Hot!

නව න්‍යෂ්ටික අවි තරඟයක් ඇරඹී තිබේ

| මාර්ක් බ්ලැක්වුඩ් හා පෝප් මිචෙල් විසිනි

වසර පහකට පමන පෙර 2010දී පැවති න්‍යෂ්ටික අවි සීමාකිරීමේ ගිවිසුම විමර්ෂන සමුලුවේදී න්‍යෂ්ටික බලවත්තු, “කිසියම් ආකාරයකින් න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ අවදානම අවම කිරීමටත් ඒවා මුලුමනින්ම විනාශ කිරීමේ ක්‍රියාවලියකට පහසුකම් සැලසීමටත් ආරක්ෂක ප්‍රතිපත්ති වලදී න්‍යෂ්ටික අවි පිලිබඳ ක්‍රියාවලියට අවම තැනක් දීමටත්” සිය කැපවීම යලි අවධාරනය කලහ.

එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා හා එවක රුසියානු ජනාධිපතිව සිටි ඩිමිත්‍රි මෙඩ්විඩෙව් නව ස්ටාර්ට් (START) ගිවිසුමට අත්සන් තැබූහ. එහිදී ඔවුහු තම න්‍යෂ්ටික මිසයිල් තොග හා විදීමේ උපකරන තොග අවම කිරීමට පොරොන්දු දුන්හ.

කෙසේ වෙතත් එක්සත් ජනපදය හා යුරෝපීය සංඟමය විසින් සංවිධානය කරන ලද, මේ වසරේ යුක්‍රේනය තුල සිදුවූ දක්ෂිනාංශික කුමන්ත්‍රනයෙන් හා රුසියාවට එරෙහි යුද තර්ජන ද සම්බාධක පැනවීම් ද ආසියා-ශාන්තිකර කලාපයේ එජ පාලනය තහවුරු කිරීමේ අරමුන සහිත ඔබාමා පාලනයේ “ආසියාවට හැරීමෙන් ” ද පසුව නව න්‍යෂ්ටික අවි තරඟයක් ඇවිලෙමින් තිබේ.

ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වන රෝයල් යුනයිටඩ් සර්විසස් ඉන්ස්ටිටියුට්හි විශ්ලේෂක හියු චැල්මර්ස්ට අනුව, “සියලු න්‍යෂ්ටික අවි දරන රටවල් මේ මොහොත වන විට න්‍යෂ්ටික නවීකරන ක්‍රියාවලියක නිරතව සිටිනවා නැතිනම් ඉතා ඉක්මනින් එවැන්නකට එලඹෙනවා ඇත. ලෝකය පුරා නෙත් යොමුකල විට ඔබට නව මිසයිල්, නව සබ්මැරීන් හා කෘෘස් මිසයිල් වර්ධනය කරනවා දැකගත හැකිය....”

පසුගිය සතියේ තනතුරෙන් පහ කිරීමට මඳකට කලින් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් චක් හේගල්, එරට න්‍යෂ්ටික කඳවුරුවල මත්ද්‍රව්‍ය හා ශාස්ත්‍රාලික සෝලියක් තුලින් මතුවූ වෙන් වෙන් වූ පෙන්ටගන් අධ්‍යනයන් දෙකක් යොදාගනිමින්, සිය න්‍යෂ්ටික යටිතල ව්‍යුහය යාවත්කාලීන කිරීම සඳහා ඉදිරි වසර පහ තුල වසරකට සියයට දහය බැගින් වන අරමුදල් වැඩිකිරීමක් ඉල්ලා සිටීමට එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.

එජ ගුවන් හමුදාවේ ගෝලිය ප්‍රහාරක ආඥාපති තරු තුනේ ජෙනරාල්වරයෙකුගේ තත්වයෙන් තරු හතරේ ජෙනරාල්වරයෙකු බවට උසස් කිරීමත්, න්‍යෂ්ටික ඒකාග්‍රකරන සේවයේ ජෙනරාල් තරු දෙකේ සිට තරු තුනේ ජෙනරාල් වරයෙකු ලෙස උසස් කිරීමත් සමඟ මිලිටරියේ න්‍යෂ්ටික හස්තයට ඉහල ප්‍රමුඛත්වයක් ලැබෙනු ඇත.

“අපගේ න්‍යෂ්ටික ක්ෂේත්‍රය එක්සත් ජනපද ජාතික ආරක්ෂාව සහතික කිරීමේදී තීරනාත්මක ක්‍රියාකලාපයක් ඉටු කරයි. එය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉහල ප්‍රමුඛත්වය හිමිවන දූත මෙහෙවරයි. අප සතු වෙනත් කිසිදු හැකියාවක් ඒ තරම්ම වැදගත් වන්නේ නැත.” හේගල් කියා සිටියේය.

හේගල්ගේ නිවේදනය නිකුත් වූයේ, පසුගිය සැප්තැම්බරයේ ඔබාමා පාලනය, නව මිසයිල් සබ්මැරින 12ක්, 100ක් තරම් නව බෝම්බ හෙලන යානා හා බිලියන 355ක් වැය වන, සමහර විට ට්‍රිලියනයක් තරම් වන, ගොඩබිමේ සවිකරන අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල් (අයිසීබීඑම්ස්) 400ක් සඳහා අනුමැතිය පලකිරීමෙන් පසුවය.

පරමානුක විද්‍යාඥයින්ගේ බුලටිනයට අනුව, බැලිස්ටික් මිසයිල මත ස්ථානගත කර තිබෙන මුදහැරිය හැකි බෝම්බ 2120ක් ද සහිතව එජ දැනට බෝම්බ 4650 තොගයක් පවත්වාගෙන යයි.

මිසයිල් අත්හදාබැලීම් ද ඉහල නැඟී ඇත. එකවිට ප්‍රහාර ගනනාවකට යොදාගත හැකි ඒජීස් (Aegis) හෙවත් පලිහ යන මිසයිල් ආරක්ෂක පද්ධතියේ ප්‍රතිචාරය මැන බැලීම පිනිස ශාන්තිකර සාගරයේ රඳවා තිබූ ඩිස්ට්‍රෝයර් යාත්‍රාවක සිට විදින ලද එක සමාන සංඛ්‍යාවක මිසයිල් හාරක මඟින් කෘස් මිසයිල් දෙකක් හා එක් බැලිස්ටික් මිසයිලයක් නොවැම්බර් 07දා විනාශ කරන ලදී. ගොඩබිම සවිකරන ඒජීස් පද්ධති වර්ගයක් යුරෝපය තුල ස්ථානගත කිරීමට සැලසුම් කර තිබේ.

මිසයිල් පද්ධති නිෂ්පාදක රේතියන්හි සභාපති ටේලර් ලෝරන්ස් මෙසේ පැවසීය. “ලෝකයේ අන් කවර හෝ ජාතියකට අද දිනයේ නාවික හමුදාව හා මිසයිල් ආරක්ෂක ඒජන්සිය කරන දෙය කිරීමේ හැකියාවක් ඇත්තේ නැත.”

තමන්ගේ පැත්තෙන් රුසියාව, ඉදිරි වසර හය තුල සිය මිලිටරිය නවීකරනය සඳහා ඩොලර් බිලියන 560ක් වැය කරනු ඇත. ඉන් සියයට 25ක් වෙන්කර ඇත්තේ තම න්‍යෂ්ටික බලඇනි නවීකරනයටය. පසුගිය මාර්තුවේ තිබුනාට වඩා බැලිස්ටික් මිලයිල 131කට වැඩි මිසයිල 1643ක් දැනට රුසියාව සතුව ඇත.

මේ මාසයේ මුල රුසියාව, මූලෝපායික බෝම්බ හෙලන යානා, සබ්මැරීන හා සිලෝ මිසයිල් පද්ධතීන් යන සමස්ත “න්‍යෂ්ටික ත්‍රිත්වය” ම යොදාගත් එරට අතිශයින්ම විස්තීර්න න්‍යෂ්ටික අභ්‍යාසය පැවැත්වීය. ඒ ප්‍රහාරයකට තමන්ගේ සූදානම තක්සේරු කිරීම සඳහා ය. සම්පූර්න බර කිලෝටොන් 800ක් වන න්‍යෂ්ටික බෝම්බ හයක් ගෙනයා හැකි ටොපොල් එම් සිලෝ අයිසීබීඑම් මිසයිලයක් අත්හදා බැලීය. එවන් බෝම්බයක විනාශකාරී බලය, ජපන් වැසියන් 166,000ක් ක්ෂනිකව මරා දමමින් 1945දී එජ හිරෝෂීමාවට හෙලූ කිලෝටොන් 13-18 බර පරමානු බෝම්බය හා සසඳන කල දැකගත හැකිය.

සබ්මැරිනවල සිට මිසයිල් අත්හදා බැලීම ද සිදු කෙරේ. ඊට සීමාවක් නැති තරම් න්‍යෂ්ටික බෝම්බ ගෙන යා හැකි හා සැතපුම් 5000ක් දුර යා හැකි රුසියාවේ නවතම බුලවා අයිසීබීඑම් ද ඇතුලත්ය.

පලමු වතාවට චීනය, එජ කුමන ප්‍රදේශයකට හෝ ලඟා විය හැකි මිසයිල් වර්ධනය කර ඇත. මෑතකදී චීනය, අයිසීබීඑම් දුසිමක් ගෙන යන ජින් වර්ගයට අයත් වන න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන පලමු සබ්මැරිනය දියත් කලේය. මෑත තක්සේරු වලට අනුව ගනන් බලා ඇත්තේ, චීනය සතුව අයිසීබීඅම් 75කට වඩා නැති බවය.

පකිස්ථානය හා ඉන්දියාව ද තම න්‍යෂ්ටික අවි ගබඩා නවීකරනය කිරීමට උත්සාහ කරමින් සිටියි. මෑතකදී දෙරටම නව මිසයිල් අත්හදා බලයි.

පසුගිය මාස ගනනාව තුල එජ හා රුසියාව, සැතපුම් 300 සිට 3400 දක්වා දුර විදිය හැකි සම්ප්‍රදායික ගොඩබිම් මිසයිල් විදින විනාශ කිරීම ඉල්ලා සිටි 1987 අන්තර්දුර න්‍යෂ්ටික බලය පිලිබඳ ගිවිසුම (අයිඑන්එෆ්) උල්ලංඝනය කරන බවට එකිනෙකාට චෝදනා කරති.

අයිඑන්එෆ් ගිවිසුම ඇතිකර ගැනීමට සහායවූ රේගන් ආන්ඩු කාලයේ සිටි රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙකු වන ෆ්‍රෑන්ක් ඔර්බන් 111 මෙසේ අනතුරු ඇඟවීය. “අයිඑන්එෆ් උල්ලංඝනය කිරීම පිලිබඳ ගැටලු ඇත්නම්, ඉක්මනින්ම START ගිවිසුම ද උල්ලංඝනය කරනු ලෝකයට දැකගත හැකිවනු ඇත. එය මූලෝපායික අවි තරඟය යලි ගිනි ඇවිලවීමක් වනු ඇත. එය එජ හා රුසියාව අතර බරපතල ගැටුම්කාරී වතාවරනයක් යලි නිර්මානය කරනු ඇත.

ඔහු මෙසේ ද පැවසීය. “1987 අත්සන් තැබූ අයිඑන්එෆ් උල්ලංඟනය කිරීම බොහෝ දෙනෙකුට හඳුනාගත නොහැකි තරම් බරපතල ප්‍රතිවිපාක ගෙන එනු ඇත. ”

යුක්‍රේනයට ඇතුල වෙමින් එජ හා එහි යුරෝපීය සහචරයින් අවුලවා ඇති අර්බුදය ද රුසියානු දේශසීමා දක්වා නැඟෙනහිර දෙසට වන නේටෝවේ ව්‍යාපෘතිය මෙන්ම චීනය ඉලක්ක කරගත් “ආසියාවට හැරීම” ද 1962 කියුබානු මිසයිල් අර්බුදයෙන් මෙපිට දක්නට නොලැබුනු තරමේ ගෝලීය යුද්ධයක අද්දරට ලෝකය ඇද දමා ඇත.

විනාශයේ අවදානම දැරීමට වත්මන් ලෝකයේ ආන්ඩු ඉදිරිපත් නොවන බැවින් න්‍යෂ්ටික යුද්ධයක් සිදුවිය නොහැකිය යන විශ්වාසය, න්‍යෂ්ටික අවි හා ඒවා ගුවන්ගත කිරීමේ පද්ධතීන්හි වේගවත් නවීකරනය මඟින් බිඳහෙලා තිබේ. නැඟී එන ආර්ථික හා සමාජ ගැටලු වලට තමන් සතුව කිසිදු ප්‍රගතිශීලී විසඳුමක් නොමැති තතු තුල පාලක පන්තීන් යුද්ධය දැක ගන්නේ ගැනීමට වටින අවදානමක් ලෙසය.