Hot!

සිංහල ජාතියේ ඉතිහාසය

|  රනිල් වික්‍රමසිංහ

සුජිත් අක්කරවත්ත මහතා විසින් රචිත ග්‍රන්ථ ත්‍රිත්වය එළිදැක්වීම නිමිත්තෙන් 2014.11.04 වැනි දින කොළw, රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයේදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා.

සිංහල ජාතියේ ඉතිහාසය ගැන මට පෙර කතා කළ හිටපු පුරා විද්‍යා මහකොමසාරිස් මහාචාර්ය ශිරාන් දැරණියගල මහතා පැහැදිලි විස්තරයක් කළා. සිංහල ජාතියේ ඉතිහාසය සහ ශිෂ්ඨාචාරය මතු කිරීම සඳහා බි්‍රතාන්‍ය යුගයේ සිටම එතුමාගේ පවුලේ පරම්පරා පහක් ඇපකැප වී ක්‍රියා කළා.

අපට උරුම ශිෂ්ඨාචාරය කුමක්ද සහ ඒ ශිෂ්ඨාචාරය ගොඩනැගුණේ කෙසේද යන්න පිළිබඳව විවිධ මත තිබෙනවා. කෙසේ නමුත් ලූම්බිණියේ මායාදේවී විහාරයේ සිදු කර තිබෙන කැණීම් කටයුතු අනුව බුදුරජාණන් වහන්සේගේ උපන් දිනය ස්ථිර කර තිබෙනවා පමණක් නොව, ඒ කැණීම් අනුව මහා වංශයේ තිබෙන දින ගණන් ද අපට පිළිගත හැකියි.

මගේ අදහස වන්නේ ද ශ්‍රී ලංකාවේ අපේ ඉතිහාසය මේ කාල වකවානුවෙන් ඔබ්බට විහිදී ගොස් තිබූ බවයි. ලෝකයේ පළමුවෙන්ම වෙළෙඳ කටයුතු ආරම්භ වූයේ ඉන්දියන් සාගරය සහ මධ්‍යධරණී මුහුද මුල් කර ගෙනයි. මධ්‍යධරණී මුහුද අවට ඉතිහාසය, එනම් ගී්‍රක සහ ඊට පසු ඊජිප්තු ආදී රටවල ඉතිහාසය අප දන්නවා. නමුත් ඉන්දියන් සාගරය මැද සිදු වූයේ කුමක්ද කියා අප කවුරුවත් තවම දන්නේ නැහැ. මොහන්දාජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයෙන් පසුව කරුණු කාරණා ගණනාවක් තිබෙනවා. මොහන්දාජාරෝ ශිෂ්ඨාචාරය කියන්නේ විශාල වෙළෙඳ ශිෂ්ඨාචාරයක් වන අතර ඒ අනුව ශ්‍රී ලංකාව සම්බන්ධව තිබෙන කරුණු කාරණා පැහැදිලි වනවා.

මගේ අදහස වන්නේ ඉන්දියන් සාගරය මුල් කර ගෙන ලෝකයේ ඇති වූ වෙළෙ¼දාමේ කේන්ද්‍රස්ථානය වූයේ ශ්‍රී ලංකාව බවයි. ඒ වෙළෙඳ කේන්ද්‍රස්ථානය මේ වන විට අපට අහිමි වී තිබෙන අතර වර්තමානයේ එම කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන්නේ සිංගප්පූරුවයි.

අප, අපේ ඉතිහාසය අධ්‍යයනය කරනවා නම් ඉදිරි දශක කිහිපයේ දී අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් නැවතත් ලෝකයේ එම වෙළෙඳ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව සිතා බැලිය යුතුයි.

අපේ ශිෂ්ඨාචාරයට අදාළ බොහෝ කරුණු තිබෙන්නේ අනුරාධපුරයේ පමණක් නොව, මල්වතු ගඟ මිටියාවතේ, හිරියාය, සහ හලාවත ආදී ප්‍රදේශවල බව කිව යුතුයි. අපේ ඉතිහාසයට අදාළ මේ කරුණු කාරණා සොයා බලා ඒ සාධනීය සියල්ල ඉදිරියට ගෙන යන්න අප ක්‍රියා කළ යුතුයි. අපේ පේ‍රඣීඩ ඉතිහාසය ගැන අප සිතා බැලිය යුත්තේ දේශපාලනයෙන් තොරවයි.


විජයබාහු මහ රජතුමා නොසිටියා නම් සිංහල ජාතිය නැති වන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම විජයබාහු මහ රජතුමා කියන්නේ සිංහල ජාතිය නියම ලෙස ආරක්‍ෂා කළ මහ රජෙකු බව කිව යුතුයි.

අපේ මේ පේ‍රඣීඩ ඉතිහාසය සහ ශිෂ්ඨාචාරය සයිබර් යුගයේ පරම්පරාවට දැනුම්දීම සඳහා සුජිත් අක්කරවත්ත මහතා විශාල කාර්යභාරයක් කරමින් සිටිනවා. සුජිත් අක්කරවත්ත මහතා මම කාලයක් මුළුල්ලේ ඇසුරු කරන අතර ඔහු අප සමග එකට එක්වී දේශපාලන කටයුතු ද කරනවා.

සිංහල ඉතිහාසයට, ශිෂ්ඨාචාරයට, ජන ජීවිතයට සහ බෞද්ධ සංස්කෘතියට අදාළ කරුණු ඒකරාශී කර ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරමින් ඊට අදාළ නැwුරුවක් අපේ ප්‍රතිපත්තිවල ඇති කිරීමටත් සුජිත් අක්කරවත්ත මහතා කටයුතු කරමින් සිටිනවා.

සුජිත් අක්කරවත්ත මහතා විසින් රචිත කිරජස්කි, කිසුකුමාලකි සහ කිනිමිත්තකි යන ග්‍රන්ථ ත්‍රිත්වයේ මේ කරුණු කාරණා සම්බන්ධයෙන් තොරතුරු රැසක් ඇතුළත් වනවා. ජනපි්‍රය ඉතිහාසය ගැනත්, ජනපි්‍රය නොවන ඉතිහාසය ගැනත්, ජනපි්‍රය බුදු දහම ගැනත්, ජනපි්‍රය නොවන බුදු දහම ගැනත්, ජනපි්‍රය සංස්කෘතිය ගැනත්, ජනපි්‍රය නොවන සංස්කෘතිය ගැනත්, අප දන්නා දේශපාලනය ගැනත්, අප නොදන්නා දේශපාලනය ගැනත්, අප දන්නා වීරයන් සහ අප නොදන්නා වීරයන් ගැනත් ඔහුගේ කිරජස්කි කෘතියේ තොරතුරු රැසක් තිබෙනවා.

මේ රට ඉදිරියට ගෙන ගියේ කෙසේද සහ එදා මේ රටේ පැවැති පාලන ක්‍රමය කුමක්ද යන්න පිළිබඳව අප කරුණු අධ්‍යයනය කළ යුතුයි. අනුරාධපුරය එදා විශාල වෙළෙඳ රාජ්‍යයක් බවට පත්ව තිබූ අතර මාංතොට සිට ගෝකණ්න දක්වා මේ වෙළෙඳ රාජ්‍යය පැතිරී ගොස් තිබුණා. එමෙන්ම එදා මේ කටයුතු වෙනුවෙන් වෙනම වෙළෙඳ මණ්ඩලයක් පවා පිහිටුවා තිබුණු අතර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ විශාල වෙළෙඳ සංස්ථා තිබුණා. රටක් ලෙස අප එදා දියුණුවට පත්වූයේ මේ වෙළෙඳ ක්‍රමයෙන් බව කිව යුතුයි.

එදා සිටි ප්‍රසිද්ධ රජෙකු වන්නේ පළමු වැනි සේන රජතුමා වන අතර එතුමාගේ ඇමැති මණ්ඩලයේ මුස්ලිම් ඇමැතිවරුන් සිව් දෙනෙකු සහ ක්‍රිස්තියානි ඇමැතිවරුන් දෙදෙනෙකුත් සිටියා. නමුත් වර්තමානයේ වගේ පළමු වැනි සේන රජතුමාට නම් ඇමැතිවරුන් සියයක් සිටියේ නැහැ.

ශ්‍රී ලංකාව විශාල වෙළෙඳ කේන්ද්‍රස්ථානයක්ව පැවැති නිසා පොළොන්නරු යුගයේ දී ද්‍රවිඩ, මැලේ, අරාබි, කේරළ සහ මිසර වාණිජ සංස්ථා පවා බිහි වී තිබුණා. ඒ කාලයේ ඉන්දියන් සාගරය සහ චීනය අතර වෙළෙ¼දාම පාලනය කළේ සිංහල සහ මැලේ නාවිකයනුයි.

බඩු භාණ්ඩ ගෙන ආවේ සිංහල නාවිකයන් හෝ මැලේ නාවිකයන් වන අතර ශ්‍රී විජය රාජ්‍යය සහ පොළොන්නරුව අතර එදා සම්බන්ධකම් තිබුණා. නිශ්ශංක මල්ල රජතුමා සහ එම කාලිංග පරම්පරාවත් පැමිණියේ ශ්‍රී විජය රාජ්‍යයෙන් බව සමහරුන් කියනවා. එදා කටුනේරියේ විශාල මිසර වෙළෙඳ කලාපයක් තිබුණු අතර ඒ වෙළෙඳ කලාපය ආරම්භ කළ එදිරිවීර පට්නර් ගැනත් මේ කිරජස්කි කෘතියේ තොරතුරු ඇතුළත් වනවා.

සීතාවක මායාදුන්නේ රජතුමාගේ කාලයේ දී එදා යාපනය හමුදාවේ ප්‍රධානියා වී සිටියේ රහ්මන් ලෙබ්බේයි.... නිකපිටිය බණ්ඩාර ගැන ද විවිධ කතා තිබෙනවා. මේ නිකපිටිය බණ්ඩාර කියන්නේ කවුද? නිකපිටිය බණ්ඩාර කියා බොහෝ දෙනා හඳුන්වන්නේ සීතාවක රාජසිංහ රජතුමාගේ මුනුපුරාවයි. සීතාවක රාජසිංහ රජතුමාට දරුවන් නොසිටි අතර සීතාවක මායාදුන්නේ රජතුමාට මහ ටිකිරි බිසෝ නමින් දියණියක් සිටියා. වීදිය බණ්ඩාර දෙවැනි වතාවට විවාහ වූයේ මේ මහ ටිකිරි බිසෝ සමගිනුයි. ඒ විවාහයෙන් එක පුතෙකු ලැබුණු අතර ඔහු සූරිය බණ්ඩාර කුමාරයා ලෙස හඳුන්වනු ලැබුවා.

මේ සූරිය බණ්ඩාර කුමාරයා, සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවිතය වලහෙකුගෙන් බේරා දුන් නිසා එළපාත ගම්මානය ඇතුලූ ගම්මාන ගණනාවක් පවරා දුන්නා. සූරිය බණ්ඩාර කුමාරයාට දරුවන් කිහිප දෙනෙකු සිටි අතර නිකපිටිය බණ්ඩාර කියන්නේ ඒ අතරින් එක දරුවෙකුටයි.

මල්වාන ගිවිසුමෙන් පසුව පෘතුගී්‍රසීන් නියම නිකපිටිය බණ්ඩාරව ගෝවේ රාජ්‍යයට එදා පිටමං කර යැව්වා.

නමුත් පසු කාලයේ දී නිකපිටිය බණ්ඩාර කියා පාලකයෙකු ඇවිත් මාස 12 ක් ඇතුළත දී මුළු පහත රටෙන් තුනෙන් දෙකක් පමණ අල්ලා ගත්තා. පෘතුග්‍රීසීන් මේ සම්බන්ධයෙන් අතිශය බියට පත් වුණත් පසුව ඒ අය බේරුණා. පෘතුගී්‍රසීන්ට වඩා මේ සම්බන්ධයෙන් බිය වූයේ මහනුවර, සෙංකඩගල සෙනරත් රජතුමායි. ඊට හේතු වූයේ සෙනරත් රජතුමාට රාජ්‍ය උරුමයේ ලේ නොතිබූ නිසා බව කවුරුත් කියනවා. එමෙන්ම එතුමාට කෝට්ටේ පරම්පරාවේ උරුමය ද නොතිබූ අතර ඔහුට තිබුණේ දෝන කතිරිනා වැලිවිටස්ගේ සම්බන්ධයයි. සෙනරත් රජතුමා කියන්නේ විමලධර්මසූරිය රජතුමාගේ  ඥාති සහෝදරයෙකුයි.

ඒ අනුව මේ නිකපිටිය බණ්ඩාර, නියම නිකපිටිය බණ්ඩාර වුණත්, බොරු නිකපිටිය බණ්ඩාර කෙනෙකු වුණත් ඔහුට උඩරටටත් යන්න හැකියාව තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් සෙනරත් රජතුමා බිය වූ අතර උඩරට රජතුමායි, නිකපිටිය බණ්ඩාරයි එකතු වුණොත් සිය ජාතීන්ට තර්ජනයක් එල්ල වනු ඇතැයි පෘතුගී්‍රසීන් බිය වුණා. නිකපිටිය බණ්ඩාරට උඩරට සහයෝගය නොලැබුණු අතර අවසානයේ දී අවුරුද්දකින් පමණ පසුව පානදුරේ දී ඔහු මරුමුවට පත් කිරීමට පෘතුගී්‍රසීන්ට හැකි වුණා.

එමෙන්ම නිකපුල්ලේ ආරච්චි සහ අතපත්තු මුදලි ගැනත් මේ කිරජස්කි කෘතියේ තොරතුරු ඇතුළත් කර තිබෙනවා. සෙනරත් රජතුමාගේ පළමු වැනි හමුදාව යාපනයට යැව්වේ මේ නිකපුල්ලේ ආරච්චියි. ඒ යාපනය අල්ලා ගැනීමට නොව, යාපනයේ ජනතාව වෙනුවෙන් පෘතුගී්‍රසීන් ඒ ප්‍රදේශයෙන් පළවා හැරීමටයි. නමුත් ගෝවේ රාජ්‍යයෙන් පැමිණි හමුදාව නිසා නිකපුල්ලේ ආරච්චිත්, ඔහුගේ හමුදාවත් පරාජයට පත් වූ අතර ඔහුගේ ජීවිතය පවා අහිමි වුණා.

දෙවැනි වතාවටත් යාපනයේ ජනතාව උදව් ඉල්ü අවස්ථාවේ දී හමුදාව සමග අතපත්තු මුදලි යාපනයට යැවීමට රජතුමා ක්‍රියා කළා. ඔහු කාලයක් යාපනයේ රැඳී සිටි නමුත් පෘතුගී්‍රසීන් සමග කළ සටනින් ඔහු ද පරාජයට පත් වූ අතර ඔහුගේ ජීවිතය ද නැති වුණා.

මේ අනුව පැහැදිලි වන්නේ එදා ඒ ඒ ජන කොටස් අතර විශාල සම්බන්ධකම් තිබූ බව වන අතර සිංහල මිනිසුන් ද ඒ කාලයේ යාපනයේ සිටියා. පෘතුගී්‍රසීන්ගෙන් බේරීමට උදව් ඉල්ලා රජතුමාගේ හමුදාවට ආරාධනා කළේ ද්‍රවිඩ හින්දු ජනතාවයි. පෘතුගී්‍රසීන්ට විරුද්දව මුලින්ම නැගී සිටියේ යාපනයේ, වල්ලිකාමම්වල සිටි මේ වෙල්ලාල ජනතාවයි. ඕලන්දකාරයින් මේ වෙල්ලාල ජනතාවට විශේෂයෙන් උදව් කිරීමට ක්‍රියා කළා.

උඩරට කපුකොටුව බිසව ගැන සහ ආලෝක කුමාරසිංහ සම්බන්ධයෙන් ද මේ ග්‍රන්ථයේ කරුණු කාරණා රැසක් සඳහන් කර තිබෙනවා. පස් වැනි බුවනෙකබාහු රජතුමාගේ කාලයේ දී මුල්ලේරියාව ආරම්භ කළේ මේ ආලෝක කුමාරසිංහයි.

මෙවැනි කතා වලින් අපේ ඉතිහාසය සහ ශිෂ්ඨාචාරය කුමක්ද කියා අපට පැහැදිලිව දැනගත හැකියි. අපේ සංහි¼දියාව, අපේ ජනයාට එදා තිබූ ඉවසීම, විවෘත අදහස් පිළිගැනීම, ජනතාව එකතු කිරීම, සිංහල බෞද්ධ පාලකයන්ගේ ඇත්ත සිංහල බෞද්ධකම ගැන මේ තොරතුරුවලින් අපට මනාව කරුණු අවබෝධ කර ගත හැකියි.

මේ සියලූ තොරතුරු සුජිත් අක්කරවත්ත මහතා සයිබර් යුගයේ පරම්පරාවට ගැලපෙන භාෂාවකින් මනාව සහ පැහැදිලිව පෙළ ගස්වා තිබෙනවා. මේ අතීත තොරතුරුවලින් රටක් – ජාතියක් ලෙස අප ගන්නා ප්‍රයෝජනය කුමක්ද? මේ සියල්ල අතීතයේ, නොඑසේ නම් ඉතිහාසයේ කොටසක් වන නමුත් ඒ සියල්ල ඉතිහාසයට සීමා කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ.

නවීන තාක්‍ෂණය මත පදනම්ව නූතන සමාජය ගොඩනගද්දී ඊට අපේ මේ අතීත ජීවන රටාවෙන් කොටසක් ද ඇතුළත් කළ යුතුයි. ලෝකයේ ඕනෑම රටක් නවීන තාක්‍ෂණය මත පදනම්ව සිය නූතන සමාජය ගොඩනගද්දී සිය අතීතයේ දියුණු ජීවන රටාවන් ද ඊට ඇතුළත් කරනවා.

එදා විශාල වශයෙන් පරිසරය ආරක්‍ෂා කළ නමුත් වර්තමානයේ දී ලෝකයේ කිනම් රටක් වුණත් පරිසරය ආරක්‍ෂා කරන්නේ නැහැ. අවශ්‍ය පියවර වහාම නොගත්තොත් තව අවුරුදු 25 ක් යන විට ලෝකයේ පරිසරය සම්පූර්ණයෙන්ම විනාශ වන බවට කිකාලගුණික සහ දේශගුණික විපර්යාස සම්බන්ධ අන්තර් රාජ්‍ය සමුළුවකි අනතුරු අඟවා තිබෙනවා.

එදා අප, අපේ ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක කළේ කෙසේද? අපේ අනාගත ආණ්ඩුක්‍රමය ගොඩනගද්දී අප ඒ ගැන විශේෂ අවධානය යොමු කළ යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන මේ වන විට සියලූ දෙනාම කතා කරනවා.

 ඒ වෙනුවට අප ඉදිරිපත් කරන්නේ කිනම් ආණ්ඩුක්‍රමයක් ද? අපේ නව ආණ්ඩුක්‍රමය සඳහා අප අමෙරිකාවේ, එංගලන්තයේ, ප්‍රංශයේ තිබෙන ක්‍රම පමණක් ගන්නවාද? නැතිනම් ඒ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සමග අපේ මේ අතීතයේ පැවැති දියුණු ක්‍රමවලිනුත් කොටසක් එකතු කරනවාද? බොහෝ රජවරුන් සියලූ දෙනාම එකට ඒකරාශී කර ගෙන රට පාලනය කළේ කෙසේද කියා අප සියලූ දෙනාම සිතා බැලිය යුතුයි.

 ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඡන්දය හෝ මැතිවරණ ක්‍රමය පමණක් නොවෙයි. අපේ අලූත් ආණ්ඩුක්‍රමය අප ගොඩනගද්දී ඊට ලෝකයෙන් සාධනීය දේ ගන්නවා වගේම අපේ අතීතයේ දියුණු සහ සාධනීය කොටස් ද එකතු කළ යුතුයි. රට වෙනුවෙන් අනාගතයේ දී අප ගොඩනැගිය යුත්තේ එවැනි ආණ්ඩුක්‍රමයකුයි.

රටේ අනාගතය ගොඩනගද්දී අප අපේ රටට සුදුසු සහ ගැලපෙන ආකාරයට ආණ්ඩුක්‍රමය පමණක් නොව, දේශපාලන, ආර්ථික සහ සමාජ ක්‍රමය ද සකස් කළ යුතුයි. රටට ගැලපෙන ඒ ක්‍රම සකස් කිරීමේ දී ඊට සිංහලයාගේ අතීත ජීවන රටාවත්, වර්තමානයේ තිබෙන ලෝකයත්, තාක්‍ෂණයෙන් බර අනාගත ලෝකයත් එකට එකතු කළ යුතුයි.

එමෙන්ම මහාචාර්ය ශිරාන් දැරණියගල මහතා සඳහන් කළ පරිදි අපේ මානව සම්පත් පිළිබඳව ද අප අපේ විශේෂ අවධානය යොමු කළ යුතුයි. එපමණක් නොව, අපේ අධ්‍යාපන ක්‍රමය ගැන ද විශේෂයෙන් සැලකිලිමත් විය යුතු අතර අවුරුදු 2000 – 3000 ත් අතර කාලයක් අපේ අධ්‍යාපනය ආරක්‍ෂා වූයේ සහ පදනම් වූයේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය මත බව ද අප මතක තබා ගත යුතුයි.

පරිගණක තාක්‍ෂණය ගැන අප මවිතයට පත් වුණත් භාවනාවෙන් සිත දියුණු කර සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අරහත් යන උසස් මානසික තලයන් වෙත ගමන් කළ හැකි බව අප හො¼දින්ම දන්නවා. පරිගණකය ඇතුලූ යන්ත්‍රවලින් කරන මේ සියල්ල දියුණු කළ මනසින් කළ හැකි බව පැහැදිලියි. නමුත් අපේ මනස වර්තමානයේ ඒ මට්ටමට සකස් වී, දියුණු වී නොමැති නිසා ඒ වේගය සහ හැකියාව තිබෙන්නේ පරිගණක ඇතුලූ යන්ත්‍රවලටයි.

අපේ ජීවන රටාව පදනම් කර ගෙන අලූත් සමාජයක්, අලූත් ආණ්ඩුක්‍රමයක්, අලූත් ආර්ථිකයක්, අලූත් සංස්කෘතියක්, අලූත් රටක් ගොඩනැගීමට අප සියලූ දෙනාම එකට එක්ව කටයුතු කළ යුතුයි. ඉන්දියන් සාගරයේ වෙළෙඳ මධ්‍යස්ථානය බවට පත් වීමට අතීතයේ දී අපට හැකියාව සහ ශක්තිය තිබුණා නම් අනාගතයේදීත් ඒ තත්ත්වයට ගමන් කිරීමට අපට නොහැකි ඇයි?

මේ ශිෂ්ඨාචාරයේ සමහර අංග දකුණු ඉන්දියාවට ලැබුණේ ශ්‍රී ලංකාවෙන් නම් ඉන්දියන් සාගරයේ වෙළෙඳ කේන්ද්‍රස්ථානය බවට පත් වීමට අපට නොහැකි වන්නේ නැහැ. ද්‍රවිඩ අක්‍ෂර දියුණු වූයේ බ්‍රාහ්මීය අක්‍ෂරවලින් විය හැකි බව ඉන්දියාවේ සමහර පුවත්පත් වාර්තා කර තිබෙනවා මම දුටුවා. මේ කරුණු කාරණා සම්බන්ධයෙන් මේ වන විට විවාදයක් ද ආරම්භ වී තිබෙනවා. අපේ මේ අරමුණු සහ ඉලක්ක කරා යන්න අවශ්‍ය කරුණු කාරණා මතු කරන සුජිත් අක්කරවත්ත වැනි අයටත්, ඊට දායකත්වය ලබා දෙන ගිහි පැවිදි සියලූ දෙනාටත් මම මගේ ස්තඣතිය පුද කරනවා.

මෙහිදී හිටපු පුරාවිද්‍යා මහ කොමසාරිස් මහාචාර්ය ශිරාන් දැරණියගල, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, කේ.කේ. සමන් කුමාර, ජගත් මාරසිංහ යන මහත්වරු ද, මාවරල්ලේ භද්දිය හිමියන් ප්‍රධාන භික්‍ෂූන් වහන්සේලා ද එහිදී අදහස් දැක්වූහ.

මේ අවස්ථාවට අතුරලියේ රතන, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මඩිතියවෙල මේධංකර, අමරපුරා  ධර්ම රක්‍ෂිත මහා නිකායේ මහ නායක ත්‍රිකුණාමලයේ ආනන්ද යන නාහිමිවරුන් ප්‍රධාන මහා සංඝ රත්නය ද, ආචාර්ය තිලක් කරුණාරත්න, මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, එක්සත් නායකත්ව මණ්ඩලයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය, එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් තිස්ස අත්තනායක, එක්සත් ජාතික පක්‍ෂයේ උප නායක රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්‍ෂ, මංගල සමරවීර, ගාමිණී ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් ද, බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඇතුලූ පළාත් සභා මන්ත්‍රීවරුන් ද ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියහ.