Hot!

මගේ පාලනය යටතේ රටේ ඒකීයභාවයට කිසිදු හානියක් නැහැ - මෛත්‍රීපාල

ත්‍රෛනිකායක සංඝරත්නයේ ඉල්ලීම් නොතකා මහනුවර දළදා පුරවරයේ නයිට් රේස් පවත්වමින් කෝටි 30 ක වියදමක් දරා, වැලි කොට්ට යෙදීමට රණවිරුවන් කම්කරුවන් බවට පත්කළ බව පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (5) ගාල්ලේ පැවති ජනරැළියේදී ප්‍රකාශ කළේය.

“2005 වර්ෂයේ මහින්ද රාජපක්‍ෂ මහතා නිර්මාණය කළ ආණ්ඩුව තනිව නිර්මාණය කළ ආණ්ඩුවක් නොවේ. ඒ සඳහා බොහෝ දෙනෙකු ඇපකැප විය. 2004 වර්ෂයේ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති බවට පත්කිරීමට මා ඉල්ලීම් ඉදිරිපත් කර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරගුංග මැතිණිය සමග පැය එකහමාරක පමණ සාකච්ඡාවකින් අනතුරුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත්විය. නමුත් 2010 වරෂයෙන් පසු ඔහුට අවශ්‍ය පරිදි නීතියේ අධිපත්‍යය, ව්‍යාපාරික නිදහස, රාජ්‍ය සේවයේ අපක්‍ෂපාතිත්වය අහිමි කරමින් පාලන කටයුතු සිදුකළේය. රට තුළ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පසුබිම බිඳ දැමීමට ඔහු කටයුතු කළේය. අරලියගහ මන්දිරයට රාජ්‍ය සේවකයින් කැඳවමින් ඔහුගේ මැතිවරණ කටයුතු වලට සහාය ලබාදෙන ලෙස ඔහු සමහර අවස්ථාවල සඳහන් කරයි.

මෛත්‍රී පාලනයක් ඇතවූවිට රට තුළ ඒකීයභාවයට බලපෑම් එල්ලවන බව රාජපක්‍ෂවරුන් ප්‍රකාශ කරයි. නමුත් ඒකීයභාවයට කිසිදු හානියක් සිදුනොවන ආකාරයට පාලන කටයුතු සිදුකරන බවට මම ප්‍රතිඥා දෙමි. රාජපක්‍ෂ පාලනයේ ජනතාවගේ ඉඩම් විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ ඥාතීන්ටත් හිතවතුන්ටත් ලබාදී තිබේ. ජනවාරි 8 වනදායින් පසු ඒ සියල්ල නැවත ජනතාවට ලබාදීමට කටයුතු කරයි.

නිදහස් අධ්‍යාපනයක්, නිදහස් සෞඛ්‍යය, කෘෂි කර්මාන්තය, ධිරව කර්මාන්තය අද බරපතල ගැට`ඵකාරී තත්වයකට මුහුණ දී තිබේ. එයට හේතුව මෙම අමාත්‍යාංශ පාලනය කළේ රාජපක්‍ෂ මහතා විසින් වීමයි. රාජපක්‍ෂවරුන්ගේ සංවර්ධනයේ සංදර්ශන වෙනුවට මෛත්‍රී පාලනයක් තුළ සැබෑ සංවර්ධනයක් ඇති කරයි. සැබෑ මානව හිතවාදී ලෙස පාලනය සිදුකර බවට පොරොන්දු විය. ඉදිරි පැය කිහිපයක කාලය තුළ ජාතිය වෙනුවෙන් ජාතික වගකීම් ඉටු කිරීමට දැනටමත් 75% ක ජනතාවක් පෙළගැසී හමාරයි.

මෙම අවස්ථාවට සම්බන්ධවූ ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලි චම්පික රණවක මහතා, ලංකාවේ ඛණිජ සම්පත රාජපක්‍ෂ මහතා විසින් බ්්‍රතාන්‍ය සමාගමකට මේවන විටත් පවරාදී ඇතැයි සඳහන් කළේය. එයින් බ්්‍රතාන්‍ය සමාගම ලබාගත් ආදායම ශ්‍රී ලංකාවේ විදේශගත ණය ප්‍රමානයෙන් තුනෙන් එකකි. රාජපක්‍ෂ මහතා සාමාන්‍ය ජනතාවට එදිනෙදා අවශ්‍යවන කිරිපිටි කිලෝවකට රු. 135/- ක්, සීනි කිලෝවකට රු. 28/-ක්, පරිප්පු රුපියල් රු. 18/-, කෙත්තමල්ලි කිලෝවකට රු. 202/- වශයෙන් බදු මුදල් ලබාගනිමින් රටතුළ සාමාන්‍ය ජනතාවට යාමට නොහැකි සුපිරි වෙළෙඳසැල් ඉදිකරයි.

මෛත්‍රී පාලනයක් තුළදි සාමාන්‍ය ජනතාව අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ක බදු බර ඉවත් කරනු ලබයි. සියලූ දෙනාගේ එකමුතුවෙන් ජනවාරි 8 වනදා නිර්මාණය වන සමගි සන්ධාන ආණ්ඩුව ස්ථාවර ජනතාවාදී ආණ්ඩුවකි. රාජපක්‍ෂවරුන් මේවන විටත් පරාජය වී හමාරයි.