Hot!

ඩිව්, තිස්ස, වාසු, මේකත් ජන්දයක් ද?

| සුනන්ද දේශප්‍රිය

පරණ වාමාංශයේ නායකයන් වශයෙන් ඉතිරිව සිටින ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ සහ වාසුදේව නානායක්කාර යන සහෝදර මහත්වරු මේ අවස්ථාවේදිත් මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට දර දිය අදිමින් සිටිති. එය ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය යි.

ඔවුන් රාජපක්ෂ බලයට වෙනුවෙන් පෙනී සිටින්නේ පසුගිය දස වසර තුළ කරන ලද කුමණ සාධනීය හේතු උඩ දැයි හරියාකාර පැහැදිළි කිරිමක් නැත.

අපට පෙනෙන්නට ඇති කරුණු මේවා ය.


තමා ප්‍රධානත්වය දරන කෝප් කමිටුව විසින් හෙළිදරව් කරන ලද දූෂණ සහ දිගින් දිගටම එම දූෂණ සිදුවීම වැළැක්වීමට ඩිව් ගුණසේකරට ඉඩ දී නැත. අඩුම වශයෙන් මහින්ද රාජපක්ෂගේ නම අහසේ පා කිරීමට තැනූ මිහින් ලංකා ගුවන් සේවය කා දමන  කෝටි ප්‍රෙකෝටි ගණනාවක මහජන මුදල් බේරා ගැනිමටවත් ඔහුට ඉඩ දී නැත. ඇත්ත වශයෙන්ම නම් ඩිවි ගුණසේකර රාජපක්ෂට ජන්දය දිය යුත්තේ තමා විසින් ඉදිරිපත් කරන ලද මහා පරිමාණ වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ වාර්තා නොසළකා හැරිම වෙනුවෙන් කළගුණ සැළකිමක් ලෙස ය!

තිස්ස විතාරණට ට සිදු වු විපැත්තිය ඊටත් වැඩි ය. මෙරට ජනවාර්ගික ප්‍රශ්ණයට විසදුමක් ලෙස සිය නායකත්වයෙන් බොහෝ වෙහෙස මහන්සි වි සකස් කරන ලද වාර්තාව රාජපක්ෂ කුණු කූඩයට දැම්මේ ය. එපමණක් නොව ජනවාර්ගික ප්‍රශ්ණයට රාජපක්ෂ විසඳුමක් සෙවීමට පත් කරන ලද පාර්ලිමේන්තු කාරක සභාවට තිස්ස විතාරණ පත් කළේවත් නැත. ශ්‍රී ලංකික දේශපාලනයට තිස්ස විතාරණ නමින් එකතු විමට තිබූ වැදගත් දායකත්වයක් රාජපක්ෂ විසින් ඉරා දැමුවේ එළෙස ය. එබැවින් තිස්ස විතාරණ රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට වළි කෑ යුත්තේ ඊට කළගුණ සැළකීමක් ලෙස ය!

වාසුදේව දැන් රාජපක්ෂවාදයේ ආවතේවකරුවෙකි. ඔහු යෙදී සිටින්නේ තෛයි භාෂා ප්‍රචලිත කිරිමෙහි ය. එනමුත් රාජජපක්ෂ පවුලේ බලවන්තයා වන ගෝඨාභය යටතේ ඇති යුද අංශය මේ තෛයි භාෂා පිළිවෙත පිළිගන්නේ නැත. රටෙහි බහුතරයක් තවමත් සිතා ගෙන ඉන්නේ රාජ්‍ය භාෂව සිංහල පමණක් කියා ය. ඊට හේතුව රාජපක්ෂ භාවිතාව ය‍. ඊටත් වඩා වාසුදේව රාජපක්ෂ සමඟ කදේ වැටී පුරසාරම් දෙඩූ  කම්කරු ප්‍රඥාප්තිය රාජපක්ෂවරුන් විසින් යුද්ධ භුමියේ වළ දැමුවේ ය. ඉතිං රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට වාසුදේවට ද සැළකීමට කළගුණ තිබේ.

මේ තිදෙනාම සිය පක්ෂ වශයෙන්ම විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධය. එසේ නමුත් මෙරට ඉතිහාසයේ නොවි විරූ ලෙස විධායක බලතල අනිසි පාවිච්චියේ යොදවන රාජපක්ෂ තුන්වන වරටත් බලයට ගෙන ඒමට පොර කති!

මේ සියල්ලටම වඩා වැදගත් කාරණයක් තිබේ. එනම් රාජපක්ෂවරුන් මෙම මැතිවරණය කරගෙන යන තුච්ච නින්දිත අසමජ්ජාති ආකාරය යි.

දේශපාලනඥයින් කෝටි ගණනට මිලදී ගන්නා බව රහසක් නොවේ. ඊටත් වඩා භයානක වර්ධනය නම්  රාජපක්ෂවරු මෙරට යම් තරමක හෝ ප්‍රජාතන්ත්‍රවාදි ස්වරූපයෙන් පැවැති මැතිවරණ ක්‍රමය සහමුලින්ම දූෂණය සහ භීෂණය මත පදනම් වූ ජරා ජිර්ණ බිය ජනක ක්‍රමයක් බවට පරිවර්තනය කිරිම යි.

ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමින්ම එය විනාශ කරන සාධාරණ සහ සාමකාමි මැතිවරණ ක්‍රමය අහෝසි කිරීම රාජපක්ෂ ආරම්භ කළේ 18වන සංසෝධනය සමඟ ය. එම අවස්ථාවෙහි ලිපියක් ලියමින් මානව හිමිකම් ක්‍රියාධර නීතිවේදී වැළිඅමුණ ලියා තිබුනේ 18 වන සංසෝධනය යටතෙහි සාධාරණ සහ නිදහස් මැතිවරණයක් අපේක්ෂා නොකළ හැකි බවයි. රාජපක්ෂවරුන්ගේ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවන්හි කොටස්කරුවකු බවට පත්ව සිටින 18වන සංසෝධනයෙන් බාල්දු කරන ලද පොලීසිය දෙස බලන විටත් මෙම වර්ධනය වන ප්‍රචන්ඩත්වයන් හමුවෙහි කිසිදු  කැපි පෙනෙන පියවරක්  නොගන්නා මැතිවරණ දෙපාර්ථමේන්තුව දෙස බලන විටත් වැළිඅමුණගේ විවරණයේ වටිනාකම සනාථ වෙයි.

ඇත්ත වශයෙන්ම නම් රාජපක්ෂවරුන්ගේ දේශපාලන දුරාචාරයේ හොඳම කැඩපත බවට මෙම ජනාධිපතිවරණය පත්ව තිබේ.

අඩුම වශයෙන් රට පුරා මැතිවරණ නීති අමු අමුවේ කෙළසමින් කෝටි ගණනින් වියදම් කර ලක්ෂ ගණනින් ඉදිකර ඇති රාජපක්ෂ ප්‍රචාරක පුවරු ගැන තිස්ස, ඩිව් සහ වාසු කියන්නේ කුමක් ද? මැතිවරණ නීතිය රාපක්ෂවරුන් විසින් කෙළෙසන්නේ රටෙහි පවතින කිසිදු ආයතනයකට  ඒවා ඉවත් කර දැමීමට බැරි තරමේ මහා පරිමාණයෙනි.

ශ්‍රි ලංකාවේ මැතිවරණ ක්‍රමය නිදහස් සහ  සාධාරණ බවටත්  මැතිවරණ දෙපාර්ථමේන්තුව බලාත්මක කිරීම පිණිසත් දරණ ලද වූ සිවිල් සමාජ ප්‍රයත්නයන්   90 දශකය පුරාද 2000 ගණන් මුල් වසරයන්හිදී ද සාධනීය ප්‍රතිඵල ගෙන ආවේ ය. ශ්‍රෙෂ්ඨාධිකරණ නඩු තින්දු ගණනාවක් විසින් විධායකයේ තින්දු පවා අභියෝගයට ලක්කර මැතිවරණ කොමසාරිස් බල සතු කැරෙන පියවර ගනු ලැබුණි.

අද ඒ සියල්ල කණ පිට හරවා හමාරය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමයේ ඇති ලොකුම කලු ලපය වේ.  රාජපක්ෂවරුන් විසින් එම නපුර මහා පරිමාණයෙන් වර්ධනය කොට අද මැතිවරණ ප්‍රචණ්ඩත්වය ආයතන ගත කොට තිබේ. දැන් එය රාජ්‍ය යේ කොටසකි. පොලිස්පතිට ඉහලින් දේශපාලන පත්විමක් දී මහින්ද බාලසූරිය පත් කර ඇත්තේ ද ඒ වෙනුවෙනි. රාජ්‍ය බුද්ධි අංශ අද රාජපක්ෂ මැතිවරණ මැෂිමෙහි තොරතුරු අංශය යි. අද තරම් දරුණු සහ සංවිධානාත්මක රාජ්‍ය යන්ත්‍රය හවුල් වූ මැතිවරණ ප්‍රචණ්ඩත්වයක් මෙයට පෙර තිබි නැත. මෙම ප්‍රචණ්ඩත්වයේ මැතිවරණ යාන්ත්‍රණය සැම ගමක් කරාම අතු විහිද වූ මැර බලයේ සහ රාජ්‍ය ඔත්තු සේවාවන්හි ඒකාබද්ධ මෙහෙයුමකි. විපාක්ෂිකයින් බිය ගැන්විම රාජපක්ෂ මර්දන තන්ත්‍රයේ මූලොපාය යි.

ජන්ද මුදලට ලබා ගැනීමේ ක්‍රමය 60 ගණන්හි ප්‍රචලිතව තිබී පසුව ක්‍රමයෙන් දුර්වලව යමින් තිබූ නපුරකි. රාජපක්ෂවරුන් විසින් යළි පණ ගන්වන ලද ජන්ද ලබා ගැනීම සඳහා මුදල් සහ භාණ්ඩ ලබා දීම මෙම ජනාධිපතිවරණයෙහි ඉස්මත්තටම නැගී තිබේ.  මහන මැෂින්, බයිසිකල්, මෝටර් බයිසිකල්, වතුර පොම්ප යානාදී කි නොකී බොහෝ භාණ්ඩ ද රුපියල් 10,000ක් දක්වා වන මුල්‍ය ආධාර ද රාජපක්ෂ ජනාධිපතිවරණ කූටෝපායේ දැති සහ රෝද ය. පුදුමය නම් මේ සියල්ල ලබා දෙන්නේ මහා ජනයාගේ ම මුදලින්විමයි. මෙවැනි දූෂිත තත්වයක් මෙරට  කිසිදා පැවැත නැත.

විපක්ෂයට රුස්වීමක් පැවැත්වීමට බැරි වන තරමට කොළඹ සියළු ප්‍රසිද්ධ පිට්ටනි සිය හෙංචයියන් ලවා වෙන් කරවීමෙන් රාජපක්ෂවරු පෙන්නුම් කරන ලද්දේ කුමක් ද? තමන්ට නීතිය සහ සාධාරණය කියා දෙයක් නැති බවත් ඕනැම දෙයක් කිරීමට තමන්ට හැකියාව ඇති බවත් ය. අනතුරුව රටෙහි අනෙක් පළාත්හි ද රාජපක්ෂ අනුගාමිකයෝ ඒ දුෂ්ඨ පිළිවෙතම ක්‍රියාවට දැමීමට මාන බැලූහ.

රාජ්‍ය මාධ්‍ය ය අද ක්‍රියාකරන්නේ  ඒවා පොදු මහජන දේපල ලෙස නොව රාජපක්ෂවරුන්ගේ දේපල ලෙස සළකාගෙන ය. පුද්ගලික මාධ්‍ය බහුතරයක් රාජපක්ෂවරුන්ගේ අණසකට හසුව තිබීම සාධාරණ සහ නිදහස් මැතිවරණයක් සඳහා අවශ්‍ය සමාන ප්‍රචාරක අවකාශ සහමුලින්ම නිෂේධ කර දමා තිබේ.

අද ශ්‍රී ලංකාවේ පවතින්නේ ජනාධිපතිවරණයක් පමණක් නොව නිදහස් ජන්ද බලය,  මුදල සහ ප්‍රචන්ඩත්වය විසින් අවසාන වශයෙන් යටපත් කර ගැනීමට රාජපක්ෂවරුන් විසින් දරන මාරාන්තික උත්සාහය පරාජය කිරිමේ සටනයි. එළඹෙන ජනාධිපතිවරණයේ සටන හුදෙක් විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ සටනක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒකාධිපතිවාදය අතර බෙදුම් රේඛාවක් වන නිදහස් සහ සාධාරණ මැතිවරණ තවදුරටත් ශ්‍රි ලංකාවේ පවතිනු ඇත්ද නැත්ද යන්න පිළිබඳ සටනකි.

රාජපක්ෂ තන්ත්‍රය පරාජය කිරීම අත්‍යවශ්‍ය මේ මොහොත මැතිවරණ ක්‍රමය දූෂණයේ සහ භිෂණයේ යාන්ත්‍රණයක් බවට පත්විම වැළැක්විමේ ද මොහොතකි.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ අංශු මාත්‍රයක් හෝ ඉතිරි වී ඇත්නම් ඇත්නම් පැරණි වම මෙවැනි විනාශයකට සහාය දෙන්නේ කෙසේ ද?