Hot!

තිස්ස මුවා සොයා යෑම

| නිලන්ත ඉලංගමුව

ඕනෑම දෙයක අවසානයේදී මහත් විඩාවට සහ කළකිරීමට පත්වන්නේ දෙගිඩියාවෙන් තීරණ ගෙන තමන්ගේ අපේක්ෂාවන් ඉටු නොවුණු අයවලුන්ය. මිනිස් මනස සෑම විටම අසීමාන්තික ආශාවන් පිටුපස ලුහු බැඳීමට සමත් මෙවලමක් වන අතර එක් අපේක්ෂාවක් ඉටු වූ පසු අලුත් යමක් ඊට ආදේශ කිරීම එහි ස්වභාවික ක්‍රියාවලීය වේ. සාමාන්‍ය මිනිසුන්ටත් වඩා ලංකාවේ දේශපාලඥයින් අදාළ කාරණය මනාව අවබෝධ කරගැනීම සඳහා ජීවමාන නිදසුන් ලබා දෙන අයවලුන් වෙති. මොවුන්ගේ විඳීමේ සහ ප්‍රමෝදයේ කෙළවරක් නැත.

එම විඳීම සඳහා අසීමාන්තික නිදහසක්, ව්‍යාකූල කරනු ලැබූ සමාජ ක්‍රමය විසින් ලබා දී තිබේ. සමාජ ක්‍රමය එය මෙහෙයවනු ලබන කල්ලිය විසින් හිතාමතාම ව්‍යාකූල කරනු ලබන්නේ එමඟින් අත්වන පෞද්ගලික වාසිය අප්‍රමාණ  නිසාය. මෙය නිවැරදි කරනු වෙනුවට එය තවදුරටත් ව්‍යාකූල කිරීම රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදුකරනු ලැබූ බව නොරහසකි.  දැන් ඔහු තම තෙවැනි වාරය තුළින් රටේ විනය හදන බවට කෛරාටක වදන් හෙලන්නේ මෙය තවදුරටත් විකෘති කිරීමට මිස වෙන යහපාලනයක්  ඇතිකිරීමට නොවේ.

එක්සත් ජාතික පක්ෂයේ “මහලේකම්” ධූරය දරනු ලැබූ තිස්ස අත්තනායක කාලාන්තරයක් තිස්සේ ආණ්ඩු පාර්ශවය සමඟ කළ ගනුදෙනුවේ ප්‍රතිඵලය වශයෙන් මේ වන විට පිල් මාරු කොට ඇත. එය පුදුමයක් නොවේ. එසේම එවැන්නක් අහඹුවක්ද නොවේ. එය ඔහුගේ අයිතියකි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජීය ව්‍යුහයක මෙවැනි දෑ සුලබ බව අමුතුවෙන් කිව යුතු නොවේ. ලංකාවේ දේශපාලන ක්‍රමය තැනී ඇත්තේ මූලධර්මවලට වඩා සදාචාරය, හැඟීම්, කළගුණ පෞද්ගලික අපේක්‍ෂා සහ ආත්මගරුත්වය පදනම් කරගනිමිනි.

තිස්ස පැනීමත් සමඟ ආණ්ඩුව විශාල ප්‍රදර්ශනයක් පවත්වනු ඇත. එය මෛත්‍රීගේ දේශපාලන ආගමනය සමඟ ගැලපීමේ අසමත් උත්සාහයකද නිරත වනු ඇත. එවැනි විගඩම් කිරීම් හැරෙන්නට වෙනත් ක්‍රියාමාර්ග ආණ්ඩුවට නැත. ඇත්තේ පැය කිහිපයකට තිස්ස වීරයෙක් කිරීම සහ ක්‍රමානුකූලව කුණු වූ සහ අප්‍රසන්න බලය හමුවේ පා සිබින්නෙකු බවට පත්කර ගැනීම පමණි. තිස්සද ඊට අනුකූල වෙමින් නර්තනයේ යෙදෙනු ඇත. ඉන් පසු මහත් කළකිරීමට පත් වූ අයෙකු ලෙස අවිද්‍යාව විද්‍යාව ලෙසත් අසාදාරණය සාදාරණය ලෙසත් කියවමින් සහ සැබෑ ලෙස පෞද්ගලිකව විඳවමින් ජීවත් වනු ඇත.

සැබවින්ම තිස්ස අත්තනායක වූ කලී පසුගිය කාලය පුරාම  එක්සත් ජාතික පාක්ෂය තුළ පැත්තකට තබා සිටි චරිතයකි. නමුත් ඔහුට ආවේණික වූ නිදහසක් තිබුණු අතර පක්ෂය දැඩිව විවිචෙනය කිරීමට පවා ඔහු එම නිදහස භාවිතයට ගත්තේය. 

කුමන සීමා මායිම් තිබුණද, මෙම ගුණය එක්සත් ජාතික පක්ෂය සතුව ඇති අනෙකුත් පක්ෂ වල නැති යහපත් ගුණයකි. මේ අනුව, රාජපක්ෂ නියෝජනය කරන දේශපාලනය තුළ සිට ( ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි කීමට හැකි සදාචාරත්මක ගුණාංග නැත.) කිරීමට නොහැකි විවේචනය රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂය තුළ සිදු කිරීමට හැකිවීම තිස්සට අහිමි වනු ඇත. තිස්සගේ දේශපාලන ආනාගතය පැත්තෙන් මෙවැනි තීරණයක් ගැනීම කාලෝචිතද යන්න සැකසහිතය. ඔහු මෙමඟින් තවත් එස්. බී. දිසානායක කෙනෙකු බවට පමණක් පත්විය හැකිය.

තිස්ස වූ කලී ආණ්ඩුවට එරෙහිව හෝ තම පක්ෂයට පක්ෂව බලවත් මතවාදයක් ගොඩ නැගූ චරිතයක් නොවේ. ඔහුට එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය දේශපාලන කතා තැනීමට නොහැකි මෙන්ම තම කෞශල්‍ය මඟින් රටේ සමස්ථ ජනතාවට ආමන්ත්‍රණය කිරීමේ හැකියාවක් නොමැති චරිතයකි. ඔහුගේ කුසලතාවය වූ කලී කුමන හෝ අසාදාරණයක් සාදාරණ දෙයක් ලෙස කෙටිකාලීනව හුවා දැක්වීමය. හෙතම දේශපාලනය තුළ අන්මන්ද වූ චරිතයකට හිමකම් කියූ අයෙක් මිස ගම්පෙරළියේ නන්දාට අලවන්තකම් පාමින් එවකට පැවති වැඩවසම් සමාජය හමුවේ වීරත්වයට පත් වූ තිස්ස කෙනෙක් වීමේ හැකියාව හීනෙන්වත් නැති චරිතයකි.

තිස්ස තෝරාගෙන ඇත්තේ තම ආශාවට වඩා සතුරා යැයි තමන් විසින්ම නම්කරගත් අයවලුන්ගෙන් පළිගැනීමේ චේතනාව අබිමුඛව සතුට හෙවත් ප්‍රමෝදය සොයා යෑමේ උපායය. ඔහුට අවශ්‍ය දේශපාලනය එය නොවේ. නමුත් ඔහු විසින් තනාගත් ලෝකය තුළ හුදෙකලා වීම හමුවේ ඔහු තල්ලු කරනු ලැබූ පියවර මෙයයි.

තම පෞද්ගලික අසමත්කම්, අනුන්ගේ වරදක් ලෙස දැකීමේ විපාකය මෙයයි. මෙය සාමාන්‍ය ජීවිතයේ දක්නට ලැබෙන අතිශය බහුල සිදුවීම් වලින් එකකි. මෙමඟින් අවසානේයෙදී උරුම වන්නේ කළකිරීම සහ අනෙකාට ශාප කරමින් ජීවත් වීම පමණි.

එක්සත් ජාතික පක්ෂයෙන් තවත් අය රාජපක්ෂ වෙත ගොස් නව දීගයක් ආරම්භ කළ හැකිය. එමඟින්, සාමන්‍ය ජනතාවගේ මතය වෙනස් වේ යැයි සිතීම උගහටය. යුද්ධය අවසන් වීමත් සමඟ රටේ ජනතාව වටා තිබූ මූලික රාමුව ඉවත් වී තිබේ. තිස්ස මෙය තේරුම් ගැනීමට අසමත් වූවා පමණක් නොව, පක්ෂය තුළ සිටිමින් කිරීමට හැකිව තිබූ බොහොමයක් දෑ තම හැඟීම්වල ගොදුරක් බවට පත්වීමෙන් අහිමි කරගෙන ඇත. තිස්ස ගෙන ඇත්තේ ප්‍රමාදයේ තීරණයකි. එය ඔහුට තබා රාජපක්ෂටවත් වැදගත් නැති, පැය කිහිපයක ආස්වාදයකට හේතු වන එසැණ පුවත් සපයන්නෙකුගේ භූමිකාවකි. ඔහුට රාජපක්ෂ වෙත පැමිණීමෙන් කළ හැකි දේශපාලනයක් නැති අතර එමඟින් ආර්ථික වාසියක් අත්වූයේද යන්න ඔහුගේ ආත්මගරුත්වය පිළිබඳව වන ගැටලුවකි.

තම හදවතේ වේගයෙන් බොහෝ මිනිසුන් තීරණ ගනු ලැබුවද, එම තීරණ මනිනු ලබන්නේ ඉතා සෙමින් සහ වාර්ශිකවය. ඇතැම් විට කෘෂිකර්මාන්තයට නැඹුරුවක් දක්වන රටක් වන අපි, අදාළ තීරණ මනිණු ලබන්නේ කාර්තු වශයෙනි.  දේශපාලනයේදී තමන් ගමන් කළ යුතු වේගය අවබෝධ කරගැනීම අතිශය තීරණාත්මක වේ. දේශපාලනික වශයෙන් තිස්ස අසමත් වී ඇත්තේ එතැනය.

ඔහුට රාජපක්ෂ විසින් ඇතිකොට ඇති අප්‍රසන්න සහ දුගඳ දේශපාලනය හමුවේ කළ හැකි වන්නේ, දේශපාලන සියදිවි නසාගැනීමට ලක්වූවෙකු වීමට පමණි. ඊතල ගෙන මුවන් දඩයම් කිරීමට හෙණ ගසනු ලැබූ පොල්ගස් වලට නැගීමෙන් ඵලක් නොමැත.

එකල මිහිඳු හිමියන් මෙන් මෙකල ජනාධිපති මහින්ද රාජපක්ෂ අඹුඩයකින් හෝ තම විළි වසාගෙන ගලක් උඩට පැමිණ තමන්ගේ පව්වලින් නිදොස් කොට විමුක්ති මාර්ගය ලබා ගැනීමට මාවත සකස් කරදෙන්නේ යැයි තිස්ස , රාජපක්ෂ ගැන සිතන්නේ නම් එය ඔහුගේ අවාසනාවක් පමණි. එමඟින් රටට කිසිඳු බලපෑමක් සිදු නොවේ. වඩාත් වැදගත්ම කාරණය නම්, රාජපක්‍ෂට අලුත් දේශපාලන මාතෘකා ලබාදීමට ඔහුට නොහැකිය. එය මහින්ද තේරුම් ගන්නා විට තිස්ස තම මීළඟ පියවරට  තල්ලු කරනු ඇත. එවිට, ගල උඩ සිටියේ මහින්ද නොව දේශපාලන වාසී ලබා ගැනීම සඳහා තම නම පවා වෙනස්කර ගත් පර්සි මහේන්ද්‍ර බව දින කිහිපයක් ඇතුළත තිස්ස අවබෝධ කරගෙන සුසුම් හෙලන්නෙකු බවට පත් වනු ඇත.