Hot!

වමේ මහා පාවාදීම

| රොහන්ත සිල්වා හා කේ. රත්නායක විසිනි

ලංකා සමසමාජ පක්ෂය (ලසසප) 1964 ජූනි මාසයේදී සිරිමා බන්ඩාරනායක මැතිනියගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ‍්‍රීලනිප) ආන්ඩුවට ඇතුලු වෙමින් සිදුකල මහා පාවාදීමේ දේශපාලන පාඩම් විමසා බැලෙන ලිපි හතරක තුන්වැනි ලිපියයි මේ. ට්‍රොට්ස්කිවාදී යයි කියාගන්නා පක්ෂයක් පලමු වතාවට ධනපති ආන්ඩුවකට ඇතුලු විය - එය ජාත්‍යන්තර සමාජවාදයේ මූලික ප‍්‍රතිපත්ති විවෘතවම ප‍්‍රතික්ෂේප කිරීමකි.

ලසසප පාවාදීම ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය කෙරෙහි බරපතල අර්ථභාරයක් දැරූ සිද්ධියක් විය. මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩෙල් නායකත්වය දුන් දේශපාලන ප‍්‍රවනතාවේ අවස්ථාවාදී ස්වභාවය එමගින් තහවුරු කල අතර 1953දී සම්මතධාරී ට්‍රොට්ස්කිවාදීහු මෙම ප‍්‍රවනතාවෙන් බිඳී, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පිහිටුවා ගත්හ. සෑම අවස්ථාවක දී ම පැබ්ලෝවාදීහු, ලසසපයේ දේශපාලන පල්ලම් බැසීම ඉවසා වදාරමින්, බන්ඩාරනායක ආන්ඩුවට ඇතුලූවීම සඳහා එයට පාර කපා පාවඩ එලූහ.

මෙම තුන්වන ලිපිය, ලසසපය බන්ඩාරනායක ආන්ඩුවට ඇතුලු වීමට තුඩුදුන් සිද්ධීන් හා ඊට පැබ්ලෝවාදීන්ගේ ප‍්‍රධාන දේශපාලන වගකීම විමසා බලයි. ලිපි මාලාවේ මුල් ලිපියමෙතැනින් හා දෙවැනි ලිපිය මෙතැනින් කිය විය හැක.

කම්කරු පන්තියේ සටන්කාමිත්වය නැගී ඒම හමුවේ බිඳ වැටීම අද්දර තිබුනු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආන්ඩුව සමග ලංකා සමසමාජ පක්ෂය, 1964 ජූනි 11දා හවුලකට පිවිසුනේය. ලසසපයේ පාවාදීම හදිසියේ ඇතිවූ සිද්ධියක් නොව, ඒ පැත්තට තැබූ සෑම පියවරකදීම පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලයේ සහාය හා අනුබලය ලැබූ, දශකයකට වැඩි කාලයක් තිස්සේ ශ‍්‍රීලනිපයේ වර්ගවාදී දේශපාලනයට අනුගත වෙමින් දේශපාලනිකව පල්ලම් බැසීමේ කූටප‍්‍රාප්තිය විය.

1960 මුල් වසරවලම ලසසප නායකත්වය, ශ‍්‍රීලනිපය සමග සභාගයකට යෑමට මග පෑදීමේදී ප‍්‍රමුඛව කටයුතු කල එන්.එම්. පෙරේරා විසින් ගෙනා යෝජනාවක්, පරාජය කර ගත්තේ යාන්තමිනි. රටේ දේශපාලන අර්බුදය ගැඹුරුවෙද්දී ලසසප නායකත්වය ඊට ප‍්‍රතිචාර දැක්වූයේ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා විප්ලවවාදී අරගලයක කොටසක් ලෙස නොව, අවස්ථාවාදී ලෙස ය. එනම්, අමු පාර්ලිමේන්තුවාදී ගනන් බැලීම් හා වෘත්තීය සමිතිවාදී පදනමකිනි.

1962 ජනවාරියේදී වරාය කම්කරුවන්ගේ අධිෂ්ඨානශීලී වැඩ වර්ජනයක් පිටුපස ජූනි හා ජූලි මාසවල දිග හැරුනු බැංකු ලිපිකරුවන්ගේ වර්ජනයක් පැමිනුනි. 1963 ජනවාරියේ, ලංකා ගමනා ගමන මන්ඩලයේ කම්කරුවන්ගේ වැඩවර්ජනය බිඳීමට බන්ඩාරනායක හමුදාව යෙදෙව්වාය. ජූනි මාසයේදී ම වැල්ලවත්ත රෙදි මෝලේ කම්කරුවෝ වැඩි වැටුප් ඉල්ලා අරගලයකට පිවිසුනහ. උග‍්‍ර විරැකියාව හා දුප්පත්කම පැතිරයාම කෙරෙහි ගම්බද තරුනයින් අතර පුලුල් අසහනයක් හා නොසංසුන්තාවක් වැඩී යමින් තිබුනි.

මෙම තතු තුල කම්කරු පන්තියට එරෙහිව තීරනාත්මක පියවර ගත යුතු යයි, පාලක පන්තියේ කොටස් වලින් බන්ඩාරනායකට වඩ වඩාත් බලපෑම් එල්ල විය. 1962 ජනවාරිය වන විටමත් ඇය, බටහිර ගැති පාලක පැලැන්තියට සම්බන්ධකම් පැවති මිලිටරි හා පොලිස් නිලධාරීන් විසින් සැලසුම් කල කුමන්ත‍්‍රනයකට මුහනපා සිටියාය. වඩාත් පුලුල් කම්කරු කොටස් අරගලයට ඇදී එන තත්වය හමුවේ, වැඩවර්ජන තහනම් කිරීම හා හමුදාව යෙදවීම මගින් නැග එන අර්බුදය වැලැක්වීමට නොහැකි විය.

ඊට ප‍්‍රතිචාර වශයෙන් 1963 අගෝස්තුවේදී, එනම් වසරකටත් අඩු කාලයක් තුල, ලසසපය, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (කොප) හා මහජන එක්සත් පෙරමුන (මඑපෙ) සමග වාමාංශික එක්සත් පෙරමුනක් ගොඩනගමින්, බන්ඩාරනායකගේ ආන්ඩුවට අතුල්වීම සඳහා දේශපාලන එලිපත්ත සූදානම් කලේය. ආරම්භයේ පටන්ම කොප හා මඑපෙ, ශ‍්‍රීලනිපය සමග හවුලක් සඳහා තල්ලුව දෙමින් සිටියේය. මඑපෙ මැදිහත්වීම විශේෂයෙන් වැදගත් විය. එහි නායකයා වූයේ පිලිප් ගුනවර්ධනයි. 1950 වසරේදී ලසසපයෙන් ඉවත්වීමෙන් පසුව ඔහු, වේගයෙන් දකුනට පල්ලම් බැස තිබුනි. දෙමල ජනතාවට එරෙහිව යොමුකල භාෂා ප‍්‍රතිපත්තිය වූ “සිංහල පමනක්” ක‍්‍රියාවට නැගි 1956 ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ ආන්ඩුවේ ඇමතිවරයෙක් ලෙස ඔහු සේවය කලේය.

වාමාංශික එක්සත් පෙරමුන (වාඑපෙ) වූ කලී, සහන වෙනුවෙන් බන්ඩාරනායක ආන්ඩුවට බලපෑම් කිරීමේ හා කම්කරු පන්තිය පාර්ලිමේන්තුවාදී උපාමාරු දැමීමට යටත් කිරීමේ ඉදිරිදර්ශනයක් සහිත, මහජන පෙරමුනු සංවිධානයකි. සමහර තේ හා රබර් වතු ජනසතු කිරීම හා 1948 ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීම ඇතුලු එම පෙරමුනේ කරුනු 16 වැඩ පිිලිවෙල, මුලුමනින්ම රැඳී පැවතුනේ ධනේශ්වර පාලනයේ රාමුව තුල යි. තව ද සිංහල රාජ්‍ය භාෂාව ලෙස දිගටම පවත්වාගැනීමට සහාය දීම මගින් එම පිලිවෙල, ශ‍්‍රීලනිපයේ වර්ගවාදී පිලිවෙත් සමග පෙලගැසී තිබුනි.

වාඑපෙ සඳහා වූ ලසසපයේ සැලසුම්, 1963 ජූනියේ පැවැත්වූ පැබ්ලෝවාදී හත්වන ලෝක සමුලුව විසින් වර්නනා කරන ලදී. ලසසපය, “දකුනට පැද්දෙන ව්‍යාපාරය ග‍්‍රහනයට ගැනීම හා ජනතාව විකල්ප වමක් දිසාවට යොමු කිරීමට උපකාරී වීම යන කරුනු දෙකටම අදාලව, වාමාංශික එක්සත් පෙරමුනක් පිලිබඳ ප‍්‍රශ්නය නිවැරදිව මතු කර, ඇතැයි සමුලුව කියා සිටියේය. වාඑපෙ මහජන පෙරමුනක් ලෙස ගුනාංගීකරනය කරගත්, ලසසපය තුල සිටි සුලුතරය, ඔවුන් විසින් මුලුමනින්ම නොතකා හරින ලදී.

වෙනස්කම, වාග් හරඹය පිලිබඳ ප‍්‍රශ්නයක් නොව පන්ති දිශාවනතිය පිලිබඳ ප‍්‍රශ්නයකි. වාඑපෙ කවරාකාරයකින් හෝ ට්‍රොට්ස්කිගේ එක්සත් පෙරමුනු උපාය සමග අනන්‍ය වූවක් නොවීය. ට්‍රොට්ස්කි අවධාරනය කර තිබුනේ, විප්ලවවාදී පක්ෂයේ දේශපාලන ස්වාධීනත්වය හා ක‍්‍රියාමාර්ග, ධජ හා සටන්පාඨ කවලම් නොකල යුතු බවය. ඒ වෙනුවට වාඑපෙ අනුරූප වූයේ, කම්කරු පන්තියේ විප්ලවවාදී කටයුතු වලක්වන ලද, කම්කරු පන්තිය ධනේශ්වරයටත්, පෞද්ගලික දේපොලට හා රාජ්‍යයටත් ගැටගැසූ අවස්ථාවාදී හා ධනපති පක්ෂ සමග දේශපාලන ක‍්‍රියාමාර්ගය බෙදාහදා ගැනීමේ පදනම මත, 1930 ගනන්වල ගොඩනැගූ ස්ටැලින්වාදී මහජන පෙරමුනුවලටය.

එම සමුලුව එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී) පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය සමග යලි එකමුතුවීමට ද, සිය මුද්‍රාව තැබීය. එස්ඩබ්ලිව්පීය 1953දී, මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩෙල්ගේ අවස්ථාවාදයට විරුද්ධව විවෘත ලිපිය නිකුත්කරමින් ද සම්මතධාරී ට්‍රොට්ස්කිවාදයේ ආරක්ෂාව සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනගමින් ද ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපයක් ඉටු කර තිබුනි.

කෙසේ වෙතත් භේදයෙන් පසුව එස්ඩබ්ලිව්පීය, පැබ්ලෝවාදය කෙරෙහි එහි මූලධර්මාත්මක විරුද්ධත්වයෙන් පසු බැසීම ආරම්භ කලේය. එහි ප‍්‍රධාන සන්ධිස්ථානය වූයේ, ෆිඩෙල් කැස්ට්‍රෝ විසින් නායකත්වය දුන් 1959 කියුබානු විප්ලවය කෙරෙහි එස්ඩබ්ලිව්පීයේ ප‍්‍රතිචාරයයි. එස්ඩබ්ලිව්පීය, සුලු ධනපති ගරිල්ලා ව්‍යාපාරයක් තුලින් පිහිටුවන ලද නව පාලන තන්ත‍්‍රය, “කම්කරු රාජ්‍යයක්” යන දිදුලන වැකි වලින් හුවා දැක්වීය.

සෝවියට් සභා වැනි කම්කරු පන්තියේ බල සංස්ථාවන් නොතිබියේවී නමුත් “එය සමාජවාදී දිශාවකට තල්ලුවී ඇතැයි” කියා සිටි, කියුබානු විප්ලවය පිලිබඳ කෙටුම්පත් නිබන්ධයක් එස්ඩබ්ලිව්පී විසින් 1960 දෙසැම්බරයේදී ලියන ලදී. එය තවදුරටත් මෙසේ පැවසීය. “කියුබානු විප්ලවවාදීන්ට උත්කෘෂ්ඨ න්‍යායන් ගෙතීමට කාලයක් ඇත්තේ නැත. ඔවුන් කර්තව්‍යයන්හි නිමග්නව සිටින ප‍්‍රායෝගික මිනිසුන්ය.”

කියුබාව වැනි පසුගාමී ධනපති රටවල් තුල සමාජවාදී කෙසේ වෙතත්, ප‍්‍රජාතන්ත‍්‍රීය කර්තව්‍යයන් පවා ඉටු කිරීමට ධනේශ්වරයේ හා සුලු ධනේශ්වරයේ ඓන්ද්‍රීය නොහැකියාව පෙන්වා දුන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය, එස්ඩබ්ලිව්පී විසින් අතහැර දමා ඇති බව මෙම සූත‍්‍රගත කිරීම් මගින් සලකුනු කෙරින. ට්‍රොට්ස්කි අවධාරනය කලේ, ගම්බද පීඩිතයින්ගේ නායකයා ලෙස කම්කරු පන්තිය බලය ගැනීම මගින් පමනක්, ප‍්‍රජාතන්ත‍්‍ර කර්තව්‍යයන් ඉෂ්ඨ කල හැකි බවත්, සමාජයේ සමාජවාදී ප‍්‍රතිනිර්මානය කිරීම ආරම්භ කල හැකි බවත් ය. එම අරගලයට නායකත්වය දීම සඳහා කම්කරු පන්තික විප්ලවවාදී පක්ෂයක් අවශ්‍ය වන්නේය.

එස්ඩබ්ලිව්පීය 1963 පැවති සමුලුවේදී, 1953 භේදයට තුඩු දුන් මූලධර්මාත්මක මතභේද පිලිබඳ කිසිදු සාකච්ඡාවකින් තොරවම පැබ්ලෝවාදීන් සමග යලි එකමුතු විය. කියුබාවේ මෙන් සුලු ධනපති ව්‍යාපාර වලට අනුගතවීම යුක්තිසහගත කරමින් “එක්සත්වීමේ සමුලුව” ප‍්‍රකාශ කලේ, “පසුගාමී රටවල සතුරාගේ දුබලකම, මොට්ට ආයුධ සහිතව වුව ද බලයට පත්වීමේ හැකියාව විවෘතකර ඇති” බවයි. යලි කාන්ඩගැසීමෙන් ඉක්බිතිව පැබ්ලෝවාදී ජාත්‍යන්තරය, එක්සත් ලේකම් මන්ඩලය (එලේම) වශයෙන් එය යලි නම්කර ගත්තේය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ බි‍්‍රතාන්‍ය ශාඛාව වූ සමාජවාදී කම්කරු සංගමය (එස්එල්එල්), 1961 සිට 1963 දක්වා, එස්ඩබ්ලිව්පීයේ පසුබැසීම මගින් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට ඇතිකල හැකි ප‍්‍රතිවිපාක ගැන අනතුරු අඟවමින්, එයට එරෙහි සටනට මූලිකත්වය ගත්තේය. “විප්ලවයේම තර්කනය” මගින් සුලු ධනපති නායකත්වයන්ට, කම්කරු පන්තිය බලය කරා මෙහෙයවන්නට බල කෙරෙන්නේය යන ප‍්‍රවාදය එස්එල්එල් විසින් ප‍්‍රතික්ෂේප කල අතර බොල්ෂෙවික් වර්ගයේ පක්ෂ ගොඩනගමින් කම්කරු පන්ති නායකත්වයේ අර්බුදය විසඳීම පිලිබඳ මූලික කර්තව්‍යය තවමත් ඉතිරිව තිබෙන බව අවධාරනය කලේය.

ලසසපය විසින් ක‍්‍රියාකාරීව දිරිගන්වන ලද, පැබ්ලෝවාදීන් සමග එස්ඩබ්ලිව්පීයේ යලි එකමුතුව, ශ‍්‍රීලනිපයට හා එහි සිංහල ජනතාවාදයට අනුගතවූ ලසසප නායකත්වයේ අත් ශක්තිමත් කලේය.

වාමාශික එක්සත් පෙරමුන ගොඩනැගීම, 1963 සැප්තැම්බරයේ ඉල්ලීම් 21 ලැයිස්තුවක් වටා වෘත්තීය සමිතිවල ඒකාබද්ධ කමිටුව පිහිටුවීමට මුල් විය. පලමු වතාවට එමගින් රජයේ, පෞද්ගලික අංශයේ හා වතුකරයේ කම්කරුවන් වාර්ගික රේඛා ඉක්මවමින් පොදු වේදිකාවක් මත එක්සත් කලේය. ලංකා වෙලඳ සේවක සංගමය, (සීඑම්යූ) දින 69ක් තිස්සේ පැවති, 1964 ජනවාරියේදී නිමාවට පත්වූ, වරාය කම්කරුවන්ගේ වැඩවර්ජනයක් කැඳවීය. ආපසු වැඩට යන ලෙසට බන්ඩාරනායක නිකුත් කල අවසන් නිවේදනය ප‍්‍රතික්ෂේප කරමින් එම සංගමය, සැලකිය යුතු සහන දිනා ගත්තේය. පන්ති ආතතීන් නැගී යන තත්වය තුල බන්ඩාරනායක, පෙබරවාරියේදී, පාර්ලිමේන්තුව කල් තැබුවාය.

ආර්ථික අර්බුදය මධ්‍යයේ වෘත්තීය සමිති, මාර්තු 21දා කොලඹ ගාලු මුවදොර පිටියේදී දැවැන්ත රැලියක් සංවිධානය කලේය. කම්කරුවන් ඊලඟට ගත යුතු පියවර ගැන කොල්වින් ආර් ද සිල්වා වැනි ලසසප නායකයින් එම රැස්වීමේ දී බෙරිහන් දෙද්දී, පක්ෂයේ ප‍්‍රධාන නායකයා වූ එන්.එම්. පෙරේරා, කම්කරු පන්තියෙන් එල්ලවී ඇති අභියෝගය පරාජය කිරීමට ආන්ඩුවට උදව් කරන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීම සඳහා, අගමැති නිල නිවස වූ අරලියගහ මැඳුරට හොර රහසේම රිංගා ගත්තේය.

පාවාදීම සූදානම් කෙරෙමින් තිබියදී පවා පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලය, ලසසපය ඉමහත් ලෙස වර්නනා කලේය. 1964 අපේ‍්‍රල් මස ලිවූ ලිපියකින් එය, “වාමාංශික එක්සත් පෙරමුනට” අනුමැතිය දුන්නේ “මහජන අරගලයෙන් ශක්තිමත් කර, අව්‍යාජ සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මත, එහි දේශපාලන බලය ස්ථාපිත කිරීමට යොමුව” ඇතැයි ප‍්‍රකාශ කරමිනි. එම ලිපිය මෙසේ ද ප‍්‍රකාශ කර සිටියේ ය: “ලංකාවට තවත් කියුබාවක් හෝ ඇල්ජීරියාවක් සම්පාදනය කර ලෝකය පුරා විප්ලවවාදී නැඹුරුවක් ඇති කම්කරුවන්ට ඉමහත් ආවේෂයක් පවා සහතික කරනු ඇත.”

පන්ති විඥානයෙන් යුතු ධනේශ්වරයේ නියෝජිතවරියක් ලෙස බන්ඩාරනායක, තම ආන්ඩුවට ලසසපයේ සහාය අවශ්‍යවන්නේ මන් ද යන්න හොඳින් දැන සිටියාය. 1964 මැයි මාසයේ පැවත්වූ කථාවකදී ඇය මෙසේ පැහැදිලි කලාය. “මෙම කරදර (වර්ජන) ආඥාදායකත්වයක් පිහිටුවීම මගින් අවසන් කල හැකි යයි සමහරු කල්පනා කරති. තවත් අය කියන්නේ, කම්කරුවන් තුවක්කුවෙන් හා බයිනේත්තු තුඩෙන් වැඩට දැක්කිය යුතු බවයි. ඒ අතර තවත් සමහරු මෙම ගැටලුව විසඳීමට ජාතික ආන්ඩුවක් පිහිටුවිය යුතු යයි කල්පනා කරති. මම මේ අදහස් ලෝක සිදුවීම් පිලිබඳ සන්දර්භය තුල වෙන වෙනම සලකා බැලුවෙමි. මේ කිසිදු විසඳුමක් යා යුතු තැනට අප ගෙන නොයන බව මගේ නිගමනයයි. එබැවින් මහත්වරුනි, මම කම්කරු පන්තියේ නායකයින්, විශේෂයෙන්ම පිලිප් ගුනවර්ධන හා එන්.එම්. පෙරේරා යන මහත්වරුන් සමග සාකච්ඡා ආරම්භ කිරීමට තීරනය කලෙමි.”

කොල්වින් ආර්. ද සිල්වා හා ලෙස්ලි ගුනවර්ධන යන ඉන්දියානු බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයේ හිටපු නායකයින් විසින් මෙහෙයවන ලද “මාධ්‍යමික” කන්ඩායමේ සහයෝගය ඇතිව, එන්.එම්. පෙරේරා නායකත්වය දුන් ලසසප දක්ෂිනාංශය, ශ‍්‍රීලනිපය සමග සභාගයකට යාමේ යෝජනාවට අනුමැතිය ගැනීම පිනිස කඩිමුඩියේම, ජූනි 6-7 දිනවල පක්ෂ සම්මේලනයක් කැඳවූහ.

පෙරේරාගේ යෝජනාව සමුලුවේදී සභාගය යුක්තිසහගත කලේ, ශ‍්‍රීලනිපය ධනේශ්වර පක්ෂයක් බව ප‍්‍රතික්ෂේප කරමින් හා “තමන්ගේ වඩාත්ම දක්ෂිනාංශික කොටස් විරේක කර,” ජනසතු කිරීම් සිදුකල, “රැඩිකල් සුලු ධනේශ්වරය හා පහල මධ්‍යම පන්තිය මත පදනම්වූ පක්ෂයක්” ලෙස එය ව්‍යාජව ගුනාංගීකරනය කරමින් ය.

පෙරේරාගේ සූත‍්‍රගත කිරීම්, එවන් දේශපාලන නිර්මිතයන් පිලිබඳ ට්‍රොට්ස්කි ලියා ඇති දේ ප‍්‍රතික්ෂේප කිරීමකි. පක්ෂයේ සමාජ පදනමට නාගරික සුලු ධනේශ්වරයේ හා ගම්බද ගොවීන්ගේ ස්ථරයන් ඇතුලත්ව තිබිය හැකි වුවත්, ශ‍්‍රීලනිපයේ අධිකාරය දැරුවේ මෙරට ධනේශ්වරයයි. පක්ෂයේ ක‍්‍රියාමාර්ගය තුල ඔවුන්ගේ අවශ්‍යතා පිලිබිඹු විය. කෙසේ වෙතත් යෝජනාව, කියුබාවේ කැස්ට්‍රෝගේ ව්‍යාපාරය පිලිබඳ එක්සත් ලේකම් මන්ඩලයේ ප්‍රෝඩාකාරී පිලිවෙත සමග මුලුමනින්ම ගැලපුනි. “මාධ්‍යමික” කන්ඩායමට බන්ඩාරනායක ආන්ඩුවට ඇතුලුවීම සම්බන්ධයෙන් කිසිදු මූලධර්මාත්මක මතභේදයක් නොතිබුනු නමුත් වාඑපෙ ඇතුලත් අනෙකුත් කොටස්කාරයින් ද ඊට එක් කරගත යුතු යයි ඔවුහු යෝජනා කලහ.

ශ‍්‍රීලනිපය සමග කිසිදු හවුලක් එක එල්ලේ ප‍්‍රතික්ෂේප කලේ, එඩ්මන්ඩ් සමරක්කොඩි හා බාලා තම්පෝ විසින් නායකත්වය දුන් විප්ලවවාදී සුලූතරය පමනි. ඔවුන් සිය යෝජනාවෙන් මෙසේ අනතුරු ඇඟවීය. “ලසසප නායකයින් ශ‍්‍රීලනිප ආන්ඩුවට ඇතුලුවීමේ ප‍්‍රතිපලය වනු ඇත්තේ, විවෘත පන්ති සහයෝගිතාව, ජනතාව අවමංගත කිරීම, කම්කරු පන්තිය භේද භින්න කිරීම හා අරගලයේ ඉදිරිදර්ශනය අතහැර දැමීමයි.”

ලසසපයේ ප‍්‍රගාඪ දේශපාලන පරිහානිය යෝජනා තුනට ඡන්දය විමසීමේදී හෙලිදරව් විය. දක්ෂිනාංශය ඡන්ද 501 ද “මාධ්‍යමික” කන්ඩායම ඡන්ද 75 ද විප්ලවවාදී සුලුතරය ඡන්ද 159 ද ලබාගත්හ. ඡන්ද විමසුමෙන් පසුව සමුලුවෙන් පිටව ගිය සුලුතර කන්ඩායම, ලංකා සමසමාජ පක්ෂය (විප්ලවවාදී) පිහිටුවීම සඳහා වෙනත් තැනකදී රැස්වූහ.

ශ‍්‍රීනිපය සමග ලසසපය ඇතිකරගත් ගිවිස්නාව, එම පක්ෂයේ ධනපති ක‍්‍රියාමාර්ගයට හා සිංහල වර්ගවාදී දේශපාලනයට මුලුමනින්ම යටත්වීමකට සමාන විය. සිංහල පමනක් යන භාෂා ප‍්‍රතිපත්තිය දිගටම ගෙනයාම සඳහා සහාය දීමටත්, දෙමල වතු කම්කරුවන් ඉන්දියාවට පිටුවහල් කිරීමටත් ලසසපය එකඟ විය. එයට හිලව් වශයෙන් පෙරේරා, මුදල් ඇමති වශයෙන් පත්වූ අතර ලසසපයට තවත් අමාත්‍යාංශ දෙකක් ද හිමිවිය.

පාවාදීම, පැබ්ලෝවාදයේ අවස්ථාවාදී දේශපාලනය හා එස්ඩබ්ලිව්පීය ඔවුන්ට යලි එක්වීමට ගත් තීරනය පිලිබඳ දැවැන්ත හෙලිදරව්වකි. තම භූමිකාව වසං කිරීමේ මංමුලාසහගත උත්සාහයක යෙදෙමින් එක්සත් ලේකම් මන්ඩලය, බන්ඩාරනායක ආන්ඩුවට ඇතුලුවීමට විරෝධය පල කල නමුත් පාවාදීමට දොර හැර දුන් මහජන පෙරමුනු නිර්මිතය වන වාමාංශික එක්සත් පෙරමුන වෙත, යලි හැරෙන ලෙසට කැඳවුම් කලේය. එක්සත් ලේකම් මන්ඩලය, පෙරේරා හා තවත් ලසසප ඇමතිවරු දෙදෙනෙකු නෙරපා හැර ආන්ඩුවට ඇතුලුවීමට ඡන්දය දුන් ලසසප කන්ඩායමේ සාමාජිකත්වය තහනම් කලේය. ලසසපය තුලම රැඳී සිටි “මධ්‍යම” කන්ඩායමේ නායකයින්ට විරුද්ධව කිසිදු පියවරක් ගැනීමට පෙර මාස ගනනාවක් තිස්සේ එක්සත් ලේකම් මන්ඩලය කරුනු වසං කර තිබුනි.

බන්ඩාරනායක ආන්ඩුවට ඇතුලුවීමට විරුද්ධත්වය පලකරන අතර ලසසප(වි) කන්ඩායම, එයට කොන්දේසි නිර්මානය කල එක්සත් ලේකම් මන්ඩලය තුලම රැඳී සිටීම සැලකිය යුතු කාරනයකි. බි‍්‍රතාන්‍ය එස්එල්එල් හා ජාත්‍යන්තර කමිටුව පමනක්ම ලසසපයේ ඓතිහාසික පාවාදීමෙහි වගකීම පැබ්ලෝවාදී අවස්ථාවාදයට පැවරීය. ලසසප ද්‍රෝහිත්වයට විරෝධය පෑම සඳහා, හජාජාක වෙනුවෙන් එස්එල්එල් නායක ජෙරී හීලි කොලඹට පැමිනි නමුත් ආන්ඩුවට සම්බන්ධ වීම පිලිබඳ ඡන්දය විමසූ ලසසප සමුලුවට සහභාගී වීමෙන් වලක්වන ලදී.

එම වසරේ ජූලි 05දා හජාජාක පල කල ප‍්‍රකාශනය දුර දක්නා නිගමනයක් ඉදිරිපත් කලේය. “ලසසප සාමාජිකයින් බන්ඩාරනායක සභාගයට ඇතුලුවීම, හතරවන ජාත්‍යන්තරයේ විකාශනයෙහි සමස්ත අවධියක අවසානය සලකුනු කලේය. අධිරාජ්‍යවාදයේ සෘජු සේවය වෙනුවෙන් කම්කරු පන්තියට පරාජයක් අත්කර දීම සූදානම් කිරීම සඳහා සංශෝධනවාදය, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල සිය ප‍්‍රකාශනය අත්කර ගත්තේය.”