Hot!

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ තමන්ගේ නම සහ ජාතික හැදුණුම්පත් අංකය පරීක්ෂා කරගන්න

2015 ජනාධිපතිවරණයේ ඡන්දායකයින් වෙත යොමු කර ඇති නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ තමන්ගේ නම සහ ජාතික හැදුණුම්පත් අංකය නිවැරදිව සටහන්ව ඇතිදැයි පරීක්ෂා කර බලන ලෙස කැෆේ සංවිධානය සියලු ඡන්දදායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

සෑම මැතිවරණයක දීම ඡන්දදායකයින්ගේ නම සහ ජාතික හැදුණුම්පත් අංකයන් හි වැරදි හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථානයේ දී දුෂ්කරතාවයන්ට පත්වන අවස්ථා අප නිරීක්ෂණය කර ඇත්තෙමු.  මෙවර මැතිවරණයේ දී ද ඡන්දදායකයින්ගේ නම් හි වැරදි සහිත නිල ඡන්ද දැන්වීමේ පත්‍රිකා කිහිපයක් පිළිබද අපගේ විමසීම් ලැබී තිබේ.  මෙම තත්වය කාර්යාලීය අතපසුවීමක් හේතුවෙන් කලතුරකින් සිදුවිය හැකි තත්වයකි.

නිල ඡන්ද දැන්වීමේ පත්‍රිකාවේ ඇති නම ඡන්දදායකයින්ගේ නාම ලේඛණයේ දී එලෙසින්ම සටහන් වේ.  එබැවින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ සදහන් නම සහ ජාතික හැදුණුම්පත හෝ මැතිවරණ දිනයේ දී තම අනන්‍යතාව සහතික කිරීම සදහා යොදා ගන්නා අනන්‍යතා පත්‍රයේ සදහන් නම අතර වෙනසක් වේ නම් ඡන්ද මධ්‍යස්ථානයේ දී ඔබ දුෂ්කරතාවයට පත්විය හැකිය.  විශේෂයෙන්ම ඡන්දපොල නියෝජිතයින් යම් විරෝධයක් පළ කළ හොත් එමගින් ඔබගේ ද, මැතිවරණ නිලධාරීන්ගේ ද වටිනා කාලය අපතේ යා හැකි අතර ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවීමේ අවදානමක් ද ඇති විය හැකිය.

එබැවින්, හැකි ඉක්මනින් තම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ තම නව නිවැරදිව සටහන් වේ දැයි පරීක්ෂා කොට බලන ලෙස කැෆේ සංවිධානය ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටී.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ තොරතුරු සහ ඔබගේ සැබෑ තොරතුරු අතර යම් වෙනසක්/වරදක් හෝ අඩුපාඩුවක් වේ නම් එය අදාළ දිස්ත්‍රික්කයේ සහකාර මැතිවරණ කොමසාරිස්තුමා වෙත හැකි ඉක්මනින් දැනුම් දී වරද නිවැරදි කර ගැනීම වැදගත්වේ.  සෑම පරිපාලන දිස්ත්‍රික්කයකම සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ/කච්චේරියේ ස්ථාපනය කොට ඇත..


මාධ්‍ය ඒකකය
කැෆේ සංවිධානය