Hot!

අවිශ්වාසය බිය සැකය හා මුලතිව්


"අපිට හාමුදුරුවරු ගැන ඉගැන්වුයේ සිවුර අස්සේ පිහියක් හංගගෙන ඇවිත් අපේ ජාතිය නැති කරන්න උත්සහ කරන අය විදියට මේ හාමුදුරුවෝ දෙන්නා ඒ අදහස අපේ සිතෙන් ඉවත් කළා."







යටලමත්තේ කුසලනන්ද හිමි

ලංකාව අවිශ්වාස, බිය, සැකය යන මනෝභාවයන් විසින් මෙහෙය වන ජන කොටසක් ජිවත් වන රටක් වී ඇත. මුලතිව් ජිවත් වන දෙමළ මිනිසුන් සේම දකුණේ ජීවත් වන සිංහල මිනිසුන් ද නැගෙනහිර මුස්ලිම් මිනිසුන් ද මීට සමාන මානසික මට්ටමක ජීවත් වෙයි.

භික්ෂූන් වශයෙන් අපගේ කාර්යය විය යුත්තේ බුදු පිළිම තැන්පත් කිරීම නොව බුදුදහමේ මූලික හරයන් හදුනා ගෙන ඊට අදාල වන ලෙස ජාති ආගම් භේදයකින් තොරව මිනිසුන් සමග මානුෂික සබදතා ගොඩ නගා ගැනීමයි. උතුරේ දෙමළ මිනිසුන්ට අඩුපාඩුව ඇත්තේ බුදු පිළිම නොව දකුණේ මිනිසුන් සමග ඇති මානව සබඳතා ය. ඔවුන් සමග මිනිසුන් ජාති ආගම් කුල ගොත් නොසලකා මනුෂ්‍ය සබඳතා ගොඩ නගා ගැනීමට හැකි බව මා අත්දැකීමෙන් දනිමි.

මමත් ගල්කන්දේ ධම්මානන්ද හිමියනුත් වරක් මුලතිව් ප්‍රදේශයට ගියේ යුද්ධයට මැදිහත් වූ දූදරුවන් හමු වීම සදහා ය. මාගේ පළමු අත්දැකීම වූයේ භික්ෂූන් පිළිබඳ කූඩාම ළමයි දැක්වු ප්‍රතිචාර යයි. අපිත් සමග ගිය ආනන්ද මහත්මයා කුඩා ළමුන් සමග හරි හරියට දන්නා දෙමළ භාෂා හැකියාව භාවිත කරමින් කතා කළ අතර මම ද ඔවුන් සමග එකතු වීමට කැමැත්තක් දැක්වීය. කුමක් දෝ හේතුවකට මට භික්ෂුවක් වශයෙන් ඔවුන් ළංවීමට නොහැකි විය. මම දුටු විට කබල වූ ඔවුන් මාගෙන් ඈත් විය. ඔවුන් සමග ජායාරූපයක් ගැනීමට මට අවශ්‍ය වුවත් ඊට ඔවුන් කිසිදු කැමැත්තක් දැක් වූයේ නැත. වැඩිහිටියන් තුළ හාමුදුරුවරු දෙදෙනා පිළිබඳ විශ්වසනීය කතා බහක් මුල් හමුවේ සිදුවූයේ යැයි මම නොසිතමි. එහෙත් ඔවුන්ට අපිව විශ්වාස කිරිමට හේතුවක් වූයේ අපි සාමාන්‍ය සිවිල් පුරවැසියන් ලෙස කතා කිරිමත් හැසිරිමත් විය යුතුය. පොලීසිය හෝ හමුදාව අප සමග නොවිය. පළමු හමුවීම සාමාන්‍ය එක් විය නමුත් ශක්තිමත් බැදීමක ආරම්භයක් විය.

දෙවන ගමන සදහා ධම්මානන්ද හාමුදුරුවෝ මට ආරාධනා කළ අතර ඒ වන විට මුලතිව් ප්‍රදේශයේ පාසලත් වල්පොල රාහුල ආයතනයත් අතර බැදීම බොහෝ දුර ගමන් කර තිබුණි. අපි පාසලට ජලය පිරිසිදු කිරිම සදහා ෆිල්ටර්යක් පරිත්‍යාග කිරිමත් තවත් බොහෝ අනාගත සැලසුම් සමග දෙවන ගමන පිටත් විය. එය මිනිසුන් වශයෙන් අපි අතර බැදීම වර්ධනය කරන සුවිශේෂී ගමනකි. ඔවුන් සියලු දෙනා අප උණුසුම්ව පිළිගනු ලැබීය. විදුහලේ විදුහල්පතිතුමා සිදු කළ කතාව මගේ සිතේ අදටත් දෝංකාර දෙයි.

" අපිට හාමුදුරුවරු ගැන ඉගැන්වුයේ සිවුර අස්සේ පිහියක් හංගගෙන ඇවිත් අපේ ජාතිය නැති කරන්න උත්සහ කරන අය විදියට මේ හාමුදුරුවෝ දෙන්නා ඒ අදහස අපේ සිතෙන් ඉවත් කළා."

මට දැනුනේ ඔලුවේ ඉදල සිසිල් දිය දහරක් මගේ ශරිරය පුරාම ගියා වගේ මිනිසුන්ට මනුස්සකම හදුනා ගන්න පුලුවන් කියන කාරණය මට තහවුරු වුණා. විදුහල්පතිතුමා තමන්ගේ ගෙදර අපි එක්ක ගෙන ගිහිල්ලා අපිට කැම බීම දුන්නේ තමන්ගේ කෙනෙකුට සලකන්ව වගේ ඒක අමතක නොවෙන අත්දැකීමක්. වල්පොල රාහුල ආයතනය එම සහෝදරත්වය ඉදිරියට ගෙනියන්න බෝහෝ දේ කළා කරනවා.

මට කියන්න තියෙන්නේ බුදුදහම කියන්න බුදුපිළිම නොවේ. වෙනත් බාහිර යමක් ද නොවේ. බුදුන්වහන්සේගේ පණිවිඩය එනම් බුදුදහම සමග ජිවත් වීමම දහමේ ආරක්ෂාව වෙයි. යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් අනවබෝධය මෝහය නිසා අපිට හිංසා පීඩා හිරිහැර සිදු කළ හැකිය. එවා අවබෝධයෙන් හදුනාගනිමින් අනුන්ටත් තමන්ටත් සමාව දීමට හුරුවීම තුළින් උදාවන සැනසිලිදායක බව තුළින් අපට සතුරන් මිතුරන් කර ගත හැකිය. සැබවින්ම ඔවුන් සතුරන් නොව නොමග ගිය අපේම සහෝදරයන් ය.

අපි හොද බීජ වපුල හොත් හොද අස්වැන්නක් ලබා ගත හැකිය. කරණියමෙත්ත සුත්‍රයේ සදහන් පරිදි තරහයෙන් වියවුල් වූ මොහොතක දී වත් අපි කෙනෙකුට දුකක් ප්‍රාර්ථනා නොකළ යුතුය. මෛත්‍රිය බලයක් කොට සහොදරත්වය වැපිරීම සැබෑ බෞද්ධයන්ගේ අරමුණ විය යුතුය. සුනාපරන්තයට ගිය භික්ෂූව සේ නොසැලි දහම සමග ජීවත් වීම භික්ෂුවගේ කාර්ය විය යුතුය.

0 comments: