Hot!

මෛත්‍රී : නිතීයට ඉහළින් සිටගන්නා අවසන් ශ්‍රිලාංකිකයා ?

ජනාධිපති රාජපක්ෂ “දන්නා යක්ෂයාට වඩා නොදන්නා දේව දූතයා” විශ්වාස කරන්න එපා යන ප්‍රකට උපහැරණය ගෙන හැර දැක් වීමට හේතු තිබේ. එය බොහොමයක් රාජපක්ෂ විරෝධී මාධ්‍ය ලබා ගත් ආකාරයෙන් ගැනීමට මා සූදානම් නැත. මන්ද මින් කියවෙන දේශපාලනය ගැඹුරුය. කොටි සංවිධානය තවමත් ඇතැම් දෙමළ ජන කොටස් තුළ දේශපාලන භූමිකාවක් රඟ පාන්නේ මෙම යථාර්තය නිසාය. කොටි සංවිධානය යුධමය වශයෙන් ක්‍රියාකාරී අවධිය තුළ දෙමළ ජනතාව විශ්වාසය තැබුවේ දන්නා ප්‍රභාකරන් මත මිස නොදන්න රාජපක්ෂ මත නොවේ. එසේම රාජපක්ෂ එම උපායම භාවිතා කරමින් මෛත්‍රීට එරෙහි තම දේශපාලනය  නාභිගත කොට ඇත්තේය.
| නිලන්ත ඉලංගමුව

ඓතිහාසික වශයෙන් දේශපාලන වෙනස්කම් සිදුවන කාලපරිච්ඡේදයක ජීවත් වීමට ලැබීම සැබවින්ම වාසනාවක් මෙන්ම වගකීමක්ද වේ. මෙය ඕනෑම අයෙකුට පොදු කාරණයකි. මෙවැනි අවස්ථාවක ඕනෑම අයෙකු ලබා ගන්නා පෞද්ගලික ආස්ථානයන් වුවද අතිශය තීරණාත්මක වේ. එය පෘථුල වශයෙන් ගත් කළ සමාජයට මෙන්ම පෞද්ගලික ජීවිතයටද වැදගත් වේ.

මෙවැනි අවස්ථාවලදී සෑම විටම ශුද්ධ වන්තයින් බිහිවන්නේ නැත.අවස්ථාව දඩමීමා කරගෙන තම ගූඪ පෞද්ගලික අරමුණු කරා ගමන් කිරීමට මාන බලන අයවලුන්ද බිහි වීම මෙවැනි අවස්ථා වලදී බොහෝ පොදු කාරණයක් ලෙස හඳුනා ගත හැකිය.

බොහොමයක් අවස්ථාවලදී සහන ලබන්නා සැබවින්ම අගතියට පත් තැනැත්තා නොවීම බරපතළ ලෙස කුණු වුන සමාජයක රෝගී තත්වයකි. මෙවැනි සමාජ වල ධෛර්ය ඇති පිරිස ඉතා අඩුය. එසේම සාමූහිකව වැඩකරන පිරිස ඉතා අල්පමය වේ. මන්ද සෑම දෙනෙකුගේම හදවත් තුළ සැකය පැළපදියම් වී තිබේ. මෙවැනි සමාජයක සැකය ඉතා පහසුවෙන් පැළපදියම් කළ හැකි විෂ බීජයක්ද වේ.

ජනාධිපති රාජපක්ෂ “දන්නා යක්ෂයාට වඩා නොදන්නා දේව දූතයා” විශ්වාස කරන්න එපා යන ප්‍රකට උපහැරණය ගෙන හැර දැක් වීමට හේතු තිබේ. එය බොහොමයක් රාජපක්ෂ විරෝධී මාධ්‍ය ලබා ගත් ආකාරයෙන් ගැනීමට මා සූදානම් නැත. මන්ද මින් කියවෙන දේශපාලනය ගැඹුරුය. කොටි සංවිධානය තවමත් ඇතැම් දෙමළ ජන කොටස් තුළ දේශපාලන භූමිකාවක් රඟ පාන්නේ මෙම යථාර්තය නිසාය. කොටි සංවිධානය යුධමය වශයෙන් ක්‍රියාකාරී අවධිය තුළ දෙමළ ජනතාව විශ්වාසය තැබුවේ දන්නා ප්‍රභාකරන් මත මිස නොදන්න රාජපක්ෂ මත නොවේ. එසේම රාජපක්ෂ එම උපායම භාවිතා කරමින් මෛත්‍රීට එරෙහි තම දේශපාලනය  නාභිගත කොට ඇත්තේය.

මෙය තව දුරටත් සංකීර්ණ වුවහොත් එනම් කොටි සංවිධනයේ දේශපාලන උපායන් රාජපක්ෂ තමන්ගේ බිඳ වැටීම විසඳා ගැනීම වැඩියෙන් භාවිතා කළහොත් ඒ ගැන පුදුමයට කාරණයක් නොවේ. එනම් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජීවිතය පිළිබඳ අවධානයක් පවා මතුවිය හැකිය. මෛත්‍රී පද්ධතියෙන් ඉවත් කළ හොත් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙක් මරා දැමීමට හැකිය, යන උපායට රාජපක්ෂ පිවිසියහොත් සිතා ගැනීමටවත් නොහැකි තත්වයක් ලංකාවේ මතුවනු ඇත.

පිලිපීනයේ මාකෝස් තම දේශාපලන විරුද්ධවාදියා වූ අකිනෝ මරා දැමුවේ ගුවන් තොටුපලේදීමය. මෙවැනි දෑ ඉතා පරෙස්සමින් කියවීමට මෙන්ම මතුවිය හැකි බැරෑරුම් තත්වයන් ගැන මනා අවධානයෙන් කටයුතු කිරීම අතිශය තීරණාත්මක වේ.

තීරණාත්මක දේශපාලන අවස්ථා සහ අභියෝග වූ කලී මෙවැනි දෑය. ලංකාව මෑත ඉතිහාසයේ තීරණාත්මක දේශපාලන අවස්ථා රැසක් පසු කළ බව අපි දනිමු.

විශේෂයෙන් විදේශ ආක්‍රමණයන්ගෙන් පසු 1948, 1956 , 1978 මෙන්ම 2009 අදී වර්ෂයන් වූ කලී අපේ මාතෘභූමිය  ප්‍රධාන දේශාපලන විප්ලවයන් වලට මුහුණ දුන් වර්ෂයන් ලෙස හැඳින්වීමේ වරදක් නැත. ඊට අමතරව විශාල සිදුවීම් සහ අවස්ථා රාශියක් තිබුණද එම අවස්ථා සියල්ලම මෙම මුලික අවස්ථා හා බද්ධ වී තිබේ.

1948 දී අපි නාමික වශයෙන් හෝ නිදහස ලබා ගන්නෙමු. 1956 දී ශ්‍රී ලංකාවේ පැවති වැඩවසම් පවුල්වාදී දේශාපාලනය අභ්‍යන්තරයේ සිදුවන පුපුරා යාමකින් එය නවආරක ස්වරූපයක් ගන්නේය. එමඟින් පැවති පිටත ආවරණය මෙන්ම ව්‍යුහය තුළ බරපතළ වෙනස් කම් ඇති විය. නව සටන් පාඨ කරළියට පැමිණියේය.

ඉන්පසු, 1978  දී, පැවති ආණ්ඩුකරණය සම්පූර්ණයෙන්ම වෙනස් වී,  නව ව්‍යවස්ථාමය වෙනසක් සඳහා රටේ පාලන තන්ත්‍රය වෙනස් වේ. එනම් වසර තිහක් තිස්සේ පැවති වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු විධායක ක්‍රමය වෙනුවට 1978 දී ජනතාවගේ කැමැත්තෙන් පත්වන විධායක ජනධිපති ධූරය හඳුන්වාදෙනු ලබයි.

අදාළ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා එවකට ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධනට කිසිඳු බාධාවක් ඇති නොවන්නේ, පැවති ආර්ථික තත්වය මෙන්ම විපක්ෂ දේශපාලනය තුළ තිබු ව්‍යාකූලබාවය හේතුවෙනි.

විධායක ජනාධිපති ධූරය හඳුන්වා දෙමින් ඔහු එනම් රටේ ජනාධිපතිවරයා රටේ නීතියට ඉහළින් තැබීමට කටයුතු කළ හෙතම, එම අවස්ලස්සන සහ දරුණුකම වැසීම සඳහා වසර දෙසීයක පමණ ඉතිහාසයක් ඇති අමෙරිකානු විධායක ජනධිපති ධූරය සහ 1958 දී ඩී ගෝල් විසින් හඳුන්වා දෙනු ලැබූ ප්‍රංශ විධායක ජනාධිපති ක්‍රමය ගෙන හැර දක්වනු ලැබීය. ඔහුගේ තර්කය වූයේ බ්‍රිතාන්‍යට එරෙහිව ජයග්‍රහණය කිරීම සඳහා එය ඇමෙරිකාවට ආධාරයක් වූ බවය. එසේම ප්‍රංශය ලෝකයේ ධනවත් රටක් වීම සඳහා එම ක්‍රමය පිටිවහල් වූ බවය.

එපමණක් නොව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් තෝරා ගන්නා වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ විධායකය ඉතා අවස්ථාවර එකක් බව පෙන්වා දුන් හෙතම එහිදී ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පක්ෂයේ කැමැත්ත නොලැබුණ හොත් කිසිවක් කළ නොහැකි බව කිව්වේය. ඒ නිසා වසර 06 කට වරක් මහජන ඡන්දයෙන් පත්වන නායකයෙකු රටට අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය. මෙසේ විශාල තර්කයක් භාවිතා කොට තමන්ගේ ආශාව  ජනතා විශ්වාසයක් බවට පත් කිරමින්, මතුව ආ සැබෑ විරෝධය යටපත් කිරීමට ජයවර්ධනට හැකි විය. 

එම සියලු කාරණා මඟින් වසනු ලැබුවේ, එම ව්‍යවස්ථා සංශෝධනයෙන් කර ඇති සැබෑ අපරාධයය. එනම් විධායක ජනාධිපති ධූරය හඳුන්වා දුන් වෙනත් රටවල දක්නට නැති නමුත් මෙරටට ලබාදුන් මුලික රෝග ලක්ෂණයය. එමඟින් ජනතා ස්වාධිපත්‍ය සූක්‍ෂම ලෙස මෙන්ම අප්‍රසන්න ලෙස තර්ජනයට ලක් විය. එනම් ජනතාවගේ කැමැත්තෙන් පත්වන නායකයෙකු ජනතාවට එරෙහිව වරදක් කළ පසු ඔහුව නීතිය ඉදිරියට ගෙන ඒමට ජනතාවට අවකාශයක් නොමැත්තේ නම් එම පාලන තන්ත්‍රය මඟින් ජනතා ස්වාධිපත්‍ය තහවුරු වෙන්නේ යැයි කීම මුලාවක් සේම වරදකි.

කුමන කෙස් පැලෙන තර්කය ඉදිරිපත් කළද මෙය ඇති තැන එනම් නීතියට ඉහළින් කෙනෙකු පත් කළ පසු තවදුරටත් පාලකයා මනුෂ්‍යයෙකුගේ භූමිකාව නොව ඔහුට සක්කරයාගේ හෝ යමගේ භූමිකාව රඟපෑ  හැකිය. මෙතනට පත්වන මිනිසා කොතරම් උසස් සහ උතුම් වුවද ඔහු නරක කරනු ලබන්නේ මෙය මඟිනි. 

මෙම වරද, රටක් ස්ථාවර කිරීමට හේතුවන බව පවසමින් බලයට පැමිණි සියලුම නායකයින් ඊට තවත් වැඩියෙන් බලතල එකතු කරමින් පවත්වාගෙන ගියේය. එමඟින් දේශපාලන පක්ෂ සම්බන්ධ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය දෙදරා ගියේය. එසේම රාජ්‍යයක සතු මුලික ආයතන සහ එම ආයතන වල හිමි ස්වාධීන බලය නිශේධනය විය. එමඟින් රාජ්‍ය තවදුරටත් ව්‍යාකූලතාවයට පත් විය.

ජනාධිපති රාජපක්ෂ මඟින් තමන්ගේ ප්‍රකට තණ්හාව නෛතික රාමුවකට ගැනීම හෙවත් 18වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් තවදුරටත් පුළුල් කරනු ලැබීය. මේ දිනවල බොහොමයක් රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වනආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා මහත් වියෝවෙන් සහ කේන්තියෙන් මතුකරන අදේශපාලනික තර්කය වනුයේ “ තමන්ට යුද්ධය කිසිඳු හිරි හැරයකින් ” තොරව කරගෙන යෑම සඳහා  විධායක ජනධිපති සතු බලතල ප්‍රයෝජනවත් වූ බව කියන්නේය. මෙය සැබවින්ම හතරබීරි කතාවක් වනුයේ රාජපක්ෂ ජනාධිපතිවරයා යුධ ජයග්‍රහණයෙන් පසු 18 වන ව්‍යවස්ථා සංශෝධනයකට යෑමය.

රටක පුරවැසියන් ලෙස අපි සියලු දෙනාම අවබෝධ කරගත යුතු මුලික කාරණය වනාහී මෙයයි. එනම් රටේ ඕනෑම වැසියෙකුට තම මුලික  අයිතිය වෙනුවෙන් ඇති එකම විශ්වාසය වූ කලී අධිකරණයයි. අධිකරණය වූ කලී රටේ සැබෑ නීතිය විමසා බැලෙන ස්ථානයයි. එම නීතිය හමුවේ සියලු දෙනාම එක හා සමානය. එම සමානාත්මතාවය  රටේ ස්වාධිපත්‍ය තවුරුකරන මුලික ලක්ෂණය වේ.

මෙය ජේ. ජයවර්ධනගේ සිට රාජපක්ෂ ජනාධිපතිවරයා දක්වා අයවලුන් හිතාමතාම තම බලාධිකාරිය පවත්වාගෙන යෑම සඳහා ඉතා අප්‍රසන්න ලෙස භාවිතා කළ උපාය වේ. එමඟින් සිතු පරිදි තීරණ ගැනීමට හැකි විය. එපමණක් නොව මෙම බලය භාවිතා කරමින් සමස්ථ රටේ ව්‍යුහයම විකෘති කිරීමකට ලක් කරනු ලැබීය.

ජනාධිපති රාජපක්ෂ මේය වඩාත් අප්‍රසන්න ලෙස භාවිතා කරනු ලැබීය. රටේ වත්මන් දේශපාලනය මුලික වශයෙන් අභියෝගයකට ලක් වී ඇත්තේ මෙම කාරණයය. මෛත්‍රිපාල දේශපාලනික වශයෙන් මතුවන්නේ මෙම සන්දර්භය තුළය.

මේවන විට මෛත්‍රිපාල තමන්ගේ ස්ථාවරය පැහැදිලි කොට ඇත. මෙය පෙර පැවති රටාවේම තත්වයක් වීමට වන්නේද? සැබෑ වෙනසක් වෙනුවෙන් රට තල්ලු කිරීමට ගන්නා අවංක උත්සාහයක්ද යන්න තීරණය වන්නේ ප්‍රතිඵලය මතය.

එය එසේ වන්නේ නම්, මෛත්‍රිපාල වූ කලී මෙරට ඉතිහාසයේ නෛතික රාමුවට අනුකූලව නීතියට ඉහළින් සිටගන්නා අවසාන පුද්ගලයා බවට පත්වනු ඇත. සැබවින්ම මෙය රටක ජනතාවට හිමි ස්වාධිපත්‍ය යළි ලැබීමක් හෙවත් වත්මන් විකෘති ව්‍යුහය නිවැරදි කිරීම සඳහා ගන්න පළමු පියවර වේ. මෙය සැබවින්ම ඓතිහාසිකය.