Hot!

දූෂිතයින්ට වෙට්ටු දාන්න ඉඩදී, මඩු පල්ලියේදී ජාතික සහජීවනය ගැන කීම විහිළුවක්

රනිල් වික්‍රමසිංහ මඩු මංගල්‍යයේදී කීවේ මොනවාද

පසුගිය මඩු මංගල්‍යයේ දී අගමැතිවරයා කරන ලද ප‍්‍රකාශයක් මාධ්‍ය වාර්තා කෙළේය. ඉන් කොටසක් මෙසේ ය: ‘‘මඩු මංගල්‍යය කියන්නේ, සිංහල දෙමළ ජාතීන් දෙකම සහෝදර සහෝදරියන් වගේ සහභාගී වෙන උත්සවයක්. මේ වගේ ආගමික මංගල්‍ය උත්සව වලින් ජාතීන් අතර සහයෝගීතාව සහ සහෝදරත්වය වර්ධනය වෙනවා.’’

සෑම ප‍්‍රධාන ආගමික උත්සවයකදීම රටක නායකයෙකු මෙවැනි  ඕලාරික ප‍්‍රකාශ කිරීම වර්තමානයේ පිළිගත් සම්ප‍්‍රදාය වී තිබේ. එසේ වෙතත්, ලංකාවේ වෙසෙන ජාතීන් අතර ප‍්‍රශ්නයක් ඇති නිසාත්, ඒ හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ මිනී මරාගෙන ඇති නිසාත්, ජාතික සහජීවනය ආගමික උත්සවයක වැදගත් කාරණයක් වශයෙන් ගැනීම අවුලක් නොවේ.

එහෙත් ආගම හරහා සහජීවනය ගොඩනැගීමේ ව්‍යාපෘතිය, දේශීය වශයෙන් පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන් ද අසාර්ථක වී දැන් සියවස් ගණනක් ගතවෙන බව මතක තබා ගත යුතුය. දේශීය වශයෙන් ගතහොත්, මහාවංශය ලියූ 5 වැනි සියවසේ පටන් ලංකාවේ සහජීවනයක් ආගම හරහා ගොඩනැගීමේ  ඕනෑම අනාගත ව්‍යාපෘතියක් ව්‍යර්ථ කිරීමේ බීජ වපුරා ඇති බව පෙනේ. ජාත්‍යන්තර වශයෙන් ගතහොත්, 11 වැනි සියවසේ පටන් ගෙනගිය කුරුස යුද්ධ, ආගමේ නාමයෙන් ජාතීන් ඝාතනය කළ අවස්ථාවන් ය. ලෝක ඉතිහාසයේ සියවස් පහළොවක් ආපස්සට අප හැරී බැලූවොත්, සෑම ප‍්‍රධාන ආගමක්ම, ප‍්‍රයෝගිකව යුද බිමට යාමෙන් හෝ මතවාදීමය වශයෙන් ‘ආගමික අනෙකාව’ නිර්මාණය කරමින්, මිනිසුන් අතර සමගියට වඩා වපුරා ඇත්තේ භේදයයි.

බුදුන්වහන්සේ භේදය හැම අතකින්ම පිටු දැක්කා

මෙය, ඒ කිසි ආගමක නෛසර්ගික වරදක් නොවිය හැකිය. උදාහරණයක් වශයෙන් බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ගත්තොත්, උන්වහන්සේ භේදය හැම අතකින්ම පිටුදැක තිබේ. මිනිසුන් කෙරෙහි පමණක් නොව, සතාසීපාව කෙරෙහි පවා උන්වහන්සේ මෛත‍්‍රිය දේශනා කොට ඇත්තේ එබැවිනි. ක‍්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමික ශාස්තෘවරුන් සම්බන්ධයෙන් ගත්තත්, තත්වය වෙනස් නැත.

එහෙත්, මේ සෑම ආගමක්ම බිහි වීමෙන් ඉතා කෙටි කාලයක් තුළ, ඒවා ආධ්‍යාත්මික මාර්ගවලින් පිට පැන ලෞකික අනන්‍යතා මෙවලම් බවට පත්වූ දා සිට, මේ කිසි ආගමක ශාස්තෘවරුන් සැබවින් වදාළ කිසිවක්, අදට අදාළ කර ගත නොහැකි මට්ටමකට කුරුවල් විය.

අනන්‍යතා මෙවලමක් කියන්නේමොකක්ද ?

‘අනන්‍යතා මෙවලමක්’ යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? ඔබේ තනි පුද්ගල භාවය, ඔබට වඩා වැඩි පිරිසක් සමග යා කර ගැනීමෙන් තර කර ගත හැකි  ඕනෑම දෙයක්, ‘අනන්‍යතා මෙවලමකි’. දැන් අපි මෙසේ ගමු. ඔබ කියවන මේ ලිපිය ලියා ඇති සිංහල භාෂාව තිබෙන්නේ, ඔබ සහ මා අතර පණිවිඩ පාලමක් ගොඩනගා ගැනීමටයි. එය සන්නිවේදනය යනුවෙන් හැඳින්වෙයි. එහෙත්, මේ සිංහල භාෂාව අද පාවිච්චි වන්නේ ඒ සන්නිවේදන කාර්යය සඳහා පමණක් ද? නැත. මේ භාෂාව ලියන කියවන ඔබ සහ මම, ඒ භාෂාව හරහා සිංහලයෙකු බවටත් පත්කොට තිබේ. සිංහල යනු භාෂාවක් වන අතර, සිංහලයා යනු අනන්‍යතාවක් වෙයි. තිඹිරිගෙයි කිසි භාෂාවක් කතා නොකළ බිළිඳාට වඩා ඔබ අද ශක්තිමත් කෙනෙකු වන්නේ, අනතුරුව භාෂාවක් උගෙන එය වහරන නිසා හෝ ඇඟපතින් සහ මොළයෙන් හැදී වැඩී ඇති නිසා පමණක් හෝ නොවේ, ඔබේ භාෂාවම කතා කරන තවත් එක්කෝටි එක හමාරක් පමණ වන මහා සෙනගක් සමග ‘නෑ කමක්’ මේ භාෂාව හරහා ඔබ ඇති කරගෙන තිබෙන බැවිනි. ඒ අනුව, ඔබට දැන් ‘සිංහ-ලේ’ ගැන කතා කළ හැකිය.

ඊළඟට, මෙය ලියන මා උපතින් බෞද්ධයෙකි. ඒ ධර්මය ගැන මා කියවා ඇති පරිදි, එය ආධ්‍යාත්මික විමුක්තිය උදා කර ගැනීම සඳහා වන මාර්ගයකි. එහෙත්, කුඩා කල සිට මාව හදාවඩා ඇත්තේ සහ මට උගන්වා ඇත්තේ, ඒ ආධ්‍යාත්මික විමුක්තියට පටහැනිව, ලෞකික පිරිසක් සමග අනන්‍ය වීමේ (එක් වීමේ) පාලමක් වශයෙන් මේ ආගම පාවිච්චි කිරීමටයි. යුරෝපයේ හෝ වෙනත් බටහිර රටක දී ‘මම බෞද්ධයෙක්’ යැයි කියා ගැනීමෙන් මට නොදැනෙන හයියක් සහ ශක්තියක්, ලංකාවේ දකුණේ යම් තැනක සිට එසේ කියා ගැනීමෙන් මට දැනේ. එසේ වන්නේ ඇයි? තනි පුද්ගලයන් වශයෙන් (බොහෝ විට අප නොදැනුවත්ව) අප තුළ ඇති තනිකම, හැම විටකම, මා වැනිම වූ තවත් සමූහයක් සමග එක් වීමෙන් මගහැරෙන නිසා ය. මේ නිසා, සිංහලයෙකු සහ බෞද්ධයෙකු වීම මට විශාල හයියක් ගෙන දෙයි. ඉහත කී මහාවංශය ලියූ මහානාම හිමියන්ගේ අභිප‍්‍රාය වූයේ ද ඒ හයිය ඔබටත් මටත් ගෙන දීමටයි. මේ කාරණය, සිංහල බෞද්ධයන්ට පමණක් නොව, වෙනත් සෑම ජාතියකට සහ ආගමකටත් පොදු ලක්ෂණයකි.

කුලවාදය පිටු නොදකින පැවිදි සමාජය ජාතිවාදය පිටුදකීවිද ?

ඉතිං, මිනිසුන් බෙදා වෙන් කරන කුලවාදය ඉඳුරා ප‍්‍රතික්ෂේප කළ බුදුන් වහන්සේගේ පැවිදි ශාසනය ලංකාවේදී එම කුලවාදයම කරපින්නාගෙන සියම්, රාමඤ්ඤ සහ අමරපුර ආදී වශයෙන් විවිධ නිකායන්ට බෙදී සිටින අවස්ථාවක, එවැනි පැවිදි සමාජයක් කුලවාදයට වඩා බරපතල ජාතිවාදයක් පිටුදකිතැ යි අපට අපේක්ෂා කළ හැකි ද? තවත් විදිහකින් ඒ ප‍්‍රශ්නය ඇසුවොත්, බුදුන් වහන්සේටත් සාර්ථක කර ගැනීමට බැරි වූ ව්‍යාපෘතියක් (කුලවාදය/ජාතිවාදය දුරලීමේ ව්‍යාපෘතියක්) වර්තමාන සංඝ සාසනය හරහා සාර්ථක කර ගැනීමක් ගැන අපට බලාපොරොත්තු තැබිය හැකි ද ?

අගමැතිවරයාගේ මඩු මංගල්‍යයේ ප‍්‍රකාශය අපට සලකා බැලීමට සිදුවන්නේ ඒ සන්දර්භය මත පිහිටමිනි.

ඔහු පෙන්වා දෙන පරිදි, මේ රටේ වෙසෙන සිංහල සහ දෙමළ කිතුණු ජනයා ආගමික වශයෙන් එක තැනකදී වාර්ෂිකව හමු වූ ස්ථානය එයයි. එය සහෝදරාත්මක හමුවකි. එහෙත් එසේ වූ පමණින්, කලක් තිස්සේ ඔවුන් අතරේ කෙමෙන් උග‍්‍ර වෙමින් පැවති වාර්ගික වෛරය සමනය කර ගැනීමට ඊට හැකි වී ද? නැත. වසරක් පාසා මේ ස්ථානයට වන්දනාවේ ගිය සිංහලයන් යුද්ධය පැමිණීමත් සමග එක පැත්තකටත්, දෙමළ ජනයා තවත් පැත්තකටත් වී මරා ගනිද්දී අර ඉහතින් කී ආගමික සහජීවනය නැසී ගියේය.

නූතන ලෝකයේ ලෞකික ප‍්‍රශ්නවලට පිළිතුරු ආගමකින් හෝ ශාසනයකින් සැපයෙතැයි බලාපොරොත්තු වීම, ලංකාවේ කෘෂිකර්මයේ අනාගතය අතුරලියේ රතන හිමියන්ට භාර කිරීම වැනි වැඩකි. අද ලෝකය, ලෞකික ප‍්‍රශ්න විසඳීම සඳහා අලූත් මෙවලම් දෙකක් සොයාගෙන තිබේ. එකක් වන්නේ විද්‍යාවයි. දෙවැන්න වන්නේ, ශිෂ්ට නීතියයි. මේ දෙකටම, ජාතියක් නැත, ආගමක් නැත, තවත් විදිහකින් කිවහොත්, ඒවා තුළ වාර්ගික අනන්‍යතා සහසම්බන්ධය කොහෙත්ම නැති තරම් ය.

වික්‍රමසිංහ ආගමික හා වාර්ගික වෛරය වපුරන්න ඉඩදෙන්න බැහැ කියන්නේ තිබුණේ මඩු පල්ලියේදී නොවේ - කැබිනට් මණ්ඩලයේ

දැන් අපි අගමැතිවරයාගේ මඩු මංගල්‍යයේ ප‍්‍රකාශයේ ඊළඟ කොටසට යමු. ඒ මෙසේ ය: ‘‘ආගමික සහ වාර්ගික කණ්ඩායම් අතර වෛරය වපුරන්න ඉඩ දෙන්න බැහැ. මේ රටේ සමහර කණ්ඩායම් ඉන්නවා ඒ විදිහේ වෛරය වපුරන්න උත්සාහ කරන. ඒ අයට ඉඩ දෙන්න අපිට බැහැ.’’

අගමැතිවරයා මේ ප‍්‍රකාශය කළ යුතුව තිබුණේ, මඩු පල්ලියේ සිට රටට ඇහෙන්ට කරන ධර්ම දේශනාවක් වශයෙන් නොව, කැබිනට් මණ්ඩලයේ සිට පොලීසිය සහ අධිකරණය භාර ඇමතිවරයා වෙත නිකුත් කෙරෙන නියෝගයක් පරිද්දෙනි. අපේ ජාතික සහජීවනය සම්බන්ධයෙන් මේ දේශපාලඥයන් අතීතයේ හැසිරී ඇති ආකාරය මෙහිදී දීර්ඝ වශයෙන් ගෙනහැර දැක්වීමේ අවකාශයක් නැත. එහෙත්, ඉතා මෑත අතීතයේ එක සිදුවීමක් පමණක් මේ කාරණය පැහැදිළි කිරීම සඳහා මම යොදා ගමි.



ගලගොඩඅත්තේ ඥානසාර යනු මෑත අතීතයේ ලංකාවේ ජාතික සහජීවනය ඉතා නින්දිත අන්දමින් විනාශ කරපු කෙනෙක් 

ගලගොඩඅත්තේ ඥානසාර යනු මෑත අතීතයේ ලංකාවේ ජාතික සහජීවනය ඉතා නින්දිත අන්දමින් විනාශ කළ පුද්ගලයෙකි. පසුගිය රජය සමයේ ඔහුව ජාතිවාදී ව්‍යාපෘතියක් සඳහා ප‍්‍රයෝජනයට ගැනීම අපට තේරුම් ගත හැකිය. එහෙත් යහපාලන ආණ්ඩුවක් බලයට පත්වන්නේ, ජාතික සහජීවනයක් ගොඩනැගීමේ පරමාදර්ශය යටතේ ය. එසේ තිබියදී, මේ භික්ෂුව අලූත් ආණ්ඩුව යටතේත් පරණ සෙල්ලම කිරීමට පටන්ගත් විට, අගමැතිවරයා ඇතුළු යහපාලන ආණ්ඩුව කටයුතු කළ ආකාරය ප‍්‍රශස්ත නොවීය.

වරක්, මොහු පොලීසියට අවශ්‍ය කර සිටි අවස්ථාවක, ඔහු සැඟවී සිටි පන්සල පොලීසිය දැන ගත්තේය. එහෙත්, එම පන්සල පරීක්ෂා කොට ඔහුව අත්අඩංගුවට ගැනීමේ අවසරය අගමැතිවරයා සහ එවක පොලීසිය භාර ඇමති සාගල රත්නායකගෙන් ලැබුණේ නැත. එනම්, ඔහුව අත්අඩංගුවට ගැනීම, නීතිය පිළිබඳ ප‍්‍රශ්නයක් නොව, දේශපාලනික ප‍්‍රශ්නයක් වශයෙන් මේ දේශපාලඥයන් විසින් සලකනු ලැබූ බවයි. පන්සලක් පරීක්ෂා කොට භික්ෂුවක් අත්අඩංගුවට ගැනීම තමන්ට දේශපාලනිකව අවාසි සහගත සිද්ධියක් විය හැකි බව ඔවුන්ගේ මතය විය. (බුදුන් වැඩිය කැළණිය රජමහා විහාරයේ අධිපති උන්නාන්සේවත් අත්අඩංගුවට ගෙන එල්ලූම් ගස් යැවූ අතීතයක් අපට ඇති බව එහිදී අමතක කෙරුණි.) ඒ අනුව, පසුව දා හොර රහසේම ඔහුට පොලීසියට භාර වීමට කටයුතු සලසා දී උසාවිය හරහා ඇප ලබා දුනි. මේ සමස්ත වැඩපිළිවෙල ක‍්‍රියාත්මක වුණේ, අගමැතිවරයාගේ සහ සාගල රත්නායකගේ දැනුම සහ අනුමැතිය ඇතිවයි.

ඒ පුද්ගලයා මෙවර හිරේ ගියේ, අධිකරණ සේවයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ, ප‍්‍රතිපත්ති ගරුක පුද්ගලයන් කිහිප දෙනෙකු නීතියේ සහ අධිකරණයේ ගරුත්වය වෙනුවෙන් නොබියව පෙනී සිටීම නිසාම පමණි. එසේ නොවන්නට, මේ පුද්ගලයා අලූත්ගම සහ දිගන පමණක් නොව, අපේ සමස්ත අධිකරණයමත් ගිනි තියනු ඇත.

අගමැතිවරයා සහ ජනාධිපතිවරයා ඇතුළු මේ යහපාලන ආණ්ඩුව තේරුම් ගත යුතු දෙය වන්නේ, අපේ ජාතික සහජීවනය යථාර්ථයක් කර ගැනීමට නම්, අනිත් සියල්ලට කලින්, සෑම ජාතියකටම සහ සෑම පුද්ගලයෙකුටම එක සේ ක‍්‍රියාත්මක වන නීතියක් සහ අධිකරණයක් අපට ඇති බව මේ රටේ සෑම පුරවැසියෙකුටම බැලූ බැල්මට දැක ගැනීමට තිබිය යුතු බවයි. එක පැත්තකින් අපරාධකරුවන්ට සහ දූෂිතයන්ට නීතිය ඉදිරියේ කප්පරක් වෙට්ටු දැමීමට අවශ්‍ය පහසුකම් සලසා දෙමින්, අනිත් පැත්තෙන් මඩු පල්ලි ගොස් ජාතික සහජීවනයක් ගැන කතා කිරීම විහිළුවකි. 

 

සටහන - ගාමිණී වියන්ගොඩ

0 comments: