Hot!

සරසවි සිසුන් තමා මුහුන දෙන රුදුරු සමාජ ආර්ථික කොන්දේසි

රටපුරා ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල සංඛ්‍යාව පහලොවක් වන අතර අධ්‍යාපනය ලබන සමස්ත අභ්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව 60,000 ට අධිකය. බලයට පැමිනි සෑම ආන්ඩුවක් විසින්ම සිදු කරන ලද කප්පාදුන් හේතුවෙන් පරිහානියට පත්වෙන මෙම විශ්වවිද්‍යාල පද්ධතිය තුලට උසස් පෙල සමත් දහස් සංඛ්‍යාත සිසුන් අතරින් වසරකට ඇතුලත් කර ගැනෙන්නේ විසිදහසක් පමන අඩු සංඛ්‍යාවකි.

සරසවි ශිෂ්‍යන්ගේ රුදුරු ජීවන කොන්දේසි ගම්බද හා නාගරික දිලිඳු ජනයාගේ ජීවන කොන්දේසි පෙන්නුම් කරන සාධකයක් වන අතර එය සමස්ත ධනේශ්වර සංස්ථාපිතයට එරෙහි චෝදනා පත‍්‍රයකි. දේශනශාලා, විද්‍යාගාර, පුස්තකාල, පරිගනකාගාර හා ආචාර්ය හිඟයට පවා සිසුන් මුහුන දී තිබෙන තත්වය තුල සරසවි සිසුන්ගෙන් සැලකිය යුතු කොටසක් නිසි අධ්‍යාපනයක් ලබනවා වෙනුවට තම දෙමාපියන්ට බරක් නොවීම සඳහා අර්ධ කම්කරුවන් බවට පත්ව තිබේ. ශිෂ්‍යන්ට එරෙහි ආන්ඩුවේ අඛන්ඩ මර්දනය තිබියදීත්, සිසුන් වඩවඩාත් රැඩිකලීකරනය වෙමින් පවතින්නේ සිසුන් සැබැවින් මුහුන දී සිටින මෙම ඉහිලුම් නොදෙන සමාජ ආර්ථික කොන්දේසි හේතුවෙනි.

පීඨ පහකින් හා අධ්‍යයනාංශ 22 න් සමන්විත ජයවර්ධනපුර සරසවිය තුල දැනට අභ්‍යන්තරව අධ්‍යාපනයේ නියැලි සිටින ශිෂ්‍ය සංඛ්‍යාව 8500 ක් බව වාර්තා වේ. මෙය, 1958 දී පිලිගත් රජයේ සරසවියක් බවට පත් කොට තිබේ. අසූව දශකයෙන් පසු එනම් දෙමල ජනතාවට එරෙහි වර්ගවාදී යුද්ධය ආරම්භවීමත් සමග ඉදි කල, මහා විද්‍යාලයක් තරම්වත් පහසුකම් නොමැති හා කිසිදු සැලසුමකින් තොර සබරගමුව, රජරට, වයඹ වැනි සරසවිවලට ඇතුලත් කරගත හැක්කේ සීමිත ශිෂ්‍ය ප‍්‍රමානයක් නිසා කොලඹ පිහිටි ජයවර්ධනපුර, කැලනිය වැනි සරසවි කිහිපයේ ශිෂ්‍ය තදබදය වැඩි වී තිබේ.

තමන්ට ලැබෙන ප‍්‍රමානවත් නොවන ශිෂ්‍ය ආධාරය හා එහි අවිධිමත්භාවය පිලිබඳව ජයවර්ධනපුර සරසවියේ ශිෂ්‍යයන් දැක්වූයේ මෙවැනි අදහස්ය:

“කවදාවත් මහපොල හරියට ගෙවන්නේ නෑ. පලමු වසරේදි ගෙවන්න ඕන ඒවයි, දෙවැනි වසරේදී 2500 ගානේ ලැබෙන්න ඕන ඒවායින් 2000 ගානේ ගෙවල ඉතුරු වෙච්ච ඒවයි, ගෙව්වේ දෙවැනි අවුරුද්දෙත් භාගයක් ගිහින්. මේ සල්ලි ගෙවන විදිහෙන් කිසිම ප‍්‍රයෝජනයක් ගන්න බෑ. බෝඩිමක ඉන්නවනම් ඒකට දුන්නම මහපොල ඉවරයි. මේ දෙන විදිහට ඒක හරියට කරගන්නත් බෑ.”

තවත් සිසුවෙකු මෙසේ අදහස් දැක්වීය: “මහපොල ලැබෙන මුදල හොඳටෝම මදි. මහපොල ලැබිලත් ගෙදර ආදායමෙන් සියයට 50 විතර මට වියදම් වෙනවා. මට තව ඉගන ගන්න සහෝදර සහෝදරියොත් ඉන්නවා. කැම්පස් ඇවිත් හරිම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. කොටින්ම කියනවානම් කැම්පස් ආවට පස්සේ අලුත් ඇඳුමක් සෙරෙප්පු දෙකක් අරන් නෑ.”

පසුගිය වසර සැලකූ විට ජයවර්ධනපුර සරසවියද ඇතුලු සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම මහපොල වාරික පිට පිටම අට වතාවක් පලමු වසර සිසුන් හට ගෙවීම පැහැර හැරීය. අවසානයේදී සිසුනට ලැබීමට නියමිතව තිබූ එම වාරික ලබාදීමට රාජපක්ෂ ආන්ඩුව විසින් සිය දේශපාලන ව්‍යාපෘතිය උත්කර්ෂයට නංවන සැනකෙලි පවත්වන ලද අතර, එහිදී ද ලබාදෙනු ලැබුවේ වාරික තුනක මුදල් පමනි. මහපොල උසස් අධ්‍යාපන ශිෂ්‍යවත්ව භාර අරමුදලෙහි අධ්‍යක්ෂකවරයෙකු වන රංජිත් තේනුවර නමැත්තා විසින් නිකුත් කල ලිපියක් මගින්, උත්සවය සඳහා නොපැමිනීම ලැබෙන්නට නියමිත වාරික නොලැබීමට හේතුවක් වන බවට තර්ජනය කරමින් සිසුන් ගෙන්වා පැවති මෙම සංදර්ශනයන්, රාජපක්ෂගේ ප‍්‍රාදේශීය හෙන්චයියන් දේශපාලනය ප‍්‍රවර්ධනය කිරීමේ ක‍්‍රියාවලියක් පමනක් වු අතර එය සභාවේ සිටි ශිෂ්‍යයන්ගේ විරෝධයට ලක් විය.

බහුතරයක් වූ කම්කරු පන්තික හා ගම්බද දිලිඳු පවුල්වලින් පැමිනෙන ශිෂ්‍යයන්ට ලැබෙන අප‍්‍රමානවත් ශිෂ්‍යාධාරය තුල ශිෂ්‍යයන් මේ වන විට සීඝ‍්‍රයෙන් අර්ධකාලීන රැකියා වලට යොමු වෙමින් සිටී. ජයවර්ධනපුර සරසවියේ ශිෂ්‍යයන් දිනකට රු 800ක් වැනි මුදලකට භාන්ඩ බාන සහ පටවන කුලී කම්කරුවන්, වේටර්වරුන් හා තැබෑරුම් වල අත් උදව්කරුවන් ලෙස සේවයෙහි රැකියාවන්හි නිරත වන බව දැන ගන්නට ලැබින.

ඒ පිලිබඳ විද්‍යා පීඨයේ සිසුන් කිහිප දෙනෙක් මෙසේ සිය අත්දැකීම පැහැදිලි කලහ: “අවුරුද්දේ අන්තිමට හෑන්ඩ් බිල් බෙදනවා වගේ පාට් ටයිම් ජොබ් තමයි අපි වැඩි වශයෙන් කරන්නේ. දවසේම නැහුනත් ඒකෙන් හම්බ වෙන්නෙත් රු 600 ක් වගේ තමයි. අපේ කැම්පස් එකේම සමහරු විජේරාම හන්දියේ තියෙන බාර් එකේ පවා වැඩ කරනවා. එත් මේ කිසිම දෙයක් කරන්න බැරි මට්ටමකට ඇවිල්ල දැන් දේශන වලට පැමිනීම සියයට 80 අනිවාර්ය කරලා තියෙන නිසා. වියදම හොයා ගන්න එක ලොකු ප‍්‍රශ්නයක් වෙලා තියෙන්නේ. බෝඩිමට 3,000ක් යනවා ආහාර වලට දවසකට 200ක් වත් අවමව යනවා. එහෙම දවස් විසි හතරක් විතර අපි මෙහෙ ඉන්නවා. ඒ ඇරුනහම කොල, පෑන්, පැන්සල්, ෆොටෝ කොපි මේ හැම දේකටම සල්ලි ඕනි. මාසික වියදම රුපියල් 12,000 විතර වෙනවා.”

අනෙක් සරසවිවල දී මෙන්ම ජයවර්ධනපුර සරසවියේ සිසුන් මුහුන දෙන තවත් අර්බූදයක් වන්නේ ප‍්‍රමානවත් තරම් නේවාසිකාගාර පහසුකම් නොමැති වීමයි. අධ්‍යාපනය පසෙක තබමින් අර්ධකාලීන රැකියා වල පවා නිරත වීමට බලකෙරී ඇති ශිෂ්‍යන්හට නේවාසිකාගාර පහසුකම් අහිමි වීමත් රු 2500-3500 අතර මුදලකට නේවාසික පහසුකම් සපයා ගැනීමට සිදුවීමත් ඛේදනීය තත්වයකි. නේවාසිකාගාර පහසුකම් හිමි සිසුන්ට පවා නේවාසිකාගාර අහිමි සිය මිතුරන් සම්බන්ධව මානුෂීයව සැලකීමට සිදුවීමේ ප‍්‍රතිඵලයක් ලෙස, බොහෝ විට එක කාමරයක නවදෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ගාල් වීමට සිදුව ඇත. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඉතාම අඩු පහසුකම් යටතේ පවතින නේවාසිකාගාර වල ඉතා වේගයෙන් ලෙඩ රෝග පැතිරීම, අධ්‍යාපනය ලැබීමට සුදුසු වාතාවරනයක් නොතිබීම වැනි අතුරු ගැටලු ගනනාවක් නිර්මානය වී පවතී.

ශිෂ්‍යයන්ගේ අධික ජීවන වියදම් සම්බන්ධයෙන් ව්‍යවහාරික විද්‍යා පීඨයේ ශිෂ්‍යයෙක් මෙසේ අදහස් දැක්වූවේය: “අපේ පීඨයේ සෙමෙස්ට එකකට ෆීල්ඩ් ටි‍්‍රප් 5ක් 6ක් යනවා. දවසේ එකකට රජයෙන් රු 200 කුත් දවස් දෙකේ එකට 400කුත් ලැබෙනවා. මේ සල්ලි වලින් තනි දවසේ ටි‍්‍රප් එකකට දවල් කෑම එකක් විතරක් ලැබෙනවා, දවස් දෙකේ එකකට උදේ කෑම ඇරෙන්න වෙන දෙයක් ලැබෙන්නේ නෑ. ආහාර ඇතුලු අනිත් හැම දේකටම ශිෂ්‍යන්ගෙන් සල්ලි එකතු කරනවා. එහෙම එකතු කරලා දෙන කෑම එක රු 250ක් විතර වෙනවා. එත් ඒවත් ගොඩක් වෙලාවට කන්න පුලුවන් තත්වෙක නෑ.”

සිසුන් මුහුන දෙන තවත් ගැටලුවක් වන්නේ ආපනශාලාවල අහාර වල ගුනාත්මභාවය ඉතා පහල මට්ටමක තිබීම සහ ඊට සාපේක්ෂව අධික මිලක් අය කිරීමයි. පසුගිය වසර දෙකක පමන කාලය පමනක් සැලකු විට තුන් වතාවකට ආසන්න ප‍්‍රමානයක් ආහාර වල සෞඛ්‍ය ආරක්ෂිතභාවය පිලිබඳ ප‍්‍රශ්න මතුවන සිද්ධීන් ජයවර්ධනපුර සරසවියෙන් වාර්තාවිය. ආසන්නතම සිදුවීම ලෙස පත්තෑයෙකු, බෝල්ට් ඇනයක් හා මියගිය හූනෙක් වශයෙන් ආහාර වල අඩංගු වීම් වාර්තා විය. සිය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙම අඩු ගුනාත්මකභාවයෙන් යුත් ආහාර ප‍්‍රතික්ෂේප කර වෙනත් විකල්පයක් කරා යාමට සිසුන්ට නොහැකි වීම හේතුවෙන් මෙම ගැටලුවෙන්ද සිසුන් දිගින් දිගටම පීඩා විඳිමින් සිටියි.

විශ්වවිද්‍යාලය තුල ආහාර සම්බන්ධ තත්වය පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියට ශිෂ්‍යයෙකු අදහස් දැක්වුයේ මේ ආකාරයටය: “ආහාර වල තත්වය ඉතාම අයහපත්. අපිට දරන්න පුලුවන් මුදලකට හොඳ ආහාර ලබා ගන්න බෑ. ආහාර වල සුරක්ෂිතතාව ගැන කිසිම වගකීමක් නෑ. ආහාර සම්බන්ධයෙන් මොන ගැටලුව තිබුනත් ශිෂ්‍යයන්ට ඒකට විරුද්ධව ක‍්‍රියා කරන්න හරි හමන් ක‍්‍රමවේදයක් නෑ.”

මේ අයුරින් සිසුන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබා දීමට අසමත් වන පසුබිමක ශිෂ්‍ය මර්දනය වේගවත් කොට තිබෙන්නේ සිසුන්ගේ සියලු ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් අතුගා දමමිනි. ශිෂ්‍ය සංගම් තහනම් කොට සරසවිය තුල වාර්ෂිකව පැවත්වූ “හිමිදිරිය” සහ “වේදිකාවෙන් මහ පොලවට” යන කලා උලෙල ද්විත්වයම පරිපාලනය විසින් වාරනය කර ඇත. පසුගිය වසර කිහිපය තුල පන්ති හා ශිෂ්‍යභාවය තහනම් කල ශිෂ්‍ය සංඛ්‍යාව සියයකට අධිකය.

ධනපති හා ප‍්‍රභූ මධ්‍යම පන්තික කොටසකට පමනක් අධ්‍යාපන අවස්ථා සලසා දෙමින් දෙස් විදෙස් ආයෝජකයන්ගේ ලාභ ලබන කර්මාන්තයක් බවට අධ්‍යාපනය පත් කිරීමේ ආන්ඩුවේ වැඩපිලිවෙල තුල අධ්‍යාපනයේ පුද්ගලීකරනය වේගවත් කිරීම හේතුවෙන් ශිෂ්‍යයන් තුල දැඩි විරෝධයක් ජනනය කර ඇත.

පුද්ගලික අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය වර්ධනය කරන අතරම රජයේ සරසවිවල තත්වය නගා සිටුවන බවක් මවා පෑමට ආන්ඩුව හා එහි මාධ්‍යයන් උත්සාහ ගත්තද ජයවර්ධනපුර සරසවි සිසුන් තම අධ්‍යාපන හා ජීවන කොන්දේසි පිලිබඳව කල හෙලිදරව් කිරීම් යලි යලිත් පෙන්නුම් කරන්නේ ආන්ඩුවේ මෙම පිලිවෙත් මහජන අධ්‍යාපනය නගා සිටුවීම සමග කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තරුන හා ශිෂ්‍ය අංශය වන, සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරයේ විශ්වවිද්‍යාල සාමාජිකයෝ පසුගිය දා කැලනිය, ජයවර්ධනපුර හා කොලඹ යන සරසවිවල ශිෂ්‍යයන් සමග ඔවුන්ගේ අධ්‍යාපන හා සමාජ ආර්ථික කොන්දේසි පිලිබඳව කළ කතාබහ ඇසුරින් මෙම ලිපිය සකස් කෙරුණි.