Hot!

එල්ලූම් ගහේ දේශපාලනය (3)

2012 නොවැම්බර් 9 වැනි දා වැලිකඩ හිරගෙදර සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කෙරුණි. එය, සැලසුම් සහගත සමූහ ඝාතනයකි. ඊට කලින්, පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය, සිරකරුවන් සතුව තිබිය හැකි අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය සොයා බැලීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කරන අවස්ථාවේ බලධාරීන් සහ සිරකරුවන් අතර ඇති වූ ගැටුම්කාරී තත්වයක්, මෙසේ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කර දැමීම සඳහා අවසරයක් වශයෙන් පාවිච්චියට ගැනුණි. මේ ඝාතන සඳහා උපයෝගී කර ගත්තේ එක්තරා ‘ලැයිස්තුවකි’. ඒ ලැයිස්තුවේ නම සඳහන් හර්ෂ මංජු ශ‍්‍රී නැමැත්තෙකු හමුදා නිලධාරීන් සොයද්දී ඔහු මේසයක් යට සැඟවී දිවි ගලවා ගැනීමට බැලූවේය. එහෙත් අවසානයේ ඔහුව මේසය යටින් එළියට ඇදගෙන ගොස් වෙඩි තබා ඝාතනය කෙරුණි. මොහු, විහාරයක පුරාවස්තු සොරකමක් සහ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඝාතනය කිරීම පිළිබඳ සිද්ධියකට රක්ෂිත බන්ධනාගතව සිටි පුද්ගලයෙකි. එම සොරකම සහ ඝාතන සිදුවුණේ ඉහළ පෙළේ දේශපාලනික කොන්ත‍්‍රාත්තුවක් මත බව ඊළඟ නඩු වාරයේදී පාපොච්චාරණය කිරීමට ඔහු නියමිතව සිටියේය. ඊට කලින් ඔහුව ඉවරයක් කර දැමිය යුතුව තිබුණි.


මීට කලකට පෙර, රාජපක්ෂ පාලන කාලයේ විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් ‘පැන යාමට තැත් කිරීමේදී’ හෝ ‘පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට තැත් කිරීමේදී’ ඝාතනය කර දැමූ අවස්ථා ගණනාවක් වාර්තා විය. ඊටත් කලින්, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ අත්අඩංගුවට ගැනුණු රෝහණ විජේවීරව ඝාතනය කෙරුණේත්, ’ආරක්ෂක නිලධාරීන්ට අත් බෝම්බයකින් දමා ගැසීමට තැත් කිරීමේ දී’ ය. මේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පවා, ඉතා මෑතකදී මාතර සාප්පුවක් කොල්ලකෑමකදී වෙඩි තබා පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව, අර කී ආකාරයෙන්ම, ‘පැන යාමට තැත් කිරීමේදී’ පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලදි.


දඬුවමක් පැනවීම සඳහා තෝරා ගැනීමක් කිරීමේ අවසරය බලධාරියෙකුට පැවරෙන ඕනෑම අවස්ථාවක ඇති විය හැකි අනතුර මේ සිදුවීම්වලින් පෙන්නුම් කෙරේ. ඉහත කී අවස්ථා දෙකේදී, බලධාරීන් විසින් කරන ලද ඝාතන යුක්ති සහගත කෙරෙන ‘අවසරය’ අදාළ වින්දිතයන් විසින්ම එක්තරා දුරකට සපයනු ලැබ තිබුණි. වැලිකඩ හිරගෙදර තුළ කැරලිකාරී තත්වයක් ඇති කිරීම සහ මාතර කොල්ලකෑමකදී පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීම නැමැති සිදුවීම් තුළින් බලධාරීහූ ඒ ‘අවසරය’ සපයා ගත්හ. එවැනි පැහැදිළි ‘වටපිටාවක්’ නැති අවස්ථාවක එය උවමනාවෙන් නිර්මාණය කර ගැනීමේ හැකියාවත් බලධාරීන්ට තිබේ. කසිප්පු බෝතලයක් හෝ කුඩු පැකට් එකක් කෙනෙකුගේ අතට දීමෙන් හෝ නිවසට දැමීමෙන් එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් අවස්ථා ගැන අනන්තවත් අප අසා ඇත.

අප දැන් ‘තෝරා ගත් පිරිසක්’ වෙනුවෙන් එල්ලූම් ගස ක‍්‍රියාත්මක කිරීමට යන්නේ, මෙවැනි කුප‍්‍රකට චර්යාවකට උරුමකම් කියන බලධාරී තන්ත‍්‍රයක සහ සම්ප‍්‍රදායක අත්දැකීම් පිරි පසුබිමක් යටතේ ය. ලංකාවේ නීතිය යටතේ, මරණ දඬුවම නියම කෙරෙන අපරාධ කිහිපයක් තිබේ. එහෙත් 1976 පටන් එසේ නියම කෙරෙන මරණ දඬුවම් කිසිවක් ක‍්‍රියාත්මක කොට නැත. විනිසුරුවරයෙකු කෙනෙකුට මරණීය දණ්ඩනය නියම කරන අවස්ථාවේ සඳහන් කරන්නේ, ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ලබන අවස්ථාවක එම පුද්ගලයාව මරණයට පත්කළ යුතු බවයි. ඊට කලින්, නඩුව විභාග කළ විනිසුරුවරයා, නීතිපතිවරයා සහ අධිකරණ ඇමතිවරයා ඒ මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම ගැන ඒකමතික එකඟත්වයකට පත්විය යුතුය. 1976 පටන් කිසිවෙකුගේ මරණ දඬුවමක් ක‍්‍රියාත්මක කොට නැත්තේ එකී කොන්දේසි සපුරා නැති බැවිනි. ඒ අනුව, එකී කාලය තුළ නියම කෙරුණු සෑම මරණ දඬුවමක්ම ජීවිතාන්තය දක්වා වන සිර දඬුවම් බවට පරිවර්තනය කොට තිබේ.


ජනාධිපතිවරයා දැන් යෝජනා කර ඇති පරිදි සහ කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ලැබී ඇති පරිදි, දැනට මරණ දඬුවමට නියමව සිටින පිරිස අතරින් කිහිප දෙනෙකු එල්ලා මැරීමට තෝරා ගනු ලැබේ. එහිදී අනුගමනය කරතැයි කියන නිර්ණායක දෙකක් තිබේ. එකක් වන්නේ, එම පුද්ගලයා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දැනටමත් පෝරකයට නියම වී සිටින කෙනෙකු වීමයි. දෙවැන්න වන්නේ, එසේ පෝරකයට නියමව සිටින අතරේම නැවත වරක් එම පුද්ගලයා සිරගෙය තුළ සිටිමින් එම අපරාධයම සිදු කර තිබීමයි.


දැන් අපි මේ අපබ‍්‍රංශය ලිහා ගැනීමට බලමු. මුලින්ම, රටක මරණ දඬුවම නියම කෙරෙන, (මිනිමැරුම, රාජද්‍රෝහීත්වය සහ මත්ද්‍රව්‍ය භාවිතය වැනි* අපරාධ කුලකයක් තිබේ නම්, මේ මරණ දඬුවම් ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගත හැකි පියවර දෙකක් තිබේ. එක්කෝ, ඒ සෑම අපරාධයක් සඳහාම අධිකරණයෙන් නියම කෙරෙන මරණ දඬුවම් ක‍්‍රියාත්මක කළ යුතුය. නැත්නම්, (මානව හිමිකම් හෝ වෙන යම් කාරණයක් මත* ඒ කිසි මරණ දඬුවමක් ක‍්‍රියාත්මක නොකළ යුතුය. මේ පියවර දෙකම ප‍්‍රතික්ෂේප කරන්නේ නම් කෙනෙකු කළ යුතු වන්නේ, අර අපරාධ කුලකයෙන් අනවශ්‍ය ඒවා ඉවත් කොට, අවශ්‍ය අපරාධය පමණක් මරණ දඬුවම සඳහා නීතිගත කර ගැනීමයි. උදාහරණයක් වශයෙන්, මිනිමැරුම යන අපරාධය සඳහා අධිකරණය නියම කරන මරණ දඬුවම ක‍්‍රියාත්මක නොකොට මත්ද්‍රව්‍ය අපරාධය සඳහා අධිකරණය නියම කරන මරණ දඬුවම පමණක් අවසානයේදී ක‍්‍රියාත්මක කරන්නේ නම්, මිනිමැරුම යන අපරාධය සඳහා වන මරණ දඬුවම නීති පොතෙන් ඉවත් කළ යුතුය. මන්ද යත්, ක‍්‍රියාත්මක කරන මරණ දඬුවමක් සහ ක‍්‍රියාත්මක නොකරන මරණ දඬුවමක් වශයෙන් ද්විත්ව පැනවීමක් එකම නීති පොතක තබා ගැනීම මහා පටලැවිල්ලක් වන බැවිනි.


දැන් ජනාධිපතිවරයා යෝජනා කරන පරිදි, මත්ද්‍රව්‍ය අපරාධයක් සඳහා අධිකරණයෙන් දෙන මරණ දඬුවම ඔහු විසින් ක‍්‍රියාත්මක කිරීමට යන්නේ, මරණ දඬුවමට නියම කිරීමෙන් පසුව නැවත වරක් එම තැනැත්තා එම වරදම කළොත් පමණි. එසේ නම්, එය ද දණ්ඩ නීති සංග‍්‍රහය තුළ සංශෝධනය විය යුතුව තිබේ. එනම්, කෙනෙකු මත්ද්‍රව්‍ය අපරාධයක් සඳහා වරක් මරණ දඬුවමට නියම වීමෙන් පසුව නැවත එම අපරාධයම කළොත් පමණක් මරණ දඬුවම ක‍්‍රියාත්මක වන්නේය යනුවෙනි. එසේ නොවන තාක් කල්, දෙවැනි අපරාධය විනිශ්චය කරන බලධාරියා බවට දේශපාලඥයෙකු වන ජනාධිපතිවරයා පත්වෙයි.


දැනට අපේ රටේත්, දියුණු නීති පද්ධති ඇති වෙනත් ඕනෑම රටකත් පවතින මූලික නීති නියාමය අනුව, අපරාධයක් විනිශ්චය කිරීමේ සහ දඬුවම් නියම කිරීමේ එකම බලධාරී ආයතනය වන්නේ අධිකරණයයි. ඒ අනුව, යමෙකු අධිකරණය මගින් මරණ දඬුවමට නියම වීමෙන් පසුව නැවත වරක් එම වරදම කර තිබේ නම්, එම පුද්ගලයාව දෙවැනි වරද සම්බන්ධයෙන් නැවත වරක් අධිකරණයක් ඉදිරියේ නඩු විභාගයකට යොමු කළ යුතුවා මිස, හුදෙක් මේ දෙවැනි වරද මත පදනම්ව, පළමු මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමේ බලයක් ජනාධිපතිවරයෙකුට හෝ වෙනත් පිරිසකට ලබා දීම විහිළුවකි.


සාමාන්‍යයෙන් රටක් මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන්නේ, එරටේ බරපතල අපරාධ සංඛ්‍යාවේ පැහැදිළි වර්ධනයක් ඇති බව පෙනී ගිය විට, එය මැඩලීම සඳහා මරණ දඬුවම යම් ආකාරයක උපකාරයක් විය හැකිය යන විශ්වාසය මතයි. එහෙත්, ඇත්ත වශයෙන්ම, ලංකාවේ බරපතල අපරාධ සංඛ්‍යාව පසුගිය අවුරුදු තුනක කාලය තුළ අඩු වී තිබේ. ඒ කෙතෙක් ද යත්, 2014 දී 50,814 ක් වූ බරපතල අපරාධ සංඛ්‍යාව 2017 වන විට 35,978 ක් දක්වා අඩු වී තිබේ. මිනිමැරුම් ගත්තොත්, 2014 දී 548 ක් වූ මිනිමැරුම් සංඛ්‍යාව 2017 වන විට 452 ක් දක්වා අඩු වී තිබේ.


කෙසේ වෙතත්, දැනට යෝජිතව ඇති පරිදි මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට යන්නේ මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් පමණක් වන නිසා, ඉහත කී (මිනිමැරුම් සහ බරපතල අපරාධ පිළිබඳ* සංඛ්‍යා ලේඛන ඊට අදාළ නොවන බව කෙනෙකු පෙන්වා දිය හැකිය. තව ද, ලංකාවේ සිරකරුවන්ගෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් දැනටත් සමන්විත වන්නේ මත්ද්‍රව්‍යවලට අදාළ වැරදිකරුවන්ගෙන් බවත් තවදුරටත් කෙනෙකු පෙන්වා දෙනු ඇත. එහි යම් තර්කයක් තිබේ.

එහෙත් ප‍්‍රශ්නය වන්නේ, 1984 දී පළමු වරට මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මරණීය දණ්ඩනයට නියමිත අපරාධයක් වශයෙන් ලංකාවේ නීතිගත කර ගත් දා සිට ගත වී ඇති අවුරුදු 34 ක් වැනි දීර්ඝ කාලයක් යන තෙක්මත්, එම අපරාධය මර්දනය වී නැත්තේ මන්ද යන්නයි. ඒ වෙනුවට, ඔවුන්ම කියන පරිදි, එය දිනෙන් දින වර්ධනය වී ඇත්තේ මන්ද යන්නයි. හේතුව, මරණ දඬුවම තිබුණත් ක‍්‍රියාත්මක නොකර සිටීම හෝ දෙනු ලබන දඬුවමේ මාත‍්‍රාව අඩු වැඩි වීම හෝ නොව, වෙනත් හේතු ගණනාවකි.


ලංකාවේ සිරගත ප‍්‍රජාවෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් සමන්විත වන්නේ මත්ද්‍රව්‍යවලට අදාළ අපරාධකරුවන්ගෙන් වුවත්, ඔවුන්ගෙන් අඩකට වැඩි ප‍්‍රමාණයක් සමන්විත වන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ වරදට සිරගත වූවන්ගෙනි. එනම්, හෙරොයින් ග‍්‍රෑම් දෙකක් පුද්ගල පරිභෝජනය සඳහා ළඟ තබා ගැනීම නිසා විය හැකිය. එසේම, ඔවුන්ගෙන් අතිබහුතරය, සමාජයේ පහළ ස්ථරය නියෝජනය කරන්නන් ය. දැන් මෙයින් අදහස් කෙරෙන්නේ, කෙනෙකුට පුද්ගල පරිභෝජනය සඳහා හෙරොයින් ග‍්‍රෑම් දෙකක් ළඟ තබා ගැනීමට අවසර දිය යුතු බවක් හෝ සමාජයක පහළ ස්ථරයට අයත් පුද්ගලයන් (දුප්පතුන්* සඳහා අපරාධ මුක්තියක් තිබිය යුතු බව හෝ නොවේ. ඔවුන්ගේ සමාජ තත්වය සහ මත්ද්‍රව්‍ය පාවිච්චිය අතර සහසම්බන්ධයක් තිබිය හැකි බවත්, ඒ සඳහා වන යම් විසඳුමක් යොමු විය යුත්තේ හුදෙක් දඬුවම් කිරීමට වඩා එකී සමාජ ප‍්‍රශ්න කෙරෙහි වන බවත් ය.

අනිත් අතට, මත්ද්‍රව්‍යවලට අදාළ සිරකරුවන්ගෙන් අති බහුතරය ‘කුඩුකාරයන්’ වන විට, මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙතුන් දෙනෙකු පමණක් හිරේ ඉන්නේ කෙසේද යන්නයි. ඉතිං, ලංකාවට මත්ද්‍රව්‍ය සපයන සහ බෙදා හරින ජාලයේ ප‍්‍රධාන පුද්ගලයන් සහ මර්මස්ථාන එසේම තිබියදී, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙකු එල්ලූම් ගස් යැවීමේ කිසි අරුතක් තිබිය හැකි ද? (ඉතිරිය ඊළඟ සතියට*

ගාමිණී වියන්ගොඩ

0 comments: