Hot!

අනෙකාගේ කලාව සහ රාජපක්ෂගේ විකලාව

| නිලන්ත ඉලංගමුව

අවසානයේදී හාස්‍ය හෝ බිය උපදවන නමුත් කිසිවක් නැති තැනට යමක් සිදු වීම වූ කලී ලාංකීය දේශපාලනයේ නිතර දැකීමට ලැබෙන පොදු සිදුවීම වේ. බොහොමයක් අවස්ථාවලදී, විශේෂයෙන් මැතිවරණ කාලය ඉස්මත්තට පැමිණි විට අදාළ සිදුවීම් වල ප්‍රභල වැඩිවීමක් දැකීමට ලැබේ. බොහෝ රඟපෑම් මෙන්ම විප්ලවීය ලෙස කතාකරමින් මව් බස අපවිත්‍ර කිරීමට සහ ව්‍යාකූල කිරීමට මෙම “ඍතුවේදී” බොහෝ අය කටයුතු කරති.  කෙසේවෙතත්, අවසානයේදී මුලාව විසින් ජයග්‍රාහකයා තෝරාගනු ලබන අතර එහි වන්දිය කාලයාගේ අවෑමෙන් සියල්ලටම තේරුම් යති. නමුත්, යළිත් එම මුලාවම වෙනස් ස්වරූපයකින් නිසි කළ පැමිණි විට සිදු වේ. අපි, ආණ්ඩු බිඳීම සහ නිර්මාණය කිරීම මඟින් වෙනත් රටවලට සාපේක්ෂව ක්‍රමයෙන් පසුගාමීත්වය උදාකර ගත්තේ එලෙසය. මෙම නියාලු දේශපාලනය නිසා, ඉදිරිය වෙනුවට පිටුපස සොයාගිය රටවලින් එකක් බවට අපේ මාතෘ භූමිය පත් වූවාය.  

යළිත් එවැනිම වූ කාලයක් මෙරට ඇති වී තිබේ.

මිලියන ගණනක් වියදම් කරමින් සිදු කරන ප්‍රචාරණ ව්‍යපෘති මෙන්ම බලහත්කාරයෙන් සිදු කරන පෙළඹවීම් රැසක් හමුවේ ආණ්ඩුව මවා ගත් ප්‍රතිරූපය එලෙසම රැගෙන යාම දැක ගත හැකි පොදු කාරණය වේ. අනෙක් පසින්, දුර්වල යැයි පෙණෙන නමුත් අභ්‍යන්තරයෙන් උපදින ආසාව සහ ආණ්ඩුවේ මුලික ශක්තිය දුර්වල වීම දැකීමෙන් ලබන වින්දනය හමුවේ උපදින උත්තේජය විසින් විපක්ෂය ඉතා සෙමින් පණ ගැසීම මෙම කාලයේදී දැක ගත හැකි සිදු වීම වේ. ඊට අමතරව තෙවැනි පාර්ශවක්ද තිබේ. එනම් හදිසියේ ප්‍රදූර්භූත වන යමකින් මෙම දෙපාර්ශවයේම සිතුවිලි සහ හැසිරීම් මෙන්ම උපායන් වෙනස් විය හැකිය.

ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස බලු විට මෙය, එනම් හදිසියේ ප්‍රාදූර්භූත වන යමකින් පවතින තත්වය වෙනස් වීම සංවිධානාත්මක මට්ටමින් ඒක පුද්ගල කේන්ද්‍රීය තත්වයක් දක්වා වෙනස් විය. විශේෂයෙන් 70 දශකයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ සහ උතුරේ දෙමළ සටන්කාමී සංවිධාන මුලික කොට ගනිමින් සංවිධාන වලට තිබු ශක්තිය ඒක පුද්ගල සංසිද්ධීන් බවට පත්විය. එනම්, ගංගොඩවිල සෝම හිමි, ජනරාල් සරත් ෆොන්සේකා, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක සහ විනිසුරු සී. වී. විග්නේශ්වරන් වැනි සිදු වීම් වලින් පැහැදිලි වන කාරණය නම් ලංකාවේ දේශපාලන සංවිධාන වලට තිබු ශක්තිය පුද්ගල කේන්ද්‍රීය ගත වූ ආකාරයයි.

සංවිධානාත්මක ආකාරයෙන් කළ නැගිටීම් මෙන්ම පුද්ගල කේන්ද්‍රීය වශයෙන් සිදු වූ නැගිටීම් ක්‍රමානූකූලව මර්ධනය කිරීමට හෝ දුර්වල කිරීමට රට තුළම නිර්මාණය වී ඇති ක්‍රමවේදය ඛේදජනක වන නමුත් එය ඉතා තීරණාත්මක එකක් ලෙස සැලකිය හැකිය.

රාජපක්ෂ පරිපාලනය වූ කලී මෙම ද්විත්ව රූපී විරෝධයන් ක්‍රමයෙන් යටපත් කොට ඒවා බෙලහීන තත්වයට පත් කළ පාලන ක්‍රමවේදයකි. එනම් ඊට එරෙහිව මතුවන විරෝධය කිරා මැන එය කඩාබිඳ දැමීමේ කෞශල්‍ය ඊට ඇති බව පසුගිය වසර කිහිපය පුරා සිදු වූ සිදුවීම් වලින් පැහැදිලිය.

යළිත් වැදගත් අවස්ථාවක් පැමිණ තිබේ.

එය තීරණාත්මක එකක් බවට පත් වී ඇත්තේ විකෘතියේ පැවැත්ම එමඟින් තීරණය කරන හෙයිනි. ජනාධිපති රාජපක්ෂ යනු, ජාතික ආර්ථිකයේ ( අගමැතිනි සිරිමාඕගේ සිහිනය)  වියෝවෙන් ඇති වූ සමාජ කලබගෑනිය තම අභිමතාර්ථයන් මුදින් පමුණුවා ගැනීම සඳහා යොදා ගත් ජේ. ආර්. ජයවර්ධන විසින් නිර්මාණය කරනු ලැබූ අවලස්සන දේශපාලන සංස්කෘතිය කිසිඳු හිරිකිතයකින් තොරව අවිනීත ලෙස උඩඟුකමින් භාවිතා කළ නායකයෙකි. ඔහු එසේ කරණ කල්හී එම ක්‍රමය නිර්මාණය කළවුන් මත වරද පැටවීමට අමතක නොකලා පමණක් නොව විකෘතිය තවදුරටත් වැඩි කිරීමටද සමත් විය. රටේ විකෘතිය වූ කලී ඔහුගේ ආශාව මුදුන් පමුණුවා ගැනීමේ මෙවලම වේ.

තම නිල ධූර කාලය අවසන් වීමට වසර දෙකකට පෙර යළිත් ජනාධිපතිවරණයකට ගොස් තම බලය රැක ගැනීම සඳහා මාන බලන්නේ ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ විකෘතිය සමාජය තුළ ක්‍රමයෙන් ක්ෂීණ වෙමින් පවතින බැවිනි.

රාජපක්ෂ පරිපාලනයේ, පෙරදා ආරක්ෂකයා සහ වර්ණනා කරන්නා මෙකළ අනාරක්ෂකයා සහ ගතු කියන්නා බවට පත් වී තිබේ. මෙය දේශපාලනයේ පමණක් නොව තම පෞද්ගලික වාසිය වෙනුවෙන් කේන්ද්‍ර ගත වී ඇති සෑම සමාජයකම දැක ගත හැකි පොදු මිනිස් ගතිය වේ. රාජපක්ෂ පරිපාලනය දෛවෝපගත ලෙස මුහුණ දී සිටින්නේ එම නිශ්චිත තත්වයටය.

නමුත් මෙය නිවැරදිව තේරුම් ගැනීම සහ ඉලක්කගත වැඩපිළිවෙලකට යොමු වීම වත්මන් පරිපාලනය පරාජය කිරීම සඳහා වන මුලික වැඩපිළිවෙල වේ. මෙය බැලූ බැල්මට සංකීරණ කටයුත්තක් ලෙස පෙනුණද තීරණාත්මක ක්‍රමවේදයක් හමුවේ එය නිශ්චිතවම ඵල දරණු ඇත.

ප්‍රධාන මාතෘකා තුනක් වත්මන් දේශපාලන ප්‍රවණතාවය තුළ මතුපිටට පැමිණ තිබේ. එනම්, ජනාධිපති මහින්ද රාජපක්ෂට තෙවැනි වරටත් විධායක ජනාධිපති ධූරය සඳහා ඇති ආශාව, රාජපක්ෂ පරිපාලනය විසින් සහ ඊට සම්බන්ධ රාජ්‍ය ව්‍යුහය විසින් සිදුකළ මහාපරිමාණ  අක්‍රමිකතා, සහ රටේ නීතිමය වශයෙන් ඇති වී ඇති ව්‍යුහමය කඩා වැටීමය. මෙම ප්‍රධාන කාරණා මතුපිට දේශපාලනය තුළ සෙල්ලම් කරමින්, එය සෑම දේශපාලන පක්ෂයකටම මාතෘකා ලබා දී ඇත. ඒවා අඩුවැඩි වශයෙන් සෑම පක්ෂයක් විසින්ම භාවිතා කරණ ආකාරයද පෙනේ.

මෙය මහදවාලේ සියල්ලටම පෙණෙන ප්‍රභල සත්‍යකි.

මෙනිසා ඇතැමෙක් මහජනයා ඉදිරියට ගොස් සමාව ගැනීමට පෙළඹී සිටිති. තවකෙක් මහාපරිමාණ හෙළිදරව් කිරීම් වලට සැරසෙති. සැබවින්ම මෙවැනි දෑ, ව්‍යාකූල සමාජයක දැකගත හැකි නිස්සාර නාඩගම්ය. මෙවැනි දෑ කාලය විසින් අතීතයට ඇද දමන පුවත් පමණක් වේ. නමුත් මෙම අවස්ථාවන් දැක සියලු මුඛයන් වසාගෙන නිසිකළ එළඹී විට අදාළ අවස්ථාව තම පෞද්ගලික වාසිය සඳහා භාවිතා කිරීමට මාන බලන කල්ලිය තේරුම් ගැනීමට අදාළ පුවත් මවන්නනට කටයුතු නොකරති. මන්ද නිශ්චිත සීමාවකින් පසු ඔවුහුද එම කල්ලිවල අංකුර වන බැවිනි.

කෙසේ වෙතත්, ගල් අඟුරු මාෆියාව වැනි දෑ හෙළි වීම අතිශය වැදගත්ය. එසේම ඉන් ඔබ්බට ගිය ක්‍රමවේදයක් සහ එම ක්‍රමවේදය ශක්තිමත් කිරීම සඳහා ස්වාධීන වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යය. බලය අනිසිලෙස භාවිතා කරණ හොරුන්ගෙන් සමන්විත සමස්ථ සමාජ ක්‍රමයක් පිරිසිදු කිරීම පටන් ගත යුත්තේ කුමන තැනකින්ද යන්න තීරණය කිරීම ඉතා වැදගත් කාරණයකි.

එය තම සගයන් ඉදිරියේ කණේ පහර කෑ පසු එසේ ගසන්නාට ගතු කියමින්, එසේ ගැසීමට බලය දුන් අය වර්ණනා කිරීමේ ක්‍රිස් නෝනිස් න්‍යාය මඟින් කළ නොහැකිය. නොනිස්ට අනුව ඔහුගේ කණට ගැසූ අය හතුරෙකි. එම හතුරා පත්කළ ජනාධිපති රාජපක්ෂ වීරයෙකි. තම වීරයා විසින් පත් කරනු ලැබූ තම සතුරා තමා නිරුවත් කොට හයිඩ් පාක් පිටියේ එල්ලුවද; වීරයා සදාකාලික වීරයා ලෙස කියාපෑමේ කලාව කුමක්ද?

නෝනිස් පමණක් නොව, ආණ්ඩුව විසින් පත් කොට පසුව එළවා දැමූ ඇතැම් තානාපතිවරුන් සේම ආණ්ඩුවෙන් එළියට එන්නේ යැයි කියන හෙළ උරුමය ඇතුළු බොහෝ දෙනෙකු අනුගමනය කරණ මෙම කලාවේ ඇති සැබෑ අර්ථය කුමක්ද? එසේම මෙම කලාව හමුවේ රාජපක්ෂගේ විකලාව හැසිරෙන්නේ කෙසේද?

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහජන අධිකරණය ඉදිරියේදී සමාව ගත් ආකාරයෙන් පවිත්‍රා දේවී වන්නිආරච්චි නමැති ඇමතිවරිය සමාව ගැනීම සඳහා රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ දැයි තවමත් කිව නොහැකිය. නමුත් අදාළ ඇමතිවරිය භාවිතා කරමින් කාලාන්තරයක් තිස්සේ ආණ්ඩුව විසින් සිදු කරනු ලැබූ දූෂණ සහ වංචා රැසක් මෙන්ම බලය අනිසිලෙස භාවිතා කිරීම්, වසා ගැනීමට සමත් වූ බව නොරහසකි. අවාසනාවට අවසානයේදී රාජපක්ෂ විසින් මහත් කලබැගෑනියක් තමාගේ පදයට නටන මාධ්‍ය භාවිතා කරමින් ඇතිකොට ඇත්ත ප්‍රශ්නය වසාදමනු ඇත.