Hot!

ප්‍රභාකරන්ගෙන් මහින්ද රාජපක්‍ෂට විවෘත ලිපියක් - ( පළමු කොටස)

| නිලන්ත ඉලංගමුව

ඔබ හොඳින් නැතිබව මා ඉතා හොඳින් දන්නෙමි. ඒ නිසා ඔබ හොඳින් යැයි සිතා මතක් කරමින් ලිපිය කියවීමට පෙර සාම්ප්‍රදායික මානසික වින්දනයක් ඔබට ලබා දීමට මම යුහුසුළු නොවෙමි. කාරනා කිහිපයක් නිසා මෙම ලිපිය ලිවීමට තීරණය කළෙමි. එසේම මා හට ලැබී ඇත්තේ ඔබට ලිවීමට ඇති අවස්ථාව ලෙස පෙනේ. මෙය දීර්ඝ ලිපියක් විය හැකිය. ලිපියේ දිග තීරණය වන්නේ ඔබ මුහුණ දී සිටින ව්‍යාකූලතාවයේ ප්‍රමාණය මතය.

අප දෙදෙනා අතර ඇති වෙනස ඉතා අල්පමය වුවද අපි දෙදෙනා ජීවත් වූයේ මෙන්ම ජීවත් වන්නේ වෙනම ලෝක දෙකකය. මම පරලොවය. ඔබ “මෙලොව” යැයි නම් කරනු ලැබූ පරලොවකය. පරලොවට පැමිණි අයෙක් යළිත් ඔබ ඉන්න ලෝකයට මෙලොව යැයි කියන්නේ නැත. ඒ නිසා ඔබේ පරලොව මගේ මෙලොව වන අතර මගේ මෙලොව ඔබේ පරලොව වේ. මෙම මුලික ධර්මතාවලින් ඔබ්බට ගොස් අපි ඇත්ත කතා කරමු. අපි අපි ගැන කතා කරමු.

ඔබ සිටින ලෝකයේ වසරක් නිමාවීමට ආසන්නයි. ඒ කියන්නේ ඔබ මා මරා මගේ මළ කඳට අඹුඩයක් ගසා ඊට මඩද තවරා ඔබ නැටූ නාට්‍ය නිමා වී වසර හයක් ආසන්න වෙමින් තිබේ.  තවත් පැය කිහිපයකින් පසු ඔබට අළුත් වසරක් ලබනු ඇත. මෙය ඔබට ඉතා තීරණාත්මක වර්ෂයකි. එය ඔබට සුභ වසරක් යැයි පතා ඔබ මුහුණ දී සිටින කටුක යථාර්ථයෙන් ගලවා ඔබ සිහිනයේ වින්දනාත්මක කුමරා කිරීමට මා කැමති නැත.

නමුත් මා ජීවත් වෙන මෙලොවට එවැනි කාලයක් නැත. අපේ කාලය තීරණය කරනු ලබන්නේ අපි අවංකව කරණ කටයුතු වලිනි. අපි අවංකව අපේ හෘද්‍යසාක්ෂියට අනුව පෙර කළ කෙරුවාවන් පිළිගන්නා ආකාරය අනුවය.මෙය ඔබට තේරුම් ගැනීමට නොහැකි වන නමුත් ඔබට එය යම් කිසි කාලයක විඳීමට සිදු වනු ඇත. 

මම ජීවත් වෙලා ඉන්න කාලේ ඔබ මට කතා කරන්න උත්සහ කළද මම ඊට කිසිඳු අවධානයක් යොමු නොකළේ ඔබ තවත් එක් දේශපාලඥයෙක් පමණක් බව මා දැන් සිටි නිසාය. එය අදටත් එසේය. නමුත් ලෝක දෙකක සිටින නිසා ලිවීමට තීරණය කළෙමි.

හැම දේශපාලනඥයාම මෙන් ඒ කිව්වේ ඔබ මෙන්ම යුධ හමුදාවේ සන්නිවේදන අංශයේ කලක් සේවය කළ ඔබේ සහෝදරයා සමඟ කෝච්චියේ පැමිණ ලැගුම් ගත් නැසීගිය දොරේ අප්පා දක්වා වූ සියලුම අයවලුන් බොරු කීමටත්, බොරු කිරීමටත්, ඒ බොරුවෙන්ම ජීවත් වීමටත් ඉතා රුචියක් දක්වන හෙයිනි. එය ඔබ බලය යැයි සිතන්නේය. ඔබ වැනිම අනෙක් අය සිතන්නේද එය බලය යැයි කියාය.

මමද එය අත්හදා බැලුවෙමි. නමුත් පෙනෙන මායාවට වඩා නොපෙනන සත්‍ය බලවත් බව අවබෝධ වන්නේ අපට යළිත් හැරීමට තබා සිතීමටවත් කාලයක් නොමැති විටය. එවිට කළ හැකි ඕනෑම දෙයක් කරමින් තම බොරුව පවත්වා ගැනීම සඳහා මුලිකත්වය ගැනීමට සිදුවේ. එමඟින් අපට අපි අහිමි වේ.

බොහොමයක් කාරණා වලදී මට ඔබ ගැන විශ්වාසයක් ඇති විය. එය වැටී සිටි මුලාව හමුවේ පැවැත්ම වෙනුවෙන් තෝරාගත් වැරද්දක් බව අවබෝධ වූයේ ඔබේ ලෝකයෙන් චුත වූ පසුය. 

මම මගේ සගයින්ට කියා සිටියේ රනිල් වැනි කෛරාටක පුද්ගලයෙකුට වඩා ඔබ තෝරා ගැනීමෙන් ගොඩ යා හැකි බවය. සැබවින්ම එය මගේ නියම අදහසක් නොවුණද මා වටා එකල රැස් වී සිටි කිහිප දෙනෙකු මා යොමු කරනු ලැබුවේ එම තීරණය ගැනීමටය. එය ඔබ වටා මෙකළ රැස්වී සිටින ජෝතීර්වේදීන්ගේ කටයුත්තට සමානය. මම එවැනි දෑ විශ්වාස නොකළ නමුත් මා “ඉතා සුළු පිරිසක්” සමඟ ඇතිකරගත් “කල්‍යාණ මිත්‍රත්වය” මත පිහිටා කටයුතු කළෙමි.

පැවති යමක් ගෝ වීරියෙන් ගොඩනගා ගත් යමක් තම පාලනයෙන් වියුක්ත වූ විට එහි ගමන් මඟ තීරණය කිරීම අපට කළ නොහැකි අතර එහි දිශාවද තීරණය කරනු ලබන්නේ එහි නියම මෙහෙයුම් කාරකය මතය.

දෙගිඩියාවෙන් ගන්නා තීරණ නිසා විඳවීමට සිදුවන ප්‍රමාණය අතිමහත් බව මා මුල සිටම එනම් උමා මහේන්ශ්වරන් සමඟ වෙඩි තබා ගන්නා කාලයේ සිටම අවබෝධ කරගත් මුලික කාරණයකි. නමුත් කුමන පුද්ගලයෙකුගේ වාසනාවට මාගේ අවබෝධයට හාත්පසින්ම වෙනස් තීරණයකට යෑමට මට සිදු විය.

මා මරාදැමු පමණින් සහ අපේ මාතෘභූමියේ ( ශ්‍රී ලංකාවේ) යුද්ධය නැති වූ පමණින්, එය එනම් මා ඔබට සහෝයෝගය දීමට ගත් තීරණය, ඔබේ වාසනාව යැයි වරදවා තේරුම් නොගන්න. මන්ද ඔබ මටත් වඩා හාස්‍ය ජනක ලෙස නින්දාවට මෙන්ම අපහාසයට පමණක් නොව හාස්‍යට ලක් වෙමින් සිටින නිසාය.

එබැවින් ඔබත් මාත් එකම ආස්ථානයකට පැමිණ තිබේ. ඒ වූකලී අප දෙදෙනාටම හඳුනා ගැනීමට නොහැකි කාරණය සම්බන්ධයෙනි. එනම්, යම් කිසි සිදුවීමකින් අවසාන සිනහව හිමි පුද්ගලයා කවුරුන්ද යන්න තේරුම් ගැනීමට අපි දෙදෙනාම අසමත් වී සිටින්නෙමු. මීට මුලික හේතුව අපි දෙදෙනාටම අප කටයුතු කරනු ලැබූ “දුෂ්ඨිවාදය” ගැන පුළුල් අවබෝධයක් නොතිබීමය. දුෂ්ඨිවාදය යැයි අපි හඳුනාගත් ප්‍රපංචය, සැබෑව නොව අපේ මායාව තුළ විඳීම එකම ආශාව බවට පත් කළ අධිතක්සේරුවකි.

ඔබ මටත් වඩා මේ සම්බන්ධයෙන් අන්ධයෙකු බව පෙනෙන එක් සරල උදාහරණයක් පමණක් පෙන්වා දීමට මෙහිදී කැමැත්තෙමි. එනම් මම සයනයිට් විශ්වාස කොට එය සතුරාගෙන් පලයාමේ උපාය ලෙස මගේ සගයාට පෙන්වා දෙන විට ඔබ සතුරා ජයගැනීමේ මාවත ලෙස හූනියම් මත විශ්වාසය තබන්නේය. මෙම දෙකේ වෙනස ඉතා කුඩාය. නමුත් විඳීම එකිනකට හාත්පසින්ම වෙනස්ය. සයනට් කරලක් කෑම ක්‍ෂණික මරණයට හේතු වන අතර සතුරාගෙන් පලා යා හැකිය. නමුත් ඔබේ උපක්‍රමය හමුවේ ඔබ පත්වන්නේ දීර්ඝ කාලීන රෝගීයෙකුගේ තත්වයටය. එම රෝගී තත්වය ගැඹුරු වේදනාවකට හේතු වේ.

මම උපන් ගෙයිම නීති විරෝධී ත්‍රස්තවාදියෙකි. ඒ නිසා මගේ ජීවිතය මට වඩාත් පහසු කොට ඇත. රඟපෑමට සිදු වූයේ එක් භූමිකාවක් පමණක් වූ අතර එය මම ඉතා අවංකව කිරීමට සමත් වුනෙමි. තුන්සීය පනහකට අධික මිනිසුන් ප්‍රමාණයක් ස්ව-කැමැත්තෙන් මිනිස් බෝම්බ බවට පත් කිරීමට මා හට හැකි වූයේ එම අවංක මෙන්ම සරල අරමුණ නිසාය. එය මා දැනටත් සිතන මෙන්ම ආඩම්බර වන කාරණයකි.

නමුත් ඔබේ කතාව ඊට හාත්පසින්ම වෙනස්ය. ඔබ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම චරිත කිහිපයක් රඟ පෑමට සිදු වූ එක් මිනිස් ඇට සැකිල්ලකි. එක් අවස්ථාවකදී තම ජයග්‍රහණය වෙනුවෙන් මිනිසුන් මැරීමටත්, විටෙක පක්ෂයේ නායිකාවට එරෙහිව ගුණ්ඩු අදින්නා ලෙසත්, තවත් අවස්ථාවකදී අනුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ “පුරෝගාමියෙකු” ලෙසත්,  තවත් විටෙක රටේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ ප්‍රමුඛයා ලෙසත්, තවත් විටෙක අපේ විමුක්ති කොටි සංවිධානයේ කල්‍යාන මිත්‍රයෙකු ලෙසත්, ආදී වශයෙන් වූ චරිත රාශියක්  ඔබට රඟ පෑමට සිදු විය.

එපමණක් නොව ඔබ කුඩා දරුවන් වඩා ගෙන මා එකල කළ ආකාරය හා සමාන නමුත් තරමක් වැඩි විනෝදජනක ජවනිකාවක් රඟපාන අයුරුද කදිමය.  එසේම ඔබ සඳහන් කරණ කාරණා විශේෂයෙන්, අපේ මාතෘ භූමියේ යළිත්  “බෙදුම්වාදය” ඇති කිරීමට ඉඩ නොදෙන්නේය, වැනි දෑ මා රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු හාස්‍ය සඳහා නරඹන කුඩා විඩීයෝ සටහන්ය. බෙදුම්වාදයක් තබා මා හට මාගේ දරුවන් මෙන්ම බිරිඳ සොයා ගැනීමට තවමත් නොහැකි තත්වයක් හමුවේ ඔබ එවැනි විශාල කතා කීම මා භියට පත් කරණ අවස්ථාද ඇත.

නමුත් මට සැකයක් තිබේ.

එනම් ඔබ මා ගැන මෙන්ම ඔබ අපේ මාතෘභූමියේ මා ඇතුළු සගයින්ගේ සටන අතුගෑමෙන් පසු කියන කතා ගැනය. ඔබ මේ සැරසෙන්නේ මම එදා කළ සටන, වෙනත් මුහුණුවරකින් රැගෙන යාමටද? එය එසේනම්; මා හට වඩාත් කාරුණිකව කීමට ඇති කාරණය නම්, ඔබ එවැන්නක් පටන් ගැනීමට පෙර අඹුඩයක් සූදානම් කරගෙන සිටින ලෙසය. එවිට ඔබට මා අද සිටින කාලයක් මෙන්ම අවකාශයක් න්‍යායික වශයෙන් නැති තැනට ඒමට කඩිනමින් හැකියාව ලැබේ. එසේ සිදු වුවහොත් අපි දෙදෙනාට නව ආරක විමුක්ති අරගලයක් පටන් ගැනීමට හැකිය.

ඔබට, අළුත් වසරක් උදාවීමට ආසන්න නිසා, ඔබෙන් තවත් කාලය ලබා ගැනීමට මා බලාපොරොත්තු නොවෙමි. නමුත් මා මගේ මීළඟ ලිපියෙන් අපේ ආලය ගැන පුරසාරම් දෙඩීමට කැමැත්තෙමි.

මීට ඔබට සැමදා හිතවත් නැසීගිය;

වේලුපිල්ලේ ප්‍රභාකරන්
දෙසැම්බර් 31, 2014