Hot!

අහෝ බුද්ධිය - රාජපක්ෂ ප්‍රමෝදීන්ගේ දිරායෑම

මට දැනෙන හැටියට, මෙලොව ඇති බරපතළම අවුල වන්නේ බොරුවක් වෙනුවෙන් පෙනී සිටීම සහ එය බාහිර කාරණා දමමින් සාදාරනීකරණය කිරීමට සිදුවීමය. රාජ්‍යයක් සතු නීතීමය ගුණාංග ප්‍රකාශ කිරීමේ නිරවුල් බුද්ධියක් තමන්ට තිබුණද එම බුද්ධියට අස්ථාවර රටක අරාජික නීති ක්‍රමයක් හමුවේ සිදුවන කුළල් කෑ ගැනීම් නොපෙනීම කදිම විහිළුවකි. අපි සුව කළ යුත්තේ රෝගය මිස රෝග ලක්ෂණය නොවන බව ක්‍රමෝපායිකව මොවුන් සඟවන සාධකය වේ. එමඟින් අපි වැනි සාමන්‍ය ජනතාව හමුවේ ඇති අභියෝගය අතිමහත්ය
| නිලන්ත ඉලංගමුව

ඔහුගේ ආස්ථානය ඔහු පැහැදිලි කළේය. ඒ එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙනි.  ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරනු ලැබුවේ සිරස රූපවාහිනය මඟින් විකාශය කෙරෙන සටන නමැති දේශපාලන වැඩසටහන ඔස්සේය.

එවකට එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ ජනසංනිවේදන අංශයේ ප්‍රධානියෙකු ලෙස මහඟු කාර්යයක් ඉටු කළ මොහාන් සමරනායක මහතා පසුව තම දේශපාලන මතවාදය අනුව යමින් තම වෘත්තිය ජීවිතය වෙනස් කළේය. සැබවින්ම මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇති බරපතළ අභන්තර ගැටලුවල ගොදුරක් බවට පත් වූ හෙතම රටේ සමස්ථ පදනමේ ඇති බිඳ වැටීම ගැන මනා අවබෝධයක් ඇති අයෙකු ලෙස හැඳින්වීමේ වරදක් නැත.

ඔහු එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ කටයුතු කරණ අවධියේ සිටම එම සංවිධානයේ ඇතැම් ක්‍රමවේදයන් වලට  එරෙහිව දැඩි මතවාදයක් ශක්තිමත් ලෙස ගොඩ නගා ගෙන තමන්ගේ ආස්ථානය පැලපදියම් කරගත් පුද්ගල නියෝජනයකි. ඔහුට ඒ සඳහා එම සංවිධානය සතුව ඇති ව්‍යුහීය පදනම මහඟු පිටිවහලක් ලබා දුන් බව මගේ අවබෝධය වේ.

ඔහු සහ මා අතර දීර්ඝ ලෙස කතා බහ ඇති වූ අවස්ථා රැසක් ඇති අතර සෑම මොහොතකදීම ඔහුට යම් කිසි වැදගත් කාරණයක් මතු කිරීමේ හැකියාව තිබුණි. එකල දිවයින පුවත් පතේ විදෙස් විත්ති විචාරකයෙකු ලෙස කටයුතු කළ මා ලියූ බොහොමයක් දෑ ඔහු අවධානයෙන් කිය වූ බව ඔහු විසින් මා හට පෞද්ගලිකව ප්‍රකාශ කොට ඇත. ඇතැම් අවස්ථාවලදී ඔහු මඟ පෙන්වන්නෙකු විය. විෂයානුකූලව ගත්කළ ඔහු වැදගත් බුද්ධිමතෙකි.

මොහාන්ගේ ගමන කටු දුර්ග සහ බාධක වලින් පිරි තිබු එකක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. වෘත්තිමය වශයෙන් ඔහු දිනා ගත් දෑ මහත් පරිශ්‍රමයෙන් ලබා ගත් දෑ බව මෙහිදී මතක් කළ යුතුව ඇත. බොහොමයක් දෙනෙකුට නැති නමුත් ඔහු ඇතුළු ඉතා සුළු පිරිසකට පමණක් ඇති පුරුද්දක් තිබේ. එනම් තමන් විශ්වාස කරණ දේශපාලන මතවාදය සම්බන්ධයෙන් වන බොහොමයක් අදහස් ඉතා පරෙස්සමින් කියවීමය. මෙය ඉතා හොඳ පුරුද්දකි.

මොහාන් මේ වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශකයෙකු ලෙස කටයුතු කරණ බව අපි සියල්ලෝම දනිමු. ඊට පෙර ඔහු රාජ්‍ය මාධ්‍ය ආයතනයක ප්‍රධාන නිලයක් දැරුවේය. නමුත් ඔහු සඳහන් කළ ආකාරයට, අදාළ සංවාදයට පැමිණයේ වෘත්තීමය ජනමාධ්‍යවේදියෙකු ලෙස මිස දේශපාලනඥයෙකුගේ ප්‍රකාශකයෙක් ලෙස නොවේ. එය එම සංවාදයට පැමිණි, අනෙක් සියලුම දෙනාට වඩා තමන් වෙනස් බව පෙන්වීමට උත්සහ කිරීමකි.

මෙලෙස තමන් පෙනී සිටින දේශපාලනඥයා වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව කීම තුළ, මානුෂික අහිංසක කමක් හෙවත් අභ්‍යන්තර බිඳ වැටීමක් මෙන්ම සූක්‍ෂම ලෙස තම හෘදයසාක්ෂියට සිදුකර ගන්නා වංචාවක් පිළිබිඹු වේ. එම ද්විතීකය අතර ඇති පරතරය ඉතා සියුම්ය. එම ද්විතීකය නියෝජනය කරනු ලබන්නේ එකිනෙකට වෙනස් කරනා දෙකකි. එනම් ඇත්ත සහ බොරුවයි. 

ඇත්ත සහ බොරුව අතර ඇත්තේ ඇසට නොපෙනෙන මට්ටමේ පරතරයකි. තම මතවාදය සාදාරනීකරණය කිරීම සඳහා තමන් ජීවත්වන වටපිටාව නොසුදුසු වූ විට එම සියුම් පරතරය තෝරාගැනීමට බොහෝ දෙනෙකුට සිදු වේ. මොහාන් පත් වී ඇත්තේද එම තත්වයට බව පැවසීම පූර්ව විනිශ්චයක් වුවද එය එසේ නොවේ යැයි සඳහන් කිරීමට හේතු ඉතා අල්පය. සැබෑ මර්ධිත සමාජ ක්‍රමයක් තුළ මෙවැනි දෑ ඉතා සුලභ කාරනා බව ඉතිහාසය විසින් උගන්වා ඇත.

උතුරේ ප්‍රභාකරන් යටතේ මෙන්ම දකුණේ රාජපක්ෂ ඇතුළු බොහොමයක් නව-වැඩවසම් බමුණුවාදී ගෝත්‍ර නායකයින් බලය සමඟ කෙලි සෙල්ලම් කරණ විට සිදු වූයේ රටේ නියම බුද්ධිමය නිදහස, ‘වහල් බුද්ධියක්’ බවට පත්වීමය. මෙකි මර්ධනය තුළ නිදහස අර්ථ ගැන්වෙන්නේ පාලකයාගේ අවශ්‍යතාවය අනුව සහ ඔහුගේ විග්‍රහයන්ට හෙවත් ආශාවන්ට අනුකූලවය. එකී මර්ධනය මුලික වශයෙන් ඉලක්ක කරන්නේ, රටේ යුක්තිය පසිඳ ලීමේ ක්‍රමවේදය, කුණු කිරීම සඳහාය. එමඟින් රටේ අනෙක් ඕනෑම ආයතනයක් සතු කොන්ද කඩා බිඳ දැමිය හැකිය.

එය වසා දැමීම සඳහා පාලකයාට තම බලාධිකාරියට නතුව කටයුතු කරණ ‘වහල් බුද්ධියක්’ අවශ්‍ය වේ. එම ‘වහල් බුද්ධිය’ මඟින් රාජ්‍ය ක්‍රමය වෙනුවට පුද්ගල ප්‍රතිරූපය ප්‍රමුඛ කොට දැක්විය හැකිය. මෙහි නියම මෙන්ම අවංක නියෝජනයක් වූයේ අදාළ වැඩසටහනට සහභාගී වූ කැලණිය විශ්ව විද්‍යාලයේ ක්‍ෂුද්‍ර ජීවී විද්‍යාව පිළිබඳ විශේෂඥයාය. ඔහුට තමන්ගේ මතවාදය වෙනුවෙන් පෙනී සිටීමට කිසිඳු හිරිකිතයක් නොමැත. එය සාදාරණ හෝ අසාදාරණ හෝ වේවා වඩා එය ඔහුගේ බරපතළ විශ්වාසය වේ. මර්ධනය තුළ තම පැවැත්ම තහවුරු කරගැනීම වූ කලී මෙයයි. 

නමුත්, මොහාන් මෙහිදී පරෙස්සම් වූයේ තම වංකකම ආරක්ෂා කර ගැනීම සඳහාය. සත්‍ය සහ බොරුව අතර ඇති ක්‍ෂුද්‍ර පරතරය අතර පිනුම් ගසන විට සිදුවන ඛේදනීය තත්වය වන්නේ මෙයයි.

මට දැනෙන හැටියට, මෙලොව ඇති බරපතළම අවුල වන්නේ බොරුවක් වෙනුවෙන් පෙනී සිටීම සහ එය බාහිර කාරණා දමමින් සාදාරනීකරණය කිරීමට සිදුවීමය. රාජ්‍යයක් සතු නීතීමය ගුණාංග ප්‍රකාශ කිරීමේ නිරවුල් බුද්ධියක් තමන්ට තිබුණද එම බුද්ධියට අස්ථාවර රටක අරාජික නීති ක්‍රමයක් හමුවේ සිදුවන කුළල් කෑ ගැනීම් නොපෙනීම කදිම විහිළුවකි. අපි සුව කළ යුත්තේ රෝගය මිස රෝග ලක්ෂණය නොවන බව ක්‍රමෝපායිකව මොවුන් සඟවන සාධකය වේ. එමඟින් අපි වැනි සාමන්‍ය ජනතාව හමුවේ ඇති අභියෝගය අතිමහත්ය.

මයිකල් බ්‍රවුන් මරාදමන විට අමෙරිකාව පුරා පුළුල් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඇති විය. එය වඩාත් පුළුල් ව්‍යාපාරයක් වූ අතර ඊට පක්‍ෂව සහ විපක්‍ෂව පුළුල් බුද්ධිමත් කතිකාවක් ඇති විය. බ්‍රවුන්ගේ මරණය ගැන කතා කළවුන් විදෙස් කුමන්ත්‍රණ කරුවන් ලෙස හංවඩු ගැසුවේ නැත. එසේම ඒ වෙනුවෙන් කළු ජාතිකයින් පමණක් නොව සුදු ජාතිකයින් පවා පෙරමුණ ගත්තෝය.

ඊට දින කිහිපයකට පසු අමෙරිකානු පොලිසිය විසින් මහමඟදී පහර දී මරා දැමුණු කළු ජාතිකයෙකු එසේ මරාදමන ආකාරය වීඩියෝ පටිගත කරනු ලැබුවේ සුදු කාන්තාවක් විසිනි. ඇය පොලිසියේ තර්ජන වලට නොභියව එම වීඩියෝව ප්‍රසිද්ධ කළාය. එයද මුළු ඇමෙරිකාව පුරා පුළුල් විරෝධයකට හේතු විය. ලංකාවේ දිනපතාම පොලිස් ස්ථානයක් තුළ පහරදීමට  ලක්වන අයවලුන්ට එරෙහිව එලෙස විරෝධය පළ කළ හැකිද? මුළු ලෝකයම හිනස්වන අමුලික බොරු ගොතන පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පවා මෙරට රාජ්‍ය සංස්ථාව තුළ ඇති දිරායාම දන්නේය. 

කේ.පී., කරුණා හෝ පිල්ලයාන් වැනි අපරාධ වලට වගකිව යුත්තන් රාජ්‍ය බලය යොදා ආරක්ෂා කරණ විට, එම බලයම ජයකුමාරී රැගෙන ගොස් කූඩු කොට තම දරුවාගෙන් වෙන්කිරීම හමුවේ දෙමළ ජනතාවට යුක්තිය ඉල්ලා ජනතාවට පාරට බැසිය හැකිද? අදාල සංවාදයේදීම මතු වූ රතුපස්වල සිදුවීම මෙන්ම තුන්නානේ සිදු වීම රටේ අස්ථාවරත්වය පිළිබිඹු කරණ ප්‍රකට කාරණා වේ. මේ කිසිවකට වෙනත් රාජ්‍යක් නොව රටේ නායකයා සහ ඔහු වටා සිටින අයවලුන් සම්පූර්ණ වගකීම භාරගත යුතුය.

මෙවැනි තත්වයක් යටතේ ‘රාජපක්ෂ රට ස්ථාවර කළේය,’ යන්න පැවසීම අමුලික බොරුවකි. නමුත් එය ඔහු එනම් රාජපක්‍ෂටඅනුව සත්‍යකි. එනම් තමන්ට රිසි පරිදි රටේ ගරුත්වය කෙළසීම සඳහා ඔහුට ස්ථාවර තත්වයක් ඔහු විසින්  නිර්මාණය කරගෙන ඇත. එවැනි දෙයකට ස්ථාවර ආණ්ඩු ක්‍රමයක් යැයි කිව හැකිනම්, මේ ලෝකයේ ස්ථාවරම ආණ්ඩුව ලෙස කටයුතු කරන්නේ සෝමාලියානු මුහුදු මංකොල්ල කරුවන් විය යුතුය.

මෙහිදී අපි තේරුම් ගත යුතු මුලික කාරණයක් තිබේ.

එනම්, බෙලහීන වූ රාජ්‍ය ක්‍රමවේදයක් තුළ පුද්ගල ප්‍රතිරූපය ප්‍රමුඛ වන අතර සමාජ ක්‍රමයේ ගනුදෙනු එකී ප්‍රතිරූපය මත රඳාපවතින්නේය. උතුරේ ප්‍රභාරකන් හිරු දෙවියන් ලෙස පිදුම් ලබන්නේත්; දකුණේ රාජපක්ෂ තම රාජ්‍ය බලයද අශීලාචාර ලෙස භාවිතා කරමින් “රටේ විමුක්තිදායකයා” බවට පත්වන්නේත් මේ අනුවය. නමුත් ප්‍රභාකරන් තමන්ගේ දේශපාලන මතවාදයක් වෙනුවෙන් අරගලයක් කළ අයෙකි. රාජපක්ෂ දේශපාලනය තම සාටකයෙන් ඔබ්බට නොගත් අයෙකි. මෙය නිශ්චිතව තේරුම් ගැනීමට මෙරට බොහෝ දෙනෙකු මේ වන විට සමත් වී සිටිති.

නමුත්, මොහාන් පත් වී ඇති තත්වය මොහාන් පමණක් නොව, රාජපක්ෂ වටා ඒකරාශී වී සිටින බොහොමයක් දෙනා මුහුණ දී සිටින මානසික සංකීර්ණයකි. මෙම සංකීර්ණය තුළ තමන්ගේ බුද්ධිය පවා අල්ලසට ලබාගත් අයෙක් සිටින අතර එම සාධකය විසින් ඔවුන්ගේ නැටීමේ විලාසය තීරණය කරනු ලබයි. ඒ සාධකය වූ කලී රාජපක්‍ෂය.

පෙනන සහ තමන් විසින් අත්දකින සත්‍ය ප්‍රකාශ කිරීමට වඩා, බාහිර සතුරෙකු ඉලක්ක කර ගනිමින්, යල් පැනගිය මතවාද යළි යළිත් මතුපිටට ගෙන තමන් විසින් උඩගෙඩි දෙන අයුක්තිය වසා දැමීම වූ කලී රටක සිදුවිය හැකි බරපතළ ඛේදවාචකයන්ගෙන් එකකි.

කොටි සංවිධානය ගැන කතා කරණ මොහාන් සහ ඊට සම්බන්ධ පිරිස මෙහිදී තේරුම් ගත යුතු මුලික ගැටලුවක් තිබේ.  එනම් මහින්ද රාජපක්ෂට බෝම්බ තැබීම පසෙකලා ඔවුහු මෛත්‍රී අවස්ථා කිහිපයකදීම ඉලක්ක කරගත්තේ මන්ද යන්නය?

අසාදාරණ මිත්‍යා දුෂ්ඨික පුද්ගලයෙකු  වටා බැඳ  ඇති “ වහල් බුද්ධිය” නමැති මුලික ආරක්ෂක වළල්ලේ පැහැය  මඟින් පිළිබිඹු වන්නේ එක දෙයකි. එනම්, ප්‍රකට  ලේඛිකාවක වූ හනා අරන්ට්,  ඇඩොල්ෆ් අයිච්මාන්ගේ නඩුවිභාගය යන අවස්ථාවේදී ඉතා නිවැරදිව වටහා ගත්, “දුෂ්ඨත්වයේ  තුච්ඡකම” වන්නේ මෙයයි.

මොහාන් යනු පෞද්ගලික සාධකයක් මෙන්ම රටේ සමස්ථ ව්‍යුහය තුළ පවතින බරපතළ දිරා යෑම පිටට පෙන්වන එක උදාහරණයක් පමණක් ලෙස පෙනේ.

අවසාන වශයෙන් මතක් කළ යුත්තේ, ප්‍රභාකරන් මිය ගිය පසු ඊළාම් නමැති
දුෂ්ඨිවාදය මිය නොගියා සේම, කෙදිනක හෝ නලීන්ද සිල්වා මිය ගිය පසු, සිංහල ජාතිවාදය නමැති දුෂ්ඨිවාදය මිය යන්නේද නැත. මෙය වූ කලී මතවාදය සහ දුෂ්ඨිවාදය අතර ඇති මූලික ප්‍රපංචීය වෙනසයි. පුද්ගලයින් මිය ගිය පමණින්  දුෂ්ඨිවාදයන් මිය යන්නේ නැත.  නමුත් සැබෑ පුද්ගලයින් නැති වූ විට එම දුෂ්ඨිවාදයට කළ හැකි දෑ ඉතා අවමය. එසේ කළ හැකිනම්, මෙරට වම නන්නත්තාර වන්නේ නැත. මොහාන් මෙන්ම මෙරට බෙදුම්වාදයක් ගැන කතාකරමින් රාජපක්ෂගේ “දුෂ්ඨත්වයේ  තුච්ඡකම” සාදාරනීකරණය කරණ සියල්ල මිදිය යුත්තේ මෙම මුලාවෙනි.

මෙම තුච්ඡතත්වයේ නියෝජනයක් බවට මෙරට ඉතුරු වී ඇති ඉතා සුළු පිරිසක් වන බුද්ධිමතුන් පත්වන්නේද? නොඑසේනම් රටේ සමස්ථ ජනතාවගේ සැබෑ නිදහස වෙනුවෙන් පෙනී සිටින්නේද? යන්න මේ මොහොතේ යළි යළිත් කල්පනා කර බැලිය යුතු මුලික කාරණයකි.