Hot!

තන්හා රතී රඟා : ශී‍්‍ර ලංකාවේ නාගරික පීඩිතයන්ගේ ජීවිතය

වසන්ත රූපසිංහ සහ පානිනී විජේසිරිවර්ධන විසිනි

අධ්‍යක්ෂනය: නිලේන්ද්‍ර දේශපි‍්‍රය
තිර රචනය: කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල
සංගීතය: ගයාත‍්‍රී කේමදාස හා අනුපා කේමදාස

නිලේන්ද්‍ර දේශප‍්‍රියගේ ප‍්‍රථම සිනමා නිර්මානය, තන්හා රතී රඟා , මේ දිනවල ශී‍්‍ර ලංකාවේ තිරගත වෙයි. 2009 වසරේ බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) මිලිටරිමය වසයෙන් පරාජය කිරීමෙන් අවසන්වූ දීර්ඝ සිවිල් යුද්ධයෙන් අනතුරුව දිවයිනෙහි සිනමා ශාලා අරක්ගත් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී යුද වින්දනීය චිත‍්‍රපට ගොන්නෙන් වෙන්වන දේශපි‍්‍රයගේ නිර්මානය, ශී‍්‍ර ලංකාවේ නාගරික පීඩිතයන්ගේ ජීවිතය පිලිබිඹු කිරීමට ගත් ප‍්‍රයත්නයක් ලෙස පැසසුමට ලක්විය යුතු ය.
නිලේන්ද්‍ර දේශපි‍්‍රය

"මාර්ග චිත‍්‍රපට" ( Road movies) නම් වූ චිත‍්‍රපට විශේෂයෙහි අංග ලක්ෂන සහිත මෙම නිර්මානයෙහි කතාව දිග හැරෙන්නේ යුද්ධය අවසන් වීමෙන් පසු ත‍්‍රිරෝද රථයක නැගී උතුරට යන මිතුරන් තිදෙනෙකු මුහුන දෙන සිද්ධීන් මාලාවක් ඔස්සේ ය. කොලඹ දුගී නිවස්නා ප‍්‍රදේශයක් වන ගුනසිංහපුර පදිංචි මිතුරන් තිදෙනා අතරින් සිරිතුංග (සරත් කොතලාවල) කුලී වැඩවල නිරත තිදරු පියෙකු වන අතර විමල් (කුමාර තිරිමාදුර) අවිවාහක ති‍්‍රරෝද රථ රියදුරෙකි. අනෙක් මිතුරා වන්නේ රැකියා විරහිත විශ්ව විද්‍යාල උපාධිධාරියෙකු වන වන සුරාජ් (නාමල් ජයසිංහ) ය.

චිත‍්‍රපටය ඇරැඹෙන්නේ, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව සංවිධානය කල උමතු සහගත යුද ජය සැමරුම් පිලිබඳව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ගෙන එන පුවත් වාර්තාකරනයකිනි. දේශපාලනඥයෝ මුල්වී කිරිබත් දන්සැල් දෙති, රතිඤ්ඤා පත්තු කරති, බෞද්ධ භික්ෂූන් ලවා පිරිත් කියවති, යුද්ධයේ අවසන් අදියරේදී ශී‍්‍ර ලංකා හමුදාව විසින් මරා දැමුනු එල්ටීටීඊ නායක ප‍්‍රභාකරන් අඟවන පඹයෙකුට ගිනි තබති. සිරිතුංග සහ ඔහුගේ මිතුරන් දෙදෙනා ද මේ සැමරුම්වලට හවුල් වෙති. යුද ජය සැමරුම්වලින් පසු, යුද්ධය නිසා වසා දමා තිබූ උතුරට දිවෙන ප‍්‍රධාන මාර්ගය මිලිටරිය විසින් යලි විවෘත කිරීමත් සමග, විමල්ගේ ත‍්‍රිරෝද රථයේ නැගුනු මිතුරෝ උතුර නැරඹීමට පිටත් වෙති. යුද්ධය බිහිසුනු ලෙස පැවැති චලෙයි ප‍්‍රදේශයේ මුහුදු වෙරලේ වලලා තිබූ පිස්තෝලයක් විමල්ට හමුවන අතර සිරිතුංගගේ දැඩි විරුද්ධත්වය මැද ඔහු එය කොලඹට ගෙන එයි.

විමල් සහ සුරාජ්, තමන්ට වින කටින්නන් මෙල්ල කිරීමට මෙම පිස්තෝලය විටින් විට යොදා ගන්නා අතර එම සිදුවීම්වලින් පසු ඔවුන්ව පොලිසියට කොටුවේය යන භීතියෙන් පිස්තෝලය තමන් සන්තකයට ගන්නා සිරිතුංග එය තම නිවසේ සඟවයි. දිනක් අහම්බෙන් සිරීගේ නොදරුවෙකු අතට පත්වන පිස්තෝලය සෙල්ලම් පිස්තෝලයකැයි සිතා තම නැගනියගේ හිසට තබා කොකා ගස්සයි. ගැහනු දරුවා මාරක තුවාල ලබා හදිසි ප‍්‍රතිකාර අංශයට ඇතුලත් කෙරේ. සිද්ධිය හේතුකොටගෙන සිරිතුංග සහ ඔහුගේ සෙසු සගයන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා රහස් පොලිසිය ඔවුන් එල්ටීටීඊය සමග සබඳතා පැවත්වූයේය යන චෝදනා නගමින් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරයි. වෙඩි වැදුන දරුවා මරනයට පත්වන අතර මිතුරන් තිදෙනා වසර දහයක සිරයට නියම වේ. වසර දහයකට පසු නිදහස් වන මිතුරන්ට යලි අත්දැකීමට ඇත්තේ පෙරකාලයේ පැවති සමාජ වාතාවරනයටම ය යන අදහස දෙන දර්ශනයකින් චිත‍්‍රපටය අවසන් වේ.

මිතුරන් තිදෙනා අයත්වන නාගරික පීඩිත ජනසමාජය පසුගිය සියවස පුරා ඈත ගම්දනව් වලින් රැකියා සොයා කොලඹට පැමිනි, සිංහල, දෙමල හා මුස්ලිම් ජන වර්ග වලින් සමන්විත වේ. මෙම ජනයාගෙන් බොහෝ දෙනෙකුට ශීලාචාරව සහ ස්වාධීනව ජීවත් වියහැකි නිත්‍ය නිවසක් හෝ හරිහමන් රැකියාවක් නොමැත. මෙම තතු තුල, ඔවුන්ගෙන් සැලකියයුතු ප‍්‍රමානයක් මත් ද්‍රව්‍ය ජාවාරම් ඇතුලු පාතාලමය වැඩ කටයුතුවලට මෙන්ම ගනිකා වෘත්තිය සඳහා ද තල්ලු කෙරී ඇත. යුද්ධය හමාරවීමෙන් අනතුරුව, රාජපක්ෂ ආන්ඩුව කි‍්‍රයාත්මක කොට ඇති කොලඹ නගරය "සුන්දර කිරීමේ" ව්‍යාපෘතියේ නාමයෙන් මිලිටරියේ බලහත්කාරය යොදා නගරයෙන් පිටමං කරමින් සිටින 70,000ක් පවුල් අයත් වන්නේ මෙම සමාජ ස්ථරයට යි.

මෙම ජන කොටසේ ජීවන ගැටලු හා ඔවුන් අතර පවත්නා මානුෂීය ගුනාංග චිත‍්‍රනය කිරීමට දරන ප‍්‍රයත්නය හේතුවෙන් අධ්‍යක්ෂවරයා තුල ඔවුන් කෙරෙහි නිපන් සානුකම්පාව ඉස්මතු වෙයි. ස්තී‍්‍ර‐පුරුෂ පේ‍්‍රමය, දාරක පේ‍්‍රමය හා මිත‍්‍රත්වය වැනි මානුෂීය සබඳතා සියුම්ව හා සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීමට දේශපි‍්‍රය සතු හැකියාව ද ඔහුගේ නිර්මානයෙන් ප‍්‍රකට වෙයි.

සිරිතුංග තම බිරියට සහ දරුවන්ට දක්වන ආදරය, පෙරලා බිරිඳ ඔහු සහ දරුවන්ට දක්වන ආදරය හා කුලී වැඩෙහි යෙදෙමින් තම පවුල රැකබලා ගැනීමට ඔහු දරන ආයාසකර ප‍්‍රයත්නය, කටුක ජීවිතය තුල පවා සෙනෙහෙබර පවුලක් ලෙස ජීවත් වීමට මෙම මිනිසුන් තුල ඇති අපේක්ෂාව නිරූපනය කෙරෙන දසුන් පෙල එයට සාක්ෂි දරයි. දිලිඳුබව හේතුවෙන් සංස්කෘතිය අහිමි කෙරුනු මෙම මිනිසුන් සහ ගැහැනුන් ඉඳහිට යන සාමූහික විනෝද චාරිකාවකින් ලබන ඉමහත් ආස්වාදය චිත‍්‍රනය කෙරෙන දසුන් පෙලෙන් ද ඔහු සතු මෙම හැකියාව තහවුරු කෙරෙයි.

දේශපි‍්‍රය සතු මෙම විභවය වඩාත්ම ඉස්මතු වන්නේ, විමල් සහ ජසින්තා නම් තරුනිය අතර දලුලන පේ‍්‍රමය ආශි‍්‍රත දසුන් පෙලෙනි. උතුරු වෙරලේ ගිනිමැලයක් වටා රැස්ව සිටින වෙනත් නඩයකට එක්වන විමල් සහ මිතුරන් ඔවුන් සමග එක්ව ගී ගයන අතරතුර ජසින්තාගේ හා විමල්ගේ දෙනෙත් එකිනෙක ගැටේ. හමා යන සිහිල් මාරුතයෙන් සැලී මුහුනට වැටෙන කෙස් රොද අතරින් එල්ල වන මෙම නෙත්සරයන්හි කාන්තියෙන් පේ‍්‍රමයේ පරම රමනීයත්වය අපූර්වත්වයකින් මතු කර ගැනීමට දේශපි‍්‍රය සමත් වෙයි. මෙහිදී මාරුතයේ සිසිල සහ ගිනිමැලයේ මන්දාලෝකය එකිනෙක සංයෝජනය කරමින් කැමරාකරු මවන චමත්කාරය මනරම් ය.

පශ්චාත් යුද කාලීන උතුරුකරයේ වඩාත් පුලුල්ව වර්ධනය කෙරී ඇති සිංහල බෞද්ධ අධිකාරිත්වය සම්බන්ධයෙන් දේශපි‍්‍රය යම් විරෝධාභාෂී ආකල්පයක් දරන බව ඇතැම් දර්ශන වලින් ඉස්මතු වෙයි. උතුරට ඇදෙන ත‍්‍රිරෝද රථයේ සවිකොට ඇති බුදුරුවට කැමරාව නැවත නැවතත් යොමු කරමින් සහ එය විශාලිත කරමින් යුද්ධයෙන් විනාශ වූ දෙමල ගම් නියම්ගම් හරහා ඉදිරියට ඇදෙන යෝධ ප‍්‍රතිරූපයක් බවට එම බුදුරුව පත් පත් කෙරෙන්නේ ඉහත අරුත දනවමිනි.

එල්ටීටීඊ ය පරදා යලි රට "එක්සේසත්" කිරීමේ යථා අර්ථය අධ්‍යක්ෂවරයා විසින් දනවන්නේ ඉතා ප‍්‍රබල රූපකයකින් හා දැඩි උත්ප‍්‍රාසයකිනි. උතුරු වෙරලේ ගිනිමැලයක් වටා හිඳ සිටින විමල් සහ සගයන් දෙදෙනා වෙතට පැමිනෙන වෙනත් නඩයක තරුනයෙකු යෝජනා කරන්නේ, යුද්ධය නිමාවී රටම "එක්සේසත්" වන මොහොතේ "එකම ගිනිමැලයක හෙවන වටේ රොක්වන" ලෙස යි. වෙනත් ගිනිමැලයක් වටා රොක්ව සිටින එම නඩයට මිතුරන් තිදෙනා ද එක්වෙයි. "එක්සත්" කෙරී ඇත්තේ "ගිනිමැලයක" සෙවනේ ය. එනම් රාජපක්ෂ ආන්ඩුව විසින් මෙහෙයවන කොලඹ කේන්ද්‍ර කරගත් සිංහල බෞද්ධ රාජ්‍යය නමැති ගිනිමැලයේ සෙවනේ ය. සමස්ත දිවයින පුරා වෙසෙන කම්කරු පීඩිත මහජනයා මෙම ගිනිමැලයේ තාපයෙන් දැවීමට නියමිත බව මෙයින් ව්‍යාංගාර්ථිත ය.

මිතුරන් තිදෙනා එල්ටීටීඊ සැකකරුවන් ලෙස රහස් පොලිසියට ගෙනගොස් ප‍්‍රශ්න කරන දර්ශන හා ධනපති මාධ්‍ය ඒ පිලිබඳ අතේ පැල කරන පුවත් හරහා ගෙන යන උමතු සන්දර්ශනයෙන්, "උතුරේ ත‍්‍රස්තවාදය නැවත හිස ඔසවමින් සිටින" බවට ආන්ඩුව ගෙනයන ප‍්‍රචාරයේ ව්‍යාජභාවය උත්ප‍්‍රාසාත්මකව පෙන්නුම් කරයි. අත්අඩංගුවේ සිටින සුරාජ්ගේ මව දෙමල ජාතික කාන්තාවක වීමේ කාරනය මත ප‍්‍රධාන දිනපතා පුවත්පතක් තම ප‍්‍රධාන සිරස්තලය හරහා සුරාජ් "ත‍්‍රස්තවාදියෙක්" බවට පත් කරයි. හුදෙක් එල්ටීටීඊය සඟවා තිබුනේයැයි පැවසෙන ආයුධයක් ලඟ තබා ගැනීම නිසාවෙන් මෙම මිතුරන් "කොටි" ලෙස හංවඩු ගැසීම තුලින් යුද්ධය මධ්‍යයේ දෙමල සහ සිංහල තරුනයින් දඩයම් කෙරුනේ සහ යුද සන්නිය පවත්වා ගෙනගියේ කොතරම් නම් මුසාවාද මත පදනම්ව ද යන්න ඇඟවේ.

දේශප‍්‍රිය සිය නිර්මානය හරහා යුද්ධය පැවති කාලය පුරා දකුනේ ධනපති මාධ්‍ය විසින් තලු මරන ලද ආයුධ පරිහරනය ලමා සිතුම් පැතුම් පවා ග‍්‍රහනයට ගෙන ඇති අයුරු ඉස්මතු කිරීමට යත්න දරයි. සිරිතුංගගේ ලමුන්ට සෙල්ලම් කිරීමට ලැබී ඇත්තේ සෙල්ලම් තුවක්කු ය, සෙල්ලම් යුද ටැංකි ය. අනාගත පරපුරේ මනෝභාවයන් යුද්ධයේ විසකුරු අත්දැකීම්වලින් විනාශ කර ඇති ආකාරය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයාගේ උත්සුකය එමගින් විලක්ෂිත ය.

මිතුරන් තිදෙනා ඇතුලු ජනකොටස් යුදජය සැමරුම්වලට තල්ලුවී ගියේ යුද්ධය නිමාවී තමාගේ ජීවන කොන්දේසි යහපත් වෙතැයි යන අපේක්ෂාවෙන් නමුදු සිදුවී ඇත්තේ එල්ටීටීඊය පරාජය කොට ශක්තිමත් කරගත් මර්දන හස්තයෙන් ඔවුන්ටම පෙරලා පහර දීම බව චිත‍්‍රපටයෙන් ඇඟවෙයි. මිතුරන් තිදෙනාට සිර දඬුවම් නියම කෙරී ඔවුන් රැගෙන යන මොහොතේ, විමල්ගේ මව, සිරිතුංගගේ බිරිය සහ සුරාජ්ගේ දෙමල ජාතික මව ඇතුලු ආදරනීයන් සහ හිතවතුන් සියල්ල, ඈතින් දිස්වන, ධනේශ්වර රාජ්‍යයේ සංකේතයක් වන අධිකරන ගොඩනැගිල්ල දෙස බලා සිටී. ඔවුන් මුහුන දෙන පීඩාවන්ගේ මූලය මෙම ධනේශ්වර රාජ්‍යය නොවේදැයි ප‍්‍රශ්න කරන්නාක් බඳු හැඟීමක් පේ‍්‍රක්ෂකයාට දැනෙයි, හැඟෙයි.

මෙම නාගරික පීඩිතයන්ගේ ජීවිත වෙලාගෙන තිබෙන සමාජ ප‍්‍රශ්න ඉදිරිපත් කිරීමේදී යම් වියුක්ත හා නොගැඹුරු බවක් සමස්ත නිර්මානයම පුරා විශද වෙයි. ජීවත් වීමට හරිහමන් නිවසක් නොමැතිවීම මොවුන් මුහුන දෙන බලගතුම සමාජ ප‍්‍රශ්නයකි. විමල් ඇතුලු පවුලට ඔවුන් ජීවත් වන නිවසින් ඉවත් වන ලෙස බාප්පා කරන බලපෑම හරහා මෙම නිවාස ප‍්‍රශ්නය චිත‍්‍රනය කිරීමට දේශපි‍්‍රය යම් දුරකට උත්සාහ කරන නමුදු එය සංයුක්තභාවයෙන් තොර ය. එබැවින්ම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් පේ‍්‍රක්ෂකයා තුල චලනයක් ඇති නොකෙරෙන අතර නව ඥානයක් ද සම්පාදනය නොකෙරේ.

තම පෙම්වතිය හා එක්වීමට නොහැකිව පීඩාවට පත්වන රැකියා විරහිත උපාධිධරයෙකු වන සුරාජ්ගේ චරිතය තුලින් තම ජීවිතය සුපුෂ්පිත කරගත නොහැකිව ලතවෙන දහස් සංඛ්‍යාත තරුන තරුනියන්ගේ ජීවිත මුන ගැස්සවීමට ද අධ්‍යක්ෂවරයා යත්න දරා තිබෙන නමුදු එහිදීද මෙම දුර්වලතාව ඉස්මතු වෙයි. පෙම්වතියගේ සොහොයුරා සුරාජ්ට විරුද්ධ වන්නේ මන්ද? ඔහුට රැකියාවක් නොමැති නිසා ද? නැතහොත් ඔහුගේ මව දමිල නිසා ද? සුරාජ්ට මෙලෙස ප‍්‍රසිද්ධියේ අඩන්තේට්ටම් කිරීමට පෙම්වතියගේ සොහොයුරාට ඇති සමාජමය ශක්තිය කුමක්ද? මේ කිසිවක් සංයුක්ත නොවන බැවින් සියුම් මනෝභාවයන් ද ජීවිතය පිලිබඳ ගැඹුරක් ද ජනනය නොවෙයි.

මෙම නොබැරෑරුම්බව හේතුවෙන් යුද්ධයෙන් අනතුරුව ද උතුරේ පවත්වා ගෙනයන රුදුරු මිලිටරි පාලනය යටතේ දෙමල පීඩිතයන් විඳින දුක්ඛ දෝමනස්සයන් චිත‍්‍රපටය තුලදී හුදු පොලිස් මංකොල්ල කෑමකට ලඝු කෙරෙයි. මෙම මංකොල්ලකෑම ද නිරූපනය කෙරී ඇත්තේ දෙමල පීඩිතයන් කෙරෙහි අනුකම්පාවක් ජනනය කරමින් නොව පොලිස් නිලධාරියා කෙරෙහි හුදු අවඥා සහගත හාස්‍යයකට දර්ශන පෙල සිඳවමිනි.

යුද්ධයෙන් වසර දහයක් ගතවූ පසුත් තත්වය මෙලෙසම පවතිනු ඇතැයි යන දෘෂ්ටියක් අවසන් දසුනෙන් මතු වෙයි. එයින් ප‍්‍රකාශ වන්නේ, මෙම තත්වයෙන් ගැලවීගත හැකි සමාජ බලවේගයක් හා ඉදිරි දර්ශනයක් ගැන මෙන්ම එවන් පරිවර්තනයක් සම්බන්ධයෙන්ම පවතින සංශයකි. එය තුඩු දෙන්නේ අසාර දර්ශනයකට ය. එනමුදු වෛෂයික වර්ධනයන් මෙම දෘෂ්ටියට විපරීත ය. ලෝක ධනේශ්වර අර්බුදයෙන් ජාත්‍යන්තර පරිමානව පැන නංවා ඇති සමාජ ප‍්‍රතිවිප්ලවයට එරෙහිව ලෝකය පුරාත් මේ කුඩා දිවයින තුලත් යෝධ සමාජ අරගල පුපුරා යාමට නියමිත අතර දැනටමත් එම අරගල විවිධ සමාජ ස්ථර අලලා ගනිමින් මෝදු වෙමින් පවතී. මෙම සමාජ සවිඤ්ඤානකත්වයේ ඌනතාව හේතුවෙන්, පාලක පන්තියේ ප‍්‍රහාරයන්ගෙන් බැටකන සිරිතුංග, විමල් සහ සුරාජ් මෙන්ම ජසින්තා ද නියෝජනය කරන සමාජ බලවේග පුපුරා එන එම අරගල සමග ඒකාබද්ධ වීමේ ශක්‍යතාව සහිත බව අධ්‍යක්ෂවරයාට නොහැඟේ.

කෙසේ නමුදු, දේශප‍්‍රියගේ නිර්මානය තුල, පවත්නා සමාජය සම්බන්ධයෙන් වන විරෝධයේ අංශුමාත‍්‍රයක් ගැබ්වී ඇති බව නිසැක ය. සෑම බැරෑරුම් සහ අව්‍යාජ කලා කෘතියක අනිවාර්යයෙන් ගැබ් වෙන මෙම විරෝධයේ මූලයන් ලෝකය වඩාත් යහපත් දිශාවක් දෙසට චලනය කිරීමට තුඩු දෙයි. සැබැවින්ම මෙම විරෝධයේ අංශුව කලා කෘතියක් ලෙස පල දරන්නේ ලෝකය පිලිබඳව කෙරෙන ගැඹුරු විභාග කිරීමක් තුල යි. එම විභාග කිරීම බලගතු වත්ම, ගැඹුරු වෙත්ම විරෝධයේ මූලය ද බලගතු වේ. එවැනි ගැඹුරු හා බලගතු විභාග කිරීමකට දේශප‍්‍රිය දක්වන මැලිකම හේතුවෙන් ඔහුගේ නිර්මානය තුලින් වඩාත් යහපත් ලෝකයක් සඳහා ඇති කෙරෙන ප‍්‍රතිපදානය සීමිත වී ඇත.