Hot!

‘‘මා මාක්ස්වාදියෙකු නොවුණේ මාක්ස් ගැන හදාරපු නිසයි‘‘ - නවාල් අල් සඩාවි

ස්ත්‍රීවාදිනියක, ලේඛිකාවක, වෛද්‍යවරියක, මනෝ වෛද්‍යවරියක වන නවාල් අල් සදාවි පීතෘමූලික සමාජය ගැන හඬ නගන්නියකි. ඉස්ලාම් දහම තුළ කාන්තාවන්ට හිමිවන තැන පිළිබඳ මෙන්ම ස්ත්‍රී ලිංග ඡේදනය ගැන ද කතාබහ කරන ඇය, ‘අරාබි ලොව සීමොන් දි බොවාර්‘ යන අන්වර්ථ යමින් හැඳින්වෙයි. මේ වනවිට සිය දිවියේ 86 වන කඩඉම පසුකරමින් සිටින ඇය Arab Women’s Solidarity සංගමයේ නිර්මාතෘවරිය මෙන්ම සභාපතිනිය ද වන අතර Arab Women’s Solidarity සංගමයේ සමාරම්භිකාවක ද වෙයි. මෙහි පළවන්නේ Channel 4 පුවත් හි Ways to Change the World වැඩසටහනට ක්‍රිෂ්ණන් ගුරු මූර්ති ඇය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවේ සිංහල අනුවර්තනයේ දෙවන කොටසයි. 

 

ඔබ, ඔබව මනුෂ්‍ය ප්‍රාණියෙක් විදියට දුටුවත් හැමදේටම විරුද්ධ වන කෙනෙකු ලෙසත් දකින බව කිව්වා පැවසුවානේ ?

ඔව්

කාන්තාවන් වගේම කුඩා දරුවන් දස දහස් ගාණක් ඔබව ස්ත්‍රීවාදිනියක් ලෙස මෙන්ම ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ ප්‍රබල චරිතයක් ලෙස හඳුනාගෙන සිටිනවා. ඔබ ලියූ ලේඛනයන් දශක ගණනාවක් තිස්සේ අධ්‍යයනයට ලක්වෙනවා. ඔබ පුරුෂ මූලික සමාජයේ අසාධාරණය ගැන ලියන්න තීරණය කළේ මොන මොහොතකදීද ?

හ්ම්, මගේ කුඩා අවදියේ සිට ජීවිතයේ හැම තැනකදීම කෘතියක් රචනා කිරීමේ උනන්දුවක් තිබුණා. අවුරුදු 13 දී විතර ඉඳන් මගේ අතේ රහස් දිනපොතක් තිබුණා. එය පසුකලෙක මුද්‍රණයට පත්වුණා. පුරුෂමූලිකයි කියන්නේ මොකක්ද ? පිරිමින්ට වැඩි වරප්‍රසාද හිමිවීම, සුවිශේෂී ධෛර්යයක් හිමිවීම, බලගැන්වුණු නීතියක් හිමිවීම. පිරිමියෙකු - පිරිමියෙකු වීම නිසාම ඔහුට ආධිපත්‍යයක් හිමිවීම යන්නයි.

ඉතිං, ස්ත්‍රීවාදය කියන්නේ මට අමුතුවෙන් අධ්‍යයනය කරන්න සිද්ධවුණු දෙයක් නෙමේ. ස්ත්‍රීවාදය කියන්නේ මොකක්ද කියලාවත් නොදැන ගැහැණු ළමයින් ස්ත්‍රීවාදිනියන් බවට පත්වෙනවා. මගේ දෑතට පෑනක් ලැබුණු හැම මොහොතකදීම මගේ ප්‍රශ්න, ගැහැණු ළමයින්ගේ ප්‍රශ්න, මගේ සොහොයුරියන්ගේ ප්‍රශ්න ගැන ලියන්න පටන්ගත්තා.

ඔබ ලේඛනයේ යෙදුණේ හුදෙක් ඔබ ගැනම කියන්නද ? නැත්නම් පවතින දේ වෙනස් කරන්න වුවමනා වුණු නිසාද  ? 

ඇත්තටම, පළවෙනි කාරණේ මගේ හැඟීම් ප්‍රකාශ කිරීම. කුඩා වියේදී පවතින දේ වෙනස් කළයුතුයි යන්න ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. මා වගේම මට දැනුණු තරහ, බිය, බොළඳකම මේ හැමදේම ලෝකයට විදාරණය කරන්න අවශ්‍ය වුණා. ඒ දේවල් වලින් නිදහස් වෙන්න වුවමනා වුණා. වෛද්‍ය විද්‍යාව හදාරලා ලෝකය ගැන දැනහඳුනාගත්තට පස්සේ මා මේ දේවල් වෙනස් කළයුතු බව හිමිහිට දැනෙන්න ගත්තා. මුළු ලෝකයම වෙනස් කරන්න වුවමනා වුණා.

ඔබට වෙනස් කරන්න ඕන වුණේ මොනවද ?

මා ගිය හැමතැනකම තිබුණේ අසාධාරණය. තබන තබන හැම පියවරක් පාසාම අසාධාරණය දකින්න ලැබුණා. ගෙදරදි,  වෙනත් පිරිමි ළමයින් මට පාරේදි සැලකුව විදිය තුළ පවා මේ අසාධාරණය දැකගන්න හැකිවුණා. ගැහැණු ළමයෙක් පාරේ නිදහසේ එහෙ මෙහේ ගිය නිසත්, මං  ගැහැණු ළමයෙක් වීම නිසාම පාසල් යනකාලේදී කොල්ලෝ මගේ පපුවට ගල් ගැහුවා. දැඩි වික්ෂිප්තයට පත්වුණු මම ගල් අතට අරන් ඒ පිරිමි ළමයිට ගහන්න පටන්ගත්තා. බොහොම වියරු වැටුණා. ඔවුන් වගේම මාත් වියරු වැටිලා ඉන්න බව දැනගත්තම ඔවුන් මට බියවුණා. ඔවුන් ආයේ කවදාවත් මට ගල් ගැහුවේ නැහැ. මං විරුද්ධකාරියක් වුණේ ඒ නිසයි. මට ගහන අයට මාත් ගහනවා.

 



ලෝකය වෙනස් වුණු බව ඔබේ වෘත්තීන් ඇතුළේදී අත්විඳ තිබෙනවාද ?

ඔව්, අනිවාර්යයෙන්ම. ද්විතීක පාසලේ ඉගෙනගන්නා කාලේදී, වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගන්නා කාලේදී ලෝකය වෙනස් කරන්න වුවමනා වුණා. නමුත්, උපාධිය ලබාගත්තට පස්සේ කාන්තාවන්ව සංවිධානය කරන්න පටන්ගත්තා. එවැනි සංවිධානයකින් අත්පත් කරගත හැකි ප්‍රතිලාභ ගැන තේරුමක් තිබුණා. අපිට තනිව ලෝකය වෙනස් කරන්නට බැහැ, හැමෝම එකතු වෙන්න ඕන. මේ සංවිධානගත වෙන පිරිස කාන්තා අයිතීන් ගැනත් දැනගත යුතුයි, කාන්තා අයිතීන් ගැන මා රචනා කරන්න ගත්තේ ඒ නිසයි. එය ක්‍රම ක්‍රමයෙන් පටන්ගත්තා.

ඔබට එවැනි කාන්තා සංවිධානයක් තිබෙනවාද ?

ඔව්, තිබුණා. ආණ්ඩුව ඒක තහනම් කළා.

ඒ ඇයි ?

මගේ විරුද්ධවාදී බව වැඩිවුණා. ආණ්ඩුව මාව සිරගත කළා. ජීවිතේ ගෙවද්දි වගේම කියවද්දිත් මේ අසාධාරණ බව මට දැඩිව දැනෙන්න ගත්තා.

ඔබේ සංවිධානයේ අරමුණු වුණේ මොකක්ද ?

කාන්තාවන් නිදහස් කරගැනීමයි.  එහි අරුත ලිබරල් ස්ත්‍රීවාදිනියන් යන්න නොවේ. කාන්තාවන්ව ආර්ථිකමය, සමාජයීය, ශාරීරික, ආගමික මෙන්ම මානසික වශයෙන් ද නිදහස් තැනැත්තන් බවට පත්කළ යුතුයි යන්නයි.  අපි ඵෙතිහාසික සමාජවාදී ස්ත්‍රීවාදය, ඉතිහාසය හැදෑරුවා. කාන්තාවන් හැම රටකම ජීවත්වෙනවා. ඔවුන් සෑම ආගමක් තුළම කැරලිගහනවා. ඉන්දියාව, ඊජිප්තුව - හින්දු දහම, යුදෙව් දහම, කිතුදහම, ඉස්ලාම් වැනි ආගම් ඇතුළේ ඔවුන් සිය අයිතීන් වෙනුවෙන් සටන් කරනවා. ස්ත්‍රීවාදය යන්න බටහිර සොයාගැනීමක් වත් ඇමරිකානු කාන්තාවන් විසින් හොයාගත්තු දෙයක් වත් නොවේ. ස්ත්‍රීවාදය බිහිවෙන්නේ ලෝකය පුරා ඉන්න කාන්තාවන් කළ අරගලය තුළිනුයි. ඉතිං එය ඵෙතිහාසිකයි. පංති පීඩනයට විරුද්ධ නිසා එය සමාජවාදියි, ධනවාදයට විරුද්ධයි. මොකද ධනවාදය පීතෘ මූලිකවාදයට සම්බන්ධයි. අපි පිරිමින්ට විරුද්ධ නැහැ, නමුත් පීතෘමූලිකවාදයට විරුද්ධයි. ආර්ථිකය, ආගම, සංස්කෘතිය, විද්‍යාව මේ හැමදේම තුළම විසිරී තිබෙන පිරිමින්ගේ ආධිපත්‍යයට විරුද්ධයි.



බලයට කෑදර මිනිස්සු මේ සංවිධානයට බිය වුණා ?

ඔව්, අනිවාර්යයෙන්ම. අපේ සංවිධානය තහනමට ලක්කළේ ඒ නිසයි. අපි විප්ලවයක් කරන්න ඔන්න මෙන්න කියලා හිටියේ. මේ තුළ කාන්තාවන්ම පමණක් හිටියේ නැහැ. අපේ සංවිධානයට සම්බන්ධ වී හිටිය 40 % ක්ම පිරිමි අය.

පිරිමි අයත් සම්බන්ධ වී හිටියා ?

ඔව්, තරුණයින් 40 % ක් හිටියා. ඔවුන් මේ කාරණා ගැන පුදුම සහගත උනන්දුවක් දැක්වූවා.

ඔවුන් මේ සංවිධානය වටා එක්වී හිටියේ ඇයි ?

පීතෘමූලික සමාජය ඇතුළේ පිරිමින් ද පීඩාවට ලක්වන බව ඔවුන්ට දැනී තිබුණා. ඒ පීතෘමූලික සමාජය තුළ පීඩනයට ලක්වුණේ කාන්තාවන් පමණක් නොවෙයි. පංති විෂමතාවය, ධනවාදය ඔවුන්ව පීඩාවට ලක්කර තිබුණා. පංති පීඩනය හා කාන්තාව පීඩාවට ලක්වීම අතර තිබුණු සබැඳියාව යන කාරණය ගැන උනන්දුවක් මොවුන් තුළ තිබුණා. ඔවුන් බොහෝ දෙනෙකු සමාජවාදීන් වගේම සමහර අය මාක්ස්වාදීන් වී සිටියා. නමුත්, සමහර මාක්ස්වාදීන් අපේ සංවිධානය සමග සම්බන්ධ වුණේ නැහැ. කාන්තාවන්ට විශේෂ තැනක් හිමිවිය යුතු නැති බව ඒ පිරිසගේ විශ්වාසයයි. අප කොමියුනිස්ට් සමාජයක් කරා ගියොත් කාන්තාවන් ඉබේම ලිබරල් වනු ඇති බව ඔවුන් දැඩිව විශ්වාස කළා. අපි ඒ මතයට එකඟ වුණේ නැහැ. නමුත්, පංති පීඩනය - ආර්ථික පීඩනය යන කරුණු කාන්තාවන් පීඩාවට ලක්කිරීම, ලිංගිකත්වය නිසා පීඩාවට ලක්කිරීම ආදියට සම්බන්ධ කිරීමට වුවමනා වුණු තරුණ වියේ පසුවුණු සමාජවාදීන් අප වටා සිටියා.

ඔබ මාක්ස්වාදිනියක් නොවුණේ ඇයි ?

මං මාක්ස්වාදය කියවලා තිබුණු නිසා. (සිනාසෙමින්). ඇත්තටම, මාක්ස්වාදීන් යැයි තමන්ටම කියාගන්නා මිනිස්සු කිසිදාක ඔහු ගැන හදාරලා නැහැ. මං ආගම ගැන හදාරපු නිසා ආගම්වාදිනියක් වුණේ නැහැ. අප ආගම ගැන හදාරන්න, හදාරන්න නිරාගමික කෙනෙක් බවට පත්වෙනවා. කෙනෙක් මාක්ස් ගැන ගැඹුරින් හැදෑරුවොත් ඒ තැනැත්තා මාක්ස්වාදියෙක් නොවේවි. මොකද මේ න්‍යායන් ඇතුලේ තියෙන්නේ මොනාද, ඒවගේ බලපෑම මොකද්ද යන්න ගැන වගේම පරස්පර දෑ ගැනත් ගැඹුරු අවබෝධයක් අපිට එනවා.

මාක්ස් පවා මාක්ස්වාදියෙකු වුණේ නැහැ. අනිත් කාරණේ මම මේ ලේඛකයා නැත්නම් දාර්ශනිකයාගේ පුද්ගලික ජීවිතය ගැන හදාරන්න පටන් ගත්තා. ඔහු දැඩි ලෙස පීතෘමූලික කෙනෙක්. ඔහු යුක්තියුක්ත පසුබිමකින් පැවත ආවත් කාන්තාවන්ට ගරු කළේ නැහැ. මං සහසම්බන්ධතාවයට කැමතියි, නමුත්, සාධාරණත්වය ගැන කතාකළත් කාන්තාවන්ට දරුණු විදියට සැලකුව දාර්ශනිකයෙකු ගැන විශ්වාස කරන්න බැහැ. ඔහු සිය දරුවන්ට පවා නිසි ලෙස සැලකුවේ නැහැ. මා මෙහිදී ඔහුගේ පුද්ගලික ජීවිතය හා සමාජය හමුවේ පෙන්වන ජීවිතය වෙන්කොට සැලකුවේ නැහැ.

 

Channel 4 News සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිනි 

අනුවර්තනය වින්ධ්‍යා ගම්ලත් 

 

මේ ලිපියේ පළමු කොටස කියවන්න 

‘‘අපේ රටවල හැමතැනකදීම දෙවියෝ වැඩඉන්නවා‘ – නවාල් අල් සඩාවි‘‘

මීළඟ කොටසින් බලාපොරොත්තුවන්න  

‘‘ප්‍රාග්ධනවාදී වෙළඳපල ඇතුළේ කාන්තාවන් මෙන්ම පිරිමින්ද භාණ්ඩ බවට පත්වෙලා‘‘ 

 

0 comments: