Hot!

මෛත්‍රී - පර්සි හටන : ඉන්දියාවේ සහය කාටද?

එම කාලය තුළ තම අභිමාථාර්තයට යටත්ව පාලනය කිරීමට ඉන්දිරා කටයුතු කළාය. එම කාලය තුළදී අගමැතිවරියගේ පුත්‍රයෙකු වූ සංජය ගාන්ධිගේ මෙහෙයවීමෙන්, මාධ්‍ය වාරණ, දේශපාලන විරුද්ධ මතදාරීන් සමූහ වශයෙන් සිරගත කිරීම් ( බිජෙපී පක්ෂයේ එල්. කේ. අද්වානී ඇතුළු ) , සමූහ වඳ සැත්කම් වලට බලෙන් පුද්ගලයින් ඇද දැමීම, ආදී නූතන ඉන්දියාවේ සිදු වූ අපකීර්තිමත් දෑ රාශියක් සිදුවිය. එය අගමැති ගාන්ධිට නීතී  යළි ලිවීමට අවස්ථාවක් ලබා දුන්නාය. රටේ අස්ථාවරත්වය පාලනය කිරීමට යැයි කියමින් එම මාස 21 පුරාම සිදු වූයේ ගාන්ධි පවුලේ දේශපාලනික න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක වීමය. 
| නිලන්ත ඉලංගමුව

රාජපක්ෂ ජනවාරී 08 වැනිදා හෝ ඊට ආසන්න කාලයකදී 1975 දී ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි දැමූ සෙල්ලම දැමීමට යන්නේද? මෙතරම් මැතිවරණ නීති කඩ කිරීමකින් පසු රාජපක්ෂ සැබවින්ම සාදාරණ මැතිවරණයක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා ශාන්තුවරයකු ලෙස වෙස් ගැනීමට යන්නේද? සැබවින්ම සිදුවිය හැකි දේ අතිශය තීරණාත්මකය. එබැවින් විපක්ෂය මෙන්ම මෙම දේශපාලන නාට්‍ය කෙරෙහි සැලකිල්ලක් දක්වන සියලු දෙනාම,  දේශීය පමණක් නොව, කලාපීය සහ ගෝලීය ප්‍රවණතාවයන් අවධානයෙන් කියවිය යුතුව ඇත.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා අදාළ කාරණය  මේවන විටත් සිදු කොට ඇත්තේ දැයි මා පෞද්ගලිකව නොදනිමි. නමුත් හෙතම හෝ ඔහුට වගකිව යුතු පුද්ගලයෙකු නිල වශයෙන් ලිඛිත ඉදිරිපත් කිරීමක් කළ යුතුව ඇත. එය හුදෙක් දේශපාලන වාසී ලබා ගැනීම මූලික කොට ගෙන නොව තමන්ගේ විරුද්ධ පාර්ශවය විසින් අනෙකාට තමන් ගැන ලබා දී ඇති අසත්‍ය තොරතුරු නිවැරදි කිරීම සඳහාය.

එනම් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාට මෙන්ම චීනයේ ජනාධිපති ෂි ජින්පින්ග් මහතා වෙත විපක්ෂයේ වගකිව යුතු පුද්ගලයෙකු විසින් තීරණාත්මක පැහැදිලි කිරීමක් කළ යුතුව ඇත. මෙය තීරණාත්මක වන්නේ රාජපක්ෂ ජනාධිපතිවරයාට මෙන් රටේ පොදු වැසිකිළි පමණක් නොව ගහක් ගලක් පාසා තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය කඩදාසී ලබා ගැනීමට හෝ ඔරලෝසු, පාසල් බෑග් ලබා ගැනීම සඳහා වන බොහෝම පහත් මට්ටමේ ගනුදෙනුවක් සඳහා නොවේ. එනම්, මෙම පැහැදිලි කිරීම අවශ්‍ය වන්නේ රට මුහුණ දී සිටින බරපතළ තත්වය සහ මතු වී ඇති මුලික සංකීර්ණ ගැටලු විසඳීම සම්බන්ධයෙන් තම වැඩපිළිවෙල තෙරුම් කරදීම සඳහාය. 

මේ සඳහා චීනයේ ආර්ථික පිළිවෙත නිවැරදිව කියවීමට හැකි මෙන්ම ඉන්දියාවේ දේශපාලන ප්‍රවණතාවය නිවැරදිව කියවීමට හැකි මානව සම්පත්වල දායකත්වය විපක්ෂයට අත්‍යවශ්‍ය වේ. මේවන විට රුසියාව, චීනය සහ ඉන්දියාව නමැති ත්‍රිකෝණය 2015 සඳහා වන ගෝලීය වැඩපිළිවෙල සඳහා මුලික කටු සටහනක් සකස් කොට ඇත. එය නිවැරදිව කියවීම, තම දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් විපක්ෂයට අතිශය වැදගත් වේ. එසේම එය මෙරටට වැදගත් වේ. අනෙකා හමුවේ අඳබාල හොරෙකු ලෙස නොව වගකිවයුතු ගරුත්වයක් ඇති මහත්මයෙකු ලෙස නැගීසිටීමේ බුද්ධිය සහ ඊට අවශ්‍ය කොන්ද තමන් සතු බව පැහැදිලි වන අයුරින් කටයුතු කිරීම විපක්ෂයට තීරණාත්මකය.

සැබවින්ම;  මෙය කතා කළ යුතු වැදගත් මාතෘකාවකි. නමුත් අවාසනාවට මෙන් දේශීය මෙන්ම කලාපීය මාධ්‍යයන් විසින් කුමන හෝ හේතුවක් මත මඟ හැර ඇති හෝ ඉතා අඩුවෙන් අවධානය යොමු කොට ඇති කාරණයකි. ඒ වූ කලී එළඹෙන මැතිවරණයේදී ඉන්දීය ආණ්ඩුවේ සහය ලබා ගැනීමේ වාසනාවන්තයා වී සිටින්නේ කවුරුන්ද යන්නය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2005 සිට ගොඩ නගනු ලැබූ මූලික අදහස වූ ‘ඉන්දීයාවේ සහෝදරිය ලංකාවය, ලංකාව චීනයේ මිත්‍රයෙකි,’ යන්න හැරෙන්නට විපක්ෂට, අදාළ රාජ්‍යයන් දෙක සම්බන්ධයෙන් පිළිගත හැකි ප්‍රතිපත්තියක් එකල ඉදිරිපත් කිරීමට නොහැකි විය. මෙමඟින් රාජපක්ෂට බොහෝ දුර යාමට හැකි විය. ඔහු මෙය ඉතා තීරණාත්මක බව දැන සිටි නිසා ඉන්දයාව සමඟ ගනුදෙනු කිරීම ලලිත් වීරතුංග, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාබය රාජපක්ෂ නමැති තුන්කට්ටුවට පමණක් සීමා කරනු ලැබීය.

පසුගිය ජනාධිපතිවරණය සැලකීමේදී මෙම විෂය සම්බන්ධයෙන් පැවති භූමිකාව සුදු සහ කළු වශයෙන් වෙන්ව හඳුනා ගැනීමට හැකි විය. එනම් ඉන්දීය පර්යේෂණ සහ විශ්ලේෂණ අංශය හෙවත් රෝ සංවිධානය අනුමාන කළ තොරතුරු වලට අනුව මහින්ද රාජපක්ෂට පූර්ණ සහයෝගය ලබා දීමට ඉන්දියාව තීරණය කරනු ලැබීය. ඊට මූලික හේතුව වූයේ රාජපක්ෂ කෙරෙහි තිබු විශ්වාසය නොවේ, එනම් ජනරාල් සරත් ෆොන්සේකා ගැන ඇති කරගත් මූලික අවිශ්වාසය මෙන්ම ජනරාල් සරත් ෆොන්සේකා ඉදිරියට දැමූ කිසිඳු පක්ෂයක් රටේ තත්වය මෙම පාර්ශවයන්ට මැනවින් තේරුම් කර දීමට අසමත් වීමය. 

එක්සත් ජාතික පක්ෂය සහ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ එවකට රටේ පැවති තත්වය ගැන මෙන්ම ජනරාල් ෆොන්සේකා ගැන යම් කිසි “තර්කයක්” ගොඩ නැගීමට සමත් වුවද, එය ඉන්දියාවේ විදෙස් ප්‍රතිපත්තිය කෙරෙහි බලපෑම් කිරීමට තරම් ශක්තිමත් නොවීය. විශේෂයෙන් ඒ සඳහා ජනරාල් සරත් ෆොන්සේකාගේ සිට අදාළ මැතිවරණය මෙහෙය වූ පිරිස රට තුළ තම මැතිවරණ ව්‍යාපාරය ගෙන ගිය ආකාරය ගැන ඉන්දියාවේ අගමැති කාර්යාලයේ ඍජු මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන විශේෂ බුද්ධි අංශයට නොයෙකුත් සැක සංකා මතු විය. එම වැඩපිළිවෙල දේශපාලනයෙන් ඔබ්බට ගිය පෞද්ගලික අමනාපකම් පිරිමසා ගැනීමක්ය, යන විශ්වාසය ඇතිකිරීමට පමණක් හේතු විය. 

විශේෂයෙන් ජනරාල්වරයා තමන්ගේ පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසාගැනීමේ මෙවලමක් ලෙස දේශපාලන වේදිකාව තෝරාගැනීම මඟින් පෙන්නුම් කරනු ලැබුවේ ඔහුගේ ප්‍රතිපත්තිවල තිබු කෙටිදුර දැක්ම හෙවත් නොගැඹුරු බවය. ඔහු මෙහෙයවනු ලැබුවේ බුද්ධියට වඩා හැඟීම් මඟිනි. ඔහුගේ ප්‍රධාන සතුරා බවට පත්වූයේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වටා සැදුණු “රැස්වළල්ල” මිස රට තුළ ඇතිවෙමින් පැවති ව්‍යාකූල කඩාවැටීම නොවේ.  එය බොහොමයක් ඔත්තු සේවාවල මෙන්ම පර්යේෂණ කණ්ඩායම්වල බලවත් නිරීක්ෂණයට ලක් වූ අතර ඉන්දියාව වඩාත් ප්‍රවේශමින් ඊට සවන් දුන්නාය.

නමුත් මැතිවරණයෙන් පසු ජනරාල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා අනුගමනය වෛරී ක්‍රියාමාර්ගය මෙන්ම රටේ අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් ජනාධිපති රාජපක්ෂ අනුගමනය කළ කටගොන්නක් බීගත් චන්ඩියාගේ භූමිකාව හමුවේ කලාපීය රටවල් රැසක් රාජපක්ෂ සම්බන්ධයෙන් මවාගෙන සිටි ප්‍රතිරූපය වෙනස් කිරීමට මඟපෑදුවේය.

චීනය වැනි ආර්ථික කාරණා පමණක් ඉලක්ක කොටගෙන කටයුතු කරන රටවල් වලට මෙරට රාජපක්ෂ නොව ඉඩි  අමීන් සිටියද  වැදගත් නැත. ඔවුන්ට වැදගත් වන්නේ, “නො වොරන්ටි නො ගැරන්ටි” නමැති මුලික නිෂ්පාදන ආර්ථික මොඩලය තුළින් සුළු ආදායම් ලාබීන්ගේ ආර්ථිකය ඉලක්ක කිරීමය. ඊට ඉඩ දෙනු ලබන්නේ කුමන බලවේගයද, එම බලවේගයට සහයෝගය දීමට චීනය යොමු වේ. අප්‍රිකාව පුරා පවතින සාගින්න සහ සෞඛ්‍ය ගැටලු එලෙසම තිබියදී අධිවේගී මාවත්, මහල් නිවාස මෙන්ම තෙත්බිම් ඉදිවීමට මූලික හේතුව වූයේ මෙයයි. එය ලංකාවට මැජික් ලෙස පෙනුණද, චීනය තම විදෙස් ප්‍රතිපත්තිය තුළ අනුගමනය කළ මුලික උපක්‍රමය එයයි.  මෙම රටාවට අනුව චීනය කියවීම සහ එය හැසිරවීමට අවශ්‍ය ප්‍රඥාවක් තිබීම විපක්‍ෂයේ දේශපාලනයට ඉතාමත්ම හිතකර වේ. මන්ද එය ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බලවේගයක් වන හෙයිනි.

නමුත් ඉන්දියාව වැනි රටවලට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තීරණාත්මක දේශපාලන කාරණා තිබේ. ඉන්දියාවේ බුද්ධි අංශයේ සැලකිය යුතු වෙනසක් මේ වන විට සිදු වී තිබේ. ඒ හෙට ( දෙසැම්බර් 31) දිනයේ විශ්‍රාම යෑමට නියමිත රෝ සංවිධානයේ ප්‍රධානී ලෙස 2012 සිට කටයුතු කළ, 1976 ඉන්දීය පොලිස් සේවාවට අයත් කණ්ඩායමෙන් සංවිධනයට බැඳුනු,  අලෝක් ජෝෂිගේ අනුගාමිකයා ලෙස රජීන්දර් කන්නා පත් කිරීමට අගමැති මෝදී  තීරණය කිරීමත් සමඟිනි. කන්නා, 1978 ඉන්දීය පොලිස් සේවයෙන් මෙම අංශයට බඳවාගත් කණ්ඩායමේ ඔඩිස්සා ප්‍රාන්තය නියෝජනය කළ නිලධාරියෙකි. හෙතම පකිස්ථානය සහ දකුණු ආසියාව සම්බන්ධයෙන් වන විශේෂඥයෙකු  ලෙස සැලකේ. මෙහි ඇති දේශපාලාන වටිනාකම හඳුනාගැනීමට මෙරට දේශපාලඥයින්ට මෙන්ම අනෙකුත් වගකිව යුතු පාර්ශවයන්ට හැකි වුවහොත් එය ඉතා වැදගත් දෙයකි.

මෑතකදී අභාවප්‍රාප්ත වූ රෝ සංවිධානයේ ත්‍රස්ත-විරෝධී අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ, බී. රාමන් තමන්ගේ චරිතාපදානයේ සටහන් කළ කාරණයක් මෙහිදී උපුටා දැක්වීම වැදගත් යැයි සිතේ. “ජාතියක ප්‍රධාන කඩු දෙක වූ කලී ආරක්ෂක අංශ සහ ඔත්තු සේවාවන්ය. එම ද්විත්වය නිවැරදිව මුහත් නොකළහොත් මළකඩ කෑමට ලක් වේ. හොඳ ආරක්ෂක අංශ වල නැවැරදි නඩත්තුවක් සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු වේ. හොඳ ඔත්තු සේවාවක නිවැරදි නඩත්තුවක් සඳහා සමාන්තර අවධානයක් යොමුවේ. එය අපට නොසලකා හැරිය හැක්කේ අප තුළ හදිසි උපද්‍රවයක් ඇති වූ විට පමණි.”

බරපතළ අභ්‍යන්තර ආරවුල් එකිනාගේ පෞද්ගලික අමනාපකම් දක්වා දුරදිග ගොස් සම්පත් හීන තාවයෙන් පෙළෙන එවැනි ඔත්තු සේවාවක් යළි ප්‍රතිසංස්කරණය කිරීමට මුලික අවධානයක් යොමුවීම දේශීය වශයෙන් තේරුම් ගත යුත්තේය. එහි ඇති දේශපාලනික මෙන්ම ආරක්ෂක කාරනා තම විදෙස් ප්‍රතිපත්තියට අනුකූලව වඩා නිරවුල්ව පැහැදිලි කරගත යුතුව ඇත. මෙම කාරණය වඩාත් මැනවින් තේරුම් ගැනීමේ හැකියාවක් විපක්‍ෂයට අත්තේනම් එය පැසසිය යුතු කාරණයකි.

මන්ද, කලාපීය සහ ජාත්‍යන්තර කාරණා මඟහරිමින් ආණ්ඩුවක් තබා විපක්ෂය ලෙස හෝ කටයුතු කිරීමට නොහැකිය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ සතුරන් මිතුරන් කරගැනීමේ වැඩපිළිවෙලක් අනුගමනය කිරීම මිස ‘සතුරාගේ සතුරා ඔබේ මිතුරෙක්ය’ යන මුලිකාර්ථය ආණ්ඩුව යමින් කටයුතු කොට පැස්බරාගේ ක්‍රමය අනුගමනය කිරීම නොවේ. මන්ද මුහුණ දිය යුතු සැබෑ යථාර්ථයක් තිබේ. එය පෞද්ගලික ආශාවන් ඉක්මවා ගිය දෙයකි. රාජපක්ෂ විසින් ශක්තිමත් කොට ඇති මුලාව කඩාබිඳ දැමීම එතරම් පහසු කාරණයක් නොවන බවත් එය ඉතා පරෙස්සමින් විසඳාගත යුතු සංකීරණයක් බවත් සිහියේ තබා ගැනීම වැදගත් වේ.

ඉන්දිරා ගාන්ධි 1975 ජුනි 25 වන දින තමන්ගේ ජනාධිපති වූ අලි අහමඩ් මහතාට දැනුම් දී “ ව්‍යවස්තානූකූලව” , “ හදිසි අවස්ථාවක්” ප්‍රකාශ කළ අවස්ථාව මෙන්ම නොහෙක් දෑ ඉන්දීය දේශපාලනය තුළ වඩාත් අරුත්බරව ලියවී තිබේ. අදාළ “ ව්‍යවස්තානූකූලව” , “ හදිසි අවස්ථාව” ප්‍රකාශ කරනු ලැබුවේ “ අභ්‍යන්තර කෝලාහල” වලට අදාලව එරට ව්‍යවස්ථාවේ 352(1) වගන්ති ප්‍රකාරවය. එය 1975 ජුනි 25 සිට 1977 මාර්තු 21 වනදින දක්වා බලාත්මක විය. 

එම කාලය තුළ තම අභිමාථාර්තයට යටත්ව පාලනය කිරීමට ඉන්දිරා කටයුතු කළාය. එම කාලය තුළදී අගමැතිවරියගේ පුත්‍රයෙකු වූ සංජය ගාන්ධිගේ මෙහෙයවීමෙන්, මාධ්‍ය වාරණ, දේශපාලන විරුද්ධ මතදාරීන් සමූහ වශයෙන් සිරගත කිරීම් ( බිජෙපී පක්ෂයේ එල්. කේ. අද්වානී ඇතුළු ) , සමූහ වඳ සැත්කම් වලට බලෙන් පුද්ගලයින් ඇද දැමීම, ආදී නූතන ඉන්දියාවේ සිදු වූ අපකීර්තිමත් දෑ රාශියක් සිදුවිය. එය අගමැති ගාන්ධිට නීතී  යළි ලිවීමට අවස්ථාවක් ලබා දුන්නාය. රටේ අස්ථාවරත්වය පාලනය කිරීමට යැයි කියමින් එම මාස 21 පුරාම සිදු වූයේ ගාන්ධි පවුලේ දේශපාලනික න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක වීමය.

එවැනි තත්වයක් ලංකාවේ ඇති කිරීමට රාජපක්ෂට ඇති අවකාශය ඉතා සීමා සහිත වුවද, ඔහු මුහුණ දී සිටින දැවැන්ත අභියෝගාත්මක තත්වය සහ ඔහු තනාගෙන ඇති මුරකාවල් එනම් විකෘති කරනු ලැබූ අධිකරණය සහ ව්‍යාකූල කොට ඇති ආරක්ෂක අංශ වැනි දෑ මඟින් තම පාරාජය වෙනතකට යොමු කිරීමට ඉඩ ප්‍රස්ථා අඩු නැත. එකල අගමැතිනි ගාන්ධි සමඟ ඇගේ පුත්‍ර සංජය කළ කටයුත්ත කිරීමට මෙකළ ජනාධිපති රාජපක්ෂට නාමල් පමණක් නොව මහා පිරිවරක් සිටිති.

මෙරට වත්මන් තත්වය තුළ ඉන්දියාවේ මෝදී පරිපාලනය ගන්නා සහය කුමන හැඩයක් ගන්නේද යන්න තීරණාත්මකය. ඉන්දියාවේ කළ “පෞද්ගලික සංචාරයකින්” පසු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක සම්බන්ධන් මෙරටට පැමිණ මෛත්‍රීට සහයෝගය දක්වන බව ප්‍රසිද්ධියේ සඳහන් කිරීම, විපක්ෂය තම ඔලුව දමා ගැනීමක් බඳුය. දැන් උදා වී ඇත්තේ, මෛත්‍රී ඇතුළු කණ්ඩායමට තම කඳ දමා ගැනීම සඳහා නිවැරදි වැඩපිළිවෙලකට යොමු වීමය.  මේ වන විටත්  ඒ සඳහා යොමු වී සිටින්නේ නම්  විපක්ෂය සතුව බුද්ධිය මෙන්ම වාසනාව තිබේ.