවක සිය ජීවිත රැකවරණය පවා බටහිරට පලා යන ඔහු ඉන්පසු බ්‍රිතාන්‍යයේ දිවිගෙවන්නට පටන්ගන්නවා. 2007 වසරේදී නයිට් ධූරයකින් පිදුම් ලැබූ මේ ලේඛකයා මේ වනවිට පසුකරමින් සිටින්නේ සිය දිවියේ 71 වන කඩඉමයි. The Guardian විසින් රුෂ්ඩි සමග සිදුකළ මේ සම්මුඛ සාකච්ඡාවට පදනම් වී තිබෙන්නේ පසුගිය වසරේදී ඔහු රචනා කළ The Golden House (2017) කෘතිය හා ලේඛන දිවියයි.


 


The Golden House කෘතියේදී මෑතකාලීනව කතාබහට ලක්වුණු සුවිශේෂී සිද්ධි වන ඇමරිකානු ජනපතිවරණය, ඉන් පසුව ඇතිවූ දේශපාලනික තත්ත්වය හා ලිංගික අනන්‍යතාව ගැන තිබෙන විවාදය වගේ කරුණු ගැන අවධානය යොමුවෙනවා. ප්‍රබන්ධ රචනයෙහිලා නව ප්‍රවේශයක් මේ කෘතියේදී දැකගන්නට හැකිවෙනවාද ?


ඔව්, එක් අතකින් ගත්තොත්, ද්‍රෘෂ්ටිකෝණයක් හා පරතරයක් තිබෙනවා නම් ඒ දිහා බලා හිඳීම හොඳ බව කියැවෙනවා. හිතාමතාම මීට පරස්පර අදහසක් ඉදිරිපත් වෙන කෘතියක් ලියන්න මට වුවමනා වුණා. එක්තරා අන්දමකට මේක අවදානමක්. අපි අතින් වැරැද්දක් වුණොත් ඒක හරියට ඊයේ දවසේ නිකුත් වුණු පත්තරයක් වගේ කිසිසේත්ම නොගැළපෙන දෙයක් වීමේ ඉඩ වැඩියි. නමුත්, හොඳ දෙයක් කළොත් අනාගතයටත් අදාළ වෙන යථාර්තවාදී මොහොතක් හසුකරගන්නට හැකිවේවි. කාලයත් සමගින් නිරන්තර වෙනස්වීම් වලට හසුවෙන යථාර්තයට නවකතාවක ඉඩලබාදීම අතිශය අසීරු කටයුත්තක් වුණත් විශ්වාස කරන්න බැරි තරමේ  විතැන් වීම් එක්ක මං පොරබැදුවා.



The Golden House කෘතිය ඇරඹෙන්නේ ඔබාමා ජනාධිපති විදියට දිවුරුම්දීමත් සමගයි. මෙය අවසන් වෙන්නේ ‘කවටයා‘ තරඟ වදින මැතිවරණයෙනුයි. මේ ‘කවටයා‘ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපහාසාත්මක ප්‍රතිමූර්තිය වගේ පේනවා. ඔබ මේ නවකතාව රචනා කරන්න පටන්ගත්තේ ට්‍රම්ප් ඇමරිකන් ජනපති විදියට තේරීපත්වුණු දින උදෑසන ඉඳන්ද ?


නැහැ, නැහැ. කොහෙත්ම නැහැ. ට්‍රම්ප් ජනපති වෙද්දිත් මං මේ කෘතිය හමාර කරලා තිබුණා. මේකට අළුතෙන් දේවල් එක්කිරීම පමණයි ඒ වෙද්දි ඉතුරු වෙලා තිබුණේ. නමුත්, ට්‍රම්ප් ගැන තියෙන කොටස ද්විතික කාරණයක්. ඔබාමාගේ ඉඳන් ට්‍රම්ප් දක්වා ගතවුණු දශකයක කාලපරිච්ඡේදයේදී සිද්ධ වුණු දේවල් හසුකරගන්න මට වුවමනා වුණා. ජනපතිවරණයෙන් විරුද්ධ පක්ෂය  ජයගනීවි යැයි බලාපොරොත්තුවක් මගේ හිතේ තිබුණත් අවසානයේදී කෘතිය නිමාවෙන්නේ ඇත්තටම සිද්ධ වුණු දේවල් දිහාවට වීම මෙහි ගැබ්වුණු අපූර්වත්වයයි. සමහර වෙලාවට කලාකරුවාට වඩා ප්‍රබන්ධ බුද්ධිමත් විය හැකියි.



The Golden House අතිශය දේශපාලනික කෘතියක් වුණත් මෙහි හාස්‍යයත් ගැබ්වී තිබෙනවා. මෙවැනි උපක්‍රමයක් අනුගමනය කළේ පාඨකයින්ව හිනාගස්වන්නද ?


මං නිර්දය ප්‍රහසනයට කැමතියි. විශේෂයෙන්ම, අඳුරු කාල පරිච්ඡේද වලදී මෙවැනි නිර්දය ප්‍රහසනයන් ඉදිරිපත් කරන්න කැමතියි. හාස්‍යය නිර්දය වෙන්න, නිර්දය වෙන්න එය තවදුරටත් සත්‍යයක් බවට පත්වෙනවා. හාස්‍යය කියන්නේ බොහොම සියුම් මෙවලමක් වන අතර බොහෝ විට එය අසීරු කාල පරිච්ඡේද වලදී පාවිච්චි වෙනවා, ඒ නිසා මේ වගේ කාලයකදී වැඩි වැඩියෙන් හාස්‍යය පැවතිය යුතුයි. සෝවියට් රුසියාවේ පැවති සාහිත්‍යය සෝවියට් රුසියාව බිඳවැටුණාට පස්සේ පැවතුණු සාහිත්‍යයට වඩා සියුම් හා අතිවිශිෂ්ට වෙන්නේ ඔවුන්ට නිශ්චිත අරමුණක් තිබුණු නිසයි.



අතිදුෂ්කර අතීතයක් තිබුණු නීරෝ ගෝල්ඩන් කියන මෙහි ප්‍රධාන චරිතය පසුකාලීනව ඇමරිකාවේදී බිලියනපතියෙක් බවට පත්වෙනවා. ඔබ මෙහි මවන ප්‍රධාන චරිතය තුළින් ඇමරිකානු සිහිනය ප්‍රශ්න කරනවා වගේම එහි කොටස් වෙන් වෙන්ව පෙන්වන්න උත්සහ දරනවා. අද ඇමරිකානු සිහිනය වී තිබෙන්නේ මොකක්ද ?


ඇමරිකානු හීනයේ බොහෝ දේවල් දැන් ඉතුරු වෙලා නැහැ. ඔබ නිව්යෝර්ක් වල ජීවත් වෙන කෙනෙකු නම් මෑතකාලීනව සිද්ධ වෙන දේවල් වගේම දේශපාලනයත් තැතිගන්වන සුළුයි. ජෙරුසෙලම නැත්නම් කන්දක් මුදුනේ තියෙන නගරයක් වගේ හැඟීමක් නිව්යෝර්ක් වලදී දැනෙන්නේ නැහැ. ගෝල්ඩන් වගේ අඳුරු චරිතයක් නිර්මාණය කරලා, ඔහු මොනදේ කළත්, ආදරණීය පියෙකු විදියට මවලා ඔහු කෙරේ පාඨක අනුකම්පාව දනවන්න හැකිවේවි ද කියා මම, මගෙන්ම ඇහුවා.



ඇමරිකන් හීනයේ කොටස් ගැන එකිනෙක පවසද්දි පිලිප් රොත් හා ඔබ අතර පවතින ඇසුර ගැන කිව්වොත් ?


 ඔව්, අනිවාර්යයෙන්ම. පිලිප්ගේ අවංකකමට මං කැමතියි. ඔහු කිසි දෙයක් සඟවාගෙන ඉන්න කෙනෙක් නොවෙයි, හැමදේම විවෘතව කියනවා. ඔහු මියයන්න මාස තුන හතරකට කලින් මට කතා කළා. වාර්ෂිකව නෙවාර්ක් පුස්තකාලයේදී පවත්වන පිලිප් රොත් දේශනය ගැන අපි කතාබහ කළා. මේ සැප්තැම්බරයේදී ඒ දේශනය ඔහුට එවන්න පුළුවන්ද කියලා ඇහුවා, මං කිව්වා පුළුවන් කියලා. The Golden House කෘතිය කියවූ බව කී ඔහු රටේ පවතින තත්ත්වය මනාව ඉදිරිපත් කර තිබෙන බවත් කීවා. ඇත්තටම ඒ වෙලාවේදී පුදුම සතුටක් දැනුණා. සාහිත්‍යය ලෝකේ මගේ වීරයා කිසිදාක මගේ කෘතීන් කියවාවි යැයි මං හිතුවේ නැහැ.



මේ කෘතියේ ඉන්න නීරෝගේ බාල පුතා නිශ්චිත ලිංගික අනන්‍යතාවක් නැති කෙනෙකු විදියට හඳුනාගන්නට හැකියි. ඔබ මෙය සංවාදයට ලක්කරන්න භීතියක් දැක්වූවාද ? 


සම්පූර්ණයෙන්ම සංක්‍රාන්ති බවට පත්වූ පුද්ගලයින් දෙදෙනකු බොහොම සතුටින් පිරි ජීවිත ගතකරන බව මම දන්නවා. ඔවුන් දෙදෙනා මගේ සමාරම්භක ස්ථානය වුණත් මගේ දැනුම අබිභවා යන්න වුවමනා වුණා. බොහෝදෙනෙකු එක්ක කතාබහ කරලා නොදන්නා දේවල් දැනගන්න හැකිවුණා.


‘මේක හරි, මේදේ වැරදියි‘ කියනවට වඩා ‘මෙන්න මේ දේ තමා සිද්ධවෙන්නේ, මේ නිසා බෙහෙවින් කම්පනයට පුද්ගලයා මොහුයි, අපි මේ කම්පිත මිනිසා දෙස බලමු වගේ‘ දේවල් කෘතිය තුළ පවසන්න උත්සහ දැරීම මේ කෘතියේ සාර්ථකත්වයට බලපෑ බව මගේ විශ්වාසයයි.



ඔබ වැඩිපුර කියවන්න කැමති මොන ශානරයන්ට අයත්‍ කෘතීන්ද ?


මගේ තරුණ කාලේදී විද්‍යා ප්‍රබන්ධ වලට දැඩිව ඇළුම් කළා. කර්ට් වොනගර්ට් හා රේ බ්‍රැඩ්බරිගේ කෘතීන් කියෙව්වා,  Astounding හා Amazing වගේ විද්‍යා ප්‍රබන්ධ සඟරා වල තිබුණු කියවන්න තරමක් අසීරු ලිපි වලටත් දැඩිව ඇළුම් කළා. මේ දවස් වල බොහෝ දුරට කියවන්න පෙළඹිලා ඉන්නේ විකල්ප ධාරාවේ ප්‍රබන්ධයන්.


මේ වසරේදී එළිදුටු අතිශය ජනාදරයට පත්වූ කෘතීන් වලට වඩා Madame Bovary හා Lolita වගේ කෘතීන් කියවන්න කැමතියි. ත්‍රාසජනක නවකතා වලට වැඩි කැමැත්තක් නැති වුණත් ජෝන් ලී කේරී රචනා කළ රහස් පරීක්ෂක කතා කියවන්න කැමතියි.



ඔබ වැඩියෙන්ම කැමති මුද්‍රිත කොළයක සටහන් වී තිබෙන අන්දමින් කියවන්නද ?  නැත්නම් තිරයකින් කියවන්නද ?


කොහේ හරි යන විටදි අයි පෑඩයෙන් කියවන්න මං හුරුවෙලා ඉන්නවා. අනික් වෙලාවට නම් පොතක් අතට අරන් කියවනවා



තවම නොකියවූ සම්භාව්‍ය කෘතියක් නිසා ලැජ්ජා හිතෙන්නේ මොනවද ?


ජෝර්ජ් එලියට් ගේ Middlemarch කියවන්න ආසාවෙන් ඉන්නවා.



සාහිත්‍යය ලෝකේ ඔබේ වීරයා කවුද ?


Ulysses වල ඉන්න ලියෝපොල්ඩ් බ්ලූම් චරිතය. හරක් මස් වගේ මට කන්න බැරි තරමේ කෑම කෑවත් ඔහු සාහිත්‍යයේ ඉන්න අතිවිශිෂ්ඨ චරිතයක්.



ඔබේ කුඩා වියේදී වැඩියෙන්ම ඇළුම් කළේ මොනවගේ කෘතීන් වලට ද ? ඒ කාලේ වැඩියෙන්ම කියෙව්වේ කාගේ කෘතීන්ද ?


‘හොඳ‘ පොත් විතරක් කියවන්න කියලා මගේ අම්මා වත් තාත්තා වත් කිසිම වෙලාවක කිව්වේ නැහැ. බැට්මෑන් පොත් කියෙව්වා. විශිෂ්ට පාඨකයෙකු බවට පත්වීමේ ක්‍රියාවලියේදී ලේඛකයින් රැසකගේ කෘතීන් පරිශීලනය කරන්න හැකිවුණා. මුම්බායේ හැදී වැඩුණු නිසාම බටහිර ළමා සාහිත්‍යය අතර අපිට ලැබුණු හැමදේම කියෙව්වා, විනී ද පූහ් වගේ චරිත ගැන ඒ කාලේ කියවන්න නොලැබුණු නිසා ඒවා ගැන දැනගත්තේ පසුකාලීනවයි. ලුවිස් කැරොල්ගේ Alice වගේ චරිත වගේම රැන්සම්ගේ Swallows and Amazons කෘතියත් කියෙව්වා.


 


නැවත නැවත  කියවන්න කැමති කාගේ කෘතීන්ද ?


සෝල් බෙලෝගේ The Adventure of Augie March හා Humboldt’s Gift කෘතීන් නැවත නැවත කියවන්න කැමතියි. ඒවගේම චාර්ල්ස් ඩිකන්ස්ගේ කෘතීන් වලටත් කැමතියි



 



 

(2018. 09. 23 වන දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූ ලිපිය ඇසුරිනි)


අනුවර්තනය - වින්ධ්‍යා ගම්ලත්

0 comments: