Hot!

මාක්ස්වාදයෙන් මදාවිවාදයට: අපායේ විවේකය සහ යකාගේ හූනියම

මොවුහු අමතක කරන මුලික කාරණයක් තිබේ. එනම් මොවුන්ගේ සිහින මන්දීරය තුළ සිටින කොමියුනිස්ට් වාදය නමැති දරුවා, යුද්ධය මඟින් හෝ දූෂණය මඟින් හෝ එම දෙකම මඟින් කුණු වූ සමාජයක උපත ලබන්නේ නැති බවය. මෙම මුලික යථාර්තයට පිටු පාන්නේ නම්, ලොම් හැලුණු බැටලුවෙකුගේ තත්වයට පත් වී ඇති ලංකාවේ මාක්ස්වාදය නොහොත් ලංකාවේ වම, කිසිඳු කාලයක බලයට එන්නේ නැත. එය සිදු කරමින් සිටින්නේ ගුණරත්නම්ලා මුදලිගේලා කිරීම පමණි. මොවුන් වඩාත් හානිකර කොටසකි.
| නිලන්ත ඉලංගමුව

කොමියුනිස්ට්වාදය හෝ ස්ටාලින්වාදය නිසා නරක මිනිසුන් නරක දේවල් නොකළහ. මන්ද නරක මිනිසුන් නරක  නිසා නරක දේවල් කළෝය. නමුත්, තමන් කරන්නේ උතුම් දෑ යැයි සිතාගෙන බොහොමයක් හොඳ මිනිසුන්  ඉතා භයානක දේවල් කරති. වරක් ජිජැක් පෙන්වා දුන්නේය.

විපක්ෂයේ සන්ධානයේ පක්ෂ දෙකක් අතර එනම් එජාපය සහ ජවිපෙ අතර අත්සන් කර ඇතැයි කියන “රහස්” ගිවිසුමක් හෙළි කිරීමට වීරයෙක් පැමිණ ඇත. මැජික් බෝලයක් අතැතිව පැමිණි ඔහුට මහින්ද රාජපක්ෂ තවදුරටත් බලයේ තැබීමේ සියුම් අසාවක් පහළ වී ඇති සැටියෙකි. ඉන් ඔහු ප්‍රමෝදවන වන සැටියෙකි. මෙරට පහළ වූ “මාක්ස්වාදීන්” මළ පසු ගොස් ඇත්තේ අපායටය. යමරජුන් එසේ “මළ මාක්ස්වාදීන්ට” ලබා දී ඇති විවේකය එනම් අපායේ විවේකය  ඔහුගේ මුලික තාර්කික වස්තු භීජය බවට පත් වී ඇත.

මෙය ගැන කතා කිරීමට පෙර, ඔහුගේ සගයෙකුගේ කතාවකින් මෙම ලිපිය ආරම්භ කිරීම වැදගත් යැයි සිතේ.
එය මෙසේය.

එහෙම නේද? සහෝදරයා. මාක්ස් කිව්වේ ඒකම තමයි නේද? සහෝදරයා. මාක්ස් සහෝදරයා කියපු දේවල්  කවදාවත් යල් පැනලා නැහැ සහෝදරයා. අපි ගන්නේ මාක්ස්ගේ වචන විතරක් නෙමෙයි සහෝදරයා. ඇත්ත වශයෙන්ම අපි ගන්නේ මාක්ස්ගේ චින්තනය සහ ඔහු හිතපු විදිහ. ඒ හිතපු විදිහ ගැන හිතල ඒක, අපේ වගේ පසුගාමී රටකට ආදේශ කරගන්නේ කොහොමද කියල  තමයි අපි බලන්නේ සහෝදරයා.

ඇත්තටම සහෝදරයා, මේ... මේ... ඒ කිව්වේ මේ රටේ සිද්ධ වෙන්නේ ... මනුෂ්‍යයා ඇතුලේ ඉන්න තිරිසනා එළියට අරගන්න එක තමයි. “ධනපතියෝ” කරන්නේ ඒක තමයි සහෝදරයා. වෛරය අවුස්සනවා. අපි මෝඩයෝ කියලා හිතාගෙන වෙන්න ඇති අවුරුදු ගානකට පස්සේ චන්ද්‍රිකා නෝනා ඇවිත් එකම දේ ආපහු කියන්නෙ? නේද සහෝදරයා. මෙහෙමයි සහෝදරයා අපි මේ මාක්ස් ගන්නේ විද්‍යානූකූලව. මාක්ස් සහෝදරයා කියපු දේවල් අරගෙන දුෂ්ඨිවාදයක් හදලා ඒ දුෂ්ඨිවාදය මාක්ස්වාදය කියලා කතා කරණ අය වගේ නෙමෙයි අපි... එහෙනම්...?  

කතාව ගලාගෙන යන්නේ මෙලෙසය. එය සිදු වූයේ මීට දින නවයකට පෙර  “ මාක්ස් නිවැරදි ඇයි?” නමැති කෘතියේ සිංහල පරිවර්තනය එළි දැක් වූ මොහොතේදීය. මෙහිදී මාක්ස්වාදය ගැන මෙන්ම ලංකාවේ මදාවිවාදය ගැනද කතා කළහ. අරුමයකි, මාක්ස් තේරෙන, මොවුන්ට ජුලම්පිටියේ අමරේ හෝ සම්පත් විදානපතිරණ තේරෙන්නේ නැත. ඔවුහු මෙම මදාවිවාදයට “ධනේශ්වරය” ලෙස අර්ථකථනයක් දී ඇත.

එය මාක්ස් දුටු ධනේශ්වරය ලෙසත් ලෙනින් සහෝදරයා ප්‍රායෝගිකව සටන් කොට ජයගත් අභියෝගය ලෙසත් දකිමින් පොත් ලියති. පැය ගණන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරති. තම හමේ රන් පැහැය නැතිවීමට සහ රාජපක්‍ෂට රන් පැහැයක් තිබීම ගැන වහරති. තම පෞද්ගලික වේදනාව දේශපාලනික වේදිකාවට ගෙනවිත් එය රටේ විමුක්ති මාර්ගයේ ඉරණම තීන්දු කරණ සාධකය යැයි සිතා කටයුතු කරති. 

ඉනික්බිති , ඔවුන්ගේ අවශ්‍යතාවය ගැන ඔවුහු කියති. මොවුන්ට අවශ්‍ය වන්නේ කණපිට පෙරලීමකි. එක එක සුළු වෙනස් කම් කිරීම නොවේ. එංගල්ස්  ඔලුවෙන් සිටුවා තිබු  දයලෙක්තිකය මාක්ස් කකුල් දෙකෙන් සිටුවනු ලැබූ ආකාරය ඔවුහුට මතකය. එබැවින් ලංකාවට අවශ්‍ය වන්නේ පවතින ක්‍රමය කණපිට පෙරළීමකි. ඒ වෙනුවෙන් සටන් කරන බව ඔවුහු කියති. 

එසැනකින්ම මාගේ සිහියට පැමිණියේ ඊළාම් රාජ්‍යක් වෙනුවෙන් සටන් වැදුන වේලුපිල්ලේ ප්‍රභාකරන් හෝ ඉස්ලාමීය රාජ්‍යක් වෙනුවෙන්  සටන් වදින අසිස් සංවිධනයේ නායකයා වන  අබු මාකර් අල්- බග්ඩදී නොව, කාම්බෝජයේ පොල් පොට්ය.

පොල් පොට් එරට කණපිට පෙරළුවේය. නික්සන් වියට්නාමයට බැටදෙන මුවාවෙන් කාම්බෝජයට කළ අපහරණය  පොල් පොට් හට තම කණපිට පෙරලීමේ ව්‍යාපෘතිය පහසු කළේය. ඔහුට බිංදුවෙන් පටන් ගැනීමට අවශ්‍ය විය. ඉන් පසු කාම්බෝජයේ වූ දේ ගැන කියවීම ඔබට භාරය. කියවීමට වෙලාව සොයා ගැනීමට නොහැකි නම් නොම්පෙන් හී පිහිටි S21 වධකාගාරයේ එල්ලා ඇති ඝාතනයට ලක් වූ දරුවන්ගේ මුහුණුවල් දෙස බලා සිටීම හෝ වැදගත් වේ. මන්ද, ඔබට ඔබ හමුවන්නේ එතැනදීය. එය එසේ ලෝකයට දැකීමට හෝ පොල් පොට් තම සගයින්ට වාර්තා තැබීමට යැයි නියෝග කළේය. එය සැබවින්ම “හොඳ” දෙයකි.
මොවුන් ප්‍රමුඛ සතුරා ආරක්ෂා කරන්නේය. ප්‍රමුඛ සතුරා වෙනුවෙන් පෙළ ගැසීම අමතක කොට, මුහුද හත්ගව්වක් තිබියදී අඹුඩය ගහති. කුමන දේශපාලන වෙනස්කම් තිබුණද ස්ටාලීන් එකල චර්චිල් සහ ට්රුමන් සමඟ එකතු විය. එය මොවුන් නටමින් කතාකරන කොමියුනිස්ට්වාදයේ සැබෑ ඉතිහාසයය. නමුත් මොවුන්ට මේ රටේ සැබෑ ගැටලුව වෙනුවෙන් පෙළ ගැසීම එක් පයිසයකට හෝ වැදගත්කමක් නැත. මොවුන්ගේ මාක්ස්වාදය එයයි. 

නමුත් මෙරට “විප්ලවවාදීන්” විමුක්ති අරගල කරනවා යැයි කියමින්, තමන් විසින් හෝ තමන්ගේ සතුරා විසින් මරාදමනු ලැබූ සමස්ථ පුද්ගලයින් ගැන තොරතුරු ඇතුලත් පුස්තකාලයක් තබා කෞතුකාගාරයක් හෝ ඉදිකිරීමට සමත් නොවූහ. මෙම විප්ලවදීන්ට අපේ රට මුහුණ දුන් ඛේදවාචක හමුවේ ඔවුහු වෙනුවෙන් මැරුණු එකාට සොහොනක්වත් තැනීමට නොහැකි විය. නමුත් කෛරාටක ස්වයං-විවේචන තිබේ. එය වෙනම කතා කළ යුතු මාතෘකාවකි.  

ලිපිය ආරම්භයෙදී අපේ මාක්ස්වාදීයාගේ කතාවේ අවසානයට ලියු කාරණය යළි මතක් කරමු. එනම් මදවේලාවකට ... යළිත් අපි අපේ මාක්ස්වාදියා වෙත හැරෙමු. සැලුන් දොරෙන් ඇතුලට ගොස් ලෙනින් සහෝදරයාට හෝ චේ සහෝදරයාට තිබුන රැවුල වගේ රැවුලක් මටත් හදා ගන්න ඕනෑ යැයි, එහි සිටින බාබර්ට තමන්ගේ නිරුවත වසා ඇති චීනයේ නිපදවූ රෙද්දකින් මසා දැමූ කලිසමේ සාක්කුවේ ඇති, චීනයේ බල්ලන්ගේ සම යොදා තැනු ලෙදර් වොලට්ටුවේ දමා ගත්, රාජපක්ෂගේ අත්සන සහ රුව යෙදු මුදල් නෝට්ටුවක් දී ධනේශ්වරයා යටතේ පාලනය වන බහුජාතික සමාගමක නිපදවූ “ ට්‍රිමරය” (දැලි පිහි නැති නිසා) අල්ලා ජෙලි පැකට්ටුව තැවරීමට පෙර, අපි ඒ ප්‍රශ්නය අපේ සහෝදරයාගෙන් ඇසිය යුතුව ඇත. මන්ද සැලුන් දොරෙන් එළියට එන්නේ “නව මාක්ස්වාදියෙක්” නිසාය.

එනම් සැලුන් දොරෙන් ඇතුලට යන ගුණරත්නම් එළියට එන්නේ මුදලිගේ ලෙසය. මෙම මුදලිගේ වූ කලී, චේ වෙනුවට චේගේ රුව පින්තාරු කළ තොප්පි වලට කැමති අයෙකි. මාක්ස්ගේ ප්‍රතිපත්ති වලට වඩා මාක්ස්ගේ රුව යොදා ඇති කෝප්ප වලට කැමතිය. වොඩ්කා වලට වඩා වොඩ්කා ලේබලය සහිත බෝතලයක දමා ඇති ඕස්ට්‍රේලියාවේ නිපද වූ සුදු වයින් වලට කැමතිය. අපේ බාසාවෙන් කිවහොත්, මොහු අසා කරන්නේ ඇතුලට වඩා පිට තියෙන ලේබලයටය. මන්ද මොහුගේ නියම ආතල් එක ඇත්තේ එතැනය.  පවතින ක්‍රමය කණපිට පෙරළීමට අර අදින බොහෝ දෙනෙකුගේ කෛරාටක දේශපාලනය මෙයයි.

මොවුන් ප්‍රමුඛ සතුරා ආරක්ෂා කරන්නේය. ප්‍රමුඛ සතුරා වෙනුවෙන් පෙළ ගැසීම අමතක කොට, මුහුද හත්ගව්වක් තිබියදී අඹුඩය ගහති. කුමන දේශපාලන වෙනස්කම් තිබුණද ස්ටාලීන් එකල චර්චිල් සහ ට්රුමන් සමඟ එකතු විය. එය මොවුන් නටමින් කතාකරන කොමියුනිස්ට්වාදයේ සැබෑ ඉතිහාසයය. නමුත් මොවුන්ට මේ රටේ සැබෑ ගැටලුව වෙනුවෙන් පෙළ ගැසීම එක් පයිසයකට හෝ වැදගත්කමක් නැත. මොවුන්ගේ මාක්ස්වාදය එයයි. 

මෙය සමාන වන්නේ මානසික රෝගී රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනෙකු පෝය දිනයක ( හිතවත් මාක්ස්වාදී සහෝදරයා, ආගම අබිං නිසා මෙය කියවීමේදී පෝය වෙනුවට පිස්සුව තදවන මාසේ දවස ලෙස කියවා ගන්නේ නම් මනාය.) එළියට පැමිණ හඳට යෑමට උත්සහ කිරීම සම්බන්ධකොට ගෙතුණු කතාවකටය. එය මෙසේය.

එක් මානසික රෝගියෙක් අනෙකාට තම සැලැස්ම කියන්නේය. ඒ තමන්ට ඕනෑම කෙනෙක් හඳට යැවිය හැකි අකාරයය. එනම් , තමන් සතුව ඇති ටෝච් එක ( විදුලි පන්දම )  හඳට ඉලක්ක කර පත්තු කළ විට ඒ ටෝච් එළිය දිගේ හඳට යා හැකි බවය.

එය අසා සිටි ඔහුගේ “මිත්‍ර” මානසික රෝගී පුද්ගලයා මදක් කල්පනාකොට මෙලෙස ප්‍රතිචාර දක්වන්නේය. “සහෝදරයා... මම ටෝච් එළිය දිගේ හෙමින් මෙහින් ගිහින් මැද හරියට යනකොට හෙමීන් සැරේ ටෝච් එක නිවලා මාව බිම දාන්න නේද හදන්නේ..?”.

ලංකාවේ දයලෙක්තිකය විමසා බලන පිරිසද එසේය. එකෙක් මාක්ස් කකුල් දෙකෙන් සිටවූ ඈත පෙනෙන දයලේක්තිකය දෙසට ඉලක්ක කොට අහවල් මාසේ දිනය බලා ටෝච් එකක් ගහන්නේය. අනෙකාට ටෝච් එළිය දිගේ නගින්න යැයි කියන්නේය. අනෙකා...ටෝච් එළිය දිගේ බාගෙට නැගීමෙන් පසු එය නිවීම තමන්ට යෝජනා කරන්නාගේ අරමුණ බව සිතන්නේය. මොවුන් අතර ඇත්තේ බරපතළ සැකය පමණි. එපමණක්ද? නැත.

රටේ තරුණ තරුණියන්ගේ අධ්‍යාපනය විනාශ මුඛයට ඇද දමමින්, ගොන් රැලකට මෙරට අහිංසකයින් හූරා කෑමට අවශ්‍ය භූමිකාව හදමින්, රටේ බුද්ධිය නැත්තට නැති කරමින්, අමු අමුවේ දහස් ගණන් අසරණ දෙමාපියන්ට දාව උපන් මොළේ ඇතිවුන් සොහොනක් හෝ නැතුව මිය යෑමට අවශ්‍ය අඩිතාලම සකස්කොට, ඔවුන්ගේ මරණයට හෝ නිසි ගරුත්වයක් හෝ නොදැක්වීමට හැකි වූ රැළක් යළිත් මාක්ස්, එංගල්ස්, ලෙනින් ගැන දොඩති.

මොවුහු සිදුකරමින් සිටින්නේ හින්දු බමුණන් බුදුදහමට කළ අපහරණයම මේ ලෝකයේ ඒ ඒ අවධිවල ඒ  ඒ තත්වය අනුව පහල වූ මහා පරිමාණ චින්තන ධාරාවන් අපහරණය කිරීම පමණක් බව දශක ගණනාවක් තිස්සේ මොවුහු කළ දේශපාලනයෙන් පැහැදිළිය. 

මොවුහු කරනු ලැබුවේ මාක්ස්වාදය පෙන්වා ව්‍යාකූල විප්ලවයකට ගොස් මදාවිවාදයට අවශ්‍ය මාර්ගය සකස් කිරීමය. රාජපක්ෂ වූ කලී මෙහි ප්‍රතිඵලයකි. මේ නිසා මොවුහු පළමුව තම දේශාපලන සම්මුතිය ජනතාව සමඟ ආරම්භ කළ යුත්තේ ඔවුහු විසින් තැනු මදාවිවාදයේ ප්‍රතිඵලය,  1994 දී එකඟ වූයේ යැයි කුමාර් ගුණරත්නම් කියන, “ප්‍රජාතන්ත්‍රවාදී” මුලධර්මයට අනුකූලව පරාජය කිරීමෙන් මිස අපායේ විවේකය ගැන සිතා යකාගේ හූනියමට කත් ඇදීම නොවේ. මෙය මොවුන් සතු වගකීමකි.

අපේ මාක්ස් වාදියා මෙසේ කියන්නේය. “මාක්ස් කියපු දේවල් අරගෙන දුෂ්ඨිවාදයක් හදපු අය වගේ නෙමෙයි? අපි මාක්ස්ව ගන්නේ ගෙඩිපිටින්.එහෙම ගන්න මාක්ස් අපි අපේ පසුගාමී සමාජයට ආදේශ කරනවා.” ඒ කොහොමද සහෝදරයා? පිළිතුර ලබාදීම නොයෙල් මුදලිගේට බාරය. මුදලිගේ යනු කුමාර් නොවේ. මුදලිගේට කුමාර් වීමට  නොහැකි බව ඔහු ඊයේ ඉතා හොඳින් පෙන්නුවේය.

මොවුහු අමතක කරන මුලික කාරණයක් තිබේ. එනම් මොවුන්ගේ සිහින මන්දීරය තුළ සිටින කොමියුනිස්ට් වාදය නමැති දරුවා, යුද්ධය මඟින් හෝ දූෂණය මඟින් හෝ එම දෙකම මඟින් කුණු වූ සමාජයක උපත ලබන්නේ නැති බවය. මෙම මුලික යථාර්තයට පිටු පාන්නේ නම්, ලොම් හැලුණු බැටලුවෙකුගේ තත්වයට පත් වී ඇති ලංකාවේ මාක්ස්වාදය නොහොත් ලංකාවේ වම, කිසිඳු කාලයක බලයට එන්නේ නැත. එය සිදු කරමින් සිටින්නේ ගුණරත්නම්ලා මුදලිගේලා කිරීම පමණි. මොවුන් වඩාත් හානිකර කොටසකි.

මන්ද ගුණරත්නම් මේ වන විට රඟ දක්වමින් සිටින්නේ මීට සති කිහිපයකට පෙර හෙළ උරුමයෙන් ආණ්ඩුවට එක් වූ එම උරුමයේ මුසිලයාගේ හෙවත් ගම්මන්පිලගේ රංගනයේම  අනුකරණයකි. මොහුගේ සැබෑ ගැටලුව රාජපක්ෂ හෝ මෛත්‍රී නොවේ. මොහුගේ සැබෑ ගැටලුව ජවිපෙ සහ අනුර කුමාරය.

රටක තීරණාත්මක දේශපාලන වෙනසක් සඳහා ප්‍රඥාව මෙහෙය විය යුතු මොහොතක තමන්ගේ වෛරය පිරිමසා ගෙන පැත්තකට වී සූත්තියක් ඇදීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ හිස් වින්දනයක් පමණි. එම වින්දනය හුදෙක් ඔබේ මානසික අවුල විසඳා ගැනීම සඳහාය.

මෙම සම්පූර්ණ රඟපෑම හමුවේ මතුවන මුලික න්‍යායික ගැටලුවක් තිබේ. එනම්, ගුණරත්නම් රුසියාව හෝ කියුබාව වෙනුවට ඔස්ට්‍රේලියාව තමන්ගේ ආරක්ෂක ස්ථානය ලෙස තෝරා ගත්තේ මන්ද? ඔහු මීට මාස කිහිපයකට පෙර ලංකාවේ දී මුහුණ දුන් කටුක යථාර්තය හමුවේ ඔහු ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙකු නොවී රුසියාවේ හෝ කියුබාවේ පදිංචි පුද්ගලයෙකු වූයේ නම් අනෙකාට ඔහුව කියවීමට හැකි වනු ඇත.

අරාජික වූ රාජ්‍යක පළමුව පළවා හැරිය යුත්තේ එම අරාජිකත්වයට ඇද දැමූ මුලික ව්‍යුහීය සැකැස්ම යොදාගෙන ඔබේ අසල්වැසියාගේ අයිතිය කොල්ල කන මුලික විෂය මිස, “ අපායේ විවේකය දැක”, තමන්ගේ නිවට ආස්ථානය සොයා එය තහවුරු කරගැනීම නොවේ.

කුමාර් ඇතුළු “මාක්ස්වාදීන්” කළ දේශපාලනය නිසා මේ රට යකාගේ හූනියම් කම්මලක් බවට පත් වී ඇති බව බොහෝ දෙනා දනිති. 

කුමාර් අනුගමනය කළ එහෙත් මුදලිගේ ප්‍රතික්ෂේප කොට ඇත්තේ, “සතුරාගේ සතුරා ඔබේ මිතුරාය යන”, මුලික ප්‍රයෝගික දේශපාලන විඥානයයි. මාක්ස්  සහෝදරයා මළවුන්ගෙන් නැගිටවිත් රාත්‍රී සිහින දකින කුමාරගේ තට්ටය රත්වීමට ටොකක් හෝ ඇන මෙම  මුලාවෙන් ඔහු මුදා ගන්නේ දැයි දන්නේ නැත.

එහෙත් මාක්ස්වාදීන් නටන නාඩගම් දැක ටොකු අනිනු වෙනුවට මාක්ස් පිම්මේ දුව ගොස් යළිත් නොපෙනෙන ලෙස සැඟවී ගියහොත් ඒගැනද පුදුම විය යුතු නැත. මන්ද මොවුන්ගේ නාඩගම් එපමණකට අමිහිරි සහ තක්කඩි ස්වභාවයක් ගෙන ඇත.