Hot!

උපුල් ගුරුගේ ලියූ 'අඩසියවසක සදාදර රෝයි' කෘතිය 31 දා එළිදකියි

නොබෝදා අපෙන් සමුගත් ප්‍රවීණ සිනමා රංගනවේදී, සිනමා අධ්‍යක්ෂ, තිර රචක, පසුබිම් ගායන ශිල්පී රෝයි ද සිල්වා කලාකරුවාගේ දිවි තතු ඇතුළත් “අඩසියවසක සදාදර රෝයි”  නම් වූ උපුල් ගුරුගේ විසින් රචිත නවතම චරිතාපදාන කෘතිය මේ මස 31 වනදා සවස 3.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ජනගත කිරීමට නියමිතය.



ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතමය ජීවිතය අළලා “සංගීතයේ හෙට දවස - කේමදාස” කෘතිය රචනා කරමින් සාහිත්‍යකරණයට පිවිසෙන උපුල් ගුරුගේ මහතා, ‘ගමක විත්ති, ජපන් සිනමාවේ කුරොසවා සහ ඕෂූ, අරුමැසි සරත් සර, අඩ සියවසක සදාදර රෝයි, නිර්මාණාත්මක සන්නිවේදනය ආදී ශාස්ත්‍රීය කෘති ද, කිඳුරියකට පෙම්බැඳ , අනෝරා, පායන්න තරුවේ, උණුසුම් වැස්සක්, එස්.එම්.එස්. මන්දාකිණි ආදී නවකතා ද චන්දු දළඹු බබා, ගාධියි සිඳුයි, දඟකාර මෝර පැටියා, සුදු දෝණි , සිංදු කියන අඹ ගෙඩිය‘ ආදී ළමා සාහිත්‍ය කෘති රචනා කරමින් මතු නොව, ළමුන් උදෙසා නිපුණතා සංවර්ධන නිර්මාණ වැඩමුළු පවත්වමින් හෙට දිනයේ ළමා ලෝකය නිර්මාණශීලි කිරීමට කටයුතු කරන්නේ ය.



කැළණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන විශේෂවේදී උපාධිධාරියෙකු මෙන්ම, ජනසන්නිවේදන සමාජීය විද්‍යාපති උපාධිධාරියෙකු වන ඔහු “අරටුව” ව්‍යාපාරික පුවත්පත් විශේෂාංග ලේඛකයෙකු ලෙසින් පුවත්පත් ලේඛන කලාවට ප්‍රවේශ වූවේය. අනතුරුව ලක්බිම පුවත්පතේ විශේෂාංග ලේඛකයෙකු ලෙසත්, මව්බිම, සරසවිය පුවත්පත්වල මාධ්‍යවේදියකු ලෙස ද Beauty සඟරාවේ සංස්කාරවරයෙකු වශයෙන් ද කටයුතු කළ ඔහු තීර්ථ සංවර්ධන පුවත්පතේ සංස්කාරක ලෙසින් වසර 14ක කාලයක් තිස්සේ කටයුතු කරයි. නිර්මාණාත්මක සංනිවේදනය හා තිර රචනය පිලිබඳ උසස් අධ්‍යාපන ආයතන රැසක බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසින් ද, කටයුතු කරන උපුල් ගුරුගේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මාධ්‍ය නිලධාරී ලෙසින් සේවයේ යෙදෙයි.




[caption id="attachment_20771" align="alignnone" width="300"] උපුල් ගුරුගේ මහතා [/caption]

ලේඛනයට පමණක් නොව ගායනය, රංගනය, ප්‍රාසාංගික කලාව ආදී ක්ෂේත්‍ර රැසක දස්කම් දක්වන උපුල් ගුරුගේ, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ “ඊසොප්”, තරංග දන්දෙණියගේ “අසනී වලාහක”, පුජිත මැල්ගේ “අසිනමාලි”, රාජිත දිසානායකගේ “වීරයා මැරිලා” ආදී වේදිකා නාට්‍ය නිර්මාණයන් වලට රංගනයෙන් හා ගායනයෙන් දායක විය. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ “ධර්මපාල පුනරාගමනය” ගුවන්විදුලි හඬ නළුවේ සංගීත අධ්‍යක්ෂණය ද සිදු කළ උපුල් ගුරුගේ, තිර රචනයට ද එක සේ දස්කම් දක්වයි. ‘සේද මාවතේ අපි, දළ රළ සර, කොළොම්තොට පුරාණය‘ ආදී වාර්තා වැඩසටහන් රචනා කරමින් අධ්‍යක්ෂණය කළ ඔහු අනුර මාධව ජයසේකර අධ්‍යක්ෂණය කළ “මහපැලැස්ස” ටෙලි වෘතාන්තයේ සහය අධ්‍යක්ෂක ලෙසින් ද කටයුතු කළේය. අපේ ගෙදර, ටුමොරෝ ආදී කෙටි චිත්‍රපටයන්හි රංගන දායකත්වය ද, වසන්ත ඔබේසේකරගේ සළෙලු වරම, සුදත් දේවප්‍රියගේ උඩුගංයාමය ආදී සිනමා කෘතීන් හි රංගන දායකත්වය සැපයු උපුල් ගුරුගේ ‘රිදී නිම්නය‘ රුපවාහිනී වැඩසටහනේ තිර රචකයා ලෙසින් ද කටයුතු කරයි.

0 comments: