Hot!

හොඳින් හෝ නරකින් දිනා ගැනීම

| නිලන්ත ඉලංගමුව

හැදෙනවාට හැදෙන එක පිළිකා ශෛලයක දුෂ්ඨිවාදයයි
 - එඩ්වර්ඩ් අබේ - ස්වදේශ සංචාරය


ජනාධිපති මහින්ද රාජපක්ෂ අමුතු කථා කියන්නේය. යමෙක් බොරු කියන විට එක්තරා සීමාවකදී ඔහු වටා සිටින ඕනෑම අයෙකුට, ඔහු බොරු කියන බව අවබෝධ වන්නේය.  ඉන් පසු ඔහු දුටු සැනෙකින් සියළුම දෙනා කියනු ලබන්නේ “ පචයා එනවා”, කියාය. මෙම පච කීම නොහොත් සරලව කිවහොත් පච හැලීම සෑම තැනකම අඩු වැඩි වශයෙන් තිබේ.

විශේෂයෙන් දේශපාලනය තුළ මෙය වාඩාත් සුලභව දැකිය හැකි කාරණයකි. ඕනෑම හෙරෙකුට බෞද්ධයෙකු නිවන් දකින ආකාරය බුදු රජාණන් වහන්සේ දේශනා කළාට වඩා වැඩියෙන් පැහැදිලි කළ හැකි බව මෙරට “සිංහල - බෞද්ධ” දේශපාලනඥයින් පෙන්වා දී ඇත. මෙලෙස බුදුන්ට වඩා බුදුන් ගැන දැනුවත් බෞද්ධයින්, මාක්ස්ට වඩා මාක්ස් ගැන දැනුවත් මාක්ස්වාදීන්, ආදී වූ විශාල පිරිසක් බිහි කිරීමට මෙරට දේශපාලනය සමත් වූ බව පැය ගණන් රටේ කාලය නාස්ති කරණ විවිධ දේශපාලන වැඩසටහන් වලට සවන් දීමෙන් පමණක් අවබෝධ කර ගත හැකිය. අපූරුය. රටේ සැබෑ “ආශ්චර්ය” වන්නේ මෙයයි.

මීට හොඳම උදාහරණය පසුගිය දිනක පැවති එක්තරා දේශපාලන වැඩසටහනකදී ආණ්ඩුව නියෝජනය කළ අයවලුන් හැසිරුණු ආකාරයය.  යමක් අනුබව කොට එය ආමාශගත වීමටත් පෙර මත් වී සිහිවිකල් වූවන් සේ හැසිරෙමින් රටේ ඇති පරිහාණිය ලෝකයට පෙන්නුවේය. යමෙක් සීමාව ඉක්මවා සිහි විකල් වූවන්සේ හැසිරෙන්නේ, තමන් වටා සිටින අයවලුන්ද එසේ මානසික රෝගීන් බව තමන් තුළ ඇති පූර්ව නිගමනය නිසාය.

එක්තරා විචාරකයෙකු වඩාත් නිවැරදිව සඳහන් කළ ආකාරයෙන් එලෙස පුද්ගලයින් හැසිරෙණු ලබන්නේ තමන්ට කියා ගැනීමට නොහැකි දෙයක් දුර්වල යයි තමන් විසින් සිතාගෙන සිටින අයෙකු හමු වූ විට මුදා හරිමින්, තම සැබෑ උවමනාව වක්‍රාකාරයෙන් ඉටුකර ගැනීමය. මෙය “ ඇරියස් මුදා ගැනීම” යැයි සාමාන්‍යයෙන් කියන්නේය.

ජනාධිපති රාජපක්ෂ වටා සිටින බොහෝ දෙනෙකු මෙලෙස, ඇරියස් බොහොමයක් සමඟ කල් ගෙවන අයවලුන් වෙති. එය ක්‍රමෝපායක් ලෙස රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් නිර්මාණය කරනු ලැබීය. මන්ද එවිට කිසිවෙකු ඔහුට එරෙහිව ඍජුව කතා කළ නොහැකිවා පමණක් නොව ඔහුගෙන් ඉවත් වීමටද නොහැකිය. 

එවැනි වටපිටාවක් නිර්මාණය කළ පසු තමන්ට ඕනෑම බොරුවක් ඕනෑම කාලයක් තිස්සේ කළ හැකි බවට වූ පූර්ව නිගමනයක් ජනාධිපති රාජපක්ෂ සතු වේ. එය තමන් වටා සිටින අයවලුන් අතර පමණක් නොව ඉන් පරිභාහිරට ගොස් සමස්ථ රට තුළද අත්හදා බලන්නේය. ඔහුට අනුව එය බලය රැක ගැනීම සඳහා වඩාත් ක්‍රමෝපායික වැඩපිළිවෙල වේ.

යමෙකුට ඕනෑම බොරුවක් ප්‍රකාශ කොට අනෙකාගේ මුලික නිදහස අහිමිකොට, බොරුකාරයාගේ අභිමතය ඉටුකර ගැනීම සඳහා මාවත සකස්වීම සඳහා රටක සංස්කෘතික ගත වී ඇති බෙලහීනතාවය අවබෝධ කර ගැනීම අතිශය වැදගත් වේ. මෙම ගැටලුව වෛරකිරීමෙන් හෝ ප්‍රචණ්ඩත්වයෙන් විසඳිය හැකි කාරණයක් නොවේ. මෙය අතිශය ප්‍රවේශමෙන් සහ සංයමයෙන් කළ යුතු මහත් පරිශ්‍රමයකි. මන්ද, ලංකාවේ 2009න් පසු ඇති කරනු ලැබූ “දේශහිතෛශී” බව එපමණකට ගැඹුරුට විහිදී ගිය ව්‍යාකූල එකකි. මේ නිසා නායකයාට රිසි සේ බොරු කීමට සහ තමන්ට රිසි දේ රිසි පරිදි ඉටුකර ගැනීමට හැකියාව තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ගත වූ දින කිහිපය තුළදී කළ මහා පරිමාණ බොරු දෙකක් පමණක් ගෙන බලමු.

ඉන් පළමුවැන්න නම් හෙතම ත්‍රිකුණාමලයේදී, මුස්ලිම් ජනතාව මක්කම වන්දනා කිරීමේ අවස්ථාව ලබාදීම සඳහා වූ වගකීම භාර ගැනීම සඳහා කළ ප්‍රකාශයයි. රිසානා නෆීක්ගේ ගෙල සිඳින තෙක් කිසිඳු මැදිහත් වීමක් නොකොට, ඇය මරා දැමූ පසු කුඹුල් කඳුළු හෙලු නායකයා, මුලිස්ම් ජනතාව මක්කම වන්දනාමාන කිරීම සඳහා මැදිහත් වන බව කියන්නේය. රිසානා බේරාගැනීමට විශාල කාලයක් සෞදි ආණ්ඩුව ලබා දී තිබුණි. නමුත් ජනාධිපතිවරයා හෝ ඔහු විසින් පත් කරනු ලැබූ ධූත මණ්ඩලය කිසිඳු වැදගත් වැඩපිළිවෙලකට යොමු වූයේ නැත. වඩාත් පහසුවෙන් රාජතාන්ත්‍රිකව විසඳාගෙන තමන්ට විශාල දේශපාලන වාසියක් ලබාගැනීමට තිබු අවස්ථාව හිතා මතාම මඟ හරිනු ලැබූ නායකයෙකු, මුලිස්ම් ජනයා මක්කම වනදනා මාන කිරීමට ලෑස්ති වීම කදිම හාස්‍යයකි. මෙය දෙවැනි වන්නේ රවුෆ් හකීම්ගේ රැවටිලිකාර දේශපාලනයට පමණි.

ඔහුගේ දෙවන බොරුව වනාහී පොලිසියට නිසි තැන හිමි කර දීමයි. වැඩි දුරකට ගමන් කළ යුතු නැත. විමල් වීරවංශ, මාරාන්තික උපවාසයකට ලක ලෑස්තිවන විට ඇති වූ මහජන කලබගෑනිය හමුවේ පොලිසිය මැදිහත් වූ විට, එම නිලධාරියාට ශුද්ධ සිංහලෙන් කතාකරනු ලැබුවේ වෙන කවුරුත් නොව, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ය.

පොලිසියට ඇති ගරුත්වය හෑල්ලුවට ලක් කළ අයෙකු පොලිසියේ ගරුත්වය ඇතිකිරීමට කතාකිරීමම ඛේදවාචකයකි.

පොලිසියේ ගරුත්වය ඇති කිරීමට කිසිවෙකුට හෝ අවශ්‍ය වන්නේනම්, පළමුව වැදගත් වන්නේ පොලිස් සේවය සැබෑ රාජ්‍ය සේවාවක් බවට පත් කොට එය බලයේ සිටින්නාගේ මෙවලමක් වීම වැලක්වීමය. එසේම බලයට පත්වන ආණ්ඩුවල එල්ලී තම පෞද්ගලික ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට සිටින නිලධාරීන්ට අත්තනෝමතිකව කටයුතු කිරීමට ඇති කැලෑ නිතීය ඉවත් කිරීමය. නමුත් ජනාධිපති රාජපක්ෂ කරනු ලැබුවේ; පොලිසිය පමණක් නොව මිලිටරියද බලයේ සිටින්නාගේ අතකොළුවක් බවට පත් කිරීමය. 

තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා හිතාමතාම කරනු ලැබූ විකෘති කිරීමකින් පසු එය ප්‍රකෘතිමත් කොට නිසා ගරුත්වයක් ලබා දීමට විකෘතිකාරකයට හැකි යැයි සිතීම මුලාවක් පමණි.

හැකි පමණ අනෙකාට බොරු කීමට හැකි අපි ජීවත් වන සංස්කෘතිය කුමක්ද?  

ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන මැතිවරණය හොඳින් හෝ නරකින් දිනීමට බලාපොරොත්තු වන්නේ මෙවැනි වටපිටාවක් නිර්මාණය කිරීමෙනි.

මෙම සිලු නාඩකම් දැක, හැදෙනවාට හැදෙන පිළිකා ශෛල බඳු ජාතියක් බවට අපි පත් වන්නේද? එසේ නොමැතිව හේතුකාරකය නැසීමට සහ රටේ කොඳු නාරටිය ශක්තිමත් කිරීමට හැකි උපරිම සහයෝගය ලබා දෙන්නේද යන්න අප හමුවේ ඇති පෘතුල වගකීම සහ යුතුකම වේ. ලංකාව තුළ අහිමි වෙමින් පවතින මූලික ලක්ෂණය වනාහී සාමූහික වගකීම සහ යුතුකමයි.