Hot!

සංගීතඥයකු වීම හරිම අසීරුයි, ජෑස් සංගීතඥයකු විදියට දිවිගෙවීම ඊටත් වඩා අසීරුයි - ඩේමියන්

‘'ඔබ හැබෑ නිර්මාණකරුවෙකු නම් ඔබේ නිර්මාණයන් කළයුත්තේ ඔබේ අත්දැකීම්, හැඟීම් හා  සැබෑ ජීවිතය ඇසුරිනුයි. හැබෑවටම බොහෝ සංගීතඥයින් අපූර්ව දෑ නිර්මාණය කරන්නේ එවැනි අත්දැකීම් ඇසුරිනුයි. හැබෑවටම, ඒ අත්දැකීම අතිශය චිත්තාකර්ෂණීය බව මා දන්නවා.‘‘ 

La La Land සිනමාපටය හරහා ලොවක් හඳුනාගත් ඔහු 2017 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේදී විශිෂ්ඨතම සිනමා අධ්‍යක්ෂවරයාට  හිමි සම්මානය දිනාගන්නවා. ඒ මෙම සම්මානය දිනාගත් ළාබාලතම අධ්‍යක්ෂවරයා වෙමිනුයි. ඔහු Damien Chazelle. තවමත්  තිස් දෙහැවිරිදි වියේ පසුවන මේ නිර්මාණකරුවා La La Land සිනමාපටයට අමතරව සිදුකළ නිර්මාණ අතර Guy and Madeline on a Park Bench (2009), Whiplash (2014) හා  First Man (2018) ප්‍රමුඛයි. මෙහි පළවන්නේ ඔහු විසින් ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගත්තකි. 



පුංචි කාලේ ඉඳන්ම සිනමා ශිල්පියෙකු වීමේ දැඩි වුවමනාවක් තිබුණා

 

කුඩා කාලේ ඉඳන්ම ඔබට තිබුණේ සංගීතඥයෙකු වීමේ බලාපොරොත්තුවක්ද ?

නැහැ, ඇත්තටම මගේ සිහිනය වුණේ සිනමා නිර්මාණකරුවෙකු වෙන්නයි. චිත්‍රපටි හදන්න, ඒවට සංගීතය  පැත්තෙන් අත්හදා බැලීම් කරන්නත් වුවමනා වෙලා තිබුණා. ප්‍රින්ස්ටන් වල උසස් පාසලේ ඉන්න කාලේ ප්‍රමුඛ පෙළේ ජෑස් වැඩසටහනක් තිබුණා. පුංචි හෝ සංගීත හැකියාවක් තියෙන ඕනම කෙනෙක්ගේ ලොකුම බලාපොරොත්තුව වුණේ ඒ කණ්ඩායමට ඇතුල් වීමයි. මේක පාසල් සංගීත කණ්ඩායමක් වුණත් විශ්වවිද්‍යාල සංගීත කණ්ඩායමකට වඩා ඉදිරියෙන් තිබුණා. දේශීය මට්ටමින් තිබුණු සුවිශේෂී වැඩසටහනක් ලෙස මෙය හඳුනාගන්නට හැකියි. ඉතිං, මම විනෝදාංශයක් විදියට ඩ්‍රම් ගහන්න පුහුණු වුණා. අවසානයේදී මේ විනෝදාංශය මගේ ජීවන විලාසය වගේම ජීවිතයට දැඩිව බලපෑ අත්දැකීම බවට පත්වුණා.

ඒ සංගීත ශිල්පියා පසුකාලෙක සිනමා නිර්මාණකරුවෙකු බවට පත්වෙනවා. ඒ ගැන සිහිපත් කළොත් ?

අනිවාර්යයෙන්ම. මං සිනමාවට දැඩිව ඇළුම් කරනවා. ඒ ඇර වෙන කිසිම දෙයක් කරන්න වුවමනාවක් තිබුණේ නැහැ. හැමදේම සර්වසම්පූර්ණ විය යුතු බව හා මගේ ජීවිතයට සංගීතය දැඩිව බලපෑ ඇති  අදටත් මගේ විශ්වාසයයි. ඩ්‍රම්ස් වාදනය මගේ ජීවිතයට කොයිතරම් නම් බලපෑවද කිව්වොත් එය මාව පෞරෂවත් තරුණයෙකු බවට පත්කළා. ඒ වගේම මගේ සංගීත උපදේශකතුමා ඇතිකරපු බලපෑම ගැනත් සිහිපත් කළයුතුයි. වාදන ශිල්පියෙකු විදියට මට වැදගත් වුණේ ප්‍රේක්ෂකයින් හෝ මාව සතුටු කිරීම නොවෙයි. මගේ ගුරුවරයව සතුටු කිරීමයි. මගේ හැම අරමුණක්ම, හීනයක්ම යොමුවී තිබුණේ ඔහු වෙතටයි. ඇත්තටම, මේ හරහා පුද්ගලයකුට දැවැන්ත බලයක් ලබාදෙනවා. මගේ Whiplash සිනමාපටය හරහා පසුකලෙක ඉදිරිපත් කරන්න උත්සහ කළෙත් එයයි.

 එදා හා අද ගැන කතා කළොත් ?

හ්ම්, ඒ පරිසරයේ ඉඳලා අද වෙද්දි වසර 10 ක් ගතවෙලා තිබෙනවා. ආපහු හැරිලා බලද්දි ඇත්තටම දිගු කාලයක්. ඒ අතරතුර කාලයේදී සිද්ධ වුණු දේවල් ගැන පැහැදිලි අදහසක් නැහැ. ඒ වගේම ගතවෙලා ගියපු ඒ කාලය වෙනුවෙන් අපට කිසිවක් කරන්න ලැබෙන්නෙත් නැහැ. ඒ කාලයේදී වාද්‍ය වෘන්දයක් ගැන හිතන්න වෙලාවක් තිබුණේ නැහැ. උපදේශකවරයා කාමරයට එන හැමවෙලාවකදීම හදවත ගැහෙන්න ගන්නවා. හැම පුහුණුවකදීම නොමැරී බලා ඉන්නට සිද්ධවෙනවා වගේ හැඟීමක් දැනෙන්න ගත්තා. ඒත්, අද මම ඉන්නේ වෙනමම තැනක.



සංගීතඥයකු වීම හරිම අසීරුයි, ජෑස් සංගීතඥයකු විදියට ජීවත්වීම ඊටත් වඩා අසීරුයි

ජෑස් වලට කැමති අය බොහෝ විට පුහු වැඩ කරන අය විදියට ප්‍රසිද්ධයි. ඔබ ඔබ සමගම අරගල කරන්නේ ඒ නිසාද ?

මං හිතන්නේ එහෙමයි. ජෑස් සංගීතයට සවන්දෙන සාමාන්‍ය මිනිස්සු ඒ වෙනුවෙන් කිසිම සේවයක් කරන්නේ නැහැ. ජෑස් වලට තදින්ම සවන්දෙන පිරිස ඇහුවොත්, ඇයි සාමාන්‍ය මිනිස්සු ජෑස් වලට සවන්නොදෙන්නේ කියලා, ඒකට උත්තර වෙන්නේ ඔවුන් එහෙම කරන්නේ ඔවුන් ගැනම බලන්න වුවමනා නිසයි. ජෑස් වලට සවන් දුන්නු කෙනෙක් විදියට මාත් එවැනි පිරිස් වලට ටිකක් විතර අනුකම්පා කරනවා. ඒත් ඔබටත් සහකම්පනයක් දැනෙන්න ඕන.

ජෑස් සංගීතඥයින් අළලා නිර්මාණය වුණු Guy and Madeline on a Park Bench සිනමාපටයේදී බොහොම රසවත් අත්දැකීම් රැසකට මුහුණදුන්නා. සංගීතඥයකු වීම හරිම අසීරුයි, ජෑස් සංගීතඥයකු විදියට ජීවත්වීම ඊටත් වඩා අසීරුයි. පහුගිය පරම්පරාවේ ජෑස් සංගීතඥයින්ට මං දැඩිව ඇළුම් කරනවා. ‘රොක් සංගීතඥයෙකු නෝට්ස් තුනක් වාදනය කරලා මිලියනයක් උපයද්දි ජෑස් සංගීතඥයෙකුට ඩොලර් තුනක් උපයන්න නෝට්ස් මිලියන ගාණක් වාදනය කරන්න වෙනවා.‘ ජීවත්වීම අතිදුෂ්කර වුණත් තමන්ගේ මහන්සිය ගැන ජෑස් සංගීතඥයින් හාස්‍ය මුසු විදියට කතා කළේ එහෙමයි.

ඔබ මුලින්ම නැරඹූ සංගීතමය සිනමාපටය කුමක්ද ?

මගේ මතකයේ රැඳිලා තියෙන්නේ The Wizard of Oz ඩිස්නි සිනමාපටය. ඇත්තටම, මට වයස අවුරුදු 18 – 19 වනතෙක් සංගීතමය හොලිවුඩ් සිනමාපට ගැන අදහසක් තිබුණේ නැහැ. ඒකත් වයසක් එක්ක දැනෙන දෙයක්. අද ඉන්න තරුණ ළමයෙක්ට Singing in the Rain සිනමාපටය අනිවාර්යයෙන්ම ඔවුන් සතුටු වේවි. ඒත්, එක වයසකට ආවම තවදුරටත් එවැනි සිනමාපටයන් රසවත් නිර්මාණ විදියට දැනෙන්නේ නැති මෙහොතක් එළඹෙනවා. මුල්කාලයේදී සංගීතමය සිනමාපට වලට එතරම් කැමැත්තක් මා තුළ තිබුණේ නැහැ. අතරමැද්දේ සිංදු ඇහෙන එක දැනුණේ වදයක් විදියටයි. නව අත්හදාබැලීම් සමගින් මං චිත්‍රපටි වලට පිවිසුණා. Maya Deren වගේ පර්යේෂණාත්මක නිර්මාණකාරිනියක්, Fred Astaire වගේ නර්තන ශිල්පියෙකු හා Ginger Rogers වැනි නර්තන ශිල්පිනියක් නැත්නම් Busby Berkeley වැනි නිර්මාණකරුවෙක් වගේ අයගේ සිනමාපට ගත්තම එවැනි සිනමාපටයන් පෙරටුගාමී පරපුරේ නිර්මාණ බව හඳුනගන්නට හැකියි.

හොලිවුඩ් චිත්‍රාගාර වල  බොහොම ලස්සන, අභිමානවත් වගේම ආකර්ශණීය නිර්මාණ පවතිනවා. ඒ නිර්මාණයන් සිනමා ෂානර වලට පවා අභියෝග කරනවා. ඒ අකීකරුකමම තමයි මගේ නිර්මාණ වල මූලාරම්භය වෙන්නෙත් සමහර වෙලාවට මේ නිර්මාණ කිරීමේ දුෂ්කර බව මට  නොදැනුණා නොවේ.

ඔබේ සියලුම නිර්මාණ වලින් පාහේ කතාබහ කර තිබෙන්නේ සමාජය ගැනයි. ඔබේ නිර්මාණ හරහා ලෝකයට ඉදිරිපත් කරන දේවල් ගැන කවදහරි විශේෂයෙන් සැලකිලිමත් වී තිබෙනවද ?

ඔව්, විශේෂයෙන්ම La La Land සිනමාපටය. මේ සිනමාපටය හරහා එහි හිණිපෙත්තටම ගිය බව මට දැනුණා. La La Land සිනමාපටය වගේ අන් කිසිම නිර්මාණයක් ගැන මං වියවුලට පත්වෙලා නැහැ. මෙය පළමු වරට ප්‍රදර්ශනය කරපු සවස ඒ බව මගේ හදවතට දැඩිව දැනෙන්න ගත්තා. අඩු තරමේ මට හරි හැටි නිදාගන්නවත් නොහැකි වුණා. ඒත්, මෙවැනි අත්දැකීම් කියන්නෙම තව තවත් නිර්මාණ කරන්න අපිව පොළඹවන සිදුවීම් බව නම් නොරහසක්.

 



La La Land සිනමාපටය හරහා මූලික වශයෙන් ඔබ කතාබහ කරන්න උත්සහ කළේ මොකක්ද ?

ආදරය කරන උදවිය හා  අපේ හීන වලට අප දක්වන කැපවීම, ඒ වගේම ඒ තුළ බිහිවෙන කලා නිර්මාණ ගැන මෙහිදී කතාබහ කරන්න උත්සහ ගත්තා. මේ ගැටුම සාම්ප්‍රදායික ජෑස් පියානෝ වාදකයකු වුණු  සෙබස්තියන් කියන චරිතය තුළ හඳුනගන්නට හැකියි.

La La Land සිනමාපටය සංගීතමය සිනමාපටයක් ලෙස නිර්මාණය කිරීමේදී ඔබේ අරමුණ වුණේ මොකක්ද ?

අතීතයේ දේවල් ආයෙත් මතක් කරන්න ගියාම  නැතිවුණු දේවල් වගේම හා නොනැසී පවතින දේවල්  ඇති බව මට දැනෙනවා. ඒ වගේම ඇත්තටම මගේ මූලික අරමුණ වෙලා තියෙන්නේ ඒ දේවල් අලුත් කරන්න උත්සහ දැරීමයි. ඒ සම්ප්‍රදායට අලුත් අර්ථකතනයක් එක්කිරීමයි. මේ නිසා සිනමාපටය නිශ්චිත කාලයකදී දිගහැරෙන ලෙස නිර්මාණය කළා. මීට නවීනත්වයත් එක්කළා. මොකද අද පවතින කැමරා ශිල්ප ක්‍රම හරහා අලුත් දේවල් එකතු කරන්න හැකියාව තියෙනවා. 50 දශකයේ සංගීත ඇසුර ලබාගනිමින් නවීන අංග ද එක්කර අද ලෝකයට ගැළපෙන විදියේ නිර්මාණයක් කළා.



La La Land හරහා යථාර්තය නැවත නිෂ්පාදනය කරන්න හැකිවුණා

 

ඔබේ කළ මේ උත්සහය ප්‍රේක්ෂකයින් අතරට ගිය බව හොඳටම විශ්වාසද ?

70 දශකයේ නිර්මාණ ගත්විට  ඒ තුළ යථාර්තය දැකගන්නට හැකිවුණා. La La Land හරහා යථාර්තය නැවත නිෂ්පාදනය කරන්න හැකිවුණා. සිනමා නිර්මාණයකදී සිද්ධවෙන්න ඕන එයයි. පරණ හොලිවුඩ් සිනමාපට ගත්තම, දැවැන්ත චිත්‍ර ඇඳ තිබුණු පසුබිම් දර්ශන, හැබෑ ජීවිතේ ඉන්න මිනිස්සුන්ට වඩා වෙනස් විදියට කතාබහ කරන, හැසිරෙන මිනිස්සු දැකගන්නට හැකිවුණා. ඒ වගේම පරණ තාලේ සිනමා තරු කියන අදහස එකල තිබුණා. මේ සිනමාපටය ඊට වඩා වෙනස්.

සංගීතමය සිනමාපට හා ඒ මඟ අනුව යමින් නිර්මාණය වුණු La La Land ගැන කිව්වොත් ? 

වෙනස් අන්දමේ ඕනෑම නිර්මාණයක් සිදුකිරීම තරමක් අසීරු කටයුත්තක්. ඒ අතරින් සංගීතය මුසුවුණු නිර්මාණයක් කිරීම  මූල්‍යමය වශයෙන් බැලුවත් ඇත්තටම අසීරුයි. කලින් තිබුණු ජනප්‍රියත්වයත් උපයෝගී කරගනිමින් මේ නිර්මාණ දියත් කරන්න අපිට සිද්ධවෙනවා. මේ අතරින් සමහර නිර්මාණ ගත්තම ඒවා අතිවිශිෂ්ඨ නිර්මාණ ලෙස හඳුනගන්නට හැකියි. නමුත්, මේ අදහස නැතිවුණොත් ඒක පොදු කාරණයක් බවට පත්වෙනවා. සංගීතය හා සංගීතමය  බව තිරයේදී අනිවාර්යයයෙන්ම තේරුම්ගන්නට සිද්ධවෙනවා. ඇත්තටම මේක දෙකක්. ස්වර සංවාදයේදී මේ ක්ෂේත්‍රයන් සැබැවින්ම නැමෙනවා හරියට Jacques Demyගේ සිනමාපට වලදී වගේ.



La La Land  මෙන්ම Whiplash සිනමාපටයේ තේමාව බවට පත්වී තිබෙන්නේ සිහින හඹායෑම හා ඒ සිහින සැබෑ නොවුණු විට දැනෙන අසාර්ථකත්වය ගැනයි. නිර්මාණකරුවෙකු විදියට ඇත්තටම ඔබටත් එවැනි හැඟීම් දැනුණු අවස්ථා තිබෙනවද ?

ඇත්තටම, මේ තේමාව මට සමීපයි.  La La Land සිනමාපටය රචනා කරන විට එය මට ස්පර්ශ කරන්න හැකිවුණා. දෙයක් හොඳට වෙනවද නැද්ද කියන එක තුළ පරාජයක් තියෙනවද ? බලාපොරොත්තු කඩවීමක් තිබෙනවද කියා මට දැනෙනවා. කලාකරුවෙකු විදියට අපි කරන නිර්මාණයක් සමහරවිට අපේ ගැළවීමේ මඟ  වෙන්නටත් හැකියි. ඒ වගේම අනික් පැත්තෙන් බැලුවොත් නිර්මාණයක් නිසා අන්ත පරාජයක් අත්වෙන්නත් පුළුවන්. කොහොම වුණත්, ජීවිතයෙන් පලායන්න කාටවත් බැහැ. අනිවාර්යයෙන්ම අපිටත් වාරයක් හිමිවෙන මොහොතක් තියෙනවා. විශේෂයෙන්ම, ලොස් ඇන්ජලීස් වගේ නගරයක් ගත්තොත් කොහොමටවත් පලායන්න හැකිවෙන්නේ නැහැ.  ඒ අත්දැකීමේ අකාරුණික බව ග්‍රහණය කරගන්න ඇත්තටම මට වුවමනයි.

La La Land හා Whiplash කියන සිනමාපට ගත්තොත් මේ දෙකේම අවසානය අතිඋත්කර්ෂවත් විදියට නිර්මාණය වී තිබෙනවා. සිනමාපටයක අවසානය ගැන ඔබෙන් දැනගන්න කැමතියි ?

මේ සිනමාපට දෙකේදීම දැකගන්නට හැකිවෙන්නේ තරමක සංකීර්ණ බවක් තියෙන භාවාත්මක අවසානයක් නිර්මාණය කරන්න ගත්ත උත්සහයයි. ඕනෑවට වඩා ආදරයෙන් පිළිගැනීමත් බොහෝ සිනමාපට වල අවසානය විකෘතියක් වෙන්න හේතුවිය හැකියි. හැමවිටම සිනමාපටයක් ක්‍රමයෙන් අඳුරට හැරිලා අවසන් කරන්න මං කැමතියි. ඒ වගේ වෙලාවකදී මට හිතෙන්නේ ‘මොන විකාරයක්ද ?. තව පැය භාගයක් වත් තියෙන්න ඕන‘ කියලයි. ‘ඒ ෆිල්ම් එක අවසන් වෙන විදිය නම් මරු‘ කියලා හිතෙන සිනමාපට තියෙන්නේ කලාතුරකින්. වැදගත්ම දේ වෙන්නේ අපිට මේ හැඟීම දනවන්නට හැකිවෙන්නේ සිනමාපට වලින් පමණක්මයි. පොතකදී නම් පොතේ අවසාන පිටුව පෙරළා බලන්න අපිට පුළුවන්. ඒත්, සිනමාපටයක අවසානයකදී අපි පුදුමයට පත්වෙන්නට හැකියි.

La La Land  සිනමාපටයේදී Emma Stoneහා Ryan Gosling අපූරුවට නර්තනයේ හා ගායනයේ යෙදෙන අයුරු දැකගන්නට හැකියි. නමුත්, ඔවුන් Ginger Rogers හා Fred Astaire තරම් විශිෂ්ඨයින් නොවන බව පැවසෙනවා. ඒක ඇත්තටම සැලකිල්ලෙන් කරපු තෝරාගැනීමක්ද ?

ඔවුන් දෙදෙනාගේ රංගනය ගැන කතාකරන්න කලින් සංගීමය සිනමාපට ගැන කිව යුතුයි. අපි සංගීතයට එතරම් විවෘත වී නැහැ. සංගීතමය සිනමාපටයකදී ප්‍රේක්ෂකයින්ගෙන් අඩක්ම ඉන්නේ කුමක් හෝ මඟහැරේවි කියන දෙගිඩියාවෙනුයි, ඇත්තටම, සංගීතමය සිනමාපට කියන්නේ  වඩාත්ම සැබෑ සිනමා ශානරයයි. මොකද ඒවා භාවාත්මක වශයෙන් සත්‍යයයි. හැබෑම විදිය ඒක නොවුණත් ලෝකය අපට දනවන විදිය වෙන්නේ එයයි. ඒ හැඟීම ගන්න අපිට මායාවන්ගෙන් හා පිට ඔපයන්ගෙන් ගැලවෙන්න සිද්ධවෙනවා. ප්‍රේක්ෂකයෝ විදියට ඔවුන් කරන්නේ මොකක්ද  යන්න ගැන දනවන්න මෙහිදී සිද්ධවෙනවා. මේ කාරණයේදී Emma හා Ryan අනිවාර්යයයෙන්ම සියුම් විදියට ඔවුන්ගේ රංගනය ඉදිරිපත් කළ යුතු වෙනවා. සිනමාපටයේ රූගත කිරීම් වලදී වත් මෙහි පුහුණුවීම් පිටස්තර පාර්ශ්වයන් වලට දැකබලාගන්න ඉඩ දෙන්න මට කොහොමටවත් වුවමනා වුණේ නැහැ. මොකද, ඒක ඇත්තටම නාට්‍ය තරඟයක් නොවෙයිනේ. කොහොම වුණත්, La La Land සිනමාපටයේ සුළභත්වය හා අදාළත්වය ගැන සතුටට පත්වෙනවා.



සිනමාපටය පුරාවටම Emma Stone හා Ryan Gosling අතර සුවිශේෂී සම්බන්ධතාවකුත් දැකගන්නට හැකියි. ඒ ගැන හිතෙන්නේ මොනවද ?

ඇත්තටම ඔවුන් දෙදෙනා අතර එක හා සමාන රංගන විලාසයක් තියෙනවා. ඔවුන් චරිතයකට පිවිසෙන්නේ හා රංගනයේ යෙදෙන්නෙත් එකම අන්දමකටයි, ඒවගේම ඔවුන් ලබා තියෙන පුහුණුවත් එක සමානයි. ඔවුන් දෙදෙනාම එකම අන්දමේ දක්ෂතාවයෙන් යුතුව රංගනයේ යෙදෙන්නත් හේතු වෙන්නේ එයයි. රංගනය තුළ දී ඔවුන් ස්වයං ප්‍රතිභාවන් විදහා පෑවත් ඔවුන් කතාකරන්නේ එකම භාෂාවක්. අතිවිශිෂ්ට හා ප්‍රතිසංවාදමය ස්වභාවයක් ඔවුන්ගේ රංගනය තුළ දැකගන්නට හැකියි. ඒවගේම හැබෑ ජීවිතයේදී මේ දෙන්නා හොඳ මිතුරන්. තිරයෙන් පිටතදීත් හොඳ සබැඳියාවක් තියෙන පුද්ගලයින් එක්ක වැඩකරන්න ලැබීම අමතර වාසියක් විදියට හඳුනගන්නට හැකියි. මේ දෙන්නටම ඕන එකිනෙකාට උදව් කරගන්නටයි. ඒ වගේම ඊට කලින් රඟපෑ සිනමාපට තුළිනුත් ඔවුන් අත්දැකීම් ලබාගෙන  තියෙනවා. ප්‍රේක්ෂකයින් පවා ඔවුන් දෙදෙනා එකට ඉන්නවා දැකීමෙන් සතුටක් ලබනවා.

එක් කලෙක සිනමා ඉතිහාසයේදී සොඳුරු සැමරුම් තියෙන සිනමා ෂානරයක් නවීන ලෝකය තුළ නිර්මාණය කරද්දී මොනවගේ අභියෝග වලට ද ඔබට මුහුණදෙන්නේ සිදුවුණේ. ?

නිර්මාණයක් ඉදිරිපත් කිරීම හා එය රසවිඳීම කියන අභියෝගයට මෙහිදී මුහුණදෙන්න සිද්ධ වුණා. නමුත්, එහිදී ස්වර ගැන අනිවාර්යයෙන්ම දැනසිටිය යුතු වුණා. නැත්නම්, එය අභියෝගයක් විය හැකිව තිබුණා. අපි ආදර්ශයන් ගන්න පරණ සිනමාපට වල ආභාසයත් ලබාගෙන තමයි මේ සිනමාපටය නිර්මාණය වෙන්නේ. නමුත්, අවසානයේදී, සිනමාපට වලට මං බොහෝ සේ ඇළුම් කළත් ඒ නිර්මාණය එලෙසම තිබෙන්නට හරින්න අපි ඉඩහරින්න ඕන.

ලොස් ඇන්ජලීස් නගරයේ තිබුණු හැබෑ දර්ශන තලයන් වල රූපගත කිරීම් සිදුකරන්නට ලැබීමත් මහත් භාග්‍යයක් වුණා, රංගන ශිල්පීන් අනෙකුත් සංගීතමය සිනමාපට වල දකින අන්දමට හැඩ වැඩ වී ඉන්නවා මෙහි දැකගන්නට නැහැ. අපේ නිෂ්පාදන සැලසුම් ශිල්පියාගේ සහයෙන් යුතුව සමහර දේවල් ඉතිරි කරන්න වගබලා ගන්න හැකිවුණා. පාරවල් වල තිබෙන වර්ණ, මඩ වළවල්, ජල කාන්දුවීම්, රථ වාහන තදබදය, නැත්නම් දුරකතන වයර්, රථ ගාල් හෝ ගෑස් ස්ටේෂන් වෙන්න පුළුවන්. අපි මැජික් විදියට නොසිතන එවැනි ඕනම අන්දමේ දෙයක් යොදාගෙන ඒවා මැජික් බවට පත්කරන්න හැකිවුණා. La La Land වලදී හැබෑ නගර වගේම නගරයේ හැබෑ පෙනුමත් තිරය මතට ගෙනඑන්නට අපි උත්සහ ගත්තා.



ස්ටුඩියෝහි රූපගත කර තිබෙන දර්ශන සිනමාපටය පුරා දැකගන්නට හැකියි. විශේෂයෙන්ම, මෙවැනි ශිල්ප ක්‍රමයක් යොදාගන්න ඔබට වුවමනා වුණේ ඇයි දැයි යන්න අවසාන වශයෙන් ඔබෙන් දැනගන්නට කැමතියි ?

මම සිනමාපට වලට දැඩිව ඇළුම් කළ කෙනෙක්. ඉතිං, මං ලොස් ඇන්ජලීස් වලට ගියේ සිනමාපට නිර්මාණය කරන්නයි. ලොස් ඇන්ජලීස් වලට ගිහිං මේ වෙද්දි අවුරුදු 9 ක් විතර වෙනවා. එක පැත්තකින් බැලුවම ලොස් ඇන්ජලීස් කියන්නේ ලොකු ඉතිහාසයක් නැති, තාමත් තරුණ වියේ ඉන්න, තමන් කවුරුන්දැයි යන්න හොයාගන්න උත්සහ දරන නගරයක්. නමුත්, මට අනුව නම් ලොස් ඇන්ජලීස් වල ඉතිහාසය ගැන කියන්න බොහෝ දේ තියෙනවා. ලොස් ඇන්ජලීස් නගරය සිනමාව හා සිහින නිර්මාණය  කිරීමේ කාර්යයට දැඩිව සම්බන්ධ වෙලා තියෙනවා. ඉතිං, ඒ නිසාම ලොස් ඇන්ජලීස් වල තියෙන ස්ටුඩියෝ නැත්නම් පරණ සිනමාපට ගැන මං අනිවාර්යයෙන්ම හිතනවා. ඒක පුදුමයක් නෙමෙයි.

 

අනුවර්තනය -  වින්ධ්‍යා ගම්ලත්

(ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රකාශනයක් වන ''චිත්‍රපට' සඟරාවේ 2018 වසරේ දෙවන කලාපයේ පළවූවකි)

0 comments: