Hot!

මහින්දට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකි ද?

ගාමිණී වියන්ගොඩ

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ලංකාවේ අපට කතා කිරීමට සිදුවන්නේ, අප ජීවත් වන්නේ පරිපූර්ණ නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සහිත රටක ය යන කල්පනාව හිසේ දරාගෙන ය. ලෝකයේ කිසි රටක පරිපූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැති බව ඇත්ත. ඇමරිකාවේ පවා, පසුගිය ජනාධිපතිවරණයේදීත්, ඊට කලින් ජෝර්ජ් ඩබ්. බුෂ් ජනාධිපති පදවියට පත්වූ අවස්ථාවේදීත් දකින්ට ලැබුණේ පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට බෙහෙවින් අඩු තත්වයකි. එසේ වෙතත්, ඒ සීමිත දෝෂ සහිත දියුණු බටහිර රටවල්වල පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමග සසඳන විට ලංකාව සිටින්නේ ඊටත් වඩා තවත් බොහෝ පසුපසිනි.


ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුරුෂාර්ථ සහිත මිනිසුන්ගෙන් ප‍්‍රමාණවත් තරමට සංයුක්ත රටක් නොවීම ඊට එක් හේතුවකි. සරු ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට උරදිය හැකි සහ ඔරොත්තු දිය හැකි මට්ටමේ දියුණු සමාජයක් නැති වීම යැයි තවත් විදිහකින් කිව හැකිය. රටේ වෙසෙන ජනතාව මෙන්ම, ඒ ජනතාව අතරින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී යාන්ත‍්‍රණයන් තුළින් තෝරා පත්කර ගන්නා නායකයන් ද, අපේ රටවල් සම්බන්ධයෙන් ගත් විට, වඩාත් කිට්ටු වන්නේ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට වඩා අධිකාරීවාදී පාලකයන්ට ය. සිරිමා බණ්ඩාරනායකගෙන් පටන් ගෙන, ජේ. ආර්. ජයවර්ධන සහ මහින්ද රාජපක්ෂ දක්වා වන නායකයන් මේ තත්වය අපට අඩු වැඩි වශයෙන් පෙන්වා දී තිබේ.


1978 දී ජේ. ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක‍්‍රමය සහිත අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීමේදී ඔහු තුළ තිබුණේ දැඩි අධිකාරීවාදී පාලකයෙකුගේ අවශ්‍යතාව පිළිබඳ අදහසකි. එසේ තිබියදීත්, විශේෂයෙන් විවෘත ආර්ථික ක‍්‍රමයකුත් රටට අලූතෙන් හඳුන්වා දීමට තිබුණු අවස්ථාවක, ඒ ජනාධිපති තනතුරට කෙනෙකුට පත්විය හැකි වාර ගණන දෙකකට පමණක් සීමා කිරීමට ඔහු වගබලා ගත්තේය. එසේ කෙළේ, එම ක‍්‍රමය තුළ, විශේෂයෙන් ලංකාව වැනි රටක, දීර්ඝ කාලයක් තනි පුද්ගලයෙකුට බලය හෙබැවීමට ඉඩ හැරීම අවදානම් සහගත නිසා ය.


මේ තත්වය, එනම් වාර දෙකේ සීමාව, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් 2010 දී මහින්ද රාජපක්ෂ වෙනස් කෙළේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මහින්ද රාජපක්ෂට තුන්වැනි වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට 2015 දී අවස්ථාව ලැබුණි.


වාමවාදී ව්‍යවහාරය තුළ ජේ. ආර්. ජයවර්ධනව සැලකෙන්නේ ‘නරක’ දේශපාලඥයෙකු වශයෙනි. 1977 ඔහු බලයට පත්වූ දා සිටම, වාමවාදී සමාජ කතිකාව තුළ ඔහු ‘සාතන්’ කෙනෙකු විය. එහෙත්, 1994 දී බලයට පත්ව අද දක්වා බලය හොබවන, ඔහුගේ දේශපාලනයට විරුද්ධව පෙනී සිටි, ධනපති-විරෝධී හෝ සමාජවාදී යැයි කියා ගන්නා ප‍්‍රධාන ප‍්‍රවාහයේ සියලූ දේශපාලන බලවේග, ජේ. ආර්. ජයවර්ධනගේ දේශපාලනික උරුමය ඔහුටත් වඩා ඉහළින් ආරක්ෂා කර ගැනීමට, 1994 සිට මේ දක්වා වගබලාගෙන ඇති බව ජේ. ආර්. ජයවර්ධන දන්නේ නම් ඔහු සතුටින් පිනා යනු නිසැකයි. ඔහුගේ විධායක ජනාධිපති ක‍්‍රමයත්, විවෘත ආර්ථික ක‍්‍රමයත් වැඩිම කාලයක් රැුකබලාගෙන ඇත්තේ එ.ජා.ප. විසින් නොව, සමාජවාදී යැයි කියන ශ‍්‍රී.ල.නි.ප. විසිනි.


ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතින් ලංකාව අර කී දියුණු රටවලට වඩා පසුපසින් සිටීමට තවත් හේතුවක් වන්නේ, රටේ පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී අයුරින් පරිහරණයට ගැනීමේ ඇබ්බැහියයි. (ජනතා පරමාධිපත්‍යය, ස්වාධීන අධිකරණය සහ නීතියේ ආධිපත්‍යය වැනි* දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන සහ ප‍්‍රතිපත්ති පද්ධතියක් අපට තිබේ. එසේ තිබියදී, මහින්ද රාජපක්ෂ 2005 දී එල්.ටී.ටී.ඊ. සංවිධානයට කෝටි ගණනක් ගෙවා එම ජනාධිපතිවරණය වර්ජනය කරවා ගැනීම තුළින් රනිල්ව පරදා බලයට පත්විය. මේ කියන ජනතා පරමාධිපත්‍යය ජේ. ආර්, ජයවර්ධන ඊට වඩා වැදගත් විදිහට පාවිච්චියට ගෙන තිබුණි. ඒ කළගෙඩි මැතිවරණය තුළිනි. එය, මැතිවරණයක් නොපැවැත්වීමට මැතිවරණයක් හරහාම ‘ජන සම්මතය’ ලබා ගත් අවස්ථාවකි. ඊට වඩා අඩු වැදගත්කමක් සහිත තවත් අවස්ථාවක් වන්නේ, මහජන ඡුන්දයෙන් පරාජයට පත්කෙරෙන පුද්ගලයෙකුව පක්ෂයක ලැයිස්තුවක් හරහා පාර්ලිමේන්තුවට පත්කර ගැනීමට ඇති හැකියාවයි. මේ සිල්ලර අවස්ථාව, වර්තමාන ජනාධිපතිවරයා පමණක් නොව, වඩාත් පිරිසුදු දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ පවා ප‍්‍රයෝජනයට ගෙන තිබේ. එයින් පෙනී යන්නේ, එක පැත්තකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුරුෂාර්ථ සහිත මිනිසුන්ගේ හිඟයක් ද, තවත් පැත්තකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන පද්ධතිය තුළ තිබිය යුතු පුරුෂාර්ථ අපයෝජනයට හේතුකාරකව ඇති සරු ඉතිහාසයක් ද අපට ඇති බවයි.

මේ සියලූ විස්තර කිරීම් කෙළේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ තමන්ට කැමති නායකයෙකු ඕනෑ තරම් වාර ගණනක් පත්කර ගැනීමට ජනතාවට තිබිය යුතු අයිතිය සීමා කිරීමක්, ජනාධිපති තනතුරට කෙනෙකුට පත්විය හැක්කේ දෙවරක් පමණක් ය යන නියමය නිසා සිදු වන්නේය යන ජනප‍්‍රිය ප‍්‍රවාදයේ නපුර පෙන්වීමටයි.


ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු ජනතා බලය පරමත්වයේ ලා සලකන අතරේම, එම ජනතා බලය ‘පික්පොකට්’ ගසන හෝ අපයෝජනයට ලක්විය හැකි අවස්ථා අවම කර ගැනීම සඳහා ද නිරතුරුව උත්සුක විය යුතු පාලන ක‍්‍රමයකි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා යහපාලන ආණ්ඩුව යළිත් වරක් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වාර දෙකේ සීමාව ගෙන ආවේ එබැවිනි. මැතිවරණයක් නොපැවැත්වීමට මැතිවරණයක් හරහාම ජනතාව ගාල් කර ගත හැකි (කළගෙඩි* පාලකයන් සිටින රටක, කොටින්ට මුදල් ගෙවා හෝ බලයට පත්වීමට නොපැකිලෙන පාලකයන් සිටින රටක, කිසි පුද්ගලයෙකුට දෙවරකට වඩා ‘රජ වීමට’ ඉඩ හැරීම, අපගේ වන් දුර්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට කිසි සේත් ගුණදායක නැත.


ජී. ඇල්. පීරිස් නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකි. එහෙත් දේශපාලඥයෙකු වශයෙන් ඔහුට ඇත්තේ ගර්හිත ඉතිහාසයකි. සරත් නන්ද සිල්වා හිටපු අගවිනිසුරුවරයෙකි. ඔහුගේ ඉතිහාසය ජුගුප්සා ජනක ය. නීතිය පිළිබඳ ඔහුට ඇතැයි කියන විශාරදත්වය තුට්ටුවක් නොවටිනා දෙයක් වන්නේ, සුනාමියෙන් විපතට පත් අසරණයන්ට ලැබුණු මුදල් පවා සොරකම් කළ දේශපාලඥයෙකුව මොහු තමන්ගේ අගවිනිසුරුකම පාවිච්චි කොට වරක් නිදහස් කොට යැවීම ගැන පසුව ප‍්‍රසිද්ධියේ ජාතියෙන් සමාව ඉල්ලා සිටි පුද්ගලයෙකු වන නිසා පමණක්ම නොව. ඉනුත් පසුව, අර තක්කඩි දේශපාලඥයාටම නැවත වරක් ජනාධිපති වීමට නීතියෙන් බාධාවක් නැතැයි ද අද කියන බැවිනි. උගත්කම සහ ශාස්ත‍්‍රඥතාව, ජන්ම දීනත්වයට සහ අවස්ථාවාදීත්වයට පිළියමක් නොවන බව පෙන්වා දීමට ලංකාවෙන් සැපයෙන හොඳම ජීවමාන නිදර්ශන දෙක මේ පුද්ගලයන් දෙන්නා විය හැකිය.

ආචාර්ය නිහාල් ජයවික‍්‍රම නීති විශාරදයෙකි. නිදහස් ලංකාවේ, අතීතයට බලපාන නීතියක් (අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත හරහා* ගෙනැවිත් 71 තරුණයන්ව, හුදෙක් පොලීසියට දුන් කටඋත්තර මත පදනම් වෙමින් හිරේට යැව්වේ මේ නිහාල් ජයවික‍්‍රම අධිකරණ අමාත්‍යාංශ ලේකම්ව සිටියදී ය. (එසේ වෙතත්, ඔහු අර දෙන්නා මෙන්, ජරාජීර්ණ චරිතයක් නොවේ*.


මහින්ද රාජපක්ෂට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බවට මේ තිදෙනාම අද තර්ක කරති, පළමුව කී දෙන්නා එසේ කියන්නේ මහින්ද රාජපක්ෂ කෙරෙහි ඇති ඔවුන්ගේ සුපුරුදු දීනත්වය අනුව යමිනි. නිහාල් ජයවික‍්‍රම එසේ කියන්නේ, 19 වැනි සංශෝධනයේ ඇතැයි ඔහු සිතන යම් ‘දෝෂයක්’ නිසා ය. කෙසේ වෙතත්, තුන් දෙනාම තමන්ගේ මූලික තර්කය ගොඩනගන්නේ, ‘අතීතයට බලපාන නීතිය’ පිළිබඳ කාරණාව මුල් කරගෙන ය.

සාමාන්‍යයෙන් නීති පනවන්නේ ඉදිරියට බලපවත්වන ආකාරයෙන් මිස අතීතයට බලපවත්වන ආකාරයෙන් නොවේ. උදාහරණයක් වශයෙන්, උපරිම වේග සීමාව ඉක්මවා රථයක් ධාවනය කරන කෙනෙකුට රුපියල් 25,000 ක දඩයක් නියම කෙරෙන නීතියක් අද පනවා ගන්නේ යැයි සිතමු. ඊයේ මේ වේග සීමාව ඉක්මවා ගිය කෙනෙකුගේ නඩුවක් අද උසාවියේ ඇසෙයි නම්, එම පුද්ගලයාට මේ 25,000 දඩය පිළිබඳ නීතිය බලපවත්වන්නේ නැත. මන්ද යත්, මෙවැනි දඩයක් ගැන ඊයේ ඔහු දැන සිටියේ නැති බැවිනි. කොටින් කිවහොත්, කෙනෙකුට අසාධාරණයක් වීම වැළැක්වීම, නීතියක් අතීතයට බලපාන සේ පනවා නොගැනීමේ ප‍්‍රතිපත්තියට පාදක වන බව එහි අදහසයි.

ඒ නිසා, විශේෂ තත්වයන් හෝ කාරණා යටතේ යම් නීතියක් අතීතයට බලපාන සේ පනවා ගැනීම අවශ්‍ය යැයි රටක් තීරණය කරන අවස්ථාවක, ඒ බව, එනම් එම නීතිය අතීතයටත් බලපවත්වන බව, අදාළ නීතියේම සඳහන් කිරීම සාමාන්‍ය සිරිතයි. බණ්ඩාරනායක අගමැතිවරයාව ඝාතනය කරන අවස්ථාවේ එල්ලූම් ගසක් නොතිබුණි. එහෙත්, ඒ ඝාතනයෙන් පසුව එල්ලූම් ගස අතීතයටත් බලපාන අයුරින් කඩිමුඩියේ නීතිගත කර ගැනුණු නිසා සෝමාරාමව එල්ලා මැරුවේය.


දැන් මොවුන් කියන්නේ 19 වැනි සංශෝධනයේ සඳහන් වාර දෙකේ සීමාව, ඒ සංශෝධනය නීතිගත කර ගැනීමට කලින් ජනාධිපති ධුරය හෙබැවූ මහින්ද රාජපක්ෂට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායකට බලපවත්වන්නේ නැති බවයි. හේතුව, අලූත් නීතිය අතීතයටත් බලපාන බව එහි විශේෂයෙන් සඳහන්ව නොතිබීමලූ. ඒ අලූත් වගන්තිය කුමක් ද?

31(2*:‘‘ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරා පත්කර ගනු ලැබූ තැනැත්තෙකු, ජනතාව විසින් නැවත එකී ධුරය සඳහා පත්කර ගනු ලැබීමට සුදුස්සෙක් නොවන්නේය’’
(ඇත්තෙන්ම මෙය අලූත් වගන්තියක් නොවේ. මහින්ද රාජපක්ෂ 18 වැනි සංශෝධනය සම්මත කරගන්නා තෙක්, මේ වචනවලින්ම එම තහනම අපේ ව්‍යවස්ථාවේ තිබුණි*.


මේ සරළ වාක්‍යය සිංහල පාඨකයාට වැටහෙයි. මෙයම, වෙනත් භාෂාවකට පරිවර්තනය කළත්, ඒ භාෂාව දන්නා ඕනෑම කෙනෙකුටත් එය වැටහෙනු නියති. ඉහත වාක්‍යයේ සඳහන් ‘‘පත්කර ගනු ලැබූ’’ සහ ‘‘පත්කර ගනු ලැබීමට’’ යන්නෙහි වෙනස පැහැදිළි ය. පළමු වැන්න අතීත කාලයට අයත් වන අතර, දෙවැන්න අයත් වන්නේ අනාගත කාලයටයි. එසේ නම්, මේ නියමය ‘අතීතයට බලපාන’ බව නැවතත් විශේෂයෙන් සඳහන් කළ යුතුව තිබුණේ යැයි කියන්නේ, අතීත-අනාගත කාල වෙනස හඳුනා ගැනීමට නොහැකි නිසා නොව, වෙනත් දේශපාලනික අවශ්‍යතාවක් නිසා බව පැහැදිළි ය.


කෙසේ වෙතත්, මේ වාක්‍යයේ භාෂාව ගැන අනවශ්‍ය කුකුසක් ඇති කරගන්නා කෙනෙකුට ඒ ගැන වෙනත් පැත්තකින් පැහැදිළි කර ගත හැක. එනම්, 19 වැනි සංශෝධනයේම සඳහන් කොට ඇති, ජනාධිපතිවරයෙකු වීමට නුසුදුසු කම් සොයා බැලීමෙනි. ‘‘ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් පත්කර ගනු ලැබ තිබෙන කෙනෙකු’’ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නුසුදුස්සෙකු වන බව, 92 (ඇ* වගන්තියේ සඳහන් වෙයි.

සමහර විට කාලය පිළිබඳ අර්ථකථනයේ ඇති මේ බාධකය තේරුම් ගැනීම නිසා දෝ, නිහාල් ජයවික‍්‍රම ප‍්‍රශ්නය තවත් ඈතට ගෙන යයි. ඔහුට අනුව, 19 වැනි සංශෝධනය මගින් එතෙක් පැවති ජනාධිපති ධුරය අහෝසි කොට අලූත් ජනාධිපති ධුරයක් ඇති කොට තිබේ. ඒ අනුව, කලින් ක‍්‍රමය යටතේ තේරී පත්වූ පුද්ගලයෙකුට මේ කියන වාර දෙකේ අලූත් තහනම, ඔහුට අනුව, අදාළ වන්නේ නැත. මුලින්ම කිව යුත්තේ, 19 වැනි සංශෝධනයෙන් ජනාධිපති ධුරයේ හරය අහෝසි කොට නැති බවත්, අලූත් ජනාධිපති තනතුරක් ඇති කොට නැති බවත් ය. 20 වැනි සංශෝධනයකුත් දැන් ගෙන ඒමට යන්නේ, ඒ මූලික හරය වෙනස් කිරීමට අවශ්‍ය නිසා ය. (ඒ ගැන වෙනම සටහනක් ලිවිය යුතුව තිබේ*.


එසේ වෙතත්, නිහාල් ජයවික‍්‍රම මතු කරන ප‍්‍රශ්නය දෙස වෙනත් පැත්තකින් අපට බැලිය හැකිය. වර්තමාන ජනාධිපතිවරයාව පත්කර ගැනුණේ 2015 ජනවාරි 8 වැනි දා ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නීතිගත වුණේ 2015 අපේ‍්‍රල් 8 වැනි දා සිට ය. මේ තත්වය තුළ එකී සංශෝධනයේ එක් කාරණයක් වර්තමාන ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා සිටියේය. එනම්, තමාගේ ධුර කාලය (වර්තමාන සංශෝධනයට අනුව* අවුරුදු 5 ක් ද, නැත්නම් (තමන් තේරී පත්වන අවස්ථාවේ පැවති* පරණ ක‍්‍රමයට අනුව වසර 6 ක් ද යන්නයි. 19 වැනි සංශෝධනයේ එය සඳහන් වන්නේ මෙසේ ය:


30(2*:‘‘ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබිය යුතු අතර, පස් අවුරුදු කාලයක් ධුරය දරන්නේය.’’


ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වුණේ වසර 5 ක් යන්නයි. එසේ වුණේ කෙසේද?


නිහාල් ජයවික‍්‍රම කියන පරිදි, මෛත‍්‍රිපාල සිරිසේන තේරී පත්වුණේ මහින්ද රාජපක්ෂ තේරී පත්වූ පරණ ක‍්‍රමය යටතේම නිසා, ඔහුට අදාළ වීමට තිබුණේ ද වසර 6 සීමාවයි. අනිත් අතට, නිහාල් ජයවික‍්‍රම කියන පරිදි නීතිය විග‍්‍රහ කළහොත්, දෙවරක් ජනාධිපති ධුරය දැරූ තැනැත්තෙකු අපට හමු වන අවම වර්ෂය වන්නේ 2024 ය. (2015 සහ 2019 ජනාධිපතිවරණ දෙකකින් පසුව*. එහිදී පවා, මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක නුසුදුස්සෝ නොවෙති. එනම්, 19 වැනි සංශෝධනය යටතේ, මේ රටේ පුරවැසියන් දෙන්නෙකුට, වෙන කිසි පුරවැසියෙකුට නැති ‘මුක්තියක්’ පවරා දී ඇති බවයි.

අවසාන විග‍්‍රහයේදී නීතියක් අර්ථ ගන්වන්නේ නීති සම්පාදකයන්ගේ අභිමතය කවරක් විණි ද යන්න සැලකිල්ලට ගැනීමෙනි. ප‍්‍රජා පීඩකයන් බිහි විය හැකි මහින්දගේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම එක පැත්තකිනුත්, ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඔරොත්තු දෙන මට්ටමකින් බලය තුලනය කර ගැනීමේ ප‍්‍රජාතන්ත‍්‍රීය අවශ්‍යතාව තවත් පැත්තකිනුත්, 19 වැනි සංශෝධනය ගෙන ඒමේ මූලික අභිලාෂය විය. ඒ කාරණය අමතක කොට, නැති පරස්පර වැලක් ඕනෑ කමින් පටලවා ගැනීමට තැතනීම, පටු දේශපාලනික ව්‍යාපෘතියකට වැඩි දෙයක් නොවේ.


 

0 comments: