Hot!

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 උපුටා ගැනීම සිළුමිණ

* ඔබේ සම්පූර්ණ නම?

මනික් වොල්වින් ද සිල්වා

* උපන්නේ කවද ද?

1942 මාර්තු 29

* ගම?

බළපිටිය. තාත්තගේ මුල් ගෙවල් තිබුණේ අම්බලන්ගොඩත් බළපිටියත් අතර පිහිටි රන්දොඹේ.

* පියා කවුද?

වොල්වින් ආනල්ඩ් ද සිල්වා. වෘත්තියෙන් සිවිල් නිලධාරියෙක්. පස්සෙ කාලෙක විශ්ව විද්‍යාල උප කුලපතිවරයකු වෙලත් හිටියා.

* ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ඔබේ ඥාතියකු නේද?

ඔව්. තාත්තගේ මල්ලි කෙනෙක්. එයා තාත්තට වැඩිය අවුරුදු එකහමාරක් බාලයි. තාත්තා තමයි පවුලේ වැඩිමලා. අපි කොල්වින්ට කිව්වේ ලොකු බාප්පා කියලා.

* කොල්වින් වගේම ඔබේ පියත් දේශපාලනයට සම්බන්ධයි?

ඔව් තාත්තා රැකියාවෙන් පස්සේ සුළු කාලයක් මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළා.

* පියාත් වාමාංශික ද?

නැහැ. එයා දක්ෂිණාංශික. ඡන්දය ඉල්ලුවෙනම් ස්වාධීනව. ඡන්ද ලකුණ වුණේ යතුර.

* කොල්වින් ‘ඔළු තුනේ බූරු’ කතාව කිව්වේ ඔබේ පියාට ද?

ඒ සිද්ධිය මට මතකයි. ඔව්. ඒ ප්‍රකාශය තාත්තටත් අදාළයිනේ. ස්වාධීනව ඉල්ලන අය ඔළු තුනේ බූරුවන් විදියටයි කොල්වින් හැඳින්වූවේ.

* ඔබේ ජීවිතයට වැඩි බලපෑමක් කළේ පියා ද? නැත්නම් කොල්වින් බාප්ප ද?

තාත්තා. මං පුවත්පත් කලාව තෝර ගනිද්දි වුණත් තාත්තා විරුද්ධ වුණේ නැහැ.

* ඔබේ මව?

කුසුමාවති ද සිල්වා. ඇය ගාල්ලේ අමරසූරිය පරම්පරාවේ කෙනෙක්. අපේ සීයා (මවගේ පියා) තමයි ගාල්ලේ දොස්තර චාල්ස් අමරසූරිය.

* ඔබේ පවුලේ කී දෙනයි ද?

පස්දෙනෙක් හිටියා. දැනට ඉන්නේ නංගියි මමයි විතරයි. අක්කා කුඩා කාලයේම මැරුණා. මල්ලිලා දෙන්නම මියගියේ රිය අනතුරුවලින්.

* ඔබ පාසල් ගියේ?

කොළඹ රාජකීය විද්‍යාලයට.

* විශ්ව විද්‍යාලයට යන්න අදහසක් තිබ්බෙ නැහැ?

වයස අවුරුදු 19 දීම මම පුවත්පත් කලාවට සම්බන්ධ වුණා. ඒ ‘ඔබ්සර්වර්’ පත්තරේ වාර්තාකරුවෙක් විදියට. 1961 - 62 දි විතර. අවුරුදු කීපයක් රස්සාව කරද්දි මට හිතුණා, විශ්ව විද්‍යාලයකට ගිහින් තිබුණානම් ඒක ලොකු උපකාරයක් වෙන්න තිබුණා කියලා. නමුත් අද නම් එහෙම හිතෙන්නේ නැහැ. මං පස්සේ කාලෙක හාර්වඩ් විශ්ව විද්‍යාලයට සම්බන්ධව අධ්‍යයන කටයුත්තක නිරත වුණා.

* කවුද එකල ‘ඔබ්සර්වර්’ කර්තෘ?

ඩෙන්සිල් පීරිස්. ඔහු වගේ කෙනෙක් යටතේ වැඩ කරන්න ලැබීම ලොකු වාසනාවක් විදියටයි මම සලකන්නේ.

* ඇයි එහෙම කියන්නෙ?

ඔහු හුළුගල්ල, (එච්. ඒ. ජේ. හුළුගල්ල) ධනපාල (ඩී. බී. ධනපාල) ටාසි (ටාසි විට්ටච්චි) මට්ටමේ අති දක්ෂ පුවත්පත් කලාවේදියෙක්. ඔහු කැමැති නැහැ, වාර්තාකරුවන් පුටුවල ඉඳගෙන ටෙලිෆෝන් එකෙන් ‘නිවුස්’ ගන්නවට. ‘නිවුස්’ හැම තැනම තියෙනවා, විශේෂයෙන් ‘මහ පාරේ’ කියලයි ඔහු අපිට කිව්වේ.

* දක්ෂ පුවත්පත් කලාවේදියෙක් වෙන්න නම් වාර්තාකරණයෙන්ම තම වෘත්තිය පටන්ගත යුතුයි කියල ද ඔබ හිතන්නෙ?

මම හිතන්නේ එහෙමයි. මම කවදාක්වත් උප කර්තෘ කෙනෙක් විදියට වැඩ කරලා නැහැ. ඔය සම්බන්ධයෙන් අනෙක් අයට වෙන අදහස් ඇති. මගේ වැටහීමනං රිපෝටින්වලින්ම තමයි පටන්ගන්න ඕනැ.

* ඔබ හිටියේ එස්මන්ඩ් යුගයේ (එස්මන්ඩ් වික්‍රමසිංහ - කළමනාකාර අධ්‍යක්ෂ) කොහොම ද ඒ කාලේ මාධ්‍ය නිදහස?

ඩී. ආර්. විජයවර්ධනගේ කාලේ ඉඳන්ම ලේක්හවුස් එක යූ. ඇන්. පී. එකට බර බව ඇත්තනේ. ඒත් ඔහුගේ බෑනා එස්මන්ඩ් මුලින් වාමාංශිකයා. කොටින්ම මට මතකයි අපේ තාත්තා කියනවා, ලොකු බාප්පා ඉන්දියාවේ හැංගිලා ඉද්දි තාත්තා ඔහුට සල්ලි යවලා තියෙන්නේ එඩ්මන්ඩ්ගේ උදව්වෙන්. එස්මන්ඩ් තමයි ඒ කටයුතු පිළියෙල කරලා තියෙන්නේ. අනෙක එකල හිටපු කර්තෘවරු බොහෝම කෙළින්. උදාහරණයක් විදියට ඩෙන්සිල් පීරිස් වගේ කර්තෘවරයෙක්, අයිතිකාරයෝයි කර්තෘ මණ්ඩලයයි අතර ලොකු බෆර් එකක් විදියට හිටියා. පීටර් කේනමන් වගෙ අය වුණත් ටික කාලයක් ලේක්හවුස් එකේ වැඩ කළානේ.

* 1973 දී ලේක්හවුස් එක ආණ්ඩුවට ගත්තනේ. ඒක හරි තීරණයක් ද? වැරැදි තීරණයක් ද?

ඒක විශාල අපරාධයක්.

* හොඳයි ආණ්ඩුවට ගත්තු එක වැරැදියි කියමු. එතකොට ජේ. ආර්. 77 දී ලේක්හවුස් එක යළි මුල් හිමිකරුවන්ට නොදීමත් ඒ හා සමානවම වැරැදියි නේද?

ඒකත් වරදක්. අනෙක විජයවර්ධනලා ඔහුගේ නෑයෝ.

* වාර්තාකරුවකු විදියට මාධ්‍යයට යොමුවීමත් එක්ක ඔබේ ඊළඟ ස්ටෙප් එක වුණේ මොකද්ද?

මම ඊළඟට ‘ඔබ්සර්වර්’ පත්‍රයේ ප්‍රවෘත්ති කර්තෘ වුණා. එතකොට ප්‍රධාන කර්තෘ හැරල්ඩ් පීරිස්.

* ඔබ ප්‍රධාන කර්තෘ වුණේ?

මම කවදාක්වත් ‘ඔබ්සර්වර්’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ වෙලා ඉඳලා නැහැ. මම ප්‍රධාන කර්තෘ වුණේ ‘ඩේලි නිවුස්’ පත්තරේ. ඒ 1981 - 82 දි විතර.

* 1994 දී ධර්මසිරි සේනානායක මාධ්‍ය ඇමැතිව හිටපු කාලේ ඔබට ලේක්හවුස් සභාපතිකම බාරගන්න කියල කිව්ව ද?

ඔව්. මට එහෙම ආරාධනාවක් කළා. නමුත් මං කැමැති වුණේ නැහැ. මොකද, මං ඒකට සුදුසුත් නැහැ. මං කැමැතිත් නැහැ.

* එහෙම කිව්ව ඔබට අන්තිමේ කර්තෘකමත් නැතිවෙලා යනවා.

ඔව්. අවුරුදු 14 ක් මම ‘ඩේලි නිවුස්’ කර්තෘව හිටියා. මාව එකපාරටම උපදේශක කරලා දැම්මා. ඒක නිකම් පිං පඩියක් හම්බු වෙන වැඩක්. මංගල සමරවීර මාධ්‍ය ඇමැති වුණාට පස්සේ අවුරුදු දෙකක පඩි දෙන්නම් අයින් වෙලා යන්න කිව්වා. මං ඒක සතුටින් භාර ගත්තා. මොකද මං දන්නවා මංගල එක්ක කොහොමටවත් වැඩ කරන්න බැහැ. ඔහු ඇඟිලි ගහනවා. අවුරුදු දෙකක පඩිත් ලැබුණු නිසා මං සතුටින් අස්වෙලා ගියා. ඒ 1997 දී.

* මංගලට සාපේක්ෂව ධර්මසිරි සේනානායක හොඳයි ද?

ධර්මසිරිත් එක්ක ඕනැ කෙනකුට වැඩ කරන්න ලේසියි. ඔහුත් එක්ක කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ.

* ඊට පස්සේ ඔබ මොකද කළේ?

‘සන්ඩේ අයිලන්ඩ්’ එකේ ප්‍රධාන කර්තෘ වුණා.

* සිංහල - ඉංග්‍රිසි පත්තර අතර ඔබ දකින වෙනස්කම් මොනවද?

එක්තරා සිංහල පුවත්පත් කලාවේදියෙක් වරක් කිව්වා, තමන්ගේ පත්තරේට ඕනැ මළ ඉලව්වක් ලියන්න පුළුවන් කවුරුවත් ගණන් ගන්නේ නැහැ කියලා. එහෙම කියන්න වටින්නේ නැහැ. ඕනෑම ප්‍රවෘත්තියකට මූලාශ්‍රයක් තියෙන්න ඕනැ. මං දන්නවා, හුඟක් පත්තරවල මූලාශ්‍ර නැති ප්‍රවෘත්ති පළවෙනවා. අද ඉංග්‍රිසි පත්තරවල වුණත් අයිතිකාරයන්ගේ වුවමනාවට එවැනි ප්‍රවෘත්ති පළවන අවස්ථා තියෙනවා.

*සිංහල පත්තරවලට සාපේක්ෂව ගත්තම ඉංග්‍රිසි පත්තරවල මාධ්‍ය නිදහස වැඩියි. පිට්ටනියේ ගොනාට තණකොළ කන්න තරමක දිග කඹයක් ඉංග්‍රිසි පත්තරවලට තියෙනවා. සිංහල පත්තරවල කඹේ කොටයි.

ඒක ඇත්ත. ඉස්සර නිදහස වගේම වැඩි තැනකුත් සිංහල පත්තරකාරයන්ට වඩා ඉංග්‍රිසි පත්තරකාරයන්ට තිබුණා. මට ටාසි විට්ටච්චි දවසක් කිව්වා මීමන ප්‍රේමතිලක ‘සිළුමිණ’ ප්‍රධාන කර්තෘ කාලේ ඉඳගන්න පුටුවක්වත් තිබුණේ නැහැලු. ඔහු කොහෙ හරි තියෙන හිස් පුටුවක ඉඳගෙනයි වැඩකරලා තියෙන්නේ. ඒ කාලේ ලේක් හවුස් එකේ වැඩියෙන්ම විකුණුනේ ‘සිළුමිණ'.

* තව කාරණාවක්. ඉංග්‍රීසි පත්තරකාරයෝ අදීනය කියලා මම හිතනවා. වැඩ කරන්න බැරිනම් දමලා ගහලා යනවා.

එහෙමම කියන්නත් බැහැ. සිංහල පත්තරකාරයෝ අතරත් අදීන අය හිටියා, ඒ වගේ ම ඉන්නවා. බී.ඒ. සිරිවර්ධන එහෙම කෙනෙක්. වික්ටර් අයිවන් එහෙම කෙනෙක්.

* එතකොට මීමන?

මීමන ‍ජනප්‍රිය කතා ලියන්න දක්ෂයෙක්. ඒත් එයා දේශපාලන ලිපි ලිව්වෙ නැහැනේ.

* ජේ.ආර්. යුගයේ ඔබ අදීනව හිටපු එක්තරා අවස්ථාවක් ගැන අපි අහලා තියෙනවා?

කර්තෘටත් ඉහළින් බලධාරියෙක් පත්කරන්න ගියා. විශේෂයෙන් දේශපාලන ප්‍රවෘත්ති හා ලිපි ගැන බලන්න. මම ජේ.ආර්. මුණගැහිලා කිව්වා එහෙම බලධාරියෙක් පත්කරනව නම් මං කර්තෘ පුටුවේ ඉඳගෙන වැඩක් නැහැ. වෙන කර්තෘ කෙනෙක් දාගන්න කියලා.

* ඒත් බලධාරියෙක් දැම්මා. බී.එච්.එස්. ජයවර්ධන?

ඔව්. ඒත් ‘ඩේලිනිවුස්’ පුවත්පත හැරෙන්න අනෙක් පත්තරවලටයි දැම්මේ. මං තදින්ම හිටියා.

* ආණ්ඩු ඇති කරන්න හෝ නැති කරන්න පත්තරවලට පුළුවන් කියලා ඔබ හිතනවද?

මං හිතන්නෙ නැහැ. ඒක මැතිවරණ ඉතිහාසයෙන්ම පේනවා. 1956 දි බණ්ඩාරනායක දින්නේ ලේක්හවුස් එක යූ.ඇන්.පී. වෙලා තිබුණු කාලේ. 1977 දී ජේ.ආර්. බලයට පත්වුණේ ‍ලේක්හවුස් එක අගමැතිනියගේ හෑන්ඩ් බෑග් එකේ තිබියදි. 1994 දිත් වුණේ ඒ වගෙ දෙයක්. පත්තරවලට ආණ්ඩු හදන්නත් බිඳ වට්ටන්නත් පුළුවන් කියන බොරුවක්. ඒ කාලේ ගුවන්විදුලිය වුණත් හැම වෙලාවෙම තිබුණේ බලය තිබුණු ආණ්ඩුව යටතේ. මං හිතන්නේ පුවත්පත් පාඨකයන්ගේ සංඛ්‍යාවට වඩා ගුවන්විදුලි අසන්නන්ගේ සංඛ්‍යාව ප්‍රමාණයෙන් වැඩියි. ඒත් ආණ්ඩු වෙනස් වුණා. හැබැයි මට හිතෙනවා රූපවාහිනිය ඊට වඩා ප්‍රබලයි කියලා. ජනමතය කෙරෙහි එයට ලොකු බලපෑමක් කරන්න පුළුවන්.

* නිහාල් රත්නායක, අජිත් සමරනායක යන අය හැරුණු‍කොට ඉංග්‍රිසි පත්තරවලින් දේශීය කලාව හා සංස්කෘතිය කෙරෙහි අවධානය යොමුකරන පුවත්පත්කලාවේදීන් අඩුයි කියලා මම හිතනවා.

මාලින්ද සෙනෙවිරත්න වගේ පුවත්පත්කලාවේදියෙක් අජිත් වගේම ද්විභාෂාවෙන් ලියන ලේඛකයෙක්. බොහෝවිට ඉංග්‍රිසි පත්තරවල කලාව හා සංස්කෘතිය ගැන ලිව්වෙ විද්වතුන්. මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධන, රෙජී සිරිවර්ධන, නෙවිල් වීරරත්න වගෙ අය. ඒ.ජේ. ‘ඩේලි නිවුස්’ එකේ වැඩ කරපු කෙනෙක්. විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් වෙන්න කලින්.

* අද පත්‍රකලාව ගැන පොදුවේ ඔබ දක්වන අදහස මොකක්ද?

පොදුවේ ගත්තම කිසියම් පරිහානියක් තියෙනවා. සමහර පත්තර ආයතන පවත්වගෙන යන්නේ ව්‍යාපාර අරමුණු මත නෙමෙයි. දේශපාලන න්‍යාය පත්‍ර අනුවයි. සමහර පත්තර පාඩුපිටයි දුවන්නේ. ඔවුන්ට වැදගත් වෙන්නේ ලාබය නෙමේ දේශපාලනය. ඒ නිසා තමයි පත්තර ආයතනය අර අයිතිකාරයගෙන් මේ අයිතිකාරයන්ට විකිණෙන්නේ.

* පත්තරකාරයන්ට විශ්‍රාම යන වයසක් තියෙනව ද?

මමත් විශ්‍රාම යන කාලේ නම් පහුවෙලා. ඒත් මං කැමැතියි පත්තර ජීවිතයට. ඉරිදා පත්තරයක් තියෙන්නේ සතියකට එකයිනේ. මගේ වයසට ඒ වගේ දෙයක් කරන එක එච්චර අමාරුවක් නැහැ.

* ඔබේ බිරිය ගැනත් යමක් කියන්න?

මම කසාද බැඳලා නැහැ.

* ඇයි ඔබ අවිවාහකව හිටියේ?

නැහැ. මම කසාද බැන්දේ නැහැ.

* ඔබ හාර්වඩ් විශ්ව විද්‍යාලයට ගියයි කියලා කලින් කිව්වා. මොනවද ඉගෙන ගත්තේ?

මම ඉගෙන ගත්තේ ජාත්‍යන්තර සබඳතා ගැන. ඒත් මට අධ්‍යයන කටයුතු සම්පූර්ණකර ගන්න ලැබුණේ නැහැ.

* ඔබ හිතන්නෙ පතන්නේ ඉංග්‍රිසියෙන් ද?

ඔව්. අපි ඉංග්‍රිසි පසුබිමක හැදුණු වැඩුණු අයනේ. මට ඔයත් එක්ක වුණත් සිංහලෙන් කතා කරනවට වඩා ඉංග්‍රිසියෙන් කතා කරන්න තිබුණා නම් වඩාත් පහසුයි.

* ඔබේ මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් පොතකට ලියන්න අදහසක් නැද්ද?

අදහසක් තියෙනවා. කවදහරි ලියන්න ඕනැ.

* කොහොමද සාමාන්‍යයෙන් දින චර්යාව?

උදේට වෝක් එකක් දාන්න ගෝල්ෆේස් එකට යනවා. නවයහමාරට විතර වැඩට එනවා. පැය දහයක් විතර වැඩ කරලා හයහමාරට විතර ගෙදර යනවා.

සුනිල් මිහිඳුකුල
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න