Hot!

ආයෙත් ප්‍රජා පීඩක පාලකයින්ගෙන් බැටකමුද ?

චිලියේ හමුදා කුමන්ත්‍රණය


මීට කලකට පෙර ප‍්‍රජා-පීඩකයන් බලයට පත්වීමේ ප‍්‍රචලිත ක‍්‍රමය වුණේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් එක රැයකින් පෙරලා දමා ඒකාධිපතියෙකු විසින් බලය අල්ලා ගනු ලැබීමයි. ඒ ඒකාධිපතියා බොහෝ විට හමුදා නායකයෙකු වීමට ඉඩ තිබුණි. මීට අගනා උදාහරණයක් සැපයුණේ, 1973 දී චිලි රටේ පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුව පෙරලා දමා, හමුදා නායකයෙකු වූ පිනෝචේ බලයට පත්වීමෙනි.


ප්‍රජාතන්ත‍්‍රවාදී ඡන්දයකින් ලෝකයේ ප‍්‍රථම වරට මාක්ස්වාදියෙකු බලයට පත්වුණේ චිලී රටේ ය. 1970 දී එසේ බලයට පත් සැල්වදෝර් අයියන්දේව, 1973 සැප්තැම්බර් මාසයේ දවසක ඝාතනය කර දමා පිනෝචේ නැමැති හමුදා නායකයා බලයට පත්විය. එදා ධනවාදී සහ අධිරාජ්‍යවාදී කඳවුර සිටියේ, සන්නද්ධ විප්ලවීය මාර්ගයකින් පමණක් නොව, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡන්ද ක‍්‍රමයකින් පවා මාක්ස්වාදියෙකුට බලයට පත්වීමට කිසි ඉඩක් නොතැබිය යුතුය යන දැඩි ස්ථාවරයේ ය. ඇමරිකානු ඔත්තු සේවයේ පූර්ණ අනුග‍්‍රහයෙන් චිලී රටේ හමුදා කුමන්ත‍්‍රණය දියත් වුණේ ඒ යටතේ ය.


මාක්ස්වාදී ආණ්ඩු පමණක් නොව, ධනවාදී ආණ්ඩුවක් වුවත්, ලෝක ධනවාදී ක‍්‍රමයේ මූලික අවශ්‍යතා සමග නොපෑහෙන විට මෙවැනි කුමන්ත‍්‍රණ හරහා එවැනි ආණ්ඩු පෙරලා දැමෙන බවට ඇමරිකාව එදා වගබලා ගත්තේය. සීතල යුද්ධ කාලය මෙවැනි කුමන්ත‍්‍රණකරුවන්ට තෝතැන්නක් විය. (සීතල යුද්ධය යනු, ධනවාදී සහ සමාජවාදී වශයෙන් ලෝකය කඳවුරු දෙකකට බෙදී, තමන්ගේ දේශපාලනික සහ ආර්ථික ක‍්‍රමය අනිත් කඳවුරට වඩා සාර්ථක බව සනාථ කිරීම සඳහා නඩත්තු කරගෙන ගිය බිහිසුණු තරඟකාරී කාලය හැඳින්වෙන නාමයයි. විශේෂත්වය වුණේ, මෙය ආයුධවලින් කරගෙන ගිය යුද්ධයක් නොවීමයි. එහෙත්, කඳවුරු දෙක සතුව තිබූ භයානක අවි අනෙකාට විරුද්ධව පාවිච්චියට ගැනුණොත් මුළු මිනිස් සංහතියම විනාශ විය හැකි ය යන අවදානම දැඩිව ලෝකයාට දැනවූ සමයකි). ඒ පසුබිම යටතේ, දෙපැත්තෙන් සැපයුණු අවසරය සහ තල්ලුව පාවිච්චියට ගනිමින් බොහෝ රටවල පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රම පෙරලා දැමුණි. මේ කාලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බිඳ වැටීම්වලින් හතරෙන් තුනක්, හමුදා කුමන්ත‍්‍රණ නිසා ඇති වූ බිඳ වැටීම් ය. ආර්ජන්ටිනාව, බ‍්‍රසීලය, ගෝතමාලාව, පේරු සහ උරුගුවේ වැනි ලතින් ඇමරිකානු රටවල් පමණක් නොව, ඝානා සහ නයිජීරියාව වැනි අප‍්‍රිකානු රටවල් ද, ග‍්‍රීසිය වැනි යුරෝපා රටවල් ද, තායිලන්තය සහ පාකිස්තානය වැනි ආසියාතික රටවල් ද එවැනි කුමන්ත‍්‍රණවලට ගොදුරු වී ප‍්‍රජාතන්ත‍්‍රවාදය යම් කාලයකට විනාශ කර ගත්තේය.


අද ප්‍රජා පීඩකයින් බලයට පත්වන්නේ එක රැයෙන් වන විප්ලවයකින් නොවේ


1980 දශකය අවසානයේ සමාජවාදී කඳවුරේ නිශ්චිත බිඳ වැටීමත් සමග, සීතල යුද්ධ කාලය අවසන් විය. එබැවින් අද ප‍්‍රජා-පීඩකයන් බලයට පත්වන්නේ, එක්තරා රැයක ආයුධ සන්නද්ධව ආණ්ඩුවේ මර්මස්ථාන හිටිහැටියේ අත්පත් කර ගැනීමෙන් නොවේ. චිලී රටේ ජනාධිපතිවරයා ඝාතනය කොට ඒකාධිපතියා බලයට පැමිණීම මුළු ලෝකයාම දැක්කේය. දවසක් එළි වන විට, ජනාධිපති මන්දිරය ගිනි තබා අළු කොට ඇති බව මුළු ලෝකයාම දැක්කේය.


එහෙත්, සීතල යුද්ධ කාලය අවසන් වීමත් සමග එවැනි ප‍්‍රජා-පීඩකයන් බලයට එන්නේ, ප‍්‍රජාවගේම අනුමැතිය සහ ආශීර්වාදය ඇතිව ය. එහෙත් කිසි ජනතාවක් තමන්ව පීඩාවට පත්කරතැයි සිතන නායකයන්ව බලයට පත්කර ගැනීමට දැනුවත්ව ඉදිරිපත් වෙතැයි සිතිය නොහැක. ඇත්ත වශයෙන්ම සිදුවන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු වශයෙන් බලයට පත්වන තැනැත්තා අනතුරුව ප‍්‍රජා-පීඩකයෙකු බවට පත්වීමයි. එහිදීත්, හිට්ලර් මෙන් ඔවුන් කෙටි කාලයක් තුළ, ලෝකයාටම ඇස්පනාපිට පෙනෙන ආකාරයෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන විනාශ කර දමන්නේ නැත. ඒ වෙනුවට, ජනතාවගේ අභිවෘද්ධිය සඳහාම යැයි පෙනෙන හේතුපාඨ දක්වමින්, තමන්ගේ ගමන ඔවුහූ යුක්ති සහගත කර ගනිති. සීතල යුද්ධ කාලය අවසන් වීමෙන් පසුව බොහෝ නායකයන් බලයට පත්ව, ප‍්‍රජාතන්ත‍්‍රවාදියාගේ සිට ප‍්‍රජා-පීඩකයාගේ භූමිකාවට කෙමෙන් ප‍්‍රවිෂ්ටව ඇත්තේ මේ ආකාරයෙන් ජනතාව ගොනාට ඇන්දවීමෙනි. ලංකාවේ උදාහරණය මහින්ද රාජපක්ෂ ය.


අද ප්‍රජාතන්ත්‍රවාදය අකර්මණය කරන්නේ නීත්‍යනුකූලවයි


එහිදී, මේ නායකයන් විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙමෙන් අකර්මණ්‍ය කරනු ලබන්නේ, ‘නීත්‍යානුකූලව’ ය. ඔවුහූ, ජනතාව ඉල්ලා සිටිනවාටත් වඩා මැතිවරණ පවත්වති. එසේ කරන්නේ, ඒ මැතිවරණ ජයග‍්‍රහණය කිරීමට අවශ්‍ය අවශේෂ සාධක සියල්ල තමන් යටතේ තබා ගනිමිනි. උදාහරණයක් වශයෙන්, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන සෘජුව හෝ වක‍්‍රව යටපත් කර ගැනෙන පරිසරයක් නිර්මාණය කර ගැනීමෙන් පසුව, මැතිවරණ දූෂණ මැඩලීමේ යාන්ත‍්‍රණයන් අකර්මණ්‍ය කිරීමෙන් පසුව, නීතිය හා සාමය පිළිබඳ අංශ අවනත කර ගැනීමෙන් පසුව, මෙවැනි නායකයන් විසින් මැතිවරණ පවත්වනු ලැබීම සහ ඒවායින් ජයග‍්‍රහණය කරනු ලැබීම දැක්විය හැකිය. නැවතත්, ලංකාවේ උදාහරණය මහින්ද රාජපක්ෂ ය.


මහින්ද 18 සම්මත කළේ ප්‍රජාතන්ත්‍රවාදීවයි


18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම ව්‍යවස්ථානුකූල ය. නීත්‍යානුකූල ය. ඊට ‘ව්‍යවස්ථානුකූල’ සහ ‘නීත්‍යානුකූල’ භාවය ලැබුණේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡන්දයකින් එය සම්මත කර ගත් නිසා ය. ඒ තුනෙන් දෙකේ වැඩි ඡන්දය ලබා ගත්තේ, ජනතාව ඉදිරියට ගොස් ඉල්ලා ගත් ඡන්දයකින් නොව, වෙනත් පක්ෂයකින් බලයට පත් මන්ත‍්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂයට අයථා අන්දමින් බා ගැනීමෙනි. එක පක්ෂයකින් පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසුව වෙනත් පක්ෂයකට මාරු වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවේ. (එහෙත් එය අපි දැනට පසෙකින් තබමු). අදාළ වන්නේ, මේ කියන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මහින්ද රාජපක්ෂට අවශ්‍ය කෙළේ මන්ද යන්නයි. එක පැත්තකින්, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඒ වන විට ඇති කොට තිබූ සාධනීය දේශපාලනික සංස්කෘතිය ආපසු හැරවීමත්, අනිත් පැත්තෙන්, 1978 ව්‍යවස්ථාව තුළ ජේ. ආර්. ජයවර්ධන විසින්ම පනවා තිබූ ජනාධිපති වාර දෙකේ සීමාව ඉවත් කර ගැනීමත් සඳහා ය. මින් පළමුවැන්න ඉඳුරා ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ය. දෙවැන්න අධිකාරීවාදී ය. එහෙත් මහින්ද රාජපක්ෂ ඒ දෙකම සාධනය කර ගත්තේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදීව’ ය.


ජෝර්ජ් වොෂින්ටන් අපිට කියාදෙන පාඩම මොකක්ද ?


ඇමරිකාවේ ප‍්‍රථම ජනාධිපතිවරයා වුණේ ජෝර්ජ් වොෂින්ටන් ය. 1789 දී බලයට පත් ඔහු දෙවරක් ජනාධිපති ධුරය හෙබවීය. ඒ දෙවරම ඔහු ජනාධිපති තනතුරට පත්වුණේ ඇමරිකාවේ ‘මැතිවරණ කොලීජියේ’ ඒකච්ඡන්දයෙනි. තුන්වැනි වරටත් ජනාධිපති ධුරය දරණ ලෙස රජයේ බලවතුන් ඔහුගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු කීවේ මෙවැන්නකි: ‘‘මම තමයි මේ විධායක ජනාධිපති ක‍්‍රමයේ ප‍්‍රථමයා. ඒක නිසාම, ඉතා පරිස්සමින් කටයුතු කිරීමට මට සිද්ධ වෙලා තියෙනවා. මේ අලූත් ආණ්ඩු ක‍්‍රමය ගැන පූර්වාදර්ශ අපිට නැහැ. මං තමයි පූර්වාදර්ශය වෙන්න තියෙන්නේ. මං කරන කියන හැම දෙයක් දිහාම අද ඇමරිකාව බලා සිටිනවා වගේම, අනාගත ලෝකයත් මගේ චර්යාවෙන් පාඩම් ගැනීමට නියමිතයි. තුන් වැනි වාරෙටත් ජනාධිපති වීම නරකයි කියලා මං හිතන්නේ ඒකයි.’’



තුන්වැනි වාරයක් එකම පුද්ගලයෙකුට ජනාධිපති වීමේ නොහැකියාවක් පිළිබඳ නියමයක් එදාවත්, ඉන් පසු තව අවුරුදු 150 කට ආසන්න කාලයක් තිස්සේවත් ඇමරිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ලියැවී නොතිබුණි. එය, ජෝර්ජ් වොෂින්ටන් විසින් තැබූ පුද්ගල ආදර්ශයක් පමණක්ම විය. එහෙත් සියවසකටත් වැඩි කාලයක් තිස්සේ එය ඇමරිකානු දේශපාලන සංස්කෘතියේ විශිෂ්ට ප‍්‍රතිමානයක් බවට පත්විය. එසේ තිබියදී, 1933 දී ඇමරිකානු ජනාධිපති පදවියට පත් ෆ‍්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් හතර වතාවක් ජනාධිපති ධුරයට තරග කොට දිනුවේය. ඇමරිකානු ජාතියේ පියා වූ වොෂින්ටන් විසින් තැබූ ආදර්ශය එසේ රූස්වෙල්ට් විසින් කඩනු ලැබීම කෙලෙසකින්වත් නීති විරෝධී හෝ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවක් නොවුණ ද, රූස්වෙල්ට්ගේ මරණයෙන් පසුව, ජෝර්ජ් වොෂින්ටන්ගේ සම්ප‍්‍රදාය නීතියක් වශයෙන් ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුව ඇතැයි ඇමරිකානු සමාජය තදින් අදිටන් කර ගත්තේය. ඒ අනුව, ඇමරිකානු කොංග‍්‍රසයේ ප‍්‍රධාන පක්ෂ දෙකම එක්සත්ව 1947 දී 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනුණි. අද වන විට, කෙනෙකුට දෙවරකට වඩා ඇමරිකාවේ ජනාධිපති පදවියට පත්විය නොහැක්කේ මේ 22 වැනි සංශෝධනය නිසා ය. අපේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඒ අර්ථයෙන් ඊට සමාන ය.


මම, පුතා - මගේ සහෝදරයා න්‍යාය


2019 ජනාධිපතිවරණය ගැන ඉන්දියාවේදී මාධ්‍යවේදියෙකු නැගු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවැන්නක් කියා තිබේ: ‘‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා මට ආයේ සැරයක් ඉල්ලන්න බැහැ. මගේ පුතාට ඉල්ලන්න බැහැ වයස මදි නිසා. ඔව්, මගේ සහෝදරයා ඉල්ලනවා තමයි.’’


පළමු තේරීම මම ය. දෙවැනි තේරීම මගේ පුතා ය. තුන්වැනි තේරීම මගේ සහෝදරයා ය.


වැඩවසම් ප‍්‍රවේණිය සහ ප‍්‍රජා-පීඩනය අතර අනිවාර්ය සම්බන්ධයක් නැත. එහෙත්, මහින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ අතීත භාවිතාව පිළිබඳ වැඩි ඈතක නැති නීරස අත්දැකීම් සමුදායක් අප සතුව තිබේ. රතුපස්වල, හලාවත සහ කටුනායක වැනි ස්ථාන නාම කිහිපයකුත්, ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රගීත් එක්නැලිගොඩ, වසීම් තාජුඞීන්, කීත් නොයාර් සහ පෝද්දල ජයන්ත වැනි පුද්ගල නාම කිහිපයකුත් නිතැතින් අපේ මතකයට නැගේ. මේවා, සත්තයි, අත්දුටුවයි.


ඇමරිකානු සම්ප‍්‍රදාය තුළ පැවති භයානක හිඩැසක් ගැන රූස්වෙල්ට් බලයට පත්වන තෙක් ඇමරිකාව දැනගෙන සිටියේ නැත. එහෙත් දැන ගත් සැණින් ඒ වරද ඔවුහූ වහා නිවැරදි කර ගත්හ. එසේ තිබියදී, මහින්ද සම්ප‍්‍රදාය සහ ගෝඨාභය සම්ප‍්‍රදාය ගැන වරක් දැනුවත් වූ අප නැවතත් ඒ ගැන අලූතින් දැනුවත් විය යුතු ද ?   


 

සටහන - ගාමිණී වියන්ගොඩ


 

සබැඳි පුවත් 


යහපාලනය ආවඩන්නේ කාටද ?


ගැටලු ‘විසඳීම’ ජනපතිගේ කජු කෑම වගේ 


0 comments: