Hot!

ෆර්ගියුසන් සිදුවීම් වලට සුදුහුනු ගෑමේ දේශපාලන පාඩම්

ඩැරන් විල්සන් යන පොලිස් නිලධාරියාට දඬුවම් නොකරන බවට ශාන්ත ලුවිස් ප්‍රාදේශීය අධිකරනයේ අභිචෝදක රොබට් මැකුලෝක් විසින් 24දා රාත්‍රියේ කරන ලද නිවේදනය අධිකරනමය විගඩමක් ලෙස ඇමරිකාව හා ලෝකය පුරා ජනතාව විසින් දැකගන්නවා ඇත.

ආරම්භයේ සිට අවසාන තීන්දුව දක්වා සිදුවූ අධිකරන ක්‍රියාවලියට පැවතුනේ, එක් අරමුනක්, එක් අරමුනක්ම පමනි: එනම්, මයිකල් බ්‍රවුන් නම් 18 හැවිරිදි තරුනයා මරාදැමූ පොලිස් භටයා ආරක්ෂා කිරීම පමනි.

විනිශ්චයකරුවෙකු හමුවේ චෝදනා ගොනු කිරීම වෙනුවට ප්‍රාන්ත රාජ්‍යය, ප්‍රසිද්ධ නඩු විභාගයක් නොපවත්වා, අභිචෝදකයාගේ කාර්යාලය විසින් සාක්ෂි පාලනය කල, පොලිසිය සමඟ සමීප සම්බන්ධකම් පැවති පුද්ගලයෙකුගේ ප්‍රධානත්වයෙන්, වැසූ දොරවල් පිටුපස සිට විභාගය රහසිගතව පැවැත්විය. ඉන් පසුව අභිචෝදකයා විසින් ගත් බෙහෙවින් අසාමාන්‍ය තීන්දුව වූයේ, නිශ්චිත චෝදනා පිලිබඳව ඉල්ලීම් හා තර්ක විතර්ක ඉදිරිපත් නොකරන ලෙසට කල දැනුම් දීමයි.

ඇසින් දුටු සාක්ෂි ද ඇතුලු සෑම සාක්ෂියක්ම අපකීර්තියට පත්කිරීමට යොමුවූ, පැහැදිලිවම පක්ෂග්‍රාහී ප්‍රමුඛ ජූරි සභා ක්‍රියාවලියේ පිටපත්, අවශ්‍ය අාඛ්‍යානය සනාථ කර නොතිබුනි. ඊට සපුරා වෙනස් ලෙස විල්සන්, පැය හතරක කාලයක් තිස්සේ, ඉදිරිපත් කල ස්වයං තෘප්ත සාක්ෂි කිසිදු අභියෝගයකට ලක්වූයේ නැත. නඩු විභාගය මුලුල්ලේම අභිචෝදක කාර්යාලය උත්සුක වූයේ ඩැරන් විල්සන් නොව මයිකල් බ්‍රවුන් දඬු ගැසීමටය.

ප්‍රමුඛ ජූරි සභා හැම විටම නොවෙනස් ලෙස උත්සාහ කර ඇත්තේ අභිචෝදකයින් බලාපොරොත්තුවන පරිදි චෝදනා ගොනු කිරීමටය. මේ ප්‍රශ්නයේදී ඊට වෙනස් නොවීය. අපරාධය සිදු කල බවට ඇති තරම් සාක්ෂි තිබුනේවී නමුත් ප්‍රමුඛ ජූරි සභාව චෝදනා ගොනු නොකලේ චෝදකයින්ට එවැන්නක් අවශ්‍ය නොවු බැවින්ය. කෙසේ වෙතත් විල්සන්ගේ අපරාධ යට ගැසීම, හුදෙක් මැකුලෝක්ගේ අකටයුතුකම්වල ප්‍රතිපලය ලෙස පමනක් පැහැදිලි කල නොහැකිය. අභි චෝදකයාගේ කටයුතු, මැකුලෝක්ම අකමැත්තෙන් මෙන් කියා සිටි පරිදි, ඔබාමා පාලනයේ මැදිහත්වීම සමඟ, ඉහලින්ම සැලසුම් කල දේශපාලන මෙහෙයුමක කොටසක් විය.

බ්‍රවුන් ඝාතනය පිලිබඳව පලවන ජනතාවගේ දැඩි කෝපය සම්බන්ධයෙන් හා නඩු විභාගයක් සඳහා පැවති පැහැදිලි නීතිමය පදනම සමඟ ගත් කල, මනුෂ්‍ය ඝාතනය කෙසේ වෙතත් ඊට අඩු අපරාධයක් පිලිබඳව හෝ චෝදනා ගොනු කිරීමට ප්‍රමුඛ ජූරි සභාව පියවර නොගත්තේ මන්ද යන ප්‍රශ්නය යමෙකුගේ සිතට නැඟෙනු ඇත. නොඑසේ නම් චෝදනා ගොනු නොකලේ හා විභාගයක් නොපැවැත්වූයේ මන් ද යන ප්‍රශ්නය නැඟෙනු ඇත. කෙසේ වුව ද අභිචෝදකයින් දරූ මතය අනුව එවැනි විභාගයක් පවා එම ප්‍රතිපලයම ගෙනෙනු ඇත: එනම්, විල්සන් නිදොස් කිරීමය. මයිකල් බ්‍රවුන් ඝාතනය හා චෝදනා ගොනු නොකිරීමේ අවසන් තීන්දුව පලවීම අතර මාස තුල තුලදී මෙම වෙනස් විකල්පයන් ගැන තිරයෙන් පිටුපස විවාද පැවැත්වුනා නිසැකය.

තමන් එලඹුනු නිගමනය කරා ඒමේදී පාලක පන්තියේ සිතුම් පැතුම් කවරක් වීද යන්න කරුනු දෙකකින් පැහැදිලි වන්නේය. සියල්ලටත් වඩා එහි ප්‍රකෝපකරනයේ මූලයන් පැවතුනි. එක්සත් ජනපදය තුල මර්දනය සඳහා නව පූර්වාදර්ශයන් පෙලගැස්වීමට ෆර්ගියුසන් සිදුවීම් පාලක පන්තිය විසින් ග්‍රහනය කර ගත්තේය. සැබවින්ම ප්‍රමුඛ ජූරියේ තීරනය නිවේදනය කිරීම සැන්දෑ යාමයේ සිදුවීම, පොලිස් ප්‍රචන්ඩත්වය මුදා හැරීම පිනිස හොඳම කොන්දේසි නිර්මානය කිරීමට හොඳින් සිතා බලා ගත් තීන්දුවකි.

අගෝස්තුවේදී පැනනැඟි විරෝධතාවන්ට දැක්වූන ප්‍රතිචාරය තවත් විහිදුවමින් කැරලි මර්දන පොලිසිය, ස්වයංක්‍රීය ගිනි අවි වලින් සන්නද්ධව, සන්නද්ධ රථ යොදා ගනිමින් කඳුලු ගෑස් හා ගම්මිරිස් විදිනයන් යොදා ගනිමින් 24දා වීදි අරක් ගත්තේය. ප්‍රමුඛ ජූරි සභාවේ තීන්දුවට පෙරාතුව මිසෝරිහි අන්ඩුකාර ජේ. නික්සන් 25දා හදිසි නීතිය ප්‍රකාශ කලේ, විරෝධතාකරුවන්ට එරෙහිව සෘජුවම මැදිහත් කල හැකි සන්නද්ධ හමුදාවන්හි අනු ඛන්ඩයක් වන ජාතික ආරක්ෂක හමුදා සාමාජිකයින් 2200ක් යොදවන බවට කල පූර්ව භංග නිවේදනයකින් පසුවය. ඇමරිකානු ප්‍රාන්තයක් මුලුමනින්ම වාඩිලාගන්නා ලදී.

පාලක පන්තිය විසින් සියල්ල වැටලීමට දරන උත්සාහයේ ස්වභාවය, තීරනයේ දෙවැනි කාරනයයි. සාකච්ඡාවට භාජනය වන උපායික හැකියාවන්ගේ කුමන වෙනස්කම් තිබුන ද අවසානයේ, කුමන හෝ සහනයක් දුබලකමේ සලකුනක් හා තව තවත් විරෝධතා දිරිගැන්වීමක් ලෙස දැකගන්නා තතු යටතේ හා නැඟී එන සමාජ කැලඹීම් හමුවේ, කිසිදු සහනයක් තිබිය නොහැකිය යන තීරනයට එලඹ තිබේ.

එහෙත් පාලක පන්තිය, සිය පාලනය ප්‍රචන්ඩත්වය තුලින් රැකගැනීම, සමස්ත ලෝකයා හමුවේ එය තවදුරටත් අපකීර්තියට පත්කරනවා පමනි. මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පදනම මත යුක්තිසහගත කරමින්,ලෝකයේ සෑම කලාපයකම යුද මෙහෙයුම් සංවිධානය කරන රාජ්‍යයක්, සිය රට තුල විපක්ෂයට එරෙහිව අතිශයින්ම නිර්දය උපක්‍රම යොදමින් සිටී.

මෙම ක්‍රියාවන්හි දේශපාලන ප්‍රතිවිපාක පිලිබඳව කිසියම් දෙගිඩියාවක් සමහර මාධ්‍ය අංශ තුල ප්‍රකාශවේ. නිදසුනක් ලෙස වොෂින්ටන් පෝස්ට් තීරු රචක ඩානා මිල්බෑන්ක්, මැකුලෝක්ගේ “ඩැරන් විල්සන් ගැන ශෝචනීය අභිචෝදනාව, අප්‍රිකානු-ඇමරිකානුවන් හා තවත් බොහොමයක් තුල අධිකරන ක්‍රමය දූෂිතය යන හැඟීම" ශක්තිමත් කරනු ඇතැයි කනස්සල්ල පල කරයි.

ඩිමොක්‍රැටික් පක්ෂයේ සමහර කොටස් වෙනුවෙන් කථාකරමින් නිව් යෝර්ක් ටයිම්ස් කතුවැකියේ මෙසේ කනස්සල්ල පල කරයි. “සෙන්ට් ලුවිස්හි දැවී ගිය වීදි හා රට පුරා ප්‍රතිරාවය නංවමින් ඇති මහජන කෝපය යලිත් පෙන්නුම් කරන්නේ, නීති ක්‍රියාත්මක කරන්නවුන් පිලිබඳ අවිශ්වාසය, එක්සත් ජනපදයේ සිවිල් වියමනට දැවැන්ත අන්තරායක් ඇති කරමින් තිබෙන බවයි." මෙම “දැවැන්ත අන්තරාය" විල්සන්ට චෝදනා ගොනු නොකිරීමේ තීරනය මඟින් තවත් අවුලුවමින් තිබෙන බව ටයිම්ස් පත්‍රය කියයි.

මෙම ප්‍රකාශ වර්ගවාදී වැකි තුල කැටිකර දැක් වුවත් පන්ති ප්‍රශ්න ඉස්මතු කරයි. විදේශයන්හි නිමක් නැති යුද්ධ හා රට තුල සමාජ ප්‍රතිවිප්ලවය ලෙස තමන් අනුගමනය කරන ප්‍රතිපත්ති, ගැඹුරින්ම අපකීර්තිමත් බව පාලක පන්තිය හොඳින් දැන සිටියි. ටයිම්ස් පත්‍රය “සිවිල් වියමනට දැඩි අනතුරක්" යන්නෙන් අදහස් කරන්නේ පාලනය කල නොහැකි සමාජ නොසංසුන්තාව, විප්ලවයම විය යුතුය.

පැතිර පවතින සමාජ නොසංසුන්තාව ගැන සැලකිලිමත් වුවත් පාලක පන්තියට ඒ සඳහා විසඳුම් ඇත්තේ නැත. ප්‍රමුඛ ජූරි සභාවේ තීරනය පිලිබඳ ටයිම්ස් පත්‍රයේ විවේචන පවා පලවන්නේ, ෆර්ගියුසන්හි පැනනැඟි තත්වයට මෙන්ම ඇමරිකානු පාලක පන්තිය මුහුනදෙන පුලුල් දේශපාලන අර්බුදයට මූලික වන්නේවත් නැති ගානට, ඔබාමාගේ ක්‍රියාකලාපය වර්නනා කරන ආකෘතියක් තුලය.

ප්‍රමුඛ ජූරියේ තීරනය ගැන ඔබාමාගේම ප්‍රතිචාරය ද හෙලිදරව්කාරීය. වහාම ජාතික රූපවාහිනිය යොදාගෙන ප්‍රතිපලය වලංඟු හා නීත්‍යානුකූල බව පැවසීමට ජනාධිපති ඉදිරිපත් විය. “අප නිතියේ පාලනය මත ගොඩනැඟුනු ජාතියකි. එබැවින් ප්‍රමුඛ ජූරියට ගැනීමට සිදුවූ තීරනය පිලිගැනීමට අපට සිදුවෙයි." මෙය වනාහි අධිකරනමය හා නීතිමය වංචාවට දුන් සහතිකයකට නොඅඩු දෙයකි. පොලිසියට මිනී මැරීමේ බලපත්‍රය ලබා දෙමින් ද තීරනය සමඟ එකඟ වෙමින් ද විරෝධතාකරුවන් ගැන සඳහන් කරමින් ඔබාමා පැවසුවේ, “ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කිසිදු සමාවක්" නැති බවයි.

ඔබාමා පාලනාධිකාරයේ සය වසර ඔහේ ගතවුනා නොවේ. තම අවශ්‍යතා හෝ තම විරුද්ධත්වය පල කිරීම පිනිස පවතින සමාජ හා දේශපාලන ක්‍රමය තුල කිසිදු යාන්ත්‍රනයක් නොමැති ය යන නිගමනය කරා මිලියන ගනන් එක්සත් ජනපද තරුන හා වැඩකරන ජනයා එලඹෙමින් සිටිති. මෙම වැටහීම ඩැරන් විල්සන් නිදහස් කිරීම මඟින් තවදුරටත් සනාථ කෙරුනා පමනි. විනාශය කරා ඇදෙන පද්ධතියක් පිලිබඳව මෙය නොවරදින සලකුනකි.

ජෝසෆ් කිෂෝර්