Hot!

ඒකාධිපති ජනාධිපති වියරුව පරදවමු

| මහාචාර්ය නවරත්න බණ්ඩාර
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

මෙරටට විධායකජනාධිපතිවරයකු ප‍්‍රථමයෙන් පත් වන්නේ 1978 පෙබරවාරි 4 වන දිනය. අදට වසර 37 කට පෙර 1972 ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද දෙවන සංශෝධනය මගින් මෙම ධුරය හඳුන්වා දෙන විට පැවතියේ අගමැතිවරයකුගේ නායකත්වයෙන් යුත් කැබිනට් මංඩල පාලන ක‍්‍රමයකි. විධායක බලතල සහිත ජනාධිපති ධුරයක් එම පාලන ක‍්‍රමයට එකතු කිරීම එම අවස්ථාවේ දී සිදුකරන ලදි. එහි ප‍්‍රතිඵලය වූයේ අගමැති සහ ඇමති මංඩලය සතුව තිබූ විධායක බලය ජනාධුපති ධුරය වෙතට පවරා ගැනීමය. එමගින් නාමික සහ දේශපාලන යනුවෙන් පැවති විධායක ආයතන දෙක එකක් බවට පත්කරන ලදි.

නව ක‍්‍රමය යටතේ අගමැති ධුරය හුදු තනතුරු නාමයක් පමණක් බවට පත් විය. ඒ මගින් අගමැතිවරයා ජනාධිපති විසින් භාර දෙනු ලබන කවර හෝ දෙයක් බලාකියා ගන්නා ගොපලු තනතුරක් බවට පත් කරන ලදි. ඇමතිවරු ජනාධිපතිගේ ලෙෆ්ටිනන්ට්ලා තත්ත්‍වයට පත් වූහ. ජනාධිපතිගේ උදහසට ලක් වුවහොත් උඩ සිට බිමට වැටී කුඩු වී යන හම්ප්ටිඩම්ප්ටිලාය. මෑතක දී එක් පුවත්පත් කාටුන් සිත්තරෙකු විසින් සිය කාටූනයක් මගින් ප‍්‍රකාශ කරනු ලැබ තිබූ පරිදි ඇමතිවරුන් යනු තමන්ට තිබෙන හිරිහැර ගැන හඬ හ ඬා දුක කියන අතරම ආණ්ඩුව ඇතුළට වී පැණි කමින් ඉන්නට සිදු වී තිබෙන හිරකරුවන් පිරිසකි. කලකට පෙර සෝවියට් රාජ්‍යයේ පාලකයාව සිටි ජෝසෆ් ස්ටාලින් යටතේ සිටි ඇමති මංඩලය මෙන් ඔවුන්ට ද ජනාධිපති කියන දෙයක් අසා ගෙන සිටින ඇමති පිරිසක් බවට පත් වීමට සිදුවී ඇත.

අවසානයේ අද මෙරට සිටින්නේ එසේ ගොඩනගා ගන්නා ලද බලයට පාර්ලිමේන්තුව සහ අධිකරණය ද යටත් කොට ගෙන සිටින ජනාධිපතිවරයෙකි. ගත වූ කාලය තුළ රටේ සෑම අංශයක්ම තමන්ගේ අත්තනෝමතික බලයට නතු කර ගැනීමට මෙම තනතුරට හැකි වී තිබේ. අද මේ රටේ රාජ්‍යයක් නැත. ඇත්තේ ආණ්ඩුවක් පමණකි. ඒ තරමටම රාජ්‍ය ආයතන වන ත‍්‍රිවිධ හමුදාණි පොලිසියණි රාජ්‍ය පරිපාලන සේවයණි විශ්වවිද්‍යාලණි නීති ගත සංස්ථාණි අධිකාර හා ව්‍යාපෘති යනා දී සමස්ත පද්ධතියම ජනාධිපති සිය දේශපාලන ග‍්‍රහණයට නතු කොට ගෙන ඇත.

එක පවුලක් කුස්සියේ සිට පාලනය මෙහෙයවන ආණ්ඩුවක් ඇති වී තිබෙන නිසා මේ රටේ නියම ආණ්ඩුවක් ද නැති තත්වයක් ද අද ඇති වී ඇත. ‍මේ කුස්සි ආන්ඩුව ‘මහ රජාණෙනි’ ගීතයේ අදහස සංකේතවත් කරමින් රාජාන්ඩු පාලනයක් දක්වා වර්ධනය කිරීමට සමහරුන්ට අවශ්‍යව තිබෙි. එක් නලාකරුවකු බුදුන්ට නෑදෑකම් කිව හැකි නායකයෙක් මේ බල ඒකරාශි කරණය තුලින් දැකීම අහමිබයක් නොවේ. මේ අතර එක් දේශපාලකයෙක් දුටුගැමුණු යලි ඉපදීමට සමාන කරමින් පුද්ගල වන්දනාවේ යෙදෙයි. මෙයින් පෙනෙන්නේ තුන්වන ලෝකයේ දේශපාලන සංස්කෘතියක දී මෙබඳු තනතුරක් විසින් ලබා දෙන්නේ ව්‍යවස්ථානුකූල ඒකාධි්පතියෙකු යයි 1978 දී මෙම ව්‍යවස්ථාව ගැන ලියූ මහාචාර්ය ඒ. ජේ. විල්සන් කළ සඳහන නිවැරිදි බවය.

යම් සමාජයක බලතල බෙදීමක් නොමැති නම් එතැන ආණ්ඩුක‍්‍රමයක් නැතැයි 1789 දී ප‍්‍රංශ විප්ලවයෙන් පසුව නිකුත් කළ මිනිස් අයිතිවාසිකම් ප‍්‍රකාශනය සඳහන් කළේය. අද මේ රට තුළ පවතින තත්වයෙන් එම ප‍්‍රකාශණයේ සත්‍යතාවය ඇස්පනාපිට පැහැදිලි වේ. අපට අද ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නැත. ව්‍යවස්ථාදායකය ද අධිකරණය ද ජනාධිපතිගේ බලයට යටත් කළ විට බලතල බෙදීම වෙනුවට ඇතිවන්නේ මෙම ති‍්‍රවිධ බලතල එක් අයකු අතට පත් වී ඒකාධිපතිත්ත්‍වයකි. එවිට තීරණ ගනු ලබන්නේ හිතුවක්කාරී ලෙස ය. අද එම තනතුර ජනාධිපති වියරුවක් ඇතිවන තරමට දුර ගොස් ඇත. මෙම වියරුව තුල අද අපට හමුවන්නේ රත්තරන් මුදු අත් පුරා දමා ගෙන දේව වන්දනාවේ යෙදෙමින් ජනතාව වෙනුවට ග‍්‍රහ මාරු ගැන විශ්වාස කරන වැඩවසම් යුගයේ පාලකයෙකි. එක් පුද්ගලයකු මුල් කරගෙන පාලන ක‍්‍රමය ගොඩ නැගූ විට එම ධූරය දරන්නා සිය පුද්ගලික මනදොළ පුරවා ගැනීමට එම බලය යොදා ගැනීමෙන් පැන නගින්නේ ඒකාධිපති පාලනයක් බව මීට වසර 2500කට පෙර ඇරිස්ටෝටල් නිගමනය කළේ ය. ඔහු එම නිගමනයට එලඹනේ එවකට මධ්‍යධරිණය වටා පැවති ආන්ඩුක‍්‍රම ගණනාවක් පිළිබඳව ප‍්‍රත්‍යක්‍ෂ මූලක ලෙස සිදුකළ පරීක්‍ෂාවක් පදනම් කොට ගෙන ය. අද මෙරට පවතින ජනාධිපති ක‍්‍රමය මේ නිගමන සියල්ල යථාර්ථයන් බවට පත් කොට ඇත.

රටට බුද්ධිමය මග පෙන්වීමක් දීමට 1950 දශකයේ කි‍්‍රයා කළ සමසමාජ සහ කොමියුනිස්ටි පක්‍ෂවල අතීතයට නිගරු කරමින් එම පක්‍ෂවල නායකයන්ගේ කොඳු නාරටි ඉතා පහසුවෙන් නැමිය හැකි බලයක් ඇති ජනාධිපති විිධායකයක් බිහි වී ඇත. විනිසුරු, විනිසොරා යනුවෙන් ද දේශපාලකයා, මගෝඩිස්තුමා යනුවෙන් ද මාධ්‍යය විසින් හඳුන්වනු ලබන විට ද, රජයෙන් ලැබෙන තනතුරුවලට යට වී රජයට ගැතිකම් කරන රාජ්‍ය නිලධාරීන් සහ සරසවි ඇදුරන් ද දෙස බලන විට ද ජනතාවට සේවය කළ යුතු කලාකරුවන් නලාකරුවන් වී සිටින අන්දම දෙස බලන විට ද පෙනෙන්නේ මෙම ජනාධිපති ධුරය කිසිවක් ඉතිරි කොට නැති බව ය. එය ආගමික සංස්ථා සහ ඒවායේ නායකයන් ද ව්‍යපාරිකයන් ද ජන මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන් ද තමන්ගේ යටතට ගෙන මුලු රටේ සමස්ත බලයම මෙහෙයවන මධ්‍යස්ථානය බවට පත් වී ඇත.

ව්‍යාපාරිකයින් වෙනුවට ජාවාරාම්කාරයින් ඉදිරියට පැමිණ ඇත. මේ නිසා විධායක ජනාධිපති ක‍්‍රමය පහසුවෙන් ධනය රැස් කොට ගැනීමට අවශ්‍ය අයට අයට සිතූ පැතූ දේ ලබා දෙන සුරබිදෙනක් බවට පත්වී ඇත. අවසානයේ ටික දෙනකුට ජාතික ධනයෙන් වැඩි පංගුවක් පහසුවෙන් භුක්ති විඳීමට ඉඩ ලබා දීම සිදු කොට තිබෙන්නේ දේශපේ‍්‍රමය, මව්බිම, රට, ජාතිය, ආගම, ස්ථාවරත්වය වැනි වචන ව්‍යාජ ලෙස පාරිශුද්ධත්වයට පත් කොට ගෙන ඒවා ජනයා රැවටීම සඳහා යොදා ගැනීමෙනි.

ත‍්‍රස්තවාදයෙන් රට නිදහස් කොට ගෙන ලබා ගත්තා යයි කියන නිදහස යනු, බලයට ගැතිකම් කරන්නවුන්ට ජාතික සම්පත්වලින් සැප විඳීමට අවස්ථාව සලසා දෙන නිදහසක් බව අද සාමාන්‍ය ජනයාට පැහැදිලි වී ඇත. ගත වූ කාලයේ සිදු කරන ලද ‘කොන්ක‍්‍රීට් සංවර්ධනය’ තුළින් ධනය රැස් කොට ගෙන ඇති අන්දම පිළිබඳ අභ්‍යන්තර තොරතුරු මේ පවුල් ආණ්ඩුවට සම්බන්ධ වී සිට දැන් තම හෘදය සාක්‍ෂිය විවෘත කරන අය කියන දෙයින් මනාව පෙනෙයි. මැතිවරණ පූර්ව කාලයේ දී රජයේ මුදල් පාවිචිචි කරමින් රාජ්‍ය අයවැය අර්බූදයට යවමින් සිදුකරන භාණ්ඩ සහ මූල්‍ය දීමනා බෙදා හැරීම මගින් මෙය තවදුරටත් ඔප්පු කර පෙන්වයි. මේවා සූදු අන්තුවෙක් සිය ගේ දොර උකස් කරන ආකාරයට ඡුන්ද කිරීම සඳහා ජාතික ධනය සිතැඟි ලෙස පාවිචිචි කිරීමට ජනාධිපති ධූරය ලබා ගෙන තිබෙන හැකියාව මනාව පෙන්නුමි කරයි.

ආන්ඩුවේ සමස්ත මැතිවරණ ව්‍යපාරය පුරාම පෙනෙන්නේ වියරු වැටී මැත දොඩවන පිරිසක් විසින් ජනතාවගේ ඇස්වලට වැලි ගැසීමට දරනු ලබන ප‍්‍රයත්නයකි. ඡන්දදායකයාට නිදහස් වරණයකට යාමට ඉඩ නොදී ඔවුන් අනියම් ආකාරයෙන් ආකර්ෂණය කොට ගැනීමට ඔවුහු ඝෝෂණයක් දියත් කොට ඇත. වරණය නොව ඝෝෂණය (Noice not Choice) ජනපතිවරණය හසුරුවන සංරචකය බවට පත් කිරීමට ඔවුහු කෝටි ගණන් මුදල් වැය කරති. ඔවුන්ගේ තේමා පාඨය වී ඇත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය ශක්තිමත් කරමු යන්නය. තුන් වන වරට ද ජනාධිපති ධුරය වර්තමාන ජනාධිපතිවරයාටම ලබා දී එය පවුලකට උරුම කළ හැකි පාරම්පරික තනතුරක් බවට පත්කිරීම ඔවුන්ගේ අරමුණය.

ජනාධිපතිවරයාව කිසිදු අධිකරණයක් ඉදිරියේ ප‍්‍රශ්න කළ නොහැකි තත්වය නිසා අසීමිත බලය පුද්ගලයා ද විනාශ කරන්නේය යන්න පැහැදිලි සත්‍යයක් බවට පත් වී ඇත. මෙම ක‍්‍රමය 1994 සිට ජනතා ද්වේෂයට ලක් වී තිබෙන්නේ මේ තත්වය තුළ සියලූ කටයුතු සිදු වන ආකාරය පිළිබඳව ඔවුන්ට ලැබී තිබෙන අත්දැකීම් නිසාය. 1994 දී මැතිවරයේ දී සටන් පාඨ බවට පත් වූයේ මර්දනයණි පීඩනය සහ දූෂණයයි. එය අද ද ජනතාවගේ සටන් පාඨ බවට පත්වී ඇත. ආන්ඩුවේ සටන් පාඨවල ඇත්තේ ‘මිනිසත්කම’ පිළිබඳ ව්‍යාජයක් ඉදිරිපත් කොට ‘මව්බිම’ ජනාධිපතිගේ පුද්ගලික බූදලයක් බව පෙන්වීම ය. මෙය පුද්ගල වන්දනාව යොදාගෙන හිටිලර් බලයට පත් කිරීමට එදා ජර්මනියේ මැතිවරණ මෙහෙයවූ ආකාරය අපට සිහි ගන්වයි. පසුව ජර්මනියට සිදුවූයේ මුලු ලෝකයටම අභියෝග කරමින් ජාතිවාදී මානසික ව්‍යාපෘතියක් සඳහා ක‍්‍රියාකරන ඒකාධිපතිත්වයනට යටත්ව ජීවත්වීමට ය.

එක් පුද්ගලයකු අත්තනෝමතික පාලනයක් ගෙන යාමට පාර කපා දෙන ව්‍යවස්ථාවක් වරින්වර ඇති කරන ලද ව්‍යවස්ථා සංශෝධන මගින් සකස් කර ගෙන ඇත. 18වන සංශෝධනය මෙම ජනාධිපති ක‍්‍රමය නැවත වෙනස් කල නොහැකි ලෙස ස්ථාවර කිරීමට අවශ්‍ය විධිවිධාන ඉදිරිපත් කිරීම සිදුකර ඇත. ජනාධිපති ධූරය ජීවිත කාලයට එක් අයකුට ලබා දීම එහි අරමුණය. මෙම ව්‍යවස්ථාව සමිමත කලේ තමන් සතු තුනෙන් දෙකේ බලය පාර්ලිමේන්තුව පිල් මාරු මගින් ලබා ගත් වහාම ය. තව වසර දෙකක් සිය ධූරය දැරීමට හැකිව තිබිය දී ජනපතිවරණය දැන් ලබා ගෙන තිබෙන්නේ ඇයි? ජන මතය තවත් අවුරුදු දෙකක දී ඡුන්ද බලය ලබා ගන්නා අලුත් පරමිපරාවේ ඡන්ද ද සමඟ වෙනස්වන බව හොඳටම දන්නා නිසා ය. මෙය වසර දෙකක් තුල ඡුන්ද ලැයිස්තුවට ඇතුල්වන නව පරමිපරාවේ තරුණ තරුණියන්ට ඡුන්ද බලය අහිමි කිරීමේ පියවරක් ද වෙයි.

18වන සංශෝධනය හැරුනුවිට ආන්ඩුව සතු තුනෙන් දෙකේ බලය මීලඟට යොදා ගත්තේ තමන්ට අවශ්‍ය පරිදි නඩු තීන්දු දීමට එකඟ නොවූ අග විනිසුරුවරිය හිතුවක්කාරි ලෙස ඉවත් කර දැමීමට ය. මේ ආකාරයට පාර්ලිමේන්තුව ද අධිකරණය ද ජනාධිපති වන්දනාවේ යෙදෙන අයගෙන් පුරවා ගැනීමට යුද ජයග‍්‍රහණය යොදා ගෙන සිදුකරන ලදි. ලබා ගත් නිදහස යොදා ගෙන ඇත්තේ කුමක් සඳහා දැයි මේවා දෙස බලන ඔීනෑම අයකුට පෙනෙ යි. මේ නිසා මෙවර ජනාධිපතිවරණය ඒකාධිපති වියරුවෙන් ඇති කර තිබෙන අවස්ථාවක් මිස ව්‍යවස්ථාවේ පරමාර්ථ අනුව ඇති කර තිබෙන ජනාධිපතිවරණයක් නොවේ.

අපට මෙය තවත් ජනාධිපතිවරයකු පත් කරන හුදු ආන්ඩු වෙනසක් නොවේ. එසේ නමි අප මේ කරන්නේ ආන්ඩුවක් වෙනස් කොට එයින් ලැබෙන ප‍්‍රතිලාභ වලට ලොබින් කරන මැදිහත්වීමකි. අපට නමි මෙය ඉතිහාසය විවෘතවී ඇති මොහොතකි. අපගේ පූර්ව පරමිපරාවන් විසින් යටත් විජිත යුගයේ සිට කරන ලද මැදිහත්වීමි මගින් අපට අත් කර දී තිබෙන ඉතාම සීමිත තත්ත්‍වයකට දැන් කොටු කොට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස්කම් රැක ගැනීමට ඉතිහාසය ලබා දී ඇති මොහොතකි. ජනතාව මේ මොහොත බුද්ධියට මුල් තැන දී තීරණය කිරීම සඳහා යොදා ගත යුතුය.

විධායක ජනාධිපති ධුරය තුන්වන වාරයක් වර්තමාන ජනපතිට ලබා නොදෙන ලෙස අප ඉල්ලා සිටින්නේ මේ භයානක ඒකාධිපතිත්වයට තිත තැබීම සඳහා ය. 18 වන සංශෝධනය මගින් ඉල්ලා සිටින ලද තුන්වන වාරය මෙම ඡුන්දයේ දී ලබා නොදුනහොත් එම සංශෝධනය අප විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබුවා වෙයි. එම නිසා මෙම මැතිවරණය 18 වන සංශෝධනයට එරෙහි ජනමත විචාරණයක් බවට පෙරලන ලෙස මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටිය යුතු ය.

නිදහස ලැබී ඇත්තේ ඔවුන්ට මිස අපට නොවේ යයි ජනතාව විසින් කිවයුතු මොහොත දැන් උදා වී ඇත.

2014 දෙසැම්බර් 21 වන ඉරිදා ඉදිරිය පුවත් පතෙනි.