Hot!

උතුරේ මෙන්ම දකුණේ අම්මාට ද සිංහල - දමිළ කියා වෙනසක් නැත

යටලමත්තේ කුසලානන්ද හිමි 

‘තියුණු අසිපතක සෙවණ යට‘ කියවා තමිලිනීගේ මව හමුවීමට ගිය ගමන

තමිලිනී කොටි සංවිධානයේ කාන්තා අංශයේ නායිකාව මෙන්ම යුද්ධයෙන් පසු ගත්කතුවරියක් ද විය. ඇයගේ ‘තියුණු අසිපතක සෙවණ යට‘ කෘතිය කියවූ මම කිසියම් දිනක ඇගේ මව හමුට ඇගේ ගමට යෑමට සිතක් ඇති විය. ඒ අනුව 2017 වර්ෂය සිංහල දෙමළ අවුරුදු සමයේ උතුරට නෑගම් යන්නට ගල්කන්දේ ධම්මානන්ද හිමි සහ මමත් ආනන්ද මහතා අප්‍රේල් මාසයේ දිනක තමිලිනීගේ නිවසට යෑමට හැකිවීම නිසා එම සිතුවිල්ල යථාර්ථයක් බවට පත්විය.


තමිලිනීගේ අම්මා දිවිගෙවූ ටකරන් පැල්පත හා දකුණේ හමුදා භටයින්ගේ නිවෙස් අතර වැඩි වෙනසක් නැත 

මෙම ගමන සම්බන්ධීකරණය කරනු ලැබූයේ තමිලිනිගේ ස්වාමිපුරුෂයා වන ජෙයකුමාර් මහතාය. පරන්තන් නගරයෙන් ඉතාම දුෂ්කර පාරක ගමන කළ අපි ලෑලි සහ ටකරන් වලින් සාදන ලද කූඩා කඩයක් අසළ නතර විය. එම කඩය තමිලිනීගේ මවගේ කඩයයි. ඉදිරියට පැමිණි තමිලිනීගේ මව අපි ඉතා උණුසුම් අයුරින් ආචාර කොට පිළිගනු ලැබූවා. ටකරන් වහලක් සහිත ගෙය ඇතුළට යෑමට නම් හිස නමා ගෙන යායුතුය. මන්ද නැත්නම් ටකරන් ඔළුවේ වදින නිසාවෙනි. එය කොටි නායිකාවකගේ මවගේ නිවස යි. දකුණේ හමුදා භටයන්ගේ ගෙවල් ද මීට දෙවැනි නොවේ.


ඒ අම්මාට සිංහල - දෙමළ කියා වෙනසක් නැත  


තමිලිනීගේ සහෝදරියකගේ කුඩා ළමයි කීප දෙනෙක් ඇවිත් අපි සමග සිනාසුණා. ගෙට පිවිසෙන ස්ථානයේ ඉස්තෝපුවේ තමිලිනීගේ පින්තූර මල් මාලා දමා ගෞරවනීය ලෙස තිබුණා. ඒ අසලින් වාඩි වුණු අපිට තමිලිනීගේ මව සංග්‍රහ කිරීමට යුහුසුළු වුණා. කේක් සහ බීම බෝතල් ගෙන විත් තබා සංග්‍රහය භුක්ති විදින ලෙස ඉතා ලෙන්ගතුව ආරාධනා කළා. ඇය සිංහල වචනයක් වත් කතා කිරීමට නොහැකි වුණත් ඇය තුළ තිබු මව්වත් ගුණය ඇගේ සිනහවේ හා හැසිරීමේ තිබුණා. කේක් කැල්ලක් කෑමෙන් පසු මම අත පිහ දමන විට ඇය පැමිණ දෙමළ බසින් ‘කන්න, කන්න‘ යැයි ඇවිටිලි කළා. එසේම තමාගේ අතින් කේක් කෑලි කඩා අපේ අතට දුන්නේ හරියට අපේම අම්ම කෙනෙක් වගේ. අපේ සිංහල අම්මල වගේම ගෙදරට ආපු ආගන්තුකයින්ට සංග්‍රහ කරලා ඇය සතුටු වන බව ඇගේ හැසිරීමෙන් කතාවෙන් මට දැනුණා. ඇත්තටම මට ඒ අම්මා සිංහල ද දෙමළ ද කියලා හිතා ගන්න බැරි තරම්මට අම්ම කෙනෙකුගේ සෙනෙහසින්මයි ඇය සංග්‍රහ කළේ.

මේ අම්මා මම දකුණෙත් උතුරෙත් දකින එකම අම්මා ඇගේ මව්වත්කම මට බෙදන්න බැහැ. කොයි භාෂාවෙන් කිව්වත් අම්මා අම්මමයි. මම සිංහල ගෙවල්වලදී මේ අම්මා මම දකිනවා අද උතුරෙදිත් දකිනවා කියලා මට හිතුණා.

එතකොටම හිතුණු දේ තමයි මේ අම්මගේ දූත් එක්ක පුතත් එක්ක නම් අපි යුද්ධ කළේ අපි යුද්ධ කරගෙන තියෙන්නේ අපේම සහෝදර සහෝදරීයන් එක්කනේ කියලා හිතන කොට අපි දෙගොල්ලටම කොහේදි හරි වැරදිලා තියෙනවා කියලා හිතුණා.

 

අපි දෙගොල්ලන්ටම වැරැද්දුවේ කවුද ? ඒ වරද හරිගස්සා ගන්න කළ යුත්තේ කුමක්ද ..?

සමාජයේ උඩතට්ටුව ඔවුන්ගේ ස්වාර්ථය පිණිස සියල්ල අවුල් කරද්දී ඒවායින් පීඩාවට පත්වන්නේ සමාජයේ යට තට්ටුවේ සිටින අපි අපිම බව දැන ගෙන සහෝදරත්වයෙන් එක මිටියට බැදෙන්නට කළ හැකි උපරිමය කළ යුතුය. නැතිනම් අවමයවත් කළ යුතුමය.

එහෙම වුණොත් තමයි උතුරේ ඉන්න තමිලිනීගේ අම්මටයි දකුණේ ඉන්න හසලක ගාමිණීගේ අම්මටයි සැනසීමේ නිදා ගන්න පුළුවන් වෙන්නේ.















0 comments: