Hot!

රාජපක්ෂගේ පැය 72 මෙහෙයුම සහ ව්‍යර්ථ වූ හමුදා කුමන්ත්‍රණය

විශේෂ ලියුම්කරුවකු විසිනි
උපුටා ගැනීම: රාවය

ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂගේ වාසිය සඳහා වන පත‍්‍රිකා ලක්‍ෂ දෙකක් යුද හමුදාව විසින් මධ්‍යම තැපැල් හුවමාරුව හරහා හමුදා සෙබළුන්ගේ නිවෙස් වෙත තැපැල් කිරීමේ යෙදී සිටින බවට ‘රාවය’ වාර්තා කළේ ඉකුත් දෙසැම්බර් 28වැනිදාය. දෙසැම්බර් 24 හා 25 දිනවල හමුදා සෙබළුන් විශාල පිරිසක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණ ඒවාට මුද්දර ඇලවීමේ හා යන්ත‍්‍රානුසාරයෙන් මුද්දර මුද්‍රණය කිරීමේ යෙදී සිටින බවත් එක් ලිපියක බර අනුව රුපියල් 25ක මුද්දර එහි ඇලවිය යුතු බවත්, එම මුදල සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්‍ෂ 50ක් ඒ වන විටත් තැපැල් දෙපාර්තමේන්තුවට ගෙවා ඇති බවත් තවදුරටත් වාර්තාවේ සඳහන් විය. ‘සැබෑ සාමයෙන් පසු අපේ රණවිරුවෝ’ නමින් යුත් පිටු 14කින් සමන්විත එම පත‍්‍රිකාව (පොත් පිංචකි) කියවන්නකුට දැනෙන්නේ එය මුළුමනින්ම මහින්ද රාජපක්‍ෂට ජනාධිපතිවරණයේදී ඡුන්දය දෙන ලෙස කරන නිර්ලජ්ජිත ඉල්ලීමක් බවය. මැතිවරණ සමයකදී රජයේ හමුදාවකට එවැනි දෙයක් කිරීමට නීතියෙන් කිසිදු ඉඩක් නැත. මේ පොත් පිංච මැතිවරණ නීතිය කඩකරමින් තැපැල් කරමින් පවතින බව මැතිවරණ කොමසාරිස්වරයාට ආරංචි වීමෙන් පසු ඔහු මැදිහත්වී තැපැල් කිරීම අත්හිටුවනු ලැබිණි. එහෙත් හමුදාව ඉන් පසුබෑවේ නැත. ඔවුහු කළෝ, එම ලිපි උපතැපැල් කාර්යාල මට්ටමෙන් කුඩා ප‍්‍රමාණයන්ගෙන් තැපැල් කිරීමය. තවත් කොටසක් හමුදා වාහන යොදවා බෙදාහරින ලදි. ඒ ගැනද ආරංචිවී මැතිවරණ කොමසාරිස්වරයා නැවතත් බෙදාහැරීම වැළැක්වූ නමුත් කිසියම් කොටසක් බෙදාහරින ලදි. මහින්ද රාජපක්‍ෂට අමු අමුවේ කඬේ ගිය, ආණ්ඩුවේ බදුමුදලින් මුද්‍රණය කොට පත‍්‍රිකා බෙදාහැරීමේ නිර්ලජ්ජිත මෙහෙයුම පිටුපස සිටියේ මීට පෙර හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලෙසද කටයුතු කළ යුදහමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ප‍්‍රසාද් සමරසිංහ, බි‍්‍රගේඩියර් ප‍්‍රසාද් දෙමටන්පිටිය, බි‍්‍රගේඩියර් රසික කරුණාතිලක හා ලෙෆ්ටිනන්ට් කර්නල් අජිත් වික‍්‍රමසේකර යන අයය. ඔවුහු මහින්ද රාජපක්‍ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් ජය ග‍්‍රහණය කරවීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කිරීමට කැපවී සිටි අය වෙති.


මේ ලිපි මෙහෙයුමට අමතරව පූර්ව ජනාධිපතිවරණ සමයේදී හමුදාවේ ඉහළ නිලධාරීහු විශාල පිරිසක් සෘජුවම මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට එක්ව සිටියහ. ඉන් පළමු තැන හිමිවන්නේ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායකටය. ඔහු හමුදා සෙබළුන් අමතන රැුස්වීම් පවත්වමින් (troop addressing) ජනාධිපතිවරණ සමයේදී හමුදා කඳවුරු රාශියක සංචාරය කළ අතර, මහින්ද යුද්ධය ජයග‍්‍රහණය කළ ආකාරයත්, ඉන්පසු හමුදා සෙබළුන්ට හොඳින් සැලකූ ආකාරයත් කියා ඇති ඔහු අවසානයේ කියා ඇත්තේ ඒ ජයග‍්‍රහණ රැුකගැනීමට නම් මහින්ද රාජපක්‍ෂ යළි ජයග‍්‍රහණය කරවිය යුතු බවය.

හමුදා කුමන්ත‍්‍රණය

ජනාධිපතිවරණය ආශ‍්‍රිත හමුදා මැදිහත්වීම උච්චතම හා භයානකම අවස්ථාවට පත්වන්නේ ජනාධිපති වරණයෙන් පසු හමුදාව යොදවා මහින්ද රාජපක්‍ෂ තවදුරටත් බලයේ තබාගැනීම සඳහා දියත්කැරෙන කුමන්ත‍්‍රණයත් සමඟය.

රාවයට වාර්තා වන අන්දමට මේ වැඩපිළිවෙල පසුපස සිටි ප‍්‍රධානීන් වන්නේ ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් එස්. පෙරේරා හා මේජර් ජෙනරාල් පී. සමරසිංහය. වැඩසටහනේ තිර පිටපත ගෝඨාභය රාජපක්‍ෂගේය. එය හැඳින්විය හැක්කේ ‘පැය 72 මෙහෙයුම’ හැටියටය.

පැය 72 මෙහෙයුම


මෙහෙයුමේ වැඩ පිළිවෙල අනුව, ජනාධිපතිවරණය පැවැත්වුණු 8වැනිදා රාත‍්‍රිය වන විට කොළඹ හා රට පුරා ඉතා වැදගත් ස්ථානවල හා ඒ ආශි‍්‍රතව හමුදා ඛණ්ඩ ‘ස්ටෑන්ඞ්බයි’ රැුඳවිය යුතුය. රූපවාහිනී විකාශන කුලූනු, රජයේ රූපවාහිනී ආයතන, දුරකතන සේවා ආයතන වැනි විශේෂ ස්ථාන ඒ අතර විය. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල මහින්ද රාජපක්‍ෂට අවාසි සහගත වන්නේ නම්, මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් කෙරෙමින් පවතින ප‍්‍රතිඵල නිකුත්කිරීම බලය යොදා නැවැත්විය යුතු අතර, එවකටත් ධුරයේ සිටින රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් රට පුරා හදිසි නීතිය පැනවිය යුතුය. ඉන්පසු රඳවා තැබුණු හමුදා ඛණ්ඩ මහාමාර්ගයට හා අනෙකුත් වැදගත් ස්ථානවලට පැමිණෙන අතර ඒවායේ බලය අල්ලාගත යුතුය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වාසිසහගත වන පරිදි නිකුත් වෙමින් පවතින ප‍්‍රතිඵල නැවැත්වුවහොත් ඇතිවිය හැකි මහජන නැගිටීම බලය යොදා මැඬපැවැත්වීම කුමන්ත‍්‍රණ කරුවන්ගේ බලාපොරොත්තුව විය. පැය 72ක කාලයක් එක දිගට කොළඹ හා රට පුරා ජනතාව එක් රොක් වීම නවතාගෙන සිටියහොත් ජනතා බලය හා උණුසුම දිය වී යනු ඇති අතර ඉන්පසු හමුදාවේ සහාය ඇතිව මහින්ද රාජපක්‍ෂ මහතා තවදුරටත් ජනාධිපති ධුරයේ තබාගත හැකිය යන්න කුමන්ත‍්‍රණකරුවන්ගේ තක් සේරුව වී තිබුණි. තවදුරටත් ධුරයේ රැුඳීසිටීම ගැන නීත්‍යනුකූල පසුබිමක් ඇතිකිරීම සඳහා වහාම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නට නියමිතව තිබුණු අතර, රාජපක්‍ෂ මහතාට හිතවත් අගවිනිසුරුවරයා අතින්, තවත් අවුරුදු දෙකක කාලයක් රාජපක්‍ෂ මහතාට බලයේ සිටිය හැකි බවට මතයක් ප‍්‍රකාශ කරවා ගන්නට නියමිතව තිබිණි. (තවත් අවුරුදු දෙකක් ජනාධිපතිවරයාට ධුරයේ සිටිය හැකි බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ බෙංගමුවේ නාලක හිමියන් ලවා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකොට පෙර සූදානමක් ලෙස තබාගත නොහැකිවීම සම්බන්ධයෙන් කුමන්ත‍්‍රණයේ සැලසුම්කරුවන් කනගාටුවට පත්ව තිබුණු බවද වාර්තා වෙයි. එම අතපසුවීම නොවී නම්, නාලක හිමියන් විසින් පවරන ලද නඩුවේ තීරණය පහසුවෙන්ම ජනවාරි 9වැනිදා නිකුත්කරවා ගත හැකිව තිබුණු බව ඔවුන්ගේ මතය වී තිබිණි.)

රාජපක්‍ෂ හමුදා පාලනයක්


මේ සැලැස්ම ක‍්‍රියාත්මක වූයේ නම් රට හමුදා පාලනයකට යටත්වන්නට තිබුණු අතර, මහින්ද රාජපක්‍ෂ තවදුරටත් හමුදා පාලකයකුගේ තත්ත්වයෙන් රට පාලනය කරනු ඇත. ඊට අමතරව රට ලේ විලක් වීමට නියමිතව තිබිණ.

කුමන්ත‍්‍රණ සැලසුම ගැනත්, එය ක‍්‍රියාත්මක කළ යුතු ආකාරය ගැනත් සාකච්ඡුා කිරීම සඳහා වූ රැස්වීම් දෙකක් ජනවාරි 7වැනිදා සහ 8වැනිදා පැවැත්විණි.

7වැනිදා රැස්වීම පැවැත්වුණේ ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජගත් ජයසූරියගේ කාර්යාලයෙහිදීය. ඊට මේජර් ජෙනරාල්වරු 7 දෙනෙක්, බි‍්‍රගේඩියර්වරු 8 දෙනෙක් හා පොලිසියේ ඉහළ නිලධාරීහු දෙදෙනෙක් සහභාගිවූහ. පොලිසියේ දෙදෙනා වනුයේ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා කොළඹ ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට ය. ඔවුන්ට මේ රැුස්වීම සඳහා සහභාගිවන ලෙස නියම කර තිබුණේ ලංකාවේ සිටි අපකීර්තිමත්ම පොලිස්පති වරයකු වූ, දැනට නීතිය හා මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරන මහින්ද බාලසූරිය විසිනි. ජනාධිපතිවරණ සමය තුළ ලජ්ජා රහිතවම මහින්ද රාජපක්‍ෂගේ වාසිය සඳහා පොලිසිය මෙහෙයවන්නට කටයුතු කළ බාලසූරිය ඒ නියමය කර තිබුණේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ නියමයක් ලෙසය.

7වැනිදා රැුස්වීමේ මූලිකත්වය ගෙන සිටියේ මේජර් ජෙනරාල් එස්. පෙරේරාය. ඊට අමතරව මේජර් ජෙනරාල් පී. සමරසිංහ, බි‍්‍රගේඩියර් යූ. මඩවල, බි‍්‍රගේඩියර් නිවුන්හැල්ල, බි‍්‍රගේඩියර් ආර්. ළමාහේවාද එහි සිටි අය අතර වූහ. එම රැුස්වීමේදී එස්. පෙරේරා හා ජේ. ජයසූරිය ජනාධිපතිවරණ ප‍්‍රතිඵල නිකුත්කිරීම අතරතුර හමුදාව විසින් රටේ පාලන බලය සියතට ගැනීම ගැන දීර්ඝ වශයෙන් විස්තර කළ බව වාර්තා වන අතර, හමුදාව බලය ලබාගත් පසු නීතිය හා සාමය ආරක්‍ෂාකිරීම පොලිසිය කළ යුත්තේ කෙසේද යන්න ගැන උපදෙස් ලබාදෙන ලදි. මෙහිදී ඊට සහභාගිවූ පොලිස් නිලධාරීන් දෙදෙනා වන සේනානායක හා මතුරට පැහැදිලිවම අවධාරණය කර සිටියේ, රටේ සාමාන්‍ය නීතියට පිටතින් සිදුවන කිසිදු දෙයක් සඳහා පොලිසිය සහයෝගය නොදෙන බවත්, විශේෂයෙන් එවැනි බලහත්කාරී කටයුත්තක යෙදීමට පොලිසියේ පහළ ස්ථරවල නිලධාරීන් කිසිසේත් කැමැත්තක් නොදක්වනු ඇති බවත්ය.

පොලිසියේ විරෝධය


ඒ අතර පොලිස්පති එන් කේ ඉලංගකෝන් සියලූ පොලිස් කොට්ඨාසවලට හා අනෙකුත් සියලූ මට්ටම්වල නිලධාරීන්ට දැනුම් දී තිබුණේ රටේ නීතියට පිටින් යන කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවීමට මෙන්ම සහයෝගය නොදීමටද තදින් වගබලා ගත යුතු බවය. ඒ අතර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්නගේ මෙහෙයවීමෙන් රටේ වැදගත් ස්ථානවල මෙන්ම ප‍්‍රදේශවලද පොලිස් ආරක්‍ෂාව තහවුරු කරන ලදි. පැය 72 මෙහෙයුම අසාර්ථක වීමට බලපෑ එක් හේතුවක් වූයේ පොලිස්පතිවරයා හා අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙලෙස නීතියට අනුකූලව පමණක් ක‍්‍රියාකරන්නට ගත් ස්ථාවරය ය.

රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයට පැමිණි පසු මහින්ද රාජපක්‍ෂ හා ඔහු අතර පැවැති සාකච්ඡුාවේ සමහර කරුණු පසුගිය ඉරිදා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කළේය. ඒ අනුව, සාකච්ඡුාවට ගෝඨාභය රාජපක්‍ෂ හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ද එක්වී තිබේ. රාජපක්‍ෂවරුන්ගේ ප‍්‍රධාන සැකය වී ඇත්තේ තමන් අත්අඩංගුවට ගැනීමට ඉඩක් ඇද්ද යන්නය. හමුදා සැලැස්මක් මෙහෙයවූ නිසා රාජපක්‍ෂවරුන් අත්අඩංගුවට ගතයුතු බවට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊට පෙර තානාපති හමුවකදී කියා ඇත යන අදහසක් ඒ සැකයට හේතුවී තිබිණ. කෙසේ වෙතත් කුමාරතුංග මහත්මිය එවැනි දෙයක් තමා නොකී බවට පසුව පැහැදිලි කළාය.
දෙවැනි රැස්වීම පැවැත්වුණේ ජනවාරි 8වැනිදා සවස යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ කාර්යාලයේ සම්මන්ත‍්‍රණ ශාලාවේදීය. පෙර දින රැුස්වීමට සහභාගිවූ පිරිසම එදින ඊට සහභාගිවූහ. එහිදී විශේෂයෙන් හමුදා නිලධාරීන් කියා සිටියේ සැලැස්ම අනුව හමුදා සෙබළ පිරිස් අදාල ස්ථානවල ඒ වනවිටත් ස්ථානගත කොට ඇති බවත්, හමුදාව පාලනය භාරගත් පසු පොලිසිය නීතිය හා සාමය ආරක්‍ෂා කළ යුතු බවත්ය. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනා ඒ අවස්ථාවේදීත් සිටියේ සිය දැඩි ස්ථාවරයේමය. මේ කුමන්ත‍්‍රණය සඳහා පොලිසියේ සහායක් නැති බවට ඔවුහු පැහැදිලිවම අවධාරණය කළෝය.

කෙසේ වෙතත් මේ රැුස්වීම් දෙකෙහි තොරතුරුත්, හමුදා සැලැස්මේ තොරතුරුත් රනිල් වික‍්‍රමසිංහ මහතා සහ තවත් සුළු පිරිසකට දැනගන්නට ලැබිණි. වික‍්‍රමසිංහ මහතා ඒ ගැන අමෙරිකාවද දැනුවත් කරන ලද බවත්, එහි ප‍්‍රතිඵලයක් ලෙස අමෙරිකානු ආරක්‍ෂක ලේකම් ජෝන් කෙරී මහින්ද රාජපක්‍ෂට දුරකථන ඇමතුමක් ලබා දී මහජන මතයට ගරුකරමින් සාමකාමී ලෙස බලය මාරුවන තැනට කටයුතු කරන ලෙස කී බවත් දැනගන්නට තිබේ. රනිල් වික‍්‍රමසිංහ මහතාට මහින්ද රාජපක්‍ෂගෙන් උදේ 4.30ට දුරකථන ඇමතුම ලැබෙන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය.

අගවිනිසුරුත් එහේ

දුරකථන ඇමතුම ලත් රනිල් වික‍්‍රමසිංහ මහතා කියන්නේ තමන් අරලියගහ මන්දිරයට පැමිණෙන්නට සූදානම් බවය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අනෙකුත් පක්‍ෂ නායකයන්ට අරලියගහ මන්දිරයට යන බව දැනුම් දී එහි යන විටත් අගවිනිසුරු මොහාන් පීරිස් අරලියගහ මන්දිරයේ රැුඳී සිටිනු දැක රනිල් විස්මයට පත්වූ බව කියනු ලැබේ. ඡුන්ද ප‍්‍රතිඵල නිකුත්වෙමින් තිබෙන මෙවැනි අවස්ථාවක රටේ අගවිනිසුරුවරයා අපේක්‍ෂක යකුගේ නිවසේ සිටීම ගැනය. කෙසේ වෙතත් ඒ වන විට මහින්ද රාජපක්‍ෂ හා මොහාන් පීරිස්ගේ මුහුණු මැළැවුණු අඳුරු ස්වභාවයක් ගෙන තිබුණු බව ද ආරංචි මාර්ග කියයි. මහින්ද රාජපක්‍ෂ එදින රාත‍්‍රියේ තමා විසින් පත්කරන ලද අගවිනිසුරුවරයා එහි කැඳවා තිබුණේ කුමකටද? ඉදිරි අවුරුදු දෙකක කාලය තමාට ධුරයේ සිටිය හැකිද යන්න ගැන අදහසක් ලබාගැනීමටය. අගවිනිසුරුවරයා, ‘එය කළ හැකියැ’යි පිළිතුරු දී තිබුණු බව තහවුරු නොකරන ලද ආරංචි මාර්ග කියයි.

හමුදාව රඳවයි

මේ සැලැස්ම සාර්ථක කරගත හැකි වන පරිදි හමුදා භට පිරිස් රටේ වැදගත් තැන් සියල්ලේම පාහේ රඳවා තිබුණු බවට තහවුරු කරන ලද වාර්තා තිබේ. මාණ්ඩලික ප‍්‍රධානී ජගත් ජයසූරියගේ බලකාය වන සන්නාහ සන්නද්ධ බලකායේ මූලස්ථානය වන මෝදර රොක්හවුස් කඳවුර, ජනාධිපතිවරණය දා රැුයෙහි එවැනි ‘ස්ටෑන්ඞ්බයි’ තත්ත්වයේ භටපිරිස් රඳවා තිබුණු එක් ස්ථානයකි. කඳවුර තුළ ගාල්කර තිබූ සන්නාහ සන්නද්ධ රථ කඳවුරෙන් පිටතට ගෙනවුත් ප‍්‍රදර්ශනකාරී ලෙස තබන හැටියට බි‍්‍රගේඩියර් නිවුන්හැල්ල විසින් එහි ස්ථානභාර නිලධාරියාට කරන ලද නියෝගයක් එම නිලධාරියා විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලද බවද වාර්තා වෙයි. හමුදා සන්නාහ සන්නද්ධ රථ කොළඹ නගරය පුරා සංචාරය කරවීමට සැලැස්වීමෙන් හා ස්ථානගත කිරීමෙන් නැග එන මහජන බලයක් පහසුවෙන් දුර්වල කළ හැකි බව හා මැඬලිය හැකි බව සාමාන්‍යයෙන් පිළිගැනෙන දෙයකි.

මෙලෙස අඩුම ගණනේ හමුදා බැටෑලියන (බැටෑලියනයකට සාමාන්‍යයෙන් 800 සිට 1100 දක්වා සෙබළුන් පිරිසක් අයත්වෙති.) 10ක් කොළඹ වටකොට ස්ටෑන්ඞ්බයි තත්ත්වයෙන් තබා තිබිණි. ඉන් බැටෑලියන 4ක් සිටියේ සිවිල් ඇඳුමෙනි. තවත් බැටෑලියනයක් මරදාන ටි‍්‍රපොලි වෙළෙඳ සංකීර්ණයේ රඳවා තිබිණි. තවත් එකක් රැුඳවූයේ මීගමුවේ කඩොල්කැලේ නම් ප‍්‍රදේශයේය. එහි බැටෑලියනයක් සිටින්නේ ඇයිදැ’යි ඇසූවකුට ලැබුණු පිළිතුර වූයේ පාප්වහන්සේගේ ගමනට ආරක්‍ෂාව සඳහා එලෙස රැුඳවූ බවය.

කවර හේතුවක්, බලපෑමක් නිසා හෝ මේ කුමන්ත‍්‍රණ සැලසුම අසාර්ථක වූයේ රටේ වාසනාවටය. එය එසේ නොවිණි නම්, එක් පුද්ගලයකුගේ අධික බල තණ්හාව නිසා මහා ලේ ගංගාවක් ජනවාරි 8න් පසු රටේ ගලායන්නට ඉඩතිබුණි.

හොර ඡන්ද පෙට්ටි

හමුදාවේ ඇතැම් අය මැදිහත්වී නිර්මාණය කරන ලද හොර ඡුන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඇතුළත්කිරීමේ මෙහෙයුමක්ද ක‍්‍රියාත්මක වූ බව දැනගන්නට තිබේ. මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ආරක්‍ෂක විධිවිධාන අනුව එවැනි හොර ඡුන්ද පෙට්ටි මැතිවරණ ක‍්‍රියාවලියට එකතු කිරීමට කිසිම හැකියාවක් නැති නමුත්, හමුදාවේ ඇතැම් නිලධාරීන් වෙතින් එවැනි උත්සාහයක් තිබුණු බව පැහැදිලි වෙයි. ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර පනාගොඩ හමුදා කඳවුර පිටුපස නිවෙසක හොර ඡුන්ද පෙට්ටි තිබේයැ’යි මැතිවරණ කොමසාරිස්ට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය යොදා නිවෙස පරීක්‍ෂා කරනු ලැබිණ. එවැන්නක් හමු නොවීය. මේ නිවස කුලියට ගෙන තිබුණේ හමුදා නිලධාරියෙකි. එහෙත් ඔහු ඒ නිවසට පැමිණ තිබුණේ පොලිසිය පරීක්‍ෂා කරන දිනට ඉතාම ආසන්නයේදීය. ඔහුට පෙර එම නිවසේ පදිංචිව සිටියේ තවත් හමුදා නිලධාරියෙකි. ඔහු මේ රාජපක්‍ෂ ඡුන්ද ක‍්‍රියාන්විතයේ සිටි අයෙකු බවට තොරතුරු තිබේ. අපක්‍ෂපාත අනෙක් හමුදා නිලධාරීන් සැකකරන්නේ පොලිසිය වටලන්නට පෙර එම ස්ථානයේ තිබූ හොර ඡුන්ද පෙට්ටි ඉන් ඉවත්කරගෙන තිබූ බවය. කෙසේ වෙතත්, ඡුන්දය ගණන් කරන රාත‍්‍රියේ කොළඹ ඞීඑස් සේනානායක විදුහල් ගණන් කිරීමේ මධ්‍යස්ථානය අසළ නවත්වා තිබුණු රථයක හොර ඡුන්ද පෙට්ටි තිබුණු බවට සමහර යුක්තිගරුක හමුදා නිලධාරීහු සැක කරති.

මහින්දගේ ඉල්ලීම්


රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයට පැමිණි පසු මහින්ද රාජපක්‍ෂ හා ඔහු අතර පැවැති සාකච්ඡුාවේ සමහර කරුණු පසුගිය ඉරිදා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කළේය. ඒ අනුව, සාකච්ඡුාවට ගෝඨාභය රාජපක්‍ෂ හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ද එක්වී තිබේ. රාජපක්‍ෂවරුන්ගේ ප‍්‍රධාන සැකය වී ඇත්තේ තමන් අත්අඩංගුවට ගැනීමට ඉඩක් ඇද්ද යන්නය. හමුදා සැලැස්මක් මෙහෙයවූ නිසා රාජපක්‍ෂවරුන් අත්අඩංගුවට ගතයුතු බවට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊට පෙර තානාපති හමුවකදී කියා ඇත යන අදහසක් ඒ සැකයට හේතුවී තිබිණ. කෙසේ වෙතත් කුමාරතුංග මහත්මිය එවැනි දෙයක් තමා නොකී බවට පසුව පැහැදිලි කළාය.

මේ සාකච්ඡුාවේදී, කිසිදු ගැටලූවකින් තොරව මෘදු ලෙස මෛත‍්‍රීපාල සිරිසේනට බලය පවරන්නේ නම්, රාජපක්‍ෂවරුන්ගේ හා ඔවුන්ගේ පවුලේ අනෙක් සාමාජිකයන්ගේ ආරක්‍ෂාව නියත වශයෙන්ම සලසන බවට රනිල් වික‍්‍රමසිංහ මහතා සහතික වී තිබේ. එලෙස බලය මාරුකිරීමේ කාලසටහනකට ඒ අවස්ථාවේදී දෙපාර්ශ්වය එකඟ වූහ. මහින්දට දැනට තිබෙන පෞද්ගලික ආරක්‍ෂාව එලෙසම පවත්වාගැනීමට ද එකඟවිණි. ගෝඨාභය රාජපක්‍ෂටද ආරක්‍ෂක ඒකකයක් ලබාදීමට එකඟ විය. වැදගත්ම කාරණය වන්නේ, තමාගේ නිල නිවස ලෙස කොළඹ 2, ජායික් හිල්ටන් හෝටලය ඉදිරිපිට ඇති සුවිසල් ‘ඇක්ලන්ඞ් හවුස්’ (විසුම්පාය) රාජපක්‍ෂ මහතා ඉල්ලා සිටීමයි. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති මන්දිරයත්, අරලියගහ මන්දිරයත් යන දෙකම සිය පාවිච්චිය සඳහා යොදාගත් නිසා අගමැති නිල නිවස බවට පත්ව තිබුණේ මේ විසුම්පායයි. 

මැලේසියාවේදී අත්අඩංගුවට ගත් කොටි සංවිධානයේ නායක කේපී කලක් ගෝඨාභය රාජපක්‍ෂගේ අනුග‍්‍රහය ඇතිව සියලූ සැපසම්පත් සහිතව රඳවා තබා සිටියේද මේ සුවිසල් මන්දිරයේය. කෙසේ වෙතත් සාකච්ඡුාවේ අවසානයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා, දුරකථනයෙන් රාජපක්‍ෂ මහතා අමතා විසුම්පාය ලබාදිය නොහැකි බවත්, වෙනත් නිවෙසක් නිල නිවෙස ලෙස තෝරාගන්නා ලෙසත් දැනුම් දී තිබේ. ජනවාරි 9වැනිදා කොළඹින් පිටත්වී තංගල්ලට යෑමට හෙලිකොප්ටර් දෙකක් සූදානම් කර දෙන ලෙසද මහින්ද රාජපක්‍ෂ මහතා වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ අතර ඒ අනුව ගුවන් හමුදාවේ එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් දෙකක් සූදානම් කරනු ලැබීය. එදින දහවල් 1.30ට ආරක්‍ෂක අමාත්‍යාංශ පිටියේ සිට තංගල්ලට මහින්ද රාජපක්‍ෂ මහතා සිය පුතුන්ද කැටුව නික්ම ගියේය.ඊට අමතරව හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගෙන් කිසිදු හානියක් තමන්ට, විශේෂයෙන් සහෝදර ගෝඨාභයට මෙන්ම පවුගේ සාමාජිකයන්ට නොවන පරිදි කටයුතු කරන්නැ’යිද රාජපක්‍ෂ මහතා වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබිණ.

මේ ආකාරයට ඊට දිනයකට පෙර මහරජකුගේ අභිමානවත් බව පළකළ පුද්ගලයා ආරක්‍ෂාව සඳහා යදින තත්ත්වයක් නිර්මාණය වී තිබිණ. එහෙත් ඒ හොඳින් හෝ නරකින් තවදුරටත් බලයේ රැඳී සිටීමට ඔහු ගත් උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වීමෙන් පසුවය. එනිසා රාජපක්‍ෂ මහතා කොළඹින් පිටත්ව දකුණට ගියේ සාමයෙන් බලය පවරා, මහත්මයකු සේ සිල්රෙද්දක් පොරවාගෙන නොවේ. බලයේ සිටීමට කළ සියලූ කුමන්ත‍්‍රණ මහජන බලය ඉදිරියේ අසාර්ථක වීම නිසාය. මහින්ද රාජපක්‍ෂ නම් ඒකාධිපති පාලකයා සිහසුනෙන් බස්වා මැදමුලනට යැවීමේ සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ වෙනසක් අපේක්‍ෂා කළ මේ රටේ යුක්තිගරුක ජනතාවටය.